ප්ලූරා ඛේදවාචකය


 ලෝක ඉතිහාසයේ ගුහා ගවේෂණ ඛේදවාචක

වායු කුටිය නම් වියළි ගුහාව

ගුහාව තුළ ගමන

 

ප්ලූරා යනු නෝර්වේ රාජ්‍යයේ පිහිටා ඇති සුන්දර නදියකි. ප්ලූඩරෙන් නිම්නය ඔස්සේ ගලා බසින එම නදිය දිගින් කිලෝමීටර 27 පමණ වන අතර, මුහුදු මට්ටමේ සිට මීටර 19ක් ඉහළින් පිහිටා තිබේ. ප්ලූරා යන්නෙහි අරුත උණුසුම් හෝ කැකෑරෙන නදිය වුවද එය සැමන් හා ට්‍රවුට් මසුන් ගහන නදියකි. එහි කිලෝමීටර බාගයක් පමණ ගැඹුරට කිමිදෙන විට ඉතා අපූරු ගුහාවක පිවිසුම හමුවෙයි. උතුරු යුරෝපයේ දීර්ඝතම ගුහාව වන එය හැඳින්වෙන්නේ ප්ලූරාග්‍රොටා යන නමිනි. එහි පිවිසිය හැක්කේ මනා පුහුණුවක් හා පළපුරුද්දක් ඇති කිමිදුම්කරුවකු නම් පමණකි. මිනිත්තුවකට කියුබික් මීටර 20,000 පමණ ජල ප්‍රවාහයක් එතුළින් ගලා බසින හෙයින් නුපුහුණු කිමිදුම්කරුවකුට එතුළින් පිහිනා යෑම ඉතාමත් අසීරු කාර්යයකි. ප්ලූරා නදියේ කිමිදෙන්නට ගොස් සිදුවූ විශාලතම ඛේදවාචකය වාර්තා වූයේ මින් සිව් වසරකට පෙරය.  


 
ෆින්ලන්ත කිමිදුම්කරුවන් පිරිසකට ප්ලූරාග්‍රොටා ගුහාවේ ගවේෂණයක් සඳහා යෑමට අවශ්‍යව තිබිණි. එම පිරිසට පස් දෙනෙක් අයත් වූහ. ඔවුන් එකිනෙකා ප්‍රථමයෙන් හඳුනාගත්තේ හෙල්සිංකි නුවර ඔජමෝ පතලේ ගවේෂණයක යෙදුණු අවස්ථාවේය. එම කණ්ඩායමේ සාමාජිකයන් වූයේ පැට්‍රික් ග්‍රොන්ක්විස්ට්, ජාරි හුවෝටාරිනන්, කායි කන්කානෙන්, ජාරි උසිමාකි සහ වෙසා රන්ටානන් යන පිරිසය.   


ඔවුනට අවශ්‍ය වූයේ ගංගාවේ ඉතා ගැඹුරට කිමිදී ස්ටෙයිනුග්ලෙෆ්ලැගට් නම් ස්ථානයට ළඟාවීමය. එම ස්ථානය ගුහාවේ අනෙක් අන්තයේ පිහිටා තිබිණි. එහි ළඟාවීමට පෙර වායු කුටිය නමින් හැඳින්වෙන මීටර 250ක් පමණ දිගින් යුතු, ජල මට්ටමට ඉහළින් පොළොව මට්ටමේ සිට මීටර 90 පමණ පහතින් පිහිටි වියළි ගුහාවක් හමුවේ. එහි ඉතා හොඳින් වාතාශ්‍රය පවතින අතර එහි මඳක් විවේකගෙන යළි කිමිදීමට කණ්ඩායම තීරණය කර සිටියහ. ගුහාවේ ගැඹුරුම ස්ථානය පොළොව මට්ටමේ සිට මීටර 132ක් පහළින් පිහිටා තිබිණි. ගුහාවේ ඉතාම පටු ස්ථානය වූයේ එම නැම්මය.   


ආධුනික කිමිදුම්කරුවකු කිමිදෙනුයේ සාමාන්‍යයෙන් විනාඩි 30ත් පැයත් අතර කාලයකි. ආරක්ෂක හේතූන් මත මීටර් 30කට වඩා ගැඹුරට කිමිදෙන්නේද නැත. දිය යට ගමන් කළ හැකි ස්කූටරයක නැගී ගියද ස්ටෙයිනුග්ලෙෆ්ලැගට් නමැති ස්ථානය වෙත ළඟාවීමට පැය පහකට ආසන්න කාලයක් ගත වන අතර මීටර 130කට අධික ගැඹුරට ගමන් කොට යළි ඉහළට පිහිනා යා යුතුය.   


දිනය 2014 පෙබරවාරි 6 වැනි දාය. ස්ටෙයිනුග්ලෙෆ්ලැගට් නම් ස්ථානය වෙත පිවිසීමේ අරමුණ ඇතිව කිමිදුම් කණ්ඩායම ප්ලූරා නදිය වෙත පැමිණියහ. අධික සීත කාලයට නදියේ මතුපිට ජලය මිදෙන්නට පටන් ගනී. එදින එහි හිම තට්ටුව මීටර භාගයක් පමණ ඝනව මිදී තිබිණි. පස්දෙනා කණ්ඩායම් දෙකකට බෙදුණාහ. පැට්‍රික් ග්‍රොන්ක්විස්ට් සහ ජාරි හුවෝටාරිනන් පළමු කණ්ඩායමටද, අනික් තිදෙනා දෙවැනි කණ්ඩායමට අයත් වූහ. ඔවුන්ගේ කාර්යය වූයේ පළමු දෙදෙනාට අවශ්‍ය සහය ලබා දීමය.   


හිම තට්ටුවේ එක්තරා ස්ථානයක් සිදුරු කළ ඔවුහු අධික සීතලට ඔරොත්තු දෙන ආරක්ෂක ඇඳුම් කට්ටලයකින් සැරසී සිදුර තුළින් නදියේ ගිලී ගියහ. මුලින් පැට්‍රික්ද ඔහු පසුපසින් ජාරිද විය. ඔවුන් හමුවේ බොහෝ අභියෝග තිබිණි. ජලය අධික සීතල වූ අතර ගුහා මාර්ගය දැඩි සේ අඳුරු විය. අසම්පීඩනය නමැති රෝග තත්ත්වය ඇතිවීමේ අවදානම ද බලපෑවේය.   


මීටර 130ක පමණ ගැඹුරේ දී අධික සීතලක් පවතින අතර ඉතා පටු ගුහා මග ඔස්සේ දැඩි අවධානයකින් යුතුව ගමන් කළ යුතුය. එම ස්ථානය ගංගා පතුලක ඇති ගැඹුරුතම ස්ථානය ලෙස සැලකෙයි. කිසියම් අයුරකින් කිමිදෙන්නාගේ ආරක්ෂිත ඇඳුමේ කුඩා සිදුරක් ඇතිවුවද එය ඔහුගේ අවසානය ළඟා කරවන්නක් විය. යම් හෙයකින් ඔවුන්ගේ කිමිදුම් උපකරණ අක්‍රියභාවයට පත් වුවහොත් කාබන් ඩයොක්සයිඩ් විෂ වීමෙන් ක්ෂණිකව මරණයට පත් විය හැකිය. එහෙයින් සෑම කිමිදුම්කරුවකුම කාබන්ඩයොක්සයිඩ් වායුව උරා ගන්නා අතිරේක කෘත්‍රිම ශ්වසන යන්ත්‍රද රැගෙන යෑමට අමතක නොකරයි. ඇතැම් අවස්ථාවල ඔවුන් වේගයෙන් හුස්ම ගැනීම නිසා මේවා පිරී යාමට අවකාශ ඇති අතර එවිට ඔවුන්ගේ හුස්ම පාලනය කර ගැනීම අසීරු වන අවස්ථාද නැත්තේ නොවේ. එහෙයින් අධික ගැඹුරේ කිමිදෙන අවස්ථාවන්හි මනා සංයමයකින් යුතුව කිමිදෙන්නට කිමිදුම්කරුවාට සිදුවෙයි. ඔවුන් රැගෙන ගිය උපකරණවල බර ගොඩබිමදී කිලෝ 60ක් පමණ විය. ඔක්සිජන් සිලින්ඩරවලට අමතරව අමතර ශ්වසන යන්ත්‍රද ඔවුන් සතුව තිබිණි.   


පැට්‍රික් ග්‍රොන්ක්විස්ට් සහ ජාරි හුවෝටාරිනන් විනාඩි 50ක පමණ ගමනකින් පසු වායු කුටිය නමින් හැඳින්වෙන වියළි ගුහාව වෙත සමීප වී සිටියහ. එහි මඳක් විවේක ගත් ඔවුහු යළි කිමිදෙන්නට වූහ. සියල්ල සැලසුම් කළ අයුරින් සිදුවෙමින් තිබිණි. 2013 වසරේදී පැට්‍රික් ග්‍රොන්ක්විස්ට් හා කායි කන්කානෙන් විසින් ස්ටෙයිනුග්ලෙෆ්ලැගට් කරා යෑමට වංගගිරියක් බඳු එම ගුහාවේ නව මගක් සොයාගෙන තිබිණි.   


ඒ වන විට පැට්‍රික් හා ජාරි ගුහාවේ ගැඹුරුම ස්ථානය වන පොළොව මට්ටමේ සිට මීටර 132ක් පහළ පිහිටි පතුල වෙත ළඟා වී සිටියහ. එම ස්ථානය පසු කළ ඔවුහු ඉතා අසීරුවෙන් පිහිනා යා යුතු පටු මාර්ගය වෙත ළඟා වූහ. ඒ වන විට වියළි ගුහාවේ සිට පැයක පමණ වේලාවක් ඔවුන් කිමිදී තිබිණි.   


යළි ඉහළට නැඟීමේදී අසම්පීඩන රෝගයට ගොදුරුවීමෙන් වැළකීම සඳහා වරින් වර විවේක ගත යුතුව තිබිණි. දෙදෙනා පොළොව මට්ටමේ සිට මීටර 112ක් පමණ ඉහළට නැඟුණු අවස්ථාවේ සියල්ල කණපිට හැරෙන්නට විය. පැට්‍රික් ග්‍රොන්ක්විස්ට්ට කිසියම් අමුත්තක් දැනිණි. මෙතෙක් තමා පසුපසින් කිමිදුණ තම සගයා අසල නොමැති බව ඔහුට හැඟී ගියේය. ඔහු යළි හැරී ජාරි සොයා යන්නට විය. මඳ දුරක් ගමන් කළ ග්‍රොන්ක්විස්ට්ට දැකගත හැකි වූයේ ජාරි ගුහාවේ ඉතා දුෂ්කර පටු ස්ථානයක සිරවී සිටින ආකාරයයි.   


ඔහුගේ ඔක්සිජන් නළය කිසිවක පැටලී තිබූ අතර තමා සිරවී සිටින බව මිතුරාට දැන්වීම සඳහා තම අත වූ විදුලි පන්දම වනමින් සිටියේය. සිරවීම හේතුවෙන් කලබලයට පත් ජාරි දඟලන්නටත් වේගයෙන් හුස්ම ගන්නටත් වූ අතර සිරවී සිටි ස්ථානයෙන් මිදෙන්නට ඔහු දැඩි වෙහෙසක් දැරීය. එහි ප්‍රතිඵලය වූයේ ඔහුගේ රුධිරයට කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් එක්වීමය. පැට්‍රික් තම සගයා සිරවී සිටි ස්ථානයෙන් ඇද ගැනීමට මහත් වෙහෙසක් දැරීය. තමා අත තිබූ ඔක්සිජන් සිලින්ඩරයේ ඉපියාව ජාරිගේ මුව තැබීමට උත්සාහ කළද ඒ වන විට ඔහුට ජලය විශාල ප්‍රමාණයක් පෙවී තිබිණි. ඔහු විනාඩි 20ක පමණ කාලයක් තම මිතුරා ගලවා ගැනීමට උත්සාහ කළේය. එහෙත් එය අසාර්ථක විය.   


තම මිතුරා තමා ඉදිරියේදීම මිය යන අයුරු දුටු ග්‍රොන්ක්විස්ට් අතිශයින් කැලඹීමට පත් විය. මොහොතකින් සිහි එළවාගත් ඔහු සිරවී සිටි තම මිතුරාගේ සිරුර ඉන් ඉවත් කරන්නට උත්සාහ කළේය. එයද අසීරු විය. ඔහුට එක් වරම යළි ගොඩ බිමට යෑමටද නොහැකිය. එහෙයින් කෙසේ හෝ ස්ටෙයිනුග්ලෙෆ්ලැගට් නමැති ස්ථානය වෙත කිමිදීමට ඔහු තීරණය කළේය.   


ග්‍රොන්ක්විස්ට් තවත් මීටර හයක් ඉහළට පිහිනා ගියේය. එහෙත් අසම්පිඩන තත්ත්වය හේතුවෙන් ඔහුට තවදුරටත් ජලයේ සිටිය නොහැකි විය. ඒ වන විට ඔහු පැය හතකට අධික කාලයක් ජලයේ ගතකොට තිබිණි.   
දෙපැයකට පමණ පසු කිමිදෙන්නට වූ දෙවැනි කණ්ඩායම ඒ දෙසට පැමිණෙමින් සිටියහ. තම මිතුරා මිය ගිය බව හෝ ඔහුගේ සිරුර ගැඹුරු පටු මගෙහි සිරවී තිබෙන බැව් ඔවුනට දැන්වීමට පැට්‍රික් හට මඟක් නොතිබිණි. මීටර 6ක් ඉහළට නැඟුණු පැට්‍රික් හට තමා පසුපසින් කිසිවකු පිහිනා එනු පෙනිණි. ඒ දෙවැනි කණ්ඩායමේ නායකයා වූ වෙසා රන්තනන්ය.   


වෙසා රන්තනන්ට පටු මාර්ගයේ සිරවී තිබූ ජාරිගේ සිරුර දැකගත හැකි විය. තමා සිරුර මඟහැර එම ස්ථානයෙන් පිහිනා යනවාද නැතිනම් වෙනත් දීර්ඝ මගක් ඔස්සේ නියමිත ස්ථානය වෙත ළඟා වෙනවාද යන ගැටලුව මතු විය. අවසානයේ තම පිට මත වූ ඔක්සිජන් සිලින්ඩරය ගලවා දැමූ ඔහු ජාරිගේ සිරුර සිරවී තිබූ ස්ථානයේ අසීරුවෙන් ඉඩ සලසා ගනිමින් පිහිනා යන්නට විය. අවසානයේ ඔහු ග්‍රොන්ක්විස්ට් සිටි ස්ථානයට ළඟා විය.   
ජාරිගේ සිරුර සිරවී තිබූ ස්ථානයේ බොහෝ වෙලාවක් ගත කිරීමට වෙසාට සිදු වූ බැවින් ඔක්සිජන් වැඩි ප්‍රමාණයක් වැය වී තිබිණි. එහෙයින් නියමිත කාලයට වඩා විනාඩි 80කට පෙර ඔහු ගොඩට පැමිණිය යුතු විය. ඒ වන විට ඔහු අසම්පීඩන තත්ත්වයට ගොදුරු වී සිටියේය. ඔහුගේ දණහිස්, වැළමිට හා සන්ධි ඉවසිය නොහැකි වේදනාවකින් පෙළෙමින් තිබිණි.   


ඔවුන් දෙදෙන කෙසේ හෝ ස්ටෙයිනුග්ලෙෆ්ලැගට් නමැති ස්ථානයට ළඟාවන්නට සමත් වූහ. දෙවැනි කණ්ඩායමේ උසිමකී හා කන්කානෙන් නමැති අනික් කිමිදුම්කරුවන් දෙදෙනා පැමිණෙන තෙක් ඔවුහු බලා සිටින්නට වූහ. එහෙත් ඔවුන් පිළිබඳ කිසිදු සලකුණක් නොවීය. කිසියම් අවාසනාවන්ත දෙයක් සිදුවී ඇතැයි ඔවුනට සිතිණි.   


ගුහාවෙන් පිටතට පැමිණි ඔවුන් දෙදෙනා දැඩිව මිදුණු හිම සහිත මාර්ගය ඔස්සේ පා ගමනින් ඇවිද යන්නට වූහ. අසළ පිහිටි ගොවිපළකින් ඔවුනට උණුසුම් ආහාර සහ ඇඳුම් ලැබිණි. ගං පතුලේ කිසියම් ආලෝකයක් දැල්වෙන බැව් කිසිවකු විසින් දැක තිබිණි. සියල්ලෝ ඒ දෙසට දිව ගිය අතර ඔවුනට දැක ගත හැකි වූයේ කන්කානෙන් ඉතා අසීරුවෙන් පිහිනා එමින් සිටි ආකාරයයි. එම කණ්ඩායමේ අනෙක් සගයා වූ උසිමකි පෙනෙන්නට නොසිටියේය.   


ඉතා අසීරු තත්ත්වයේ පසු වූ කන්කානෙන්ගෙන් උසිමකී පිළිබඳව විමසූ ඔවුනට අසන්නට ලැබුණේ ඉතා දුක්මුසු පුවතකි. ඔවුන් දෙදෙනා පිහිනා යමින් සිටියදී ජාරිගේ සිරුර හමු විය. එම දර්ශනයෙන් උසිමකී මහත් සේ බියට පත්විය. ඔහු දැඩි කම්පන තත්ත්වයකට පත්ව සිහිසුන් විය. එහි ප්‍රතිඵලය වූයේ ඔහු දියේ ගිලී යෑමය. තම මිතුරා ගලවා ගැනීමට කන්කානෙන් උත්සාහ කළද එය අසාර්ථක විය. 

 
තවදුරටත් ඉදිරියට යෑම අත්හළ කන්කානෙන් ආපසු පිහිනා යන්නට විය. ඔහු සිතුවේ තම කණ්ඩායමේ සියල්ලෝ මරණයට පත්ව ඇති බවයි. ඔහුගේ දිය යට ස්කූටරය වායු කුටිය අසලදී ක්‍රියා විරහිත වූ හෙයින් ඉතිරි දුර ඔහුට පිහිනා යන්නට සිදු විය. එය අධික වෙහෙසකර කාර්යයක් වුවද ගොඩබිම මතුපිටට යෑමට ඔහු සමත් විය. ඒ වන විට ඔහු පැය 11කට අධික කාලයක් දිය යට ගත කර තිබිණි.   

 

ජාරි සිරවූ ස්ථානය

ප්ලූරා නදියේ හිම කඩා කිමිදෙන්නට සූදානම් වන අයුරු

 


ඔවුන් සියලු දෙනා රෝහල් ගත කෙරිණි. ඔවුහු ක්‍රමයෙන් සුවය ලබමින් සිටි අතර ගුහාවේ සිර වූ තම මිතුරන්ගේ මළ සිරුරු ගොඩබිමට ගෙනැවිත් ඔවුනට ගෞරවනීය භූමදානයක් ලබා දීමට දිවි ගලවා ගත් පිරිසට අවශ්‍ය විය.   


2006 වසරේද මෙම ගුහාවේ සිරවී කිමිදෙන්නකු මරණයට පත්ව තිබිණි. ඔහුගේ මළ සිරුර යළි ගොඩට ගෙන එන ලද්දේ බ්‍රිතාන්‍ය කිමිදුම්කරුවකු වූ මාක් ඩොගර්ති විසිනි. මියගිය පුද්ගලයන් දෙදෙනාගේ මළ සිරුරු ගොඩ ගැනීම සඳහා ඔහුගෙන් උපකාර ඉල්ලා සිටියද එම සිරුරු ඉතා අසීරු ස්ථානයක සිරවී ඇති හෙයින් එය ඉතා අසීරු හා අවදානම් කාර්යයක්යැයි ඔහු කියා තිබිණි.   


කෙසේ හෝ තම මිතුරන්ගේ සිරුරු ගොඩබිමට ගෙන ඒමට පින්ලන්ත කිමිදුම්කරුවන් පිරිසක් තීරණය කළහ. ඒ වන විට ප්ලූරා නදියේ කිමිදීම නොර්වේ රජය විසින් තහනම් කර තිබිණි. තහනම නොතැකූ 17 දෙනකුගෙන් සමන්විත කිමිදුම් කණ්ඩායම දැඩි වෙහෙසකින් පසු මළ සිරුරු ගොඩගැනීමට සමත් වූහ. එම මෙහෙයුම ආරම්භ කෙරුණේ 2014 මාර්තු 22 දිනය. ඔක්සිජන් ටැංකි 26ක්, කෘත්‍රිම ශ්වාසක 5ක් කිමිදුම් ස්කූටර 5ක් සහ අමතර ඇඳුම් කට්ටල සහිත ටොන් 1.1ක් බරැති උපකරණ මෙම මෙහෙයුම සඳහා ඔවුහු උපයෝගී කර ගත්හ. එක් කණ්ඩායමක් ප්ලූරා නදියේ ගුහා පිවිසුමෙන්ද තවත් කණ්ඩායමක් එහි අනෙක් අන්තය වූ ස්ටෙයිනුග්ලෙෆ්ලැගට් දෙසින් ද මෙහෙයුම ඇරඹූහ.   


මීටර 130 පමණ ගැඹුරේදී ඔවුනට පළමු වැන්නාගේ සිරුර හමු විය. සිර වී තිබූ සිරුර පාදවලින් ඇදගැනීමට ඔවුනට හැකි විය. මඳ දුරක් ඇදගෙන පැමිණි සිරුර පසුව කිමිදුම් ස්කූටරයට බැඳ ගොඩට ගෙන ඒමට පිරිසට හැකි විය. පසු දින දෙවැනි සිරුරද ගොඩට ගෙන ඒමට ඔවුහු සමත් වූහ. ගුහාවේ සිර වී තිබූ කිමිදුම් ස්කූටරය, ඔක්සිජන් සිලින්ඩර හා අනෙකුත් උපකරණ සියල්ලද ගොඩගැනීමට එම කණ්ඩායම සමත් වූහ. එම මෙහෙයුම අවසන් කිරීම සඳහා ඔවුනට දින පහක කාලයක් ගත වී තිබිණි. ගුහා කිමිදුම් ඛේදවාචක අතර පලූරා ඛේදවාචකය ද අමතක නොවන සිදුවීමකි.  

 

 

 


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා