පළමු ටෙස්ට් පන්දු ඕවරයේ වාර්තාවක් තැබූ අසන්ත ද මැල්


එදා ඩේවිඩ් ගවර් දවාගත් මොහොත

 

  • අද ප්‍රකට බ්‍රිජ් (Bridge) ක්‍රීඩකයෙක්  
  • බ්‍රිජ් නිසා පොදු රාජ්‍ය මණ්ඩලයීය උළෙල පවා නියෝජනය කළා.  
  • වැඩිමහල් දියණිය ​කේම්බ්‍රිජ් සරසවියේ ආර්ථික විද්‍යා අංශයේ ගෞරව උපාධිය ලද ආචාර්යවරියක්  
  • දෙවැනි දියණිය ආර්ථික අංශයේ විශේෂඥවරියක් ඇයද උපාධිධාරිනියක්  
  • එදා අසන්ත පාසලේදී ක්‍රිකට් හැර රගර්, පාපන්දු, පිහිනුම්, මේසපන්දු ඇතුළු ක්‍රීඩා රැසක් කළ චරිතයක්.  

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ ඉතිහාස පොතේ පිටු පෙරළා කියවා බලද්දී අසන්ත ද මෙල් යනු තවත් සුවිශේෂී වූ පිටුවකි. ටෙස්ට් ක්‍රිකට් තත්ත්වය ශ්‍රී ලංකාවට හිමිවීමෙන් පසු පළමු ටෙස්ට් පන්දු ඕවරය යැවීමේ කිසිදා කාටවත් බිඳ හෙළිය නොහැකි වූ වාර්තාවට හිමිකම් කියන්නේ මෙම අසන්ත ද මෙල් ප්‍රවීණයාය.  


එපමණක් නොව ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම ටෙස්ට් කඩුලු 50 මෙන්ම එක්දින කඩුලු 50 ලබා ගත් වාර්තාවට හිමිකම් කියන්නේද ඔහුය.  


ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියද ක්‍රිකට් වෙතින් ඉවත් වී කටයුතු කරන චරිතයක් නොවූ අසන්ත ද මෙල් යනු තේරීම් කමිටුවේ ප්‍රවීණයකු ලෙස වැඩිම කාලයක් කටයුතු කළ චරිතයකි. වත්මන් තේරීම් කමිටුවේ සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරවරයා වන්නේද ඔහුය. කෙසේ වෙතත් එහෙව් වූ අසන්ත මෙලෙසින් පිළිසඳරකට පුවත්පතක් සමග එක්වන්නේ ස්වකීය ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන වසර ගණනාවකට පසුවය.  


• ක්‍රිකට් පිටියෙන් සමුගෙන කොපමණ කලක් වෙනවද? 


1987 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව දණහිසේ ඇති වූ ආබාධයක් නිසා ක්‍රිකට් පිටියට සමු දුන්නා. ඉන්පසුව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සේවයක් කිරීමේ අරමුණ ඇතිව ක්‍රිකට් ව්‍යුහයට එක්වුණේ.  


• මොහොතකට සිහිපත් කළොත් එදා මුලින්ම ශ්‍රී ලංකා ජාතික පිලට එක් වූ හැටි.

  
1981 මැයි මාසයේදී එංගලන්තයේ තරග සංචාරයකට ගිය ශ්‍රී ලංකා කණ්‍ඩායමට මාවද ඇතුළත් වුණා. හැබැයි එතකොට අපට ටෙස්ට් තත්ත්වය ලැබිලා තිබුණේ නැහැ. එම තරගාවලියේදී අපට ක්‍රීඩා කරන්න තිබුණේ ප්‍රාන්ත සමගයි. දිවංගත ගාමිණී දිසානායක මහතා ICC එකට ගිහින් හොඳ කතාවක් එහෙම කරලා ආවට පස්සෙ ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය හිමි වුණා. ඒ ගෞරවය අපි එතුමාට  පුදකළ යුතුමයි.  


එදා අපි එංගලන්තයේ එම සංචාරයට ගිහින් සිටියදී තමයි අපට ටෙස්ට් තත්ත්වය හිමි වූ බව දැන ගන්න ලැබුණෙ. එදා පුදුමාකාර සතුටක් අපට ඇතිවුණේ. එදා 1979 කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගනිමින් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් හිටියෙ. එම වසරේ පැවැත්වූ ලෝක කුසලානයට යාමට බැරිවුණා. ඒත් අපේ පාසලේ රන්ජන් මඩුගල්ලේ සහ සුදත් පැස්කුවල් එවර ලෝක කුසලානය නියෝජනයට ගියා. ඊට පසුව මුලින්ම ශ්‍රී ලංකාව නියෝජනය කළේ 25 න් පහළ කණ්‍ඩායම සමග ඉන්දීය සංචාරය වෙනුවෙනුයි.  


81 එංගලන්තයට ගියේ පාසලින් ඉවත්වී වසරකට විතර පසුවයි.  


• ක්‍රිකට් ක්‍රීඩාවට ඔබ අවතීර්ණ වූයේ?  


මුලින්ම මම ගියේ ඉසිපතන විද්‍යාලයට. ක්‍රිකට් පටන් ගත්තෙ එතැනින්. 79 දී විතර රෝයල් එකට ගියේ. රාජකීය ශාන්ත තෝමස් සියවැනි තරගයට ක්‍රීඩා කරන්න ලැබුණා. ඒක ලොකු භාග්‍යයක්. පාසලේ ක්‍රිකට් ගහද්දී අම්මා, තාත්තාට මම කිව්වෙත් කවදා හරි ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන්න කැමතියි කියලයි. එහෙම කියද්දී එයාලා හිනාත් වුණා. මොකද කිව්වොත් ඒ කාලයේ හැටියට එය හිතන තරම් ලෙහෙසි වුණේ නැහැ. ඒත් ඒ වුවමනාව තමයි මට තිබුණෙ.  


• මොන වගේ පවුලක්ද  


අම්මයි තාත්තයි මමයි නංගියි විතරයි. අවාසනාවකට වයස 27 දී විතර මගේ එකම නැගණිය අසනීපයකින් මියගියා. තාත්තා මියගියේ 1983 දී මම වර්ල්ඩ්කප් එකට ගිහින් සිටි දිනවලදීයි. අම්මාගෙ වයස දැන් 86 ක් විතර වෙනවා. අම්මා ඉන්නෙත් එදා අපේ මහ ගෙදරමයි. මගේ ගෙට අල්ලපු ගෙදර. ඒක මට ලොකු සතුටක්. නිතරම මට ඇයව බලන්න පුළුවනි.  


කුඩා කාලයේ ඉඳලාම මම හැදී වැඩුණෙ සහ අද ජීවත් වෙන්නෙත් පීටර්සන් ලේන් පැරකුම්බා පෙදෙසේ.  


• මව්පියන් එදා ඔබ උනන්දු කළේ මොන වගේ අංශයකට යන්න කියලද?  


අම්මා නිතරම මගේ ආසාවන්ට උදව් කළා. බැට්, ෆෑඩ් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයකු හට අවශ්‍ය සියලු ආම්පන්න මට අරන් දුන්නා. ඒ කාලයේ හැමෝටම හැම දෙයක්ම තිබුණෙ නැහැ. ඒත් විකට් සෙට් එකේ සිට ඔක්කෝම වගේ මගේ ළඟ තිබුණු නිසා මම ඒවා අරන් ගිහින් යාළුවෝ එක්ක එකතු වෙලා ක්‍රිකට් ගැහුවා.  


අපේ අම්මයි තාත්තයි දෙන්නම වැඩ කළේ මහ බැංකුවෙ. එයාලා ඇත්තටම මගේ ගමනට උදව් කළා.  


• ඉසිපතනයෙන් රෝයල් එකට ඒමට හේතුව වුණේ.  


එදා ඉසිපතනයේ අපට තිබුණෙ ලණු පැදුර සහිත විකට්ටුවක්. තණ නිල්ලක් තිබුණෙ නැහැ. වේගපන්දු යවන්නෙකු ලෙස දිගු ගමනක් යාමට නම් මම ටර්ෆ් එකේ ක්‍රිකට් ගහන්න ඕනෑය කියලා විශ්‍වාස කළා. ඒ අතරෙදි තමයි රාජකීය ශාන්ත තෝමස් ශත සංවත්සර තරගයට අවතීර්ණ වෙමින් තිබුණෙ.  


ඒ කාලයේදී ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් සිටියදී ඕස්​ට්‍රේලියාවට එරෙහිව ඉනිම දෙකේදිම කඩුලු පහ බැගින් ලබා ගත්තා. ඒ වගේම සන්ඩේ ඔබ්සවර් ටෙස්ට් බෝලර් ලෙසත් තේරුණා. ඒ කාලයේදී රෝයල් එකේ කැප්ටන් කළේ රන්ජන් මඩුගල්ල.  


“මෙච්චර හොඳට විකට් ගන්න එකේ එන්නකො රෝයල් එකට” රංජන් කිව්වා.  


ඒ කාලයේදී ඉසිපතනයේ ඉඳලා ​රෝයල් එකට යන එක එච්චර ලෙහෙසි වුණේ නැහැ. ඒත් මඩුගල්ලෙ කියල තියෙන්න ඇති. ඉන්පස්සෙ රෝයල් එකෙන් ආපු ආරාධනය එක්ක රෝයල් එකේ ඉගෙන ගනිමින් ක්‍රීඩා කරන්නත් ලැබුණා.  


• ඉගෙනීමට දක්ෂ වුණේ නැද්ද?  


ඇයි නැත්තෙ. ඉගෙනීමත් හොඳට කර ගෙන ගියා. හැබැයි ක්‍රීඩා අංශයේ වැඩිපුර දක්ෂතා පෙන්වූ බව කියන්න පුළුවනි. රග්බි කණ්ඩායම වෙනුවෙන් පාසල් දෙකෙන්ම වර්ණලාභියකු වුණා. ඒ හැර පිහිනීම, මලල ක්‍රීඩා, ​ටේබල් ටෙනිස්, පාපන්දු ක්‍රීඩා කළා.  


• එදා ක්‍රීඩා තරුවක් වූ ඔබ ක්‍රිකට් හැර ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ දක්ෂතා තිබුණෙ වෙනත් මොන අංශයටද.  


බ්‍රිජ් (Bridge) ක්‍රීඩාව වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළා. තවමත් එම කණ්ඩායමේ සාමාජිකයෙක්.  


• බ්‍රිජ් කියන්නෙ මොන වගේ ක්‍රීඩාවක්ද  


ඒකත් හරියට චෙස් වගෙයි. හැබැයි කාඩ් 52 කින් ක්‍රීඩාව කරන්නෙ.  


• එදා ඔබ වේගපන්දු යවන්නෙකු වීමත් අහම්බයක්ලු නේද?  


එදා අපේ ගෙවල් අසල ඩේලි නිවුස් කුසලානයට ක්‍රීඩා කළ කණ්ඩායමක් තිබුණා. ඒ වගේම සැහැල්ලු පන්දු කණ්ඩායමකුත් තිබුණා. සැහැල්ලු පන්දු ගහද්දී වේගයෙන් පන්දු යැව්ව මම ලෙදර් බෝල් ගහද්දී දඟ පන්දු යැව්වෙ. අංක 4 පිතිකරු ලෙස ක්‍රීඩා කළේ.  


ඇයි ඔයා සොෆ්ට් බෝල් ගහද්දි වගේ හයියෙන් පන්දු යවන්නකො කියලා අපේ ලෙදර් බෝල් කණ්‍ඩායමේ කෙනෙක් මට කිව්වා. එම අංශයේ අඩුවකුත් තිබුණු නිසා ටිකක් හයියෙන් පන්දු යවන්න පටන් ගත්තා. එතකොට තමයි තේරුම් ගත්තෙ කවදා හරි ශ්‍රී ලංකාව නියෝජනය කරන්න නම් වේග පන්දු යැවීම දිගටම කළොත් හොඳයි කියලා.  


• ඒ අතීතයෙන් එහාට ගිහිල්ලා ඔබට ඔබගේ බිරිඳ හමු වූ හැටි කිව්වොත්  


මගේ නෝනා මට මුලින්ම හමුවුණේ 1981 දී විතර. අපි විවාහ වුණේ 1985 දී. එයා ක්‍රිකට් හෝ ක්‍රීඩා ගැන උනන්දු වූ චරිතයක් නෙවෙයි. බොහෝ දෙනෙක් හිතන්නෙ ඇය විදේශීය කාන්තාවක කියලයි. බර්ගර් ජාතික නිසා පෙනුමෙන් ඉතා පැහැපත්. එදා මුලින්ම ඇය හමුවූ දිනවල මම හිතුවෙත් ඇය විදේශීය රටක කෙනෙක් වෙන්නැති කියලයි. ඒ හමුවීම දෛවයේ හමුවීමක් වෙන්නැති. අපි විවාහ වෙලා අවුරුදු 35 ක් විතර වෙනවා. අපට ඉන්නෙ දියණියන් දෙදෙනෙක්.  


• දියණියන් ගැනත් විස්තර කිව්වොත්.  


දූලා දෙන්නම වැඩිදුර අධ්‍යාපනයට එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවට ගියා. ලොකු දුව දැන් එංගලන්තයේ සේවය කරනවා. ඇය ආර්ථික විද්‍යා අංශයෙන් ආචාර්ය උපාධිය හිමිකර ගත්තෙ කේම්බ්‍රිජ් සරසවියෙන්. ප්‍රථම පංතියේ උපාධිධාරිනියක් ලෙස ඇය PHD එක ගත්තෙ. අැයගෙ වයස අවුරුදු 32 යි. දෙවැනි දියණිය මැන්චෙස්ටර්වලදී එයාගේ උපාධිය ගත්තේ. දේශපාලන හා ආර්ථික විද්‍යා අංශයෙන්. එයාගේ වයස 25 යි. ඇය දැන් ජෝන් කීල්ස් සමාගමේ සේවය කරනවා.  


• බිරිඳ සහ දූලා දෙදෙනාගෙ නම් ගැනත් සඳහන් කරමු නේද?  


බිරිඳගෙ නම ජුලියා ඈන් ද මෙල්. ලොකු දුව ස්ටෙෆනි ක්‍රිස්ටිනා. දෙවැනි දියණියගෙ නම ඩැනියෙලා ෂැනන්.

  
• ක්‍රිකට් වලින් සමුගත් පසුව ඔබ මොනවගේ රාජකාරිවලද නියැලුනේ.  


ක්‍රිකට්වලින් සමුගත් පසුව ඇඟලුම් ක්ෂේත්‍රයේ වසර 12 ක් විතර කටයුතු කළා. මුලින් මලික් සමරවික්‍රම මහතා සමගත් ඉන්පසුව මගේ යාළුවෝ දෙදෙනෙක් සමග ෆැක්ටරි එකක් කළා. පසුව 2006 දී ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති වෙලා වසර දෙකහමාරක් විතර කටයුතු කළා.  


හැබැයි මේ සියල්ල අතරේ මගේ කැමැත්ත තිබුණෙ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් යමක් කිරීමටයි. ඒ නිසා තමයි 1997 විතර තේරීම් කමිටුවට එක්වුණේ. එදා ඉඳලා දීර්ඝ කාලයක් ඒ කටයුත්තේ නිරත වුණා. පුහුණුකරුවකු ලෙස කටයුතු කළේ නම් මට ලොකු මුදලක් හොයන්න තිබුණා. ඒත් මුදල් නැතත් තේරීම් කමිටුවේ හිටියෙ රටට හරි දෙයක් කරන්න ඕනෑ වූ නිසයි. ඒත් විවේචන එද්දි අැයි ඔයා නිකං බැනුම් අහන්නෙ කියලා නෝනා මට කිව්වා. 

 
මම කරන්නෙ හරි දේ නම් ඇයි ඒවා ගණන් ගන්නෙ කියලා හිත හදාගෙන බොහොම ගෞරවයෙන් ඒ කටයුත්ත කළා. අද මම තේරීම් කමිටුවේ සභාපති වගේම ශ්‍රී ලංකා කණ්‍ඩායමේ කළමනාකරු ලෙස සේවය ලබා දෙන්නෙ බොහොම කැමැත්තෙන් රටට ආදරයෙන්.  


• ඒ ආදරය එක්ක අපි අතීත මතකයන් අතරට යමු.  


මුලින්ම නම් මට කවදාවත් අමතක කරන්න බැරි අපට ටෙස්ට් තත්ත්වය ලැබුණු බවට ආරංචිය ලැබුණ මොහොතයි. එදා අපි හිටියෙ යොර්ක්ෂයර්වල. එ් සතුට සැමරුව හැටි අදත් මතකයි. මැච් එකක් ඉවර වුණාම අද ක්‍රීඩකයින් විසිර යනවා. ඒත් ඉස්සර එහෙම නැහැ. තරගයෙන් පසුව අපි බොහෝ දේ කතා කරන්න එකතු වුණේ එකම ගෙදරක පිරිසක් වගෙයි.  


ඒ හැරත් ඉස්සර අපි ක්‍රීඩා කළේ වෘත්තීය ක්‍රීඩකයින් ලෙස. මුදල් ලබන අය ලෙස නෙවෙයිනෙ. අද ක්‍රිකට් ගහන ළමයි තරගයක් ඉවර වූ විගස එයාගෙ කාමරයට යනවා. එක්කෝ ෆෝන් එකේ, එක්කෝ ලැප් එකේ. එදා වගේ නෙවෙයි. අද හරි වෙනස්. එදා අපි ඔක්කෝමලා එකවගේ යාළුවෝ. අපි අපට දුරස් වුණේ නැහැ.   
ඒ වගේම එදා මතකයන් අතරින් ප්‍රථම ටෙස්ට් තරගයේදී ප්‍රථම විකට්ටුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ගත්තෙත් මම. ඒ මොහොතත් සදානුස්මරණීයයි. ඒ වාසනාව මට එදා ලැබීම සතුටක්. ලංකාව වෙනුවෙන් ටෙස්ට් ඉතිහාසයේ ප්‍රථම පන්දුව යැවීමට ලැබීමත් මා ලැබූ භාග්‍යයක්. ජෙෆ්කුක් ගෙ කඩුල්ල එදා ප්‍රථමයෙන් දවා ගත්තෙ. කැච් එක ගත්තෙ ලලිත් කළුපෙරුම.  


ලංකාව වෙනුවෙන් ප්‍රථම ටෙස්ට් සහ එක්දින කඩුලු 50 ගැනීමත් ලොකු සතුටක්. සල්ලි නොලැබුණාට අපි එදා ඉතාම කැපවීමෙන් ක්‍රීඩා කළේ. ශ්‍රී ලංකාවට තරග නැති දිනවල අපි ක්ලබ් ක්‍රිකට් ගැහුවා. නැත්නම් සේවය කළ ආයතනයට ක්‍රිකට් ගැහුවා.  


එදා අපි ක්‍රිකට් ගැහුවෙ වැඩට යන ගමන්. මම වැඩ කළේ මහරාජා ආයතනයේ. සුපුරුදු විදිහට වැඩ කරලා ක්‍රිකට් ගහන්න මහරාජා ආයතනය අපට ලබා දුන්නෙ සුවිශාල දායකත්වයක්. මෙරට ක්‍රිකට් ප්‍රවර්ධනය කරන්න මහරාජා ආයතනය සහ රාජා මහේන්ද්‍රන් මහතා ලබා දුන් දායකත්වයත් හරිම සුවිශේෂයි.  


ශ්‍රී ලංකාවේ ක්‍රිකට් උඩට ගෙනෙන්නට විශේෂිත මෙහෙවරක් කළ මහත්මයෙක් තමයි රාජා මහේන්ද්‍රන් මහතා. ගාමිණී දිසානායක මහතා එක්ක එකතුවෙලා අපට ටෙස්ට් වරම් ලබා දෙන්න එතුමත් හවුල් වුණා.  

 

පාකිස්ථානු අගමැති සමග මිතුදමේ බැඳීම

 


ඒ වගේම එදා ක්ලබ් මැච් වේවා ඕනෑම තරගයක් නරඹන්න සෙනග දහස් ගණනක් ආවා. අද වගේ නෙවෙයි. මිනිස්සු හරියට ක්‍රිකට්වලට ආදරය කළා. අද තාක්ෂණය දියුණු වෙලා සියලු දේ ටී.වී. එකෙන් නරඹන තත්ත්වයට පත්වෙලා. කොහොම වුණත් ඉස්සර ක්‍රිකට් ගහපු අතීතය හරිම සුන්දරයි. එච්චර ක්‍රීඩා සමාජ තිබුණෙත් නැහැ. ඒත් තිබුණු ඒවා හරිම ජනප්‍රිය වුණා. ලොකු ප්‍රේක්ෂකාගාරයක් ඒවාට තිබුණා. අපට හොඳ යාළු මිත්‍රයින් පිරිසකුත් හිටියා. එදා මහරාජා එකට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් බොහොමයක් ශ්‍රී ලංකා පිල නියෝජනය කළ ක්‍රීඩකයින්. දුලිප්, මම, සිදත් වැඩ කරන ආයතනයට වගේම ශ්‍රී ලංකා කණ්ඩායම සහ SSC එකටත් ක්‍රීඩා කළා. ඉස්සර අපට හරිම ලොකු සැහැල්ලුවක් තිබුණෙ. අතීතය ඇත්තෙන්ම සොඳුරුයි මිහිරියි.  


• එදා හොඳම යාළුවො වුණේ කවුද?  


ඔක්කෝමලා හරිම එකමුතුයි. හැබැයි ඒ අතරින් සිදත් තමයි මගේ හොඳම යාළුවා වුණේ. සංචාරවලට ගියාම එක රූම් එකට වැටුණෙත් අපි දෙන්නා.  


• එදා ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ තරග අතර විශේෂිතම මතකයක් රැඳි තරගය මොකක්ද?  


ඉන්දියාව එක්ක ප්‍රථම ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කළ තරගාවලිය සදා අමරණීයයි. එම තරගාවලිය ජයග්‍රහණය කළේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිවයි.  


ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබා තෙවසරක් යාමට මත්තෙන් ලද ජයග්‍රහණයක් නිසා. එය සුවිශේෂී වුණා. එම තරගාවලියේදී තෙවැනි ටෙස්ට් තරගය පැවැත්වුණේ අස්ගිරියේදී. පිතිකරුවකු ලෙසත් තරගය ජය පරාජයෙන් තොරව බේරා ගන්න ක්‍රියාත්මක වීම තවත් සොඳුරු මතකයක්.  


• අතීතයේ එක් අවස්ථාවක එංගලන්තයේ කළ සංචාරයේදී පිතිකරුවකු ලෙස ඔබ එල්ල කළ පහරක් නිසා ක්‍රීඩා ගාරයේ වීදුරු බිඳී ගිය තරගය ගැන මතකය මොන වගේද?  


එදා ග්ලොස්ටර්ෂයර් සමග තරගයේදී ඒ සිදුවීම වුණේ. ඕස්ට්‍රේලියානු පන්දු යවන්නකු වූ මයික් විට්නි සහ ඇලන් විල්කින්ස් පන්දු යවමින් සිටියේ. මමයි ඩී.එස්. ද සිල්වයි හොඳට බැට් කළා. අපි පරදින්න ගිය මැච් එක ඒ නිසා බේරුණා.  


බ්‍රිස්ටල් ක්‍රීඩාංගණයේ බාර් එකේ වීදුරුව බිඳෙන්න එල්ල කළ හයේ පහර මට තවම මතකයි. අද ඇලන් විල්කින් විස්තර විචාරකයෙක්. එයා හමුවුණාම එදා මම ගැසූ ඒ හයේ පහර ගැන අදත් එයා සිහිපත් කරනවා.  


• ඒ විදියට ජාත්‍යන්තර පිටියේ සිටි ක්‍රීඩකයින් අතරින් එදා ඔබගෙ මිතුරන් වුණ අය කවුද?  


නවසීලන්තයෙ මාටින් ක්‍රෝ, ජෙෆ් ක්‍රෝ සහ ඉන්දීය ක්‍රීඩකයින් බොහෝමයක් හොඳ මිත්‍රයින්. රවි ශාස්ත්‍රි, ශ්‍රීකාන්ත්, ගවස්කාර්, කපිල්, අමරනාත් එහෙම හොඳ මිතුරන්.  
ඒ වගේම පාකිස්තාන් කණ්ඩායමෙත් හොඳ මිතුරන් හිටියා. ඉම්රාන් ඛාන් මගේ හොඳ මිත්‍රයෙක්. ගිය වතාවෙ පාකිස්තානයේ සංචාරයට ගිහින් සිටියදී එයාව හමුවන්න ඕනෑකම තිබුණා. අද පාකිස්තානයේ අගමැති එයානෙ. ඒයාට ආරංචිය ගිහින්, අපට ආරක්ෂාව එක්ක එයාගෙම රථයක් එවා තිබුණා. මමයි, රුමේෂ් රත්නායකයි,  හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලකයි අපි තුන්දෙනා තමයි ගියේ. අපිව හරි ඉහළින් පිළිඅරගෙන ඒ වෙලාවෙ එයාට තිබුණු වැඩ ඔක්කොම පැත්තකට දාලා අපි එක්ක අතීත තොරතුරු කතා බහ කරමින් එයා හරියට සතුටු වුණා.  


එයාට කොච්චර සතුටුද කිව්වොත් පාකිස්තානයට ණය දෙන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇවිත් හිටපු දූතයින් හමුවීම පවා ප්‍රමාද වෙලා තිබුණෙ.  


‘ඔයා පාකිස්තානයේ දූෂණය නැති කරන්න කරන සේවය අපි හරි අගය කරනවා. අපි ඔයාගේ සේවය අගය කරනවා’ කියලා අපි අගමැති ඉම්රාන්ට කිව්වා.  


‘මට ජීවිත තර්ජන තියෙනවා. ඒත් ඒවා ගණන් ගන්නෙ නැහැ. ඒවා ඔළුවට අරගෙන දේශපාලනය කරන්නත් බැහැ’ කියලා අගමැති ඉම්රාන් අපට කිව්වා. අගමැති ඉම්රාන් මාව දුටු විගස පිළිගත්තෙ ඉතා සෙනෙහසින්. අපේ ඒ මිත්‍රත්වය අදටත් තිබීම ඇත්තටම ලොකු සතුටක්.  

 

පිතිහරඹයේ ද දක්ෂයෙක් විය

 


• අසන්ත ඔබගේ විවේකය ගෙවෙන්නෙ මොන විදියටද? අපි ඒ ගැනත් කියමු.  


මම කිව්වනෙ මම බ්‍රිජ් ක්‍රීඩාව කරනවා කියලා. ඒක මගේ විවේකයයි. අමතරව ක්‍රිකට් තරග නරඹනවා. ඒ වගේම ජිම් එකේ ව්‍යායාම්වලට වැඩිපුර කාලයක් ගත කරනවා. හවසට ඇවිදීමත් මගේ විනෝදාංශයක්. යාළුවෝ කට්ටියක් එක්ක ඇවිදීම කරනවා. බිරිඳ සහ දෙවැනි දියණිය එක්ක කාලය ගත කිරීමටත් වෙලාවක් යොදා ගන්නවා. අපේ අම්මා වගේම බිරිඳගෙ අම්මත් ඉන්නවා. අපි ඔක්කොම සතුටින් ජීවිතය ගෙවනවා.   


මගේ ජීවිතය දිහා ආපසු හැරී බලද්දී දුක්වීමට කිසිම ​හේතුවක් මට නැති තරම්. කාටහරි උදව් කරන්න පුළුවන් නම් සහ මට තවත් කෙනෙක්ට යමක් දෙන්න පුළුවන් නම් මම ජීවිතයේ ලබන සතුට එයයි.  


• ඉස්සර වගේම තවමත් තිබෙන තරුණකමේ රහස මොකක්ද?  


ජීවිතය පීඩනයකින් තොරව ජීවත්වන විට තරුණකම පවතීවි. මට ඒ වගේ ජීවිතයක් ලැබුණා. ඒ එක්කම ව්‍යායාම් සහ ආහාර ගැනත් මම උනන්දු වෙනවා. එදා කීඩා කරද්දි මගේ බර කිලෝ 75 යි. අද මෙච්චර කල් ගිහිල්ලත් මගේ බර කිලෝ 79 යි. අපි අපිව හරියට බලා ගන්නවා නම් ඒ විදියට ඉන්න පුළුවනි. තවම මට හොඳට දුවන්න පුළුවන්. කිලෝ මීටර් පහක් විතර දුවන්න තරම් හැකියාවක් තවම තියෙනවා. අසන්ත ද මැල් කියන්නෙ බොහොම සරල සාමාන්‍ය කෙනෙක්.

 

 

පිළිසඳර
සඳුන් ගමගේ