පහරදී පාගා මරා දැමූ දරු පැටියකුගේ කතාව


මළවුන්ගේ   අනාවරණ

 

ඇඳේ නිදාගෙන සිටි දරුවා සිහිසුන්ව ඇතැයි කාන්තාවක් සිය තෙහැවිරිදි දරුවා ද දෑතින් ඔසවාගෙන රෝහලට පැමිණියේ හඬා වැටෙමිනි. ‘දරුවාට මොනවා වෙලාද දන්නේ නැහැ. එයා කතා කරන්නේ නැහැ. ඇස් අරින්නේ, හෙලවෙන්නේ මොකක්වත් නැහැ. අනේ දොස්තර මහත්තයෝ මගේ දරුවා බේරලා දෙන්න’ යැයි ඇය වෛද්‍යවරුන්ට ඇවිටිලි කළාය. එහෙත් දරුවා රෝහලට ගෙන එන විටත් මියගොස් සිටි බව දරුවා පරීක්ෂා කළ වෛද්‍යවරුන්ට වැටහිණ.
 
දෙව්මිණ පුංචි පුතුට සිදුවූයේ කුමක්ද? ඔහුගේ මව තුෂාරි පවසන පරිදි කතාව මෙසේය. 


තුෂාරි සිය දරුවා නහවා කිරි බෝතලයක්ද හදා දී ඔහුව නිදිකරවූවාය. දරුවා නිදි කරවු ඇය කුස්සියට ගියේ රාත‍්‍රී කෑමට යමක් පිළියෙල කිරීමටය. තුෂාරි ජීවත් වන්නේ කුලියට ඇඳුම් මැසීමෙනි. දරුවා නිදාගන්නා වෙලාව තමයි ඇයට ගෙදර වැඩක් කරගන්න ඉඩක් ලැබෙන්නේ. ඒ නිසා හනි හනික ගෙදර වැඩ ටික අවසන් කළ තුෂාරි කිසිම හාවක් හූවක් නැතිව අද මොකද මේ නිදන්නේ කියා සිතමින් පැය දෙකකට පමණ පසු දරුවා ගැන විපරම් කර බැලීමට කාමරයට එබුණාය. 


දරුවා නිසොල්මන්ය. ඔහු හුස්ම ගන්නවාද නැද්ද? ඇයට නිශ්චිත කරගත නොහැකි විය. දරුවාට කුමක් වූයේදැයි සිතා ගත නොහැකිව කලබලයට පත් තුෂාරි දරුවා ඔසවා ගත්තාය. දරුවාගේ දෑත් සීතලව ඇති නමුත් පපුවේ උණුසුම පවතී. අනේ දරුවාට කරදරයක් ද? මේ මොකද වෙන්නේ? තුෂාරි හඬාවැටෙන්නට වුවාය. අසල්වැසි කාන්තාවකගේ සහායෙන් ත‍්‍රී රෝද රථයක් සොයාගත් ඇය වහාම දරුවා රෝහලට රැගෙන ආවාය. 


එහෙත් ඒ වන විටත් පුංචි දෙව්මිණ සිය මවත් සමග මුළු ලෝකයම හැරගොස් සිටියේය. ඒ බව තුෂාරිට පැහැදිලි කරන්නට වෛද්‍යවරුන්ට විශාල වෙහෙසක් ගන්නට සිදුවිය. පුංචි දෙව්මිණට කිසිදු රෝගයක් නොතිබුණ බවද තුෂාරි පවසයි. එසේ නම් දරුවා මිය ගියේ කෙසේද? මේ ප‍්‍රහේලිකාව විසඳා ගැනීමට නම් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකළ යුතුව ඇත. රෝහල් පාලනාධිකාරිය එය ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී පී.බී. දසනායක මහතාට බාර කළේය. වෛද්‍ය ප‍්‍රසන්න සිය කණ්ඩායමද සමග රාජකාරිය ඇරඹීය. 


මතුපිටින් පරීක්ෂා කළ වෛද්‍ය ප‍්‍රසන්න ඇතුළු කණ්ඩායමට දරුවාගේ සිරුරේ තැනින් තැන පවතින බහු විධ තුවාල දැක ගත හැකිවිය. ඒ අතර අලුත් තුවාල මෙන්ම පැරණි තුවාලද විය. ඇතැම් තුවාල දරුවා බිම වැටීමෙන් හෝ යමක පය ඇතිල්ලි සීරිමෙන් ඇති වූ ඒවා යැයි සැක කළ හැකි නමුත් මුහුණේ හා බෙල්ලේ, පපුව හා බඩ පෙදෙසේ පවතින තුවාල කෙසේ ඇති වූ ඒවා විය හැකිදැයි ඔවුන්ට සැකයක් ඇති විය. දෙපාවල ද කෝටුවකින් කළ පහරදීම් නිසා ඇතිවන ආකාරයේ සම මතුපිට පැලීමෙන් ඇති වූ තුවාල විය. 


සැකය එලෙසම තබාගත් වෛද්‍යවරු මුලින්ම සම්පූර්ණ සිරුරේම කොටසින් කොටස එක්ස්රේ පිටපත් ලබාගත්හ. එහිදී සිරුර පුරා සෑම තැනකම අභ්‍යන්තරව ද පවතින බහුවිධ තුවාල දැකිය හැකි විය. පාදයේ දණහිස ආසන්නයේ අස්ථි භග්නයක්් ද සටහන්ව තිබේ. සාමාන්‍යයෙන් කකුලේ ඉදිරියෙන් හෝ පටුපසින් යමක් වැදුණේ නම් අස්ථි භග්නය සිදුවිය යුත්තේ තිරස් අතටය. එහෙත් මේ අස්ථි භග්නය සිදුව ඇත්තේ අස්ථියේ සිරස් අතට බරව පැත්තකට ඇලවය. එවැන්නක් සිදුවිය හැක්කේ කකුල කිසියම් දෙයක සිරවී ඇඹරීමකට ලක්වීමෙන් හෝ කිසියම් පුද්ගලයකු විසින් පාදය අඹරවා ඇල්ලීමෙනි. 


ඒ අනුව මෙය නින්දේදී නිකම්ම සිදුවු මරණයක් විය නොහැකි බවට අදහසක් ඇති කර ගත් වෛද්‍යවරු සිරුර කපා පරීක්ෂා කිරීම ආරම්භ කළහ. 


මුලින්ම හිස් කබල කපා පරීක්ෂා කිරීම සිදු කළහ. මතුපිට සම ඉවත් කර පරීක්ෂා කළ වෛද්‍යවරුන්ට සම ඇතුළත පැවති බහුවිධ තුවාල දැකිය හැකි විය. එයින් ඇතැම් ඒවා පරණ තුවාල වූ අතර අලුත් තුවාල කීපයක් ද විය. ඇතැම් තැන්වල සම ඇතුළට නෙරුම් දක්නට ඇත. දරුවකුගේ හිස වැඩිහිටියකුට වඩා මොළොක්ය. මේ නෙරුම් සහ තුවාල සිදුවී ඇති ආකාරය අනුව ඒවා යම් කිසි දෙයකින් හිසට කළ පහරදීමක් නිසා ඇතිවී යැයි සැක කළ හැකිය. තුවාල සහිත හිසේ ස්ථාන කීපයක් කොටස් අන්වීක්ෂීය පරීක්ෂාවට ලක් කෙරිණ. එහිදි මෙම තුවාල තියුණු ආයුධයකින් නොව කිසියම් මොට භාණ්ඩයකින් පහරදීමෙන් ඇතිවු තැලූම් සහිත තුවාල බව පැහැදිලි විය. මේ අතර අර්ධ රවුම් හැඩයට ඇති වු නෙරුම් ද දැකිය හැකිවිය. ඒ හැඩය අනුව මේ තුවාල කිරි බෝතලයෙන් හෝ වෙනත් එවැනි දෙයකින් කළ පහරදීමකින් ඇතිවු ඒවා යැයි සැකයක් ඇති විය. 


තවදුරටත් සිරුර කපා පරීක්ෂා කිරීමේදී පෙනහලූ තුවාල වි තැලීමට ලක්ව ඇති බව පෙනෙන්නට තිබිණ. ඇට සැකිලි පද්ධතියට ඇතුළතින් ආරක්ෂිතව පවතින පෙනහලූවලට මෙවැනි තුවාල සිදුවීමට නම් පිටතින් තද පීඩනයක් එල්ල විය යුතුය. එසේම අක්මාවේද පිපිරුම් තුවාලයක් දක්නට ලැබුණ අතර උදරයේ ඉන්ද්‍රිය කොටස්වලට පිටතින් රුධිරය එක්වි කැටි ගැසී තිබෙනු දැකිය හැකි විය. අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි වීමෙන් පිටවන රුධිරය මෙසේ උදර කුහරයේ එකතු වන්නට ඇත. මේ සියලු තුවාල එක්ව ගෙන හොඳින් අධ්‍යයනය කිරීමේදී දරුවා පෑගීමකට ලක්වී හෝ කිසියම් බර යමකට තදවී හෝ ඇති බව සැක කළ හැකි විය. දෙපාවලද බොහෝ තැන්වල මාංශ පේශී තැලීමට ලක්වී ඇති බව අන්වීක්ෂීය පරීක්ෂණ මගින් තහවුරු විය. 


මේ අනුව දරුවාගේ මරණය සිදුව තිබෙන්නේ පෙනහලුවලට හා ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට බරපතළ ලෙස හානිවීමෙන් හා ශරීරයේ අභ්‍යන්තර රුධිර වහනයෙන් බවට නිගමනය විය. 


එහෙත් මෙය සිදුවුයේ කෙසේද යන්න සෙවීම පොලිසියේ රාජකාරිය වේ. අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තා අනුව පොලිසිය වහාම දරුවාගේ මව තුෂාරිව අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීම ඇරඹීය. 


එහිදී හෙළිදරව්වුණේ එම දරු පැටියා මවගේ පහරදීම් නිසා මියගොස් ඇති බවය. 


එම ප‍්‍රශ්න කිරීමේදී තුෂාරි හා තුෂාරිගේ මව ලීලාවතී මහත්මිය ලබාදුන් පිළිතුරු අනුව තුෂාරි බාල වියේදීම එනම් අවුරුදු දහසයේදීම කිසිවෙකුගේ අතවරයට ලක්ව තිබේ. දෙමාපියන්ගේ නොදැනුම්වත්කම නිසා ඒ බව දැනගන්නේ ඇයට දරුවෙක් ලැබෙන්නට සිටින බවට ලකුණු පහළවීමෙන් පසුවය. ඒ වන විට වෙනත් විකල්පයක් නැතැයි සිතු දෙමාපියෝ දරුවා බිහිවන්නට ඉඩ හැරියහ. එහෙත් ඇයට උපන්නේ මළ දරුවෙකි. ඉන්පසු තුෂාරි යම් මානසික ආබාධයකට ලක්වුවාය. විටක හොඳ සිහි කල්පනාවෙන් කටයුතු කරන ඇය තවත් විටෙක තමන් කරපු කියපු දෑ මතක නැතිවා සේ අවසිහියෙන් කටයුතු කළාය. 


මේ අතර ඇය ගමේ මැදිවියේ පුද්ගලයකු සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත්තාය. ඔහු විවාහකයෙකි. මේ සම්බන්ධයට දෙමාපියන් සේම එම පුද්ගලයාගේ බිරිඳ ද කෙතරම් විරුද්ධ වුවත් ඇය රහසිගතව සම්බන්ධතාව පවත්වාගෙන ගියාය. ඇයව කැන්දාගෙන ගමෙන් පිට පදිංචියට යාමට ද අනියම් පෙම පවත්වාගෙන යන පුද්ගලයා කටයුතු කළේය. මේ සම්බන්ධතාවද කෙළවර වන්නේ ඇයගේ කුසට දරුවෙක් පිළිසිඳුන පසුවය. මාස නවයක ඇවෑමෙන් තුෂාරි නැවතත් දරුවකු බිහිකළාය. ඉන්පසු මේ මැදිවියේ විවාහක පෙම්වතා තුෂාරි සමග සිටියේ මාස කීපයක් පමණි. ඉන් පසු තුෂාරිට යන එන මං නැතිවිය. දරුවා බලාකියා ගන්නට හැකියාවක් නැත. තුෂාරිගේ පියා ඇයව නැවත ගෙදරට ගත්තේ නැත. මව ඇගේ අඩුපාඩු සොයා බලා හොරෙන් උදව් කළාය. ටික කලක් යන විට ඇඳුම් මසන තැනක රැකියාවට ගියාය. පසුව කුලියට ඇඳුම් මසන්නට පටන් ගත්තේ මව විසින් ලබාදුන් මැෂිමක් භාවිත කරමිනි. 


මේ අතර ඇයට තවත් ප්‍රේම සම්බන්ධතාවක් ඇති විය. මේ සම්බන්ධතාව පවත්වාගෙන යාමට දරුවා මහත් බාධාවක් විය. ඒ නිසා තුෂාරිට දරුවා වහකදුරු මෙන් විය. ඇගේ මානසික ආබාධය  ද තවමත් පෙර ලෙසම පවති. එය විටෙක උත්සන්න වේ. විශේෂයෙන්ම දරුවාගේ කටයුතුවලදී ඇය ඉතා ඉක්මනින් කිපේ. දරුවා දැකිමත් ඇයට මහත් හිසරදයකි. වේදනාවකි. තෙහැවිරිදි දරුවා දමා යන්නට ද කෙනෙක් නැති නිසා යන යන තැන රැගෙන යන්නට තුෂාරිට සිදුව තිබිණ. දරුවාට මේ කිසිවක් තේරෙන්නේ නැත. ඔහු තුෂාරිට අවශ්‍ය වෙලාවට කෑම කන්න හෝ කිරිබොන්න සූදානම් නැත. එලෙස කිරිනොබී දරුවා මුරණ්ඩුවන අවස්ථාවල තුෂාරි කිරි බෝතලයෙන් දරුවාගේ හිසට පහර දුන්නාය. එසේම අතේ පිඟාන තිබුණේ නම් එයින් ද පහරදීමට තුෂාරි පෙලඹුණාය. මේ ආකාරයට අතට අසුවන දේවල්වලින් දරුවාට පහරදීම ඇගේ සාමාන්‍ය ස්වභාවය වී ඇත. 
දරුවා මියගිය දිනයේ ද තුෂාරි පෙම්වතා හමුවීමට වෙලාවක් යොදාගෙන තිබිණ. දරුවාට කිරි පොවා නිදි කරවා යන්නට සූදානම් වුවත් දරුවා ඊට සුදානම් නැත. කේන්ති ගිය තුෂාරි කිරි බෝතලයෙන් සුපුරුදු පරිදි දරුවාට පහරක් එල්ල කළාය. දරුවා බියපත්ව අඬන්නට වූ පසු තවත් කෝපයට පත් තුෂාරි දරුවාගේ කකුලකින් ඇද එය අඹරවා කට වහපත් යැයි තර්ජනය කර ඇත. එයින්ද හැඬීම තව තවත් වැඩිවූ පසු දරුවා ඇඳෙන් බිමට ඇද දමා පෑගූ තුෂාරි එකවරම දරුවාගේ හැඬීම නැවතීම නිසා බියට පත්ව ඇත. පසුව දරුවා ඇඳ මත තැබූ තුෂාරි සිය ගමන  ද ගොස් ඉතා ඉක්මනින් ආපසු ආවාය. ඒ වන විට ද දරුවා හැල හොල්මනක් නැතිව නින්දේය. දරුවා අල්ලා බැලු විට දරුවා මියගොස් බව පෙනී ගියෙන් ඒ බව නොදන්නා සේ රෝහලට ඇතුළත් කළාය. 

 


(මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත ඒවා බව කරුණාවෙන් සලකන්න.) 


අධිකරණ වෛද්‍ය ප‍්‍රසන්න දසනායක මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සකසා තිබේ. 

 

 

 

 


සටහන - මුදිතා දයානන්ද