පව්කාරයන් නිසා අසරණ වූ අයගේ කඳුළ පිසලන්න ඔබත් එකතු ​ෙවන්න


තනි නොකර  රකිමු

 

 

පිහිටක් පතන්නයි ආවේ සමිඳුනි ඔබේ පාමුලට   
සිත් පිත් නැති රුදු මිනිසෙක් ආවේ දිවි උදුරා ගන්ට   
කිසිද‌ා නොසිඳෙන කඳුළකි උරුම කළේ ​මේ කටුවාපිටියට   
අනේ දෙවිඳුනි ​ෙනාපෙනුණේ ඇයි මේවා ඔබ නෙතට 


  
මේ දුක මේ වේදනාව දෙවියන් වහන්සේට නොපෙනු​ණේ ඇය ද යන්න අප දන්නේ නැත. අප්‍රේල් 21 පාස්කු ඉරිදා කටුවාපිටියේ ඉහළට එක්වුණු සුදු කොඩි වැල් තවමත් නිසොල්මනේය.   


සෑම නිවසක් ඉදිරිපිටම සුදු කොඩියට යටින් නිසොල්මනේ බලා සිටින්නේ මරණ පෝස්ටරය පමණි. බොහෝ නිවෙස්වල කිසිවෙක් නොමැත. සමහර නිවෙස්වල එක සුදු කොඩියක්වත් නැත. ඒ ගෙදර ඔක්කොම මැරිලා. පෙට්ටියකට දාන්න තරම් දෙයක්වත් ඉතුරු වෙලා තිබුණේ නැහැ. කෑලි ටිකක් තමයි තිබුණේ. ගම් වැසියෙක් අප හා පැවසීය. කඳුළින් තෙත් වුණු දෑස් පිස දමමින් ඔහුට කිව හැකි වූයේ එපමණකි.   


නොමළ ගෙයකින් අබ මිටක් ගෙනෙන්නට කිව හොත් ගෙනෙන්ට මේ කටුවාපිටිය ගම තූළ එක් නිවසක්වත් නොමැත. මව්වරුන් පටචාරාවන් සේ දුවන්නේ තම දරුවන් මිහිදන් කළ සොහොන් පිටියටය.   


පියවරුන් ද එසේමය. සිය දරුවන් බිරිඳ මිහිදන් කළ සුසාන භූමිය ඒ තාත්තලාගේ සිතට සැනසුම දෙන නිවහන වී ඇත.   


මවත් පියාත් මෙලොව හැර යද්දී තනි වුණු දරුවන් ඥාති වැඩිහිටියන්ගේ සෙනෙහස මැද තවමත් කිසිවක් කරකියා ගැනීමට නොහැකිව පාර දෙස බලා සිටිති. ඒ තම මව හෝ පියා කොයි මොහොතක හෝ ඒ යැයි යටි සිතේ කැකෑරෙන සිතුවිල්ලෙනි.   


අලුත් අවුරුද්දට පත්තු කළ රතිඤ්ඤා හඬ බියකරු බෝම්බ හඬකට පෙරළුණේ ​ෙකසේ දැයි තවමත් ඔවුන්ට අදහා ගත නොහැකිය.   


තවමත් කටුවාපිටිය ගම ශෝකයෙන්, පාළුවෙන් ඇලළී ගොස්ය. කිසිදු මුහුණක සිනහවක් සතුටක් පෙනෙන මානයකවත් නැත. ඒ සිනහව තව බොහෝ ඈතය.   


දැන් සියල්ල සිදු වී හමාරය. නැවත ඔවුන්ගේ ජීවිත නගා සිටුවීම පහසු නැත.   


පාස්කු ඉරිදා මංගල්‍යයට සිනහ මුවින් සතුටින් පල්ලියට ගිය හදවත් අද කැඩී බිඳී ගොසිනි. ​මේ මුහුණුවලට සැනසීමක් එකතු වෙන්නේ කවදා ද?   
පැතුම් සුනු විසුනු වූ බැතිමතුන්ගේ ජීවිතවලට ජීවය ශක්තිය දීමට පියතුමන්ලා හා කන්‍යා සොයුරියෝ වෙහෙසෙන අයුරු අප කටුවාපිටියේ කළ සංචාර​යේදී දැක ගන්නට ලැබිණ.   


සෙබස්තියන් මාවත, ජූඩ් මාවත, දකුණු කටුවාපිටිය, කදිරාන මේ ප්‍රදේශවල මරණයක් නොවුණු නිවසක් නැති තරම්ය. විස්තර කළ නොහැකි තරම් පාළුවෙන් ඇදුණ අපට මේ ලෝකේ තනි වුණු මවුපියන් දරුවන් කිහිප දෙනෙකු මුණ ගැසුණි. 

 
ඇය ශ්‍රියානි මාලා මහත්මියයි.   


කටුවපිටිය සෙබෙස්තියන් දේවස්ථානයේ සිදු වූ බෝම්බ පිපිරීමෙන් තම ආදරණීය දියණියන් දෙදෙනා අහිමි වූ මවකි.


“අපි ගොඩක් දුප්පත් මිනිස්සු. මගේ සැමියා වැඩ කරන්නේ ලී මෝලක. ආර්ථික අපහසුතා නිසා නැති වුණු දුවලා දෙන්නාව ළමා නිවාසෙකට දාලා තමයි ඉගැන්නුවේ. හැම නිවාඩුවකටම ගෙදර එක්ක එනවා.   


දෙවැනි දුව ​ෙලාකු ළමයෙක් වුණේ අප්‍රේල් 1 වැනිදා. ඒ නිසා දුවලා දෙන්නම මම ගෙදර එක්ක ආවා. පාස්කු මංගල්‍යයට යන්න ලොකු දරුවෝ දෙන්නා හරිම ආසාවෙන් ලෑස්ති වුණේ. නැති වුණ දරුවෝ දෙන්නට පස්සේ තව දුවෙක් ඉන්නවා. අනේ එදා අපි හතර දෙනාම වාඩි වෙලා හිටියේ එක බංකුවේ. බෝම්බේ පුපුරපු වෙලාවේ මම පිස්සුවෙන් වගේ මගේ දරුවෝ දෙන්නව සෙව්වා. චූටි දූ මගේ ළඟ හිටියේ. එයාට පුංචි පුංචි තුවාල තමයි තිබුණේ. අනිත් දුලා දෙන්නම ඒ මිනි ගො​ඩේ සොයා ගන්න බැරි වුණා. ඊට පස්සේ පොඩි දුවගේ මිනිය හම්බ වුණා. අනේ එයාගේ මූණ බලන්න බැහැ. ලොකු දුවගේ සිරුර හමු වුණේ දවස් 9කට පස්සේ. රාගම මෝචරියේ තිබිලා ලොකු දුවගේ සිරුරේ සීරිමක් වත් තිබුණේ නැහැ.   


අනේ මගේ සුරංගනාවියෝ දෙන්නා උන් ටික ටික ලොකු වෙද්දි මම හරි සතුටු වුණා. චූටි දූ අක්කලා කෝ අම්මේ? කියලා අහන කොට මට දෙන්න උත්තර නැහැ.   


අපි මේ ගෙදර ඉන්නේ කුලියට. ගෙදර ඉඩ නැති නිසා දරුවන්ගේ මරණ කටයුතු කළෙත් මල් ශාලාවක. පොඩි දුවගේ මරණ වැඩවලට නම් මුදල් ලැබුණා. ඒත් ලොකු දුවගේ කටයුතු කරන්න රුපියලක්වත් අපට ලැබුණේ නැහැ. අපට ගෙදරක් හදාගන්න උදව් කරන්න පුළුවන් නම් ලොකු පිනක්. මහත්තයා තවම රැකියාවට ගියේ නෑහැ. එයාට තවම හරියට වැඩක් කර ගන්න බැහැ.” 

 

 

ශ්‍රියානි මාලා

 


අන්තවාදී ම්ලේච්ඡයන්ගේ ත්‍රස්ත ප්‍රහාරයෙන් තම මව සහ පියා මිත්තණිය අහිමි වී මෙලොව තනි වුණු 19 හැවිරිදි කෙවින් ගුල්ඩින්   


“කවදාවත් අම්මයි තාත්තයි මම නැතුව කොහේවත් යන්නේ නැහැ. මොන අහේතුවකට ද මම දන්නේ නැහැ. එදා අම්මා කිව්වා ඔයා ඉස්සරින් දා රෑ ගියානේ. ඒ නිසා ගෙදර ඉන්න කියලා එදා මාව ගෙදර දාලා යන්න එයාලට හිත දුන්නේ කියලා මට හිතාගන්න බැහැ.  එදා ආච්චි අම්මාගේ උපන් දිනේ නිසා ගෙදර පාටියක් දාන්නයි හිටියේ.   


පල්ලියේ බෝම්බයක් පුපුරලා කියලා යාළුවෙක් කෝල් කරලා කිව්වාම මම හිනා වෙලා කිව්වා රතිඤ්ඤාවක් වෙන්න ඇති කියලා. අපේ ගෙදර ළඟ එදා ඇත්තටම අවුරුදු උත්සවයක් තිබුණා.   


ඊට පස්සේ අයියා කෙනෙක් කතා කරලා කිව්වා කලබල වෙන්න එපා. පල්ලියේ බෝම්බයක් පුපුරලා කියලා. මම පල්ලියට දිව්වා. ඒත් මට පල්ලිය ඇතුළට යන්න දුන්නේ නාහැ. ඊට පස්​සේ රෝහලට ගියා.


 අනේ මම පිස්සෙක් වගේ අම්මවයි, තාත්තවයි ​හෙව්වා. හැමෝගෙන්ම ඇහුවා මට කවුරුත් කිව්වේ නැහැ. හිතේ ආවේගයට හොස්පිටල්වල මිනි හෙව්වත් මට මිනි බලන්න බැරි වුණා. ආවේගයට ගියාට තාත්තා දැක්කම ඇඟට පණ නැති වෙලා ගියා.   


තාත්තා විතරයි අඳුරගන්න පුළුවන් වුණේ. අම්මයි ආච්චියි බලන්න බැරි වුණා. තුන් දෙනාවම ගෙදර ගෙනාවේ සීල් කරපු පෙට්ටි වලින්.   
අම්මයි තාත්තයි නැති ජීවිතයක් ගැන මට හිතාගන්නටවත් බෑ.


එහෙත් කට හඬ අවදි කළේය.


 “මම ඕලෙවල් කරලා පාඨමාලාවන් කිහිපයක් කළා. පවුලේ එකම දරුවා මං නිසා තාත්තා මට ජොබ් එකට යන්න කියලා බල කළේ නැහැ. උඹට මැරෙනකම් කන්න බොන්න දෙන්නම් ගෙදර හිටපං කියලා නිතර කිව්වා.    


අපට ලොකුවට සල්ලි තිබුණේ නැහැ .ඒත් මගේ තාත්තයි අම්මයි මාව එක දවසක්වත් බඩ ගින්නේ තියලා නැහැ. මට හැමදේම කරලා දුන්නේ අම්මා.   
දැනට මගේ ඥාතීන් ඇවිල්ලා ඉන්නවා. එත් එයාලත් තව ටික දවසකින් යනවා. මේ අසරණකම මට වවචනයෙන් කියන්න තේරෙන්නේ නැහැ. තනිකමට ටික ටික හුරු වෙනවා. හෙටක් ගැන හිතන්න මට තවම ශක්තියක් නැහැ. ටික ටික හිත හදාගන්නවා. ඒකට පල්ලියේ පියතුමන් ගොඩක් උදව් කරනවා. හිත හදාගන්න බැරිම වුණොත් මම ලංකාවෙන් යනවා. මට මේ මතකයන් එක්ක ඉන්න හරිම අමාරුයි.   

 

ලක්ෂාන් ඇන්තනි  ලයරා දියණිය සහ පුතු සමග

 


කටුවපිටිය දේවස්ථානයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් අහිමි වූ පුංචි පුතා සහ දැනට අාසිරි රෝහලේ ජීවිතයත් මරණයත් අතර සටන් කරන සිය ආදරණීය බිරිඳ ගැන දක්වන ලක්ෂාන් ඇන්තනි මහතා:   


මගේ බිරිඳගේ සුසුම්නාව ස්ථාන දෙකකින් කැඩිලා. සුව වුණත් එයාට ඉන්න වෙන්නේ ඇඳ මතමයි. අඩුම තරමේ රෝද පුටුවකටවත් ගන්න තමයි මගේ උත්සාහය. චූටිම පුතාට තවම අවුරුදු 2 යි. ලොකු දුවට පුතාට තවම අවුරුදු 2 යි. ලොකු දුවට අවුරුදු 9යි. චූටි පුතා කිරි ඉල්ලලා අඬනවා. අනේ ඉතින් මම මොනවා කරන්න ද? අම්මව අහන කොට දරු පැටව් දෙන්නාවත් අරගෙන එළියට බැහැලා ඇවිදින්න එක්ක යනවා. අමතක වෙන්න. පල්ලියෙන් අපේ හැම දෙයක්ම බලනවා.   


ජාතික රෝහලෙන් කිව්වේ 30 % වගේ හොඳ පැත්තට තියෙන්නේ. හිත හදා ගන්න කියලා. සල්ලි නැති නිසා ශල්‍යකර්ම කරන එක අත හැරලා ද‌ාලා තිබුණේ. ඒත් සුනිල් පෙරේරා වෛද්‍යතුමා දෙවි කෙනෙක් ඔහු රුපියලක්වත් නොගෙන ශල්‍යකර්මය කළා.   


ගෙදර තවම ළිපක් පත්තු වෙන්නේ නැහැ. බත් කටක් උගුරෙන් පහළට යන්නේ නැහැ. කාදිනල්තුමා නිසා ඉවසාගෙන ඉන්නවා නැත්නම් දරුවෝ දෙන්නා නැත්නම් මම මරාගෙන මැරෙනවා. දැන් මට කිසිම දේකින් වැඩක් නැහැ. කාටද දැන් මම සල්ලි හම්බ කරන්නේ. 

 
මේක බෞද්ධයන්ගේ රට මම ක​තෝලික වුණත් මගේ නෝනව බේරලා දෙන්න කියලා බුදු හාමුදුරුවෝ ඉස්සරහට ගිහිල්ලා වැඳ වැටුණා. දරුවෝ දෙන්නා නැත්නම් ඇයව දෙවියන් ළඟට අඬ ගහගන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මට බලා ඉන්න බැහැ. එයා දුක් විඳිනවා. ඇඳේ ඉන්න හරි,  දරු පැටවුන්ට අම්මෙක් ඕන.   


​මෙම සිද්ධියෙන් බරපතළම තත්ත්ව​යේ ඉන්නේ මගේ බිරිඳ ඇයට සිහිය නැහැ. දැනට ආසිරි රෝහ​ෙල් සියලුම වියදම් කාදිනල් තුමා හරහා දරනවා.   
දේශපාලනයේ වාසි කතා බොරුවට ඇවිත් මිනිය ගේන්න ඉස්සෙල්ලා පල්ලියට එන්න කිව්වා. එක දේශපාලනඥයෙක් කිව්වා ලක්ෂ 10 ක් දෙනවා කියලා. මගේ බිරිඳගේ නැති වෙච්ච දරුවාගේ ජීවිතේ ලක්ෂ 10 කට ගන්න පුළුවන් ද?   

 

ලක්ෂාන් ඇන්තනිගේ පුතු මිය ගිය ආච්චිට දුන් ලියුම

 


පල්ලි වහලා හමුදාව මුරකළාට වැඩක් නෑ. මේ පාලනය වෙනස් වෙන්න ඕනෑ. මිනිස්සු හිතන හැටියි. වෙනස් වෙන්න ඕන.   


මගේ නැති වුණු පුතා ඉගෙන ගන්න හරිම දක්ෂයි. පුතා නැති වෙන්න දවස් දෙකකට කලින් ආච්චි අම්මාට අමුතු ලියුමක් ලියලා දීලා තිබුණා.   


අච්චි අම්මා ඔයා පරිස්සම් වෙන්න කියලා. කවදාවත් එහෙම ලියලා දීලා නැහැ. මගේ පුතා හරිම අමුතු අදහස් දරපු අහිංසක දරු පැටියෙක්.   


අනතුරට මුහුණ දුන් ඇත්නති පවුලේ ලයාරා ඇන්තනි දියණිය හැඬු කඳුළින් මෙසේ පැවසුවාය.   


ඒ සිද්ධිය මැවි මැවී පේනවා හිත එක ළඟ කර ගන්න බැහැ.   


අායේ නම් මම පල්ලි යන්නේ නෑ. මගේ මල්ලි හිටියේ බංකුවට යට. ලේ ගොඩක් තිබුණා. අම්මා වැටිලා උන්න හැටි මට නිතරම මතක් වෙනවා. මට ඉස්කෝලේ යන්න හිතෙන්නේ නැහැ.   


අම්මා තවම වචනයක් වත් කතා කරන්නෙත් නැහැ.   


අම්මා ඒ විදියට බට දාලා ඉන්නවා මට බලා ඉන්න බැහැ.   

 

ශ්‍රියානි මාලාගේ දරුවන්

 


තම දියණීයන් ආදරණීය බිරිඳත් අහිමි වූ දුක්ඛ වේදනාව දරා ගැනීමට උත්සාහ කරන ශිරාන් ඇන්ටන් මහතා:   


අපි තුන් දෙනාම හරිම ආදරෙන් හිටියේ. මං නැතුව කවදාවත් ඒ දෙන්නා තනියම ඉඳලා නැහැ.   


අපි අලුතෙන් ගෙදර හදාගෙන පදිංචි වෙලා අවුරුදු දෙකයි හිටියේ. මට තවම හිතා ගන්න බැහැ මොනවද මම කරන්නේ කියලා. එදා සිද්ධීයේදී මගේ දත් කැඩිලා තිබුණා. යකඩ බෝල ශල්‍යකර්මයක් කරලා අයින් කළා. දැන්නම් තුවාල සුවයි. එදා බිරිඳගේ පපුවේ රස්නේ තිබුණා   


මම අත් දෙකෙන් ඉස්සුවම කටින් ලේ ආවා. එයාට පණ තිබුණා. ඊට පොඩ්ඩක් එහා දුව වැටිලා හිටියා. නෝනව ඉස්පිරිතාලේට ගෙනිච්චම දොස්තර කිව්වා බේරගන්න බැරි වුණා කියලා. මම කෑ ගහලා කිව්වා අනේ මටත් මැරෙන්න බෙහෙතක් විඳින්න කියලා. 

 
වෙනදා දූ පල්ලියේ කිසිම දේකට බැහැ කියන්නේ නැහැ. ඒ එදා වීදි පෙරහරේ යන්න බැහැ කිව්වා. පූජාව ඉවර වෙලා තාත්තේ ඉක්මනට ගෙදර යමු කිව්වා.   


අනේ මට දැන් මොනවා ලැබුණත් වැඩක් නැහැ. මට කොහේ හරි යන්න හිතෙනවා.   


ඒත් ඒ දෙන්නගේ සුවඳ මේ ගෙදර තනි කරලා යන්න දුකයි. ඒ දෙන්නා නැතුව මට කාම​ෙර්ට යන්න බැහැ.   


එදා ඉඳන් නිදියන්​නේ පුටුව උඩ. දරුවගේ පොත් පත් දකින කොටත් පිච්චෙනවා වගෙයි.   


දෙවියන්ගෙන් මම ඉල්ලන්නේ ඉක්මනට මාවත් එයාලා ළඟට ගන්න කියලා.   

 


   මතු සම්බන්ධයි...

 


සටහන නදිශා අතුකෝරළ   
ඡායාරූප  චානුක කුලසේකර   

 


මනස යථා තත්ත්වයට පත්​ෙවන තුරු උපදේශනය ලබා දෙනවා

ම​නෝ උපදේශන සේවාව සම්බන්ධීකාරක පියතුමා ක්ලෝඩ් නෝනිස් පියතුමාගෙන් විමසීමක් ද කළෙමු.   


උපදේශන කටයුතු සඳහා පවුලේ සේවා වෘත්තිය උපදේශකවරු මානසික වෛද්‍යවරු මනෝ චිකිත්සාව සම්බන්ධයෙන් වෘත්තීය දැනුමක් තියෙන අප එකතු කරගෙන ඉන්නවා.   


ඔවුන්ගේ මනස යථා තත්ත්වයට පත් ​ෙවන තෙක් මෙය දීර්ඝ කාලීනව අපි සිදු කරනවා.   


අම්මලා තාත්තලා නැති දරුවන් යම් ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයට අපි මැදිහත්වෙලා අධ්‍යාපනය ආර්ථීක මානසිකත්ව පිළිබඳ ​සොයා බලන්න කැප වෙලා ඉන්නවා. සමහර දරුවෝ පාසල් යන්න බැහැ කියනවා. පුංචි සද්දෙටත් බයයි, කළුවරට බයයි. ගොඩක් දරුවෝ කළුවර වැටීගෙන එද්දී හරිම බයයි. නිදා ගන්නේ නැහැ. කල්පනා කරනවා. මේ වගේ මානසික ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ දරුවන්ට බෙහෙත් ටික කැම ටික අවශ්‍ය සියලුම දේ අපි සොයා බලනවා. දුක නැති වෙන්න අපි  ගිහින් නිතර එයාලා එක්ක කතා කරනවා. අපි ඒවට නිවෙස්වලට ප්‍රතිකාර කරගෙන යනවා.   


මාපියන් අහිමි දරුවන්ව පවු​ෙල් අය කවුරු හෝ භාරකාරත්වය අරගෙන තියෙනවා.   


අපේ කතෝලික සභාවෙන් කරන සෙත් සරණ කරිරාන් ආයතනයට ඕනම කෙනෙකුට සහය ලබා දෙන්න පුළුවන්. යම් කෙනෙකුට මේ විපතට පත් පවුල්වල දරුවන්ට උදව් ලබා දෙන්න හැකියාව තියෙනවා. කතෝලික සභාව හරහා කරන සෙත් සරණ ආයතනය මගින්.