පරිසරයත් සමග පෙරට යන ලාඕසය


රටකින් රටකට  

 

 

ආසියාකරයේ රටවල් ගැන කතා කරන විට ලාඕසය පිළිබඳව නම් එතරම් කතාබහක් වැඩිපුර අසන්නට නොලැබේ. ඇත්තටම ඒ නිහඬ දේශයකි. වර්තමානයේ වේගයෙන් කාර්මිකරණයත් සමග පෙරට යන රටවල විවිධ ගැටලු ප්‍රශ්න පැන නැගී ඇත. ඒ සඳහා විසඳුම් නැතුවා නොවේ. එහෙත් යන්නන් වාලේ නොගොස් තම හැකි පමණින් තමාට ගැළපෙන සේ තම වටපිටාව අනුව, යහ පැවතුමින් යුතුව කලබලවලින් තොරව තමන්ගේ පාඩුවේ ජීවත්වන රටකි ලාඕසය. අප ලාඕසය යයි භාවිත කළද එරට භාවිත කරනුයේ ලාඕ කියාය.  


විමසිලිමත්ව බලන කල ආසියාකරයේ සෙසු රටවලට වඩා යම්කිසි වෙනස් පැවැත්මක් මෙරට දක්නට ලැබේ. ස්වභාවික පිහිටීම අනුව රට වටා තරමක කඳුකරයකි. තායිලන්තය, කාම්බෝජියාව, වියට්නාමය, මියන්මාරය චීනය ආදී රටවල් හතර වටේම ඇතද, ලාඕසයට ඇතුළුවීමේදී වීසා ගැනීම වැනි කාර්යයන් ඉතා සූක්ෂමව පරික්ෂාකාරීව සිදු කෙරෙන්නකි.  


විශේෂයෙන්ම අභ්‍යන්තර ගැටුම් පවතින රාජ්‍යයන් සමග සබඳතා පැවැත්වීමට එරට කැමති නැත. එවන් රටවලින් එන විදේශිකයන් කෙරෙහි දැඩි අවධානයක් යොමු වෙයි. ලංකාවේ වුවද ලාඕස් තානාපති කාර්යාලයක් නැති බැවින් අපට සිදුවන්නේ තායිලන්තයට ගොස් ඒ හරහා වීසා ලබාගැනීමටය. ලංකාව මෙන් හතර ගුණයක් විශාල රටක් වුවද එරට මුහුද වෙනුවට ඇත්තේ මීකොන් ගඟය. මිකොන් ගඟ ඒ අසල රටවල් කීපයකටම සම්බන්ධය. ලාඕසයේ ප්‍රවාහන සේවයටද මෙම ගඟ ප්‍රයෝජනයට ගැනේ.  


එරට​ ප්‍රධාන ආගම බුද්ධාගම වුවද හිංදු හා ආදි කාලීන වෙනත් ඇදහිලි ක්‍රම ද වෙයි. ලාඕසයේ සුවිශේෂත්වය වන්නේ ලොව වෙනත් කිසිදු රටක නොමැති තත්ත්වයෙන් එරට ස්වභාවික සම්පත් තුළම ජීවන පැවැත්ම පවත්වාගෙන යාමයි. උස් තුඟුතුරු කර්මාන්තශාලා එහි නැත. දැවැන්ත ප්‍රවාහන සේවා නැත. කටු කම්බි යකඩ කූරු ආදිය ඇති බවක් ද නොපෙනේ. ඒ නිසා එහි කාර්මික දියුණුවක් නැතැයි කීමටද නොහැකිය.  


සියලුම ස්ථානයන් හි කුමන කර්මාන්තයක වුවද 90% කම දක්නට ඇත්තේ රටේ ස්වභාවික සම්පත්ය. වනාන්තරයෙන් කපාගත් ලී දඬු තුළින් කළ දෑ ය. ඉතා ඉහළ මට්ටමේ (තරු පහේ) හෝටල්වල පුටු වෙනුවට තබා ඇත්තේ ගස්වල ලී කොටන්ය. ඒත් ඒ නිකම්ම නොවේ. ඉතා අලංකාර ලෙස ඒවා සකසා ඇත. එමෙන්ම එවන් විශාල ලී කඳන් විවිධ ආකාරයට කපා ඉතා අලංකාර ලෙස විවිධ මෝස්තරයට පුටු ද තනා ඇත. එමෙන්ම එම කඳෙහි යම් ඇද කුදක් කුහරයක් විණි නම් එයද අලංකාර මෝස්තරයක් ලෙස යොදා ගෙන ඇත්තේ අපූරු දක්ෂතා මවමිනි.  


එමෙන්ම සමහර ගස්වල අතු රිකිලි පවා ස්වභාවිකත්වයට හානි නොවන ලෙස ඔප මට්ටම් කර විවිධ නිර්මාණ සකසා ඇත්තේ පරිසරය සමගම එක්ව සිටින සේය. ලීයෙන්ම තනන ලද දැවැන්ත බේසම්වලට (ප්ලාස්ටික් නොවේ) ලීයෙන්ම සැකසූ කකුල් එක්කර තනා ඇත්තේ අපූරුවටය. තරු පහේ හෝටල්වල දැවැන්ත ලී මේසයේ අයිනට පිටලෑලි සවිකර ඇත්තේ සිතාගත නොහැකි කලාත්මක බවක් මතු කරමිනි.  


ඇත්තටම ඒ පිට ලෑලි දැයි දැන ගැනීමට හැක්කේ විමසා බැලීමෙනි. හෝටල්වල පමණක් නොව රට පුරාම ගෘහ භාණ්ඩ සාදා ඇත්තේ ස්වභාවික ගස්වලිනි. කිසිදු තැනක ප්ලාස්ටික්, යකඩ නැත. සමහර නිවාස තනා ඇත්තේ ලී කණු මතය. වහලවල් ගේට්ටු හා ගෘහාශ්‍රිත වෙනත් සියලු දෑ සඳහා වනයෙන් ලැබෙන වෘක්ෂ ප්‍රයෝජනයට ගෙන ඇත. සමහර දැවැන්ත පාලම් පවා තනා ඇත්තේ ලියෙනි. මේ අයුරින් ලාඕසයේ ජනතාව ස්වභාවික පරිසරය සමග ජීවත්වීම වර්තමාන ලෝකයටම අපූරු දැක්මකි.   


ඇමරිකාව වියට්නාමයට ගසන විට අහම්බෙන් මෙහි ද බෝම්බ පතිත වීමෙන් සෑදුන වළවල් අදත් ඇත. එමෙන්ම තවත් අපූරු ස්ථානයක් මෙරට වෙයි. ඒ ගල් ගුදම් හෙවත් කල්දේරම්ය. සංචාරකයන්ගේ සිත්ගත් එම පෙදෙස අක්කර ගණනාවක් විශාලය. අඩි 6 ක් 7 ක් උස දැවැන්ත ක ල්දේරම් රාශියක් එම ප්‍රදේශයේ වෙයි. මේවා කෙසේ කුමට තැනුවේදැයි සටහනක් නැත. සමහර ගුදම්වල තණකොළ හෝ වෙනත් පැළ වැවී ඇත. සමහර විට පැරණි රජවරුන් කුමන හෝ ද්‍රව්‍යයක් ගබඩා කිරීම සඳහා මෙම ගල් ගුදම් යොදා ගන්නට ඇතැයි සිතේ.  


මේ හැරුණු විට ලාඕසය දියඇලි රටක් වීම තවත් සුවිශේෂී අගයකි. ලොව විශාලම ප්‍රමාණයක් දියඇලි ඇත්තේ මෙහිය. ඉන් සමහරක පැවැත්ම ද විවිධය. අපූරුය. සමහර දියඇලි ඉහළ සිට පහළට පැමිණ දෙපසට බෙදෙන තැන් මෙන්ම දෙපසින් එන දියඇලි එක්වන තැන්ද එමටය. ​ෙසපොන්ගල (sepongl) කුන්සි (kunsi) වැනි සුවිශේෂී දියඇලි විදේශීය සංචාරකයන් මවිතයට පත් කරන සුළුය. මෙම දිය ඇලි තුළින් නිපදවන විදුලිය අසල්වැසි රටවලට අලෙවි කිරීමෙන් මෙරටට සෑහෙන විදේශ ආදායමක්ද ලැබේ.  


ඒ අතර මෙම දියඇලි අතරින් එදිනෙදා පානය සඳහා උණුවතුර සැපයීමද ස්වභාව ධර්මය විසින් එරටට දී ඇති දායාදයකි. ඒ ඒ වෘක්ෂවල විවිධ හැඩ අතුරිකිලිවලින් අමුතු අමුතු ගෘහ භාණ්ඩ නිර්මාණය කර ඇත්තේ අපූරුවටය. ඒ සඳහා උණ බට ගස් ද ප්‍රයෝජනයට ගෙන ඇත. මෙසේ බලන විට වනාන්තරයේ ස්වභාවික සම්පත්වලින් උපරිම ඵල ලබන මෙරට වෘක්ෂලතාවන්ගෙන් සෑදුණු රටක් යැයි කිව හැකිය. ප්‍රධාන ජල ප්‍රවාහය වන මීකොන් ගඟේ බෝට්ටු දහස් ගණනක් ක්‍රියාත්මක වෙයි. එමෙන්ම දූපත් 4000 ක් මෙරටට අයිතිය.  

 


ලාඕසයේ වෙන්ටියන් නගරයේ තනා ඇති රටවල් දෙකක් යා කෙරෙන ලාඕ තායි මිත්‍රත්ව පාලම මෙරට තවත් අපූරු නිර්මාණයකි. ගුවනින් ගමන් ගන්නා විට මෙන්ම මෙම පාලමෙන් එහා මෙහා යාමටද වීසා ගත යුතුය. මෙම පාලම හරහා දුම්රිය මාර්ගයක්ද වෙයි. පාලම සෑදීමෙන් ප්‍රදේශයේ සුවිශේෂී සංවර්ධනයක්ද වෙමින් පවතී. විශේෂයෙන් නව ගොඩනැගිලි ඉදිවෙමින් පවතියි. චීනයද මේ වන විට මෙහි කර්මාන්තශාලා ද අරඹා ඇත. පාලම අසලම ආගමන විගමන ආයතන පිහිටුවා ඇත. සමහරවිට පාලමෙන් නොව මුහුදු යාත්‍රා මගින් ද දෙරට සංචාරය සිදුවෙයි.  


එමෙන්ම ලාඕසය ඉහළ මට්ටමෙන් කාර්මිකරණය නොවුවද වෙනත් රටවල් සමග ජාත්‍යන්තර මෙන්ම ප්‍රාදේශීය ගුවන් තොටුපළවල් ද හොඳින් ක්‍රියාත්මක වෙයි. මෙරට තුළ ගෘහස්ථ ගුවන් සේවා රාශියක් ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය ප්‍රවාහන සේවාවක් ලෙසය.  


පෞරාණික බෞද්ධ රටක් වන ලාඕසයේ වෙහෙර විහාර රාශියකි. විශේෂයෙන්ම මථුරා කලා බුදු පිළිමවලට මෙහි විශේෂත්වයක් ඇත. එමෙන්ම මීකොන් ගඟ ආසන්නයේ විශාල භූමි ප්‍රදේශයක ඇති බොදු උයනද සංචාරක ආකර්ෂණය ඇති කරවන්නකි. එය වෙන්ටියන් නගරයේ තනා ඇති තායි මිත්‍රත්ව පාලම අසල වෙයි. 1958 සකස් කරන ලද මෙම බොදු උයනෙහි බුදු පිළිම 200 කට වඩා ඇත.  


සෙබ්‍රන්පල් ගුහාව ලාඕසයේ ඇති තවත් අරුම පුදුමයකි. කි.මී. 15 කට වඩා දිග මෙම ගුහාව ඇමරිකානුවන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇත. මෙය නවීන අත්හදාබැලීම්වලට ලක්කෙරෙන අතර බෝට්ටු සේවාවක් පවා දැමීමට සූදානමක් ඇත. කෙසේ වුවද මෙම ගුහාව නැරඹීම නොවැම්බර් සිට අප්‍රේල් මාසය අතර විය යුත්තේ යම් යම් ආරක්ෂක හේතූන් මතය.  


මෙසේ ලොව අන් රටවලට වඩා වෙනස් තම ස්වභාව ධර්මය පරිසරය මතම අවුල් වියවුල්වලින් තොරව පවතින රාජ්‍යයක් වන ලාඕසය ලොවටම ආදර්ශවත් රටකි. එක් අතකින් රට කාර්මිකරණය වෙමින් ඇතත් අනික් අතින් ගැමි බව රකී.  


දකුණු ආසියාවේ සාම්ප්‍රදායික අතින් විශිෂ්ට එමෙන්ම ආරක්ෂිත නගරයක් වන ලුන්ප්‍රබා (lung praba) නගරය ලෝක උරුමයක් වශයෙන් යුනෙස්කෝව පිළිගෙන ඇත.  

 

 


ජේ. ශීලා වික්‍රමරත්න