පරමාණු බෝම්බ හා ජලකර බෝම්බ පිපුරුවොත්?


පසුගියදා උතුරු කොරියාව ජලකර බෝම්බයක් අත්හදාබැලීමත් සමඟ ලොව බොහෝ රටවල් තැති ගැන්වී ගියේය. එම බෝම්බයේ ක්‍රියාකාරිත්වය කෙතරම් ප‍්‍රබල වූයේද යත් අසල්වැසි රටවලට රික්ටර් පරිමාණ ඒකක 6.3ක භූ කම්පනයක්ද ඇති විය. මිනිස් ඉතිහාසයේ ප‍්‍රථමවරට න්‍යෂ්ටික බෝම්බ දෙකකින් ජපානයේ හිරෝෂිමාව සහ නාගසාකිය අළු වී ගියේය. එහෙයින් මෙම න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් වඩාත්ම බියපත් වූයේ ජපානයයි. යළි එවැනි විනාශයක් සිදු වුවහොත් ජපානයට පමණක් නොව සමස්ත ලෝකයටම දරුණු ඉරණමකට මුහුණ පෑමට සිදුවන බවට යුද විශේෂඥයෝ බිය පළ කරති. 


දෙවැනි ලෝක යුද්ධය අවසාන කිරීම සඳහා ඇමෙරිකාව විසින් හිරෝෂිමා සහ නාගසාකියට එල්ල කරන ලද්දේ පරමාණු න්‍යෂ්ටික බෝම්බයකි. පසුගියදා උතුරු කොරියාව විසින් අත්හදා බලන ලද්දේ ජලකර නොහොත් හයිඩ‍්‍රජන් බෝම්බයකි. එය හිරෝෂිමා සහ නාගසාකියට හෙළන ලද පරමාණු බෝම්බය මෙන් 5 ගුණයකින් ප‍්‍රබල යැයි පැවසේ. 


පරමාණුු බෝම්බ සහ සහ ජලකර බෝම්බ යනු මොනවාද? ඒවායින් සිදු විය හැකි විනාශය කෙබඳුදැයි සොයා බැලීම වැදගත්ය. න්‍යෂ්ටික අවියකට අවශ්‍ය ශක්තිය ලැබෙනුයේ බර න්‍යෂ්ටියක් ඛණ්ඩනය කිරීමෙන් හෝ සැහැල්ලු න්‍යෂ්ටින්ගේ එක්වීම මගිනි. පරමාණු බෝම්බය නිර්මාණය වී ඇත්තේ ප්ලූටෝනියම් හෝ යුරේනියම් වැනි ඝන මුලද්‍රව්‍යවලිනි. යුරේනියම් 235 හෝ ප්ලුටෝනියම් 239 හෝ සමස්ථානිකයේ න්‍යෂ්ටිය සමඟ නියුට්‍රෝනයක් ගැටීමෙන් න්‍යෂ්ටිය කොටස් දෙකකට විභේදනය වී දැඩි තාප ශක්තියක් ඇති කරනු ලබයි. මෙහිදී නියුට්‍රෝන දෙකක් හෝ වැඩි ප‍්‍ර‍්‍රමාණයක් නිකුත් කෙරෙන අතර මෙම සෑම නියුට්‍රෝනයකටම තවත් බර න්‍යෂ්ටියක් ඛණ්ඩනය කිරීමට අවශ්‍ය ශක්තිය පවතී. මෙම ක්‍රියාවලිය ආරම්භ වූ විට එය නොනවත්වාම සිදු වෙමින් ඇති කරන තාප ශක්තිය මහා පිපිරුමක් බවට පත්වී දැවැන්ත විනාශයක් සිදු කිරීමට එයට හැකිය.

පරමාණු බෝම්බය නිර්මාණය කර ඇති ආකාරය අනුව එමඟින් ඇති කරන ප‍්‍රතික්‍රියාව අඩු වැඩි විය හැකිය. සාමාන්‍යයෙන් පරමාණු බෝම්බයක් පිපිරී ගිය විට එමගින් නිකුත් කෙරෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 10ක් පමණ වේ. ඉන් නිකුත් කෙරෙන විද්‍යුත් චුම්භක විකිරණ මගින් දැවැන්ත ගිනි ජාලාවක් නිර්මාණය කෙරේ. පිපිරුමේ ප‍්‍රබලත්වය මත සුළ​ෙඟ් දැඩි ප‍්‍රචණ්ඩත්වයක් ඇති වේ. 


1938දී න්‍යෂ්ටික විඛණ්ඩනය පිළිබඳ නියමය මුලින්ම අනාවරණ කරගනු ලැබුවේ ජර්මානු රසායන විද්‍යාඥන් දෙපළක් වූ ඔටෝ හාන් සහ ​ෆ්‍රිට්ස් ස්ට‍්‍රාස්මන්ය. එහි සිද්ධාන්තමය විවරණය ඉදිරිපත් කරන ලද්දේ ලිසේ මෙයිට්නර් සහ ඔටෝ ෆ්‍රිච් යන විද්‍යාඥයන් දෙපළ විසිනි. දෙවැනි ලෝක යුද සමයේ ජර්මනිය පරමාණු බෝම්බයක් නිෂ්පාදනය කරනු ඇතැයිද එහෙයින් ඇමෙරිකාව තමන්ගේ න්‍යෂ්ටික වැඩසටහනක් ආරම්භ කළ යුතු යැයිද දන්වා ඇල්බට් අයින්ස්ටයින් සහ ලියෝ ෂිලාර්ඩ් නමැති විද්‍යාඥයන් දෙදෙනාගේ අත්සනින් යුතු ලිපියක් ඇමෙරිකානු ජනාධිපති ෆ‍්‍රැන්ක්ලින් රූස්වෙල්ට් වෙත යැවිණි. මේ සඳහා අවශ්‍ය උපදෙස් හංගේරියානු භෞතික විද්‍යාඥයන් දෙදෙනකු වූ එඩ්වඩ් ටෙලර් සහ ඉයුජින් විග්නර් විසින් සපයන ලද අතර එම ලිපිය හැඳින්වූයේ ‘අයින්ස්ටයින් -ෂිලාර්ඩ්’ ලිපිය ලෙසිනි. ඇමෙරිකාව ‘මැන්හැට්න් ව්‍යාපෘතිය’ නමින් න්‍යෂ්ටික අවි නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කරන ලද්දේ එහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. දෙවැනි ලෝක යුද්ධයේදී ජපානය යටත් කර ගැනීම සඳහා හිරෝෂිමාවට ‘ලිට්ල් බෝයි’ නමැති පරමාණු බෝම්බයද, නාගසාකියට ‘ෆැට් මෑන්’ නමැති පරමාණු බෝම්බයද ඇමෙරිකාව විසින් හෙළන ලද්දේ මැන්හැට්න් ව්‍යාපෘතියේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. ‘ලිට්ල් බෝයි’ බෝම්බය රාත්තල් 9700 බරින් යුතු වූ අතර එහි පිපිරුම් ශක්තිය ටීඑන්ටී ටොන් 15,000ක බලයට සමාන විය. ‘ෆැට් මෑන්’ බෝම්බය රාත්තල් 10,800ක බරින් යුතු වූ අතර එහි පිපිරුම් ශක්තිය ටීඑන්ටී ටොන් 21,000කට සමාන විය. මෙතෙක් යුද්ධයකදී පරමාණු බෝම්බ භාවිත කෙරී ඇත්තේ මෙම අවස්ථා දෙකේදී පමණි. 


හිරෝෂිමාවට හෙළන ලද පරමානු බෝම්බයෙන් කිලෝමීටරයක විශ්කම්භයකින් යුතු ප‍්‍රදේශයක් සහමුලින්ම විනාශයට පත් වූයේය. ඉන් නික්මුණු දැඩි තාපය නිසා මිනිසුන්, සතුන්, ගහකොළ, ගොඩනැඟිලි ආදී සියල්ල ක්ෂණයකින් දැවී ගියේය. මරණයට පත් නොවූ බොහෝ මිනිස්සු ඉන් නිකුත් වූ න්‍යෂ්ටික විකිරණ බලපෑමෙන් පිළිකාව, ලියුකේමියාව හා ලිම්ෆෝමාව වැනි රෝගවලට ගොදුරු වූහ. පරමාණු බෝම්බයක් පිපිරී යාමේදී විකීරණශීලි දුහුවිලි පිපිරුම සිදුවු ප‍්‍රදේශය පුරා විසිර යෑමක් සිදුවේ.

ඉන් දැවැන්ත වායු දූෂණයක් සිදුවන අතර ජල මූලාශ‍්‍රවලට දැඩි හානියක් සිදු කෙරේ. මේ හේතුවෙන් ආහාර ජාලයද සම්පූර්ණයෙන්ම විනාශ වන්නේය. හිරෝෂිමාවට පතිත කරවන ලද පරමාණු බෝම්බයෙන් ක්ෂණිකව 80,000 පමණ පිරිසක් මරණයට පත් වූ අතර තවත් 135,000 පමණ පිරිසක් විකිරණවල බලපෑම හේතුවෙන් පසුව මිය අතර නාගසාකි බෝම්බයෙන් 70,000ක් පමණ පිරිසක් සැණෙකින් මරණයට පත්වී තවත් විශාල පිරිසක් විකිරණවල බලපෑමෙන් පසුව මිය ගියහ. 


උතුරු කොරියාව විසින් පසුගියදා අත්හදාබලන ලද හයිඩ‍්‍රජන් නොහොත් ජලකර බෝම්බය පරමාණු බෝම්බයට වඩා ප‍්‍රබලත්වයෙන් වැඩිය. එය නිර්මාණය වනුයේ සැහැල්ලූ න්‍යෂ්ටි විලයනය නැතිනම් සංයෝජනය කිරීමෙනි. සැහැල්ලූ න්‍යෂ්ටි බර න්‍යෂ්ටි සමඟ දැඩි උෂ්ණත්වයක් යටතේ විලයනය කිරීම මගින් ශක්තිය මුදා හැරේ. එහිදී නියුට්‍රෝන මුදාහැරීමක්ද සිදුවේ. මෙය හැඳින්වෙනුයේ ‘තාප න්‍යෂ්ටික ප‍්‍රතික්‍රියාවක්’ ලෙසිනි. න්‍යෂ්ටි දෙකක් විලයනය කිරීම සඳහා න්‍යෂ්ටික පිපුරුමක් සිදු කළ යුතු වේ. ඒ සඳහා පරමාණු බෝම්බයක් ප්‍රේරකයක් ලෙස භාවිත කෙරේ. ජලකර බෝම්බය කොටස් දෙකකින් සමන්විතය. යුරේනියම් හෝ ප්ලූටෝනියම් සඳහා එක් කුටීරයක් එහි ඇති අතර අනික් කුටීරයේ ඇත්තේ හයිඩ‍්‍රජන් වායුවය.

මේ සඳහා හයිඩ‍්‍රජන් වායුවේ බලැති සමස්ථානික වන ඩියුටීරියම් හෝ ට‍්‍රයිටියම් යොදා ගැනේ. ප‍්‍රථමයෙන් ප්ලූටෝනියම් හෝ යුරේනියම් හෝ අඩංගු කොටස න්‍යෂ්ටික විඛණ්ඩනය මගින් දහනයට ලක්කෙරෙන අතර ඉන් නිකුත් කෙරෙන දැඩි උෂ්ණත්වය හා පීඩනය මත හයිඩ‍්‍රජන් විලයනය ප‍්‍රතිකි‍්‍රයාවට ලක් වීමක් සිදුවේ. ඉන් විශාල ශක්තියක් උත්පාදනය වන අතර නියුට්‍රෝන විශාල ප‍්‍රමාණයක්ද මුදා හැරේ. මෙහි ප‍්‍රතිඵලය වන්නේ විශාල ශක්ති ප‍්‍රමාණයක් මුදාහැරීමයි. ජලකර බෝම්බය නව තාක්ෂණයෙන් යුතු අවියකි. එහෙයින් පරමාණු බෝම්බය මෙන් දහස් ගුණයක හානියක් කිරීමට එයට හැකිය. 


ලොව ප‍්‍රථම ජලකර බෝම්බය අත්හදාබලනු ලැබුවේ ඇමෙරිකාව මගිනි. සෝවියට් දේශය සමඟ පැවැති න්‍යෂ්ටික අවි තරගයට මුහුණදීම සඳහා 1949 සැප්තැම්බරයේ ඔවුහු ජලකර බෝම්බය නිර්මාණය කළහ. එම බෝම්බය එතෙක් නිපදවා තිබූ සාම්ප‍්‍රදායික අවිවලට වඩා 1000 ගුණයකින් ප‍්‍රබල වූයේය. එකට එක කිරීමක් ලෙස වසරකට පමණ පසු සෝවියට් රුසියාවද ජලකර බෝම්බයක් නිර්මාණය කළේය. පසු කාලයේ චීනය, ප‍්‍රංශය, මහා බ්‍රිතාන්‍යය සහ උතුරු කොරියාව වැනි රටවල ද ජලකර බෝම්බ අත්හදා බැලිණි. 


මෙතෙක් අත්හදා බලා ඇති විශාලතම න්‍යෂ්ටික බෝම්බය සෝවියට් රුසියාව මගින් අත්හදාබලන ලද ‘බිග් අයිවන්’ නොහොත් ‘සාර් බෝම්බා’ය. 1961 ඔක්තෝබර් 30 වැනිදා අත්හදාබැලුණුු එම ජලකර බෝම්බය ටීඑන්ටී මෙගා ටොන් 51ක බලයකින් යුතු වූ අතර හිරෝෂිමා සහ නාගසාකියට හෙළන ලද පරමාණු බෝම්බ මෙන් 1400 ගුණයක ප‍්‍රබලත්වයකින් යුතු විය. මෙතෙක් මිනිසා විසින් නිර්මාණය කරන ලද බලගතුම බෝම්බය ලෙස සැලකෙන එය ඇමෙරිකාවට තම න්‍යෂ්ටික බලය පෙන්වීමට සෝවියට් නායක නිකිතා කෘෂේව් විසින් දරන ලද ප‍්‍රයත්නයක් ලෙස සැලකේ. 


උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි අත්හදාබැලීම සම්බන්ධයෙන් ලොවම බියපත්ව සිටී. ඔවුන් එවැනි අත්හදාබැලීම් අත් නොහරින්නේ නම් උතුරු කොරියාවට එරෙහිව යුද ප‍්‍රකාශ කරන බවට ඇමෙරිකාව පවසා ඇත. යම් හෙයකින් ලෝක බලවතුන් උතුරු කොරියාවට එරෙහිව යුද ප‍්‍රකාශ කළහොත් එය තුන්වැනි ලෝක යුද්ධය බවට පත් විය හැකි වන අතර උතුරු කොරියාව පරමාණු හා ජලකර වැනි න්‍යෂ්ටික අවි අනිවාර්යයෙන්ම භාවිතා කිරීමට පෙළඹෙනු ඇත. 
1986 යුක්රේනයේ චර්නොබිල් බලාගාරයේ 4 වැනි ප‍්‍රතික්‍රියාකාරිකයේ සිදු වූ න්‍යෂ්ටික පිපිරීමෙන් මිනිසාට හා පරිසරයට සුළු පරිමාණ න්‍යෂ්ටික යුද්ධයකින් සිදු විය හැකි විනාශය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලැබිණි.

පිපිරුමෙන් බලාගාරය දින දහයක් පුරා දැවුණු අතර එමගින් අයඩින් 131 සහ සෙල්සියම් 137 නමැති විකිරණ ද්‍රව්‍ය පරිසරයට එකතු වූයේය. මේවා මිනිස් සිරුරට හා පරිසරයට දැඩිසේ හානිකර විය. ආහාර බෝග සහ සතුන්ගේ කිරි අධික විකිරණත්වයෙන් යුක්ත විය. විකිරණශීලී වැසි චර්නොබිල්හි සිට සැතපුම් 1700 පමණ ඈතින් පිහිටි යුරෝපා රටවල ද පැතිර ගියේය. මිනිස් ජිවිත රැසක් අහිමි කෙරුණු අතර ඉන් නිකුත් වූ විකිරණවල බලපෑමෙන් මිනිස්සු හා සත්තු සුව කළ නොහැකි රෝග රැසකට බඳුන් වූහ. තුන්වැනි ලෝක යුද්ධයක් ඇතිවී න්‍යෂ්ටික අවි ප‍්‍රහාරයක් එල්ල වුවහොත් එය ලෝක විනාශය වනු ඇති බවට බොහෝ රටවල් අනතුරු අඟවා ඇත්තේ න්‍යෂ්ටික යුද්ධයක ප‍්‍රතිවිපාක කෙබඳු විය හැකිදැයි දන්නා හෙයිනි. 

 

 


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා