පරම්පරාවකට නම් තැබූ ප්‍රාඥයාගේ නිවසට ගියෙමු


පරපුරක උරුමය   

අරිසෙන් අහුබුදු සූරීන්ගේ දියණිය සමන්ති අහුබුදු කියන කතාව

 

 

ආරියසේන ආශුබෝධ කිව්වම ටිකක් නුහුරුයි වගේ. ඒත් අරිසෙන් අහුබුදු කිව්වොත් රටම දන්නවා. දෙමාපියන්ගෙන් ලැබුණු නම පවා හෙළ බසට නගාගෙන දිවිය පුරාම භාෂා ප්‍රේමියකුගේ භාෂාවේදියකුගේ, සාහිත්‍යධරයකුගේ, මානව හිතවාදියකුගේ මෙහෙවර ඉටු කළ අහුබුදුවන්ගේ සියවැනි ජන්ම සැමරුම ලබන වසරේ මාර්තු මාසයට යෙදී තිබෙන බව සමන්ති මුලින්ම අපට කීවා.   


අහුබුදු පවුලේ දියණිය සමන්ති අහුබුදු කලකට පෙර කොළඹ මහජන පුස්තකාලයේ පුස්තකාලාධිපතිනියක්. වසර දහයකට වඩා රජයේ සේවයේ නිරතවූවන්ට විශ්‍රාම ගැනීමට ලැබුණු විශේෂ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන සේවයෙන් ඉවත්ව ඇය සිය පියාගේ කටයුතු කෙරෙහිම ඇදී බැඳී සිටියා. අහුබුදුවන්ට ඉස්පාසුවක් නොවුණු “නම් තැබීමේ” කර්තව්‍යය ශාස්ත්‍රානුකූලව තාත්තාගෙන් ප්‍රගුණ කළ ඇය එම “අත්‍යවශ්‍ය සේවාව” තවමත් නොකඩවා කරගෙන යනවා.   


අහුබුදු සූරීන් ජීවත්ව සිටි අවධියේ මෙන්ම ගල්කිස්ස කලාපුරයේ අහුබුදු නිවසට අදත් උදේ සිට හවස් වන තුරුම මිනිසුන්ගෙන් අඩුවක් නෑ.   


“බබාලාට නම් හදාගන්න තමා හුඟක් අය එන්නෙ. තවත් අය ව්‍යාපාරවලට නම් ගන්න එනවා. මම තාත්තත් එක්ක වැඩ කරලා, තාත්තට උදව් වෙලා පළපුරුද්දෙන් ඒ දැනුම ටිකක් ලබාගත්තා. පස්සෙ ශබ්ද ශාස්ත්‍රය අනුව කරුණු කාරණා සහිතව එහි ක්‍රමවේද තාත්තා මට කියලා දුන්නා.   


ඊළඟට මගේ දුව සඳනිත් තාත්තාගේ වැඩවලට සම්බන්ධ වුණා. එයාත් ඒ ශාස්ත්‍රය ඉක්මනින්ම ඉගෙන ගත්තා. මට දැනෙන්නේ තාත්තාගෙ නම් තැබීමේ හැකියාව එහෙම පිටින්ම දුවට ඇවිල්ලා කියලා. ව්‍යාපාරවලට නම් දීමේදීත් තේමා පාඨ ලියවීමේදීත් එයාගේ හැකියාව කැපී පෙනෙනවා. මම යමක් හිතනකොට දුව ඒක කරලත් ඉවරයි. ඉතින් ඒ පැත්ත දැන් සම්පූර්ණයෙන්ම එයාට බාරදීලා, මම බබාලට නම් තියන එක විතරක් කරනවා. ඒත් ඉතින් කිසිම විවේකයක් නෑ” සමන්ති කියනවා.   


ඇත්ත... ඒ නිවසේ දුරකතනයත් කෑ ගැසූ ගමන්මයි. තමන්ගේ වැඩේ ඉක්මන් කරගන්න කරන විමසීම් ඉල්ලීම්... කෙළවරක් නෑ.   


“මේක අපට දැන් නවත්තලා දාන්න බෑ. මිනිස්සු එන්නෙ තාත්ත ගැන තිබුණු විශ්වාසය නිසානේ. කවුරු නමක් හැදුවත් හිතට හරියන්නෙ මෙහෙන් නමක් ගත්තොත් කියල තමා බොහෝ අය හිතන්නේ. ඒ නිසා තාත්තගෙ ගෞරවයත් තියාගෙන සේවයක් කියලත් හිතාගෙන මේක කරනවා.”   


පොත් රාක්කවලින් පිරුණු අහුබුදුවන්ගේ ලියන කාමරයේ මේසය පුටුව හා පරිහරණය කළ දෑ තවමත් එහි සුරැකිව තිබෙනවා. පුංචි කෞතුකාගාරයක් වගේ. ලැබූ කීර්ති නාම සම්මාන පිරුණු අල්මාරියක්. රාජ්‍ය නායකයන්, ප්‍රභූන්, විදේශීය පඬිවරුන්, පූජකවරුන්, දෙස් - විදෙස් ජන නායකයන් සමග විවිධ උත්සව අවස්ථාවන්හි ගත් ඡායාරූප සහිත දැවැන්ත රාක්ක බිත්ති දිගේ උසට උසේ හිටගෙන ඉන්නවා. ලියූ ලිපි ලේඛන වෙන් වෙන් වශයෙන් එක් රැස් කළ ලිපි ගොනු ඉතා පිළිවෙළට අසුරා තිබෙන්නේ, ඕනෑම කෙනකුට තොරතුරක් සොයා ගැනීම පහසු වන ලෙස.   


‘‘තාත්තාම එකතු කරලා තාත්තාම ලිපි ගොනු හදලා තියාගෙන හිටපු විදිහටමයි මේ තියෙන්නේ. ලිපිගොනුවල නම් ලියලා තියෙන්නෙත් මේ තාත්තගෙම අත්අකුරින්. ලියන්න ගත්තම තමන්ට ඕනෑ තොරතුරු හොයාගන්න කාලෙ නාස්ති කරන්නෙ නෑ. තාත්තා දන්නව අවශ්‍ය දේ තියෙන තැන හරියටම. තාත්තට විතරක් නෙවෙයි අපට වුණත් අවශ්‍ය දෙයක් හොයා ගන්න පුළුවන් මහන්සියක් නැතුව. මම පුස්තකාලෙ වැඩ කළත් මේවට මගෙන් උදව් ගත්තෙ නෑ. තමන්ගෙම පිළිවෙළක් තාත්තට තිබුණා.   


මීට වැඩිය ලොකුයි තාත්තගෙ පොත් එකතුව. දැන් ඒක මම වෙනමම වහල තියල පරිස්සම් කරනවා. මොකද දෙන්නම් කියලා සමහර අය පොත් අරන් යනවා. ටික දවසක් යනකොට අමතකයි. දුර්ලභ පැරණි පොත්වලට එහෙම වුණාම මට හරි දුකයි. මම තාත්තට වරදක් කළා කියලා හිතෙනවා පොත් නැතිවුණාම. හැබැයි කවුරුහරි පොතක් ගැන ඇහුවොත් අවශ්‍යතාව අනුව මමම තොරතුරු හොයලා දෙනවා. සමහර විට ඡායා පිටපත් පවා අරන් දීලා තියෙනවා. එහෙම නැතුව පරිස්සම් කරන්න අමාරුයි.   


මගේ මල්ලි ඉන්නෙ විදේශයක. අම්ම දැන් හුඟක් දුර්වලයි. අසනීපයෙන්. ඉතින් ඔක්කොම හොයල බලන්න ඕන මම. තාත්තගෙ පොත්පත් නැවත ප්‍රකාශයට පත් කරන කටයුතු එහෙම අහුබුදු පදනමෙන් කරනවා. එහි සභාපති හරිස්චන්ද්‍ර විජේතුංග මහත්මයා ඇතුළු පිරිස ඒවා ගැන උනන්දුවෙන් සොයා බලනවා.’’   


සිය මවගේ පියාණන් වූ සලමන් වතුගෙදර උපාසකතුමාගෙන් සාහිත්‍යයේ අත්පොත් තැබූ කොග්ගල මලලගම ආරියසේන ආශුබෝධ දරුවාට වෙල්ලාල ජයමහ නමැති ගුරු පියාණන්ගේ මගපෙන්වීම ද ජීවිතයට බලවත් පිටිවහලක් වුණා. පසුකලෙක කුමාරතුංග මුනිදාසයන්ගේ ඇසුරට වැටී ඒ ආභාෂයෙන් “නිවැරැදි බස වඩවයි රැස” යන තේමා පාඨය ජීවිත දර්ශනය බවට පත් කරගෙන ඔහු අරිසෙන් අහුබුදු බවට පත් වූ පුවත දිග කතාවක්.   


“තාත්තා ගුරු විභාගයට තනිවම ඉගෙන ගෙන සමත් වෙලා තියෙන්නේ. පාසලේ මුල් ගුරුවරයා පිටපත් කරන්නට දුන් ලියුමක් සිංහල ක්‍රමයට ලියාදීම නිසා කෝප වූ මුල්ගුරුවරයා තාත්තගේ පිටෙන් ලේ ගලනතුරු තම්බටු වැලකින් පහර දුන්නාලු. ඒ වෙලාවෙ පාසලෙන් පිටවෙලා ගෙදර ගිය ගමන නැවත කවදාවත් පාසලට ඇවිත් නෑ. තනියම ගුරු විභාගයට පාඩම් කරලා සමත් වුණාලු. අහංගම ශාරිපුත්ත විද්‍යාලයට ගුරුපත්වීමක් ලැබිල තියෙන්නෙ ඒ අනුව. ඒ පත්වීම අරන් ඉස්කෝලෙට ගිය පළමු දවසෙම හිතාගත්තලු කවදාවත් ළමයින්ට ගහන්නෙ නෑ කියලා. ඒ වගේම තමා අපටත් කිසි දවසක ගහලා සැරවැර කරලා නැහැ. අම්මා තමා අපට තරවටුවක් හරි කරන්නේ. කොහොමටත් අපි තාත්තත් එක්ක තමා වැඩිය සමීප. තාත්තා ළඟ තිබුණෙ ආදරයයි. කරුණාවයි. ඒක කාටත් එකයි. තාත්තාට තරහ ගිහින් ඉන්නවා මම දැකල නෑ. භාෂාවට රටට අවැඩක් වෙනකොට ටිකක් ආවේගශීලී වෙනවා.   


තාත්තා ඉන්න කාලෙ අපේ ගෙදර කවදාවත් ගේට්ටුව වහලා තිබුණෙ නෑ. හැමදාම රෑ දාවල් ගේට්ටුව ඇරලා. ඕනැ කෙනෙකුට ඕනැ වෙලාවක එන්න පුළුවන්කම තිබුණා. ඒ වගේම හැම වෙලාවෙම සෙනඟ. අපෙ අම්මත් ආගන්තුක සත්කාරයට සැදී පැහැදී සිටියේ. දවසෙ තුන්වේලටම කෑම කන්න සෑහෙන පිරිසක් නැති වෙන්නෙම නෑ.   


තාත්තගෙ ගුරු ජීවිතේ අවුරුදු 42ක්. ගාල්ලෙ මහින්ද විද්‍යාලයේ සිටි අවධිය ගුරු ජීවිතේ හොඳම කාලෙ කියලා තාත්තා කියන්නේ. ඒ කාලෙ තාත්තා “එඩිය” කියලා පාසල් පුවත්පතක් සංස්කරණය කරලා තියෙනවා. එ්ක ප්‍රදේශයේ පාසල්වල හරි ජනප්‍රිය වුණාලු. ඉන්පස්සෙ වෙනත් ප්‍රදේශවලත් රට පුරා පාසල් දරුවන් අතර “එඩිය” ප්‍රසිද්ධ වෙලා.   
ඒ කාලෙ චන්ද්‍රා දේවාලේගම කියල ශිෂ්‍යාවක් “එඩිය” සඟරාවට නිර්මාණ එවල තියෙනවා. “අහිංසක සමන්මල” කියා වරක් ඈ ලියූ කවියක් පළ කර එය අගය කිරීමට එම සිසුවිය සොයා එඩිය සංස්කාරකවරයා අැගේ නිවසට ගියා. ඒ ගිය ගමනේ ප්‍රතිඵලය හැටියට තමා ඇය සඳා අහුබුදු ලෙස අපේ අම්මා වී තිබෙන්නේ” සමන්තිගෙ මූණ පුරා හිනාවක් පැතිරුණා.   


සඳා අහුබුදු මැතිනිය කලක් ගුරු වෘත්තියේත්, කලක් සමාජ සේවා ආයතනයකත්, කලක් පුවත්පත් කලාවේදිනියක් ලෙසත් කටයුතු කර තිබෙනවා. ඇයට ද අහුබුදුවන් ඇසුරේ ලත් භාෂා ඥානයක් තිබුණා.   


‘‘තාත්තා කවි සින්දු ලිව්වාම මුලින්ම අම්මා ඉස්සරහ ඒවා කියවනවා. සමහර වෙලාවට අම්මා ‘එතන මෙහෙම වුණා නම් හොඳයි නේද’ කියල වචන වෙනස් කරන්න එහෙම යෝජනා කරනවා. තාත්තත් ඒවට ඇහුම්කන් දෙනවා.   


දවසක් තාත්තා අසනීප වෙලා සතියක් දෙකක් රෝහලේ ඉන්න සිදුවුණා. ඉතින් ගෙදරට දුර ඈතින් මිනිස්සු එනවා, නම් හදාගෙන යන්න. තාත්තා ගෙදර නෑ කිව්වාම ඒ අය බලාපොරොත්තු සුන් කරගෙන ආපහු යන්නෙ හරිම අසරණව. අපටත් දුකයි. ඉතින් අපෙ අම්ම මට දවසක් කිව්වා “ඔයාට දැන් පුළුවන්නෙ ඒ වැඬේ කරන්න. ටිකක් කල්වේලා අරගෙන මේ එන මිනිසුන්ගෙ වුවමනාව කරල දෙන්න බලන්න” කියලා. අම්ම දන්නව මට පුළුවන් කියලා. ඒත් මිනිස්සු මාව විශ්වාස කරයිද කියල බයක් තිබුණා. ඒ වුණත් ඒ වෙලාවෙ ඒක කොහොමහරි කළා. අම්මා තමා පස්සෙන්ම ඉඳල හයියක් දුන්නේ.’’   


නිවැරැදි භාෂාව ගැන මහා කැක්කුමකින් කටයුතු කළ අහුබුදුවන් ගෙදරදී දරුවන්ට එය බලහත්කාරයෙන් ඔළුවට දමන්නට ගියේ නෑ. වැඩි වශයෙන්ම ආදර්ශයෙන් එය දරුවන්ට වටහා ගන්නට හැරීම ඔහුගේ ක්‍රමය බව සමන්ති අහුබුදු කියනවා.   

 

 


“තාත්තා ලිඛිත භාෂාව විතරක් නෙවෙයි කතා කරන භාෂාවත් නිවැරැදිව භාවිතකළා. කලක් යනකොට ඒ අවබෝධය නිරායාසයෙන්ම අපටත් ඇවිල්ලා. නාම ශාස්ත්‍රය වුණත් එහෙමයි. එකපාරට ඉගැන්නුවෙ නෑ. වැඩ කරන්න දීලා ඉගෙන ගන්න මග පෙන්නුවා. නොදන්න දෙයක් ඇහුවම හරි, දෙයක් වැරදුනාම එහෙම ඔන්න හුඟක් විස්තර කරල දෙනවා. ඉතින් ඉගෙන ගන්නව කියල දන්නෙම නැතුව අපි ඉගෙන ගෙන. ඉස්කෝලෙ උගන්වන කාලෙත් ළමයින්ට සිංහල එපා නොවෙන්න උපක්‍රමශීලීව ඉගැන්වූ හැටි තාත්තගෙ ගෝලයෝ කියනවා. විවිධ ක්‍රියාකාරකම්, ආදර්ශ කතා, සෙල්ලම්, තරග ඒ වගේ දේ තමා තාත්තගේ ඉගැන්වීමේ ක්‍රම.   


ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ උගන්වන කාලෙ ගාමිණී ෆොන්සේකා එහි ශිෂ්‍යයෙක්ලු. ඉංග්‍රීසියෙන් විතරක් වැඩ කටයුතු කළ ඒ කාලෙ ඒ පාසලට සිංහල උගන්වන්න ගිහින් තාත්තට ගොඩක් කරදර වලට මුහුණපාන්න වෙලා තියෙනවා. කොහොමහරි විදුහල්පති පියතුමා තාත්තගෙ පැත්ත අරගෙන සිංහල ඉගෙන ගැනීමේ අවශ්‍යතාව ළමයින්ට පහදා දීල තවත් සිංහල ගුරුවරු බඳවා ගෙන ඒ බාධා ඉවත් කළාලු. විනී විතාරණ, සඳදස් කෝපරහේවා වැනි අය ඉන්පසුව ඒ ගුරු මණ්ඩලයේදී තාත්තගෙ යාළුවො බවට පත්වෙලා.   
අනිත් අතට තාත්තා ඒ පාසලේදී වඩාත් උසුළු විසිළුවලට ලක්වී තිබෙන්නේ ජාතික ඇඳුම නිසා. ඒත් කවදාවත් ඒක අතහැරියේ නෑ. මුළු ගුරු මණ්ඩලයේම තාත්තා විතරයි ජාතික ඇඳුමට හුරු වී සිටියේ. ඔහොම කලක් ගතවෙනකොට අර තිබුණ විරෝධතා කොහෙන් ගියාද නෑ. ළමයි බොහොම කැමැත්තෙන් උනන්දුවෙන් සිංහල විතරක් නෙවෙයි සාහිත්‍ය විෂය පවා ඉගෙන ගත්තාලු. ඒ තාත්තගෙ ඉගැන්වීමේ රටාව නිසා වගේම ළමයින්ට දැක්වූ ළෙන්ගතුකම නිසා කියල ගාමිණී ෆොන්සේකා තාත්තා ගැන සමරු පොතකට ලිපියක් ලියලා තිබුණා.’’   


ගුරුවරයකු, භාෂාවේදියකු, නාට්‍යවේදියකු, ඉතිහාසනඥයකු, පෙළ පොත් රචකයකු, සඟරා සංස්කාරකවරයකු, චරිතාපදාන රචකයකු, ළමා කතා රචකයකු, ගීත නිබන්ධකයකු, දේශමාමකයකු, ගත්කතුවරයකු ආදී වශයෙන් අරිසෙන් අහුබුදුවන්ගේ සේවය විවිධ අංශ කරා විහිදී පැතිරී තිබුණා. ඒ ඔස්සේ ඔහු ලියූ ග්‍රන්ථ සංඛ්‍යාව සියයකට අධිකයි. නිවැරැදිව භාෂාව, සරල ව්‍යවහාරය ඒ හැම විටම අහුබුදු අනන්‍යතාව වී තිබෙනවා.   


‘‘තාත්තා හෙළ හවුලෙන් මතු වූ කෙනෙක් හැටියට ප්‍රසිද්ධ වුණත් මා දකිනවා තාත්තාට ඊටත් එහා ගිය වෙනමම භාෂා විලාසයක් තිබෙනවා කියලා. මාතර සාහිත්‍යයත් කාත්තාට බලපෑවා. ඒ ගැමි වහරත් තමාම සොයා ගත් වචනත් තාත්තාට තිබුණා. ගැඹුරු වියරණ පවා නොබිඳ, කාටත් තේරෙන ඉතාම සරල භාෂා රීතියක්, රිද්මයක් තාත්තාට තිබුණා. ළමා ගීත, දේශානුරාගී ගීතවලින් ඒ ලක්ෂණ හොඳටම පෙනෙනවා. තාත්තාගෙ චිත්‍රපට ගීත වුණත් හරි සරලයිනෙ.   


“සුදට සුදේ වලාකුළයි නිල් අහසේ පාවෙන්නේ’’  
‘‘ගොළු මුහුදේ මුතු ඇටේ දහම් ආකරේ’’   
‘‘දකුණ නැගෙනහිර බටහිර උතුරද’’   
‘‘ලංකා ලංකා පෙම්බර ලංකා’’   
‘‘එම්බා ගංගා නවතිනු නවතිනු’’   
‘‘කවුද කවුද දැන් ලොක්කෝ ’’  


ඒ ලැයිස්තුව කියාගෙන ගියොත් තව කොච්චරක්ද? පරිසරය ඇසුරෙන් තාත්තා ලියූ ළමා ගී හරියට චිත්‍ර වගේ.   


‘‘සමන් වැලේ මල් ජයට පිපීලා මුළු මිදුලම සුවඳයි’’   
‘‘බලන් අහස් තලේ සඳක් නනා කිරෙන්   
පොළෝ දිහා බලයි එබී වලා තිරෙන්’’   


පුංචි කාලෙ අතින් අල්ලගෙන ගිහිල් මල් පැළ ගැන වලාකුළු ගැන, තරු ගැන එහෙම පුංචි පුංචි කතා කවි මල්ලිටයි මටයි කියලා දෙනවා මතකයි. ඒව තමා ළමා ගීතවල හුඟක් තියෙන්නේ. ඒ නිසා ඇත්තටම ඒ ඔක්කොම අපේ ජීවිතේට හුඟක් සමීපයි.   


ඔය “බලන් අහස් තලේ” ගීතය කියනකොට මට මතක් වෙන්නෙ ඒ අර්ථය අපට කියා දුන්නු හැටි. සඳේ ලපය නෙවෙයි රැස් දහර දකින්න කියලා කිව්වෙ පොඩි ඇදයට වඩා ගුණය මතු කරගන්න කියන අදහසින්.   


ඒ වගේම 1950 ගණන්වල සන්දේශය චිත්‍රපටයේ පෘතුගීසිකාරයා වැනි ගීත අදටත් ජනප්‍රිය වීමට ඒ ගීත රචනාවල සුවිශේෂත්වය එක් හේතුවක් කියන්න පුළුවන්. රැජින මමයි, පුන්සඳ එළියයි, කටේ කිරි සුවඳ යන්නට” වගේ ගීතත් හොඳ උදාහරණ.   


අපේ දුවට තාත්තගෙ මේ කවිත්වය පිහිටලා තියෙනවා. සින්දු කියන්නත් පුළුවන්. සමන් වැලේ මල් ගීතය එයා ලක්ෂ්මන් විජේසේකර එක්ක ගායනා කරනවා. විශාරද විභාගයත් කරලා ඒ පැත්තටත් යොමු වෙලා ඉන්නවා. තාත්තා හිටිය නම් හුඟක් සතුටු වෙයි. මොකද ළමයින්ගෙ දස්කම් දකින්න හරි කැමැතියි.   


තාත්තගෙ තවත් කිව යුතුම ගුණයක් තමා මානව දයාව. කිසි කෙනකුගේ හිත රිදවන්න කැමති නෑ. කොතරම් වැඩ ගොඩක් මැද වුණත් දුරකතන ඇමතුම්වලටත් තාත්තම උත්තර දෙනවා. ඒ ඒ අයගෙ අවශ්‍යතාවලට ඇහුම්කන් දෙනවා. පුළුවන් උපරිම විදිහට උදව් කරනවා. කාගෙහරි වරදක් දැක්කොත් ළමයකුට වුණත් ළඟට කතා කරල අනිත් අයට ඇහෙන්නෙ නැති වෙන්න ඒ වරද පහදා දෙනවා.’’

   
අරිසෙන් අහුබුදු සූරීන්ගේ වියෝව සිදුවී මේ වන විට වසර අටක් ගතවී හමාරය. අහුබුදු පොතපත නව තාක්ෂණය යටතේ සුරැකීමේ වැඩපිළිවෙළක් ගැන දැන් අවධානය යොමු කර ඇති බවත් සමන්ති අහුබුදු අපට කීවේ මතකයේ තවත් අහුමුලු පීරමින්.   


‘‘අපි පුංචි කාලෙ හිටියෙ දෙහිවල දුම්රිය ස්ථානය කිට්ටුව. තාත්තගෙ යාළුවො ගාල්ලෙන් මාතරින් හරි තවත් කොහෙන් කොහෙන් හරි කොළඹ එනකොට දෙහිවල දුම්රිය ස්ථානයෙන් බැහැල අපේ ගෙදර එනව. නවාතැනට වගේ. ඒ හින්දා නිතරම ගෙදර අමුත්තන්ගෙන් පිරිලා. ඉතින් මහ රෑ වෙනකල් කට්ටියම මහ හඬින් කවි කියනවා. එත්කෙනකුට එක්කෙනෙක් දෙවැනි නෑ. ඒ කවිවල රහ තමා අපේ ඇඟේ තියෙන්නේ.   


තව එකක් තාත්තගෙ පොතක් මුද්‍රණය කළාම අපේ අම්මට තමා අනිවාර්යයෙන්ම එහි මුල් පිටපත දෙන්නේ. නිකන් නෙවෙයි, ලස්සන කවියකුත් ලියලා පිරිනමනවා. ඒවා එකතු කළත් පොතක් විතර ඇති.   

 


“ගෙට සිරි සඳාවෙනි   
මා දිවි කළ මිහිරි   
යටගිය වංස මුල් පිටපත   
තුටු පඬුරී”   
(යටගිය දවස පොතෙන්)   
නද කළ මා දිවි - මංගල කිංකිණි   
සඳවතියට මේ - මංගල කිංකිණි   
(මංගල කිංකිණි පොතෙන්)   

 

 

සමන්ති අහුබුදු සහ දියණිය සඳනි අහුබුදු

 


තාත්තට කොච්චර වැඩ තිබුණත් ගෙදර අපි එක්ක හරිම සමීපව හිටියා. රැස්වීමකට සාකච්ඡාවකට වගේ නිල වැඩකට නොවන හැම උත්සවයකටම, ගමනකටම අපි ඔක්කොම එක්ක යනවා.   


තාත්තා දිනපතා පාන්දර තුනට නැගිටලා ලියන්න පටන් ගන්නවා. අවුරුදු අසූවේදීත් ඒ පුරුද්ද අතහැරියෙ නෑ. හුඟක් රෑ වෙනකල් වැඩ කළත් පුරුදු වෙලාවටම අවදි වෙනවා. නිදාගෙන ඉන්න අතරෙ වුණත් යමක් මතක් වුණ ගමන් ආයෙත් කන්තෝරු කාමරේට දුවගෙන ඇවිත් එය සටහන් කරලා යනවා. 

 
එහෙව් මිනිසෙක් ගැන, මහා පඬිවරයෙක් ගැන කොතෙක් කතා කළත් තවත් කතා කරන්නට බොහෝ දේ ඉතිරිව තිබියදී අප සමන්ති අහුබුදුගෙන් සමුගත්තා.   

 

 


පුෂ්පා ඉලංගන්තිලක   
ඡායාරූප - චානුක කුලසේකර