පන්සලේ කළු සුදු රූප පෙට්ටියෙන් යුද හමුදා පණිවිඩ ජවිපෙ අතට


විජේවීර සැඟව සිටි හම්බෙගමුවේ හේන් සොයා ගිය ගමන.... 07 

 

දේවගිරි කන්ද

බලහරුව වැව

අද හම්බෙගමුව නගරය

 

 

‘සරේ’ සමග පාපැදියේ කල්පනාවක නිමග්නව එන ‘තිලක්’ මාසයක් දෙකකට පෙර සිදුවූ සිදුවීමක් මෙනෙහි කරයි. සරේ ඒ බව නොදනී. මේ කියන කාලයේ මුද්‍රණ ශිල්පයට ඩිජිටල් තාක්‍ෂණය ඇවිත් තිබුණ ද ලංකාවට එය පැමිණ නොතිබුණි. ඒ නිසා බැනර්, පෝස්ටර් ඇඳීම කළේ තීන්ත සහ පින්සල උපයෝගී කරගෙන අතිනි. ‘තිලක්’ පෝස්ටර් අඳින්නත් දක්‍ෂයෙකි. ඒ දක්‍ෂකම දැන් තිලක්ගේ ජීවිතයට ද තර්ජනයකි.   


පාපැදියේ එන ගමන් තිලක් මේ තර්ජනය ගැන මෙනෙහි කරමින් එන්නේ පිටුපසින් දැන් දැන් ඩෝං ශබ්දයක් ඇසේදැයි යන අවිනිශ්චිතයෙනි. ඒ අතර මිනීපෙට්ටි තුනේ දෑකැත්තයි මිටියයි අඳිද්දී “ගුණවික්‍රමරත්න” කැසට් යන්ත්‍රයකින් ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරගේ කතාවක් ඇහෙන්නට සැලැස්සුවේ ඇයි ද යන්නත් මෙනෙහි කරන්නට විය.   


මේ කතාන්දරය පුවත්පතේ දිග හැරෙද්දී දැන් දකුණු පළාතේ ස්ථිර පදිංචිය ඇති ‘තිලක්’ සම්බන්‍ධ කරගැනීමට හැකි විය. ඔහුගේ ආරක්‍ෂාවට ඉදිරියටත් ඔහු තිලක් ලෙසම හඳුන්වමු.   
“ඔය දිගම්පැලැස්සේ හේනේ පැලක අපි මිනීපෙට්ටි තුනක පියන් අඳිනකොට ඒ අපි හිටිය පැලට ටිකක් ඈතින් තව පැල් කිහිපයක් තිබුණ බව මට හොඳට මතකයි. අපි හිටිය පැලේ වතුර මුට්ටියක්වත් තිබුණේ නැති වුණාට මම මතකයි ටිකක් ඈත පැල් කිහිපයක් තියනවා. ගෑනු ළමයි දෙතුන් දෙනෙකුත් එහා මෙහා යනවා දැක්කා. හැබැයි ඒ කවුරුවත් අපි හිටිය පැත්තේ ළඟට ආවේ නෑ.” තිලක් කතාවට මුල පිරුවේය.   


“ගුණවික්‍රමරත්න” ජේවීපී කළ බව මුළු හම්බෙගමුවම දන්නවා. ඒකාලේ හම්බෙගමුවට කතරගමින් මේල් බස් එක ආවා. ඒක රෑට නවත්වන්නේ හම්බෙගමුව පන්සලේ. බණ්ඩාරවෙල ඩිපෝවෙනුත් එකක් ආවා. තව එම් ඩබ්ලිව් වෑන් දෙකක් වැඩ කළා. ඒ එකක ගෝලයා විදියට ගුණවික්‍රමරත්න වැඩ කරනවා මට මතකයි.“   


“මිනී පෙට්ටි තුනෙ දෑකැත්තයි මිටියයි අඳිද්දී එයා මටයි සරේටයි ඇහෙන්න විජේවීරගේ කතාවක් ටේප් රෙකෝඩර් එකෙන් ඇහෙන්න සැලැස්සුවේ “කොක්කක්” විදියට කියලයි මට හිතුණේ. ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමී ව්‍යාපාරයට කෙනෙක් එකතු කරගන්න උත්සාහයට කිව්වේ “කොක්ක දානවා” කියලා. මට ලස්සනට පෝස්ටර්වල අකුරු ලියන්න පුළුවන් බව මගේ වයසේ මෙහෙ ජේවීපී කරපු හැම කෙනෙක්ම දැනගෙන හිටියා. ගොඩාක් දෙනෙක් මාව ඒ ව්‍යාපාරයට සම්බන්‍ධ කරගන්න ‘කොක්ක’ දැම්මා.” තිලක් විස්තර කරයි.   
“මම මිනී පෙට්ටිවල දෑකැත්තයි මිටියයි ඇන්දට, ඒ මහ කැලේ හිටියේ හරිම බයෙන්. හමුදාවෙන් ඇවිත් වට කළා නම් ආය ඉතිං ඇඩ්‍රස් නෑ. මම මේ බලෙන් අරං ඇවිත් අන්දවනවා කියලා හමුදාව දන්නේ නෑනේ. හැබැයි මමයි සරෙයි හොඳටම බයෙන් ඉන්න බව ගුණවික්‍රමරත්න මහත්තයාට දැනෙන්න ඇති. එයා කිව්වා ගස් කපලා පාරවල් අවහිර කරලා තියන්නේ. ඒ හින්දා හමුදාවෙන් එන්නේ නෑ බයවෙන්න එපා කියලා හිත සැනසෙව්වා. එහෙම ඉන්න අතරේ චොපර් එකක් (හෙලිකොප්ටර් එකක්) අහසේ කැරකුණා. එකටත් මට බය හිතුණා.”   


“අසූ දෙකේ ජනාධිපතිවරණය මට මතකයි. ඒ කාලේ මම හිටියේ බණ්ඩාරවෙල. රෝහණ විජේවීර මහත්තයත් ජනාධිපතිවරණයට ඉල්ලුවා. මම එයාගේ රැස්වීම් බලලා තියනවා. සාමාන්‍ය හැඩරුව මට මතකයි. ඒ වුණාට උපතිස්ස ගමනායක, සමන් පියසිරි ප්‍රනාන්දු වගේ අනික් නායකයන් මතක නෑ. ඒ හින්දා හම්බෙගමුවෙ දී  මට හමු වූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් අතර රෝහණ විජේවීර හිටියේ නෑ කියලයි විශ්වාස. හැබැයි ඉතින් ඒ අය මැරුණට පස්සේ තමයි ඉහළ පෙළේ නායකයනුත් කියලා දැනගත්තේ.” තිලක් කාලයක් තිස්සේ හිතේ සඟවාගෙන සිටි රහස් මා හමුවේ හෙළි කළේ ය.   


“මිනී පෙට්ටි තුනේ දෑකැත්තයි මිටියයි ඇඳලා දීලා අපි බයිසිකලේ ආවා නෙවෙයි. එවුණා. එදා ගෙදරට ආවත් ජීවිතය ගැන ලොකු බයක් තිබුණා. ඒ ගමනින් පසුසේ ‘සරේ’ හමුබ වුණේ නෑ. ‘සරේ’ ඇත්තටම කවුද කියන්න මම දැනගෙන හිටියට එයා ජේවිපී එකට සම්බන්‍ධ ද? නැද්ද? කියන්න මම දැනගෙන හිටියේ නෑ. අනික ඒ කාලේ තමන්ට තමන් හැර වෙනත් අය ගැන කිසිම විදියක විශ්වාසයක් තියන්න බැරි තත්ත්වයක් උදාවෙලා තිබුණේ. මේ තත්ත්වය වැඩි වුණේ 87න් පස්සේ. ඒක වර්ධනය වුණා මිසක් අඩු වුණේ නෑ.”   
ඇත්තටම ‘සරේට’ මොක ද වුණේ. දිගම්පැලැස්සේ ‘දේශප්‍රේමී සහෝදරවරුන්ගේ’ කඳවුරට ගිය කතාව ‘සරේ’ ගෙදර ඇවිත් විස්තර කළේය. එය රහසක් ලෙස වසන් කර තබාගන්නට ඔහුට නොහැකි වුයේ සරේගේ වැඩිහිටියන් උදේ පන්සලට ගිය ඔහු අඳුරු වැටෙනතුරු ම ආපසු නොපැමිණීමය.   


සරේගේ පවුලේ අයියලා දෙන්නෙක් ම ඒ වනවිටත් ආරක්‍ෂක අංශවල සේවයේ නිරතව සිටියේය. ඔවුන්ට සේවයෙන් ඉවත්වන ලෙස ‘දේශප්‍රේමීන්’ විසින් අවස්ථා ගණනාවක දී දන්වා තිබුණ නිසා සරේ ගැන වැඩිහිටියෝ දැඩි අවධානයෙන් සිටියහ.   


මේ කාල වකවානුවේ ආරක්‍ෂක අංශවල සේවය කරන අය සිටින නිවෙස්වලට රාත්‍රියේ සන්නද්ධ කණ්ඩායම් පැමිණ දොරවල් අරවා නිවසේ වැඩිහිටියන් සාලයට හෝ එක් තැනකට එක්කර බිම වාඩි කරවා ආරක්‍ෂක අංශවල සේවය කරන අය එම සේවාවලින් වහා ඉවත් කරගන්නා ලෙසට නියෝග කරති. ඒ සඳහා කාලය ලබාදෙන අතර එම දින වකවානුවලට ඒ ඉල්ලීම ඉටු නොකළ පවුල්වල කාට හෝ මරණය අත්විණි.   


සරේගේ වැඩිහිටියන් නිතරම සරේගේ හැසිරීම ගැන විපරමෙන් සිටියේ ඔවුන් ද එවැනි අත්දැකීමකට මුහුණ දී සිටි නිසා ය. දිනක් රාත්‍රියේ සන්නද්ධ ඇඳුමෙන් සැරසුණ පිරිසක් සරේගේ නිවසට පැමිණියේ ය. සරේගේ අයියලා දෙන්නා ආරක්‍ෂක සේවයෙන් ඉවත් කරගැනීමේ උවමනාව ඔවුන් දැනුම් දුන්නේය. එසේ පැමිණි එක් පුද්ගලයෙක් තමා ද යුද හමුදාවේ ඉහළ නිලයක් හෙබවූ බවත් දැන් ඉන් ඉවත් වී ‘දේශප්‍රේමීන්’ හා එක්ව ගෙනයන ජනතා අරගලයට එක්ව සිටින බව දේශනයක් දෙමින් විස්තර කළේ ය.   
මේ වෙලාවේ සරේගේ නිවසේ සිටි ලොකු පොඩි හැම දෙනාම හිටියේ එකම තැනකට එක් කරමිනි. සරේගේ පොඩි මල්ලීට මේ සිදුවන දේ ගැන ලොකු අවබෝධයක් නොතිබුණි. ඔහු ‘විපුල්’ අයියා නේද ඔය කතාකරන්නේ යැයි විමසුවේය. කවුරුත් පුදුමයට හා බියට පත් විය. පසුව සොයා බලද්දී අල්ලපු ගෙදර ‘විපුලේ’ එසේ දේශනය කළ බව කාටත් අවබෝධ විය. විපුලේ අදටත් ජීවත් වන අතර ඔහුගේ සෑබෑ නම විපුලෙ නොවන බව ද කිව යුතුමය.   


කොහොම නමුත් සරේ දිගම්පැලැස්සේ ‘දේශප්‍රේමී’ කඳවුරකට යාම පිළිබඳව වැඩිහිටියන් සිටියේ විශාල බියකිනි. ඒ නිසාම මේ ගමන ගිහිං ඇවිත් දින දෙකකට වඩා සරේට හම්බෙගමුවේ ඉන්නට නොහැකි විය. වැඩිහිටියෝ ඔහු බොරලැස්ගමුවේ කටුවාවල ඥාති නිවසක ආරක්‍ෂාවට නැවැත්වීය. ‘සරේ’ මේ වනවිට ආරක්‍ෂක සේවය සම්බන්‍ධ රාජකාරියක් කරයි. 

 
දිගම්පතන කැලෑවේ තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ එක් කඳවුරක් නොවන බව පැහැදිලිය. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කර පාර්ලිමේන්තුව දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් පළාත් සභා ක්‍රමය ස්ථාපිත කිරීම සම්බන්‍ධයෙන් ඒවන විට තහනමට ලක්ව තිබූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ හම්බෙගමුව කෑලෑවේ තැනින් තැන රැස්ව සාකච්ඡා කළහ.   

 

හම්බෙගමුව ජාතික පාසල

ජවිපේ කඳවුරක් තිබූ තැනක්   

 


ඒ සඳහා දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් පැමිණි බව ගමේ සිටි සාමාජිකයන් දැනගනු ලැබුවේ පසුවය. ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවට එරෙහිව සන්නද්ධ අරගලයක් කිරීමට අවශ්‍ය තීන්දුව ජවිපෙ ගත්තේ හම්බෙගමුවේදී බව මේ සාමාජිකයන්ගේ විශ්වාසයයි. එදා ගත් තීරණය රටපුරා ගෙන ගියේ මේ සාකච්ඡාවලට පැමිණ සිට දේශපාලන මණ්ඩල සාමාජිකයන් සහ දිසා නියෝජිතයන් මගිනි.   


“අපි හිටියේ ඉහළින් එන නියෝග ක්‍රියාත්මක කරන්න. ඒ තීන්දු තීරණ ගැන අපි ප්‍රශ්න කරන්න ගියේ නෑ. ‘සන්නද්ධ අරගලය’ යන්න ගැන අපිට දිගින් දිගටම පුහුණුවීම් කළා. ඉහළින් එන නියෝග අපිට දෙන සහෝදරයෙක් හිටියා. ආය වෙනත් අය අපිට නියෝග දුන්නේ නෑ. අපිට දුන්න නියෝග ඉටු කිරීමයි අපි කළේ. සමහර දවසට රාත්‍රියේ අපි ඒ නියෝග අනුව යන්නේ කොහාටද කියලා දැනගෙන හිටියේ නෑ. ගියත් ඒ ගිය තැන ඉන්නේ කවුද කියලා අපි දැනගෙන හිටියේ නෑ.”   


“යන ගමනේදී අපිට මග පෙන්වන්න අය අතරම මග සිටියා. ඒ අය අපි යන ගමනාන්තයට ගියේ නෑ. මගින් මගට මග පෙන්වන්නෝ වෙනස් වුණා. ඒ යන අතර තව සන්නද්ධ කිහිප දෙනෙක් අපිට එක්වුණ අවස්ථාත් තිබුණා.” තහනම් කළ පසු ජනතා විමුක්ති පෙරමුණ සිය දෙවන සන්නද්ධ කැරැල්ල සංවිධානය වූ ආකාරයට ගැන ඊට සම්න්‍ධව පුනරුත්ථාපනය වී දැන් මැදිවිය ද පසුකර ජීවත්වන හම්බෙගමුවට නුදුරුව වෙසෙන ‘මහත්තයා’ විස්තර කළේ ද පොරොන්දුවක් පිටය.   


ඒ පොරොන්දුව නම් ඔහුගේ අනන්‍යතාව රකින්න යන්නයි.   


“ඇත්තටම ඒ කාලේ අපි මේ ව්‍යාපාරයට සම්බන්‍ධ වුණේ එදා තිබුණ ආණ්ඩුවලින් අපිට කිසිදු සාධාරණයක් නොවුණ හිනිදා. එදා අද වගේ තොරතුරු දැනගන්න මාර්ග තිබුණේ නෑ. ගුවන් විදුලිය ආණ්ඩුවේ හොරණෑව වෙලා තිබුණේ. රූපවාහිනිය තිබුණට මේ කැලේ ගම්වල ඒවා තිබුණෙ නෑ. පත්තරයක් ගමට ආවේ නෑ. ආවත් පත්තරයක් කියවන්න පුළුවන් අය ටික දෙනයි හිටියේ. හැබැයි ගොඩ දෙනෙකුට අකුරු අමුණ අමුණ හරි කියවන්න පුලුවන්.”   


“ඔය අතරේ තමයි අපි ගැන කතා කරන්න අපි ඉන්න තැන්වලට තරුණයෝ එන්න යන්න පටන් ගත්තා. අපි පත්වෙලා ඉන්න තත්ත්වය ඒ අය තේරුම් අරං තිබුණ බව ඒ කතාවලින් පැහැදුණා. ඒ අය ආවේ ගමේ අපි දන්න කියන පවුලක කෙනෙක් එක්ක. ඒ හින්දා අවිශ්වාසයක් තිබුණෙම නෑ. අපිට ඒ වෙනකොට අවුරුදු තිහ තිස් පහ වෙලා තිබුණේ. අවුරුදු හතළිහ වෙච්චි අයත් ඊට වැඩි අයත් මේ අය කියන කාරණා එක්ක එකඟ වුණා. මේ හැම ගමකම ගෙවල්වලින් 80%ක විතර ගෙවල්වලින් එක් කෙනෙක් හරි මේ ව්‍යාපාරයට සම්බන්‍ධවෙලා හිටියේ.” මහත්තයා පැවසුවේය.   


මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ මේ වැඩ පිළිවෙළ සඳහා සාමාජිකයන් එකතු කරගැනීම සමාජය විසින් හඳුන්වා දී තිබුණේ “කොකු ගැසීම” ලෙසය. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ජවිපෙ ක්‍රියාකාරකම් කඩිනම් වූ බව එදා ඊට සම්බන්‍ධවූවන්ගේ අදහසයි.   


‘අසූ තුනේ කළු ජූලියට පස්සේ අපේ ගම්වල යන්නත් ඉගෙනගත්තු කොල්ලෝ වැඩි දෙනෙක් හමුදාවට බැඳුණා. ඒ වෙලාවේ පක්‍ෂයෙන් ඒකට විරෝධයක් තිබුණේ නෑ. අප දැනුම්වත් කරන දෙවන තුන් වන පෙළ නායකයෝ කිව්වේ අපේ කොල්ලෝ හමුදාවට යා යුතුයි කියලා. එයාල කියපු විදියට හමුදාවේ ඉන්න අපේ දරුවෝ අපේ කීම අහන තැනට නම්මා ගන්න කියන එක අසූ හතර අසූපහ වගේ කාලවල කිව්වා මතකයි. ඒ ඇයි කියලා කිව්වේ නෑ. සමහර වෙලාවට ඒ අය සන්නද්ධ අරගලයකින් ආණ්ඩු බලය අල්ලන්න තිබුණ සැලසුමක් කියලා පස්සේ හිතුණා. නමුත් අපි ඒ ගැන අහන්නවත්, කාටවත් කියන්නවත් ගියේ නෑ.” මහත්තයා කීවේ ය.   


මහත්තයා කියන පරිදි ඒ සැලසුම් වහා වෙනස් කරන්නට සිදුවී තිබුණේ, දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත්, ඉන්දු ලංකා ගිවිසුමත් කඩිනමින් අත්සන් කරන්න ගත්ත තීන්දුවත් සමගය.   


“ඔය ගිවිසුම ගැන අපිව දැනුවත් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ද ගිවිසුමට විරුද්ධ බව පැහැදිලි කළා. ඒ හින්දා ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව රට පුරා දැවැන්ත විරෝධතා රැල්ලක් ගෙනයන බවත් අපිට දැනුම් දුන්නා. ඇත්තටම ඒ වෙනකොට අපිට සන්නද්ධ පුහුණුව ලබලා දීලා තිබුණේ නෑ. අපිට උපදෙස් ලැබුණේ ඉන්දු ලංකා ගිවිසුමට විරෝධය පළ කරන ක්‍රියාවන්වල යූඇන්පී කාරයන් සහ චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් පිහිටවලා තිබුණ මැටිපහන ලකුණින් ඉදිරිපත් වූ (ඔහු කියන්නේ එක්සත් සමාජවාදී පෙරමුණ විය යුතුය) කණ්ඩායම් ඉලක්ක විය යුතුයි කියලා. ඒ නිසා පෝස්ටර් කැම්පේන් එකකින් මේ විරෝධතාවට මමත් එක් වුණා.”   


“හැබැයි කෙටි කාලයක් යනකොට අපිට ඒ වැ​ෙඩ් ලේසි වුණේ නෑ. ජේ.ආර්ගේ ආණ්ඩුව අපිව මර්දනය කරන්න හැකි හැම පියවරක්ම අරං තිබුණා. නමුත් අපි පසු බැස්සේ නෑ. අපිට තිබුණේ රට ගැන කැක්කුමක්. පළාත් සභා ඇති වුණොත් අපි ඉන්දියාවේ විසිනව වැනි ප්‍රාන්තය බවට පත්වෙයි කියලා තමයි අපිව දැනුම්වත් කළේ. අනේ අපිත් ඒ විරෝධතාවන් ඒ විදියටම ගෙනිච්චා.” මහත්තයා සිය අතීත ක්‍රියාකාරකම් හෙළි කරයි.   


හම්බෙගමුවට නුදුරුව පිහිටි බලහරුව ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරකම්වලට පහසුකම් සැපයූ තැනක් වූයේ ප්‍රධාන පාර හමුවන අරඹේකෙම හන්දියට කිලෝමීටර් අටක් දහයක් ඈතින් පිහිටීමත් කුඩාඔය බලහරුව ගම අසලින් ගලා යාමත් එතරම් ජනතාවක් නොසිටීමත් ය.   


බලහරුවේ මුලින්ම පදිංචිව සිට ඇත්තේ පවුල් තුන හතරකි. ඒ මීට හැට වසරකට පමණ පෙරය. වැඩි දෙනෙක් දකුණෙන් ආ අයයි. හක්මන ප්‍රදේශයේ කංකානම්ගේ විජේසිංහ මහතා බලහරුවට ආවේ 1958 දී ය. ඒ කාලේ අති දුෂ්කර කාලයක් විය.   


අද හැටපස් වන වියේ පසුවන කේ. සිරිපාල විජේසිංහ මහතා 88-89 වකවානුවේ වූ සිද්ධින් සම්බන්‍ධයෙන් අත්දැකීම් බහුල කෙනෙකි.   


“අපි ආපු කාලේ හරිම දුෂ්කරයි. ඩඩ්ලි. සේනානායක මහත්තායා හාල් සේරු දෙකක් නොමිලේ දුන්න කාලේ ඒක ගේන්න අපි ගමේ අත් කරත්තවලින් වැල්ලවායට ගියා. සමාගම් කඩවලින් ඒක දුන්නේ. ඊට පස්සේ අපේ තාත්තා පොඩියට සමාගම් කඩයක් දැම්මා. හාල්පොතට, ඊට පස්සේ කූපන් කාඩ් එකට, ඊට පස්සේ ආහාර මුද්දරේට බඩු දුන්නේ අපේ කඩෙන්. තාත්තා 1973 දී මැරුණා. මගේ අයියා නිමල් විජේසිංහ. එයා ඊට පස්සේ කඩේ කර​ෙගන ගියා. යූඇන්පී කාරයෝ හින්දා අයියාව 89 භීෂණ කාලයේ මැරුවා.”   
“අයියාගේ සිරුර වැල්ලවාය ඉස්පිරිතාලෙට ගෙනිච්චා. ආය ගෙදර ගෙනාවේ නෑ. එහෙ වළ දැම්මා. අයියගේ ළඟ වැඩකරපු ගෝලයෝ ජනතා විමුක්ති පෙරමුණ විවේචනය කළ නිසා අයියාට ඒවා පාලනය කරගන්න බැරිවුණාට දඬුවම දීලා තිබුණේ ඒ විදියට. ගෙදරින් අරං ගිහිං මීටර් පන්සියයක් විතර දුරක දී වෙඩි තියලා මරලා තිබුණේ. එතන ගමේ තව දෙන්නෙක් මරලා දාලා තිබුණා.” සිරිපාල විජේසිංහ මහතා කරුණු කියයි.   


ඔහු පවසන ආකාරයට බලහරුවට නුදුරින් ගලා බසිනා කුඩා ඔයෙන් එගොඩ කන්දේ දේශප්‍රේමීන්ගේ පුහුණු කඳවුරු තිබූ බවයි. ආරක්‍ෂක අංශ නිතර ආ නොගිය නිසා දේශප්‍රේමීන්ට නිතර ගැවසිය හැකි ප්‍රදේශයක් වීම නිසා ඔවුන්ට එරෙහි වැසියන්ට මේ ප්‍රදේශය පීඩා ගෙනදුන් කලාපයක් විය.   


අබකොළආර සහ දේවගිරි කන්ද ප්‍රදේශය ජනතා විමුක්ති පෙරමුණේ රහස් පුහුණු කඳවුරු පිහිටා තිබූ තැන් බව හොඳින් දැන සිටි බව ද සිරිපාල විජේසිංහ මහතා පවසයි.   
“ඒ වුණාට අපි ඒවා ගැන කාටවත් කිව්වේ නෑ. නමුත් සමහර අවස්ථාවල හමුදා මෙහෙයුම් සිදු කෙරුණා. ඔය කඳවුරු ප්‍රදේශත් මෙහෙයුම්වලට ලක් වුණාම ‘දේශප්‍රේමීන්ගේ’ ක්‍රියා අනුමත නොකළ යූඇන්පියේ අය තමයි ඔත්තු දුන් බවට සැක කරලා දඬුවම් ලැබුවේ. දඬුවම් දෙන්න ආපු සමහරු අපි අඳුනාගත්තා. එයාලා වෙස් වළාගෙන ආවට නිතර දෙවේලේ දකින අපිට අතපය දැක්කම කියන්න පුළුවන් මේ ඉන්නේ අහවලා කියලා. ඒ ආපු අයගෙන් වැඩි දෙනෙක් දැනට ජීවතුන් අතර නෑ. සමහරු ඉන්නවා. ඒ අය දැන් නිතර අපිත් එක්ක ඇසුරු කරනවා. එයාලා දැන් ඒ දේශප්‍රේමී ව්‍යාපාරවල නෑ.” සිරිපාල විජේසිංහ මහතා හෙළි කළේ ය.   


මේ කාලය වනවිට හම්බෙගමුව මුතුමාල රජමහා විහාර භූමියේ යුද හමුදා කඳවුරක් ස්ථාපිත කර තිබුණි. පන්සලේ හිටි ප්‍රඥාසාර තරුණ හාමුදුරුවෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කර ගුරු පත්වීමක් ලැබී කටයුතු කරන්නට සූදානම්ව සිටි හිමි නමකි. මේ වකවානුවේ හම්බෙගමුවට විදුලිය තිබුණේ නැත. ප්‍රඥාසාර හාමුදුරුවන්ගේ කාමරයේ කළු සුදු රූපවාහිනියක් තිබුණ අතර කාර් බැටරියකින් එය ක්‍රියාත්මක කරනු ලැබිණි.   


ඒ රූපවාහිනි යන්ත්‍රයට පන්සලේ තිබුණ හමුදා කඳවුරේ ඇති රේඩියෝ සංඥා හොඳින් ශ්‍රවනය විය. පන්සලට එන හාමුදුරුවන්ගේ හිතවතුන් එක්ක ඒ පණිවිඩවලට සවන් දීම ද සිදුවිය. අපි මුලින් කතා කළ තිලක් ද ඒ බව දැන සිටියේය. ප්‍රඥාසාර හාමුදුරුවෝ හමුවෙන්න ආ තරුණ පිරිස දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට සම්බන්‍ධ වූ අය බව වැඩි දෙනෙක් දැන සිටියේ ය. තිලක් සහ සරේ මිනීපෙට්ටිවල චිත්‍ර අඳින්නට දිගම්පැලැස්සේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නායකයන් රැස්වූ කඳවුරුට යන්නේ ද ප්‍රඥාසාර හිමියන්ගේ සැලසුමක් අනුවය.   

 


අජිත්ලාල් ශාන්තඋදය සහ 
හම්බෙගමුව මහින්ද අබේරත්න