නියම ජීවිතය හොයාගත් යුදෙව් පවුලක්


ලෝකෙන් ටිකක්

නටාෂා සහ යයිර් දරු දෙදෙනා සමඟ

 

දරු උපතක් නිසා පවුලක සාමාන්‍ය ජීවන චර්යාව මෙන්ම මාපියන්ගේද ජීවිත සෑහෙන්නට වෙනස් වී යයි. දරුවාගේ වයස මාස කිහිපයක් වූ පසු මාපියෝ නැවත සුපුරුදු ලෙස සිය රාජකාරිවලට යොමුවෙන්නේ ජීවන අරගලය තුළ එක් අයෙක් පමණක් රැකියාවක් කර ජීවිතය ගැට ගසාගන්නට නොහැකිවීම නිසයි.   


ඊශ්‍රායල වැසියන් වන නටාෂා බිරාන් සහ ඇගේ සැමියා යයිර් යන දෙදෙනා ඔවුන්ගේ අලුත උපන් මාඕස් පුතාට වයස මාස හයක් වෙන විට ඔහු දමා යාම සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් සොයන්නට වූයේ නොකර බැරිකමටය. එහෙත් තම සිඟිත්තා තනිකර දමා යන්නට නටාෂාට හිත හදාගත නොහැකි විය. වෘත්තියෙන් නීතීඥවරයෙකු වූ ඇගේ සැමියා කාර්යබහුල තැනැත්තෙකු වූ බැවින් තරගකාරී කාර්යාල ජීවන රටාව තුළ ඔවුනට එකිනෙකාගෙන් බොහෝ දුරස්ව ජීවත්වෙන්නට සිදුව තිබිණි.   
ඔවුනට අකමැත්තෙන් වුවද ඇදගෙන යාමට සිදුව තිබුණු ජීවන අරගලය ගැන වෙනම කෝණයකින් බැලීමටත්, තමා කරන දෙය පිළිබඳව තමා ම ප්‍රශ්න කරන්නට ඒ දෙපළ පෙළඹුණේ දරුවා වෙනුවෙන් අලුතෙන්ම සිතන්නට වූ බැවිනි. ඒ අනුව තීරණයක් ගත් මේ යුවළ රැකියාවලට සමුදී මාස හයක් වයසැති පුංචි පුතා ද රැගෙන ඊශ්‍රායලය පුරා සංචාරය කරන්නට පටන් ගත්හ. මුදල් සෙවීම සඳහා දෙදෙනාම අන්තර්ජාලයේ ලිපි පරිවර්තනය කළ අතර අවශ්‍ය වෙලාවට වැඩ කරන්නටත් අනවශ්‍ය වෙලාවට වැඩ නොකර ඉන්නටත් ඔවුනට නිදහස ලැබිණි.   


ඔවුන්ගේ තීරණයට සමාජයෙන් ලැබුණේ සුළුපටු විවේචන නොවේ. ඔවුන්ට පිස්සු හැදීගෙන එන බවත්, යසට කරමින් සිටි රැකියා අත්හැරීම මෝඩකමක් බවත් නොයෙක් දෙනා ඔවුන් විවේචනය කරන්නටත්, උපදෙස් දෙන්නටත් වූහ. තවත් සමහරු ඔවුන්ගෙන් ඇසුවේ සාමාන්‍ය අයුරින් ජීවත්වෙන්නට නොහැකි ඇයිද යන්නයි. ඒ කිසිවක් කනකට නොගත් මේ යුවළ ඔවුන් කැමති දෙය කරන්නට අදිටන් කරගෙන සිටියෝය.   


වසරක් ගත වෙන තුරු ඔවුන් ජීවත්වූයේ අකුලාගෙන යා හැකි කුඩා ජංගම කූඩාරමකය. පසුව තාවකාලික ජනාවාසයක වසර තුනක් පදිංචිව සිටි අතර ඔවුන්ගේ දියණිය ගෙෂාම් ලැබුණේ ඒ කාලයේදීය. ලෝකය පුරා සංචාරය කරන්නට ඔවුනට අදහසක් පහළ වූයේ ඒ අවදියේදී ය. ඒ වෙන විට එංගලන්තයේ සිටි නටාෂාගේ පියාගේ මරණය නිසා ඔවුහු එහි ගිය අතර, ඒ ගමන දිගු ගමනක පළමු පියවර බව දෙදෙනාම සිතූහ. ඒ සිතුවිල්ල සඵල කරගැනීමට අවකාශ ලැබුණෛ් බෝන්මවුත්හි සිටි ඔවුන්ගේ නෑදෑයෙකු එහි නවතින්නට එන ලෙස ආරාධනා කළ නිසාය.   


ඉන් අනතුරුව ඔවුහු වේල්ස්, ලන්ඩන් හා මැන්චෙස්ටර් දැක බලාගෙන ජර්මනියටත්, ස්විට්සර්ලන්තයටත් ගොස් අවසානයේ ඊශ්‍රායලයට නැවත ගියහ. අද වෙන විට ඔවුන් තායිලන්තය, ශ්‍රී ලංකාව, උතුරු ඉන්දියාව හා මාල දිවයින යන රටවල එසේ ජීවත් ව තිබේ.   


ඒ ගිය හැම රටකදීම ඔවුන් දිනපතා එකම වෙලාවට ආහාර ගැනීම, දැනහඳුනාගැනීම සඳහා තෝරාගත් ආපනශාලා කිහිපයකට යාම වැනි පුරුදු පවත්වාගෙන ගියහ. දෙදෙනාම අන්තර්ජාලයේ ඉංග්‍රීසි ලිපි හා හීබෘ බසින් ලිපි ලිවීම හා පරිවර්තන කිරීම වැනි කටයුතුවල යෙදුණ අතර යායිර් වැඩි පැය ගණනක් වැඩවලට වෙන් කළ අතර නටාෂා විවේකී සවස් කාලවල පමණක් තෝරාගත් වැඩ කරන්නට පුරුදු වූවාය. අන්තර්ජාල පහසුකම් ගැන වද වෙන්නටම දෙයක් නොමැති බව ඔවුන් සඳහන් කරන්නේ නිරන්තරව විදුලි සැපයුම කපා හරින ඉන්දියාවේ සහ හිමාලයේ කුඩා ගම්මානයක පවා ඔවුන් සති තුනක් පමණ බාධාවකින් තොරව වැඩ කටයුතු කරගත් බව කියමිනි.   
නම්‍යශීලී වෙනවා නම්, නිර්මාණශීලී වෙනවා නම්, ඕනෑම තැනක් තාවකාලික කාර්යාලයක් කරගන්න පුළුවන් යැයි නටාෂා කියන්නේ ඇගේම අත්දැකීමෙනි. ඔවුන්ගේ සැම සංචාරක්ම නටාෂා ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එකතු කරන්නීය.   


“ළමයි පාසල් යැවීම ගැන මොකද කරන්නෙ? ඔවුන් අහනවා.   
මම කියන්නේ ඔවු ඉතින් මොකද?   


පයින් ඇවිදයමින් ඔවුන් භූගෝල විද්‍යාව ඉගෙන ගන්නවා. සජීවීව දැකීමෙන් මුහුදු ජීවීන් ගැන ඉගෙන ගන්නවා. රසයෙන් වෙනත් සංස්කෘති හඳුනාගන්නවා. සවන් දීමෙන් ආගම ගැන ඉගෙනගන්නවා.   

 

මාඕස් සහ ගෙෂාම් යන දරු දෙදෙනා 

 


නම්‍යශීලීත්වය ඉගෙන ගන්නේ ඔවුන්ගේ ජීවන රටාවෙන්මයි. සරල බව, අඩු අවශ්‍යතා සහිතව ජීවත්වීම හා උදාසීන බව ගැනත් ඔවුන් ඉගෙන ගන්නවා.   
මේ සංචාරක ජීවිතය ඒ දෙන්නට තෑග්ගක්. ඒ ගොල්ලන්ට ගොඩක් වෙලාව තියෙනවා අපිත් එක්ක ගත කරන්න. ඒ වගේම ආදරය ගැන, ආදරය වෙනුවෙන් කරන්න වෙන කැපවීම් ගැන ඔවුන් අපි දිහා බලාගෙන ඉගෙන ගන්නවා. අභියෝගයකදි වුනත් එකිනෙකා සමඟ සහයෝගයෙන් වැඩ කරන්නෙ කොහොමද කියලා ඔවුන් මේ පුංචි වයසට තේරුම් අරන් තියෙනවා. ඉතින් මේ ලෝකය හා ඔවුන්ගේ ජීවිතය තමයි ඔවුන්ගේ පාසල.” 

 
මාඕස් සහ ගෙෂාම් යන දරු දෙදෙනාට අධ්‍යාපනය ලබාදීමේ වැදගත්කම හොඳින් අවබෝධ කරගෙන සිටින මේ දෙදෙනාට පාසල පිළිබඳව තිබෙන්නේ වෙනම සංකල්පයකි.   
“අපේ පුතා මාඕස් හැම දෙයකින්ම දැනුම උරාගන්නා දරුවෙක්. එයාගෙ වයසේ සාමාන්‍ය දරුවෙක් දන්නවට වඩා ගොඩක් දේවල් එයා දන්නවා. අපි ඉන්දියාවෙ ඉන්න කොට දිවාලි උත්සවය කියන්නෙ මොකද්ද කියලා එයා මගෙන් ඇහුවා. ඒ අනුව හින්දු ආගමෙන් පටන් ගෙන අපි නොයෙක් ආගම් ගැන, විශ්වාසයන් ගැන කතා කළා.   
මම ගියේ පුද්ගලික පාසලකට. විශ්වවිද්‍යාලයටත් ගියා. උපාධියකුත් ගත්තා. ඒත් ඒ කිසිවකින් මට නොලැබුණු මහා විශාල දැනුම් සම්භාරයක් මගේ පුතා මේ වෙනකොට ලබාගෙන තියෙනව. එයා දැනට ඉංග්‍රීසියි හීබෘ භාෂාවයි කියවන්න ඉගෙන ගන්නවා. හැබැයි ඒ එයාගෙම විදියකට. එයාගෙ වේගෙන්. එයා වෙරළට ගියාම ඉගෙන ගත්ත අකුරුයි, අංකයි කෝටුවක් අහුලගෙන වැල්ලේ ලියනවා.” ඇය එසේ කියන්නේ බොහෝ සතුටිනි.   


“මට වෙලාවකට විශ්වාස නෑ අපි ඇත්තටම මේ ජීවත්වෙනවද කියලා. ඒ තරමට සොඳුරු අත්දැකීමක්. හරියට හීනයක් දකිනවා වගේ. නමුත් මම එකක් දන්නව. අද අපි මේ නිදහස, සුන්දරත්වය විඳින්නේ අපේ වාසනාව නිසා නෙමෙයි. අපිත් ඔහේ හැමෝම කරන විදියට රස්සා කළා. ජීවත් වුණා. හැබැයි මේ තත්ත්වයට ආවෙ අපි අපේ ජීවිත යහපත් පැත්තට වෙනස් කරගන්න තීරණය කළ නිසා. සාම්ප්‍රදායික චින්තනයෙන් මිදිලා බැලුවොත් මේ ලෝකය මොනතරම් පුළුල් ද, එහි ජීවත්වෙන්න මොනතරම් ක්‍රම තියෙනවද කියල පේන්න පටන් ගන්නව. අවශ්‍ය වෙන්නෙ තමන් ලෝකය දිහා බලන කෝණය වෙනස් කිරීමයි.”   


ඇත්තටම ඒ වාසනාව නොවේ. වැදගත් තීරණවල ප්‍රතිඵලයි. තවත් ඉදිරියට යථාර්ථය වටහා ගත් මෙවැනි දිරියවන්තයෝ දකින්නට ලැබෙනු ඇත. දැනටමත් ලෝකයේ රටවල් ගණනාවක සංචාරය කර තිබෙන ඔවුන්ගේ දරුවන් මෙලොව සිටින වාසනාවන්තම දරුවෝ බව නම් නොකියාම බැරිය.   

 


අන්තර්ජාලය ඇසුරිනි.   
නිසංසලා දිසානායක