නියත ලෙසම ජය ගෙනදෙන ජය යෝගය


ලෝකය විවිධය, විසමය යන්න ධර්ම සංග්‍රහය නම් බෞද්ධ ග්‍රන්ථයක සඳහන්ව තිබූ වචන 3 කි. ලොව හැඳින්වීමට මෙයට වඩා උචිත වචන පෙළක් නැති තරම්ය. රටින් රටට ජන සමාජයේද පරිසරයේද මෙම විවිධත්වයත් විසමතාවත් දක්නට ඇත. එහෙත් ඉහත වදන භාවිත කොට ඇත්තේ පුද්ගලයන් උදෙසාම බව ලෝකයේ පුද්ගලයින් විවිධය. ඔවුන්ගේ අදහස් විසමය යනුවෙන් පුළුල්ව ගත්විට වඩාත් පැහැදිලි වේ.  


ලොව වෙසෙන විවිධ පුද්ගලයින්ගේ විසම බව පිළිබිඹු වන්නේ ඔවුන්ගේ සිතුම් පැතුම් හා ක්‍රියාකාරකම් අනුවය. එම සිතුම් පැතුම් හා ක්‍රියාකාරකම් අනුව ඔහුට හෝ ඇයට සිය ජීවන ගමනේදී දුක සැප, ලාභ අලාභ නින්දා ප්‍රශංසා, යසස අයස යන අටලෝ දහමට මුහුණදීමට සිදුවේ. මෙම අටලෝ දහමට අනුව යමෙකුගේ ජීවිත කතාව පෙන්නුම් කරන කැඩපතක් වන්නේ ජන්ම කේන්ද්‍ර සටහනයි.  


කෙනෙක් උපතින්ම වාසනාව රැගෙන එයි. තව කෙනෙක් උත්සාහයෙන් වාසනාව පාදාගනී. තවත් කෙනෙකුට කොතෙක් උත්සාහ කළත් වාසනාව ඉස්මතු නොවේ. ඒ අතර තවත් අයෙක් උපතින්ම අවාසනාවන්තයකු වේ. මේ සියල්ල ජන්ම කේන්ද්‍රයේ සටහන්ව ඇත. මෙම ලිපියෙන් අදහස් කරන්නේ උපතින්ම වාසනාව රැගෙන එන බව සනාථ කෙරෙන යෝගයක් පිළිබඳව හඳුන්වා දීමයි. මෙම යෝගයෙන් උපන් ජන්මියා නියත වශයෙන්ම සමාජයේ උසස් තත්ත්වයට පත්වේ. ජීවිතය ජයගනී. එම යෝගය හඳුන්වන්නේද ජය යෝගය යන නමිනි.  


ක්ෂේත්‍රයේ ඉහළින්ම ඇති කොටුව අංක 1 වශයෙන් සලකා වම් අත පැත්තට ගැනගෙන යාමේදී කොටු 12 ක් ඇති බව අපි දනිමු. මේවා භාව වශයෙන් හඳුන්වයි. මෙම සෑම භාවයකටම අධිපති ග්‍රහයෙක් සිටින අතර, ඔවුන් හඳුන්වන්නේ භාවාධිපතියන් වශයෙනි. නැතහොත් 1 අධිපති 2 අධිපති ආදී වශයෙනි. එක් එක් ලග්න අනුව මෙම භාවාධිපතියෝද වෙනස් වෙති. ජය යෝගය නිර්මාණය වන්නේ කේන්ද්‍රයක 6 හා 10 යන භාව ඇසුරිනි.  


6 අධිපති නීච වී 10 අධිපති උච්ච වී සිටීමයි. උදාහරණ ලෙස මේෂ ලග්නයේ 6 අධිපති බුධය. 10 අධිපති ශනිය. මේෂ ලග්න කේන්ද්‍රයක එම බුධ නීච වන්නේ 12 සිටීමෙනි. ශනි උච්ච වන්නේ 7 සිටීමෙනි. ඒ අනුව එක් එක් ලග්නයට 6 සහ 10 අධිපති කවුද යන්නත්, ජයයෝගය නිර්මාණය වීම සඳහා ඔවුන් එම කේන්ද්‍රයේ සිටිය යුතු ස්ථානයක් පහත දැක්වේ.  


මේෂ - බුධ 12 ශනි 7  
වෘෂභ - සිකුරු 5 ශනි 6  
මිථුන - කුජ හා ගුරු 2  
කටක - ගුරු හා කුජ 7  
සිංහ - ශනි 9 සිකුරු 8  
කන්‍යා - ශනි 8 බුධ 1  
තුලා - ගුරු 4 සඳු 8  
වෘශ්චික - කුජ 9 රවි 6  
ධනු - සිකුරු හා බුධ 10  
මකර - බුධ හා සිකුරු 3  
කුම්භ - සඳු 10 කුජ 12  
මීන - රවි 8 ගුරු 5  


මෙම යෝගය පිහිටන මිථුන, කටක, ධනු, මකර යන ලග්න හිමියන්ට නීච භංග රාජයෝගයකටද හිමිකම ලැබේ. එසේ වන්නේ එකම භවයකදී එක් ග්‍රහයෙක් නීචවී අනෙක් ග්‍රහයා උච්ච වීම අනුව නීච ග්‍රහයාගේ නීච තත්ත්වය භංග වීම නිසාය. එමෙන්ම කටක හා මකර ලග්න හිමියන්ට තවත් රාජයෝගයක් වන ධර්ම කර්මාධිපති යෝගයේ හිමිකමද ලැබේ. එසේ වන්නේ 9 හා 10 අධිපතියන් සමග සබඳතාවක් සිදුවන බැවිනි.  


මේ අනුව ජය යෝගයේ බලය ලග්න 12 අතරින් පළමුව කටක හා මකර ලග්න හිමියන්ටත්, තෙවනුව අනෙක් ලග්න හිමියන්ටත් ලැබීමේ ප්‍රවණතාවක් පවතින බව කිවහැකිය. කෙසේ වුවද ජයයෝගයක හිමිකරුවන් අභියෝග ජයගනී. සමාජ පිළිගැනීමට ලක්වේ. ඒ අනුව මහජන නියෝජිතයකු වීමේ වාසනාව ලැබේ.​  


​ෙභෟතික සම්පත් හිමිකම සහ දීර්ඝායු විඳීමේ වාසනාවද ලැබේ.  


එහෙත් මෙහිදීද බාධක ග්‍රහයා, 22 වන දෙර්කාණාධිපති ආදී අශුභ ග්‍රහ බලපෑම කෙසේදැයි විමසා බැලිය යුත්තේ එම ග්‍රහ බලපෑම මත යෝග බලය පිරිහෙන බැවිනි.  

 

 


ගෞරව සම්මානලාභී පාරම්පරික  
ජ්‍යොතිර්වේදී එච්.එම්.ටී.බී. හේරත් (බී.ඒ)  
109 පැරකුම් මාවත, උයන්දන  
කුරුණෑගල.