නිදියහනේදී බිරිය එපාවූ ආදරවන්තයා


 

 

අතුරුගිරිය නගරයේ ඉතා පොහොසත් පවුලක වැඩිමල් දියණිය වන රියානා, අර්ෂාඩ් සමඟ විවාහ වූයේ ප්‍රේම සම්බන්ධයකින් අනතුරුවය. රියානාගේ උගත්කමට සරිලන පුද්ගලයෙකු නොවූවත් අර්ෂාඩ්ට රියානාගේ මව්පියන්ගේ කැමැත්ත ලැබුණේ රියානා කිසිදිනක ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකරගෙන තමන්ගේ වචනයට විරුද්ධව ක්‍රියා නොකළ, කීකරුව හැදී වැඩී ඉගෙනීමේ කටයුතු ද සම්පූර්ණ කර කොළඹ පාසලක ඉංග්‍රීසි ගුරුවරියක වශයෙන් රැකියාව ද කර හැමෝගේම හිත දිනාගෙන ජීවත් වූ නිසා ඇයගේ කැමැත්තට ඉඩ දිය යුතු යැයි ඔවුන් සිතූ නිසාය.   


මාස හයක කාලයක් ප්‍රේම සම්බන්ධය පැවැතියද රියානා අර්ෂාඩ්ගේ ගතිගුණ ගැන හරිහැටි අවබෝධ කරගෙන නොසිටියාය. රියානාට අර්ෂාඩ් කොහෙත්ම ගැළපුණේ නැත. රියානාගේ රූ සපුව එතරම්ම සුන්දරය. උගත්කම හා නිහතමානීකමින්ද පරිපූර්ණය. එහෙත් අර්ෂාඩ් ඊට හාත්පසින්ම වෙනස් අයෙකු වූවේය. රියානාගේ ප්‍රථම ප්‍රේමය අර්ෂාඩ්ය. ඔහුගෙන් ඇය බලාපොරොත්තු වන ආදරයක් සෙනෙහසක් නොලැබුණද රියානාගේ හදවතේ ඔහු කෙරේ ඇති ආදරය නිසා ඇයට ඒ වගක් අවබෝධ නොවීය. ඒ නිසාම මාපියන්ගේ කැමැත්තද ගෙන රියානා අර්ෂාඩ් සමඟ යුගදිවියට එළඹුණාය. විවාහයෙන් පසු ඇගේ ජීවිතයට කණකොකා හැඬුවේය.   


රියානා නිතරම පසුවූයේ හැඬූ කඳුළිනි. “මොකද රියානා ඔයා හැමවෙලේම අඬාගත්තු ගමන්මනේ ඉන්නේ. ඉස්සර කොච්චර සතුටින් හිටියද ඔයා? ඇයි මේ. අර්ෂාඩ් ඔයාගේ හිත රිද්දනවද.” රියානාගේ අම්මා ඇසුවේ තම දියණිය නිතරම කල්පනා කරමින් නැතහොත් අඬමින් සිටින නිසාය.   


“එයා මට ආදරේ නෑ අම්මේ” රියානා ඉකිගසා අඬමින් අම්මාට පැවසුවාය.   


“ඇයි මොකද වුණේ කියන්නකො.. මම අර්ෂාඩ්ගෙන් අහන්න” අම්මා දියණියව අස්වසමින් ඇසුවා.   


“මට කිසිම සතුටක් නෑ. එයා වැඩට ගිහින් ආවම කාලා ඇඳට වෙලා ෆෝන් එකේමයි ඉන්නෙ නින්ද යනකම්ම. මාව අල්ලන්නෙවත් නෑ. මම නිදාගන්න ගියාම එයා අනිත් පැත්තට හැරිලා නිදා ගන්නවා අම්මේ. මගේ එක්ක කතා කරන්නෙවත් නෑ. අහන දේට උත්තර දීලා නිකම් ඉන්නවා. ගෙදර ඉන්නෙම ෆෝන් එකේ” රියානා තම දුක අම්මාට කියාගෙන කියාගෙන ගියාය.   


“ඕවා අපි කරලා දීපුවා නෙමෙයිනෙ. ඔයාම හොයාගෙන අපිට කිව්වා අපි කරලා දුන්නේ ඔයාගේ සතුට වෙනුවෙන්. මම තාත්තා එක්ක මේ ගැන කතා කරලා බලන්නම්” අම්මා දියණිය ගැන සොවින් යුතුව කාමරයෙන් පිටවූවාය.   


විවාහ වූ දා පටන් රියානා රැකියාවෙන්ද ඉවත් වූවාය. ඇයට අවශ්‍ය වූයේ හොඳ බිරිඳක් වශයෙන් ජීවත් වීමටය. අර්ෂාඩ්ගේ වෙනස්කම් නිසා ඇය නිතරම හැඬුවාය.   
“මොන කන්දොස්කිරියාවක්ද මන්දා හැමතිස්සෙම අඬනවා අඬනවා ඉවරයක් නෑනේ. මොන කරුමක්කාරියක්ද මං මේ බැඳගත්තේ. ෂිහ් මගේ සතුටත් නැතිවෙලා ගියා මදිවට නිකංම නිකං ගෑනියෙක්වනෙ මං බැඳගෙන තියෙන්නෙ” අර්ෂාඩ් නිතරම ඇයට දෝෂාරෝපණය කළේ කිසිඳු වරදක් නොමැතිවය.   


ඔහු නිවසේදී හැසිරුණේ බෝඩිංකාරයෙකු වාගේය. රැකියාවට ගොස් පැමිණ ඇඳුම් උනා තැන තැන දමයි. සපත්තු දෙක තව තැනකය. ආහාර ගත්තාට පසු පිඟානේ ආහාර ඉතිරිව තිබියදීම පිඟානටම අත සෝදයි. අත සේදීමට බඳුනක් තිබුණද ඔහු කෙදිනකවත් ඔහුගේ පුරුදු වෙනස් කළේ නැත. කිසිඳු පිළිවෙළක් නැති ඔහුගේ ක්‍රියා නිසා රියානා සිටියේ තරහෙන්ය. ඔහු උවමනාවෙන්ම තමා සමඟ ගැටුමක් ඇති කරගැනීමට මෙසේ හැසිරෙයිද නැතහොත් ඔහුගේ ක්‍රියාකලාපය මෙසේද යන්න රියානාට අවබෝධ කරගත නොහැක.   


“මොකක්ද වෙලා තියෙන්නේ අර්ෂාඩ්. මං හැමතිස්සේම අස්කරනවා. ඔයා හැඩිකරනවා. පිළිවෙළකට ඉන්නකො” ඇය සැමියාට කීවාය.   


“මේ තමුසේ මට අණ දෙන්න එන්න එපා. මොන පිළිවෙළක්ද මේ... මං මේ ලෙඩෙක්ව බැඳගෙන මගේ ජීවිතේ නාස්ති කරගත්තා. තමුසෙව මට එපා. තේරුණාද..” අර්ෂාඩ් රියානාගේ මුහුණට කඩාගෙන පැන්නේය.   


දිනෙන් දින දෙදෙනාගේ ආරවුල් වැඩි විය. අර්ෂාඩ් රියානාව අතහැර නිවසින් ගියේ ආයේ නොඑන්නටමය. අර්ෂාඩ් රියානා සමඟ ජීවත්වූයේ මාස දෙකක් පමණි. ඔහු සිටිනා තැනක් දැනගැනීමටවත් නොහැකි විය. ඔහුගේ මාපියන්ගෙන් ඇසුවාම ඔවුන්ද රියානාටත් පවුලේ අයටත් දෝෂාරෝපණය කළේ රියානාගේ වැරදි කියමින්ය. වැදගත් පවුලක් වන රියානාගේ මාපියෝ දියණියගේ පවුලේ ප්‍රශ්න පිටතට නොදී ඉන්නට වගබලාගත්තෝය. එහෙයින් ඔවුහු පොලිසියටවත් නොගියෝය. රියානා හැඬූ කඳුළින් පසුවූවාය. ඇයට අර්ෂාඩ්ව නොදැක බැරිවිය. ඔහු කොපමණ බැන්නත් රියානා ඔහුට පණ මෙන් ආදරය කළාය. ඇය කිසිම කෑමක් කෑවේ නැත. ඇඳටම වී අඬාගත්වනම සිටියාය.   
රියානා පිස්සියක සේ අර්ෂාඩ් සේවය කරන ආයතනයට ගියාය. ඔහු එතැනදී ඇයට නොසෑහෙන සේ බැන ඇයව එළවා ගත්තේ බොහෝ නින්දා කරමිනි. සැමියාගේ ආයතනයේ සියල්ලන් ඉදිරියේ තමන්ට නින්දිත අයුරින් බැන වැදුණ තම සැමියාට වචනයක්වත් නොකියා රියානා ආපසු නිවසට පැමිණ බොහෝ වේලාවක් යනතුරුම හැඬුවාය.   
“මට එයා නැතුව ඉන්න බෑ අම්මේ. එයාව මට ඕනේ. කොහොම හරි එයාව ගෙනල්ලා දෙන්න මට” රියානා බැගෑපත් වූවාය. රියානා නොකා නොබී සිටීම නිසා ඇය නිතරම අසනීප වන්නට වූවාය. ඇයගේ මාපියන්ට ඇයගේ තත්ත්වය බලා සිටිය නොහැකි වුවත් කරන්නේ කුමක්දැයි කල්පනා නොවීය.   


අර්ෂාඩ් රියානාව විවාහ කරගත්තේ ඇයගේ දේපළ තමන්ට ලැබේවියි යන බලාපොරොත්තුවෙනි. එහෙත් එවන් දෙයක් ඇයගේ මව්පියන් විසින් නොකරන බව අවබෝධ වීම නිසා ඔහු ඇය සමඟ නිතරම ඇයගේ දොසක් සොයාගෙන ආරවුල් ඇති කරගත්තේය. ඉන්පසු ඇයව අතහැර දමා ගියේ ඔහුගේ මාපියන්ගේ ද අනුදැනුම ඇතිවය.   
රියානාගේ පවුලේ ඥාතීහු අර්ෂාඩ් රියානා හැරගියාට පසු ඔහුට අනියම් සම්බන්ධයක් ඇති නිසා ඔහු මෙලෙස රියානාව හැරගියේ දැයි දැනගැනීම සඳහා ඔහු ගැන විපරම් කළහ. එහෙත් ඔහුට අනියම් සම්බන්ධතාවක් හෝ ඔහු විවාහ වීමට පෙර හෝ කිසිදු යුවතියක සමඟ ප්‍රේම සම්බන්ධතාවක් හෝ පවත්වා නොමැති බව දැනගැනීමට ලැබුණි.   
අර්ෂාඩ්ට වෙනත් කාන්තාවක් සමඟ සම්බන්ධතාවයක්ද නොමැති නම් තම බිරිඳව අතහැර ගියේ ඇයි දැයි හැමෝටම ගැටලුවක් විය. මේ අතරතුරදී ඔවුන්ට දැනගැනීමට ලැබුණේ අර්ෂාඩ් සමලිංගික සම්බන්ධකමට ඇබ්බැහි වූවෙකු බවයි. රියානාගේ දේපළ තමන්ගේ නමට හරවාගෙන රියානාව අතහැර දැමීමට ඔහු සිතා සිටියත් ඔහුගේ බලාපොරොත්තු ඉෂ්ට නොවීම නිසා ඔහු රියානාව අතහැර ගියේය.   


අර්ෂාඩ්ගේ සැබෑ තත්ත්වය පැහැදිලිවම දැනගැනීමට හැකි වුවද රියානාට ඔහුව අමතක කළ නොහැකි විය. ඇය සිතුවේ ඔහුව යහපත් කෙනෙකු කරගත හැකි බවයි.   
හැරගිය අය ගෙන්වා දෙන මුස්ලිම් පූජකවරයෙකු ගැන ඇයට මිතුරියකගේ මාර්ගයෙන් දැනගැනීමට ලැබුණි. ඇය එම පූජකවරයා වෙත ගොස් තම ස්වාමිපුරුෂයාව ගෙන්වා දෙන මෙන් අයැද සිටියාය. ඒ සඳහා කළ යුතු පූජාවන් පූජකවරයා කිවූ පරිදි ඇය කළාය. ඇයට යක්ෂ දෝෂය තිබෙන බැවින් මුලින් එය ඉවත් කළ යුතු බව පූජකවරයා පැවසූ අතර, ඇයට මතුරන ලද බුලත් කොලයක යමක් ඔතා ඇයට එය අනුභව කරන ලෙස දැන්වීය. ඉන්පසු දෙවියන්ට කැප කරන ලද පැන් වගයක් ඇයගේ මුහුණට දමා ගසමින් යමක් මැතිරුවේය.   
ඉන්පසු පූජකවරයා ගෙනෙන්ට යැයි කියන ලද රතු බිත්තර තුන හා සුදු බිත්තර දෙක ඔහු අතට ගත්තේය. එම බිත්තර මතුරා පසෙක තබා ගත්තේය.   


“මේ බිත්තර මම ගිහින් රේල් පාරක ගහනවා. බිත්තර තුන ගහනකොට එයා එයි” පූජකවරයා පැවසීය. ඉන්පසු ඇයට යළි පැමිණෙන ලෙස දන්වා දිනයක් ලබා දුන්නේය. ඇය එම දිනයට ගිය විට යමක් ඇඳ තිබූ සුදු පැහැති තහඩුවක් ඇය අතට ලබාදුන් පූජකවරයා එම තහඩුව මුට්ටියකට දමා ඒ මතට මුහුදු වැලි දමා දින නවයක් තහඩුව රත් කරන ලෙස කීවේය. ටික දිනක් යනවිට ඔහු ඉබේම ඇය සොයා එයි කියා පැවසීය. ඇය දින හතරක් එම තහඩුව රත් කළාය. පස්වන දින අර්ෂාඩ් නිවසට ආවේය. ඇයට සිතාගැනීමට නොහැකි විය.   


එහෙත් ඇය බලාපොරොත්තු වූ දේ සිදු නොවීය. ඔහු ඉතිරිව තිබූ ඔහුගේ බඩු බාහිරාදිය රැගෙන යාමට පැමිණි අතර, ඇය ඔහුගේ දෙපා වැලඳගෙන හඬා වැටෙද්දී ඇයට පයින් පහරක්ද ගසා නිවසින් පිටවූයේ “මං නෙමෙයි තමුසෙට වෙන කිසිම මිනිහෙක් ලැබෙන්නෙ නෑ” කියමිනි. ඇය පූජකවරයා සොයා ගියාය. සියල්ල පැවසුවාය.   


“හරි තහඩුව රත් කරද්දි කොහොම හරි ඇවිල්ලා හරි ගියානේ. ඔයාට අපල තියෙනවා. ඒකයි ඔය දෙන්නා ඈත් වෙන්නේ. නැත්තම් මං කරපු දේට එයා ඔයාව දාලා යන්නෙ නෑ. අපලවලට යන්ත්‍රයක් හදලා දෙන්නම්. ඒකත් දාගන්න” කපු මහතා පැවසීය.   


ඇය බොහෝ අසරණ වූවාය. අර්ෂාඩ්ව ගෙන්නා ගැනීමට පූජකවරයාට විශාල මුදලක් ඇය ලබාදී තිබුණි. දැන් අපල වලටද යන්ත්‍රයක් දමා ගැනීමට මුදල් ගෙවිය යුතුය. ඇය ආපසු එන්නම් කියා එතැනින් පිටව ආවාය. ඇය බොහෝ හැඬුවාය. කරන කිසි දෙයක් හරියන්නේ නැත. ඇය අර්ෂාඩ්ව ගෙන්නා ගැනීමට දේවාල ගානේ ගියාය. කපු මහත්වරුද මුණ ගැසී ඔවුන් කියන පරිදි පොල් ගැසුවාය. කිසිම පිළී කෑමක් නොකා උපවාස කළාය. ඒත් ඒ කිසිම දෙයකින් අර්ෂාඩ්ව ගෙන්නා ගැනීමට නොහැකි විය.   


අර්ෂාඩ් ආයෙත් ඇය වෙතට එන්නේ නැත. කිසිම දෙවි කෙනෙක් ඇයට පිහිට වන්නේ නැති බව සිතා ඇය ජීවිතේ නැති කරගැනීමට පවා උත්සාහ කළාය. එහෙත් නිවැසියන්ගේ විපරම් දෑස් නිසා ඇයගේ ජීවිතය රැකුණි. ලස්සනට ඇඳුම් පැලඳුම් ඇඳ පිළිවෙළට සිටි ඇය තම රූසපුව ලස්සන කරන කිසිම දෙයක් කළේ නැත. පිරිසිදු බව හා පිළිවෙළ ඇය අතහැර ගොස් ඇත. ඇය බොහෝ මානසික පීඩනයට පත්ව සිටියාය. ඇය තව තවත් දුර්වල විය.   


ඇයගේ රූ සොබාව නැතිවී ගියේය. ජීවත් වන මළමිනියක් වාගේ ඇයව දිස්විය. අවාසනාව දිගින් දිගටම ඇයව හඹා ආවේය. ඇයට දරුණු හිසරද තත්ත්වයක් ඇති විය. එම අසනීප තත්ත්වයට මාස ගණනක් ඇයට ප්‍රතිකාර ලබාගන්නට සිදුවිය. එහෙත් කිසිම කෑමක් බීමක් ඇය ගත්තේ නැත. නොකා නොබී සිටීම නිසා නිතරම ඇය කලන්තය හැදී ඇද වැටුණාය. සිහිය ආ පසු ඇය හඬා වැලපෙන්නට පටන් ගනී.   


රියානාට වෙනත් විවාහයක් කරදීමට වැඩිහිටියෝ කතා කර ගත්හ. එහෙත් රියානාගෙන් එයට කැමැත්ත නොලැබිණි. “මම වෙන කාවවත් බඳින්නෙ නෑ. මං මැරෙනවා. එයාව විතරයි මට ඕනේ. එයා හැර වෙන කෙනෙක් එක්ක මං ඉන්නෙ නෑ. එයා එයි නේද මං ළඟට. අනේ කියන්න එයා මං ළඟට එයි නේද..” රියානා පිස්සියක සේ දොඩවන්නට පටන් ගත්තාය. දික්කසාදය ගැන කතා කරනවා ඇහුණොත් රියානා පරල වී වාගේ මාපියන්ගේ ඇඟට කඩා වැදුණාය.   


“උඹලා මගෙන් මගේ මහත්තයව වෙන් කරන්න හදන්නෙ නේද.. උඹලා තමයි මගේ මහත්තයව වෙන් කෙරුවෙ මගෙන්” රියානා මහා හයියෙන් විලාප දෙමින් අම්මටයි තාත්තටයි ගහන්නට පටන් ගත්තාය.   


“අපි මොකටද එහෙම කරන්නෙ. එයා ඔයාව දාලා ගිය නිසයි අපි මේ විදියට කිව්වේ. ඔයා දුක්විඳිනවා බලාගෙන ඉන්න අපිට බෑ ඒකයි” රියානාව මෙල්ල කරගනිමින් අම්මා හඬා වැටුණාය.   


රියානාගේ විලාසය එන්න එන්නම දරුණු අතට හැරීම නිසා රියානාව මනෝ විද්‍යාඥයෙකු කරා යොමුකරවිය යුතු බව වැඩිහිටියෝ තීරණය කළෝය. ඒ අනුව මනෝ චිකිත්සක වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙතට රියානාව යොමු කෙරිණි. ඒ වනවිටත් රියානා මානසිකව හා කායිකව බොහෝ ගිලන්භාවයට පත්ව සිටියාය. ඇයට ජීවිතය එපා වී තිබුණි.   
වෛද්‍ය කුලපති මහතා රියානාගේ මාපියන්ගෙන් සියල්ල අසා දැනගත්තේය. ඉන්පසු රියානාව තනිවම ගෙන බොහෝ වේලාවක් ඇය සමඟ කතා කළේය.   


පැය දෙකක පමණ කාලයක් රියානා සමඟ කතා කළ වෛද්‍යවරයා ඇයට වෛද්‍යවරයා ඇයට Aversion Theraphy එනම්, එපා කරවීමේ ප්‍රතිකාර ලබාදුන්නේය. එවිට රියානා අර්ෂාඩ් කෙරෙහි ඇති විශාල ඇල්ම නැති වී ඇය යථා තත්ත්වයට පත්වූවාය. ඇයට මාස තුනක කාලයක් මනෝ උපදේශනය හා සංයම අභ්‍යාස ලබාදුන් වෛද්‍යවරයා ඇයව ඖෂධීය ප්‍රතිකාර සඳහා ද යොමු කළේය. මාස තුනක පමණ කාලයක් ප්‍රතිකාර ලබාගත් ඇය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වූවාය. ඇයට යළි ජීවිතය එපා වූයේ නැත. ඇය අර්ෂාඩ්ගෙන් දික්කසාද වූවාය. ඇය යළි විවාහ ජීවිතයකට ඇතුළත් වී සතුටින් ජීවත් වීමට පටන් ගත්තාය.   


මෙහි විද්‍යාත්මක තත්ත්වය වෛද්‍ය කුලපති මහතා මෙලෙස පැහැදිලි කරදුණි. මෙම පිරිමි කෙනා ලිංගික ඇබ්බැහියකට ලක්වූවෙක්. ඔහු පිරිමි පාර්ශ්වය කෙරෙහි පමණක් ඇල්ම දැක්වූයෙකි. ඔහු රියානා සමඟ අඹුසැමි ඇසුර පවත්වා ඇත්තේ වාරයක් හෝ දෙකක් පමණකි.   


නමුත් මොහු ඇයව විවාහ කරගෙන තිබෙන්නේ දේපළ ලබාගැනීමේ ආසාවෙන්. ඔහුගෙන් රියානා නිතරම නිදි යහනේදී ඇයව ප්‍රතික්ෂේප කරන්නේ ඇයිදැයි ප්‍රශ්න කරද්දී තමයි මෙම ගැටලුකාරී තත්ත්වය ඇති වී තිබෙන්නේ. අප විසින් කළ දේ තමයි විශාදය තත්ත්වයට පත්වෙලා හිටපු රියානාව එයින් මුදවා ගෙන Aversion Theraphy එනම්, එපා කරවීමේ ප්‍රතිකාර මගින් ඇයගේ සිතේ අර්ෂාඩ් කෙරෙහි තිබෙන ඇල්ම එපා කරවීම.   


සමාජයට දෙන්න තිබෙන මතය නම් මෙවැනි අවස්ථාවන්ට කාන්තාවන් පත්වූවේද ඒ සඳහා මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර තුළ පැහැදිලි විසඳුම් තිබේ. ඒ වාගෙම මෙවැනි ලිංගික ඇබ්බැහියකට ලක්වූ පිරිමින් වේ නම් වඩාත් සුදුසු වන්නේ විවාහ ජීවිතයකට ඇතුළත් වීමට පෙර ඒ සඳහා ප්‍රතිකාර ලබාගෙන එම තත්ත්වය වෙනස් කරගැනීමයි. පැහැදිලි වශයෙන්ම මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර තුළ අද වනවිට මෙවැනි ඇබ්බැහිවීම් වෙනස් කළ හැකිය.   

 

 


සටහන හා ඡායාරූප
හබරාදුව නිමල් අල්ගෙවත්ත