නිදහස් වෙළෙඳ කලාපයේ තරුණියන් විකුණන ජාවාරම්


 

වර්ෂ 1977 දී ශ්‍රී ලංකාවට විවෘත ආර්ථික ක‍්‍රමය හඳුන්වා දුන් පසු මෙරට ආයෝජන ක්ෂේත‍්‍රයේ නිම්වළලූ පුළුල් වූ අතර දෙස් විදෙස් ආයෝජකයෝ විවිධ අන්දමින් ආයෝජන කළහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස කාර්මික හා කෘෂිකාර්මික යන අංශ දෙකට අදාළව රටේ විවිධ ආයෝජන ව්‍යපෘති ගොඩනැගුණි. කාර්මික අංශයේ සිදුවූ ඇඟලූම් කර්මාන්ත ව්‍යාපෘති ඒ අතර ප‍්‍රධාන තැනක් ගත්තේය. ඒ අනුව දේශීය හා විදේශීය ආයෝජකයන්ගේ මැදිහත්වීම මත මෙරටේ ඇඟලූම් කර්මාන්තශාලා විශාල වශයෙන් බිහිවූ අතර කටුනායක, බියගම, කොග්ගල, සීතාවක යනාදී වශයෙන් ඇඟලූම් කර්මාන්ත ආයෝජන කලාප කීපයක් ගොඩනැගුණි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) ඍජු අධීක්ෂණය යටතේ මේවා ක්‍රියාත්මක වෙයි.


මේ ආකාරයට ආරම්භවූ ඇඟලූම් කර්මාන්තශාලා මගින් ගම්බද රැකියා අහිමි තරුණ තරුණියන්ට විශාල වශයෙන් රැකියා උත්පාදනය කළ අතර ඇඟලූම් කර්මාන්තශාලා මගින් නිපදවන විවිධ මාදිලියේ ඇඟලූම් ලෝක වෙළෙඳපොළට අපනයනය කිරීම මගින් ලබන ආදායම ශ්‍රී ලංකා ආණ්ඩුවේ සරු ආදායම් මාර්ගයක් බවටද ක‍්‍රමයෙන් පත් විය.

මෙරටේ ඇඟලූම් කර්මාන්තශාලා ආරම්භ කර මේ වනවිට දශක තුනකටත් අධික කාලයක් ගෙවී ගොස් ඇති අතර ඒ නිසාම කිසියම් ආකාරයක උප සංස්කෘතියක් මේ කර්මාන්ත කලාප ආශ්‍රිතව ගොඩනැගී ඇති ආකාරයක්ද හඳුනාගත හැකිය. කාලයක් තිස්සේ මේ උපසංස්කෘතිය මගින් ඇඟලූම් කර්මාන්තශාලාවල සේවය කරන සේවක සේවිකාවන් සම්බන්ධයෙන් ගොඩනගා තිබුණේ එතරම් හොඳයැයි කිව හැකි චිත‍්‍රයක් නොවේ. රටට විශාල විදේශ විනිමයක් මේ මගින් උපයනු ලැබුවද වෘත්තියක් හැටියට නිසි පිළිගැනීමක් නොලැබුණු තරම්ය. මේවායෙහි සේවය කරන සේවක සේවිකාවන් මුහුණපාන විවිධ අන්දමේ ප‍්‍රශ්න සහ ඒවා හුදු කතා බහට ලක්වන එහෙත් විසඳුම් නොලැබෙන ඒවා නිසා වෘත්තිය ගරුත්වය ඉතාම පහළ මට්ටමකට වැටුණි.


මෙවන් අඩියකට වැටී ඇති ඇඟලූම් සේවක සේවිකාවන්ගේ ජීවිත සම්බන්ධයෙන් වන අලූත්ම තොරතුරු කීපයක් ගැන අපට ඉකුත් දිනයක දැන ගන්නට ලැබුණෙන් අපි ඒ ගැන සොයා බැලූවෙමු. සමාජයේ මෙතෙක් අවධානයට යොමුව නැති විශේෂ කරුණු රැසක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට එම ගවේෂණයේදී අපට හැකිවිය.


අනුවේදනීය කතාවක්
ඇඟලූම් කර්මාන්තශාලා ආශ්‍රිතව සුලභව සිදුවන දෙයක් නම් ලිංගික සූරාකෑම්ය. මේ මාතෘකාව කාලයක් තිස්සේ සමාජයේ දැඩි කතාබහට ලක්වූවක් වූ අතර ඇඟලූම් කම්හල්වල රැුකියා සොයා ගමෙන් පැමිණි


 ඇතැම් තරුණියන් සිය සේවා ස්ථානයේදී කවරෙකු හෝ බලධාරියකු අතින් ¥දූෂණය වීමෙන් අනතුරුව නතර වූයේ ගණිකා වෘත්තියට ඇතුළත් වීමෙනි. තවත් සමහරු ලිංගික අල්ලස් ඉල්ලන නිලධාරීන්ට ඇති බිය නිසා ඒවාට යොමුවූහ. තවත් ඇතැම් කාන්තාවන් එවැනි අසමජ්ජාති ඉල්ලීම් හා බල කිරීම් හමුවේ නොසැලී සිටිය නමුදු ඔවුන්ට එම සේවා ස්ථානවල වැඩිකල් සේවය කරන්නට ඉඩක් ලැබෙන්නේ නැත. හේතුව ලිංගික පහස පතා බල කරන එවැනි නිලධාරීන් ඊට අවනත නොවන කාන්තාවන් පාගා දැමීමට කටයුතු කරන බැවිනි. මෙවැනි සිදුවීම් පිළිබඳ තොරතුරු අපට ඇඟලූම් කර්මාන්තශාලා ආශ්‍රිතව මින් පෙර  ඕනෑ තරම් අසන්නට ලැබුණි. නමුත් දැන් දැන් වෙනස් කතා අසන්නට ලැබේ. විශේෂයෙන්ම මෑන් පවර් ආයතන හරහා ඇඟලූම් කම්හල්වල සේවයට පැමිණෙන කාන්තාවන් විශාල වශයෙන් ලිංගික සූරාකෑම්වලට ලක්වන බවට තොරතුරු වාර්තා වෙයි. සමහර මෑන් පවර් නියෝජිතයන් තමන් යටතේ සිටින සේවිකාවන් කර්මාන්ත ශාලාවල සේවයට යොමු කරන මුවාවෙන් ලැඟුම්හල්වලට ගෙනගොස් මුදලට විකුණන බවත් ඒවාට විරුද්ධ වෙන සේවිකාවන්ට තර්ජනය කර බලහත්කාරයෙන් ඔවුන් ඒ සඳහා යොදා ගන්නා බවත් දැන ගන්නට ලැබිණි. ”සමහර මෑන්පවර් කාරයො හැසිරෙන්නෙ චණ්ඩි වගේ. එයාලා ගාමන්ට්වල සිකියුරිටිලාටවත්, පොලිසියටවත් බය නෑ. මේ නිසා මේ මෑන්පවර් කාරයො යටතේ වැඩ කරන ගෑනු ළමයි තමන්ට වෙන අසාධාරණකම් ගැන පැමිණිලි කරන්න බයයි. ඒ ළමයින්ට වුණත් පොලිසිය ගැන විශ්වාසයක් නෑ. ලිංගික සූරාකෑම් කෙරුවාව ගැන එක් අයෙකු අපට කීවේ එවැනි කතාවකි.


මේ ගවේෂණයේදී අපට ඇය හමුවූයේ මේ අතර වාරයේදීය. ඇයට කියන්නට කතාවක් තිබිණි. තමන්ට ඉදිරිපත්වූ ලිංගික යෝජනාවලට එකඟ නොවීමේ පාපය නිසා ඇය ෆැක්ටරිය ඇතුළේ ප‍්‍රසිද්ධ වූයේ ”බඩුව” කියාය. ”පන්සීයේ කෑල්ල” මේ ඇයට පට බැඳුණු තවත් නාමයකි. මෑන් පවර් සේවිකාවක ලෙස කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලූම් කම්හලක සේවයට පැමිණෙන ඇය තමාට සිදුවූ අසාධාරණය වචනයට පෙරළුවේ මෙලෙසය.


”මම කටුනායක සෝන් එකේ ෆැක්ටරියක වැඩට ආවේ අමායා මෑන් පවර් එක හරහා. අපිට ඒ ෆැක්ටරියෙන් දවසට රුපියල් 1700ක් ගෙවුවත් අපිට හම්බ වුණේ රුපියල් 900යි. අපිට ඒ දවස්වල හැමදාම වගේ වැඩට දැම්මෙ ? ෂිෆ්ට් එකට. ? වැඩවලට හිටිය ඔක්කොම පිරිමි ළමයි. මම එතන වැඩට ගියහම ඒ හැම පිරිමි ළමයම එයාලගෙ ෆෝන් නම්බර් මට දීලා මගේ නම්බර් එක ඉල්ල ඉල්ලා වධ දෙන්න පටන් ගත්තා. මම ඒ කාටවත් මගේ නම්බර් එක දුන්නෙ නෑ. මේ වදේ ඉවසන්නම බැරි තැන මම මේ ගැන ෆැක්ටරියෙ සර් කෙනෙකුට කිව්වා. ඒ සර් මට කිව්වා ඔය ප‍්‍රශ්න මට අදාළ නෑ. මම මෙතන වැඩට ආවෙ මෑන් පවර් ඒජන්සියකින් කියලා. ටික දවසක් ගියාට පස්සෙ ඒ ෆැක්ටරියෙ ලොක්කෙක් මට අතවර කරන්න හැදුවා. එයා මගෙ කරට අත දාලා පපුව මිරිකන්න හැදුවා. පස්සෙ මට කිව්වා ඔයාට දවසට ගෙවන්නෙ 1000යිනෙ. මම 2000ක් දෙන්නම් මාත් එක්ක රූම් එකකට යමු කියලා. මම එහෙම කරන කෙනෙක් නෙවෙයි සර් කියලා එයාට කිව්වම එයා මට කිව්වා එයාගෙ බලේ පාවිච්චි කරලා මාව අමාරු වැඩවලට දානවා කියලා. ඒ කිව්වා වගේම එයා එහෙම කළා. ඊට පස්සෙ තව දවසක ඔපරේටර් කෙනෙක් මට කරදර කරන්න පටන් ගත්තා.

මගේ අතේ බලෙන් එයාගෙ ටෙලිපෝන් නම්බරේ ලිව්වා. ඒ ඔපරේටම මම වැඩ ඇරෙනකන් ඉඳලා මගේ පස්සෙන්ම බයික් එකේ ඇවිත් මට කතා කළා. මම ගියේ නෑ. පස්සෙන්දා නයිට් එකේදී එයා මට හොඳටම බැන්නා. ඊට දවස් ටිකකට කලින් එයයි තව කොල්ලො දෙතුන් දෙනෙකුයි මට බඩුව, පන්සීයෙ කෑල්ල කියලා කතා හදලා කියලා මට දැන ගන්න ලැබුණා. කිසිම වරදක් නොකරපු මම මේ සිද්ධියෙන් පස්සෙ ගොඩක් අපහසුතාවට පත්වුණා.


පස්සෙ මම මේ ප‍්‍රශ්නෙ ගැන මාව වැඩට දාපු මෑන් පවර් එකේ සර් කෙනෙකුට කිව්වහම එයා කිව්වා මේක ෆැක්ටරි මැනේජර්ට කියන්න කියලා. 


මම ෆැක්ටරි මැනේජර්ට මේ කතාව කිව්වම එයා කිව්වා ”මට මේ කතා අදාළ නෑ. ආයි මේ පැත්ත පළාතෙ එන්න එපා කියලා. පස්සෙ මම මේ ගැන කියන්න අපේ මෑන් පවර් ඒජන්සියෙ කළමනාකාරතුමා හම්බ වෙන්න දවස් තුනක් ගියා. මේ මොන දේ කළත් අන්තිමට වැඩක් වුණේ නෑ. ෆැක්ටරි එකේ ෂිෆ්ට් මැනේජර් මාව ආපහු වැඩට ගන්න කැමැති වුණේ නෑ. මම කිසිම වරදක් කරලා නෙවෙයි මට මෙහෙම වුණේ.


දැන් මට එතන රස්සාවත් නෑ. මේ ප‍්‍රශ්න නිසා මම අමාරුවෙන් හම්බ කරලා ගත්ත බඩු මුට්ටු පවා විකුණුවා. දැන් මම ඉන්න බෝඩිමට සල්ලි ගෙවන්නෙත් හරිම අමාරුවෙන්.


ලොක්කන්ගේ ලිංගික බලපෑම් හමුවේ අසාධාරණයට ලක්වූ එක් කාන්තාවක් පමණකි මේ. මෙවැනි අය තවත්  ඕනෑ තරම් සිටිති. අසරණකම හා බිය නිසා හුඟ දෙනෙක් ගොළුවන් මෙන් සිටිති. මෙවැනි අසාධාරණයට ලක්වූ කාන්තාවන්ගේ හඬට ශක්තියක් වීමට කාන්තා නීති සංවිධාන පෙරට පැමිණීම අත්‍යවශ්‍ය කටයුත්තකි. 


ඇඟලූම් සේවක සේවිකාවන් වර්තමානයේදී මුහුණදෙන තවත් ගැටලූවක් වන්නේ ප‍්‍රමාණවත් පරිදි ජල හා වැසිකිළි පහසුකම් නොමැතිවීමයි. විශේෂයෙන්ම අති බහුතරයක් සේවක සේවිකාවන් කර්මාන්ත කලාප අවට ප‍්‍රදේශවලින් නවාතැන් පහසුකම් සලසාගෙන ඇති නමුත් ඒවායෙහි ප‍්‍රමාණවත් තරමින් ජල හා වැසිකිළි කැසිකිළි පහසුකම් නැති බවට ඔවුහු මැසිවිලි නගති. කි‍්‍රෂාන්ති නමැති ඇඟලූම් සේවිකාව ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවැනි අදහසකි.


”අපේ බෝඩිමේ කාමර දාසයක් තියෙනවා. ළමයි ඔක්කොම තිහක් විතර ඉන්නවා. ඒ හැමෝගෙම පාවිච්චියට නළ ළිං හතරයි තියෙන්නෙ. ඒ නිසා අපිට නාන්න හුඟක්වෙලා බලන් ඉන්න වෙනවා. ඔක්කොටම ටොයිලට් පහයි තියෙන්නෙ. වතුරවල හරි ටොයිලට්වල හරි ප‍්‍රශ්නයක් තිබුණොත් අපි ඒ ගැන බෝඩිම අයිති කෙනාට කියලා සති දෙකක් විතර ගියාට පස්සෙ තමයි එයා ඒවා ගැන හොයලා බලන්න එන්නෙ. සමහර දවස්වල අපි බොන්න ෆැක්ටරියෙන් වතුර අරන් එනවා.


චම්පිකා මධුෂාණි කීවේ මෙවැනි කතාවකි.


”අපේ සමහර කෙල්ලො ඉන්න බෝඩිම්වල හරියට වතුර පහසුකම් නෑ. නාන්න ෂවර් දාලා තියෙන බෝඩිම්වලින් වැඩිපුර සල්ලි අය කරනවා. නළ ළිං තමයි ගොඩක් ඒවයෙ තියෙන්නෙ.”


මැදපෙරදිග වහල් සේවයෙහි නියැළෙන කාන්තාවන් හැරුණුවිට රටට විශාල වශයෙන් විදේශ විනිමය උපයන ආදායම් මාර්ගයක් වන්නේ නිදහස් වෙළෙඳ කලාපය. ඒවායෙහි ඇති ඇඟලූම් කර්මාන්තශාලාවල සේවය කරන සේවක සේවිකාවන් මුහුණපාන මේ බරපතළ සමාජ මානසික ආර්ථික ප‍්‍රශ්න දෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහ රජයේ අවධානය ගැඹුරින් යොමු විය යුතුය. මන්ද එම ආයතනවල මේ ප‍්‍රශ්න නිරාකරණය කිරීමට මැදිහත්වන ප‍්‍රමාණයේ තරමට කර්මාන්ත ශාලාවල සේවය කරන සේවක සේවිකාවන්ගේ තත්ත්වය ගරුත්වය හා දියුණුව තීරණය වන නිසාය.


මේ සේවකයන් සඳහා සමාජ ගරුත්වයක් ලබාදෙන්න

අසේල දිසානායක, 
සමලේකම්, නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමය

මේ ඇඟලූම් කර්මාන්ත ශාලාවල වැඩ කරන ළමයින්ට හරි හමන් වැටුපක් හම්බ වෙන්නෙ නෑ. ඒ අයට කිසිම විදියක සමාජ පිළිගැනීමක් ලැබෙන්නෙත් නෑ. ඇත්තටම මේ කාරණා නිසා ඒ ළමයි හුඟ දෙනෙක් මානසිකව වැටිලා ඉන්නෙ. කටුනායක ආයෝජන කලාපයේ තියෙන බෝඩින්වල ප‍්‍රශ්න නිසා ළමයි හුඟ දෙනෙක් ටිකක් ඈත ප‍්‍රදේශවල පදිංචියට ගිහින් තියෙනවා. 
ගාමන්ට් ඇවිල්ලා කසාද බැඳලා මෙහෙ ජීවත්වෙන අයට තියෙන ලොකු ප‍්‍රශ්නයක් තමයි ඒ අයගෙ ළමයින්ට මේ පැත්තෙ ඉස්කෝලවලට දාගන්න බැරි එක. ඒකට එක හේතුවක් තමයි ඒ අයට මෙහෙ ස්ථිර පදිංචියක් නැති එක. ඒ නිසා හුඟක් අම්මලා කරන්නෙ ළමයිනුත් අරගෙන තමන්ගෙ ගම්වල පදිංචියට යන එක. ඒ නිසා ගොඩක් ෆැක්ටරිවල සේවක හිඟයකුත් තියෙනවා. මේ ප‍්‍රශ්නෙට විසඳුමක් හැටියට අපේ සංගමයෙන් රජයට යෝජනා කරලා තියෙනවා. මේ අයගෙ ළමයින්ට යන්න පුළුවන් විදියෙ ඉස්කෝලයක් හදන්න කියලා. නමුත් තවම රජයෙන් ඒ ගැන අවධානය යොමුවෙලා නෑ. අපේ තව ඉල්ලීමක් තමයි මේ කලාපෙ වැඩ කරන අයව මෙහෙ ඡුන්ද දායකයන් විදියට ලියාපදිංචි කරන්න කියන එක. එතකොට මේ අයගෙ ප‍්‍රශ්න ගැන මෙහෙ ඉන්න දේශපාලනඥයන්ගෙ අවධානය යොමුවෙනවා කියලා අපි හිතනවා.


කලාපෙ තරුණ තරුණියන් සඳහා පාර්ක් එකක් හදන්න කියලා අපි ආයෝජන මණ්ඩලයෙ සභාපතිතුමාගෙන් ඉල්ලූවා. එහෙම දෙයක් හැදුවොත් මේ තරුණ තරුණියන්ගෙ නිදහසට ඒක ඉතා වැදගත් වේවි. ආයෝජන මණ්ඩලයෙ සභාපතිතුමා අපේ ඒ ඉල්ලීමට ඇහුම්කන්දීලා ඒ පාර්ක් එක හදන වැඬේ මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. මේ හැමදේම කරලා මේ සේවකයන් සඳහා සමාජ ගරුත්වය ලබාදීම ඉතාම වැදගත්.


මෙතන තව ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි සමහර ෆැක්ටරිවල මානව සම්පත් කළමනාකරණ නිලධාරින් හැටියට හමුදාවලයි පොලිසිවලයි පැන්ෂන් ගිය ඉහළ නිලධාරින් පත් කරලා තියෙන එක. ඒ අය පත් කරලා තියෙන්නෙ සේවකයන්ව මර්දනය කරන්න. ඒක වැරැදි ක්‍රියාවක්.

 

සටහන 
උපුල් වික‍්‍රමසිංහ