නිකරුණේ පාතාලයට වැටුණු හතරදෙනකුගේ කතාව


අවිගත් දඩබ්ම

රට පුරා භීෂණයක් පතුරමින් පාතාල කල්ලි අතර හටගත් ගැටුම් නිසා පසුගිය කාලය තුළ මිනිස් ඝාතන හා වෙඩිතැබීම් රැසක් අසන්නට දකින්නට ලැබිණ. මෙම සිදුවීම් මධුෂ්ගේ ගෝලයින්, මධුෂ්ගේ මිතුරා වන අංගොඩ ලොක්කාගේ ගෝලයින් හා මධුෂ්ගේ හතුරන් අතර ගැටුම්වල ප්‍රතිඵල බව පොලිස් පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. 

මෙම ගැටුම් නිසා වඩාත්ම උණුසුම් වූයේ කොළඹ මරදාන අලුත්කඩේ ප්‍රදේශ හා කඩුවෙල, මාළබේ, අතුරුගිරිය ප්‍රදේශයන්ය. රිස්වාන්ගේ ජීවිතය වෙනුවට කොස් මල්ලීගේ හිස ඉල්ලූ මධුෂ් ඒ අරමුණ සිය ගෝලයින් ලවා ඉටුකරවා ගත්තේය. සමයංගේ ගෝලයෙක් මෙන්ම කොස් මල්ලීගේ සමීපතමයෙක් වන තලගලගේ නිමල්සිරි නොහොත් පොඩි සුදු ඝාතනයට ලක්​ෙවන්නේ පසුගිය මාර්තු 19 වැනිදා අතුරුගිරිය ගල්වරුසාව පාරේදීය. යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තබා පලාගොස් තිබිණ. එදිනම අලුයම 2.30ට පමණ තලංගම, බටපොත, විමලතිස්ස මාවතේ කුලී නිවසක සිටි යුවළකට වෙඩි තබා එක් පුද්ගලයෙක් මියගොස් ඔහුගේ බිරිඳ බරපතළ තුවාල ලබා රෝහල්ගත කරනු ලැබිණ. මෙම සිදුවීමෙන් මියගියේ වර්ණකුලසූරියගේ ක්‍රිස්ටින් ප්‍රනාන්දු නමැති පනස් එක් හැවිරිදි පුද්ගලයෙකි. මෙම වෙඩි තැබීම එම නිවසේම පිටුපසට වන්නට තිබූ අැනෙක්සියේ පදිංචිව සිටි සමයංගේ ගෝලයෙක් හා ඔහුගේ බිරිඳ ඉලක්ක කරගෙන සිදුකළ එකක් බව පොලිසියට සැකයක් ඇති වී තිබිණ. 


මෙම සිදුවීමෙන් හරියටම සතියක් ඉක්ම යන දිනයේ එනම් මාර්තු 26 වැනිදා අලුයම මාළබේ, ජෝතිපාල මාවතේ පිහිටි, සුජීව සේනසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් රනිල් ආටිගල මහතාගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. මෙම නිවස ඉලක්ක කර වෙඩි දහඅටක් තබා ඇති අතර එයින් නිවසේ දෙවැනි මහලේ ජනෙල්වලට හා බිත්තිවලට හානි සිදුව තිබුණ ද කිසිවකුට තුවාල සිදුවී තිබුණේ නැත. 


මෙම සිදුවීම් තුනෙන් දෙකකට අදාළ ප්‍රධාන සැකකරු හා සහයකයින් තිදෙනෙක් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයෙන් පසුගිය 28 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ. එහි ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාට ලැබුණ තොරතුරක් අනුව එක් සැකකරුවෙක් පළමුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ලද තොරතුරු අනුව අනෙක් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. 


අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා වන්නේ ජෙරාම් කෝලිත ද සිල්වා නොහෙත් ජෙරා, බුලත්සිංහලගේ ප්‍රදීප් මධුසංඛ කුරේ නොහොත් ඈෂ්ලි, නානායක්කාරලාගේ කාවින්ද ඉසුරු නොහොත් පූට්ටුවා හා වැලිවිටියගේ නිලන්ත කුමාර නොහොත් ආනාය. 


මේ සිව්දෙනා අතරින් දෙදෙනෙක්ම හිටපු හමුදා සෙබළුන්ය. තලංගම විමලතිස්ස මාවතේ යුවළකට වෙඩි තැබීමේ සිද්ධියේත් රනිල් ආටිගල මහතාගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියේත් ප්‍රධාන සැකකරු ​ෙවන්නේ ජෙරාම්ය. අඹේපුර, අතුරුගිරිය පදිංචි තිස්දෙහැවිරිදි ජෙරාම් යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ සේවය කළ සෙබළෙකි. ඔහු හමුදාවේ සේවය කළ කාලයේ මීටර් සීය කෙටි දුර ධාවනය කෙටිම කාලයකින් අවසන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වාර්තාවක් තබා තිබෙන දක්ෂ ක්‍රීඩකයකු බව ද එම වාර්තාව තවමත් කිසිවෙක් බිඳ නැති බව ද පොලිසිය පවසයි. 


ජෙරම් සමඟ ටී-56 ගිනිඅවියක් ද එයට භාවිතා කරනු ලබන ජීව උණ්ඩ දොළහක් හා මැගසිනයක් ද අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් ගිනිඅවියේ උණ්ඩ පිට​ෙවන යකඩ බටය කොටකර කපා තිබූ අතර එය පොලිතීන් බෑගයක දමාගෙන ගොස් වෙඩිතැබීම් සිදුකර ඇති බවටත් වෙඩි තැබීමේදී උණ්ඩ කොපු එම බෑගයට එකතු වන්නට සලස්වා ඇති බවටත් සැකකරන බව ද පොලිසිය පවසයි. 


අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සෙබළෙකු වන වැලිවිටියගේ නිලත්න කුමාර නොහොත් ආනාය. තිස් දෙහැවිරිදි මොහු අතුරුගිරිය, ඔරුවල, විද්‍යාල මාවතේ පදිංචිකරුවෙකි. මාර්තු 19 වැනිදා ගල්වරුසාව පාරේදි නිමල්සිරි නොහොත් පොඩි සුදු ඝාතනයට සහයවීම ආනාට ඇති චෝදනාවය. 


බුලත්සිංහලගේ ප්‍රදීප් මධුසංඛ කුරේ නොහොත් ඈෂ්ලි අතුරුගිරිය, ජයන්ති පාරේ පදිංචි තිස්පස් හැවිරිදි අයෙකි. වෘත්තියෙන් රියදුරෙකු ලෙස ජීවත් ​ෙවන ඔහු කලක සිට අංගොඩ ලොක්කාගේ කල්ලියේ සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති බව පොලිසියට තොරතුරු අනාවරණය වී තිබේ. ඈෂ්ලි අත්අඩංගුවට පත්වෙන්නේ අතුරුගිරිය, ශාන්තාලෝකගම අන්නාසිවත්තේදීය. පොඩි සුදු ඝාතනයට අනුබල දීම ඔහුට එල්ල වී ඇති චෝදනාවය. ඔහු සතුව ත්‍රිරෝද රථයක් පවතින අතර ඝාතන සඳහා අදාළ පුද්ගලයන් එහා මෙහා ගෙනයාමත්, ගිනිඅවි ප්‍රවාහනයත් සඳහා ඈෂ්ලිගේ ත්‍රිරෝද රථය භාවිතා කර තිබෙන බවට ද තොරතුරු අනාවරණය වී ඇත. ඒ අනුව පොලිසිය ත්‍රිරෝද රථය ද අත්අඩංගුවට ගනු ලැබිණ. 


නානායක්කාරලාගේ කාවින්ද ඉසුරු නොහොත් පූට්ටුවා කඩුවෙල, කොරතොට, තුන්අඳහේන පදිංචි රියදුරෙකි. තවමත් දහනව වැනි වියේ පසු​ෙවන තරුණයෙක් ​ෙවන ඉසුරු ද ඉතාමත් ලාබාල වියේදීම පාතාලය සමඟ ගනුදෙනු කර ඇති බව දැනගන්නට ඇත. 


මේ සිවුදෙනා විසින් සිදුකරන ලද අපරාධවලට හේතු ඒ අයවත් දන්නේ නැති බව පොලිසියට තහවුරු වී තිබේ. එසේ සිදු​ෙවන්නේ ඔවුන් සිදුකරන්නේ තමන්ගේ ලොක්කාගේ අණ පිළිපැදීමක් පමණක් වන නිසාය. එසේ නම් අණ ආවේ කොතැනින් ද? ඒ අණ ආවේ අංගොඩ ලොක්කාගේ කල්ලියේ ප්‍රබලයන් දෙදෙනකු වන ලඩියා හා මධුරංග වෙතිනි. ඔවුන් මේ වනවිට සිටින්නේ ඉන්දියාවේ බවට ආරක්ෂක අංශ තොරතුරුවලින් පැවසේ. ඉන්දියාවේ සිට ඔවුන් තමන්ගේ ගෝලයෙකුට කතා කර අහවල් තැන පාර්සලයක් ඇති එය අහවල් තැනින් තියපං යැයි අණ දෙන අතර අනෙකාට කතා කර අහවල් තැනට අහවලා පාර්සලයක් ගෙනෙයි ඒක ගනිං, එතනට ත්‍රීවිල් එකක් එයි ඒකේ නැගලා අහවල් තැන ජෝඩුවක් පදිංචි වෙලා ඉන්නවා, උන්ව ඉවරයක් කරපං. නැත්නම් අහවල් තැන තිබෙන නිවසේ ඉහළ මහලේ වම්පස ජනේලය අසලින් වෙඩි තියපං. ආදී ලෙස උපදෙස් දෙන නමුත් ඒ ගෙවල්වල සිටින්නේ කවුද? තමන් වෙඩි තියන්නේ කාටද? ආදී කිසිවක් ඔවුන්ගේ ලොක්කා පවසන්නේ නැත. එසේම තමන් සමඟ සහයට යන කෙනා කවුද කියලාවත් ඔවුන්ට දැනගන්නට ඉඩක් නායකයා තබන්නේ නැත. 

 

බුලත්සිංහලගේ ප්‍රදීප් මධුසංඛ කුරේ නොහොත් ඈෂ්ලි අතුරුගිරිය, ජයන්ති පාරේ පදිංචි තිස්පස් හැවිරිදි අයෙකි. වෘත්තියෙන් රියදුරෙකු ලෙස ජීවත් ​ෙවන ඔහු කලක සිට අංගොඩ ලොක්කාගේ කල්ලියේ සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති බව පොලිසියට තොරතුරු අනාවරණය වී තිබේ. ඈෂ්ලි අත්අඩංගුවට පත්වෙන්නේ අතුරුගිරිය, ශාන්තාලෝකගම අන්නාසිවත්තේදීය. පොඩි සුදු ඝාතනයට අනුබල දීම ඔහුට එල්ල වී ඇති චෝදනාවය. ඔහු සතුව ත්‍රිරෝද රථයක් පවතින අතර ඝාතන සඳහා අදාළ පුද්ගලයන් එහා මෙහා ගෙනයාමත්, ගිනිඅවි ප්‍රවාහනයත් සඳහා ඈෂ්ලිගේ ත්‍රිරෝද රථය භාවිතා කර තිබෙන බවට ද තොරතුරු අනාවරණය වී ඇත. ඒ අනුව පොලිසිය ත්‍රිරෝද රථය ද අත්අඩංගුවට ගනු ලැබිණ. 

 


මේ හේතුව නිසා සැකකරුවන් කිසිවෙක් තමන් කරන්නට ගිය දේ ගැන සම්පූර්ණ අදහස් දන්නේ නැත. හැමවිටම මේ එකිනෙකා අතර සම්බන්ධතාවය බිඳ දැමීමෙන් එක් අයෙක් අත්අඩංගුවට ගැණුන ද අනෙකා අල්ලා ගැනීම පහසු නොවේ. විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට සිදුව තිබෙන්නේ එක් එක් සැකකරුවන්ගේ ප්‍රකාශ අනුව කතාව අමුණා ගැනීමටය. විවිධ තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් ඒ ඒ අවස්ථාවල මේ එකිනෙකා සමඟ සම්බන්ධ වූ පු!ද්ගලයන් ගැන සෙවීමේ දුෂ්කර කාර්යයක යෙදීමට විමර්ශන නිලධාරීන්ට සිදුවිය. 


මෙතෙක් කරන ලද විමර්ශනවලදී හෙළිවී ඇති කරුණු අනුව රනිල් ආටිගල මහතාගේ නිවසට වෙඩි තබා තිබෙන්නේ කිසිවකුට හානියක් නොවන පරිදි ​ෙවන අතර එහි අරමුණ වී තිබෙන්නේ බියගැන්වීම පමණකි. මෙය ඉන්දියාවේ සිටින අංගොඩ ලොක්කාගේ ගෝලයකු වන ලඩියාගේ ඕඩරයක් මත සිදුව ඇති අතර එය සිදුකර තිබෙන්නේ ඔවුන් අතර පැවති පෞද්ගලික ආරවුලක් මත බවය. දහනව වැනිදා වෙඩි තැබීමට පෙර පහළොස් වැනිදා ලඩියාගේ බිරිඳගේ ගිණුමෙන් ජෙරම්ට ලක්ෂයක මුදලක් ලැබී තිබෙන බව ද හෙළිදරව් වී තිබේ. එසේම පොඩි සුදුවා ඝාතනයෙන් පසු මෙම සැකකරුවන් සිව්දෙනාම හෝමාගම හෝටලයකට ගෙන්වා සාදයක් පවත්වා ඇති බව ද තොරතුරු අනාවරණය වී තිබේ. 


තලංගම, විමලතිස්ස මාවතේ නිවසකට ඇතුළුව එහි නිදා සිටි වයෝවෘද්ධ යුවළකට වෙඩි තැබුවේ මාර්තු 19 වැනිදා අලුයම දෙකහමාරට පමණය. එහිදී ඔවුන්ට ලඩියා හා මධුරංගගෙන් අණ ලැබුණේ අහවල් තැන පිහිටි නිවසේ ජෝඩුවක් ඉන්නවා. උන්ව ඉවරයක් කරපං යනුවෙනි. ඒ කවුද? එසේ කරන්නේ කුමක් සඳහා ද යන්න ඝාතකයින් දන්නේ නැත. ඒ ගැන විමසීමේ අයිතියක් ද ඔවුන්ට නැත. ඉන්දියාවෙන් වයිබර් මගින් ලැබුණ ඡායාරූපයට අනුව තැන නිශ්චිත කරගත් ඝාතකයෝ අදාළ වෙලාවට අදාළ තැනට ගියහ. නිවසට ඇතුළු වූ පසු දෙදෙනෙක් නිදාගෙන සිට කලබලයට පත්ව නැගිටගත්හ. ඝාතකයා ඔවුන් කවුදැයි විමසා සිටියේ නැත. වහාම තම ගිනිඅවිය ක්‍රියාත්මක කළහ. එයින් පිරිමි පුද්ගලයෙක් මිය ගොස් ඔහුගේ බිරිඳ බරපතළ තුවාල ලැබුවාය. 


සිද්ධිය පිළිබඳව පුවත්පත්වල වාර්තා වූ පසුව ඉන්දියාවේ සිටි තමන්ගේ ලොක්කන්ගෙන් ජෙරම්ලාට ලැබුණේ නොමද දෝෂාරෝපණයකි. මන්ද ඔවුන්ට ඕඩරය ලබාදී තිබෙන්නේ අහිංසක වැඩිහිටි යුවළක් ඝාතනය කිරීමට ​ෙනාව සමයංගේ ගෝලයෙකු වන රන්දික රුක්ෂාන නමැත්තකු ඝාතනය කිරීමටය. රන්දික සිය බිරිඳත් සමඟ වාසය කර තිබෙන්නේ වෙඩි ප්‍රහාරයට ලක්වූ යුවළ වාසය කළ නිවසට පිටුපස පිහිටි ඇනෙක්සියේය. හබරකඩ පදිංචිකරුවෙක් වන ඔහු මෙම නිවස තෝරාගෙන තිබෙන්නේ ද කිසිවකුගෙන් සැඟවී විසීමට බව ද පොලිසිය සැක පහළ කරයි. ඔහු සමයංගේ ගෝලයෙකු වුවත් මෑතකදී මධුෂ් සමඟ ද සබඳතා පවත්වා ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇති අතර ඔහු ඝාතනය කරන්නට වෑයම් කළේ කුමන හේතුවක් මත ද යන්න මෙතෙක් හෙළිදරව් වී නැත. 


සැකකරුවන් පසුගිය 29 වැනිදා කඩුවෙල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය හතළිස් අටක් රඳවා තබාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබේ. 


බස්නාහිර දකුණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ, නුගේගොඩ පොලිස් අධිකාරි ප්‍රසාද් රණසිංහ, නුගේගොඩ 01 සහකාර පොලිස් අධිකාරී සමන් සිගේරා මහත්වරුන්ගේ උපදෙස් පරිදි මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් උපපොලිස් පරීක්ෂකවරුන් වන හේමන්ත කුමාර, පද්මලාල්, පොලිස් සැරයන්වරුන් වන (20553) මෙන්ඩිස්, (56958) ප්‍රසන්න, (56951) සුනිල්, (51885) කරුණාසේන, පොලිස් කොස්තාපල්වරුන් වන (21284) බණ්ඩාර, (40248) ප්‍රසන්න, (72338) ලලන්ත, (72989) ගිහාන්, (77688) අමිල, (81600) සමීර, (84762) කුමාර, (84426) ප්‍රදීප්, (13177) නුවන්, (88527) සුජිත් යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති. 

 

 

 

 

 


මුදිතා දයානන්ද,
ඉන්දිකා රාමනායක සමඟ 
බිමල් ශ්‍යාමන් ජයසිංහ