නැවෙන් ඇවිත් තොග ගානේ හොර පාරෙන් පිටකොටුවේ


​කොළඹ  “ජිමික්”   

 

 

පිටකොටුවේ සිදුවෙන විවිධ ‘‘ජිමික්’’ වැඩ ගැන අපි පසුගිය සතියෙත් කථා කළෙමු. කොළඹ කොටුව, පිටකොටුව වගේ ප්‍රදේශවල සිදුවෙන තවත් සිද්ධීන් කිහිපයක් ගැන අදත් කථාකරන්නට සිතුනා. කොළඹ පිටකොටුවේ ඕනෑම භාණ්ඩයක් ඉතා අඩුමිලකට ලබා ගන්න පුලුවන්නේ. කළුනික උනත් සොයා ගන්නට බැරිකමක් නැහැ.  


අද අපි කියන්න යන්නේ පිටකොටුව ආශ්‍රිත කෙරෙන ජංගම දුරකථන අළෙවිය පිළිබඳවයි. නානාප්‍රකාර ජංගම දුරකථන පිටකොටුවේ පදික වේදිකාවේ අද අළෙවියට තබා තිබේ. රුපියල් 1500 සිට ඉහළට අළෙවි කෙරෙන මේවා තොග වශයෙන් වෙළෙඳුන් මිලට ගන්නේ මෙරටට නීති විරෝධීව ගෙන එන විවිධ ජාවාරම්කරුවන් ගෙනි.  1978 විවෘත ආර්ථිකයක් සමඟ 80 හා 90 දශකය අතර ජංගම දුරකථන මෙරටට ඒමට පටන් ගැණින. මුල් යුගයේ ඉතා අධික මිලකට ඒවා අළෙවි වුණත් අද ඉතා අඩු මිලකටද ලබා ගත හැක. එහෙත් මිල අධික ජංගම දුරකථනද වෙළෙඳ පොළේ නැතුවා නොවේ. අද බොහෝ දෙනෙකුට නැතිවම බැරි අත්‍යවශ්‍ය භාණ්ඩයක් වී ඇත්තේ ජංගම දුරකථනයයි. ජංගම දුරකථනයක් නැති අයකු අද සොයා ගැනීමට නොහැකි තරම්ය.  


ඇතැම් ජංගම දුරකථන අළෙවිසල්වලින් මිලදී ගන්නා දුරකථන සඳහා වගකීම් සහතිකයක් ලබා දෙයි. එහෙත් පිටකොටුව ප්‍රදේශයේ පදික වේදිකාවේ ඇති දුරකථන සඳහා එවැනි වගකීම් සහතිකයක් ලබා නොදෙයි. මේවා පිටකොටුවට එන්නේ කොහෙන්ද? ඒ පිළිබඳව අප සමඟ කථා බහ කළ ධර්මරත්න සඳහන් කළේ මෙවැන්නකි.  

 

පිටරටවලින් ඉතා අඩු මිලට ජංගම දුරකථන ගෙනෙනවා. එහෙත් සීමාවක් තිබෙනවානේ. සීමාව ඉක්මවා ගෙනෙන ඒවාත්, හොරෙන් ගෙනෙන ඒවාත් රේගුවෙන් අත්අඩංගුවට ගන්නවා. ඒවා ටික දවසකට පස්සේ වෙන්දේසි කරනවා. බොහෝ වටිනා ඒවත් ඒ අතර තිබෙනවා. ඉතින් අපි තොගේට අරගෙන ඒවා වෙන් කරලා අපිම තමයි මිලක් නියම කරන්නේ. මොකද අපි දන්නවානේ වෙළෙඳ පොළේ මේ මේ ජාතියෙ ජංගම දුරකථන අළෙවි වෙන මිල ගණන්. ඉතින් ඊට වඩා ගොඩාක් අඩු මිලට අපි විකුණනවා.  


දැන් බොහෝ දෙනෙක් පඩි අරගෙන දුරපළාත්වලට යන්න එනකොට ජංගම දුරකථන ගොඩගසලා තිබෙන කොට ඔවුන්ට මේක හරි පුදුම දෙයක් වගේ තමයි පෙනෙන්නෙ. ඉතින් කැරකි කැරකි ඉඳලා ගාන අහනවා. ගාන අහපු වහාම නිකන් පුදුම වෙලා තමයි බලන්නේ​. මොකද ඇයි මෙච්චර අඩුවට දෙන්නේ කියලා. ඉතින් තමන්ගේ දුවට හෝ පුතාට නැත්නම් බිරිඳට අරගෙන යන්න ඔවුන් තෝරනවා. එතකොට අපි දන්නවා කොහොම හරි ඇඟේ ගහන්න පුලුවන් කියලා. කොහොමත් ලාභයක් තියාගෙනනේ අපි විකුණන්නේ. ඉතින් අපෙන් අහනවා දෙකක් ගන්න කීයද අන්තිම ගාන කියලා. ඒ වෙලාවට අපි කියනවා රුපියල් 250 ක් විතර අඩුකරලා. ඒ කියන්නේ අපි කියමුකො එකක් රුපියල් 2000 ක් කියලා. දෙකටම 4000 යි. අපි කියන්නේ 3750 ක් දෙන්න කියලා. සමහරු තවත් අඩු කරන්න කියනවා. එත කොට අපි දන්නවා තව කීයක් හරි අඩු කළහොත් කොහොම හරි ඇඟේ ගහන්න පුලුවන් කියලා. ඉතින් තව රුපියල් 100 ක් විතර අඩු කරනවා. කොහොම හරි කේවල් කරලා භාන්ඩේ ගන්නවා. අපිට ඕනෑ කොහොම හරි බඩු විකුණනන්නන.  


වැඩිම උනොත් මාස දෙකක් පාවිච්චි කරයි. ඊට පස්සේ තමයි ලෙඩේ වෙන්නේ. ඒ කියන්නේ එක්කෝ ​ෙෆා්න් එක ඇහෙන්නේ නැහැ. නැතිනම් අංක එබෙන්නේ නැහැ. ඉතින් ආයෙත් අපි ගාවට එන්නේ නැහැයි කියලා අපිට ෂුවර්නේ. මොකද ආවත් අපි විකුණපු බඩුවක් නැවත ගන​්නේ නැහැනේ. ඉතින් අපි ගාවට එන්නේ නැහැයි කියලා ෂුවර්. ඉතින් එක්කෝ ජංගම දුරකථන අලුත්වැඩියා කරන තැනකට යනවා.  


ඒක තමයි මම කිව්වේ ලාබ බඩුවේ හිලක් කියලා. ඉතින් අපිට වගකීමක් ගන්න බැහැ. මොකද අපි භාණ්ඩේ අළෙවි කරන කොට හොඳ තත්ත්වයෙන් තිබුණානේ. ගන්න කෙනාට තමයි පාඩුව දරා ගන්න වෙන්නේ. අපිත් දන්නවා මේවා දීර්ග කාලයක් පාවිච්ච කරන්න බැහැ කියලා. මොකද අපි ගන්න කොට දන්නවා මේවායේ සුලු සුලු අඩුපාඩු තිබෙනවා කියලා. ඉතින් අපි ඒවා හදලා තමයි විකුණන්නේ. ඒත් ගන්න කෙනා ඕක දන්නේ නැහැනේ.  


ඉතින් ලාබෙට බඩුවක් ගන්න ගියාම ඔයවගේ පාඩු විඳගන්න වෙනවා. නමුත් හොඳ එකක් ගන්න ගියාම බර ගණනක් වියදම් වෙනවානේ. ඉතින් එහෙමත් කෙනෙක් තමයි ඒ වගේ තැනකට ගිහිං අරගන්නේ. අද බලන්න වැටුප 20,000 ක් ගන්න කෙනෙක් පාවිච්චි කරන ජංගම දුරකතනය රුපියල් 40,000 ක් 50,000 ක් වටිනවා. ඕනෑම කෙනෙක් අතේ ජංගම දුරකථනයක් තිබෙනවානේ.  


දැන් පොල් කඩන්නෙත් ජංගම දුරකථනය ගහට ගෙනිහිල්ලා. ගහේ ඉඳන් තමයි අහන්නේ පොල් පැහිලාද, කඩන්නද කියලා. ඔය වගේ තත්ත්වයක් තමයි අද ලංකාවට වෙලා තිබෙන්නේ. හොඳ වගේම නරක දේවල්වලටත් මේ ජංගම දුරකථන පාවිච්චි කරනවානේ. අන්තර්ජාලයද ෆේස් බුක්ද අරවද මේවද නැති දෙයක් නැහැ. ඕක තමයි අද තත්ත්වේ.   


ඉතින් මම කියන්නේ අපිටත් බඩේ පහර නොගහා හොඳ ෆෝන් එකක් ගන්න. අපි ගාවත් ඒ වගේ ඒවා තිබෙනවා. නැතුව නොවේ. ඉතින් ඒවා ටිකක් ගණන් වැඩියි. දැන් ගොඩක් තිබෙන්නේ චයිනිස් ෆෝන්නේ. ඒවා කොහොමත් වැඩි කල් පාවිච්චි කරන්න බැහැ. ජපන් ඒවා වගේ නොවෙයි.  


අනික ජපන් වගේම සිංගප්පූරුවෙන් ගෙනෙන ෆෝන් වගයකුත් වෙළෙඳ පෙළේ තිබෙනවා. ඒවා ජපන් බඩු වගේ නෙවෙයි. බරින් අඩුයි. ඔර්ජිනල් ජපන් බඩු ගණන්. බරින් වැඩියි. කොහොම උනත් ගොඩක් අය බලන්නේ ලාබ දෙයක් ගන්නනේ. ඔවුන්ට බර හෝ අනිත් ඒවා වැඩක් නැහැ. කථා කරන්න පුලුවන් නම් කෝල් එකක් ගන්න පුලුවන්නම් කථා කරන එක ඇහෙනවානම් ඒ ඇති. එහෙමත් කෙනෙක් තමයි හොඳ එකක් හොයන්නේ. මොකද අද තාක්ෂණය දියුණුයි. ඒවා ගැන හොඳ දැනුමක් තිබෙන අය අද ඉන්නවා. ඉතින් ඒ අයට බොරු කරන්න බැහැ. අනික ඒවගේ අය අපි ළඟට එන්නේ නැහැ. අනික ඒගොල්ලෝ වැඩි ගණනක් දීලා හොඳ ෆෝන් එකක් තමයි ගන්නේ. ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන්නේ.  


අපේ ගාවට එන්නේ ගොඩක් ඒ ගැන දැනුමක් නැති අය. ඉතින් ඔවුන්ට ඒ වගේ හොඳ ෆෝන් එකක් පෙන්නුවම ගන්නමයි හිත කියන්නේ. ඉතින් අපි කරන්නේ අසාධාරණ බිස්නස් එකක් තමයි. ඒත් අපිත් ජීවත් වෙන්න එපැයි. ඉතින් මොකක් හරි ජල්බරියක් ද‌ාලා දවසේ ආ‌ද‌ායම සොයනවා. අනික අසාධාරණමත් නැහැනේ. අපි වැඩකරන බඩුවක් දීලා තමයිනේ සල්ලි ගන්නේ. ඉතින් ඒක කැඩුනම අපි මොකද කරන්නේ. ලාබයක් බලාගෙන බඩුවක් ගන්න නේ අපි ළඟට එන්නේ. ඉතින් ඒ ලාභයට හරියන බඩුවක් අපි දෙනවා. ඕන්නම් ගන්න නැතිනම් යන්න කියලා තමයි අපි කියන්නේ. ඉතින් ගොඩක් අය එහෙම යන්නේ නැහැ.  


ඔය වගේ තමයි එකක් 100 යි හරි එකක් 50 යි හරි කියලා විකුණන සෙල්ලම් බඩු. දැන් නානාප්‍රකාර සෙල්ලම් බඩු තියෙනවානේ. මේවා ගොඩක් ගේන්නේ චීනයෙන් හරි ජපානයෙන්, එක්කෝ තායිවානයෙන්. ඒ රටවල මේවා හදන්න හරි දක්ෂ මිනිස්සු ඉන්නේ. ඉතින් අපි තොගේට ගන්නවා. අපිට එක කෑල්ලකට රුපියල් 25 ක් හරි 20 ක් හරි වගේ තමයි වැටෙන්නේ. අපි ඉතින් සුළු ලාභයක් තියාගෙන විකුණනවා. ගොඩක් අපිට බිස්නස් තිබෙන්නේ උත්සව කාලවලදී තමා.  


මොකද නිවාඩුවට ගමේ යන අය කුඩා දරුවන්ට මොකක් හරි ගෙනියන්න තමයි බලන්නේ. ඒවත් ඒ වගේ තමා අර මම කලින් කිව්ව ජංගම දුරකථන වගේ තමා. මොකද පොඩි ළමයි ඔවා පාවිච්චි කරන්න දන්නේ නැහැනේ. කුඩා ළමයෙකුට ඔය වගේ සෙල්ලම් බඩු හම්බ වුණාම ගලවලා බලන්න තමයි ආසාව. ඔවුන් අපි වගේ නොවෙයි. අපි නම් පොඩි කාලයේ ඔයවගේ දේවල් ගැන දන්නේවත් නැහැ. දැන් දරුවන්ගේ මොළේ දියුණුයි. ඔවුන්ට ඕනෑ මේවා වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න.  


දැන් බලන්න ඉස්සර අපි කුඩා කාලයේ ඔය සෙල්ලම් කාර්, බස්, ලොරි වගේ දේවල් තිබුණේ නැහැනේ. අපි එක්කෝ කොසු මිටක ටින් පියනක් සවි කරගෙන කාර් පැද්ද‌ා. ඕක තමයි අපේ ලොකුම සෙල්ලම. දැන් ඉන්න ළමයි ඒවා ගැන දන්නේ ැහැ. ඉතින් අපෙන් සෙල්ලම් බඩුවක් ගෙනිච්ච ඒ ළමයි එක පාරයි පොළවේ ගහන්නේ. කෑලි කෑලි විසිවෙනවා. ඉතින් අර ළමයා අඬනවා ඒ වගේම එකක් ඕනෑ කියලා. ඉතින් අර දෙමාපියන් අපිව සොයාගෙන එනවා. සමහර වෙලාවට ඒ වගේ දෙයක් අපි ගාව නැතිවුණාම අපි ඉතින් වෙනත් දෙයක් දෙනවා ටිකක් වැඩි ගාණනකට. මොකද අපි දන්නවානේ මේක කොහොම හරි ගෙනියනවා කියලා. ඉතින් අපි කීයක් හරි වැඩිපුර සොයා ගන්නේ ඔය වගේ දේවල්වලින් තමා. ඔය වගේ වැඩ සිද්ධ වෙනවා පිටකොටුවේ.  

 


ඉතින් අපි ලබන සතියෙත් මෙවැනි ජිමික් වැඩකින් හමුවෙමු.  

 


සටහන නිශාන්ත කුමාර බණ්ඩාර