නැටුමකින් පෙර භවය හෙළි කළ දැරියක්


පෙර භවයේ ප්‍රබල සාක්කි

 

 

දඟකාර පුංචි දැරියක වූ ගිටා වයස අවුරුදු දෙකහමාරක් වන තුරු නිරෝගීව සිටියාය. ඇය උපත ලැබුවේ 1957 වසරේ දීය. ඒ වන විට ඔවුන් පදිංචිව සිටියේ ඉන්දියාවේ ගුජරාටි ප්‍රදේශයට අයත් ගමකය. ඔවුන්ගේ නිවස පිහිටියේ බැතිමතුන් යන ගිරිනර් කඳුවැටියට ආසන්නවය. එහි වාර්ෂිකව පැවැත්වෙන උත්සවය නම්කර තිබුණේ ගිර්බි උත්සවය යනුවෙනි. එම උත්සවයේ විශේෂත්වයක් වූයේ නැටුම් සංදර්ශනයක් පැවැත්වීමය. ගිටා පුංචි දැරියක් වුවද එම නැටුම් සංදර්ශනය නැරඹීමට මහත් ආශාවක් දැක්වුවාය.  


මාපියන් සමග එය නැරඹීමට යෑම ද ඇගේ සිරිත වූවාය. අවසන් වරට ඇය එම නැටුම් දර්ශනය නැරඹුවේ වයස අවුරුදු දෙකහමාරේදී. නැටුම් දර්ශනය නරඹා මාසයක් ගතවීමෙන් පසු දිනක් ඇය රෝගී වූවාය. ඇයට තදබල ලෙස උණ රෝගය වැලඳී තිබිණි. දින කීපයක් පැවැති රෝගී තත්ත්වය සරම්ප රෝගය ලෙස හඳුනා ගැනිනි. ඇයට වෛද්‍ය ප්‍රතිකාර සිදුකළ නමුත් දින පහක් ගත වන විට අසාධ්‍ය තත්ත්වයට පත් විය. පස් වැනි දිනයේ ඇගේ මාපියන් බලාපොරොත්තු නොවූ පරිදි ඇය ජීවිතයෙන් සමුගෙන ගියාය. ඇගේ මරණය සිදුවූයේ 1959 ඔක්තෝබර් 10 වැනිදාය.  


ඇගේ හදිසි වියෝවීමෙන් මාපියෝ බලවත් කම්පනයට පත්ව සිටියහ. ඇගේ මරණය සිදුවී මාස දහයකුත් දින හයක් ගත විණි. ඇය ජීවත්ව සිටි ගම් ප්‍රදේශයට තරමක් දුරින් පිහිටි වෙනත් ගමක මවක් දියණියක බිහි කළාය. 1960 අගෝස්තු 14 වැනිදා උපත ලැබූ එම දැරියට රාජුල් යනුවෙන් නම් තැබිණි. මාස දොළහක් ගතවෙන විට ඇයට කතා කිරීමේ හැකියාව ලැබීම එම දැරිය තුළින් දුටු විශේෂත්වය විය. ඒ අතර ඇය යන්තම් දෙපයින් නැගිට යෑමට හැකි වීමත් සමග ඇගේ ගමන් විලාසය නර්ථන ස්වරූපයක් ගෙන තිබිණි.  
ඇතැම්විට ඇය නිවස තුළ නැටුම් විලාශයෙන් ගමන් කිරීමට ද පුරුදුව සිටියාය. දිනක් ඒ අයුරින් නිවස තුළ සිටි දැරිය ඇමතූ මව “ඔයා මොකද කරන්නේ?” යැයි ප්‍රශ්න කළාය. ක්ෂණිකව පිළිතුරු දුන් දැරිය “මම නටනවා” යැයි කීවාය. ඒ සමගම ඇගෙන් තවත් වදනක් පිටවිය. “ගිරිනාර් ගිර්බි” යන එම වදන් විය. ඉන් අනතුරුව ඇය සිටි ප්‍රදේශය ගැනත් ඇගේ පෙර භවයේ නමත් අනාවරණය කළාය.  


දියණියගේ මෙම ප්‍රකාශ කුඩා දරුවන්ගේ සුරංගනා කතාවක් ලෙස ද මාපියෝ සිතූහ. එහෙත් ඇය නැටුම් විලාසයෙන් ඉදිරිපත් කරමින් කිසියම් ගීත කාණ්ඩයක් මුමුණන බවක් ද මවට දක්නට ලැබිණි. ඒ පිළිබඳව මව විමසූ විට ඇය දුන් පිළිතුර වූයේ ගිර්බි නැටුම් යනුවෙනි. එම නැටුම් ඉදිරිපත් කළේ නිවස අසල පිහිටි ස්ථානයක දී බැවින් ඇගේ මතකයේ තිබිණි.  


ඔවුන් පදිංචිව සිටි නිවස පිළිබඳව ඉතා හොඳ මතකයක් තිබූ දැරිය ඔවුන්ගේ නිවසේ මිත්තණියක් සිටි බව ද හෙළි කළාය. ඔවුන්ට වෙළෙඳ සලක් තිබූ බවත් එහි කිරි විකිණීමට තුබූ බව ද කී දැරිය කිරි ගෙනයනු ලැබු​වේ මිත්තනිය විසින් බව ද හෙළි කළාය.  


අාගමික වැඳුම් පිදුම් ගැන ද ඇය අනාවරණය කරමින් කියා සිටියේ මාපියන් සමග විවිධ පූජාවන් සඳහා පූජනීය ස්ථාන වෙත ගිය බවය. ආගමික පූජාවන් පැවැත්වීම පිළිබඳවත් ඒවායේ වත්පිළිවෙත් ගැනත් එම දැරියට ඉතා හොඳ අවබෝධයක් ඇති බැව් දක්නට ලැබිණි. පෙර භවයේ දී උණ රෝගය තිබූ බවක් ද ඇය හෙළි කළාය.  

 

 


විශේෂයෙන් නිවසට ආසන්නව මහජනතාව පැමිණෙන පූජනීය ස්ථානයක් ඇති බැව් ද ඇය හෙළි කළාය. එය පිහිටා තිබුණේ කන්දක් මත බැව් ද ඇය නිතර කියා සිටියාය. එහිදී නැටුම් ඉදිරිපත් කළ පිරිස් බැලීමට ඇය ගිය බවත් එම නැටුම් විලාසයන් පිළිබඳවත් මේ කුඩා දැරිය අනාවරණය කළේ මාපියන් පුදුමයට පත් කරවමිනි.  


මේ අයුරින් ඇය විසින් දිනෙන් දින අනාවරණය කරනු ලබන කරුණු පිළිබඳව මාපියන්ගේ අවධානය යොමු විය. ඇය කිසියම් පෙර භවයක තොරතුරු හෙළි කරන්නේ ද යන්න මාපියන්ට සිතුණි. ඇය හෙළි කළේ පෙර භවයේ දී ගිටා යනුවෙන් හැඳින් වූ බවය. ඒ සමගම ඇගේ මිතුරියකගේ නමක් ද මතකයෙන් අනාවරණය කළ දැරිය පෙරභව නිවස පිහිටා ඇති අන්දම ද හෙළි කළාය.  


ඇයගේ දින චාර්යාවන් ද පවුලේ අන් දරුවන්ට වඩා වෙනස් බවක් ගෙන තිබිණි. විශේෂයෙන් ඇය හැම විටම නැටුම් විලාසයක් ඉදිරිපත් කරන්නට උත්සාහ ගන්නා බැව්ද මාපියන්ට දක්නට ලැබිණි. ඇගේ පෙරභව තොරතුරු හෙළි කිරීම පිළිබඳව පුනර්භව පර්​ෙ‌ය්ෂකයෝ පිරිසක් දැඩි අවධානයක් යොමු කළහ. එහිදී අනාවරණය වූයේ ඇය හෙළි කරන පෙරභව තොරතුරු සරම්ප රෝගයෙන් මියගිය දැරියකගේ ජීවිත තොරතුරුවලට සමාන බවය.  


එහිදී දැරිය ප්‍රකාශ කළ තොරතුරු අතර පෙර භවයේ දී ඇය කුඩා වියේ පසුවූ බැව් අනාවරණය කිරීම ද වැදගත් කරුණක් විය. පෙරභවයේ දී ඇගේ වයස ප්‍රමාණය පෙන්වා දෙනු ලැබුවේ දෑතින් උස ප්‍රමාණය පෙන්වමිනි.  


‘“එහෙදි මට උණ හැදුණා.” යනුවෙන් පැවසු දැරිය “එතකොට මම පුංචියි” යනුවෙන්ද ප්‍රකාශ කළාය. නිවසේ හැඩරුවත් එය පිහිටා තිබූ පරිසරය සහ එම ප්‍රදේශයත් දැරියට ඉතා හොඳින් මතක තිබිණි. එහිදී මව විසින් පිළියෙළ කරනු ලබන ආහාර වර්ග පිළිබඳව ද ඇය හෙළි කළාය. ඒ අතර නිතර කිරි පානය කළ බැව් ද ඇ​ගේ මතකයේ තිබිණි. පෙර භවයේ සිටිය දී නිතර නිතර පූජාවන් පැවැත්වීම සිරිත වූ බැව් ද අනාවරණය කළේ මාපියන් පුදුමයට පත් කරවමිනි.  


ඇයට වයස අවුරුදු පහක් වන තුරුත් මාපියෝ ඇගේ තොරතුරු විමර්ශන කිරීමට අවධානය යොමු නොකළහ. දැරිය පෙර භවය ගැන තොරතුරු හෙළි කිරීම දිනෙන් දින වැඩි විය. විශේෂයෙන්ම ඇය වැඩි වශයෙන්ම ප්‍රකාශ කළේ නැටුම් ඉදිරිපත් කරමින් වීම මාපියන්ගේ මවිතයට හේතු වී තිබිණි.  

'
පෙර භවයේ පුද්ගල නම් කීපයක් සහ ගම් ප්‍රදේශවල නම් ද හෙළි කිරීම නිසා ඇය එම ගම් ප්‍රදේශයට කැඳවාගෙන යා යුතු යයි මාපියෝ තීරණය කළහ. ඒ අනුව ඇය හෙළි කළ ප්‍රදේශයට ඇය කැඳවාගෙන ගියහ. පවුලේ ඥාතීන්ද සමග එහි ගිය අවස්ථාවේ පෙරභව මාපියන් සහ ඥාතීන් කීප දෙනෙකුව නිවැරදිව හඳුනා ගැනීමට ඇයට අවස්ථාව ලැබිණි. ඇය අනාවරණය කළ පරිදි පෙර භවයේ දැරිය මරණයට පත්ව තිබුණේ සරම්ප රෝගය වැලඳීමෙනි.  


පෙර භව නිවසට ගිය ගමන පිළිබඳවත් එහිදී සිදුවූ හඳුනා ගැනීම් ගැනත් ඉන්දීය පුවත්පත් කීපයක් ද වාර්තා පළ කළේය. 1965 නොවැම්බර් මාසයේ දී ඇගේ පුනර්භව සාධකය පිළිබඳව මහත් ප්‍රසිද්ධියක් ලැබිණි. අනතුරුව ඉන්දීය පුනර්භව පර්​ෙ‌ය්ෂකයෙකු වූ ආචාර්ය බැනර්ජි ද ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කළේය. එම විමර්ශන තොරතුරු ඔහු විසින් පර්​ෙ‌ය්ෂණ වාර්තාවකට ද ඇතුළත් කළේය. ඉන් අනතුරුව තවත් පුනර්භව පර්​ෙ‌ය්ෂකයන් පිරිසක් මෙම පුනර්භව සාධකය දැඩි විමර්ශනයකට ලක්කළහ.  


පෙරභවය හෙළි කළ දරුවන් අතරින් නැටුම් විලාශයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙරභවය හෙළි කළ ප්‍රථම දැරිය වූයේ ද ඇයය. හැසිරීම් රටාව පෙරභවය හා සම්බන්ධ බවට ඇගේ පුනර්භව සාධකය ප්‍රබල සාක්කියක් විය. මහාචාර්ය ස්ටීවන්සන් ද මෙම දැරිය පිළිබඳව සියුම් පර්​ෙ‌ය්ෂණයක් පැවැත්වීය. ඉන්පසුව ඇගේ පුනර්භව සාධකය ඔහුගේ පර්​ෙ‌ය්ෂණ වාර්තාවකට සහ ග්‍රන්ථයකට ද ඇතුළත් කර ඇත.  


දැරිය නැටුමක් ඉදිරිපත් කරමින් පෙරභවයේ තොරතුරු හෙළි කිරීම පිළිබඳව මෙහිදී සියුම් ලෙස අවධානය යොමු කැරිණි. එහිදී සනාථ වූයේ මියගිය දැරිය මියයාමට මසකට පෙර එම නැටුම් සදර්ශනය නරඹා ඇති බවය. ඒ සමගම ඇ​ගේ සොහොයුරියක් සමග ඇය නිතර නිතර ඉතා කුඩා කල සිටම එම නැටුම් සංදර්ශන නැරඹීම සිදුකළ බවය.  
ගිරිනර් හි පැවැති නැටුම් සංදර්ශන මියගිය දැරියට නිතර දැක ගැනීමට අවස්ථාව උදාවීමට තවත් හේතුවක් වී ඇත්තේ ඇගේ පෙරභව නිවස ඒ අසල පිහිටා තිබීම නිසාය. පෙරභවයේ දුටු දර්ශන මතකයේ තැන්පත් වී තිබීම මගින් පෙරභවය හෙළි වූ සිදුවීමක් ලෙස මෙම දැරියගේ පුනර්භව සාධකය පර්​ෙ‌ය්ෂණ අතරට එක් වී ඇත.   

 

 


තිස්ස ජයවර්ධන