නැගෙනහිර පළා​ෙත් වනාන්තර වනසන ව්‍යාජ ඉඩම් බලපත්‍ර සෙල්ලම


හෙළිදරව්ව

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ කැලෑවේ මහ ගස් ගිනි තබා තිබූ අයුරු   

 

මොනරාගල ඇතිමලේ ප්‍රදේශයේ ගිනි තැබූ කැලෑවේ පැරණි ගල්කණු  

 

රටේ වනගහනය නොසිතූ පරිදි අඩු වෙන්නට පටන් ගත්තේ මහජනයා ඒවාට අත තැබීමත් සමගය. විවිධ වූ සංවර්ධන ව්‍යාපෘති සඳහා ද වනාන්තර එළිපෙහෙළි විය. එහෙත් ඉතිරිවූ වනාන්තර විවිධ වූ දේශපාලනඥයන්​ගේ සහ ධනවත් ව්‍යාපාරිකයන්ගේ උවමනාවන් මත විනාශ වූයේ වනාන්තර මෙන්ම සතා සිවුපාවාගේ ආරක්ෂාව බාර රජයේ නිලධාරින් ද නිරුත්තර කරමිනි.   


මේ තත්ත්වය වඩාත් දරුණුවට කෙරෙන ප්‍රදේශයක් වන්නේ නැගෙනහිර පළාතයි. විල්පත්තුව වන විනාශය ගැන කතා කෙරුණ ද නැගෙනහිර පළාතේ සිදුවන මේ වනසංහාරය ගැන කතාබහක් නැත. වරින්වර පුවත්පත්වලින් යම් අනාවරණයක් සිදු වුවද ඒවා නිතැතින්ම යටපත් විය.   


මුලින්ම ඉඩම් අල්ලා ගන්නේ වගා සඳහා ය. නැගෙනහිර පළාතේ වගාවන් වැඩිපුර සිදු කරන්නේ ඊසානදිග මෝසම් වැස්සත් සමගය. වැව්වල ජලය ලබාගත නොහැකි ප්‍රදේශවල වැසි ජලය උපයෝගී කරගෙන වගාවන් කිරීම ඊසානදිග වැසි සමයේ සිදු කෙරේ.   


නැගෙනහිර පළාතේ වනාන්තර මෙන්ම රජයේ ඉඩම් අල්ලා ගැනීම් පසුගිය මාස කිහිපය තුළ වැඩි විය. මඩකලපුව, කල්මුණේ, කාත්තන්කුඩි, සයින්දමාරුදු, සමන්තුරේ, මරදමුණේ පන්ඩිරුප්පු, කාරතිවු, ඕලුවිල්, පාලමුණෙයි, අඩ්ඩාලචේනෙයි, අක්කරපත්තු, තිරික්කෝවිල්, කෝමාරි, පොතුවිල්, ලාහුගල, රදැල්ල, පානම ආදී ප්‍රදේශවල රජයේ ඉඩම් බලහත්කාරයෙන් මුස්ලිම් ජන කොටස් අතරට ගිය බවට චෝදනා රැසක් එල්ලවිය.   


කූඨ ලේඛන සකසමින් ව්‍යාජ බලපත්‍ර මත මේවා අත්පත් කරගත් බවට නිරන්තරයෙන් චෝදනා එල්ලවෙයි. නැගෙනහිර පළාතේ මුස්ලිම් දේශපාලනඥයන් මේ ඉඩම් කොල්ලයන් පිටුපස ඉන්නා බවට එල්ලවන ​චෝදනා බැහැර කළ නොහැකිය.   


අඩ්ඩාලචේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අස්රෆ් නගර ග්‍රාම නිලධාරි වසමේ පල්ලෙකාඩුව ග්‍රාමයේ යුද හමුදාව විසින් ආරක්ෂා කළ අක්කර 38ක ඉඩමක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමට තීරණය කර තිබුණි. ඒ සම්බන්ධව උත්සවයක් 2019 ජනවාරි 18 දින අම්පාර නගරයේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. දේශපාලන අධිකාරිය සහ අනෙකුත් පාර්ශවය සමග තීරණයක් ගන්නා තුරු එම අක්කර 38ක ඉඩම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීම අත්හිටුවීමට ආණ්ඩුකාර ධුරයට පත්ව සති දෙකක් ඉකුත්වෙද්දී හිස්බුල්ලා මහතා ක්‍රියා කළේය.   


සැබැවින්ම මේ ඉඩම් කොටස අක්කර 68කි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට යුද සමයේ මේ ඉඩම් ආරක්ෂා කිරීමට තිබූ ගැටලුව නිසා වන ආඥාපනතේ 67 වන වගන්තියෙන් එහි ආරක්‍ෂාව යුද හමුදාව වෙත පවරා තිබුණි. නිදහස් කිරීමට සූදානම්ව තිබුණේ ඒ ඉඩම්ය.   


මීට වසර දහයකට පෙර අම්පාර දිසා වන නිලධාරි ලෙස කටයුතු කළ ලලිත් ගමගේ මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ඔහු පෙන්නා දුන්නේ මේ කියන පල්ලෙකාඩුව ඉඩම් සම්බන්ධයෙන් රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව කට්ටි සැලසුමක් ද සකස් කර තිබූ බවයි.   


මේ ආකාරයට ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පානම ශාස්ත්‍රවෙල පන්සලට අයිති ඉඩමක් ඒ ප්‍රදේශයේ හමුදා කඳවුරක් ඉදිකිරීමට අත්පත් කරගෙන තහනම් කලාපයක් කළ පසු පොතුවිල් ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකු විසින් අල්ලා ගත් බවට පානම වැසියෝ චෝදනා කරති. සිංහල ජනතාවට තමන් භුක්ති විඳි ඉඩම්වලට යන්නට ඉඩ නොදී මුස්ලිම් ජනතාවට ඒ ඉඩම් දෙන බව පානම වැසියන්ගේ චෝදනාව විය.   


අතළොස්සක් වූ සිංහල සහ දෙමළ වැසියන්ට පොදු පහසුකම් සැලසීම ද අවම බව නැගෙනහිර පළාතේ මුස්ලිම් වැසියන් වැඩිපුර පදිංචිව සිටින ප්‍රදේශවල ජීවත්වන සිංහල සහ දෙමළ වැසියෝ කියති. මේ තත්ත්වයන් නමින් හෙළි කිරීම ද ඔවුන්ට ඉදිරියේ ගැටලු ඇතිවීමට හේතුවක් විය හැකි නිසා නම නොකියා තොරතුරු කියන්නට ඔවුහු කැමති වූහ.   
ඇත්තටම සිංහල දෙමළ මිනිස්සු වැඩිපුර ඉන්න පැතිවල පාරක් හදලා දෙන්නේ නෑ. කුණු ගෙනියන්නේ ගොඩගැසුණට පස්සේ. මුස්ලිම් අයට පිට ප්‍රදේශවල ඉඩම්වලට බලපත්‍ර කොහොම හදාගන්නවද මන්දා. අපි කාලයක් තිස්සේ වගාකරන ඉඩම්වලටවත් බලපත්‍ර කඩදාසි දෙන්​නේ නෑ. හැබැයි මුස්ලිම් සහ දෙමළ අපි කතා කරන්නේ දෙමළ භාෂාව. එකම භාෂාව කතා කළා කියලා එක විදියට සැලකිලි නෑ. කල්මුණ ප්‍රාදේශයේ දෙමළ වැසියෙක් පැවසුවේය.   


දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වූ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. විලයාන්ද්‍රන් මන්ත්‍රීවරයා පසුගිය දිනවල මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් කාන්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් සිසුන් ඉගෙන ගන්නා පාසල් 22ක් එක්කර වෙනමම අධ්‍යාපන කලාපයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවය. මුස්ලිම් පාසල් පමණක් එක්කර එවැනි අධ්‍යාපන කලාප පිහිටුවන්නේ නම් පාසල් 83ක් අයත් වන කල්කුඩා අධ්‍යාපන කලාපය වාර්ගිකත්වයට බෙදුවොත් අධ්‍යාපන කලාප කොපමණ සංඛ්‍යාවකට බෙදිය යුතුදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි. මෙය නැගෙනහිර පළාතේ දෙමළ සහ සිංහල ජාතිකයන් සුළුතරය පදිංචි ප්‍රදේශවල මුස්ලිම් අන්තවාදයේ හිස එසවීම සම්බන්ධයෙන් හොඳ උදාහරණයකි.   


පසුගිය දවස්වල වඩුමඩු තහනම් කිරීමට ජනාධිපතිවරයාගේ තීරණය සම්බන්ධයෙන් සමාජයේ විවිධ කතාබහ ඇතිවිය. වනාන්තර විනාශය වළක්වා ගැනීමට එහි මුඛ්‍ය පරමාර්ථය බව කියැවිණි. නැගෙනහිර පළාතේ මෙන්ම ඊට යාබද ඌව සහ උතුරුමැද පළාත්වලත් සිදුවන මහා පරිමාණ වන සංහාරයට මේ වඩුමඩු පළි නැත.   


මේ වන සංහාරයට සිංහල, දෙමළ, මුස්ලිම් යන භේදයක් නැතිව හැම දෙනෙක්ම වගකිව යුතුය. ඒ ඉරිඟු වගාව සඳහා කැලෑ එළි කිරීමයි. මෙය කරන්නේ සාමාන්‍ය ජනයා නොව යම් බලයක් ඇති කෙනෙකි. ඔහුට විශේෂයෙන් දේශපාලන වටපිටාවක් තිබේ. නීතිය ක්‍රියාත්මක කිරීමේ දී මේ දේශපාලන සහාය ඔහුට ලැබෙයි.   


මොණරාගල, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුර යන දිස්ත්‍රික්වල තැනින් තැන මේ ආකාරයට බඩඉරිඟු සඳහා වනාන්තර එළිපෙහෙළි වන්​නේ වසරකට අක්කර සිය ගණනිනි. ඒ ලඳු කැලෑව පමණක් නොව රූස්ස ගස් සහිත මහ කැලෑවයි. මේ වනාන්තරවල ගස් කැපීමක් සිදු නොවෙයි. වගා කළ හේන්වලට වියළි කාලයේ ගිනි තබන අතර ඒ ගින්න යාබද මහ වනය තෙක් පැතිර යයි.   

 

දෙමළ ජනයා වැඩිපුර පදිංචි පාරක එකතුවූ කුණු  

 


වනාන්තරයේ ඇති වටිනා ගස් කොළන් ගින්නෙන් පිලිස්සී අළු බවට පත් වූ පසු වැසි සමය උදාවෙත්ම ඒ ඉඩම් හේන් බවට පත්කර බඩ ඉරිඟු සිටුවයි. ඉඩම්වල වැඩකරන්නේ කුලීකරුවන්ය. නිලධාරින් ඉදිරියේ කුලීකරුවා ගොවියාය. නමුත් ඒ ඉඩම්වල බඩ ඉරිඟු වගා කරන්නට වියදම් කරන ගොවි මුදලාලිලා දේශපාලන වරප්‍රසාද ලබමින් නීතියෙන් රැකවරණ ලබති. සමහර ගොවි මුදලාලිලා මේ ආකාරයට අක්කර විසිපහ පනහ ගෝලබාලයින් යොදා කැලෑව වනසති.   


මොණරාගල, ඇතිමලේ ප්‍රදේශයේ මේ ආකාරයට වනාන්තර ගිනි තබා බඩඉරිඟු වගා කිරීම සම්බන්ධයෙන් ගැමියෝ මෙසේ පැහැදිලි කළේය. 

 
බඩඉරිගු වගාව ලාබදායක වගාවක්. අපිට වියදම් කරන්න මුදලාලිලා ඉන්නවා. අහලා තියන විදියට අක්කරයකින් රුපියල් ලක්ෂයක විතර ලාභයක් ගන්න පුළුවන්ලු. සමහර ව්‍යාපාරිකයන් වනාන්තර අයිනේ හේන් හදන්න කැලෑව ගිනි තියන්න උපදෙස් දෙනවා. වැහි කාලයට ඉස්සර ගිනි තියලා මහ ට්‍රැක්ටර් දාලා බිම සකස් කරලා වැස්සත් එක්ක ඇට වගා කරනවා. මොණරුන්ගෙන් තමයි ඇට පැළවෙනකම් බලාගන්න ඕනෑ. හේන වටේට අලිවැටවල් හදලා අලින්ගෙන් ආරක්ෂා කරනවා. එක මුදලාලිට අක්කර තිහ හතළිහ තිබුණට අක්කර හතර පහ කඩලා වෙන වෙනම ගොවියෝ දාලා තියනවා බලා ගන්න. අස්වැන්න නෙළුවට පස්සේ ආයේ ඒ හේන්වලට යන්නේ නැවත ගිනි තියන්න. සේනා දළඹුවාගේ හානිය ආ නිසා මේ සැරේ කැලෑ අලුතින් ගිනිතැබීම අඩු වුණා.   


මේ කියන කරුණු ගැන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අම්පාර, මොණරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්වල අඩවි වන නිලධාරීන් සහ වනජීවී දෙපාර්තමේන්තුවේ අඩවි ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුගෙන්ම විමසුවෙමි. මාධ්‍යයට තොරතුරු දීම සම්බන්ධයෙන් ඔවුන්ට ගැටලුවක් අැති නිසා ඔවුහු ඒ ගැන කතා කරන්නට මැළිවූහ.   
එහෙත් ඔවුන් පැවසුවේ බඩඉරිඟු වගාවට වනාන්තර ගිනි තබා විනාශ කිරීම සත්‍යයක් බවයි.   


‘‘ඒ අය ඉස්සර වෙලාම වනාන්තරවලට මායිම් ඒ කියන්නේ රක්ෂිත හෝ අභයභූමිවලට මායිම්ව ඇති හේන් ඉඩම්වලට තමයි ගිනි තියන්නේ. ඒ ගින්න වනාන්තරවලට පැතිර යනවා. මහ ගස්කොළන් දවස් ගණන් ගිනි අරගෙන ඇවිළෙනවා. ඉරිඟු හේන ලොකු කරගන්නේ ඒ ආකාරයට. මේ වනාන්තරවලට ගිනි තිබ්බේ කවුද කියලා කියන්න කවුරුවත් දන්නේ නෑ. ඉන්න නිලධාරීන්ට කැලේට වෙලා ඉන්න බෑ. ඒ අඩුපාඩුව දැනගෙන තමයි මේ අපරාධ කරන්නේ. විශාල ගස් පිලිස්සී යනවා. ඒ ගිනි නිවන්න බෑ. සුළඟත් එක්ක ගින්න පැතිරෙනවා. මේ විනාශයේ දී සිංහල මුස්ලිම් කියලා බේදයක් නෑ.   


මුස්ලිම් ජනයා වැඩිපුර වෙසෙන ප්‍රදේශවල මුස්ලිම් ව්‍යාපාරිකයෝ වියදම් කරනවා. මුස්ලිම් දේශපාලනඥයෝ ඊට රැකවරණ දෙනවා. සිංහල ජනයා වැඩිපුර වෙසෙන ප්‍රදේශවල සිංහල ව්‍යාපාරිකයෝ සිංහල දේශපාලනඥයන්ගේ සහාය ලබමින් උදව් කරනවා. මේ වනාන්තර රැකගන්න ඉන්න නිලධාරින් ප්‍රමාණය මදි. අපි වගේ සමහර නිලධාරින්ට කිලෝමීටර් පනහක් විතර දුරක් කැලේ එක මායිමක් තියනවා. එක කෙළවරක් බලලා අනික් කෙළවරට එනකොට ඒ පැත්ත විනාශ කරලා. වඩුමඩු තහනම් කරන එක නෙවෙයි මේ වන විනාශය නවත්වන්න කටයුතු කරන එකයි කරන්න ඕනැ.   


දැන් බලන්න පැළ හිටවනවා කියලා විවිධ ව්‍යාපෘති කරනවා. ලක්ෂ ගණන් පැළ හිටවනවා. කෝ තවමත් වනගහනය වැඩි වෙලා නෑ නොවැ. පැල හිටවනවා වාලේ හිටවලා වැඩක් නෑ. හිටවන පැළ ලොකු වෙනකම් රැකබලා ගත යුතුයි. ඔය හිටවන පැළවලින් 20% ක්වත් හැදෙන්නේ නෑ. ඒවා බොරු සෝබන සල්ලි කන වැඩ. ඒ නිලධාරීන්ගේ අදහසයි.   

 


අජිත්ලාල් ශාන්තඋදය