නැකත් කමිටුවේ නැකත් වෙලාව ගැන ගැටලුවක්


සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව සිංහල අලුත් අවුරුදු නැකත් කමිටුව විසින් පිළියෙල කර ඇති අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමේ නැකත් වේලාවන් තුළ යම් යම් දෝෂ සහිත තත්ත්වයන් මෙවරද පවතින බව පෙනේ.   


ලක්වැසි සියලු දෙනා එකාවන්ව මහත් අභිමානයකින්, උද්​ෙ‌යා්ගයකින් විශ්වාසයකින් සහ නැවුම් බලාපොරොත්තු සමගින් එකම මොහොතකදී ඉටු කරන අවුරුදු චාරිත්‍ර සඳහා ලබාදෙන ශුභ මූර්තයන් අතිශය ශුද්ධ ලෙස පැවතුණහොත් ඉන් ජනතාවගේ සිතුම් පැතුම් ඉටු වන්නා සේම රටේ සමෘද්ධියද නිතැතින් ඇති වෙයි. එබැවින් ශාස්ත්‍ර අභිවෘද්ධිකාමී ප්‍රවීණ ජ්‍යොතිෂ්‍ය මහත්වරුන්ගේ අවධානය 2019 සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර නැකත් මුහුර්තයන් කෙරෙහි අනිවාර්යයෙන් යොමු විය යුතුය.  


එසේ නොවුණහොත් විෂ්ණු විංශතියට අයත් පීතර යුග පංචාබ්දයෙහි දෙවන පරිසංවත්සර භේදනාමධාරි අර්ක දේවාධිපති 2018 විලම්බි සංවත්සරයෙහි රටේ ජනතාවත් රටත් ප්‍රායෝගික ලෙස විලම්භීත තත්ත්වයක් අත් වින්දා සේ 2019 තෙවන ඉඩාවත්සර භේදනාමධාරි චන්ද්‍රනම් දේවාධිපති විකාරී නම් වර්ෂයෙහි සැබෑ ලෙසම විකාරයක් වනු නියතය.  
එම විකාරි ගතිය තවදුරටත් තීව්‍රතාවය වැඩිවීමට 2019 අප්‍රේල් 14 ඉරිදා දින ප.ව. 2.09 ට උදාවන අලුත් අවුරුද්ද ලබන මොහොතේ පවතින අධෝ මුඛ නැකතක් වන අස්ලිස නැකතේ බලපෑමක් තියෙන දෙයක් ශූන්‍ය කරන අවම කරන ශුල යෝගයේ බලපෑමක් බලපානු ඇත.   


අස්ලිස නැකත උදාව පැවතීම නිසා උපාශීලීව කටයුතු කරන්නන් හා අහංකාර ගති ඇත්තවුන් වැඩි වීමටත් කළ ගුණ සලකන්නන් අඩුවීමටත් ගති ගුණ අයහපත් වීමටත් මිනිසුන්ගේ ගති පැවතුම් අයහපත් වීමටත්, මිනිසුන් නීතිගරුක නොවී සිටීමටත්, මුරණ්ඩු වීමටත්, කළකෝලාහල ඇති කිරීමටත්, බොරු කීමටත් ඉඩ තිබේ. දේපළ වස්තුව මිල මුදල් ක්‍රමානුකූලව පරිහරණය නොකිරීම නිසා ජීවිතය සැපෙන් තොරවිය හැකිය. එහෙත් අධ්‍යාපනයේ දියුණුවත් ගොවිතැන් දියුණුවත් මත්ද්‍රව්‍ය සෑදීමේ දියුණුවත් දැකගත හැකිය.  
2019 සිංහල අවුරුදු නැකත් කමිටුව පිළියෙල කරන ලද අවුරුදු නැකත් අනුව 2019 අප්‍රේල් 14 වන ඉරිදා ප.ව. 2.09 ට අලුත් අවුරුද්ද උදාවීමෙන් පසුව ප.ව. 2.42 ට ලිපගිනි මෙළවීමට සහ ආහාර පිසීමට ශුභ මූර්තයන් ලබාදී ඇත. නැකත් කමිටුව පිළියෙළ කළ එම ශුභ මුහුර්තය ප්‍රශස්තය. ශුභදායකය. එහෙත් අවුරුදු චාරිත්‍ර අතර ප්‍රමුඛ චාරිත්‍රය වන වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය සඳහා පව. 3.54 ට මුර්තයන් ලබාදී ඇති අතර එම මූර්තය යෙදී ඇති කාලය පංචම හේරා ශුද්ධියෙන් තොර බුධ හෝරාවේ රවි පංචම හෝරාවයි.  


බුධ හෝරාවේ බුධ පංචමය පළමු විනාඩි 12 තුළ පවතින අතර එම කාලසීමාව ශුභ පල සහිතය. බුධ හෝරාවේ දෙවැනි විනාඩි දොළොස ගුරු පංචමය වන අතර එය ශුභ කටයුතු සඳහා අතිශය ශුභ ඵල ගෙනදෙන කදිම කාලසීමාවකි. ආගමික, සමාජ සේවා කටයුතුවලටද, ජන සුබසෙත ඇතිවීමට කීර්තිය, ප්‍රසංසාව, වැඩිදියුණුවීම, ගෞරවය ලැබීමටත්, උසස් තත්ත්වයට පත්වීමට, බලාපොරොත්තු සාර්ථක වීමට බලපාන ශුභ පල සහිත පංචම හෝරා කාලයකි.  


බුධ හෝරාවේ තුන් වන විනාඩි 12 ශුක්‍ර පංචමයට අයත් අතර එය විෂ පංචම කාල හෝරාවකි. එබැවින් එම කාල සීමාව ශුභ කටයුතු සඳහා යෝග්‍ය නොවේ. බුද හෝරාවේ 4 වැනි පංචමය ශනි පංචමය වන අතර එම මොහොත තුළ කටයුතු කිරීමෙන් රැකියා ව්‍යාපාර ආදියේ බාධක ඇතිවීම්, සතුරු කරදර ඇතිවීම, අපහාස උපහාස ඇතිවීම, මානසික හා ආර්ථික පීඩා ඇතිවීම ආදී අශුභ පල ඇති කරන බැවින් ශුභ වැඩෙහි යෙදීම සුදුසු නොවේ.  


බුධ හෝරාවේ පස් වැනි පංචමය රවි පංචමය වන අතර එම කාලය තුළ කටයුතු කිරීමෙන් තද සිත් ඇතිවීම, නීතිමය ප්‍රශ්න, සතුරු කරදර, ගිනි බිය ආදී අශුභ ඵල ඇතිවිය හැකි බැවින් ශුභ වැඩෙහි නොගනියි.  


සිංහල අවුරුදු නැකත් කමිටුව විසින් ලබාදී ඇති බුධ හෝරාවේ රවි පංචමය පංචම හෝරා ශුද්ධිය නොමැති බවත් ඉර උදාව අනුව එම නැකත භාවිත කිරීමේදී රටේ ඇතැම් ප්‍රදේශවලට සැබවින්ම වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යන අත්‍යවශ්‍ය නැකත් චාරිත්‍ර සිදුකිරීමට සිදුවන්නේ බුධ හෝරාවේ ශනි පංචම හෝරාව තුළය. එබැවින් ඉහත චාරිත්‍ර සඳහා බුධ හෝරාවේ ගුරු පංචම හෝරාවේ ශුභ මුර්තයන් යොදා ගන්නේ නම් මහත් සෙතක් යහපතක් අනිවාර්යයෙන් අත්වනු ඇත. එසේ නොවුණහොත් අස්ලිස නැකතේ අශුභ තත්ත්වයක් ශුල යෝගයේ ක්‍රියාකාරිත්වයෙන් බුධ හෝරාවේ ශනි රවි පංචම හෝරා අශුභ තත්ත්වයත් තීව්‍ර වී ජන ජීවිතත් රටත් තවදුරටත් පීඩනයට ලක්වනු ඇත.  


එසේම 2019.04.18 බ්‍රහස්පතින්දා අලුයම 4.52 රැකියා කටයුතු සඳහා පිටත්වීමේ වේලාවක් ලබාදී ඇත. එය භාවිතය කෙතරම් ප්‍රායෝගික දැයි ප්‍රශ්නයක් මතුවේ. එබැවින් සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීම උදෙසා ශාස්ත්‍රානුකූලව ශුභ නැකත් පිළියෙල කිරීමට උපදෙස් දීම ජ්‍යොතිෂ්‍ය අභිවෘද්ධිකාමී ජ්‍යොතිෂ්‍ය මහත්වරුන්ගේ වගකීම නොවන්නේද?  

 


ජ්‍යොතිර්වේදී ජ්‍යොතිෂ්‍ය 
ශිරෝමණී  සී. සමන්සිරි,  
ඉසිවර ජ්‍යොතිෂ්‍ය පර්​ෙ‌ය්ෂණායතනය,  
අංක 43, බණ්ඩාරවෙල පාර,  බදුල්ල.  
(බදුල්ල මහ රෝහල ඉදිරිපිට)