නාය යාමකින් හැදුණු ලස්සන විලක්


 

සොබාදහම විටෙක සෞම්‍යය. විටෙක ප්‍රචණ්ඩය. මිනිසුන් දහස් ගණනක් එකවර මරා දමන්නට තරම් සැහැසිවන සොබා දහම එවැනිම ව්‍යසන සමග අපූරු චමත්කාරයක් ද නිර්මාණය කරන බව සනාථ කරන්නේ උතුරු පකිස්ථානයේ චීන දේශසීමාව ආසන්නයේ කරකෝරම් කඳුවැටියේ පිහිටා ඇති ඇට්ටබාද් විලයි.   


2010 ජනවාරි මස 04 වැනි දා භූමිකම්පාවක් සමඟ සිදුවූ නායයාමකින් මේ අපූරු විල නිර්මාණය වී ඇත. එය නායයාමෙන් පුද්ගලයන් 20 දෙනකු මරණයට පත්වූ අතර නාය යාමෙන් කඳු අතරින් ගලා යමින් තිබූ හුන්සා ගඟ සම්පූර්ණයෙන්ම අවහිර වූයේ ගල් හා පස්වලින් දැවැන්ත වේල්ලක් නිර්මාණය කරමිනි. අධිවේගී මාර්ගයේ කිලෝමීටර 19ක ප්‍රමාණයක් ජලයෙන් යටවීම හා අනෙකුත් මාර්ග ද අවහිරවීම හේතුවෙන් මාස ගණනක් 25,000ක පිරිසක් අතරමංවී සිටියහ. ජුනි මාසය දක්වා සහන සේවා සැපයීමේ කටයුතු සිදුකළේ ද අසීරුවෙනි.   


නාය යාමෙන් ඇතිවූ මේ අලු‍ත් වේල්ල හේතුවෙන් හුන්සා ගඟේ ජලය මාස පහක් පුරාවට එකතු වී මේ මහා විල නිර්මාණය වී තිබේ. එය දැන් හැඳින්වෙන්නේ “ඇට්ටබාද් විල”‍ යනුවෙනි. මේ විලේ දිග දැන් කිලෝ මීටර 21. එහි ගැඹුර මීටර 109 දක්වා විහිදෙයි. ජල තලය අක්කර අඩි 330,000ක් පුරාවට විහිදී තිබේ.   


මේ විල නිර්මාණයවීම හේතුවෙන් ගම්මාන පහක් එතැනින් ඉවත්කිරීමට සිදුව ඇත. විල නිර්මාණය වී දැන් අවුරුදු 10ක් ගත වී තිබේ. ව්‍යසනයකින් පසුව වුව ද අලු‍තින් නිර්මාණය වූ පරිසරය ඒ අවට ජනතාවගේ ජීවනෝපාය මාර්ගය බවට පත්ව ඇත.   


නිල් පැහැති පිරිසිදු ජල කඳ සොබා දහමේ අපූර්වතම නිර්මාණයක් ලෙස දිස්වෙයි. ඒ අවට පාෂාණයෙන් සෑදී ඇති දැවැන්ත කඳු වැටියත් සීතල දේශගුණයත් විලේ සුන්දරත්වයත් සංචාරකයන් ආකර්ෂණය කරගන්නා පාරාදීසයක් වී තිබේ.   


මහා ව්‍යසනයකින් වසර 10කට පසු එහි හෝටල් සහ කුඩා ලැඟු‍ම් හල් විශාල සංඛ්‍යාවක් ඉදිවී තිබේ. සංචාරක කර්මාන්තය මහා පරිමාණයෙන් ක්‍රීයාත්මක වන අතර ගැමියෝ මසුන් අල්ලාගැනීමට අමතරව සංචාරක සේවා සැපයීමෙන් ද සිය ජීවිකාව කරගෙන යති.   


විලේ බෝට්ටු පැදීම, අධිවේගී ජල ක්‍රීඩාවල යෙදීම මෙන්ම කිමිදුම් කටයුතු ද දැන් බෙහෙවින් ජනප්‍රිය වෙමින් තිබේ.   


සොබා දහම ව්‍යසනයත් සමඟ සුන්දරත්වය ද ගෙන එන්නේ මේ ආකාරයෙනි.   


සජීව විජේවීර