නළලත සරසන පොට්ටුවේ කතාව


හින්දු කාන්තාවන්ගේ නළලේ පොට්ටුව රතු පැහැති නම් ඇය සස්වාමිකයි. සැමියා මියගිය විට ඇගේ කුංකම තිලකය මැකීමේ චාරිත්‍රයක් ද සිදුවේ. 


මගේ නීල නෙතු සඟළින් 
මොනවද ඔබ ඉල්ලන්නේ 
නළලේ කුංකුම තිලකය 
ඔබට නේද අමතන්නේ....... 


මේ ඉන්ද්‍රානි බෝගොඩ මහත්මිය ගැයූ සුන්දර ගීතයක කොටසක්. මේ ගීතයෙන් ලිපිය අරඹන්න සිතුවේ කාන්තාවන් පිළිබඳ සුවිශේෂ කරුණක් එහි අන්තර්ගතව ඇති නිසාය. කාන්තාවක් දෙස බලන ඇසිල්ලේ කවරෙකු වේවා පළමුව ආකර්ෂණය වන්නේ ඇයගේ නෙතු සඟලටයි. ඇස පෙනීම පමණක් ලබාදෙනවා යැයි පැවසුවත් ඇස තරම් හදවතට කතා කළ හැකි තව කෙනෙක් නැත්තේය. 


ඉතින් පුරුෂයින් අලංකාර ඇස් ඇති කාන්තාවන්ගේ වසඟයට නිතැතින්ම පත් වන්නේත් ඒ නිසාමය. කාන්තාවන් තම දෙනෙත් ලස්සනට තබා ගන්න එතරම්ම වෙර දරන්නේත් ඒ නිසාය. කාන්තාවන්ගේ ඇස්බැම මධ්‍යය වන්නට හෝ නළලේ තබන තිලකය තරම් ඒ ආකර්ෂණීය බැල්ම තීව්‍ර කරන තවත් විචිත්‍රවත් දෙයක් ලොව ඇත්ද? මේ ගීතයෙන් ද එය මනාව පිළිබිඹු වෙයි. මේ ලිපියෙන් දිග හැරෙන්නේ තිලකය නැත්නම් ඒ සුන්දර පොට්ටුවේ කතාවයි. 


හින්දු ආගමට අනුව තිලකය යනු මංගල කාරණාවකි. එය සශ්‍රීකත්වය විදහා දැක්වෙන (ලක්ෂ්මීහරම්) බව කියයි. පොට්ටුවේ ආකර්ෂණය විචිත්‍රවත් බව කොතරම් ද කියනවා නම් වර්තමානය වනවිට තිලක තැබීම චාරිත්‍රයක සිට විලාසිතාවක් දක්වාම ලොව පුරාම පැතිර අවසන්ය. විශේෂයෙන්ම ඉන්දියාව කේන්ද්‍රගත කර ගනිමින් ආරම්භ වූ බව කියන තිලක තැබීමේ සම්ප්‍රදාය දකුණු ආසියාතික රටවල් බොහෝමයක මෙන්ම ඇතැම් බටහිර රටවල ඇතැම් සංස්කෘතීන්වලටත් එක්ව තිබේ. 


බංගලාදේශය, පකිස්තානය, නේපාලය, භූතානය මෙන්ම ශ්‍රී ලංකාවෙත් හින්දු සම්ප්‍රදාය හමුවේ පොට්ටු තැබීම සිදු කරයි. ගිනිකොනදිග ආසියාතික රටවල් වන මැලේසියාව, සිංගප්පූරුව, වියට්නාමයේ මෙන්ම චීනයේ ද තිලක තැබීමේ සම්ප්‍රදායක් දැක ගත හැකිය. ඉන්දියාවේ හින්දි භාෂාවෙන් බින්දි ලෙසත් සංස්කෘත භාෂාවෙන් බින්දු ලෙසත් පොට්ටුව හඳුන්වයි. දෙමළ භාෂාවෙන් එය පොට්ටු කියාම හැඳින්වෙයි. 
බොහෝ දෙනෙකු සිතා සිටින්නේ පොට්ටු තැබීම හුදු විලාසිතාවක් පමණක් බවයි. එහෙත් තිලකයට දීර්ඝ ආගමික මෙන්ම සංස්කෘතියක ඉතිහාසයක් උරුමය. තිලක තැබීමේ සම්ප්‍රදාය චාරිත්‍රය ආරම්භ වන්නේ හින්දුන්ගෙනි. එය හින්දු ආගම හා සංස්කෘති ඉතිහාසය තරම්ම පැරණිය. තිලක තැබීම හින්දු බැතිමතුන්ට අනුව සුවිශේෂය. එය අලංකාරය අතික්‍රමණය කරන්නකි. 


ඉන්දීය ජනතාවගේ මතය අනුව තිලක තැබීම ආරම්භ වන්නේ හින්දු දෙවිවරුන්ගෙනි. ඉන්දියාවේ වසර 3500 ක් පමණ පැරණි බව කියන ඍග්වේද ග්‍රන්ථයේ ශිව දෙවියන් පිළිබඳ සඳහන් ය. හින්දු ආගම අනුව ප්‍රධාන දෙවියන් වන්නේ ශිව දෙවියන්ය. තිනෙත් යනුවෙන් අප හඳුවන්නෙත් ශිව දෙවියන්ය. ඒ නෙත් තුනක් ශිව දෙවියන්ට ඇති බැවිනි. තෙවන නෙත නළල මැද පිහිටා ඇති බවත් එම නළල විවෘත කර බැලුවහොත් ඒ බැල්මට හසුවන සියල්ල දැවි අළු වී යන බවත් වේද ග්‍රන්ථවල සඳහන්ය. ශිව දෙවියන්ගේ තිනෙත තිබූ තැන තිලකය වූවා විය හැකි ය. එසේ නම් හින්දුන් විසින් කරනු ලබන තිලක තැබීමේ චාරිත්‍රත් එතරම්ම පැරණි වනු ඇති බව සිතිය හැක. 


හින්දු බැතිමතුන් තබන තිලක වර්ග විවිධය. ශිව හෙවත් ශෛව බැතිමත්හු එක් හැඩයකටත් විෂ්ණු දෙවියන් අදහන බැතිමතුන් හෙවත් වෛෂ්ණව බැතිමත්හු තවත් හැඩයකටත් මෙම තිලකය නළලේ තබා ගනිති. ඒ අනුව ඔවුන් කවර දෙවිවරුන් අදහන්නේදැයි පහසුවෙන්ම හඳුනා ගත හැකිය. 


ශිව දෙවියන් ප්‍රධාන ස්කන්ධ කුමාරයා හෙවත් ගණපති දෙවියන් හා පාර්වතී දේවිය අදහන බැතිමත්හු නළල මත සුදු ඉරි තුනක් අඳිති. එම සලකුණ තිපුණ්ඩ්‍ර තිලකය ලෙස හැඳින්වේ. ඒ මත කහ සහ රතු පැහැයෙන් තිලක දෙකක් පිට පිට තබනු ලැබේ. කහ, රතු තිලක නොතබා සුදු ඉරි තුන පමණක්ම අඳින අවස්ථා ද ඇත. 
තවද ශෛව හෙවත් නිර්මාංශ බැතිමතුන් යැයි හඳුන්වනු ලබන්නේ මොවුන්වය. සයිවර් කඩ යැයි හඳුන්වන්නේ මෙම නිර්මාංශ බැතිමතුන්ට ආහාර ගැනීමටම විශේෂ වූ ආපනශාලායි. 


ඌර්ධවපුණ්ඩ්‍ර තිලකය යන්න අනෙක් තිලක වර්ගයයි. එය විෂ්ණු දෙවි ප්‍රමුඛ රාම හනුමාන් දෙවිවරුන් අදහන බැතිමතුන් විසින් තබා ගන්නා තිලකයයි. එය ඉංග්‍රීසි යූ අකුර හැඩැතිය. සුදු පැහැතිව යූ අකුරු හැඩය මැද රතු පැහැති සිරස් ඉරක් මෙන් තිලකයක් අඳියි. උතුරු ඉන්දියානුවන් රැසක් විෂ්ණු දෙවි බැතිමතුන් වන බැවින් ඔවුහු මෙම තිලකය තබති. 


මේ හැර ජෛන දර්ශනයේ ද තිලක තැබීමේ සම්ප්‍රදායක් දැකිය හැකිය. චීනයේ දරුවන් පළමුවරට අකුරු ලිවීම වෙනුවෙන් කයිබි නමින් සාම්ප්‍රදායික උත්සවයක් පවත්වයි. එහිදී ගුරුවරයෙකු විසින් දරුවාගේ නළල මත රතුපාට තිලකයක් තබයි. ඒ හැර චීනයේ විචිත්‍රවත් උත්සවවලදී විවිධාකාරයේ මෝස්තර තිලක විලාසිතාවක් ලෙස භාවිතා කරන අයුරු දැකිය හැකිය. 


බෞද්ධ සම්ප්‍රදායේ තිලක තැබීම් වර්තමානයේදී දක්නට අඩු වුවත් බෞද්ධයින්ට ද තිලකය සුවිශේෂිය. එයට හේතුව සිදුහත් කුමාරයා මතු බුදුවන බවට අසිත ඍෂිවරයා විසින් අනාවැකි පළ කරනු ලැබුවේ සිදුහත් කුමාරයාගේ දෙබැම මැද කැරකී තිබූ ඌර්ණ රෝම ලක්ෂණය බලාය. එයාකාරයෙන්ම සිදුහත් කුමාරයා අප තිලෝගුරු ගෞතම බුදුරාජාණන් වහන්සේ ලෙස බුදු වූහ. එනයින්ම තිලකය කොයිතරම් සුවිශේෂි සලකුණක් ද සංකේතයක් ද යන්න එදවස පටන් ජනයා දැන සිටින්නට ඇත. 


හින්දුන් තිලකය තබන්නට තෝරා ගෙන ඇත්තේ මිනිස් සිරුරේ දෙබැම මැද හා නළල් තලයයි. මිනිස් ශරීරයේ සෑම නහරයක්ම මොළයට සම්බන්ධව පවතී. මේ මොළයට සම්බන්ධ වන නහර බොහෝමයක් දෙබැම මැදින් නළල හරහා සම්බන්ධ වෙයි. මිනිස් සිරුරේ පිහිටා ඇති නිල තිස් දෙකෙන් දෙබැම මැද සුවිශේෂී නිලයක් ඇති බව සඳහන් වේ. ජ්‍යොතිෂය අනුව විශ්ව ශක්තිය මිනිස් සිරුරේ ඇති සප්ත චක්‍රවලට සම්බන්ධ වන බව කියැවෙයි. එහිදී විශ්ව ශක්තියට සම්බන්ධ වන නළල හඳුන්වා ඇත්තේ අජ්න චක්‍රය යනුවෙනි. යෝග ශාස්ත්‍රයේ දී ද නළල මැද අජ්න චක්‍රය ලෙසින් මානසික එකාග්‍රතාවය පුරුදු පුහුණු කරන ව්‍යායාමවලදී වැදගත් කොට සලකනු ලබයි. 


අජ්න චක්‍රය යන්න තිනෙත මිනිසාගේ තෙවන ඇස ලෙස හඳුන්වයි. ඕරා වැනි පර්​ෙ‌ය්ෂණවල නිරත වන්නන් ප්‍රකාශ කර තිබෙන්නේ මෙම තෙවන ඇස මිනිසාගේ ආධ්‍යාත්මික චක්‍රය බවයි. මොළයේ පිහිටා ඇති පයිනියල් ග්‍රන්ථියෙන් පාලනය වන මෙම චක්‍රය මගින් මිනිසාගේ බුද්ධිය, දැනුම, මානසික චින්තනය, ප්‍රඥාව පාලනයට වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ද ඔවුහු පවසති. තෙවන ඇස බලවත් පුද්ගලයින් බුද්ධිමතුන් බව ද ඔවුන්ගේ පිළිගැනීමයි. තිලකය තබන්නට අතීත හින්දුන් නළල තෝරා ගෙන ඇත්තෙත් ඒ නිසාමය. 
තිලක තබන්නට සුදුසුම ස්ථානය නළල බව සොයාගත් හින්දුන් එම තිලක සෑදීමට ඉස්තරම්ම අමුද්‍රව්‍ය යොදාගෙන ඇති බව පෙනේ. 


වර්තමානයේ දී විවිධ වර්ණයන්ගෙන් තිලක තබා ගත්ත ද හින්දු ආගමානුකූලව තබන තිලකය සඳහා සුදු, කහ, රතු පාට වර්ග තුන පමණක් භාවිත කරයි. සුදුපාට වර්ගය වන්නේ විභූතිය. කිරිදෙන එළදෙනකගේ ගොම ගෙන එම ගොමවලට එළකිරි මිශ්‍ර කර අව්වේ වේළා ගනී. වේළා ගත් ගොම පුළුස්සා ඉතිරි වන අළු විභූති ලෙස භාවිතා කෙරේ. විභූති වශයෙන් භාවිතයට ගන්නා විශේෂ කිරිමැටි වර්ගයක් ද ඇත. එම කිරිමැටි වර්ගය කතරගම විභූති කන්ද (විභූති මලෙයි) නමින් හඳුන්වන කඳුගැටයේ දක්නට තිබේ. ඉන්දියාවේ ද ස්ථාන කිහිපයක පමණක් මෙම කිරිමැටි වර්ගය සොයාගත හැකිය. කහ පාට තිලක සාද‌ා ගන්නේ හඳුන් කුඩුවලිනි. රතු පාට තිලක හෙවත් කුංකුම තිලක සකස් කර ගන්නේ කුංකුම මල් රේණු වලිනි. මෙම තිලක වර්ගය සාද‌ා ගැනීමට අධික මිලක් වැය වෙයි. එබැවින් රතු පාට තිලක සකස් කිරීමට කුංකුම මල් රේණු යොදා ගන්නේ අඩු වශයෙනි. නමුත් භාවිත කෙරේ. අප කා අතරත් ප්‍රසිද්ධ හින්දි භාෂාවෙන් සින්දුර් යනුවෙන් හඳුන්වන්නේ කුංකුමයි. ඒ වෙනුවට විකල්පයක් වශයෙන් භාවිත කරන්නේ කහ සහ දෙහි මිශ්‍ර කිරීමෙන් ලැබෙන රතු මිශ්‍රණයයි. 


විභූති අළු ඇඳීම හා තබා ගැනීම මගින් හිසේ හා නළලේ ඇති සීතල බව උරා ගැනීමක් සිදු කරයි. හිසදරය ඇති පුද්ගලයෙක් විභූති හොඳින් නළලේ ඇතිල්ලීමෙන් ටික වේලාවකට පසුව යම් සුවයක් ලබා ගත හැකිය. විද්‍යාත්මක තහවුරු කිරීමක් සිදු කර නැතත් හින්දු බැතිමතුන් විසින් දෙවියන් වෙනුවෙන් පවත්වන කාවඩි, පරව කාවඩි උත්සවවලදී විශාල කටු ගණනක් තම ශරීරයට ගසා ගන්නා අතර එම කටු ශරීරයෙන් ගැලවීමෙන් පසුව එම ස්ථානවල ඇති වන තුවාල සුවවීමට ගල්වනු ලබන්නේ විභූති පමණි. එම තුවාල දින කිහිපයකින් සුව වී ඇති ආකාරය දැක ඇත්තෙමි. කහ හා රතු වර්ණය සකස් කර ගන්නා හඳුන් හා කුංකුම රේණු යනාදිය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අනුව ප්‍රබල ඖෂධීය ගුණයෙන් යුතුය. දෙහි සහ කහ යනු ප්‍රබල විෂබීජ නාශකයන්ය. එවන් ඖෂධ තිලක වශයෙන් ගැල්වීම නිසා නළල් තලය සිසිල් වෙයි. හින්දුන් විශ්වාස කරන්නේ දවස පුරා මෙම තිලක තබා ගැනීමෙන් හිසරදය වැනි කරදරවලින් තොරව යහපත් මනසකින් දවසේ වැඩ කටයුතු කළ හැකි බවයි. 


තිලකය සඳහා යොදා ගන්නා ද්‍රව්‍යවල ඖෂධ ගුණයට අමතරව එ්වායේ වර්ණවලට හා ද්‍රව්‍යවලටත් හින්දු ආගමානුකූලව විශේෂිත තේරුම් ලබාදී තිබේ. විභූති සුදුපාටය. අළු වර්ගයකි. ශරීරයේ උපත අළු හා දූවිලිවලින් බව හින්දු විශ්වාසයකි. එබැවින් අළු සියල්ලේ අනිත්‍ය බව හා විනාශය සංකේතවත් කිරීමට යොදා ගැනේ. සුදු පාටින් පවිත්‍ර බව සංකේතවත් කෙරේ. කහ පාටට හැරෙන හඳුන්වලින් ජීවය නිරුද්ධවීමක් සංකේතවත් කෙරේ. කුංකුම මල් රේණු හා කහ දෙහි මිශ්‍රණයෙන් සෑදෙන රතුපාටින් සෞභාග්‍ය හා ජීවය අරුත්ගන්වයි. 


හින්දුන් පොට්ටු හෙවත් තිලක තැබීම ආරම්භ කරන්නේ දරුවෙකු උපන්දා සිටය . දරුවෙකු නාවා පිරිසිදු කර සුවඳ දුම් අල්ලා බිලිඳාගේ නළලේ කළු පාටින් ලොකු පොට්ටුවක් තබති. එය නළල් තිලකය හෙවත් නෙට්ට්‍ර පොට්ටු තැබීම නමින් ආරම්භ වෙයි. තවද කම්මුලේ ද පොට්ටුවක් තබති. අමනුෂ්‍ය දෝෂ, ඇස්වහ කටවහ ඉවත්වීමට මෙයාකාරයෙන් පොට්ටු තබන බව ඔවුන්ගේ විශ්වාසයයි. අදටත් අප සංස්කෘතියෙත් මෙය දැක ගත හැකිය. 


පොට්ටුව පිළිබඳ පුරාණයේ දී වැදගත්ම බැඳීම වන්නේ පොට්ටුව හා කාන්තාව අතර ඇති බැඳීමයි. හින්දු ආගමට අනුව ගැහැනු දරුවෙකු විවාහපත් වන තෙක්ම තැබිය යුත්තේ කළු පාට පොට්ටු පමණි. දේව පුජාවලදී හැර ඇයට රතුපාට පොට්ටුවක් තැබීමට අවසර ලැබෙන්නේ විවාහයෙන් පසුවය. 


හින්දු කාන්තාවක් රතු කුංකුම තිලකය තබාගෙන ඇත්නම් එයින් කියැවෙන්නේ ඇය සස්වාමික බවයි. විවාහ දිනයේ දී ස්වාමීපුරුෂයා විසින් පළමුවරට ඇයගේ නළල මැදත් නළල ඉහළ කොටසෙත් කුංකුම තිලකය තබයි. එම කාන්තාව තමන්ගේ සැමියා ජීවතුන් අතර සිටනතාක් කල් එම රතුපාට කුංකුම තිලකය තබා ගන්නීය. විශේෂයෙන් උදෑසන අවදිව පිරිසිදු ​වෙන හින්දු කාන්තාවගේ පළමු කාර්යය වන්නේ මෙම කුංකුම තිලකය තබා ගැනීමයි. එමෙන්ම සාමාජයට යන අවස්ථාවේදී අනිවාර්යයෙන්ම හින්දු විවාහක කාන්තාවෝ කුංකුම තිලකය හෝ රතු පොට්ටුවක් තබා ගැනීමට අමතක නොකරති. එවැනි කාන්තාවන්ට හින්දු සමාජය අතීතයේ සිටම ගෞරව කිරීමට පුරුදුව සිටිති. හින්දුන්ගේ ඇතැම් මංගලමය උත්සවවලදී සහභාගි විය හැක්කේ කුංකුම තිලකය පැළඳිය හැකි කාන්තාවන්ට පමණක්ය. ඒ ඇය සස්වාමික වන බැවින් යැයි ඔවුහු කියති. 

 

 

එහෙත් ඇයට තම ස්වාමිපුරුෂයාගේ මරණයත් සමඟ කුංකුම තිලකය ද අහිමිව යයි. හින්දු චාරිත්‍රවලට අනුව ස්වාමියාගේ දේහය නිවසේ තැන්පත් කර තිබිය දී බිරිඳ වෙනුවෙන් ද විශේෂ චාරිත්‍රයක් සිදු වේ. ඒ කුංකුම තිලකය මැකීමේ චාරිත්‍රයයි. එහිදී පළමුව අදාළ කාන්තාව ස්නානය කර මංගල දිනයේ දී මෙන්ම සැරසිය යුතුය. පසුව ඇය කණ්ණාඩියකින් ඒ ලස්සන බැලිය යුතුය. ඒ ඇය කුංකුම තිලකය ඇතිව තම මුහුණ දකින අවසන් අවස්ථාව වන නිසාය. වැඩිහිටි කාන්තාවන් හා තවත් කාන්තාවන් එක්ව ඔප්පාරි හෙවත් දුක් අඳෝනා ගීත කියමින් එම කාන්තාවගේ මංගල ඇඳුම් ආයිත්තම් ඉවත් කර කුංකුම තිලකය ද මකා දමා නහවයි. පසුව ඇයට සුදු සාරියක් අන්දවයි. විභූතිවලින් සුදු පොට්ටුවක් තබයි. එය ඇයට සිය ජීවිතය අවසන් වන තෙක් ඇඳීමට ලැබෙන ඇඳුම වන අතර වැන්දඹු කාන්තාවන් ඇඳිය යුත්තේ එයාකාරයේ ඇඳුම් බව හින්දුන්ගේ විශ්වාසයයි. තවද හින්දු කාන්තාවන් තමන් සැමියාට පෙර මිය යා යුතු යැයි ප්‍රාර්ථනා කරන්නේ තමන් ජීවත්ව සිටිය දී කුංකුම තිලකය අහිමිව නොයා යුතු බවට සිතන නිසාය. කුංකුම තිලකය කාන්තාවන්ට අහිමි වන මෙම අවස්ථාව කාන්තාවෝ තම ජීවිතයේ වේදනාත්මකම අවස්ථාව ලෙස සලකති. 


හින්දු බැතිමතෙකුට තිලකය අවසාන වශයෙන් ලැබෙන්නේ දෙණ ලෙස සිටින විටය. හින්දු අවමංගල්‍ය චාරිත්‍ර-වාරිත්‍ර අනුව යමෙකු මිය ගිය වහාම එම දෙණ නාවා පිරිසිදු කර විභූති නළලේ ගල්වයි. පසුව දෙණ භූමදානය හෝ ආදාහනය කිරීමට පෙර චාරිත්‍රයක් ලෙස දෙණට විභූති හා දෙණ ඇස්වල හඳුන් ගැල්වීම සිදු කරයි. ප්‍රාණය නිරුද්ධ බව කහපාටින් අර්ථවත් කරන බැවින් හඳුන් ගල්වන බව කියයි. 


හින්දු ආගමානුකූලව සංස්කෘතිය අනුව පුද්ගලයා තිලකය හා බැඳී සිටින්නේ එයාකාරයෙනි. මේ හැර සියක් ගණනක් වූ හින්දු චාරිත්‍ර-වාරිත්‍රවලදී හා උත්සවවලදී තිලකය භාවිත කරති. විශේෂයෙන් පහන්වලට තිලක තැබීමක් සිදු කරයි. එම පහන්වලට තිලක තබන ආකාරය අනුව කාමාචිඅම්මන් පහන වෙදලක්ෂ්මී අම්මාන් පහන යැයි තිලක තැබීමේ වෙනස්කම් අනුව මෙවැනි පහන් ගණනාවක් හින්දු ආගමේ නම් කර ඇත. 
හින්දු සංස්කෘතිය අනුව තිලක තැබීම සිදු වන්නේ පුද්ගලයෙකුගේ නළලේ පමණක්ම නොවන බව ඔබ දැක තිබෙනු ඇත. ඇහිබැම වටා, පිරිමි නිරුද්ධ උඩුකයේ ද තිලක ඇඳ හෝ ගල්වනු ලැබේ. ඒ එක් එක් පූජනීය උත්සවවල සිරිත් විරිත් අනුවය. මේ හැර හින්දුන් තමන් ආරම්භ කරන ඕනෑම සුබ කටයුත්තක දී අදාළ ස්ථානය හෝ භාණ්ඩය මත තිලක තැබීමක් සිදු කරයි. එම තිලක තැබීමෙන්, ඇඳීමෙන් එතැනට දෙවියන් වැඩම කරන බව ඔවුන්ගේ විශ්වාසයයි. හින්දුන්ට අනුව තිලකය කොතරම් වැදගත් ද යත් ඔවුන් වැඳුම් පිදුම් කරන “පොට්ටු අම්මාන්” නමින් පත්තිනි දෙවි ස්වරූපයක් ද තිබේ. 


හින්දු කාන්තාවන් කුංකුම නළලේ තබනවිට “ශ්‍රීයේ නමහා” නැත්නම් “මහා ලක්ෂ්මීයේ පොට්ට්‍රි ” කියා කුංකුම තිලක තබා ගන්නේ ඒ නිසාය. තිලක තබා ගැනීමේ සම්ප්‍රදායත් සංස්කෘතියත් අනුව කාන්තාවන් තම නළලේ විචිත්‍රවත් අන්දමින් තිලක තබා ගැනීම පිළිබඳව සැඟවුණු එකී සුන්දර රහස මෙයයි. 

 

 

සටහන - ලක්ෂ්මී ජයකොඩි