නවාතැනේ සිටි තරුණයා අබිරහස් ගින්නකින් මියගිහින්


මළ මිනිසුන් සමග නොමළ කතා 

 

  • තරුණයකු සමග සමීප ඇසුර මරණයට හේතුවද?   

 

‘සුජිත් ඉන්නවා නේද? අපි මේ සතියේ නිවාඩු’   


‘හරි හරි ඔයාලා ගෙදර ගිහින් එන්න. මම ඉන්නම්. මම ගමේ යන්නේ ලබන සතියෙනේ’   
සුජිත් අවුරුදු විසිතුනක තරුණයෙකි. අවුරුදු පහක් තිස්සේ වැඩ කළේ රජයේ දෙපාර්තමේන්තුවකට අයත් ක්ෂේත්‍ර කාර්යාලයක ය. ගමේ ගියේ මාසෙකට වතාවක් පමණි. බොහෝ සතිඅන්තවල අනෙක් සියලුදෙනා ගමේ යද්දී සුජිත් තනියම ඔවුන්ගේ නවාතැන්පොළේ සිටියේය. එය දැන් ඔහුට හුරුපුරුදු ජීවිතයකි.   
මේ සතිඅන්තයෙත් සියලුදෙනා ගමේ යද්දී සුජිත් තනියම නවාතැනේ සිටියේය. ගෙදර ගිය අය ආපසු එන්නේ ඉරිදා සවස් වරුවේය. ඉරිදා උදෑසන සුජිත්ලාගේ නවාතැන්පොළ ආසන්නයේ දිගු වේලාවක සිට දුමක් ඉහළට නගිනු ඊට තරමක් ආසන්නයෙන් වෙසෙන ගමේ අයට දක්නට ලැබිණ. ඒ සමගම පුලුටු ගඳක්ද ආපු නිසා ගමේ තරුණයෙක් මේ නවාතැන්පොළ බලා ආවේ සුජිත්වද හොඳින් දන්නා නිසා ඔහුගේ නම අඬ ගසමිනි.   


‘සුජිත්..... සුජිත්..... මොනවද බං මේ උඹ පුච්චන්නේ. සතෙක්වත් මරාගත්තද?’   


‘සුජිත්...... සුජිත්...... සුජිත්.......’ මෙහෙම කතා කරගෙන ගමේ තරුණයෙකු වූ අසංක ආවත් සුජිත්ගෙන් නම් කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැත. නවාතැනට කිට්ටුවෙද්දී සතෙකු පිලිස්සෙනවා වැනි ගඳ තව තවත් වැඩියෙන් දැනෙන්නට විය. අසංක තව තවත් ඉදිරියට ගියේය. දුම එන පැත්තට ගිය අසංක දුටු දෙයින් වික්ෂිප්ත වූවා පමණක් නොව බියටද පත්වූයේය. ඔහු ගම දෙවනත් කරමින් කෑ ගහගෙන ආපසු දිව්වේය. ඔහුගේ කෑගැසීම ඇසුණ කීප දෙනෙක් එහි වටවී තොරතුරු අහගෙන ඇවිත් දුම එන තැන පරීක්ෂා කළහ.   
කිසියම් පිරිමි අයෙකුගේ සිරුරක් එහි දැවෙමින් තිබිණ. අඩ වශයෙන් පිලිස්සී තිබූ සිරුරේ හැඩය අනුව ඒ සුජිත්ගේ සිරුර බවට කවුරුත් සැක කළහ. ඔවුහු වහාම ඒ බව පොලිසියට දැනුම් දුන්හ. සුජිත්ගේ යාළුවෝ ආපසු ඉරිදා හැන්දෑවේ නවාතැනට එනවිට එහි එකම ගිනි විජ්ජුම්බරයකි. පොලිසිය සහ මහේස්ත්‍රාත්ද ඇවිත්ය. ඇයි මේ? ඔවුන්ට හිතාගන්නට බැරි විය. සුජිත්ගේ මළ සිරුර දුටු විට ඔවුන්ට අදහාගන්න බැරි වුණේ සිකුරාදා හොඳට හිටිය, කිසිම හතුරෙකු සිටින බවට ඉඟියක්වත් නොතිබුණ වටපිටාවක් තුළ සිදුවුණ දේ තේරුම් ගත නොහැකි බැවිනි.   


පොලිසිය සිද්ධිය දුටු හා නවාතැනේ සිටින හා හිටපු හැමෝගෙන්ම ප්‍රකාශ ලබාගත්තේය. එහෙත් අධිකරණ වෛද්‍යවරයාට තිබුණේ වෙනම රාජකාරියකි. ඔහු සිරුර වගේම ඒ අවට තිබුණ හැම දෙයක්මත් හොඳින් පරික්ෂා කළේය.   


මළ සිරුර අඩ වශයෙන් පිලිස්සී තිබුණි. පිච්චුණ හම පැළීගොසිනි. ජීවත්ව සිටියදී සිදුවූ පිලිස්සීමක දී නම් මෙලෙස පුපුරා යන්නේ පිලිස්සී මියගිය පසුව තව තවත් පිලිස්සීමෙන් ඇතිවන අධික උෂ්ණත්වයට ඔරොත්තු නොදීම නිසාය. සාමාන්‍යයෙන් මියගිය අයෙක් ගින්නට වැටුණේ නම් තරමක් දුරට පිලිස්සෙන විටද මෙලෙස සම පුපුරා යා හැකිය. එසේම මොහු ජීවත්ව සිටියදී සිදුකළ කිසියම් පහරදීමක් නිසා මෙලෙස සම පුපුරා යාමටද ඉඩ ඇත. ජීවත්ව සිටියදී කළ පහරදීමක් නිසා සම පුපුරා ගියේ නම් ඒ ස්ථානවල මද වශයෙන් හෝ ලේ ගලායාමක් සිදුවිය යුතුය. පිළිස්සී තිබීම නිසා හම එවැනි ලේ ගලායාමක් සිදුව තිබුණි දැයි නිරීක්ෂණය කළ නොහැකි විය. එසේම මේ ලක්ෂණ මත පමණක් මරණයට හේතුව පැවසිය නොහැකිය. ඒ නිසා පශ්චාත් මරණ පරික්ෂණයක් සිදුකළ යුතුව තිබේ.   


සාමාන්‍යයෙන් ජීවත්ව සිටිය දී ගින්නට හසුව මියගිය එහෙත් අඩ වශයෙන් පිලිස්සෙද්දී ගින්න නිවාදමා තිබූ අවස්ථාවකදී මියගිය පුද්ගලයාගේ සම මතුපිට අධික රතු පැහැයක් දැකිය හැකිය. ඒ ගින්නට හසුව සම මතුපිටින් අධික ලෙස රත්වෙද්දී අධික ලෙස සම මතුපිටට රුධිරය ගලාඒම නිසාය. මියගියාට පසුව ගින්නට දැමුවහොත් එය පිලිස්සී අළුවී යා හැකිය. අඩ වශයෙන් පිලිස්සුණේ නම් හම පැළීගොස් තිබෙනු දැකිය හැකිය. ඇතැම් විට සම්පූර්ණයෙන්ම පිලිස්සුනේ නැතිව අතරමගදී ගින්න නිවා දැමුණේ නම් මාංශ පේශි පිම්බී දරදඬු වී, අයෝමය පුරුෂයෙකුගේ මෙන් මාංශ පේශි පිහිටන්නට ඉඩ ඇත. ඇතැම් විට සිරුර දරදඬු වනු ඇත. 

 
සිරුරේ මතුපිට පෙනුමෙන් එහි සිටි සියලුදෙනා මේ සුජිත්ගේ සිරුර බවට හඳුනා ගත් පසු එය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලයට යොමු කරනු ලැබිණ. ඒ මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදිය.   


රෝහල් මෘත ශරිරාගාරයේදී සිරුර කපා පරික්ෂා කිරීම ද සිදුකෙරිණ. එහෙත් ඊට පෙර නැවත වතාවක් මුළු සිරුරම මතුපිටින් පරික්ෂා කෙරිණ. එහිදී හිසෙහි පැල්මක් දකින්නට ලැබිණ. එයද ගින්නට හසුවී ඇති වූ තුවාලයක්ද නැත්නම් පහරදීමකින් සිදුවුවක්ද යන්න නිගමනය කිරීමට හිස කපා පරීක්ෂා කළ යුතු විය.   


හිස කපා පරික්ෂා කිරීමේදී හිස් කබලේ පැල්ම තිබූ ස්ථානයේ ලේ ගැලීමක් දැකිය හැකි විය. එය තිබුණේ ලේ කැටියක් ලෙසය. මොළේට පිටතින් වූ ඔළු කට්ට ආසන්නයෙන් වූ සිව්රා ආවරණයත් මොළේට පිටතින් සිව්රා ආවරණයට ඇතුළතින් පිහිටි ඇරැක්නොයිඩ් ආවරණයත් අතර මෙම ලේ ගැලීම දක්නට ලැබුණි. මෙවැන්නක් සිදුවිය හැක්කේ ජීවත්ව සිටියදී මොට ආයුධයකින් සිදුකළ පහරදීමකින් හෝ ඇද වැටීමෙන් හිස කිසියම් පෘෂ්ඨයක ගැටීමෙනි.   


මියගිය පසුව හිස ගින්නට හසුවීමෙන් වූ පිපිරිමකදී ලේ ගැලීමක් සිදුවූයේ නම් එය දැකිය හැක්කේ ලේ කැටියක් ලෙස නොව මී වදයක ස්වරූපයෙන් බුබුළු බුබුළු ආකාරයටය.   
ඉන්පසු අධිකරණ වෛද්‍යවරයාගේ අවධානය යොමුවුණේ හිසට පහළින් කඳ කොටස කපා පරීක්ෂා කිරීමටය. මුලින්ම ගෙලෙහි සිට පහළට සිරුර කපා පරීක්ෂා කරන්නට විය. එහිදී ශ්වාසනාළවල කාටිලේජ බිඳී ගොස් තිබූ අතර එහි සුළු ලේ ගැල්මක්ද දක්නට ලැබිණ. මෙය පහරදීමකින් හෝ ගෙල සිරකිරීමෙන් සිදුවිය හැකිය. ඒ අනුව සුජිත්ගේ මරණය ඝාතනයක් බව නිගමනය කළ හැකි විය. එහෙත් සුජිත් මියගියේ ගෙල මිරිකීමෙන්මද යන්න තවමත් නිශ්චිතව කිව නොහැකිය. එක් සාධකයක් සම්පූර්ණ වූ පමණින් අධිකරණ වෛද්‍යවරයෙකුට පූර්ණ නිගමනයකට යා නොහැකිය. එය පූර්ණ සත්‍යය අනාවරණයට බාධාවක් වනු ඇත.   


තවදුරටත් සිරුර කපා පරීක්ෂා කිරීමේදී ස්වාසනාළවලත්, දකුණු හා වම් පෙණහලුවලත් ඒවාට සම්බන්ධ අනුශ්වාසනාළිකාවලත් දැළි දක්නට ලැබිණ. එලෙස ශ්වාසනාළිකාවලට දැළි ඇතුළු විය හැක්කේ හුස්මගැනීමක් සිදුවුවහොත් පමණි. එසේ නම් සුජිත් ගින්නට හසුවන විටත් මියගොස් තිබී නැත. ඔහු ගින්නෙන් පිලිස්සෙන විට බේරෙන්නට දඟලන්නටද ඇත. ඔහු වේගයෙන් හුස්ම ගනිමින් ජීවත්වීමට වෙර දැරීම නිසා අධික ලෙස ශ්වාසනාළ ඔස්සේ පෙණහලු දක්වාම දැළි ගමන් කරන්නට ඇත. ඒ නිසා සුජිත් ගින්නට දමන විට ඔහු මියගොස් නොතිබූ බව තවදුරටත් සනාථ විය.   


එහෙත් එයින්ද නැවතීමක් ලබන්නට අධිකරණ වෛද්‍යවරයාට නොහැකිය. ඔහු තවදුරටත් සිදුකළ යුතු රසායනික පරීක්ෂාවන් කීපයක්ද විය.   
ඒ සඳහා ඔහුගේ ලේ පරීක්ෂා කරන්නට සිදුවේ. එයින් අදහස් කරන්නේ විෂ ශරීරගත වීමක් සිදුව තිබේද? ඇල්කොහොල් භාවිත කර තිබේද? ඇල්කොහොල් අධික මාත්‍රාවක් ශරීර ගත වීමෙන් මරණය ඉක්මන් කර තිබේද යන ප්‍රශ්නවලට විසඳුම් ලබාගැනීමය. මෙම සිරුර ගින්නකට හසුව තිබී සොයාගත් නිසා ඔහුගේ ලේවල අඩංගු කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණයද නිශ්චය කර ගත යුතුව තිබේ. එයද ඔහු මියගියේ ගෙල සිරවීමෙන්ද නැත්නම් ඉන්පසුව ගින්නට දැමීම නිසාද යන්න නිගමනයට වැදගත් වනු ඇත.   
ලේ පරීක්ෂාවේදී ලේවල කාබන්මොනොක්සයිඩ් 17%ක් ඇති බව හෙළි විය. සාමාන්‍යයෙන් දුම ආශ්‍රිතව නිතර වැඩකරන විශේෂයෙන්ම මුළුතැන්ගෙවල්වල වැඩ කරන අයගේ සිරුරේ කාබන් මොනොක්සයිඩ් 5%ක් පමණ තිබිය හැකිය. එහෙත් 17% ලේ වල කාබන් මොනොක්සයිඩ් තිබිය හැක්කේ අධික ලෙස කුණු පුලුස්සන තැනක හෝ ගින්නකට හසුවූ අයෙකුගේ සිරුරේය.   


එහෙත් ලේ වල කාබන් මොනොක්සයිඩ් 17%ක් තිබීම මරණයට හේතුවක් නොවේ. රුධිරයේ හිමෝග්ලොබින් සමග ඔක්සිජන් සම්බන්ධ වී සිරුර පුරා ගමන් කිරීමෙන් මාංශ පේශි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ඔක්සිජන් බෙදාහරිනු ලැබේ. කිසියම් අයෙකු නිරෝගිව කටයුතු කරන්නේ නම් මේ ක්‍රියාවලිය යථා පරිදි සිදුවන බවට ඉඟියක් ලැබේ. එහෙත් හිමෝග්ලොබින් සමග වඩාත් වැඩියෙන් සම්බන්ධවීමට වැඩි හැකියාවක් තිබෙන්නේ කාබන්මොනොක්සයිඩ්වලටය. කාබන්මොනොක්සයිඩ් අධිකව රුධිරයට එකතුවීමෙන් ඔක්සිජන් එකතුවීමට බාධා පැමිණේ. මේ හේතුව නිසා සිරුරේ සෛලවලට, මාංශ පේශිවලට අවශ්‍ය ඔක්සිජන් නොලැබේ. මෙවැනි තත්ත්වයක් හේතු කරගනිමින් පුද්ගලයෙක් මියයාමට නම් රුධිරයේ 40% ක් වත් කාබන්මොනොක්සයිඩ් තිබිය යුතුය.   


සුජිත්ගේ සිරුරේ එතරම් කාබන්මොනොක්සයිඩ් තිබුණේ නැත. ඒ නිසා ඔහුගේ මරණයට හේතුව ගින්නට හසුව කාබන්මොනොක්සයිඩ් අධික ලෙස අාශ්වාසවීම නොවේ. එයට ඔහුගේ හිසට සිදුකළ පහරදීම, ගෙල මිරිකීම මෙන්ම ගින්නට දමා පිලිස්සීමද හේතු විය.   


මේ සියල්ල තුළින් පැහැදිලි වූයේ මෙය ඝාතනයක් බවය. ඒ අනුව සුජිත්ගේ ජංගම දුරකථනයද පරික්ෂා කර ඔහු සමග සමීපව ඇසුරු කළ තරුණයන් දෙදෙනෙකු ගැන තොරතුරු අනාවරණය කරගන්නට පොලිසියට හැකි විය.   


මේ තරුණයන් දෙදෙනාම සුජිත් සමග සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය විය. එක් තරුණයෙකු කලක් තිස්සේ සුජිත් සමග සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් තිබූ අතර අනෙක් තරුණයා සුජිත් මරණයට පත්වන්නට ආසන්න කාලයකදී ඔහු සමග ඇසුරට පත්ව තිබිණ. දෙවන තරුණයා සමග ඇසුරක් අාරම්භ කිරීම නිසා උරණ වූ පෙර ඇසුර පවත්වාගෙන ගිය තරුණයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය කළ පරීක්ෂණවලදී අනාවරණය විය.   


හලාවත මහරෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය   රමේෂ් අලගියවන්න මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙනි   

 


ලිව්වේ මුදිතා දයානන්ද