නවසීලන්තයෙන් කොරෝනා මර්දනය කළ ‘යකඩ කාන්තාව’


ලෝකෙන් ටිකක්

 

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පසුගිය දා නවසීලන්තයට සහතිකයක් පිරිනැමුණි. ඒ, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය සාර්ථකව මර්දනය කිරීමට සමත් වූ රටක් ලෙසය. නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් ද පැසැසුමට ලක් කෙරුණි. ‘කොරෝනා පාලනය කර ගන්නට අපට හැකිවූයේ විනයගරුක, නීතිගරුක පුරවැසියන් සිටින නිසයි. ජනතාව සෞඛ්‍ය අංශ කී දේ විශ්වාස කළා. සෞඛ්‍ය අංශ උපදෙස් පිළිපැද්දා. නිවසින් පිට යන්න එපා කීවාම නිවසේ රැඳී සිටියා. කොරෝනා පාලනය කර ගන්න එය පහසුවක් වූ බව රහසක් නොවෙයි’ යැයි අගමැතිනී ජැසෙන්ඩා එම අවස්ථාවේදී පැහැදිලි කළාය. ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කර ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් ගෞරවය හිමිවිය යුත්තේ තමන්ට නොව, නවසීලන්ත සෞඛ්‍ය බලධාරීන්ට යැයි ඇය පැවැසුවේ නිහතමානීවය.   


ජැසෙන්ඩා එර්ඩර්න් උපන්නේ 1980 ජූලි 26 වැනිදා ය. ඒ අනුව, (26) ඇගේ 40 වැනි උපන් දිනය සමරයි. ජැසෙන්ඩා, නවසීලන්ත කම්කරු පක්ෂයේ නායකත්වය හොබවන්නේ 2017 වසරේ සිටය. නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ ද එම වසරේය. කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවුණු අතර, සාකච්ඡා පවත්වා ඇති කරගත් එකඟතාවක් මත කම්කරු පක්ෂයේ නායකත්වයෙන් හවුල් රජයක් පිහිටුවිණි. අගමැති ධුරය ඒ අනුව, ජැසෙන්ඩාට හිමිවිය. නවසීලන්ත අගමැති ධුරයට කාන්තාවක් පත් වුණු පළමු අවස්ථාව එයයි.   


ජැසෙන්ඩා අවිවාහකය. ඇය ජීවත් වන්නේ ක්ලාක් ගේෆර්ඩ් සමඟය. දෙදෙනාට දියණියක සිටින අතර ඇයට අවුරුදු දෙකකි. අගමැති ධුරය හොබවමින් සිටිද්දී, ජැසෙන්ඩා ප්‍රසූත නිවාඩු ගත්තාය. එසේ කළත් ඇය රාජකාරි අමතක නොකළාය. දරු ප්‍රසූතියෙන් පසුවත් ඇය නිවසට වී රාජකාරි කළාය. ඇය යළි අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණෙද්දී, නිවසට වී දියණිය බලා ගත්තේ ක්ලාක් ය. තවමත් එම කටයුතු කරන්නේ ඔහුයි. ‘මා කරන්නේ එක රැකියාවක් පමණයි. ඒ, අපේ දියණිය බලා ගැනීම. ඇය (ජැසෙන්ඩා) රට බලා ගන්නවා’ යැයි වරක් ක්ලාක් පැවැසුවේය.   

 


සිඟිති දියණිය ද රැගෙන අගමැතිනිය ඇමෙරිකාවේ නිව්​ෙ‌යා්ර්ක් නුවරට ගොස් එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ද ඇමැතුවාය. ජැසෙන්ඩා නවසීලන්ත අගමැතිනිය ලෙස එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමැතූ පළමු අවස්ථාව එය විය. ඒත් සමුළුව අමතමින් ඇය පැවැසුවේ කුමක්දැයි කාටවත් මතක නැත. ඇය කළ කතාවට වඩා මාධ්‍යවේදීන්ගේ අවධානය යොමු වූයේ, ඇය සමුළුව අමතද්දී, දියණිය තුරුලු කර ගනිමින් අසුන්ගෙන සිටි ක්ලාක් කෙරෙහිය.   
ශක්තිමත් රාජ්‍ය නායිකාවක මෙන්ම අතිශය ජනප්‍රිය රාජ්‍ය නායිකාවක ලෙස ද ජැසෙන්ඩා සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචලිතය. ඒ ඇය ප්‍රසිද්ධියට පත් කරන ‘මිනිත්තු දෙකේ’ වීඩියෝ හේතුවෙනි. බලයට පත් වී වසර දෙකක් ඇතුළත කළ කී දෑ සම්බන්ධයෙන් ඇය පසුගිය 2019 වසරේ වීඩියෝවක් එළිදැක්වූවාය. මේ වීඩියෝව හරියටම මිනිත්තු දෙකකි. ඊට වැඩිත් නැත. අඩුත් නැත. මිනිත්තු දෙකකි. තම රජය ගතවුණු වසර දෙකේ කළ දේවල් ඇය එම මිනිත්තු දෙක ඇතුළත කියාගෙන කියාගෙන ගියේ හුස්ම අල්ලන්නේවත් නැතිවය. ඇය වීඩියෝව ආරම්භ කරන්නේ ‘මේක පහසු වැඩක් නොවෙයි. මිනිත්තු දෙකක් ඇතුළත මා අප රජයේ ජයග්‍රහණ කියනවා. ඔන්න අහගන්න’ යැයි කියමිනි.   


පසුගිය වසරේ නවසීලත්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලියකට සුදු අන්තවාදියකුගේ ප්‍රහාරයක් එල්ල විය. නවසීලන්ත මුස්ලිම් වැසියෝ 51 ක් මියගියහ. එම සිදුවීම සම්බන්ධයෙන් අගමැතිනිය ගත් ක්ෂණික ක්‍රියාමාර්ග නවසීලන්ත මුස්ලිම් ප්‍රජාවගේ පැසැසුමට හේතුවක් විය. නවසීලන්තයේ ගිනි අවි භාවිතය සම්බන්ධයෙන් නව නීති සකස් කෙරුණි. ඊට අමතරව, ගතවුණු වසර දෙක ඇතුළත අගමැතිනියගේ රජය මැදිහත් වී, නව රැකියා අවස්ථා 92,000 ක් උදා කළේය. රජයේ වියදමින් නිවාස ව්‍යාපෘති ඇරැඹුවේය. ප්ලාස්ටික් තහනම් කළේය. මිලියන 140 ක් පැළ රෝපණය කළේය. කාබන් බද්දක් හඳුන්වා දුන්නේය. පාසල් දරුවන්ට නොමිලේ දිවා ආහාරය ලබා දීමට කටයුතු කළේය. මිනිත්තු දෙකේ වීඩියෝව හරහා අගමැතිනිය මේ සියල්ල මහත් කර දෙයි.   


අගමැති ජැසෙන්ඩා නවසීලන්ත වැසියන් බොහෝ දෙනකුගේ පැසැසුමට ලක් වී සිටින්නේ ක්‍රියාකාරී නායිකාවක ලෙසිණි. ‘කතාව නොවෙයි. ඇය වැඩට දක්ෂයි’ ජැසෙන්ඩාට ආදරේ නවසීලන්ත වැසියන්ගේ අදහස මෙයයි. ඇය සහ ඇගේ රජය ලැබූ ජයග්‍රහණ අතරට ‘කොරෝනා පාලනය’ ද ඇතුළත් වෙයි. මෙය ඇයට වාසියකි. හේතුව එළැඹෙන සැප්තැම්බරයේ නවසීලන්ත මහ මැතිවරණය පැවැත්වෙයි. 

 
මැතිවරණය පැවැත්වෙන්නේ කොරෝනා වසංගතය හමුවේ, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුවය. අඩුපාඩුවක් කීමට නොහැකි බැවින්, ජැසෙන්ඩා සහ ඇගේ කම්කරු පක්ෂයට යළි ජය හිමිවනු ඇත. කෙසේ නමුත් එය නිකම්ම නිකම් ජයක් නොවනු ඇති බවත්, මෙවර ඇයට සහ ඇගේ පක්ෂයට තනිවම රජයක් පිහිටුවීමට හැකිවනු ඇති බවත් නවසීලන්ත දේශපාලන විශ්ලේෂකයන් අනාවැකි පළ කර තිබේ.   

 


ලුසිත ජයමාන්න   
නවසීලන්තයේ නිවුස් 18   
පුවත් නාළිකාව ඇසුරිනි