නව වසරේ මුල්ම නිවාස නැකත


කෝණ මාසය අවසන් ​ෙවනවාත් සමගම නව වසරේ අතිවිශිෂ්ට නිවාස නැකතක් 2019 ජනවාරි 18 වැනි සිකුරාදා උදා වේ. මෙදින පවතින්නේ ​රෙහෙණ නැකතයි. රෙහෙණ නැකත නිවාස ආරම්භයට නිර්දේශිත නැකතකි. අටවිසි යෝග චක්‍රය අනුවද මෙදින මිත්‍ර යෝගය පවතී. පුර පක්ෂයේ 12 වැනි තිථිය ද ගෘහාරම්භක කටයුතු සඳහා සුදුසු වන අතර 12 තිථිය සිකුරාදා දිනක යෙදීමෙන් අමෘත යෝගය ද නිර්මාණය වී ඇත. මෙදින සඳු උච්චබලයෙන් සිටීමද ඉතා යහපත්ය. තත්කාල ග්‍රහ බලය ද ඉතා විශිෂ්ට ලෙස පිහිටා ඇත.   


මෙදින නූල් ඇඳීම සඳහා පෙරවරු 8.54 ට දකුණු දිසාව බලා සුබය. නූල් ඇදීමට සිදු වන මංගල කුංඤය සඳහා කොහොඹ, කෑල, සල්, කිහිරි, කරඳ, බෙලි වැනි ගසක අමු ලීයක් යොදා ගැනීම සුදුසුය. මෙදින වාස්තු නාගයාගේ පිහිටීම අනුව මංගල කුංඤය ඊසාන දිසාවේ සිටුවිය යුතුය. අත්තිවාරම් කැපීමට පෙරවරු 9.06 ට දකුණු දිසාව බලා සුබය. මුල් ගල තැබීමට පෙරවරු 10.38 ට දකුණු දිශාව බලා සුබය. මුල්ගලද ඊසාන දිශාවේ තැබීම සුදුසු වන අතර එය නොපෑගෙන ලෙස බිත්තියකට තැබිය යුතුය. මුල්ගල සමග නවරත්න, පස්ලෝ, උඳු, මුං, තල, මෑ, වී, මුහුදු, ගංඟා ආදී ස්ථාන වලින් ලබා ගත් නොපෑගුණු ගල්, ගිතෙල්, මී තෙල්, කොහොඹ තෙල්, තළ තෙල්, අබ තෙල්, ඊතණ, සපුමල් කැකුළු, සමන් කැකුළු, නෙළුම් රේණු, කස්තුරි, ගෝරෝචන, මුහුදු කවඩි ආදිය ආරක්ෂා බන්ධන යොදා අට පස සිදුරු සහිත වූ මැටි කළයක් තුළ බහා තැන්පත් කළ යුතුය.   


අස්විද, මා, මුල, කැති, උත්‍රපල්, උත්‍රසල, මුව සිරස, සිත, දෙනට, අද, සා, සියාවස, අනුර, උත්‍රපුටුප, පුෂ නැකත් හිමියන්ට මෙම නැකත සීහේ. ප්‍රාදේශීය වේලාව සංශෝධනය කර ගත යුතුය.   

 


ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යා උපදේශක   
කපිල ඉන්ද්‍රික ගුණදාස   
මාලිය​ෙබාඩ, දැරණියගල