නයෝමිට පීඩා කළ ආදර පෙරේතයා


විවිධ යක්ෂයින්, ප්‍රේතයින්, භූතයින් සහ පිසාචයන්ගේ හැසිරීම්, ඔවුන්ගේ ක්‍රියාකාරකම් හා ඔවුන්ගේ බලපෑම් ගැනත් ඔබ ඕනෑ තරම් අසා ඇත. ඇත්තටම මොවුන්ට යම් යම් බලපෑම් කළ හැකිද? ඒවා වෙන්නේ කෙසේ ද? භූතයන්, ප්‍රේතයන් යක්ෂයන් සමලිංගික වෙස් ගන්නේ ද? භූතයන්ට, ප්‍රේතයන්ට, යක්ෂයන්ට ලිංගික හිංසන කළ හැකි ද?   

නයෝමි ඉතා රූමත් තරුණියකි. ඇගේ වයස විසි එකකි. අ.පො.ස. උසස් පෙළ නිම කළ ඇය පාඨමාලා කීපයක්ම හදාරයි. ගම්පහ ප්‍රදේශයේ ජීවත් වන නයෝමිගේ පවුල එම ප්‍රදේශයේ ජීවත් වන පවුල් අතරින් යමක් කමක් ඇති එනම්, වත්පොහොසත්කම් ඇති පවුලකි. නයෝමිගේ දෙමාපියන්ට සිටිනුයේ නයෝමි පමණක් නිසා දෙමාපියන් නයෝමිට නිදහස දුන්නේ ඇයගේ සිත කිසිවිටෙකත් රිදවීමට අකමැති නිසාය. එහෙත් ඇගේ ජීවිතය වෙළාගත් අඳුරක් ඇත. එය නයෝමිගේ දෙමාපියන් දැන සිටියේ නැත.   
නයෝමිට විවාහ යෝජනා පැමිණිය ද නයෝමිගේ දෙමාපියන් ඇයව ඉක්මනින් විවාහ කරදීමට කැමැත්තක් නොදැක්වූයේ ඇය තවමත් විසි එක්වන වියේ පසුවන නිසාය. තව වසර දෙකක් හෝ තුනක් නයෝමි දෙමාපියන් සමඟ ජීවත් වන්නේ නම් සතුටක් බව විවාහ යෝජනා ගෙනෙන අයවලු‍න්හට නයෝමිගේ දෙමාපියන් පවසන්නේ එහෙයිනි.   


නයෝමිට ද මෙම කාලය තුළ විවාහ වීමට උවමනාවක් නොතිබීම ද දෙමාපියන්ට සතුටකි. එසේම ඇය කිසි විටෙකත් ආදර සම්බන්ධයක් නොපැවැත්වීම ද දෙමාපියන්ට සහනයක් වූයේ වෙනත් පවුල්වල මෙන් මොවුන්ට නයෝමි සම්බන්ධයෙන් හිතට බරක් වීමට සිදුනොවීමය. ඇය එතරම්ම කීකරුය. එහෙත් නයෝමිගේ ජීවිතය වෙළා ඇති අඳුර නයෝමිගේ දෙමාපියෝ නොදත්හ.   


ඇගේ හොඳම යෙහෙළිය වසුන්දරා කෙළිලොල් යුවතියකි. ඇය ද අ.පො.ස උසස් පෙළ නිම කර නිවසට වී සිටින යුවතියක වුවද නයෝමිට වඩා වසරකින් වැඩිමල්ය. වසුන්දරාටත් නයෝමිටත් ඔවුනොවුන්ට නොදැක සිටීමට නොහැකිය. එහෙයින් වසුන්දරා සෑම දිනකම නයෝමිගේ නිවසට පැමිණෙයි. පාසල් අවධියේ සිටම වසුන්දරා හා නයෝමි එකටම සිටියෝය. එහෙයින් දෙමාපියන් ද ඔවුනොවුන්ව හොඳින් දැන සිටියෝය. නයෝමිගේ නිවසට සෑම දිනකම පැමිණෙන වසුන්දරා පැය කීපයක් නයෝමි සමඟ ගතකර යළි නිවෙසට යයි. බොහෝ වේලාවට වසුන්දරා දවල් ආහාරය ගන්නේ ද නයෝමිගේ නිවසිනි.   


නයෝමිගේ දෙමාපියන් මෙන්ම වසුන්දරාගේ දෙමාපියන් ද මොවුන්ගේ බැඳීම නිසා සතුටින් සිටියේ ඔවුන් වෙනත් යුවතියන් මෙන් නිවැසියන්ට හොරෙන් ප්‍රේම සම්බන්ධතා පවත්වනු ඇසීමට සිදු නොවීම නිසාය. දිනෙන් දින නයෝමිගෙත් වසුන්දරාගෙත් බැඳීම වැඩිවෙමින් පැවතිණි. දෙන්නට දෙන්නා නොදැක බැරි තරම්ය.   


දිනක් වසුන්දරා අනතුරකට මුහුණ පෑවේ නයෝමි මුණ ගැසීමට එන අතරවාරයේය. වසුන්දරා හදිසි අනතුරකට පත්වීම නිසා නයෝමිට වසුන්දරාව දින ගණනාවක්ම නොදැක සිටීමට සිදුවිය. වසුන්දරාගේ අසනීප තත්ත්වය බැලීමට දිනයක් දෙකක් පමණක් නයෝමිට යාමට සිදුවූයේ නයෝමිට තනිවම වසුන්දරා බැලීමට යාමට නොහැකි නිසාය. නයෝමි හිටිහැටියේ අසනීප විය. ඇය බලාගත්වනම බලා සිටියාය. නොකානොබී සිටියාය. දෙමාපියන් සමඟවත් කිසිඳු කතාබහක් නැත. වසුන්දරාට ඇය බැලීමට ආ නොහැක. “මොකද අනේ දුවට වෙලා තියෙන්නෙ. අසනීපයක් නම් කියන්න ඕනෙ. ඔහොම මුළුගැන්විලා හරියන්නෙ නැහැනෙ” නයෝමිගේ මව තම සැමියා සමඟ පැවසුවේ රාත්‍රී ආහාරය ගන්නා අතරතුරදීය. “ඒක තමයි අපිටත් වැඩක් කරගන්න බැහැනෙ එළිපහළියටවත් ගිහින් මේ දරුවව තනියම ගෙදර දාලා. ඩොක්ට කෙනෙක්ටවත් පෙන්නන්න බලමු”   


නයෝමිගේ දෙමාපියන් බල හත්කාරයෙන් මෙන් නයෝමිව වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගියෝය. වෛද්‍යවරයා නයෝමිව පරීක්‍ෂා කර බලා ඇයට කිසිදු කායික අසනීපයක් නොමැති බව පවසා ඇයව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කරන මෙන් දැනුවත් කළේය. එහෙත් නයෝමිගේ දෙමාපියන් ඔවුන් දන්නා අඳුනන අය මාර්ගයෙන් නයෝමිව දේවාලයක් කරන කපු මහතකු වෙත රැගෙන ගියේ කරකප්පටයක් හෝ දමා තනිකම් දෝෂයක් නම් එය නැති කර නයෝමිව යථා තත්ත්වයට පත්කර ගැනීමටය.   


කපු මහතා නයෝමිගේ දෙමාපියන්ගෙන් විස්තර ඇසුවේය.   


“අනේ කපු මහත්තයෝ අපේ දුව දැන් දවස් ගානක ඉඳලා කෑමක් බීමක් ගන්නෙ නෑ. ලස්සනට හිටිය කෙළී. දැන් වැහැරිලා. බලාගත්ත අතේ බලා ඉන්නවා. අනේ මොකක්ද වෙලා තියෙන්නෙ කියලා බැලු‍ව නම්” නයෝමිගේ මව පැවසුවාය.   


“බැලූ බැල්මට දැරිවිට කළු යකා බැල්ම දාලා” කපු මහතා ආරූඪ වීමට පෙර නයෝමිට සිදුවී ඇති දෙය විස්තර කළේය. බුලත් අතක තබා පඬුරු පූජා කළ පසු කපු මහතා ආරූඪ විය. කපු මහතා බැලූ බැල්මටම සිදුවී ඇති දෙය විස්තර කළා සේම ආරූඪයෙන් ද කළු යකාගේ බැල්ම නයෝමිට වැටී ඇති බව කියවුණි. වහාම එය අයින් කළ යුතු බවත් නැතහොත් නයෝමි කෙදිනකවත් විවාහ ජීවිතයකට පත් නොවන බවත් ආරූඪයෙන් කියවුණි.   


නයෝමිගේ මව දෙඇස් ලොකු කරගෙන අසාගෙන සිටියාය. ආරූඪයෙන් ඉවත් වූ පසුව කපු මහතා ඇසුවේ ආරූඪයෙන් කුමක් කියවුනි ද යන්නයි. කළු යකාගේ බැල්මට අසුවී ඇති බවත් එය ඉවත් නොකළොත් විවාහයක් කරගැනීමට නොහැකි වන බවත් ආරූඪයෙන් කියවුන බව නයෝමිගේ මව කපුමහතාට පැවසීය. ඒ අනූව දින තුනකින් පසු නයෝමිට බැල්ම දමා සිටින කළු යකා එළවා දැමීමට යාගයක් කළේය. යාගයෙන් පසු නයෝමිගේ දෙමාපියන්ගේ සිත් සැනසුණි.   


එහෙත් නයෝමිගේ කිසිදු වෙනසක් නොවූ බව ඔවුන්ට පෙනුණි. “අපි රැවටුණා ඒ කපුවට” නයෝමිගේ දෙමාපියෝ එසේ සිතූහ. නයෝමිගේ පියාට නිදි යහනේදී දිනක් නයෝමිව රැගෙන ගිය කායික වෛද්‍යවරයා කියූ දෙය සිහිපත් විය. “මනෝ වෛද්‍යවරයකුට පෙන්නන්න” පියාගේ මතකයට නැගුණි. පසුදාම තම මිතුරෙකුගෙන් මානසික රෝග පිළිබඳව වෛද්‍යවරයෙකු ගැන දන්නේ දැයි නයෝමිගේ පියා විමසීය. ඒ අනූව නයෝමිව ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති, මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත නයෝමිව යොමු කිරීමට හැකි වුණි. සියලු‍ විස්තර දැනගත් වෛද්‍යවරයා නයෝමිට ප්‍රතිකාර කිරීමට භාරගත්තේය. ඒ අනූව නයෝමිට ප්‍රතිකාර කිරීම ඇරඹුණි.   


මුලින්ම නයෝමිට වෛද්‍යවරයා විසින් මනෝ ප්‍රතිකාර ලබා දී සංයමයට පත් කරන ලදී. ඉන්පසු මනෝ විශ්ලේෂණය (Psycho Analyst) යටතේ කරුණු සෙවීය.   


නයෝමි සමඟ පැයක පමණ සාකච්ඡාවකින් පසුව ප්‍රතිකාර ආරම්භ කළේය. ඒ අනූව වසුන්දරා සමඟ සම්බන්ධයකට ඇබ්බැහිව තිබූ බැවින් එම තත්ත්වයෙන් මිදීම සඳහා ප්‍රතිකාර සිදුකරන ලදී. මෙහි ඇතුළාන්තය පිළිබඳව පී.එන්. විද්‍යාකුලපති මහතා විසින් මෙලෙස අදහස් පළ කළේය.   


මෙම ගැටලුව දිහා විද්‍යාත්මකව බලන විට ඇත්තටම මෙහි කිසිඳු ගුප්ත දෙයක් නැත. වසුන්දරා යනු පෙම්වතියක ඇසුරට නැඹුරු වූ තරුණියකි. නයෝමිගේ පැහැපත් භාවයත් සුන්දරත්වයත් නිසා දෙදෙනා තදින්ම ප්‍රේමයට ඇබ්බැහි වූහ. මෙහිදී ඇත්තටම මෙය රෝගයක් නොවේ. මෙය ඇබ්බැහිවීමක් පමණකි. එය මනෝ ප්‍රතිකාරය තුළින් වෙනස් කළ හැකි තත්ත්වයක් බව පී.එන්. විද්‍යාකුලපති මහතා වැඩිදුරටත් පැවසීය.   
අද වනවිට නයෝමි සුවපත් වී වසර කීපයක් පමණ වන අතර, ඇය මේ වනවිට විවාහ වී දරුවකුද සිටින මවකි.  

 

 

හබරාදුව 
නිමල් අල්ගෙවත්ත