නයිමස් කන්න ඉගැන්වූ කමාන්ඩෝ පුහුණුව


යුදබ්මේ මතක සටහන්  

 

විශ්‍රාමික ලුතිතන් කර්නල් මහේෂ් පරාක්‍රමගේ පිම්මක්

 

  • සර්ප මස් කාපු කෙනෙක්ම තමා ඒකේ රසය දන්නේ 

 

 

සුදේශ් පරාක්‍රම මහතා යුද හමුද‌ාවේ වසර 44 ක පමණ කාලයක් සේවය කර මේ වන විට විශ්‍රාම සුවයෙන් පසුවන රණවිරුවෙකි. 


ශ්‍රී ලංකා යුදහමුද‌ාවේ කමාන්ඩෝ පුහුණු උපදේශකයෙකු ලෙස ද ඔහු විශිෂ්ට සේවයක් කර ඇත. 


මේ වන විට 76 හැවිරිදි පරාක්‍රම මහතා තවමත් ජවසම්පන්නය. ඒ වාගේම නිරෝගීය. එහි රහස නම් මෙම රණවිරුවාගේ සේවා සමයේ ලැබූ මනා පුහුණුව සහ ශාරීරික අභ්‍යාස බව කිව යුතුමය. 


නාගයෙකු හෝ පිඹුරකු වැනි සර්පයෙකුගේ මස් කනවා යැයි කීවොත් අපට ඇතිවන්නේ ජුගුස්සාජනක හැඟීමකි. 


එහෙත් රණවිරු පරාක්‍රම මහතාට සර්පයකුගේ මස් කනවා කියන එක කජු කනවා වාගේ වැඩක් යැයි කිව්වොත් ඔබ තිගැස්මට හා විමතියට පත්වෙනවා නොඅනුමානය. 
නයි හා පොළොංගුන් වැනි විෂඝෝර සතුන්ගේ මස් කෑම ද ඔහුට ලෙහෙසි පහසු කටයුත්තකි. 


එද‌ා සර්පයන් මරා මස් කෑ පරාක්‍රම තරුණයා මේ වන විට සර්පයින්ට පණ මෙන් ආදරය කරන පරිසර ප්‍රේමියෙකි. 
කිසිවකු සර්පයෙකුට පහරදී මරා දැමීමට උත්සාහ කරනවා දුටුවොත් අනතුරකට භාජනය වුවොත් ඌ බේරාගෙන කැලෑවකට මුද‌ා හරින්නේය. 
පුදුම විය යුතු නැත. කතාව ඇත්තය. 


එල්ටීටීඊ සංවිධානය ආරම්භ කළ වේලුපිල්ලේ ප්‍රභාකරන් එහි නායකත්වයට පත්වූ පසු ඔහු ඇතුළු නායකයන් ඇල්ලීමේ පළමු මෙහෙයුමටද සහභාගි වී සිටි ඔහු අත්දැකීම් බහුල දක්ෂ රණශූරයෙකි. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ගැන ඔහුට හසළ දැනුමක් ඇත්තෙකි. 


 යුදහමුද‌ාවට සාමාන්‍ය සෙබළෙකු ලෙස 1962 වසරේ එක්වූ ඔහු රණවිරු පරාක්‍රම බලලත් නිලධාරියෙක් එහෙමත් නැත්නම් සාජන් මේජර් නිලයේ සිටියදී විශ්‍රාම ගියේ වසර 40 ක කාලයක් රට ජාතිය වෙනුවෙන් අනුපමේය සේවයක් කිරීමෙන් පසුවය. 


පරාක්‍රම මහතාගේ එකම දරුවා වන මහේෂ් පරාක්‍රම මහතා ද රට ජාතිය වෙනුවෙන් සේවය කර විශ්‍රාම ලබා සිටින ලුතිනන් කර්නල්වරයෙකි. ඔහු ද සටන් බිමේදී අවස්ථා දෙකකදී තුවාල ලබා ජීවිතය බේරාගත්තෙකි. 


විශ්‍රාමික ලුතිනන් කර්නල් මහේෂ් මහතා හමුද‌ාවේ රාජකාරි කරන කාලයේ වරක් කාර් රථ පහක් උඩින් යතුරුපැදියක් පන්නා යුදහමුද‌ා ඉතිහාසයේ රන් සලකුණක් තැබීය. 
කෑගල්ල, බුලත්කොහුපිටිය, හික්ගොඩ, උඳුගොඩ ප්‍රදේශයට අපි ගියේ මෙම රණවිරුවා සොයාගෙනය. 
ඔහු ගැන අපිට තොරතුරු දුන් කෑගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වන ගිලන්ත විජේපාල මහතාට ස්තූතිවන්ත වෙමු. පරාක්‍රම මහතා ගිලන්ත මහතාගේ ළඟම ඥ‌ාතියෙකි. 
විශ්‍රාමික සාජන් මේජර් සුදේශ් පරාක්‍රම මහතා අප හා දෙඩූ තොරතුරු පෙළගස්වමු. 
‘කෑගල්ල දොරවක මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මා සාමාන්‍ය සෙබළෙකු ලෙස 1962 11.29 ද‌ා යුදහමුද‌ාවට බැඳුණා. දියතලාව හමුද‌ා කඳවුරෙන් පුහුණුවීම ලබා හමුද‌ාවට බැඳෙද්දී මගේ වයස අවුරුදු 18 ක් විතර ඇති. 


සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය කාලයේ හමුද‌ා කුමන්ත්‍රණයක් සිදුවුණා. මේ සිද්ධියෙන් පස්සේ බෞද්ධාගම අදහන පිරිසක් හමුද‌ාවට බඳවාගන්න මැතිනියට ඕනෑ වුණා. ඒ කණ්ඩායමට තමා මමත් ඇතුළු වුණේ. අපි 450 දෙනෙක් කණ්ඩායමට ඇතුළත් වුණා. අපේ පුහුණු උපදේශක කර්නල් හලංගොඩ සර් ගැමුණු හේවා බළ ඇණිය ආරම්භ කළේ අපෙන් තමා.’ 


‘මම කෝප්‍රල් නිලයේ ඉන්න කාලයේ මට සිරිමාවෝ මැතිනියගේ ආරක්ෂාවට යන්න කිව්වා. ඒ 1970 වසරේ. මැතිනියගේ ආරක්ෂක අංශයේ මා සෑහෙන කාලයක් සේවය කළා. යුද හමුදාවේ ශාරීරික අභ්‍යාස උපදේශකවරයෙකු ලෙසත් අවි උපදේශකවරයෙක් ලෙසත් මා කටයුතු කර තිබෙනවා. 

 

සුදේෂ් පරාක්‍රම


සාජන් විභාගයට ලියලා ඒ විභාගය සමත්වුණා. සාජන් නිලයේ ඉන්න අතරවාරයේ කමාන්ඩෝ පුහුණු උපදේශකවරයෙකු ලෙස ඉන්දියාවේ පුහුණුවකට යන්න මාව තෝරාගත්තා. කපිතාන් දයා සෙනරත් මහත්මයාවද මේ සඳහා තෝරාගත්තා. අපි දෙන්නා කමාන්ඩෝ පුහුණුවීම් ලබාගන්න ඉන්දියාවට ගියා. ඉන්දියාවේ වෙල්ගම කියන ප්‍රදේශයේදී තමා අපිට කමාන්ඩෝ ට්‍රේනින් එක ලබා දුන්නේ. 1974 වසරේ තමා කමාන්ඩෝ ට්‍රේනින් එකට අපි දෙන්න ඉන්දියාවට ගියේ. දින 33 ක පුහුණුවීමක් අපට දුන්නා. 
මේ පුහුණුවීම් හරිම දුෂ්කරයි. කටුකයි. කුඩා කාලයේ අම්මාගෙන් බිව්ව මව් කිරි කටට එනවා ඒ තරමට දුෂ්කර පුහුණුවීමක්. දරාගන්න බොහොම අමාරුයි. රාත්‍රී පුහුණුවීම් වැඩියි. කමාන්ඩෝ පුහුණුවීම්වලදී අපට නයෙක් අල්ලන ආකාරය කියා දුන්නා. ඒ වගේම නයෙක් අල්ලා ඒ සතාගේ බෙල්ල කපා උයාගෙන කන හැටිත් කියා දුන්නා. නයා විතරක් නෙවේ. කැලෑවේ ඉන්න ඕනෑම සතෙක් මරලා ඒ සතාගේ මස් කෑමට පුරුදු කළා. ගෙම්බෝ පවා මරලා මස් කන්න දුන්නා. මරපු සතා පස්වලින් වසා ඒ මතින් කොළරොඩු දමා ගිනි තියනවා. එතකොට සතා තැම්බෙනවා. ඊට පස්සේ තමා කෑමට ගන්නේ. කමාන්ඩෝ ට්‍රේනින් එකට විදේශිකයෝ කණ්ඩායමක් ද ඇවිත් සිටියා. ඒ අයගෙන් වැඩි දෙනෙක් සර්ප මස් කාලා අප්පිරියාවට වමනය දැම්මා. මට නම් එහෙම දෙයක් වුණේ නැහැ. 


රෑට ඉටි කොළයක් බිම එළනවා. රාත්‍රී කාලයට ඒ ඉටි කොළයට පින්න වැටෙනවා. ඒ එකතුවෙන පින්න තොලගාලා පිපාසය සංසිඳුවාගන්න ආකාරයත් අපට පුහුණු කළා. ගස් කොළන්වල පොතු කොළ කා බඩගින්න නිවාගන්න හැටිත් මේ පුහුණුවේදී අපට ඉගැන්නුවා. අපි මේ සියලුම පුහුණුවීම් සාර්ථකව නිමා කර ලංකාවට ආවා. 
ලංකාවට ඇවිත් අපේ හමුද‌ාවේ සෙබළුන්ට කමාන්ඩෝ පුහුණුවීම් ලබාදෙන උපදේශකවරයෙකු ලෙස සේවය කළා. මාත් එක්ක ඉන්දියාවේ පුහුණුවීම්වලට ගිය කපිතාන් දයා සෙනරත් මහත්තයා පසුකාලයක හමුද‌ා සේවයෙන් ඉවත්ව ගියා. 


අපේ හමුද‌ා සෙබළුන් කණ්ඩායමකට අම්පාර සතුරුකොණ්ඩාන් කඳවුරේදී පුහුණුවීම් ලබාදෙන කාලයේ පොළඟෙක් අල්ලා අමුවෙන් කාලා පෙන්නුවා. දවසක් පුහුණුවෙන කමාන්ඩෝ සෙබළුන්ට නයෙක් මරලා කන්න දෙන්න තිබුණා. නයෙක් හොයාගන්න එක අමාරුවුණා. නයි පණික්කියෙක් හම්බවෙන්න මම ගියා. රුපියල් 100 ක් දීලා ඒ නයා ඉල්ලුවා. එයා දෙන්න කැමැති වුණේ නැහැ. ඊට පස්සේ මම නයා අත ගාන ගමන් නිලයක් ඇල්ලුවා. ටික වේලාවකට පසු නාගයා මියගියා. පණික්කියා මේ බව දැනගෙන හිටියේ නැහැ. සල්ලි දී මැරිච්ච නයා අරගෙන කඳවුරට ආවා. 


 ඉන්දියාවේදි සර්පයන් ඇතුළු සත්තු මරාගන කන්න අපේ කමාන්ඩෝ සෙබළුන්ට ඉගැන්නුවා. කැලෑ සටන්වලට ගියාම කුසගින්න නිවාගන්න තමා මේ වගේ දේවල් ඉගැන්නුවේ. 
එසේම සර්පයින් ඇති දැඩි කිරීම සම්බන්ධයෙන් හා ඔවුන්ගේ ගති ස්වභාවය ගැන ද විශ්‍රාමික සාජන් මේජර් පරාක්‍රම මහතා විස්තර හෙළිකිරීමට ද අමතක කළේ නැත. 
 මම පිඹුරන් හත් දෙනෙක්, නයි, පොළොංගු වැනි සර්පයින් රැසක් හමුද‌ාවේ ඉන්න කාලයේ සුරතලයට ඇතිකර තිබෙනවා. එකම එක වතාවක් මට පොළඟෙක් දෂ්ට කර වෛද්‍ය ප්‍රතිකාර ගෙන තිබෙනවා. හමුද‌ාවෙන් විශ්‍රාම ගියාට පස්සෙත් ටික කාලයක් යනකම් නයි හා පොළොංගු ගෙදර ඇතිකර තිබෙනවා. දැන් ඉතින් ඒ සර්පයෝ ඇතිකරන එක අත අතහැර දැම්මා. 


වරක් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී ජාතික නිදහස් උත්සවයක් පැවැත්වුණා. එහි ආචාර පෙළපාළියේ පිඹුරන් හතර දෙනෙක් කරේ ද‌ාගත්ත හමුද‌ාවේ හතර දෙනෙක් ගමන් කළා මතක ඇති. ඒ මගේ ළඟ හිටිය පිඹුරන් හත් දෙනාගෙන් හතර දෙනෙක්. ඒක පුහුණු කළේ මමයි. මම සර්පයන් ගැන හොඳට අධ්‍යයනය කර තිබෙනවා. අදටත් සර්පයන් ගැන අධ්‍යයනය කරනවා. ඉන්දියාවේ පුහුණුවීම්වලින් පස්සේ තමා සර්පයන් ගැන අධ්‍යයනය කරන්න පටන් ගත්තේ. 
 පිඹුරන් හතර දෙනා කරේ දමාගෙන විජයබා රෙජිමේන්තුවේ හතර දෙනා ආචාර පෙළපාළියෙ ගමන් කරනවා දැකලා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඇසිපිය නොහෙලා විස්මයෙන් යුතුව ඒ දෙස බලා සිටියා මට අද වගේ මතකයි. 


සර්පයින්ගේ මස් කාපු කෙනෙක් තමා ඒකේ රහ දන්නේ. සර්ප මස් රාජකීයන්ගේ භෝජනයක්. සමහර රටවල සර්පයෝ මසට විකුණන්න තියෙනවා. මම නාගයාගේ අක්මාව විස්කිවල දමා පානය කර තිබෙනවා. දැන් නම් සර්ප මස් කන්නේ නැහැ. ඒ සර්පයන්ට මම බෙහෙවින්ම ආදරය කරන නිසයි. ඒ කාලයේ මගේ ළඟ හිටිය පිඹුරන්ගේ ඇඟ උඩ මගේ හිස තබාගෙන නිද‌ාගෙන ඉඳලා තිබෙනවා. ඒ තරමට මට පිඹුරො හත් දෙනා හීලෑවෙලා සිටියා. පස්සේ කාලයක මම ඒ සත්තු කැලෑවකට මුද‌ාහැරියා. 


නාගයා ගැන අපේ රටේ මිත්‍යා විශ්වාස රැසක් තිබෙනවා. නාගයාට හොඳ මතක ශක්තියක් තිබෙන බුද්ධිමත් සතෙක් ලෙස සැලකීමත් එයින් එකක්. නයින්ට එහෙම මතකයක් ඇත්තේ නැහැ. නාගයාට මතක තබා ගැනීමේ ශක්තිය තියා ඇසීමේ ශක්තියවත් නැහැ. පොළොවෙන් හෝ ළඟ වෙනත් තැනකින් නාගයාට සිරුරට දැනෙන කම්පන තරංග අනුවයි ක්‍රියාත්මක ​ෙවන්නේ. එහෙම නැතිව ඇසීමක් සිදුවෙන්නේ නැහැ. ‘අනේ නයි හාමි කරදරයක් කරන්නේ නැතුව යන්න කිව්වට ඌ යන්නේ නැහැ’. 


පවුලේ කෙනෙක් මියගියාම නයි වෙලා නැවත ඉපදිලා ගෙවල්වලට එනවා කියන එකත් පට්ටපල් බොරුවක්. ගෙම්බෝ මීයෝ වගේ සත්තු ගෙවල්වල ඉන්නවා නම් නයි ඒ සත්තු ආහාරයට ගන්න එනවා. මන්තර ජප කරලා නයි එළවන්නත් බැහැ’ යැයි පරාක්‍රම මහතා පැවසුවේ එ්වා සියල්ල මිත්‍යා මත බව විද්‍යාත්මකව ඔප්පු කර ඇති බව පවසමිනි. 


උරග වර්ගයේ සතුන්ගේ මස් මිනිස් සිරුරට බොහොම හිතකරයි. නයි, පොළොං වැනි සතුන්ගේ ගෙල කපා දැමූ පසු විස සිරුරෙන් ඉවත්වෙනවා. සර්ප මස් ඉතා රසවත්. නයි හා පොළොංගුන්ගේ මස් ආහාරයට ගන්න බහුතරයක් අකමැතියි. නමුත් ඒ සතුන් ආහාරයට ගන්නා වල් ඌරාගේ මස් රස කර කනවා. 


 මතු සම්බන්ධයි.

 

 

 සටහන - ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය 
ඡායාරූප - කෑගල්ලේ ගිලන්ත විජේපාල