නයි පැටවා වෙනුවෙන් ඉදිකළ කෝවිල


කිලිනොච්චියේ ධර්මපුරම් කෝවිලට කිරි බොන්න එන සුදු නාගයා - 2

අපේ රටේ විවිධ ප‍්‍රදේශවල ජීවත් වන මිනිස්සු විවිධ විශ්වාස, ඇදහීම් පසුපස යනවා. මේ විශ්වාස සමහරු ප‍්‍රතික්ෂේප කරනවා. තවත් සමහරු විශ්වාස කරනවා. කොහොම වුණත් කොයි කවුරුත් කැමතියි විවිධ ප‍්‍රදේශවල ඇදහීම්, විශ්වාස ගැන අහන්න. උතුරුකරයේ ජීවත් වෙන ජනතාවගේ ඇදහීම්, ජනශ්‍රැති ගැන කතා කරමින් සිටින අපි පසුගිය සතියේ වාර්තා කළේ කිලිනොච්චි දිස්ත‍්‍රික්කයේ ධර්මපුරම් ප‍්‍රදේශයේ පුලියම්පොකුණ නාග තම්බිරාන් කෝවිල ගැනයි. ධාර්මික හොඳ ගුණයහපත්කම් ඇති පිරිසක් ජීවත් වුණු මේ ප‍්‍රදේශයේ හිටපු දානපතියකු වෙච්ච නීදිනායක සහ ඔහුගේ බිරිය වුණු කාමලාම් එහෙම නැතිනම් කමලාට නයි පැටියකු ලැබුණු ආකාරය ගැන අපි පසුගිය සතියේ කිව්වා.  

මේක දෙවියන්ගේ වැඩක් කියලා හිතපු කාමලා ඒ නයි පැටියටත් මව් කිරි දීලා හද‌ා ගත්තා. හොඳට සැලකුවා. මේ නයි පැටියා ලැබුණට පස්සේ හිතා ගන්නත් බැරි විදියට නීදිනායක තව තවත් පොහොසත් වුණා. මේ නාගයාට තම්බිරාන් කියලා නමක් තිබ්බා. නාගයා සමඟ ලැබුණු ගැහැනු දරුවට වෙල්ලිනාච්චාන් කියලා නම තිබ්බා. තම්බිරාන් කියන මේ නයි පැටියට කිසිම දුකක් නොදී හොඳින් හැදුවා. මේ නාගයා මව් කිරි බොන්න හරිම ආසයි.   


නීදිනායකට එන්න එන්නම සැප සම්පත් ලැබුණා. තවත් ලොකු ගෙයක් හදලා නයි පැටියා සහ දරුවන් තුන් දෙනා හොඳට හද‌ා වඩා ගත්තා.   


නීදිනායකට සහ කමලාට උපන් නයි පැටවා වැඩිපුරම සෙල්ලම් කළේ එයත් එක්කම ඉපදුණු නිවුන් සහෝදරියත් එක්කයි. අනිත් සහෝදරයන් දෙදෙනා සමඟත් සෙල්ලම් කළා. ඔවුන් නිතර කෙළිදොලෙන් කාලය ගත කළා.  


ඒ වගේම තමයි මේ තම්බිරාන් නයි පැටියා ගම වටේ යනවා. කොහේ ගියාත් රෑට ගෙදර එනවා. රෑට ගෙදර ඇවිත් නීදිනායකගේ ඇඟ වටේ එතෙනවා. නීදිනායකත් හරි ආසාවෙන් තමන්ගේ අනිත් දරු තිදෙනාට වගේම මේ නයි පැටියාටත් සැලකුවා. නයි පැටියා හුරතල් කළා.   


‘මේ නයි දරුවාගේ හැසිරීම දැකලා ගමේ බොහෝ දෙනෙක් පුදුම වුණා. මේ නම් නිකම්ම නිකම් නයෙක් නොවෙයි., අපිව රැකගන්න ආපු සිව පෙරුමාන් දෙයියෝ තමයි මේ.’ කියලා ගමේ සමහරු කිව්වා.  


‘කවද‌ා හරි නීදිනායක නැති වෙන්නේ මේ නයා නිසා තමයි.’ තවත් සමහරු කිව්වා.   


නයා ශාපයක් කියලා සමහරු කියද්දී නයා සුබ ලකුණක් කියලා තවත් සමහරු කිව්වා. නයා ගැන විවිධ අදහස් මතු වුණා.   
කාලයක් යද්දි නීදිනායක වයසට ගියා. නීදිනායකත් කල්පනා කළා දැන් මම එන්න එන්නම වයසට යනවා, දැන් දරුවන්ට වත්කම් බෙදලා දෙන්න ඕනෑ කියලා. ඉතින් එහෙම කල්පනා කළ නීදිනායක එයාගේ බිරිය කාමලාම් එහෙම නැතිනම් කමලා එක්ක කතා වෙලා දරුවන්ට තමන්ගේ වත්කම් බෙදලා දුන්නා.   

නයා හැර සෙසු දරුවන් තිදෙනාටයි වත්කම් දුන්නේ. ඒ නිසා තම්බිරාන් නයි පුතාට දුක හිතුනා. ඒ වගේම කෝපයට පත් වුණා. නයාගේ කෝපයට හේතුව දැනගත්තු නීදිනායක නයි පුතාටත් වත්කම් බාර කළා. ඒ කියන්නේ නීදිනායක සතු වත්කම් සම සේ හතරට බෙදලා නයා ඇතුළු දරුවන්ට දුන්නා. ඉන් පස්සේ නයා බොහොම සතුටු වුණා.   


තම්බිරාන් නයා තමන්ට දෙමාපියන්ගෙන් ලැබුණු වත්කම් පංගුව තමන්ගේ නිවුන් සහෝදරිය වුණු වෙල්ලිනාච්චාන්ට ලබා දුන්නා. අනිත් ළමයි එයාලට ලැබුණු ගෙවල්වල ජීවත් වුණා. නයි දරුවා දෙමාපියන් එක්ක හිටියා.   


දවසක් උදෑසනක කාමලා එහෙම නැත්නම් කාමලාම් මිදුල අතුගගා ඉන්දි නයි ගොඩක් ගෙදරට ආවා. නයි පැටව් කමලාගේ ඇඟපුරා දුවමින් සෙල්ලම් කළා. මේ වැඩ අස්සේ නයි ඇ​ෙඟ් දුවද්දී කමලට කේන්ති ගියා.   


කෝපයට පත්වුණා කමලා පලයං... පලයං... කියලා බැණ්නා. අවුරුදු ගණනක් තමන්ව ආදරෙන් හද‌ා වඩා ගත්තු තමන්ගේ අම්මා කවද‌ාවත් නැතිව බැණපු එකට තම්බිරාන් නයාට ගොඩක් දුක හිතුණා. නයා දුකෙන් ගෙදරින් ගියා.   


එද‌ා හවස් වුණා. ඒත් නයා ආවේ නෑ. නයි දරුවා පේන්න හිටියේ නැති නිසා ‘කෝ නයි දරුවා?’ කියලා නීදිනායක එයාගේ බිරිය කමලාගෙන් ඇහුවා. ඔන්න එතකොටයි කමලටත් නයා තාම ආවේ නැහැනේ කියලා මතක් වුණේ. කමලා උදේ වුණු සිද්ධිය මුල සිට කිව්වා. හදිසි කේන්තිය නිසා නයාට බැණ්න බවත් කිව්වා.   


කොහොම හරි නයා ආවේ නැති එක ගැන කලබල වුණු නීදිනායක මුදලි ගම වටේ ගිහින් නයි දරුවා හෙව්වා. ඒත් හම්බුණේ නෑ. අනිත් සහෝදරයන් සහ ගමේ අනිත් උදවියත් එකතු වෙලා හැම තැනම තම්බිරාන් නයාව හෙව්වා. මුළු ගමම පීරුවා. මේ පැත්තේ හිටියේ හොඳ ගුණයහපත්කම් ඇති මිනිස්සු කියලා අපි කලිනුත් කිව්වානේ. ඉතින් කාට හරි කරදරයක් වුණාම මුළු ගමම එකතු වෙනවා. මේ සිද්ධියෙදීත් ගමම එකතු වෙලා නයා හෙව්වා. නමුත් නයා හම්බුණේ නෑ. මේ නිසා හැමෝම බොහොම දුකට පත් වුණා.   


නීදිනායක, බිරිය කමලා, අනිත් දරු තිදෙනා විතරක් නෙමෙයි ගමේ බොහෝ දෙනෙක් දුකෙන් කෑම බීම නොකා හිටියා. නයා කොහෙද ගියේ කියලා කල්පනා කළා.  


දිනෙන් දින ගෙවිලා ගියා. නයා ගැන කිසිම තොරතුරක් නෑ. මේ අතරේ නීදිනායක සහ පවුලේ උදවිය පෙර පරිදිම තමන් අදහපු දෙවියන් උදෙසා වත් පිළිවෙත් පුද පූජා කළා. වෙනද‌ා වගේම ධාර්මිකව ජීවත් වුණා. හැබැයි මොනවා කළත් නයා නැති දුක මේ හැමෝටම තිබුණා.   


ඉතින් මෙහෙම කාලයක් යද්දී අමුතුම සිදුවීමක් වුණා. දිනක් නීදිනායක මුදලි රාත‍්‍රී නින්දට ගියා. ටික වෙලාවක් නින්දේ ඉන්දි ඔහු හීනයක් දකිනවා. සිහිනෙන් ඔහු ළඟට ආවේ ශිවපෙරුමාන දෙවියන්. නයා මවු කුසින් ඉපදුණු ද‌ා ඉඳන් සියලු සිදුවීම් එකිනෙක ශිවපෙරුමාන් කිව්වා. ඒ විතරක් නෙමෙයි තවත් බොහෝ දේවල් කිව්වා.  


නීදිනායක මෙතරම් කාලයක් බලා සිටි කාරණය ගැන කියන්න ඊළඟට ශිවපෙරුමාන් පටන් ගත්තා. ඒ තමයි තම්බිරාන් නයි පැටියා දැන් ඉන්නේ කොහේද කියලා. නයි පැටියා මේ ප‍්‍රදේශයට දකුණු පසින් ගිහින් වන්නි ප‍්‍රදේශයේ කැලෑවක ජීවත් වෙනවා කියලා ශිවපෙරුමාන් කිව්වා. තවත් නයි රාශියක් තම්බිරාන් නයාගේ ඥ‌ාතීන් බවට පත්වී ඇති බවත් ඔහු කිව්වා. තම්බිරාන් නයා යළි කැඳවාගෙන ඒමට අශ්‍යනම් කරන්න ඕන දේ ගැන ශිවපෙරුමාන් ඊළඟට විස්තර කළා.  


ඒ තමයි නීදිනායක ඉන්න ගමේ ඉඳලා පෙරහරකින් වන්නි ප‍්‍රදේශයට ගිහින් යළිත් කැඳවාගෙන ඇවිත් උස කෝවිලක් නයා වෙනුවෙන් ඉදි කරන ලෙස ශිව පෙරුමාන් දැනුම් දුන්නා. ඒවගේම නයා ඉපදුණු පන්ගුනී නමින් හැඳින්වූ මාසයේ නියමිත දවසට ඒ කියන්නේ නයාගේ උපන් දිනේ දවසට ලොකු පූජාවක් පවත්වලා නයා සතුටු කරන ලෙසත් දැනුම් දුන්නා.   


ශිවපෙරුමාන් මේ සියල්ල කියලා නොපෙනී ගියා. පස්සේ නීදිනායක නින්දෙන් නැඟිට්ටා. සිහිනෙන් දැකපු සියලුම කාරණා ගැන එයාගේ අද‌ාරණීය බිරිඳ වුණු කාමලාම් එහෙම නැතිනම් කමලාට කිව්වා. ශිවපෙරුමාන් හීනෙන් කියපු සියලුම දේවල් ඒ ආකාරයෙන්ම කරන්න කාමලාම් එක පයින් කැමති වුණා. මේ ගැන දරුවන් සමඟ සාකච්ඡා කළා. අනිත් දරු තිදෙනාම ඒකට කැමති වුණා.  

 
මේ ගමේ උදවිය හරිම සමගියෙන් ජීවත් වූ බව මීට කලිනුත් කිව්වා. ඉතින් නීදිනායක මේ කාරණය ගැන ගමේ උදවියට කිව්වා. ගමේ සියලුම දෙනා පෙරහරින් නයා සොයා ගෙන යෑමට කැමති වුණා. දින නියම කරගෙන පෙරහර සූද‌ානම් කළා. අද‌ාළ දිනය උද‌‌ාවුණා. සියලුම දෙනා සුදු වතින් සැරසිලා පෙරහරකින් අද‌ාළ ප‍්‍රදේශයට ගියා. හීනෙන් නීදිනායකට පෙන්වපු පාර හොයාගෙන ගියා.  

හරිම පුදුමයි. යද්දි අනිත් සර්පයෝ පාර මැද්දේ සිට දෙපැත්තට වුණා. හරියට මෙයාලට පාර පෙන්වනවා වගේ. කොක්කාවිල් කියන වනාන්තරේ සතුන් ටික මේ අයව සතුටින් පිළිගන්නවා වගේ හැසිරුණාලු. මෙහෙම වනාන්තරේ මැදින් ගිහින් ලස්සන තැනකට ආවා.   
ඒ තැන නීදිනායක හීනෙන් දැකපු තැනම තමයි. කිසිම වෙනසක් නෑ. මෙතන පාලි කියලා ගහක් තිබුණා. ඒ ගහ යට නයින් ගොඩක් ඉන්නවා මේ පිරිස දැක්කා. ඔවුන් හීනෙන් ශිවපෙරුමාන් කිව්ව විදියටම ඒ ගහ යට දේව පූජාව ආරම්භ කළා.   


කාමලාම් අතින් වෙච්ච වරදට සියලුම දෙනා එකතු වෙලා සමාව ඉල්ලුවා. නයාගේ හිතරිදුනා නම් සමාව ඉල්ලලා ආයෙත් එහෙම දෙයක් නොවන බවත් කිව්වා. පරණ සිදුවීම අමතක කරලා නැවතත් අපිත් එක්ක යන්න එන්න කියලා තම්බිරාන් නාගයාට ගමේ මිනිස්සු ආයාචනා කළා. පූජාව මැදක් හරියට යද්දි ලොකු ආලෝකයක් ආවා. ශිවපෙරුමාන් දෙවියන් නාගයාගේ ස්වරූපයෙන් එතනට වැඩම කළා. තම්බිරාන් නාගයා එතැන තිබුණු පූජාවට යොද‌ා ගත්ත මල් තට්ටුව උඩට ආවා.  

 
ඉතින් ගමේ උදවිය ඉතාම සතුටට පත් වුණා. ශිවපෙරුමාන්ටත් ස්තුති කරලා මල් තට්ටුව තම්බිරාන් නාගයා පිටින්ම ඔසවාගෙන පෙරහරින් යළි ගම්මානයට ආවා. පෙරහරට සහභාගී නොවුණු උදවියත් පාර දෙපැත්තේ ඉඳන් මේ දෙස බලා සතුටු වුණා.   
නීදිනායක නයි දෙයියන්ව අරගෙන එද්දී ප‍්‍රදේශයේ ජනතාව පහන් පත්තු කරලා වන්දනාමාන කළා.   


ශිවපෙරුමාන් කිව්වා වගේ තම්බිරාන් නාගයාට උස කෝවිලක් හදන්න තැන සොයාන්න බාර වුණේ කාමලාන් බිරියට සහ වන්නිනාචි සහෝදරියටයි. ඉතින් ඔවුන් හැම තැනම ඇවිදලා පුලියම්පොකුණ කියන ප‍්‍රදේශයේ ඉතාමත් ලස්සන තැනක් කෝවිල හදන්න තෝරා ගත්තා. එතැන බෝ ගහකුත් තිබ්බා. ඒ බෝගහේ බෙනයක් තිබ්බා.   


මේ ලස්සන තැන කෝවිල හදන්න නීදිනායක තීන්දු කළා. ඒ අනුව ගමේ සියලුම දෙනා එකතු වෙලා මෙතන කෝවිල හැදුවා. තම්බිරාන් නාගයා හිසේ තියාගෙන ආපු නීදිනායක මේ දේවාලය නාගයාට පූජා කළා. ගමේ හැමෝම එතැනට මල් මාලා දැම්මා. ලොකු පූජාවක් පැවැත්තුවා. එද‌ා ඉඳන් දිගටම දේව පූජා තිබ්බා. ලංකාවේ හතර දිග්බාගෙන්ම මේ ස්ථානයට දේව පූජා තියන්න පිරිස් ඇදී එන්න පටන් ගත්තා.  


පුලියම්පොකුණ නාග තම්බිරාන් කෝවිල කියලා මේ කෝවිලට නම ලැබුණේ මේ විදියට තමයි. එතින් එදා නීදිනායකට ද‌ාව කාමලාම්ගේ කුසින් උපන් තම්බරින් නාගයා අද කොහෙද? ඒ ගැන ලබන සතියේ බලමු.

  
(කතාවේ ඇත්තේ ප‍්‍රදේශයේ ජනතාව සහ කෝවිලේ පූසාරි විසින් ප‍්‍රකාශ කරනු ලැබූ කරුණුය.)