නම් තැබීමේ බල මහිම


අනාදිමත් කාලයක සිට සිංහලයින් අතර සංස්කාර විධි හතළිහක් පමණ පැවැතිණ. මෙයින් සමහර සංස්කාරයන් බෞද්ධ සංස්කෘතියටද අයත් ඒවා විය. රන්කිරි කටගෑම, නම් තැබීම, දොරට වැඩීම හෙවත් බිලිඳා පළමු කොටම පන්සලට වඩාගෙන ගොස් ත්‍රිවිධ රත්නයේ සරණ ලබාගැනීම, දේවාලයකට වඩා දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලබාගැනීම, හිසකෙස් කැපීම, කන් විදීම, අකුරු කියවීම හෙවත් අතපොත් තැබීම ආදිය මෙයට අයත්ය. උපතේ සිට මරණය දක්වාම වැදගත් කටයුතු ක්‍රමවත්ව පවතිනුයේ ඒ අනුවය.
 
වර්තමානයේ දරුවකු ලැබීමට රෝහලට යාමට පෙර මව ළදරුවාට ඇඳුම් සකස් කරගන්නා සේ ලස්සන නම් කිහිපයක්ද කල් ඇතිව සූදානම් කරගැනීම සිරිතකි. දරුවා උපත ලත් පසු මව කළින් සූදානම් කරගෙන තිබූ නම ලියාපදිංචි කරයි. 


අද බොහෝ දෙමව්පියෝ තම දූ දරුවන්ට ලස්සන නම් සොයා තබති. කනට මිහිරක් දැනෙන නමක් දරුවාට තැබීම යහපත් වෙයි. එහෙත් එම නම අර්ථ ශූන්‍ය නම් එවැනි නම් තැබීම නිසා ඇතැම් දෙමාපියෝ වරදක් කරගන්නා බවක් පෙනෙන්නට තිබේ. සමහරවිට ඉවක් බවක් නැතිව ලස්සනම පතා නම් තැබීම අපේ සංස්කෘතියටද පටහැණි වෙයි. 


අතීතයේදී වැඩිහිටියෝ දරුවකුට නම් දෙකක් තැබීමට ක්‍රියා කළහ. එක් නමක් රජයේ ලියාපදිංචිය සඳහා විය. අනිත් නම ගෙදරදී ළමයාට ඇමතීම සඳහාය. මේ නිසා අසල්වාසීහු පවා ළමයාගේ නියම නම නොදත්හ. නිතර භාවිත වූ නම අප්පුහාමි, චූටි, මද්දු, උක්කුන්, සුදු මහත්තය, කළු මහත්තයා, නෝනා, කුමාරි, ලොක්කි ආදී වශයෙන් විය. 


එකී ළමයා වැඩිහිටි අයෙකු වූ විටත් බොහෝදෙනා හඳුනා ගන්නේ මෙකී දෙවන නාමයෙනි. පුරාණයේ මෙසේ අනියම් නාමයක් යොදාගත්තේ යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියන් ආදී අනිෂ්ට විපාකවලින් දරුවා ආරක්ෂා කර ගැනීමේ පියවරක් වශයෙනි. 


වර්තමානයේ දරුවන්ට සිදුවන අතුරු අන්තරා ගැන විමසා බැලීමේදී එම දරුවාට තබා ඇති නාමයේ අනිෂ්ට විපාකත් බලපා ඇති බව පෙනී යන කරුණකි. 


බුද්ධ චරිතයේ සඳහන් වන අන්දමට සුද්ධෝදන රජතුමා සිය පුත් කුමරුට නම් තැබීමේ මංගල්‍යයේදී වේදපරප්‍රාප්ත දේහ ලක්ෂණ ශාස්ත්‍රය දන්නා බමුණන් රජ මාලිගයට කැඳවා දානමානාදියෙන් සංග්‍රහ කොට පුත් කුමරා පෙන්වා නම තබන ලෙස දන්වා සිටියේය. 


රජුගේ ‘‘ඕදන’’ යන පරම්පරා නාමය වෙනුවට බමුණන් කුමරුගේ දේහ ලක්ෂණ පරීක්ෂා කර කුමරුට සිද්ධාර්ථ යන නම තැබූ බව අටුවාවන්හි දැක්වේ. 
සිංහලේ පැරණි රජවරුන්ද තම රාජ වංශය පසෙක තබා දේහ ලක්ෂණ විද්‍යාව අනුව නම් භාවිත කර ඇති බව අපට ඉතිහාසය පිරික්සීමේදී පෙනී යයි. 


දෙවියන්ට ප්‍රිය වූ නිසා දේවානම් පියතිස්ස කාක භාෂාව දත් නිසා කාවන්තිස්ස, නාසය වක්වූ නිසා වංක නාසික තිස්ස රජවරු මෙන්ම තට්ටය පෑදුණු නාග රජතුමා ඛල්ලාට නාග යන නාමයන්ගෙන් හැඳින්වීම නිදර්ශන ලෙස ගත හැකිය. 


අපේ සංස්කෘතියට නිසි අකුරක් ගෙන වැඩදායී ගණයක් යොදා දරුවකුට නම් තැබීමට අප අදහස් කළහොත් එය අභිවෘද්ධිදායක වනු නොඅනුමානය. 


දරුවාට වාසනාවන්ත නමක් තැබීම සඳහා දරුවා උපන් දිනට ලග්නයට නැකතට නැකත් පාදයට සීහෙන අකුරු පහත පළවෙයි. 


උපන් දිනයට හිමි අක්ෂර 


ඉරිදාට - අ, ආ, ඉ, ඊ, උ, ඌ, එ, ඒ, ඔ, ඕ 
සඳුදාට - ය, ර, ල, ව, ශ, ෂ, ස, හ, ළ 
අඟහරුවාදාට - ක, ඛ, ග, ස, ධ, 
බදාදාට - ට, ඨ, ඩ, ඪ, න 
බ්‍රහස්පතින්දාට - ත, ථ, ද, ධ, ණ 
සිකුරාදාට - ච, ඡ, ජ, ඤ 
සෙනසුරාදාට - ප, ඵ, බ, භ, ම 


උපන් ලග්නයට හිමි අක්ෂර 


මේෂයට - අ, ආ, ශ 
වෘෂභයට - ඉ, ඊ, උ, ෂ 
මිථුනයට - උෟ, සෘ, සෲ, ස 
කටකයට - එ, හ, 
සිංහයට - ​ෙඑ, ඕ, ඖ, ළ 
කන්‍යාවට - අං, අඃ, 
තුලාවට - ක, ඛ, ග, ස, ධ 
වෘශ්චිකයට - ච, ජ, ජ, ඣ, ඤ 
ධනුවට - ට, ඨ, ඩ, ඪ, ණ 
මකරයට - ත, ථ, ද, ධ, න 
කුම්භයට - ප, ඵ, බ, භ, ම 
මීනයට - ය, ර, ල, ව 


නැකත් පාද හිමි අක්ෂර 


අස්විද - චූ චෙ චො ල 
බෙරණ - ලි ලු ලෙ ලො 
කැති - අ ඉ උ එ 
රෙහෙන - ඔ ච චි චු 
මුවසිරස - චෙ චො ක කි 
අද - කු ස ධ ජ 
පුනාවස - කෙ කො හ හි 
පුෂ - හූ හෙ හො ඩ 
අස්ලිස - ඩි ඩු ඩෙ​ ඩො 
මා - ම මී මූ මෙ 
පුවපල් - මො ම ටි ටු 
උත්‍රපල් - ටෙ ටො ප කි 
හත - පු ස ණ ධි
සිත - පෙ පො ර රි 
සා - රු රෙ රො ත 
විසා - ති තු තෙ තො 
අනුර - න නි නු නෙ 
දෙට - නො ය යි යු 
මුල - යෙ යො ඔ ඕ 
පුවසල - බු ධ එ ඵ 
උත්‍රසල - බෙ බො ජ පි 
සුවන - ජු ජෙ ජො ප 
දෙනට - ගැ ගි ගු ගෙ 
සියාවස - ගො ස සි සු 
පුවපුටුප - සෙ සො ද දි 
උත්‍රපුටුප - දු ථි  ඤ 
රේවතී - දෙ දො ච චි 


ඉහත සඳහන් පරිද්දෙන් ලග්නයද දිනයද නැකතේ පාදයද බලා එයින් කවරෙකුට හිමි අකුරකින් ජන්ම නැකතට සීහෙන ගණයක්ද මුල්කරගෙන නමක් තැබිය යුතුය. 


බුධ අධිපති දෙට නැකත හිමි භූමි ගණය ජය සහිතයි. 

ගුරු අධිපති බෙරණ නැකත හිමි දේව ගණය තේජස සහිතයි. 

සඳු අධිපති මුවසිරස නැකත හිමි චන්ද්‍ර ඝනය සෙත් වෙයි 

සිකුරු අධිපති සියාවස නැකත හිමි ජල ගණය ආයු වඩයි 

රවි අධිපති පුනාවස නැකත හිමි සූර්ය ගණය ලෙඩ කරයි 

කුජ අධිපති කැති නැකත හිමි අග්නි ගණය විනාශය වෙයි 

ශනි අධිපති සා නැකත හිමි වායු ගණය මරණය ගෙනදෙයි 

රාහු අධිපති සුවන නැකත හිමි ආකාශ ගණය ධනහානි කරයි. 


උපන් රාශිවලට අනුව වෘෂභ මිථුන භූමි ගණයටද තුලා ධනු කුම්භ වායු ගණයටද මේෂ සිංහ කන්‍යා චන්ද්‍ර ගණයටද මකර මීන ආකාශ ගණයටද වෘශ්චික සූර්ය ගණයටද කටක ජල ගණයටද අයත් වේ. 


මාත්‍රා තුනක් එක් ගණයකි. බූමි ජල දේව චන්ද්‍ර සුබ ඝන වශයෙන් සැලකේ. සෙසු ගණ හතර අසුබ ගණ ලෙස සැලකේ. අලුත උපන් බිලිඳාට නම් තැබීමේදී ඉහත සඳහන් සුබ ගණයකින් නමක් සකස් කර තැබීමෙන් දරුවාගේ ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩේ. 


නම් තැබීම යන මෙම ලිපියෙන් දක්වා ඇත්තේ දරුවෙකුගේ නමට අකුරක් තෝරා ගැනීම පිළිබඳ තොරතුරු ස්වල්පයක් පමණි. 

 

 

 


ගම්පහ
අබේසේන හේරත්