නම් තැබීම ජ්‍යොතිෂය අනුව කළ යුතුමද ?


උපදින සෑම අයකුටම නමක් තැබීම සිරිතකි. එය ස්ත්‍රී පුරුෂ වශයෙන් බේදයක් නැත. ඕනෑම රටක ඕනෑම ජාතියකට අයත් ඕනෑම පුද්ගලයකුට නමක් තැබීම සාමාන්‍ය සිරිතකි. ඒ බොහෝවිට ස්වකීය අනන්‍යතාව සඳහායි.  


අතීතයේ අද මෙන් නම් ලියාපදිංචි කිරීමක් සිදු නොවුවද සෑම කෙනෙකුම හඳුනාගැනීම සඳහා නමක් තැබීම සිදුකරන ලදී. පුරාණයේ එම නම අද මෙන් වාසගම් සහිතව තබනු ලබන දිගු නමක් නොවේ. බො​හෝවිට තබා ඇත්තේ එක නමකි.  


නම් තැබීමේදී ඉතා සරල නමක් තැබීම වැදගත්වනු ඇත. අද සමහර ළමුන් සඳහා තබා ඇති නම් කියවීමට අපහසුවනවා පමණක් නොව ඒවායේ ඇති තේරුමක්ද නොමැත. එසේ වනුයේ වෙනත් කිසිවකුට නොමැති නමක් තම දරුවාට තැබීමට මවුපියන් උනන්දු වන බැවින් විය හැක.  


ඈත අතීතයේ එනම් බුද්ධ වර්ෂයට පෙර පවා නම් තැබීමේදී ජ්‍යොතිෂයේ ආභාෂය ගත් බවට සාක්ෂි ඇත. බුද්ධ වර්ෂයට පෙර 80 වර්ෂයේදී එනම් ක්‍රිස්තු පූර්ව 623 දී පමණ සුද්ධෝදන රජතුමා සිය කුළුඳුල් පුතුට සිද්ධාර්ථ කියා නම තබන ලද්දේ ද කොණ්ඩඤ්ඤ බමුණා ප්‍රමුඛ බමුණන්ගේ උපදෙස් පරිදි බව අප කවුරුත් දන්නා කරුණකි.  
එම බමුණන් සියලු දෙනාම ජ්‍යොතිෂය පිළිබඳ හසල දැනුමකින් යුක්තවූවන්ය. එබැවින් නම් තැබීමේදී ජ්‍යොතිෂයට අනුව නම යෙදීමෙන් එම නාමිකයාට සෙතක් සිදුවන බව කිව හැක.  


නම් තැබීමේදී උපදින දිනය අනුව නමේ මුල් අකුර යෙදීම ජ්‍යොතිෂයේදී සිදුවේ. එසේම එම අකුරු වලින් උපදින දා උපන් වේලාවට හිමි නැකත අනුවත් උපන් වෙලාවට අනුව ලැබෙන ලග්නය අනුවත් නමේ මුල් අකුර තැබීමට සැබෑ ජ්‍යොතිර්වේදියා උත්සුක වේ.  


ඒ අනුව ඉරිදා උපන් අයට සිංහල හෝඩියේ අ යන්නේ සිට ඔ දක්වා ඇති අකුරක්ද සඳුදා උපන් අයට ය අකුරේ සිට ළ අකුර දක්වාද අඟහරුවාදා ක යන්නේ සිට ඝ යන්න දක්වාද බදාදා නම් ට යන්නේ සිට ණ දක්වාද බ්‍රහස්පතින්දාට ත යන්නේ සිට න යන්න දක්වාද සිකුරාදාට ච යන්නේ සිට ජ යන්න දක්වාද, සෙනසුරාදාට ප යන්නේ සිට මා යන්න දක්වා අකුරු වලින් එකක් නමේ මුල් අකුර සඳහා ගත යුතුය.  


නැකතට හා ලග්නයට අනුව සුදුසු අකුරුද ජ්‍යොතිෂයේ සඳහන්ය. එබැවින් මේ කුමන ආකාරයකට හෝ ගැලපෙන පරිදි නම තැබීම නිසා ළමයාට සෙතක්ම වේ.  
නමක් තැබීමේදී ගණය බැලීමද ඉතා වැදගත්ය. ගණය යනු නමක හෝ කවියක මුල් අකුරු තුනයි. ගණය අනුව නම තබා ඒ නම නිතර නිතර භාවිත කළ යුතුය. ළමයාට සෙතක් වන්නේ එවිටය. ළමයාගේ නම ඉමල් ධනුෂ්ක යයි සිතමු. ගණය අනුව තබා ඇත්තේ ඉමල් යන්නයි. එබැවින් භාවිතයේදී ඉමල් යන්නෙන් පමණක් කතා කළ යුතුය. ධනුෂ්ක යන්න අනෙක් දෑ සඳහා යොදා ගත යුතුය.  


අකුර ලඝු හා ගුරු කියා දෙවර්ගයකි. ල යන්න ලඝු අකුරකි. ළා යන්න ගුරු අකුරකි. ලඝු අකුරට ඇළපිල්ලක් පා පිල්ලක්, හල් කිරීමක් යෙදීමෙන් ගුරු අකුර ලැබේ. අනෙකුත් සෑම අකුරක්ම ඒ පරිද්දෙනි.  


නම ලඝු අකුරුම තුනක් නම් දිව්‍ය ගණවේ. දීර්ඝායුෂ ලැබේ. ජනප්‍රිය වේ. (උදා අමර) මුල ගුරු අකුරක් ද අග අකුරු දෙකම ලඝු නම් චන්ද්‍ර ගණවේ. ප්‍රසිද්ධවේ. කීර්තිය ඇතිවේ. (උදා නාරද) මැදට ගුරු අකුරකුත් දෙපැත්තට ලඝු අකුරු දෙකක් නම් සූර්ය ගණවේ. ලෙඩ දුක් වලින් පීඩා විඳී. උදා මල්ක මුලට ලඝු අකුරක් හා අග අකුරු දෙකම ගුරු නම් ජල ගණවේ. අභිවෘද්ධිය සිදුවේ. අත ගසන හැම වැඩක්ම සාර්ථකවේ. උදා අමාලී මුලට ගුරු අකුරු දෙකක් හා අගට ලඝු අකුරක් නම් ආකාශ ගණවේ. අර්ථ ශූන්‍ය වේ. පටන් ගන්නා කිසිවක් ඉටු නොවේ. උදා ලාලිත දෙපැත්තේ අකුරු දෙක ගුරු ද මැද අකුර ලඝු නම් ගිනි ගණවේ. මරණය සිදුවේ. ආයුෂ අඩුය උදා නාමලී අකුරු තුනම ගුරු නම් භූමි ගණවේ. ශ්‍රියා කාන්තාව එළඹේ. සැප සම්පත් ලැබේ. උදා නිමාලී මුල් අකුරු දෙක ලඝු හා අගට ගුරු නම් වායු ගණ වේ. නිතර ගමනේ යෙදේ. පිටරටවල වාසයට ඉඩකඩ ඇත. උදා ඉමල්.  


එබැවින් ළමයෙකුට නමක් තැබීමේදී එය ආවාට ගියාට සිදු නොකොට ජ්‍යොතිෂ්‍යයට අනුව තැබීමට උනන්දු වීම වැදගත්ය. එසේම ගණ අනුව තැබූ අකුරු තුනේ නම පමණක් නිතර නිතර භාවිතය නිසා එම ළමයාට සෙතක්ම උදාවනු ඇත.  

 

 


එම්.ඒ. ගාමිණී සී. විජේවර්ධන  
89 සරසවි අසපුව, හපුගල, ගාල්ල