දෝනාව ඇතුළේ දී විෂ වායුවක් මතුවෙයි


මැණික් නිම්නයේ යකඩ මිනිස්සු-6

 

 

තට්ටු දහ අටක් විස්සක් විතර පොළොව අඩියට, සිරිමානිස් බාසුන්නැහැ සමග තව අත්උදව්වට තරුණ විය ඉක්ම වූ ඇඟපත ඇති කම්මැලි නැති පිරිමියෙකුත් බැස්සේ ය. හොඳින් ඉර පායා තිබූණ නිසා පතලේ අඩිය ද යම් තරමකින් ආලෝකමත් විය. සිරිමානිස් බාසුන්නැහැ බහින්නට පෙර ලණුවක් ආධාරයෙන් පතලේ අඩියේ යෝග්‍යතාව පරීක්‍ෂා කිරීමට පහත් කළ දෝනා ඉටිපන්දමේ දැල්ල උඩ අතට දැල්වෙයි. මහ පොළොවේ අඩි තිහක් පමණ යටට කිසිදු සුළඟක් හෝ නොලැබෙන නිසා ඉටිපන්දමේ දැල්ල එලෙසම එහෙට මෙහෙට නොසෙල් වෙයි.
   
අලුත් දවසක වැඩ ආරම්භයට සූදානමින් සිරිමානිස් බාසුන්නැහැ මේ ලෑස්ති වෙන්නේ දෝනාවේ ඈතට යන්නය. එසේත් නැත්නම් පොළොව යට ඇති ගුහාවටකට රිංගන්නටය. ඒ නිකමටනම් නොවේ. මහපොළොවේ සැඟවුණ මිණිකැට සොයන්නටය. තමන්ගේත් අඹු දරුවන්ගේත් හෙට දවස සාර්ථක කරන්නට ධනය සොයන්නටය.   


මේ වනවිට අසූ දෙවැනි වියේ පසුවන බී.එම්. සිරිමානිස් බාස්සුන්නැහැ කුරුවිට, බටුහේනේ කොස්ගොඩ නිවසේ පදිංචිව සිටීයි. ඔහු තවමත් පතල් රස්සාවට ආයුබෝවන් කියා නැත. ඉලංදාරියා කාලයේ මෙන් හයි හත්තිය ගතට නැති නිසා දැන් ගොඩ පතලක් දෙකක් කපන්නේ පරණ පුරුද්දටය.   


පැය දොළහක පමණ කාලයකට පසු මේ දෝනාවට බැස්ස නිසා ඉදිරියට යන එක ලොකු අවදානමකි. වතුර පිරී තිබී ඉවත් කළ පසු එහි තත්ත්වය ගැන දන්නේ නැත. කාටත් කලින් ඉටිපන්දම අවදානමක් ඇත්නම් කියන්නට සූදානම් ය.   


දෝනාව ලී වලින් සවිමත්ව ඇතත් ගෙවුණ පැය කිහිපය තුළ කුමන වෙනස්කමක් සිදුව ඇද්දැයි නොදනී. එබැවින් දෝනාව ඇතුළට ගමන් කිරීම පරිස්සමෙන් කළ යුතුය. සිරිමානිස් බාසුන්නැහැලගේ පතලේ දෝනාව ආරක්‍ෂිත බව තහවුරු විය. දැන් ඉතින් දවසේ වැඩ ඇරඹිය යුතුය. ඉල්ලම් ගැනීම ඇරඹිණි. එහෙත් දෝනාව තුළ කඩිමුඩියේ කලබලයෙන් වැඩ කළ නොහැක. මිනිරන් ඉල්ලමක් හමුවුනොත් ඉවුරු කඩා වැටීමේ අවදානම වැඩි නිසා දිගන් ලී, පුවක් රීප්ප සහ කැකිල්ල අතු යොදා බිත්ති වැර ගැන්විය යුතුය. මේ කියන පතලේ ඇත්තේ මැටි ඉල්ලමකි. පරිස්සමෙන් ඉල්ලම් කඩ කඩා සිරිමානිස් බාසුන්නැහැ ඒ ඉල්ලම් ටික පසුපසට කරයි. එසේ පසුපසට එන ඉල්ලම් කූඩයට දමා උඩට යැවීම අනෙක් හවුල්කරුගේ වගකීමය.   


‘‘මෙහෙම ඉල්ලම් කඩකඩා යනකොට මට තේරුණා එතනින් එහාට පස් තට්ටුව හයිය නැති බව. පුස්සක් ද කියලා කියන්න බෑ. එහෙම වුණොත් විෂ වායුව තියෙන්න පුලූවන්. ඉටිපන්දමේ උඩ එකපාරටම නිල් දැල්ලක් ආවා. යකඩෙ ගැහුවට මට සැකයි. ඊට පස්සේ යකඩේ ලණුවේ ගැට ගහලා ඇදලා ගන්න පුළුවන් විදියට ගැට ගහලා අතට අහුවුණ ආයුධ ටිකත් අරගෙන පතු වළට ඇවිත් අපි දෙන්න තට්ටු විස්සම උඩට ආවා. අපි එනකොට වතුර පාර සැරට ආවේ නෑ. කොයිකටත් කියලා උඩ හිටි අයට කිව්වා ලණුවෙන් අදින්න කියලා.’’   

 

 

‘‘ඒ ලණුවෙන් තමා ඉල්ලම් කූඩෙ උඩට දෙන්නේ. ලණුව පරිස්සමෙන් ඇද්දා. බුරුලට වගේ ලණුව දෝනාව දිගේ පතුවළට ඇදෙන බව දැනුණා එතකොට පහළ බලද්දී පතුවළේ වතුර පිරීම ඉක්මන් වුණා. තෙල් කට්ටයක් වගේ වතුර පිරුණම පෙනුණා. පුස්සක් (මීට කලකට පෙර කපන ලද මැණික් පතලක පිරවූ පසු ඉතිරි වන කොටස) හිල්වෙලා.’’ සිරිමානිස් බාසුන්නැහැ කීවේ ය.   


දෝනාවේ බිත්තිය කඩමින් ඉල්ලම් ගනිද්දී හැම තැනම තදට දැනුණත් එක් තැනක දී තදින් අඩු බව දැනුණ නිසා සිරිමානිස් බාසුන්නැහැට සැකයක් මතුවිය. එසේම ඉටිපන්දමේ දැල්ල නිල් පැහැයට ගෙන ලොකු එළියක් නංවමින් දැල්වීම ද මේ සැකයට හේතුවක් විය. ඒ නිසා දෝනාවේ ඉවුරට ඇන්න යකඩය ආපසු අදින්නේ නැතුව එහි කෙළවර ලණුවෙන් බැඳ වහාම දෝනාව දිගේ පතුවළ තෙක් පැමිණ ගොඩට එන්නට ක‍්‍රියා කළේ පුස්ස හිල් වී විෂ වායුවක් දෝනාවට ගලා ආ හැකි නිසාය. එය ආඝ‍්‍රාණය වීම මාරාන්තික ​ෙවන්නට ඉඩ තිබුණි.   


පතළෙ දෝනාවට පුස්සක් අහුවුණ බව සියලු දෙනා දැනගත්හ. එවැනි අවස්ථාවක වළට බැසීම ඉතාම අවදානම්ය. සියලු දෙනාම දැන් ඉන්නේ දෙගිඩියාවෙනි. එදිනට පතලේ වැඩ අවසන් විය. අත්දැකීම් නොතිබුණානම් ජීවිත වලින් වන්දි ගෙවන්නට ඉඩ තිබුණි. පතල් රස්සාව ඒතරමටම භයානකය. අවදානම කොතැනකදැයි කියන්නට කිසිම කෙනෙකුට හැකියාවක් නැත. පතල් වළට වතුර පුරවා අමු කැකිල්ල මිටි ඒ වතුරට බස්සවා ඒවා සෙලෙවමින් තබා වතුර ඉවත්කර නැවතත් පුරවා කැකිල්ල මිටි යොදා සොලවා නැවත වතුර ඉවත්කර විෂ වායුව ඉවත්කර පතලට බැසීම කළ බව සිරිමානිස් බාසුන්නැහැ පැවසුවේ ය.   


සමහර මැණික් පතල් තට්ටු තිහ හතළිහ ගැඹුරු ඒවාය. තට්ටුවක උස අඩි එකහමාරක් නිසා තට්ටු ගණන කී සැණින් පතලේ ගැඹුර කිව හැකිය. එවැනි මැණික් පතල් අනිවාර්යයෙන් දෝනා පතල් ය. සමහරවිට ඒ මැණික් පතලට වයස අවුරුදු තුන හතරක් විය හැකිය. මීට පෙර ද මැණික් පතල් ගැන සිය අත්දැකීම් අපට කී කුරුවිට බටුහේනේ සමන් රාජපක්‍ෂ මහතාගේ තට්ටු පනස් දෙකක මැණික් පතලක් තිබිණි. සාමාන්‍යයෙන් එහි ගැඹුර පොළොව මට්ටමේ සිට අඩි අසූවකට ආසන්නය.   


‘‘මේ පතල මම පටන් ගත්තේ 1995 අවුරුද්දේ. දැන් වගේ නෙවෙයි ඉස්සර මැණික් පතලකට ලයිසන් එකක් ගන්න එක අමාරු නෑ. ඒ කාලේ හැටියට ලයිසන් එක ගන්න මට රුපියල් තුන් දාහක් විතර යන්න ඇති. අද වියදමයි එදා වියදමයි අතර වෙනස බැලුවොත් හිතා ගන්න බෑ. ඔය තට්ටු පනස් දෙකේ පතලේ බහින වෙලාවේ පතලවලට යොදාගන්න දිගන් කඳක් රුපියල් සීයයි. අද රුපියල් දාහයි.’’ සමන් රාජපක්‍ෂ මහතා මුදලේ අගය වෙනස්වීම පැහැදිලි කළේ ය.   


‘‘මැණික් පතල් ගැඹුරු වෙන්න වෙන්න එහි පතුල අඳුරු වෙන එක වළක්වන්න බෑ. දෝන ඉටිපන්දම් දෙකක් විතර පත්තු කළාට එළිය මදි. පතල තියෙන්නේ ගෙයක් ආසන්නයේ නම් සමහරු විදුලි රැහැන් ඇදලා පතලේ අඩියට බල්බ් එකක් දාගන්නවා. හැබැයි ඒක නීති විරෝධීයි.’’ සමන් රාජපක්‍ෂ මහතා පැවසුවේ ය.   


ගැඹුර පතලක ඇතුළට විදුලි රැහැන් ඇදීම ඉතා අවදානම්ය. යම් අවස්ථාවක විදුලිය කාන්දුවීමක් සිදු වුණොත් එය ජීවිත හානි ගෙන දෙන අවස්ථාවක් විය හැක. එනමුදු ගැඹුර පතල්වල දෝනා ඇතුළ ද ආලෝකමත් කරන්නට විදුලිය යොදාගන්නා අවස්ථා අප අසා තිබේ.   

 

 

’‘අපි තට්ටු පනස් දෙකෙන් තවත් පහළට යන එක නැවැත්තුවා. එතකොට අපි පතලේ කිහිප වතාවක්ම ඉල්ලම් අරගෙන තිබුණේ ඉල්ලම් ගන්නවා. ඉවර වුණාම ආය පහළට හාරාගෙන යනවා. ඉල්ලම් හම්බවුණ තට්ටු මොනව ද කියලා අප දන්නවා. ඒ වුණාට තව පහළට යන්න අදහසක් තියනවනම් මැද දී දෝන යන්නේ නෑ. පහළටම තමයි බහින්නේ. ගලක් අහුවුණොත් ඒකත් කඩාගෙන බහිනවා. අපි තට්ටු පනස් දෙකක් ගිහිං පතලේ නවත්වන කොට අපිට කොළපාට මැට්ටක් අහුවුණා. මැටි ගතියට තිබුණ ඒ ඉල්ලමේ දිරපු ලී කොටත් තිබුණා. කොළ පාට කිව්වාට කළුපාට මැටි වගෙයි.’’ සමන් රාජපක්‍ෂ මහතා විස්තර කළේ ය.   


සමන් රාජපක්‍ෂ මහතා මෙන්ම පතල් කර්මාන්තයේ නියැළි හැම දෙනාම කියන්නේ මැණික් පතලක සෑම වැඩක්ම ආරම්භ කරන්නේ දෙවියන් බුදුන් නැමදීමෙන් ය.   


‘‘මැණික් පතලක දෝනාවක් පුරන කොට දෙවියන්ට පහනක් එහෙම පත්තු කරලා තමයි වැඩ පටන් ගන්නේ. තට්ටු පනස් දෙකක් යට දෝනා පටන් ගන්නවා කියන එක ලේසි නෑ. පතලෙ පටන් අරං අවුරුදු හතරකට විතර පස්සේ නිසා උඩ තියන තට්ටු, යට තියන පස් සහ අනිකුත් දේවල් උඩට ගන්න ‘ආඬියා’ එහෙම සම්පූර්ණයෙන්ම අලුත් කරන්න ඕනෑ. දිරන්න ගිය ‘වහල් පොලු’ අලුත් කරන්න ඕනෑ. සමහර වෙලාවට අලුතින් ‘දබරයක්’ හයිකරන අවස්ථාත් තියනවා.’’ ගැඹුර තට්ටු පතලක දෝනා ආරම්භය විස්තර කළ සමන් රාජපක්‍ෂ මහතා පැවසුවේ ය.   


දෝනා මැණික් පතල් ගැන කියන විට අපූරු සිදුවීම් ගැනත් අසන්නට තිබේ. සමහර දෝනා අඩි සීය දෙසීය පොළොව යටින් ඈතට යයි. බලපත‍්‍රය ගෙන පතල ඇති ඉඩමේ මායිම පැන අල්ලපු ඉඩම්වල මායිම ද සොයාගෙන යන මේ දෝනාවන් ගැන අල්ලපු ඉඩමේ අය දන්නේ නැති අවස්ථා එමටය. අල්ලපු ඉඩම ගිලා බැස්සොත්, එසේත් නැත්නම් ඒ ඉඩමේ තට්ටු පළතලක් බැස ඉල්ලම් පාර ඔස්සේ දෝනා ගියොත් මිස එවැනි දෝනා යාමක් ගැන නිශ්චිතව දැන ගන්නට නැත.   


මැණික් පතලකට බලපත‍්‍ර දීමේ දී කොන්දේසි ගණනාවකි. පොදු මාර්ගයකට ආසන්නයෙන් පතල් බැසීමට අවසර නොදෙයි. ඒ නිසා ප‍්‍රධාන පාරකට අඩි සීය හමාර දුරින් පතල තිබෙද්දී හිටි හැටියේ පාරවල් ගිලා බසින අවස්ථා තිබේ. මීට වසර දෙකකට පෙර කුරුවිට නගරයේ සිට පාතගමට යාමට ඇති මාර්ගය ගිලා බැස්සේය. අඩි පහළොවේ විස්සේ මහ වළක් පාරේ ඇතිවිය. පාර දෙපැත්තේ වූ මැණික් පතල් වලින් ආ දෝනා නිසා ඒ තත්ත්වය ඇති වූ බව පසුව අනාවරණය විය. දැන් හැම දාම ඒ ස්ථානය ගිලා බසිමින් පවතී. පස් සහ ඒබිසී ගල් දමා පිරවීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත්තේ දෝනා යෑම ද නොනැවතී සිදුකරන නිසා විය යුතුය.   
වරක මැණික් හා ස්වර්ණාභරණ අධිකාරීයෙන් කොළඹ වැටලීම් අංශයේ නිලධාරින්ට ලැබුණ පැමිණිල්ලක් අනුව එවැනි මැණික් පතලක් වැටලුවේ ය. මැණික් පතල බලපත‍්‍ර ඇති එකකි. චෝදනාව වූයේ දෝනාවක් පාරට කපා ඇති බවය. විමර්ශන නිලධාරීන්ට දෝනාව පරීක්‍ෂා කිරීමට කිහිප දෙනෙකුට දෝනාව කරා යාමට අවශ්‍යය. දෝනාව ඇතුළට යන්නට නම් ඔක්සිජන් මැෂිම ක‍්‍රියාකළ යුතුය. පතල කැපූ අය දෝනාවේ ගමන් මග දන්නා නිසා ඔවුන් විමර්ශන නිලධාරීන්ට පහසුකම් සැපයීම හිතාමතාම මග හැරියේය.   


පසුදා ඊට සූදානමින් විමර්ශන නිලධාරීන් පැමිණිය ද පතලේ වැඩ කරන අය නොපැමිණියහ. දෝනා පරීක්‍ෂාව නොකරන තැනට වැඩ යෙදීම පතල්කරුවන්ගේ උවමනාව විය. තට්ටු දහයක් පහළොවක් පොළොව යටට ඇති මැණික් පතලකට බසින විට පතලේ බාස්සුන්නැහැගේ හෝ ජ්‍යෙෂ්ඨ පතල්කරුවෙකුගේ සහාය ලබා ගැනීම ආරක්‍ෂිතය. නැත්නම් විවිධ අනතුරු නොදැනුවත්කම නිසා සිදුවිය හැකිය.   


එපමණක් නොවේ වතුර පිරී ඇති මැණික් පතලක් නම් මැෂින් යොදා වතුර ඉවත් කරගත යුතුය. වතුර නිතර පිරෙන්නේ නම් මැෂිම ක‍්‍රියාත්මක කර වතුර ඉසිය යුතුය. ඒ සඳහා උපකාර ගන්නේ පතලේම අයගෙන් වුවත් වැටලීමකට එන නිලධාරීන් කිහිප දෙනා අතර සෑම සුදුසුකමක් ම ඇති නිලධාරීන් සිටින නිසා බලපත‍්‍රකරුට හෝ පතලේ සේවකයන්ට අභියෝග කිරීම අපහසුය.   

 

 

මැණික් හා ස්වර්ණාභරන අධිකාරියේ වැටලීම් අංශයේ සේවය කර දැනට විශ‍්‍රාම ලබා සිටින ජ්‍යෙෂඨ නිලධාරියෙකු ඇතුළු හදිසි වැටලීම් ඒකකය මෙවැනි මැණික් පතලක් වටලන්නට ගියේ මීට වසර පහ හයකට පෙරදීය.   
‘‘අපේ කණ්ඩායමට සහාය දෙන්න වෙනවට පතලේ සේරම මඟහැරියා. ඒ නිසාම අපිට ආපු පැමිණිල්ල ගැන යම් අදහසක් ආවා. හුළං මැෂිම අපි ස්ටාර්ට් කළා. වතුර මැෂිමත් අපි පණ ගන්වලා වතුර ඉස්සා. පතල් වළ ඇතුළේ පරීක්‍ෂා කරන්න යන්න අපිත් එක්ක එන්න පතලෙ කෙනෙක් නෑ. බලපත‍්‍රකරුට කතා කරලා ඔහු ගෙන්වා ගත්තා. නමුත් වැඩ කරන අය ආවේ නෑ. අපිත් අතෑරියේ නෑ. අපේ නිලධාරීන් කිහිප දෙනෙක් උඩ තියලා තව කිහිප දෙනෙක් බැස්සා. පතුලට බැහැලා පතුවළේ එක්කෙනෙක් හිටියා. දෝනා ඇතුළේ තුන් දෙනෙක් ගියා. අපි ආරක්‍ෂාවට ඉටි පන්දම් දල්වාගෙන ගියේ. ලොකු විදුලි පන්දමකුත් අපි අතේ තිබුණා. අඩි හැත්තෑවක් විතර එක පැත්තට දෝනාව ගිහිං එතන බංගලා වළක්. එතැන ඉඳලා දෝනාව වෙනත් දිසාවකට හැරිලා. ඒ පැත්තට අඩි තිහක් විතර ගියාට පස්සේ ආයෙත් බංගලා වළක්. නැවතත් දෝනාව වෙනත් දිසාවකට හැරිලා.’’   
‘‘මේ කියන මැණික් පතල සම්බන්‍ධයෙන් ආපු පැමිණිල්ලෙන් කියූ චෝදනාව සම්පූර්ණ සත්‍ය එකක්. මැණික් පතල එක ඉඩමක. ඉල්ලම් ගන්නේ තව ඉඩමකින්. ඒ මදිවට බස් යන ප‍්‍රධන පාරකුත් හරහා දෝනාව ගිහිං. මේ පරීක්‍ෂාවට අපිට දවස් දෙකක් ගියා. මැණික් සොයා අනවසරයෙන් කපන ගොඩ පතල් වැටලීමත් බලපත‍්‍ර ගෙන කපන මෙවැනි දෝන පතල් පරීක්‍ෂා කිරීමත් අන්ත දෙකක වැඩක්.’’ විශ‍්‍රාමලත් වැටලීම් නිලධාරියා පැවසුවේ සිය අනන්‍යතාවත් වැටලීම් කළ පතලේ අනන්‍යතාවත් හෙළිදරව් නොකරන පොරොන්දුව මතය.   


මීට දෙසතියකට ඉහතදී රත්නපුර කොළඹ පාරේ බෝධි මළුව හන්දියෙන් දකූණට ඇති පොහොබාව පාරේ අපුරු සිදුවීමක් විය. කාපට් අතුරා ඇති මේ පාරේ මියනදෙණිය ප‍්‍රදේශයේදී පාර අයිනෙන් වට අඩි අටක පමණ විෂ්කම්භය ඇති වළක් ඇතිකරමින් පාර ගිලා බැස්සේය. මියනදෙණියේ පදිංචි යූ. පී. කරුණාදාස මහතා හිටියේ පාර ගිලා බැස්ස තැනට ටිකක් නුදුරිනි.   


කරුණාදා මහතා පැවසුවේ මේ පාර ගිලා බැස්ස තැනට යාබ ද ඉඩමේ පාරට අඩි සීයක් පමණ දුරින් 1973 අවුරුද්දේ දී මැණික් පතලක් කැපූ බවයි. පාරේ මැණික් පතලක් නොකැපූ නමුත් ගිලා බැස තිබුණේ එසේ කැපු මැණික් පතලේ දෝනාවක්ය. ගිලා බැස්ස වළ ඇතුළ බලද්දී අඩි පහ හයක පස් තට්ටුවට යටින් පතල් මුක්කු පවා පෙනුණා. පාර කාපට් කරන අවස්ථාවේදී බර යන්ත‍්‍ර සූත‍්‍ර එතැනින් එහා මෙහා ගියත් අනතුරක් නොවීය. පොදු මගී බස් රථ මගීන් පුරවාගෙන එහාමෙහා ගියත් අනතුරක් නොවීය. වෙනත් වාහන නිතර එහා මෙහා ගියද ඒවාට ද අනතුරක් නොවීය. රාත‍්‍රියක මේ අනතුර සිදු නොවුණ නිසා වෙන්නට ගිය බරපතළ අනතුරක් වැළකී ගියේ ය.   


‘‘යුද්ධය තිබුණු පළාත්වල යට කරලා තිබුණ බිම් බෝම්බ ආයුධ වගේ තමයි රත්නපුරේ දෝන පතලුත්. පතල තිබුණේ අර පැත්තේ. දෝනාව මේ පැත්තට ඇවිල්ලා. හැබැයි ඉතිං ගමේ කවුරුත් දන්නේ නෑ කිව්වාට පාර යට දෝනාව කියලා දැනගෙන හිටියේ. පාර හදද්දි කඩාවැටෙයි කියලා බලබලා හිටියට වුණේ නෑ. ඒ හින්දා මෙතන කඩා වැටෙයි කියලා කවුරුවත් හිතුවේ නෑ.’’ වියපත්ව සිටින කරුණාදාස මහතා පැවසුවේ මැණික් පතල් කර්මාන්තයේ අවදානම ඇත්තේ පතලකරුවන්ට පමණක් නොවන බව සිහියට නංවමිනි.   

 

 


තවත් කොටසක් ලබන සතියට .......  

 

 


සටහන සහ ඡායාරූප
අජිත්ලාල් ශාන්තඋදය