දේශපාලකයන් ඡන්දෙ කාලෙදි කන්දෙ විහාරයට ඇවිත් කරන භාරය මොකක්ද ?


 

මිනිසුන්හට නොයෙකුත් ප්‍රශ්න ගැටලු ගලා එන විට එයින් සහනයක් පතා නොපෙනෙන දෙවියන් ඇදහීම අතීතයේ සිටම පැවතුණි. නොපෙනන බලවේග කරා ඔවුන් යොමුවීමත්, විවිධ ඇදහිලි මගින් දෙවියන්ගේ පිහිට පැතීමත් අදටත් බොහෝ දෙනා අතර සිදුවෙයි. විශේෂයෙන්, සිද්ධ- සූනියම්, ගම්භාර, සත්පත්තිනි, කතරගම දෙවියන් සහ විෂ්ණු දෙවියන්ගෙන් පිහිට පතා බොහො දෙනා යොමුවීම දක්නට පුළුවන.

අප පසුගිය සතියේ කථා කළේ විෂ්ණු දෙවියන් පිළිබඳ ජනතාව තුළ පැවති විශ්වාසය හා බැඳුණු සිද්ධීන් කිහිපයකි. ඒ අතරම විෂ්ණු දෙවියන්ගේ මුල්ම වාසභූමිය දෙවිනුවර උපුල්වන් දේවාලය බවත් පසුව 1734 දී පමණ අලුත්ගම කන්දෙවිහාරයේද විෂ්ණු දෙවියන් සඳහා දේවාලයක් ඉදි කරමින් ජනතාවගේ නොයෙකුත් ප්‍රශ්නවල දී පිහිටවන ආකාරය පිළිබඳ අප කථා බහ කළේ කන්දෙවිහාර ක්ෂේත්‍රාරාම විහාරාධිකාරී කොක්කාවිට විපුලසාර ස්වාමින් වහන්සේ සමඟයි.  


• විෂ්ණු දෙවියන් ගැන තවදුරටත් සඳහන් කළොත් නායක හාමුදුරුවනේ?  

ලෝක පාලක ශාසන පාලක විෂ්ණු දෙවියන් බොහෝ දෙනෙකු ඉතාමත් භාක්තියාදරයෙන් අදහන දෙවි කෙනෙක්. මොකද උන්වහන්සේට තමයි මේ ශාසනය බාරව කටයුතු කරන්න පවරලා තිබෙන්නේ උන්වහන්සේ පින්වන්ත අයට බොහෝ පිහිටක් ලබාදෙනවා. හැබැයි ප්‍රතිපත්ති ගරුකවම අදහනවනම්. උන්වහන්සේගෙන් පිහිටක් ලබාගන්න පුළුවන්. දැන් අපිට පෙනෙනවානේ මේ කන්දෙවිහාරයේ විෂ්ණු දේවාලයට පැමිණෙන ජනතාව දිහා බැලුවම. පිහිටක් පතාගෙන දිවයිනේ නන්දෙසින් ජනතාව පැමිණෙනවා. එද‌ා මෙද‌ා සිට පත් වූ සෑම රාජ්‍ය නායකයකුම වගේ මේ දේවාලයට පැමිණ තිබෙනවා. විවිධ බාර හාර වෙන්න. මට මතකයි හිටපු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා වෙච්ච බාරයක්. නිදහස් කරන්න පූජාකරපු වටිනා පුටුවක් තවමත් කෞතුකාගාරයේ ආරක්‍ෂිතව තබා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි විවිධ බාර හාරවලට වුණු දේවල් තවමත් මේ කෞතුකාගාරයේ සුරක්‍ෂිතව තැන්පත් කර තිබෙනවා. බොහෝ දේශපාලනඥයින් තමන්ගේ ජයග්‍රහණය පතා බාර වෙලා ඒ ජයග්‍රහණ ලබපුවම විවිධ පූජා භාණ්ඩ පරිත්‍යාග කර තිබෙනවා.  


• විශේෂයෙන්ම භාර හාර වෙන්න පැමිණෙන පිරිසක් ඉන්නවාද?  

එහෙම විශේෂ පිරිසක් කියලා නැහැ. මොකද දැන් ජනතාව තුළ දේව සංකල්පය කියන එක වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා කුමන හෝ කරදරයක්, මානසික ගැටලුවක්, වගේ පීඩාවට පත් වුණාම දෙවියන්ගේ පිහිට පතා පැමිණෙනවා. ඔවුන් තුළ දෙවියන් කෙරෙහි විශ්වාසයක් තිබෙනවා. යම් කිසි සහනයක් ලැබෙනවා කියලා. ඒ නිසානේ ඔවුන් විවිධ පූජාභාණ්ඩ රැගෙන නැවත ඒවා ඔප්පු කිරීමට පැමිණෙන්නේ. විශේෂයෙන් අසනීප ඇති අය ලෙඩ රෝගවලින් පීඩා විඳින අයගේ ඥ‌ාතීන් පැමිණ බාර හාර වෙනවා. ලෙඩ රෝග සුවපත් වූවාම ඒවා ඔප්පු කරන්න. ඒ අය හුඟ දෙනෙක් බාර වෙන්නේ ප්‍රාණයට ප්‍රාණයක්, හදවත් රෝගීන් නම් හදවතේ හැඩයට නිර්මාණය කළ පූජා භාණ්ඩයක් වගේ දෙයක්.  


• ප්‍රාණයට ප්‍රාණයක් කියලා බාර හාර වෙන්නේ කොහොමද?  

ප්‍රාණයට ප්‍රාණයක් කියලා බාර වෙන්නේ එක්කො මරණයට කැපවුණු ගවයෙක්. සැවුලෙක් (කුකුලෙක්) එළුවෙක් වගේ දේවල්. නැතිනම් පොල් පැළයක් වගේ දෙයක් තමයි. තමන්ගේ ඥ‌ාතියා සුවපත් වූවාම ඔහුත් සමඟ ඒ භාරය ඔප්පු කරන්න පැමිණෙනවා. එහෙම හුඟ දෙනෙක් අපිට මුණ ගැහිලා තිබෙනවා. තවත් විශේෂ දෙයක් තමයි මේ පළාතේ කෘෂිකර්මාන්තයේ නිරත අය සිය අස්වැන්න නෙළා ගත්ත ගමන් බුදුන්ට අග්‍රකොටස පූජා කරලා දෙවන කොටස මේ විෂ්ණු දේවාලයට ගෙනැවිත් පූජා කරනවා. මේ පළාතේ නොවෙයි දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලින් විවිධ පුද්ගලයන් පැමිණෙනවා. භාර හාර වෙන්න. ඔවුන්ට ඒවා හරි ගිහිනුත් තිබෙනවා. ඒකනේ දිනපතාම බැතිමතුන් පැමිණෙන්නේ විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න.  

 
• කන්දවිහාරයේ විෂ්ණු දේවාලය ප්‍රසිද්ධ වුණේ කොහොමද?  

අපි කලින් සඳහන් කළානේ මේ විහාරස්ථානය ආරම්භ කළේ 1734 දී කියලා. ඒත් එක්කමයි විෂ්ණු දේවාලයත් ආරම්භ කළේ. එද‌ා ඉඳලම මේ දක්වාම ඒ.ඒ පුද සත්කාර කරනවා. ඒකයි මෙතන විශේෂ බලයක් තිබෙන්නේ. විෂ්ණු දෙවියන් බොහොම පිං කළ ඇත්තෙක්. බොහොම බලයක් තිබෙනවා. අපි සඳහන් කළානේ අවතාර 10කින් විෂ්ණු දෙවියන් පෙනී සිටිනවා කියලා මේ විශ්වය පුරාම උන්වහන්සේගේ බලය පැතිරිලා තිබෙනවා. නමුත් උන්වහන්සේ අදහන්නේ ඉන්දියාව ශ්‍රී ලංකාව වගේ රටවල්වල බැතිමතුන්. ලංකාවේ බුදු දහම ව්‍යාප්තියත් එක්කම දේව සංකල්ප බිහි වුණානේ. එහිදී විෂ්ණු දෙවියන්ට විශේෂ තැනක් එහිදී හිමි වෙනවා. විෂ්ණු දෙවියන්ට එද‌ා සිට මේ දක්වා ලංකා ඉතිහාසයේ පිං පෙත් අනුමෝදන් කරලා දේව පිහිට පතපු සමාජයක්නේ ඉතින්.   


• කන්දේවිහාරයේ විෂ්ණු දේවාලයේ පුද සත්කාරවල විශේෂයක් තිබෙනවා ද?  

මේ දේවාලයේ විෂ්ණු දෙවියන්ට පුද සත්කාර ආරම්භ කරන්නේ අලුයම 4.30 ඉඳලා අලුයම පහන් පත්තු කරලා රාත්‍රී 9.00 වෙනකම් දේවාලය දිනපතාම විවෘතව තබනවා. මෙතනට එන සෑම බැතිමතෙකුටම වෙන් වෙන් වශයෙන් යාතිකා කරලා ඔවුන්ගේ දුක් ගැනවිල්ල දෙවියන්ට කියලා පිහිටක් පතනවා. ඒක නිසා බොහෝ බැතිමතුන් පැමිණෙනවා. දෙවියන් වන්දනා මාන කරන්න. බැතිමතුන්ට තිබෙන නොයෙකුත් ගැටලුවලට විසඳුම් සොයන්න. අදෘෂ්‍යමාන බලවේගවල පිහිට පතනවානේ. ඒක අතීතයේ සිට අද දක්වාම තිබෙනවා. දැනුත් බැතිමතුන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තමයි බෝධියටත් ජීවමාන ස්වරූපයක් දීලා, දේව වන්ද‌ාව වෙනම කරගෙන යන්නේ. අපි වැඩිපුරම ජීවත් වෙන්නේ දෙවියන් අදහන ලෝකයකනේ. බෞද්ධ සංකල්පයක් එක්ක ගොඩ නැගුණු විෂ්ණු දෙවියන් ගැන සිතලා උන්වහන්සේට පිං අනුමෝදම් කරලා පිහිටක් ලැබේවා කියලා බාරහාර වෙමින් බලාපොරොත්තු වෙන්නේ.  


• ඇත්තටම දෙවියන්ගෙ පිහිටක් තිබෙනවාද?  

දෙවියන්ගේ පිහිටක් තිබෙනවා කියලා මිනිසුන් තුළ තිබෙන විශ්වාසය උඩ තමයි මේ සියලු දේවල් සිද්ධ කෙරෙන්නේ. ඒ තුළින් මානසික සහනයක් ලබලා ඒක දේව පිහිටක් වශයෙන් සලකන ස්වරූපයක් ජනතාව තුළ තිබෙනවා. ඒක සමාජගත ආකල්පයක්. මිනිසුන් දෙවියන් දිහා බලාගෙන ඉල්ලීමක් කළාම එය ඉටු වෙනවා කියලා විශ්වාසයක් පවතිනවා. ඇත්තටම ඒ විදිහට බාර වෙලා ගියාම බලාපොරොත්තු ඉෂ්ට වෙලා භාර හාර ඔප්පු කරන ක්‍රමයක් මුල් යුගයේ ඉඳල මේ දක්වාම තිබෙනවා. අඛණ්ඩවම විශ්වාස කරනවා. සියලුම දෙනා තුළ බෞද්ධ බැතිමතුන් තුළ විතරක් නොවෙයි. අන්‍යාගමිකයන් තුළ පවා ඒ විශ්වාසය තිබෙනවා. මිනිසුන් තමන් අදහන කිසියම් බලවේගයක පිහිටක් තිබෙනවා කියන විශ්වාසය මත ඔවුන්ට පිහිටක් තිබෙනවා. මේ දේව සංකල්පය අපේ සමාජයෙන් ඈත් වෙලා නැහැ. දේව සංකල්පය බුදුදහමට අනුගත වුණාද? නැද්ද? කියන එක වෙනම කරුණක් වුණාට අදෘෂ්‍යමාන බලවේගයක පිහිට පතන ස්වරූපය අප සමාජය තුළ තිබෙනවා. ඒක බුද්ධාගම අදහන අය අන්‍යාගමික පිරිස් දෙවියන්ගෙන් බලාපොරොත්තු තබාගෙන සිටිනවා. අපේ බෞද්ධාගමට සම්බන්ධ දෙවියන්ගෙත් පිහිටක් තිබෙනවා කියලා පිහිටක් ලැබෙනවා කියලා විශ්වාසයක් තිබෙනවා. විශේෂයෙන් කතරගම දෙවියන් කෙරෙහිත් විෂ්ණු දෙවියන් කෙරෙහි සමන් දෙවියන් කෙරෙත්. අප දන්න විදිහට, අහල අත්දැකීම්වලින් අප දන්නවා කුමන හෝ බලවේගයක් මේ විෂ්ණු දේවාලය තුළ තිබෙනවා කියලා. දැන් බුදුහාමුදුරුවන්ගෙන් පිහිටක් පතන්නේ අප වෙනත් ආකාරයකින්නේ. උන්වහන්සේගේ ධර්මය අදහසින් ප්‍රතිපත්තිගරුකව යන සමාජයක්නේ බෞද්ධ දර්ශනය තුළ තිබෙන්නේ. ඊට වඩා එදි​ෙනදා පැමිණෙන කරදරවලට පිහිටක් සොයන්න ගිය පිරිසක් තමයි මේ දේවාලයට පැමිණෙන්නේ. එතන දී කන්දෙවිහාරයේ මහා විෂ්ණු දේවාලයටත් ප්‍රධාන තැනක් හිමිවෙනවා.  


• විෂ්ණු දෙවියන්ට පූජාවක් තබන්න විශේෂ ක්‍රමයක් තිබෙනවා ද‌?  

කන්දෙවිහාරයේ විෂ්ණු දේවාලය වෙනත් දේවාල වගේ වේලාවෙන් වේලාවට විවෘත කරන ක්‍රමයක් නොවේ තිබෙන්නේ. මුලින් සඳහන් කළ විදිහට අලුයම 4.30 දොර විවෘත කළාම රාත්‍රී 9 වෙනකම්ම නොකඩවා බැතිමතුන් යාඥ‌ා කරලා පිහිටක් පතනවා මේ ප්‍රදේශයේ ජනතාවගේ විශේෂ පූජාවක් තමයි අස්වනු නෙළා ගන්න ගමන් කිරිපිඬු පූජා කරන ක්‍රමය. ඒක එද‌ා සිට අද දක්වාම නොකඩවා කෙරීගෙන එනවා. ඔවුන් ඒක කරන්නේ විෂ්ණු දෙවියන් උදෙසා කරන පූජාවක් විදිහටයි. කිරිපිඬු පාත්‍ර 3ක් හෝ 7ක් ලෙස බාරවෙනවා පූජා වට්ටියක් එක්ක. නිල්මල් වට්ටි 7යි. නිල් තිරයක් වගේ එක එක්කෙනා බාර වෙනවා.  


• ඒක නියමයක් තිබෙනවාද?  

එහෙම නියමයක් නැහැ. ඒක අපිවත් කපු මහත්වරුන්ගේ නියෝගයක් නොවෙයි. ඒක බැතිමතුන් සාම්ප්‍රද‌ායිකව කරගෙන ආව දෙයක්. චාරිත්‍රයක් ලෙසයි ඔවුන් තුළ තිබෙන්නේ. එක එක ඇදහිලිවල තිබෙන සම්ප්‍රද‌ායක්. ඒක මුඛ පරම්පරාවෙන් පැමිණෙන ක්‍රමයක්. අම්මගෙන්, තාත්තගෙන්, සීයගෙන්, ආච්චිගෙන් වගේ පරම්පරාවෙන් එන ක්‍රමයක්. ඒ දරු පරම්පරාවෙන් ඒ විදිහට ඒ ක්‍රමය අනුගමනය කරනවා.  


• පූජාවට්ටියක් පූජා කිරීම අනිවාර්ය ද?  

එහෙම අනිවාර්ය නැහැ. ඒක සම්ප්‍රද‌ායක් විදිහට කපුමහත්වරු බාර හාර වෙනකොට එහෙම කියනවා. නමුත් අනිවාර්ය නැහැ. දැන් අපි හිතමු පාදයක ආබාධයක් ඇති අය රිදියෙන් පාදයට සමාන අනුරුවක් බාරහාර වෙනවා. සමහරු රූපෙට රූපයක් වගේ දේවල් භාර වෙනවා. ඒක බැතිමතුන් තුළ හද‌ාගත් ආකල්පයක්.  


• විෂ්ණු දෙවියන්ට වූ විශේෂිත වූ පූජාවක් තිබෙනවාද?  

ඔව්: විෂ්ණු දෙවියන්ට බොහෝ දෙනා භාරහාර වෙන්නේ නිල්පාට මල්, නිල් තිර වගේ දේවල් නිල් මල්මාලාවන් නිල් වර්ණය මිශ්‍ර කළ කිරිබත්. ඒවගේ දේවල් පූජා කරන සම්ප්‍රද‌ායක් තමයි තිබෙන්නේ. දැන් කතරගම සම්ප්‍රද‌ායක් තමයි තිබෙන්නේ. දැන් කතරගම දෙවියන්ට රක්ත වර්ණය වගේ මහ විෂ්ණු දෙවියන්ට නිල් වර්ණයෙන් සැකසූ දේවල් තමයි පූජා කරන්නේ. ඒ කියන්නේ විෂ්ණු දෙවියන් නිල්පාටයි කියලා. විශ්වාසයක් තිබෙනවානේ. ඒක විශේෂයක් නැහැ. මිනිසුන් තුළ මවා ගත්ත සංකල්පයක්. මොකද කතරගම දෙවියන් රතු පාට, විෂ්ණු දෙවියන් නිල්පාට, සමන් දෙවියන් සුදුපාට වගේ දේවල්නේ පූජා කරන්නේ. අපි කවුරුත් දෙවියන් දැකලා නැහැනේ. මිනිසුන් මවාගත්ත එද‌ා සිටම පැමිණෙන සංකල්පයක් තමා ඒ දේවල් දැන් දේවරූපත් අපි සංකල්ප මත ගොඩනගා ගන්න රූපයක් නේ හදල‌ා තිබෙන්නෙ.  


ඉතින් තමන් ප්‍රතිපත්ති ගරුකව දෙවියන් අදහනවා නම් ඒ ප්‍රතිඵල ඒ අයුරින්ම ගැනීමටත් උන්වහන්සේලගෙන් පිහිටක් ලැබෙන සංකල්පය බොහෝ දෙනා තුළ පවතී.

 

 

 

සටහන : 
නිශාන්ත කුමාර බණ්ඩාර  
ඡායාරූප :
ජයමාල් චන්ද්‍රසිරි,
අලුත්ගම - තුසිත කුමාර ද සිල්වා