දේවේන්ද්‍ර මූලාචාරී සියදිවි නසා ගත්තේ නෑ ?


 

පුරාණ ලක්දිව විසූ අවසාන විශිෂ්ට ඉංජිනේරුවා වූ දේවේන්ද්‍ර මූලාචාරී තැන සියදිවි නසාගත් බවට පවතින මතයට අභියෝග කරන ලිපියකි.  


 
මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ දැනට ජීවමාන වන අටලැස් අටල්ල හෙවත් පත්තිරිප්පුව, මහනුවර වැව හෙවත් කිරිමුහුද, දියරැල්ල හෙවත් වලාකුළු බැම්ම, උල්පැන්ගෙය, දියතිලක මණ්ඩපය, දියඅගල, මඟුල් මඩුව යන අද්විතීය හෙළ කලා නිර්මාණවල රාජකීය කලා නිර්මාණ ශිල්පියා වූ දේවේන්ද්‍ර මූලාචාරීහූ ක්‍රි.ව. 1812 ජූනි මාසයේදී මහනුවරින් පලාවිත් ලියන්වල සැඟවී සිට පසුව මෙහිම පදිංචිවී අවසන් භාගය රාජශිල්ප නමින් ගත කළේය.   

 

මඟුල්මඩුවේ හෝ පත්තිරිප්පුවේ පියස්සේ ලී කෙටි කිරීමේ කුමන්ත්‍රණයක ​බොරු චෝදනාවට ලක්වූ දේවේන්ද්‍ර මූලාචාරීහූ තම සගයන් වූ මූලාචාරීන් 6 දෙනෙකුද ආචාරීන් 16 දෙනෙකුද සමග මහනුවරින් පලා ගියේය.   
පසුපස හඹා එන කුමන්ත්‍රණකරුවන් සහ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජපුරුෂයින් නොමග යැවීම සඳහා දේවේන්ද්‍ර මූලාචාරිගේ හිස්වැසුම (තුප්පොට්ටිය) තමා විසින්ම නිර්මාණය කළ මහනුවර වැවට දමා දේවේන්ද්‍ර මූලාචාරීන් සියදිවි නසාගත් බවට සාක්ෂි ඉතිරිකර රන් හොටියා නම් වූ තම සේවකයා සමග ලියන්වෙලට පැමිණියේය.   


මහනුවර මඟුල්මඩුව ඉදිකිරීමේ කටයුතු භාරව සිටි දේව්න්ද්‍ර මූලාචාරිට දැව සැපයූ පුස්සැල්ලේ ගබඩා නිලමේ සහ තවත් අය විසින් එකී දැව අඩියකින් කෙටිකර මඟුල්මඩුවේ බාල්කයක දිග ප්‍රමාණය වෙනස් කළේය. මෙය දුටු දේවේන්ද්‍ර මූලාචාරීන් බාල්කවල දිග නිවැරදි කර නියමිත දිග ප්‍රමාණයෙන් යුතු ලී ඒ සඳහා සකස් කරන ලදී. ඩී.ඩී.එම්. වෛද්‍යසේකර විසින් ‘මහනුවර රාජධානියේ විශිෂ්ට රාජකීය නිර්මාණ ශිල්පී දේවේන්ද්‍ර මූලාචාරී’ නමින් ලියන ලද කෘතියේ සඳහන් කරනු ලබන්නේ මෙම ලී බාල්ක ලී ලෙසය. එහෙත් තව තැනක සඳහන් වන්නේ ලී වල උඩ ප්‍රමාණය කෙටි කළ බවය.   


රජතුමා බීමත්ව සිටින අවස්ථාවක් බලමින් සිටි කුමන්ත්‍රණකරුවෝ දේවේන්ද්‍ර මූලාචාරීන් මඟුල්මඩුව ඉදිකිරීම සඳහා යොදා ගන්නා ලද ලීවල දිග ප්‍රමාණය එය ඉදිකිරීමට රජුගේ නියමය පරිදි නියමිත දිග ප්‍රමාණයට වඩා කෙටි කර යොදාගත් බවට බොරු චෝදනාවකට ලක් කළේය. එමෙන්ම මෙවැනි වරදකදී ලබාදෙන දඬුවම ඇඟිලි කපා දැමීම බවද පෙන්වා දුන්හ.   


මත්ව සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කුමන්ත්‍රණකරුවන්ගේ සැහැසි බස් අසා දේවේන්ද්‍ර මූලාචාරීන්ගේ ඇඟිලි කපා දැමීමට නියෝග ලබාදී අත්සන්ද තැබුවේය. රජවාසලේ සේවයේ නියුක්තව සිටි රන්හොටියා දේවේන්ද්‍ර මූලාචාරීන්ගේ හිතවතකු විය. ඔහු දේවේන්ද්‍ර මූලාචාරීට එරෙහි තීන්දුව පිළිබඳ කේලම දේවේන්ද්‍රට ප්‍රකාශ කළ පසු රජවාසලට සම්බන්ධ සියලු මූලාචාරීන් සහ ආචාරීන් එක්වී මහනුවරින් පලා යාමට කතිකා කර ගන්නා ලදී.   


මහනුවර යුගය වනවිට නවකම් (නවාම්) කර්මාන්තය පට්ටල් 5ක් දක්වා වර්ධනය වී තිබුණි. රන්කඩු පට්ටලය, ආභරණ පට්ටලය, ඔටුනු පට්ටලය, සිංහාසන පට්ටලය සහ චිත්‍ර පට්ටලය යන පට්ටල් පහ සඳහා ප්‍රධාන ශිල්පීන් පස්දෙනා ප්‍රධානාචාරීහූ වූහ. ඔවුහු පස්දෙනාටම ප්‍රධානියා මූලාචාරීන් විය. ප්‍රධාන කර්මාන්ත 4 සඳහා (චිත්‍ර පට්ටලය හැර) කොට්ටල්බද්ධ යන නම මහනුවර යුගය වනවිට ව්‍යවහාර කර ඇත. කොට්ටල්බද්දේ ප්‍රධානියා මූලාචාරී විය. දේවේන්ද්‍ර මූලාචාරීද, කොට්ටල්බද්දේ ප්‍රධානියා විය.   


පසු භාගය වනවිට මෙයට චිත්‍ර පට්ටලයද එකතු විය. සියලුම කර්මාන්තවල නිර්මිතයට පැමිණි ආචාරීන් මූලාචාරීහු වූහ. මේ නිසා මඟුල්මඩුවේ නිර්මාණ කටයුතුවල නියැළුණු දේවේන්ද්‍ර මූලාචාරීන්ට දඬුවම් පැමිණවීමට ගත් තීන්දුවට එරෙහිව ප්‍රධාන පට්ටල පහෙහිම මූලාචාරීන් පස්​ෙදනා ද, දේවේන්ද්‍ර මූලාචාරීහු ද යන හය දෙනාම රාජකීය නිලවලින් ඉවත්වී මහනුවර නගරයෙන් පලා යාමට තීරණය කළහ.   


මෙම අත්හැර දැමීමට තමන්ගේ නිල ඇඳුම, ගම්බිම්, ගෙවල් දොරවල්, අඹුදරුවන් ඇතුළු සියල්ලම අයත්විය. එම අවස්ථාව වනවිට මගුල්මඩුවේ සේවයේ යෙදී සිටි ආචාරීන් ඇතුළුව තවත් 16 දෙනක් මෙම අත්හැරීම සඳහා එකතු වූහ. දේවේන්ද්‍ර මූලාචාරීන්ට පණිවිඩය ගෙන එන ලද රන්හොටියා සමග දේවේන්ද්‍ර මූලාචාරීන් අන් අය සමග කථිකා කරගත් පරිදි ලියන්වලට පැමිණියේය.   


ඉතිරි මූලාචාරීන් හා ආචාරියෙකු එක්ව දෙදෙනකු හඟුරන්කෙතට යන ලදී. හඟුරන්කෙතට යන ලද ආචාරීන් සිංහාසන පට්ටලේ මූලාචාරී විය හැකිය. දෙදෙනකු අටබාගෙට යන ලදී. අනෙක් දෙදෙනා (තිදෙනා බැගින්ද විය හැකිය) ඌවේ පස්සර නමුණුකුල පාමුල පිහිටි කණවැරැල්ලට යන ලදී.   


කණවැරැල්ලට ගිය ආචාරීන් ඔටුනු පට්ටයේ ප්‍රධානියා හෝ ආභරණ පට්ටලයේ ප්‍රධානියා විය හැකිය. තවත් දෙදෙනකු ඌවේ බදුල්ලට යන ලදී. මෙම මූලාචාරීන් ආභරණ පට්ටලයේ හෝ ඔටුනු පට්ටලයේ ප්‍රධානියා විය හැකිය. ගම්පට ගිය දෙදෙනා හෝ තිදෙනා චිත්‍ර පට්ටලයේ ප්‍රධානියාය. පසුකාලීනව ලියන්වෙල පරපුර සමග අවාහ විවාහ වූ අයට වලිසක් කොණ්ඩ දුනුතිලක බ්‍රවනායක චිත්‍රලාගේ සෝමාවතී යන නම සහ වාසගම යෙදීමෙන් වලපනේ සහ වැලිමඩ අතර පිහිටි (ආසන්නයේ) ගම්පහ මස්පන්න ප්‍රදේශයට චිත්‍ර පට්ටලේ ප්‍රධානියා පලාගිය බව තහවුරු වේ.

   
ඉහත සඳහන් කළ ඌව, බදුල්ල, කණවැරැල්ල, ගම්පහ, හඟුරන්කෙත, අටබාගේ් යන ප්‍රධාන ආචාරීන් පලාගිය ප්‍රදේශ සමග ලියන්වෙලට පැමිණි දේවේන්ද්‍ර මූලාචාරීන්ගේ දෙවන විවාහයේ දරුවන් දෙදෙනා වූ දවුණ්ඩනයි​ෙද්ගේ හා හිත්තර නයිදේගේ විවාහයන් සහ ඔවුන්ගේ දරු මුනුබුරු පරම්පරාව සමග විවාහයන් සිදුවී ඇත. 

 
දේවේන්ද්‍ර මූලාචාරීන් ලියන්වෙල පදිංචි වූ පසු ඔහුගේ පැරණි ගම අත්හැර දමා ඔහු රාජශිල්ප නමින් තම දරුවන්ට හඳුන්වා දී ඇත. ලියන්වෙල ගම ආසන්නයේ පිහිටි වෑවලින් විවාහ වූ දේවේන්ද්‍ර මූලාචාරී හෙවත් රාජශිල්ප කිසි විටකත් තම දරුවන්ට මම දේවේන්ද්‍ර මූලාචාරී යන අදහස ලබාදී නැත. එහෙයින් පැහැදිලි වන්නේ තම පරපුරේ අභිමානය රැකගැනීමේ අදහසින් දේවේන්ද්‍ර මූලාචාරීන් තම නම හා වග වාසගම් සියල්ල අත්හැර දමා තිබූ බවය. රාජශිල්පට සිටි පුතුන් දෙදෙනාගෙන් වැඩිමහල් පුතා වූ දවුණ්ඩනයිදේ ද වෑවලින් විවාහ වී ඇත. දවුණ්ඩ නයිදේට පුතුන් නොසිටි අතර දියණියන් තිදෙනෙක් සිටියහ.   


වැඩිමහල් දියණිය ගුණරත් එතනා විය.   


දෙවන දියණිය කළුඑතනා විය. රාජශිල්පාචාරීගේ කළුඑතනා විවාහ වූයේ පිටිගොඩ (ඌවේ) සිට පැමිණි වික්‍රමසිංහ මූලාචාරීගේ නෙත්තානයිදේ සමගය. වැඩිමහල් දියණිය වූ රාජශිල්පාචාරීගේ ගුණරත් එතනා විවාහ වූයේ ඌවේ බෝපත්තලාවේ සිට පැමිණි වික්‍රමසිංහ මූලාචාරීන් සමගය.   


ඔහු ඔටුනු පට්ටලයේ මූලාචාරීන් බවට තහවුරු කරන කවියක් මුඛපරම්පරාවෙන් ලබාගෙන වික්‍රමසිංහ මූලාචාරීගේ නයිදේහාමි විසින් ගායනා කරනු කතෘ අසා ඇත. ​  


​ෙමම කවිය වික්‍රමසිංහ මූලාචාරීගේ නයිදේ හාමිගේ දුව වූ වික්‍රමසිංහ මූලාචාරීගේ රන් එතනාද කියයි.   


ශුද්ධ රත්‍රං කලඳටත් වැඩි ගරු නවන් දන්නේ   
සිද්ධ විස්කම් දෙවිඳුන්ගෙන් පැවතගෙන එන්නේ   
දුද්ද පරවණා හට රන් ඔටුන්නක් සාදවා දුන්නේ   
සුද්ධ සූරිය වංශ මනුකුල මහත්තේ ගරු   
නවන්දන්නෝ   


දවුණ්ඩනයිදේගේ තෙවන දියණිය කිරි එතනා විවාහ වී ඇත්තේ ඇල්දෙණිය පරපුරට අයත් විදානේ නමැති මුත්කා සමගය. ඔහුගේ පරපුරේ වාසගම් වීර වික්‍රම නවරත්න මුදලි මුහන්දිරම්ගේ සුබසිංහ යනුවෙන් භාවිත වන නම්වලින් තහවුරුවේ. මේ පිළිබඳව සොයා බැලීමට ගම්පල සිංහයාපිටිය ප්‍රදේශයට වීරවික්‍රම නවරත්න මුදලි මුහන්දරම්ගේ සුබසිංහ මා මිත්‍රයා සමග ගොස් විමර්ශනය කරන විට රාජකරුණා වීර වික්‍රම නවරත්න මුදලි මුහන්දිරම් යන වාසගම් සහිත ‘මානික්කගේ’ නමැති පරපුරක් සිටි බව මුඛ පරම්පරාවෙන් පැවත එන සාක්ෂි තවමත් පවතී.   


ශ්‍රී වික්‍රම රාජසිංහ රජු තම කුලුපග මිත්‍රයා බැවින්ද දේවේන්ද්‍ර මූලාචාරීට රාජ ගෞරව සහිත අවමඟුලක් මහනුවර කළ බැවින්ද කුමන්ත්‍රණකරවන්ගේ නොමග යැවීම යන කරුණු ඔස්සේ දේවේන්ද්‍ර මූලාචාරීන් තම නම රාජශිල්ප ලෙස භාවිත කර ඔහුගේ දෙවන පුතා වූ හිත්තර නයිදේට තබන ලද රාජශිල්පාචාරී යන වාසගම අදටත් ලියන්වල භාවිත කරන ප්‍රධාන වාසගම වන්නේය.   


ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මාලිගයේ දේවේන්ද්‍ර මූලාචාරීට මහ අධිකාරම්ට සමාන හෝ ඊටත් වඩා වැඩි බලයක් හිමිව තිබුණි. මෙයට ප්‍රධාන හේතු තුනක් බලපාන්නට ඇත. මහනුවර නගරය හා දළදා මාලිගය පරිශ්‍රයේ අලංකාරික ප්‍රධාන නිර්මාණ ශිල්පියා දේවේන්ද්‍ර මූලාචාරීන් වීම එහි ප්‍රධාන හේතුවය. 

 

 


නිර්මාණකරුට නිතර රජු සමග සාකච්ඡා කිරීමට සිදුවීම නිසා ඇතිවන රාජ පාක්ෂික මිත්‍රත්වය දෙවන හේතුවය තුන්වන හේතුව අබිරහසක් වූවක්ය. දේවේන්ද්‍ර මූලාචාරීගේ පියා හෝ සීයා දෙවුන්දර දේවාලයේ දේවකාර්ය භාරය හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා භාරතයේ සිට පැමිණි බ්‍රාහ්මණ වංශික දේවානාරායන්ය.   


නායක්කාර වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහ දේවේන්ද්‍ර අතර හින්දු මන්ත්‍ර ශාස්ත්‍ර, ජ්‍යෙතිෂ දැනුම ප්‍රයෝජනවත් ලෙස යොදාගැනීම සිදුවන දෙයකි. මෙම සම්බන්ධතා නිසා රාජවාසලේ අධිකාරම්වරයකුගේ බලය දේවේන්ද්‍ර මූලාචාරීට තිබුණි.   


දේවේන්ද්‍ර මූලාචාරීගේ නිල ඇඳුම ඇහැලේපොළ මහ අධිකාරම්ට සහ මොල්ලිගොඩ අධිකාරම්ට සමාන බවක් තිබී ඇත. තමන්ට ත්‍යාග පුද කිරීමට රටවැසියන් පැමිණෙන විට ඒවා දේවේන්ද්‍ර මූලාචාරීගේ ස්ථානයෙහි තබන නිසා ඒ පිළිබඳව රජුට පැමිණිලි කර ඇත. 

 
ඔවුන් අදහස් කළේ මූලාචාරීන්ගේ හා ඔවුන්ගේ නිල ඇඳුම්වල වෙනසක් ඇති කරවා ගැනීමය. එසේ වුවත් රජුගේ අවසරයෙන් මාලිගාවට පැමිණෙන විට මූලාචාරීන් විසින් තමන්ට වි​ෙශ්ෂ වූවක් ලෙස සැලකෙන රියන්දණ්ඩ රැගෙන පැමිණෙන හෙයින් රජතුමා අධිකාරම්ගේ අදහසට එකඟ නොවීය. එහෙයින් රජතුමා පිළිතුරු දුන්​ෙන් මූලාචාරියා වාසලට පැමිණෙන විට රියන්දණ්ඩ අතින් ගෙන පැමිණේ නම් අධිකාරම් යයි  ඔවුහු කුමට රැවටේද?


මෙහි දැක්වෙන දේව්න්ද්‍ර මූලාචාරිගේ රූපය


දොන් ලුවිස් විජය මන්ත්‍රී ගුණතිලක මහතා විසින් සකස් කරන ලද චිත්‍රයේ පිටපතකි. (උපුටාගනු ලැබුවේ වෛද්‍යසේකර ඩී.ඩී.එම්. 2017 මහනුවර රාජධානියේ විශිෂ්ට නිර්මාණ ශිල්පී දේවේන්ද්‍ර මූලාචාරී පිටු. 61, 62 ස්ටැම්ෆර්ඩ් ලේක් (පුද්ගලික) සමාගම 366, හයිලෙවල් පාර, පන්නිපිටිය.   


එහෙත් ඇහැලේපොළ අධිකාරම් සහ මොල්ලිගොඩ අධිකාරම් තම අදහස අත් නොහැරියේය. මොල්ලිගොඩ අධිකාරම් විසින් රජ මාලිගයේ ගබඩා නිලමේව පුස්සැල්ලේ නිලමේ ඔත්තු බැලීමට යොදවා ඔහු ලවා මගුල්මඩුව ඉදිකිරීමට ගන්නා ලද ලීකෙටි කර කුමන්ත්‍රණය කර ඇති බව දේවේන්ද්‍ර මූලාචාරීන් පිළිබඳව ලියන ලේඛකයෝ සඳහන් කරති.   


මහනුවරින් අතුරු දන්වූ දේවේන්ද්‍ර මූලාචාරීන් රන්හොටී රාජපක්ෂ සමග ලියන්වලට පැමිණ ගලපිටියාව ගල්ලෙනෙහි කාලය ගතකර ඇත. ගල්ලෙනෙහි ඉඩ ප්‍රමාණය වැඩි කිරීම සඳහා ගල්කුට්ටි කඩා දමා ඇති ආකාරයත් කටාරම් කොටා ඇති ආකාරයත් නීරීක්ෂණය කරන විට දේවේන්ද්‍ර මූලාචාරීන් ගල්ලෙනෙහි සිටි බව තහවුරු වේ. 

 
රාජ බිය පහව ගිය පසු මිනිස් වාසයකින් තොරවූ ඝන කැලෑවෙන් සමන්විත ලියන්වල ගම මැදට පැමිණි දේවේන්ද්‍ර මූලාචාරීහු මහ කුඹුර ගල්ලෙන සාදාගෙන එහි පදිංචි වී මහකුඹුර අස්වද්දා රාජශිල්ප නමින් දෙවන පරපුරක්ද බිහිකර සැඳෑ කාලය ගත කළේය. ගැමියන් සියලු දෙනා මහත් හරසරින් රාජ ශිල්ප මුත්තා නමින් හඳුන්වනු ලබන ඔහු විසින් පළමුවෙන්ම අස්වද්දන ලද මහකුඹුර (කුඩා ඉඩම) වික්‍රමසිංහ මූලාචාරීගේ ටිකිරි අප්පු විසින් ලියන්වෙල ශ්‍රී සුදර්මාරාමයට පූජා කර ඇත.   


ක්‍රි.ව. 1747-1782 දක්වා මහනුවර රාජධානියේ රජු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගෙන් ‘ඩිංගිත්ත අප්පු’ නම්බු නාමය සහිත සන්නස් පත්‍රය ලැබුවාවූද රජුගේ මාලිග​ෙයහි ප්‍රධාන නිර්මාණ ශිල්පියා වූද ක්‍රි.ව. 1782 - 1798 රාජාධි රාජසිංහ රජුගේ ප්‍රධාන නිර්මාණ ශිල්පියා වූද (ක්‍රි.ව. 1798-1815) ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ නිර්මාණ ශිල්පියා වූද පුරෝහිත වූද අග්‍රගන්‍ය කලා නිර්මාණ බිහිකර දළදා මාලිගාවේ අනන්‍යතාව ලෝක ගෘහ නිර්මාණ අතර ප්‍රමුඛතාවට ගෙන එන්නා ලද්දා වූද මහා නිර්මාණ ශිල්පී ​ෙද්වේන්ද්‍ර මූලාචාරීන්ගේ අවසන් කාලය මහකුඹුර ගල්ලෙනෙහිත් මහකුඹුර නිවසේ (ගෙදර කුඹුර නිවස) හිත් ගත කර අවසන් හුස්ම හෙලා ඇත. ඔහු නමින් රාජශිල්ප මුත්තා ලෙස හඳුන්වන ගැමියන් තවමත් රාජ උදහසට ලක්වූවකු ලෙස සැලකීම යුක්ති සහගත නොවේ.   


මෙම අසාධාරණය ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමු කරවීමේ අරමුණින් දේවේන්ද්‍ර මූලාචාරීන් අගයන සැවොම එක්වේවා.   

 

 

 


සිරිසේන වික්‍රමආරච්චි   
විදුහල්පති   
මප/ව/ ලියන්වෙල ශ්‍රී සුධර්ම මහා විද්‍යාලය, ලියන්වෙල, මුංවත්ත.