දේව භක්තිය උතුරා යන කොළොම්පුරයේ “වේල්” සැමරුම


 

කොළඹ නගරය හින්දු බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යන වර්ණවත් සහ ඉතා අලංකාර උත්සවයක් ලෙස අදි වේල් උත්සවය හැඳින්විය හැක. අශ්ව රථ පෙළපාළිය සමඟ පොල් ගසමින්, දීප්තිමත් ඇඳුමින් සැරසුණු බැතිමතුන් කපුරු දල්වමින්, තරුණ තරුණියන්ගේ කාවඩි නර්තනයෙන් දමිළ හින්දු ප්‍රජාවගේ අනෙකුත් ආගමික හා සංස්කෘතික ලක්ෂණ බොහෝ සෙයින් ඔවුන්ගේ කෝවිල් බිත්ති පිටුපසින් වෙනුවට කොළඹ වීථි දිගේ ගමන් කරමින් ප්‍රදර්ශනය කිරීම සාමාන්‍ය සිරිතයි. 


කතරගම දෙවියන් හෙවත් මුරුගන් දෙවියන් උදෙසා පැවැත්වෙන මෙම “අදි වේල්” උත්සවය කොළඹ පැවැත්වෙන ඉතා වැදගත්ම හින්දු ආගමික උත්සවයක් වන අතර එය 1874 තරම් දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන බව සඳහන් වෙයි. රටේ වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන බොහෝ බැතිමතුන් කතරගම බලා යන අතර, කොළඹ යනු දෙවියන් උදෙසා පැවැත්වෙන වාර්ෂික උත්සවයේ කලඑළිය ස්වකීය ජනතාවගේ දොරකඩටම ගෙන එන ප්‍රධාන ස්ථාන අතරින් එකකි. 


ස්කන්ධ කුමරු නපුරු බලවේග ජයගෙන, ලංකාද්වීපයට පැමිණියේ ඇයි? 


පුරාවෘත්තයන් හා ජනප්‍රවාදයන්ට අනුව ස්කන්ධ කුමරු හෙවත් කතරගම දෙවියන් යනු ශිව සහ පාර්වතියගේ බාල පුත්‍රයායි. සුරපද්මනුත් ඔහුගේ සහෝදරයාත් සමඟ කතරගම දෙවියන් කළ සටන හින්දු බැතිමතුන් අතර වඩා ප්‍රසිද්ධියක් උසුලයි. හින්දු ආගමික විශ්වාසයන් අනුව එම සටන දින කිහිපයක් පුරා පැවති අතර සටන ජයග්‍රහණය කිරීම සඳහා විවිධ නගරවල බළකොටු හයක් භාවිත කිරීමට ස්කන්ධට සිදුවිය. 


එම නගර හයම ප්‍රසිද්ධ වන්දනා ස්ථාන වන අතර සෑම භූමියකම ස්කන්ධ දෙවියන් වෙනුවෙන් කැපකර ඇති ප්‍රධාන දේවාල ඇත. සටන අවසන් වූ බවට වාර්තා වන මෙම නගර අතරින් අවසාන නගරය ඉන්දියාවේ දකුණු කෙළවරේ පිහිටි තිරුචෙන්දූර් බව විශ්වාසයයි. සුරපද්මන් මරණයට පත්වීමට මොහොතකට පෙර දයාව යැද ඇති අතර එය වක්‍රාකාරයෙන් ලබා දෙන ලදී. ඒ තමා විසින්ම මොණරෙකුගේ ස්වරූපය මවාගෙන ස්කන්ධ කුමරුගේ නිල ප්‍රවාහන මාධ්‍යය ලෙස පෙනීසිට සේවය කිරීමට සිදුවීමෙනි. පරාජයට පත්වූ සුරපද්මන් එය එසේම සිදුකර ඇත. 


ඉන්දියානුවන්ට අනුව ස්කන්ධ කුමරු විවේකීව ගතකිරීම සඳහා සිය නව මොණර වාහනයෙන් ශ්‍රී ලංකාවට පියාසර කිරීමට තීරණය කර ඇති අතර එතුමන් කතරගමට ගොඩ බැස ඇත. එහිදී එතුමන් කුඹුරට යමින් සිටි වැදි නායකයාගේ දියණිය දැක ඇය කෙරෙහි ඇලුම් කර ඇති අතර විවාහ වීමට යෝජනා කර ඇත. ස්කන්ධ කුමරු ඒ වනවිටත් දෙව්ලොවට අධිපති ඉන්ද්‍ර දෙවියන්ගේ දියණිය වන දේවයානි සමඟ විවාහ වී සිටියත්, එය බාධාවක් නොවීය. එතුමන්ට ඇත්ත වශයෙන්ම වල්ලී වෙත ළඟාවිය හැකි වූ නමුත්, තමා තරමක් විහිළුකාරයෙකු වූ නිසා මුලින්ම ඇය වෙතට පැමිණ ඇත්තේ දඩයක්කරුවකුගේ වෙසින් සහ පසුව මහලු මිනිසකුගේ ස්වරූපයෙන් බවත් ජනප්‍රවාදය පවසයි. 


ඇය දිගින් දිගටම එතුමන්ව ප්‍රතික්ෂේප කළ හෙයින්, ඔහු තම වැඩිමහල් සොයුරා වූ ගණ දෙවියන්ගේ උපකාර පැතුවේය. එවිට ගණ දෙවියන් ඇතෙකුගේ වෙස් ගෙන වල්ලි ඉදිරියට ආවේය. එවිට ඇය අසල කිසිවෙකුත් නොසිටි හෙයින් ආරක්ෂාව සඳහා දිව ගියේ මහලු වෙස් ගෙන සිටි ස්කන්ධ කුමරු වෙතය. ඇය තමන් පෙර කළ යෝජනාව පිළිගන්නේ නම් පමණක් බේරා ගන්න බවට පොරොන්දු වූ අතර එවිට ඇය ඊට වහා එකඟ විය. ඉන් පසුව ස්කන්ධ කුමරු ඇතා පලවාහැර වල්ලි දෙසට හැරුණේය. ඇය අතිශය කලබල වී සිටි නමුත් කුමරු තම සැබෑ ස්වරූපයෙන් පෙනීසිටි විට එය ප්‍රීතියට හැරිණි. 


කතරගම වැදි යුවතියක වූ වල්ලි, හින්දු ආගමේ දේවතාවිය බවට පත්වූයේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වෙමිණි. කතරගම දෙවියන්ගේ පින්තූර හා සිතුවම්වල ඇයව හඳුනාගත හැක්කේ එතුමන්ගේ දකුණු පස සිටින අඳුරු සමක් ඇති බිරිඳ ලෙසයි. කතරගම දෙවියන් යනු කවුරුන්දැයි යන්න සහ එතුමන් විදේශික වැදි දැරියක් සමඟ විවාහ වීමට පැමිණියේ කෙසේද යන්න පිළිබඳව විවිධ ප්‍රජාවන් අතර විවිධ ජනප්‍රවාද ඇත. ඉහත දැක්වූයේ ශ්‍රී ලංකාවේ හින්දු භක්තිකයන් මෙන්ම දකුණු ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල බැතිමතුන් විශ්වාස කරන ආකාරයයි. 


කතරගම දෙවියන් හා වේල් උත්සවය


කතරගම දෙවියන් නපුරු බලවේගයන් ජයග්‍රහණය කිරීම සහ ශ්‍රී ලංකාවේ වැදි කෙල්ලෙකු සරණ පාවා ගැනීම සමරනු වස් කතරගම මහා දේවාලයේ දින 14ක් පුරාවට මහා උත්සවශ්‍රීයෙන් සමරන අතර එහි කූටප්‍රාප්තිය කොළඹ පවත්වන උත්සවයෙන් සනිටුහන් කරන බව පැවසේ. ශ්‍රී ලංකාව පුරා සිටින බැතිමතුන් මෙසමයේ පාද යාත්‍රා හෙවත් පා ගමනින් මහා පෙරහර පවත්වමින් වන්දනා ගමන ආරම්භ කරන අතර අවසානයේ ඔවුහු ගමනාන්තය වන කතරගම මහා දෙවොල වෙත ළඟා වෙති. 


බොහෝ බැතිමතුන් වාර්ෂිකව වන්දනා කිරීම සඳහා පැමිණීමට තීරණය කළ එකම ස්ථානය කොළඹ බව සැලකේ. එයට හේතුව ඔවුන්ගේ දෙවියන් සැමරීම සඳහා ඔවුන්ගේම කියා උත්සවයක් උරුමව තිබීමය. හින්දු බැතිමතුන්ට අනුව මුරුගන්, ස්කන්ධ හෝ කතරගම දෙවියන්ට ශ්‍රී ලංකාව පුරා පමණක් නොව ඉන්දියාවේ ද විශාල අනුගාමිකයෝ, බැතිමත්හු පිරිසක් සිටිති. 

 

 


කතරගම දෙවියන් උදෙසා කැපවූ විවිධ දේවස්ථානවල යුද්ධයේ සාර්ථක කූටප්‍රාප්තිය සහ ස්කන්ධ හා වල්ලි එක්වීම සමරනු ඇත. කතරගම මහා දේවාලයේ කතරගම දෙවියන් උදෙසා උන්වහන්සේගේම දෙවොලක් ඇති අතර එතුමන්ගේ භාර්යාවන් දෙදෙනාට වෙන වෙනම දෙවොල් ද ඇත. කතරගම ඇති අනෙක් කැපී පෙනෙන ලක්ෂණයක් නම්, මෙහිදී එතුමන්ට වන්දනාමාන කරනුයේ පිළිමයක් ලෙස නොව යම් රූප සටහනක් සහිත කුඩා ලෝහ තහඩුවක් ලෙසය (යන්තරයක්). 


කතරගම පවත්වන උත්සවය තරුණ පෙම්වතුන්ගේ මධුසමය ගත කිරීමේ සැමරුමක් ලෙස ද සැලකේ. සෑම දිනකම අඛණ්ඩව දින 14ක් දේව මාලිගාවේ පූජකයා දෙවියන් වහන්සේ (යන්ත්‍රයක් ලෙස සටහන් කර ඇති ස්වරූපයෙන්) රාජකීය පෙරහරකින් ශ්‍රී වල්ලි දේවාලයට ගෙන ගොස් පැය කිහිපයක් එහි තබනු ඇත. උත්සවය අවසන් වීමට පෙර දින, මධුසමය ගත කළ කාලය යැයි උපකල්පනය කර දෙවියන් මුළු රාත්‍රියම වල්ලි මාතාව සමඟ ගත කරයි. අවසාන දිනය වන්නේ දිය කැපීමේ මංගල්‍යයයි. එහිදී දෙවියන් පිරිසිදු වීම සඳහා මැණික් ගඟට ගෙනයනු ලබයි. කපුරාල (පූජක) විසින් ස්නානය කිරීම සංකේතවත් කිරීම සඳහා යන්ත්‍රය ජලයේ ගිල්වනු ලබයි. 


ශ්‍රී ලංකාවේ මෙම දේව ඇදහිල්ල කෙතරම් පුළුල් ද යත්, එය නමස්කාර ක්‍රමයක් ලෙස ද හැඳින්වේ. උන්වහන්සේට සිංහල බෞද්ධයන් හා දෙමළ හින්දු භක්තිකයන් අතර පුළුල් අනුගාමිකයෝ සිටිති. අන්‍යාගමික සැදැහැවතුන් පවා මෙම සිද්ධස්ථානය නැරඹීමට සහ වැදපුදා ගැනීමට පැමිණීම නොරහසක් වන අතර කතරගම, රටේ සියලු ජනයා එකතුවී වන්දනා කරන ස්ථානයක් ලෙස සැලකේ. ශතවර්ෂ ගණනාවක් පුරා මෙම උත්සව සමයේදී ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්ගෙන් බොහෝ බැතිමතුන් පාද යාත්‍රා අරඹන අතර හින්දු බැතිමත්හු එය වාර්ෂික අංගයක් ලෙස දෙවියන් වැඳ පුදා ගැනීමටම සිරිතක් කරගෙන සිටිති. මෙම නමස්කාරය සංස්කෘතියක් ලෙස සලකන්නේ මන්දැයි තේරුම් ගැනීම අපහසු නැත. 1874 දී කොලරාව පැතිරීම නිසා එවකට යටත්විජිත රජය විසින් එම වසර සඳහා පාද යාත්‍රාව තහනම් කිරීම නිසා කොළඹ ද්‍රවිඩ ජනතාව විනාශයට පත්වූ බව පැවසේ. මේ අනුව උපත ලැබූ කොළඹ වේල් උත්සවය, කතරගම උත්සවයේ සුළු අනුරුවකි. කතරගමෙහි තම ආදරණීය දෙවියන් වෙත යාමට නොහැකි වූ කොළඹ බැතිමත්හු ඔවුන්ගේ ස්ථානයේ පිහිටි මුරුගන් දේවාල සමඟ කටයුතු කළහ. එය කෙතරම් සාර්ථක ද යත් එය අවසානයේ කොළඹ වාර්ෂික අංගයක් බවට පත්වී ඇත. 
වර්තමානයේදී දෙවියන් පිටකොටුව සම්මන්ගෝඩු ශ්‍රී කදිර්වේලායුද ස්වාමි කෝවිලේ සිට බම්බලපිටිය ශ්‍රී මනික්කාවිනයගර් කෝවිල දක්වාත් වෙනමම පිටකොටුව කදිර්වේලායුද කෝවිලේ සිට බම්බලපිටිය නව කදිරේසන් කෝවිල දක්වාත් වේල් පෙරහර ගෙන යනු ලබයි. 


ශ්‍රී ලංකාවේ චෙට්ටියාර් ප්‍රජාව විසින් ආරම්භ කරන ලද කොටුවේ කෝවිල අවුරුදු දෙසීයකට වඩා පැරණිය. බම්බලපිටිය කෝවිල තරමක් අලුත්ය. 1874 දී කොළඹ වේල් උත්සවය ප්‍රථමවරට ආරම්භ වූ විට නව කදිරේෂන් කෝවිලෙහි අධිපති රාජේන්ද්‍රන් චෙට්ටියාර්ට අනුව, බම්බලපිටියේ සංචාරකයින් සඳහා වෙන්කොට තැබූ විවේකස්ථාන ලෙස භාවිත කළ වර්තමාන දේවස්ථාන අවකාශ මද්දාම් විසින් අත්පත් කරගන්නා ලදී. 


මෙම ප්‍රදේශය එකල නොදියුණු පඳුරු සහිත භුමියක්ව පැවතී ඇත. කෙසේ වෙතත් වන්දනාකරුවන්ට කතරගමෙහි පුරුදු වී සිටි උත්සව අවශ්‍ය වූ අතර කතරගමෙහි සිදු කරන ලද සියලු චාරිත්‍ර හා වාරිත්‍ර මෙහි දී සිදු කිරීමට පටන්ගෙන ඇත. එහි කොටසක් ලෙස දෙවියන් පෙරහරකින් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙන යාම සිදු කොට තිබේ. 
කාලයාගේ ඇවෑමෙන් චෙට්ටියාර් ප්‍රජාව (ඉන්දියාවේ චෙට්ටියාර්හි ව්‍යාපාරිකයින්) බම්බලපිටියේ විශාල ඉඩම් ප්‍රමාණයක් මිලදීගෙන එම ප්‍රදේශයේ කෝවිල් දෙකක් ඉදිකොට ඇති බව සඳහන්ය. කොළඹ වේල් උත්සවයේ අවසාන ජල කැපුම් මංගල්‍යය සඳහා දෙවියන්, මැණික් ගඟ වෙනුවට ආදේශ කිරීම සඳහා වැල්ලවත්ත මුහුදේ ගිල්වනු ලැබේ. සාම්ප්‍රදායිකව කොළඹ බැතිමත්හු අශ්ව රථ කට්ටල දෙකකට පුරුදු වී සිටිති. ලීයෙන් තැනූ එකක් ට්‍රැක්ටරයකින් ඇදගන්නා අතර රිදී එකක් වසර 110ක් පුරාවට ගොනුන් ලවා ඇද ගන්නා ලදී. කෝවිල් දෙකම චෙට්ටියාර්හි එකම ප්‍රජාවට අයත් වුවත් කළමනාකාරිත්වය හා සංවිධානය විවිධත්වයක් ගන්නා අතර තරගකාරී පෙරහර උත්සව දෙකක් වන බව බැතිමත්හු පවසති. 


බැතිමතුන් විශාල පිරිසක් කාවඩි රැගෙන පෙරහරට සම්බන්ධ වන අතර වේල් රථය අදින පිරිස් සහ සෙසු බැතිමතුන් පෙරහරේ ගමන් කරන්නේ “වේල් වේල් ශක්ති වේල්” සහ “හරෝ හරා” ලෙස හඬ නගා ගායනා කරමිනි. එමෙන්ම බෙරකරුවන්ගේ වාදනයන් පෙරහරට ඉතා ජවයක් හා බලගැන්වීමක් එකතු කරන අතර සමහරු නටන්නට පටන් ගන්නේ ඇඟට නොදැනීමය. තවත් භක්තිකයින් මුරුගන්, නැතිනම් කඳ සුරිඳුන්ට පලතුරු හා කහ හෝ තැඹිලි පාට මල් පූජා කරති. ඔවුන් කහ හෝ තැඹිලි ඇඳුමින් සැරසී සිටින අතර එම වර්ණ දෙක මුරුගන් දෙවියන් සංකේතවත් කරයි. ඇතැම්හු කිරි කළ හිස මත තබාගෙන ගොස් තම භක්තිය පිළිබිඹු කරති. 


මෙම දර්ශනීය උත්සවයේ දැකගත හැකි තවත් විශේෂ අංගයක් ලෙස බැතිමතුන් කොකු සහ තියුණු කටු (වේල්) වලින් ශරීරය විදීම දැකගත හැක. මෙම වෘතය මුල් වරට සිදුකරන බැතිමතුන් ආරම්භයේදී කුඩා වේල් කටුවකින් දිව විදීම පමණක් සිදුකරන අතර මෙය නිහඬව සිට භාවනා කිරීමේ සහ භක්තිය පෙන්වීමේ පිළිවෙතක් ලෙස හඳුන්වයි. නමුත් අද සමහර අවස්ථාවල මුරුගන් දෙවියන්ගේ සැදැහැවතුන් විසින් තම ශරීරවල කොකු සවි කර බර අශ්ව රථ ද ඇදගෙන යනු ලබති. 


මෙය ඉතා මෑත කාලීන ප්‍රවණතාවක් ලෙස දැකගත හැක. ඔවුන් තමන්ට ලැබුණු වරප්‍රසාද හා දෙවියන් සඳහා වූ බාරයන් ඉටු කිරීමට මෙන්ම උන්වහන්සේට ස්තූති කිරීමක් ලෙස සලකා මෙම කටයුත්ත සිදු කරන බව ප්‍රසිද්ධ කරුණකි. එවැනි පිළිවෙත් හින්දු ආගමික ශුද්ධ ලියවිලිවල සඳහන් නොවුණත් ශරීරය බොහෝවිට බ්‍රාහ්මණ වාසය කරන දේව මාලිගය ලෙස සඳහන් කර ඇති බව පැවසේ. 


“වේල්” නැතිනම් “වේලායුදය” මුරුගන් දෙවියන්ට ලබා දී ඇත්තේ එතුමන්ගේ මව පාර්වතී දේවිය විසින් දුෂ්ඨාත්මයන් විනාශ කිරීමට මිස සිරුර සිදුරු කර ගැනීමට නොවන බව ආගමික විශ්වාසය වුවත් කාවඩි සම්බන්ධ කතාවලට පවා ශරීර සිදුරු කිරීම හා කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව පැහැදිලි වී ඇත. නමුත් මුරුගන් දෙවියන්ගේ බැතිමතුන් විසින් එතුමන්ට ඇති අපමණ භක්තිය නිරූපණය කරනු පිණිසම වේලායුධයෙන් කම්මුල්, දිව හා සිරුර විදීම සාමාන්‍ය සිරිතක් බවට පරිවර්තනය කර ගෙන ඇති බව පැහැදිලිය. 


බොහෝ අය තම බලාපොරොත්තු, වැඩ කටයුතු සාර්ථකව ඉටු කරගැනීම සඳහා එවැනි සිදුරු සිදු කරමින් දෙවියන්ට කන්නලව් කරති. එවැනි විශ්වාසයන් දැඩි වුවහොත් මුරුගන් පහසුවෙන් සතුටු වනු ඇතැයි යනු ඔවුන්ගේ විශ්වාසයයි. මෙම භාවිතයන්, සම්ප්‍රදායන් වසර දහස් ගණනක් පුරා සිදුවෙමින් පවතින අතර මිනිසුන් විසින් විවිධ දේව ඇදහිලි ක්‍රම සංකේතවත් කිරීම් පිණිස මෙම පිළිවෙත් යොදාගත් බව ආගමික විශ්වාසයයි. 

 

 


සටහන : පැතුම් වීරසිංහ