දෙසිය වෙනි වසර සමරන ඌව වෙල්ලස්ස විමුක්ති අරගලය


ලෝකයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සිදුකළ සටන් අතරින් ඌව වෙල්ලස්ස විමුක්ති අරගලයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඊට හේතුව වන්නේ බ්‍රිතාන්‍යයන් යටත් කරගෙන සිටි රටවල් අතරින් ඔවුන්ට එරෙහිව පැන නැඟුණු ප්‍රථම අරගලය ඌව වෙල්ලස්ස විමුක්ති අරගලය වීමයි.   


ඒ තුළින් ඈත අතීතයේ සිටම අසාධාරණයට - අයුක්තියට එරෙහිව අභීතව හා එඩිතරව ඌවේ ජනතාව පෙරමුණ ගත් බව සනාථ වේ.අධිරාජ්‍යවාදීන්ට එරෙහිව විමුක්ති අරගලය ඌවෙන් ආරම්භ වීමට බලපෑ හේතු රාශියකි. 


ඓතිහාසික සමාජ යුග විකාශනයත් සමඟ විවිධ ජන කණ්ඩායම් දඩයම් යුගයෙන් - කෘෂි කාර්මික ශිෂ්ටාචාරය වෙත ප්‍රවේශවීමේ සංක්‍රාන්ති අවධියේ දී ඌවේ වැසියන් ඌව කඳුකර භූමි සිය ප්‍රමුඛ ජනාවාස භූමි කරගත් බවට ඉතිහාසය සාක්ෂි සපයයි. හල්දුම්මුල්ල හා බෙරගල දී සොයා ගන්නා ලද සොහොන් බිම්වලින් ඒ බව සනාථ වේ. මහාචාර්ය රාජ් සෝමදේවයන් සිය පර්​ෙ‌ය්ෂණ මගින් හෙළිදරව් කොට ඇත්තේ යකඩ නිෂ්පාදනය හා මළවුන් මිහිදන් කිරීම වැනි සමාජ සිරිත් හා මානව ක්‍රියාකාරකම් තුළින් පැහැදිලි වන්නේ සාමාජීය හා සම්ප්‍රදායන්ගෙන් පොහොසත් වූ ජන සමූහයක් දුරාතීතයේ සිට ඌවේ වාසය කළ බවයි. 


එපමණක් නොව ඓතිහාසික සාක්ෂි මගින් පෙන්වා දෙන්නේ අනුරාධපුර හා පොලොන්නරු යුගවල දී රජරට ශිෂ්ටාචාරය හා රෝහණ උප රාජධානිය වෙන්කළ ඌවේ උස්බිම් ආරක්ෂක ස්ථාන හා සටන් බිම් ලෙස යොදාගත් බවයි. ඒ අනුව ඈත අතීතයේ සිටම රණකාමීහු ඌවේ වාසය කළ බව සනාථ වේ. 


ඌව කේන්ද්‍රකරගත් වූයේ බෞද්ධ මධ්‍යස්ථානයට අතීතයේ සිට වූයේ වැසියන් දියුණු ශිෂ්ටාචාර ලක්ෂණ වලින් ස්වංපෝෂිත කිරීමට හේතු වූ බවට පැහැදිලියි. මහියංගණය, මුතියංගණය, සහ කතරගම පූජා භූමිවල පාදස්පර්ශය ඔවුන්ට දියුණු මානසික ශක්තියක් උරුම කළාට සැක නැත. 


අනුරාධපුර යුගයේ දුටුගැමුණු - එළාර සටන් අවධියේදී රණකාමීන්ට සේම රටේ සෙසු ජනතාවට ද ආහාර සපයා ඇත්තේ ඌව වෙල්ලස්සේ ජනතාව විසිනි. එකල දුටුගැමුණු රජුගේ උපදෙස් පරිදි සද්ධාතිස්ස කුමරු විසින් ඌවේ වෙල් ලක්ෂයක් අස්වැද්දීම සිදුකොට ඇත්තේ ද දුටුගැමුණු එළාර යුද්ධය නිසාම බවට ඉතිහාසය සාක්ෂි දරයි. 


මෙවන් අභීත ඉතිහාසයක් ඇති ඌවේ එඩිතර ජනතාව ප්‍රදේශකාරවලින් පැමිණියවුන්ට එරෙහිව පළමුව අසිපත එසවීම අහඹුවක් නොවේ. ඌව වෙල්ලස්ස විමුක්ති සටන 1817 ආරම්භ වූවක් බවට බොහෝ අවස්ථාවල කෙරෙන සඳහන් සත්‍ය වූවක් ම නොවේ. සැබවින් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ඇරඹි මෙම සටන ආරම්භ වූයේ ම බ්‍රිතාන්‍යයන් ඔවුන්ගේ කොඩිය අප ධරණීතලයේ එසේ වූ පළමු මොහොතේ සිටම බව පැහැදිලිය. 1815 මාර්තු 02 වන දින උඩරට ගිවිසුම අත්සන් කිරීමට පෙර එසවූ බ්‍රිතාන්‍ය ධජය වහා බිම හෙළා දමමින් වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් එම සටන ඇරඹී ය. 


එතැන් සිට හෙළ ජනතාව තුළ මෝදු වෙමින් පැවැති අධිරාජ්‍ය විරෝධයේ කූඨප්‍රාප්තිය සිදු වූයේ 1818 වර්ෂයේදීය. අප රට ඉංග්‍රීසීන්ට යටත් වී වසර තුනකටත් අඩු කාලෙකින් ඔවුන්ට එරෙහිව අරගල දියත් කිරීමෙන් පැහැදිලි වන්නේ උඩරට ගිවිසුම මගින් සැබෑ ලෙසම රට ඉංග්‍රීසීන්ට භාර දීමට ගිවිසුමට අත්සන් කළ සිංහල රදලයින්ට පවා අවශ්‍යතාවක් නොතිබූ බවයි. 


1815 උඩරට ගිවිසුම අත්සන් කිරීමට බලපෑ හේතු රාශියකි. නායක්කාර වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කුරිරු පාලනය අවසන් කිරීමේ බලවත් උවමනාවක් එකල බෞද්ධ භික්ෂුන් වහන්සේලාටත්, සිංහල රදළයින්ටත්, මහජනතාවටත් තිබිණ. රජුගේ නෑදෑයෝ දූෂිත පාලනයේ අග්‍ර කොටස්කරුවන් වූහ. සාමාන්‍ය ජනතාව විෂයෙහි අමානුෂික ලෙස නීතිය ක්‍රියාවේ යෙදවිණ. භික්ෂූන් වහන්සේ කෲර ලෙස ඝාතනය කළේය. ඇහැලේපොළ කුමාරිහාමි ලවා බිලිඳු දරුවා වංගෙඩියේ ලා කෙටවීම එකල සාමාන්‍ය ජනතාවගේ සිත් පිත් බෙහෙවින්ම සසල කළ සිදුවීමක් විය. හෙළ ජාතික සිරිත් විරිත්වලට කිසිදු ගරුසරුවක් නොදැක්වූ ඉංග්‍රීසීහු බුදු දහම නොතකා හැරියේය. ලක්වැසි ජනතාව ප්‍රජා පීඩක පාලනයෙන් මිදීමට මං සොයමින් සිටි මොහොතක උඩරට ගිවිසුම අත්සන් කළ බව මේ අනුව මොනවට පැහැදිලිය. එබැවින් උඩරට ගිවිසුම සැබැවින්ම රට පාවා දුන් ගිවිසුමක් ලෙස සඳහන් කිරීම යුක්ති යුක්ත නොවේ. 


උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසු “උඩරට හැරදමා නුඹලා මුහුදුකරයට යන්නේ කවදාදැයි’’ විමසූ සිංහල රදලයන්ට ඔවුන් පිළිතුරු දී ඇත්තේ “දැන් නුඹලාගේ රජ සිහසුනෙන් පහකර අවසන් නුඹලාගෙන් අපට කිසිවක් අවශ්‍ය නැහැ එහෙයින් දැන් යන්ට හොඳයි” යනුවෙනි. 


මේ අනුව ඉංග්‍රීසීන් ද ගිවිසුමට අත්සන් කළ උඩරට රදලයින් රැවටීමට ලක් කළ බව පෙනී යයි. ගිවිසුමට අත්සන් කළ කිහිපදෙනෙකු ඉංග්‍රීසීන්ට පක්ෂව සිටියද පිළිමතලාවේ අදිකාරම් වැන්නන් රදලයින් සමග සිටිමින් ඔවුන්ගෙන් බලය ඩැහැගැනීමට විවිධ උපාය උපක්‍රම භාවිත කළ බව පෙනේ. 


කෙසේ වෙතත් අධික ලෙස බදු අය කරමින් සාමාන්‍ය ජනතාව පීඩනයට පත් කිරීමත් ස්වදේශික රදලයින් නොතකා හැරීමත්, බුදුදහමට නිසි තැන ලබා නොදීමත් හේතුවෙන් ස්වදේශිකයින්ගේ ස්වාධීනත්වය අහෝසි වී ගිය අතර රට පාලනය කිරීමට ස්වදේශීය රජෙකුගේ අවශ්‍යතාව රටවැසියන්ට වඩවඩාත් දැනෙමින් තිබිණි. 


අනේ කූඹියනේ 
තොපටත් රජෙක් ඉන්නේ 
අපට නෑ ඉන්නේ 
එනිසාවෙන් - අපි තැවෙන්නේ 
රජෙක් ලැබුණොතින් 
කොඩි සේසත් නගන්නම් 
කැවුම් කිරිබත් කන්නම් 
බෙරහඬ නගන්නම් 
සාදු නාදෙන් ගිගුම් දෙන්නම්..... 


එවක සෙංකඩගල විසූ බෞද්ධ යතිවරයාණන් වහන්සේ නමකගේ එම ප්‍රකාශයෙන් රටේ ස්වාධීනත්වය සුරැකීම සඳහා රජකු අවශ්‍යතාව කොතරම් වීද? යන්න මොනවට ගම්‍යමාන වේ. 


මේ හේතුව නිසාම ඌව වෙල්ලස්ස විමුක්ති අරගලයේ ආරම්භ නායකයෙකු වූ කිවුලේගෙදර මොහොට්ටාල විසින් විල්බාවේ හෙවත් දොරේසාමි සිංහල නව රජතුමා ලෙස වෙස් ගන්වන ලදී. මේ අතර ඉංග්‍රීසීන් යටතේ ඌවේ මඩිගෙ ලේකම් තනතුරු දැරූ හජ්ජි මුහන්දිරම් වැදි පිරිසක් පිරිවරා ගත් අමුත්තෙකු බින්තැන්න බලා යන බවට ලද ආරංචිය හේතුවෙන් ඔවුන් ලුහුබැඳ ගොස් ඇත. එහිදී කැරලිකරුවන්ට හසුවූ හජ්ජි මුහන්දිරම් මරා දමන ලද අතර ඔහු බේරා ගැනීමට පැමිණි බදුල්ලේ සහකාර ආණ්ඩු ඒජන්ත පදවිය දැරූ සිල්වෙස්ටර් ද ඝාතනය කරන ලදී . මෙම හේතුව 1818 ඌව වෙල්ලස්ස අරගලය තීව්‍ර වීමට බලපෑ සුවිශේෂී හේතුවක් විය. 


මොවුන් දෙදෙනාගේ ඝාතනයත් සමග සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ ඌව වෙල්ලස්ස විමුක්ති අරගලය මර්දනය කිරීමට ඉංග්‍රීසීන්ගේ නියෝජිතයෙකු ලෙසින් කැප්පෙට්ටිපොළ මොණරවිල ඌවට පිටත් කර එවන ලදී. ඌවට පැමිණ කැප්පෙටිපොළ දිසාව අලුපොතදී සිංහල සේනාවන්ට එක් වී ඌව වෙල්ලස්ස විමුක්ති සටනේ නායකයකු බවට පත් විය. කැප්පෙටිපොළ දිසාව කැරලිකරුවන්ට එක්වීමත් සමඟ වඩාත් නොසන්සුන් වූ ඉංග්‍රීසි පාලකයින් තම අණසක පවතින ප්‍රදේශයට රාජපාක්ෂික භාවය නොදැක්වීම සම්බන්ධයෙන් පහත සඳහන් අය රාජද්‍රෝහී අපරාධකරුවන් ලෙස 1818 ජනවාරි 18 වන දින ප්‍රකාශයට පත් කළේය. 


කැප්පෙටිපොළ දිසාව, ගොඩගෙදර රටේ අදිකාරම්, කැටකාල මොහොට්ටාල,  කතරගම මහබෙත්මේ රටේරාල,  කතරගම කුඩා බෙත්මේ රටේරාල, පනන්ගොඩ මොහොට්ටාල, වත්තේ කාලේ මොහොට්ටාල, පොල් ගහ ගෙදර රෙනෙහෙරාල, පොලිස් වත්තේ විදානෙ, කිවුලේගෙදර මොහොට්ටාල, කළුගමුවේ මොහොට්ටාල, උඩමාදුර මොහොට්ටාල, කොහුකුඹුරේ වලව්වේ රටේරාල, කොහුකුඹුරේ වලව්වේ මොහොට්ටාල, බූටෑවේ රටේ රාළ, බකිණිගහවෙල රටේ රාල, මහ බදුල්ලගම්මන රටේරාල, බුලුගහපිටිය මොහොට්ටාල, පල්ලේමල්හේන්යායේ ගමැතිරාල ඉංග්‍රීසීන් විසින් රාජද්‍රෝහීන් ලෙස නම් කළ ඉහත නම් සඳහන් වීරවරයන් 2017 මාර්තු 01 වන දින නිකුත් කරන ලද 1998/25 අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ශ්‍රී ලංකා මාතෘභූමියේ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රකාශයට පත් කිරීම එම වීරයින්ට හා ඌවේ වීරෝදාර ජනතාවට සාධාරණය ඉටු කිරීමකි. 


ඌව වෙල්ලස්ස විමුක්ති සටන හේතුවෙන් ඉංග්‍රීසි පාලකයින් කෙතරම් අසීරුතාවට පත්වී ඇත්ද යන්න රොබට් බ්‍රවුන්රිග් විසින් බ්‍රිතාන්‍ය පාලකයින්ට යවන ලද ලිපියක සටහන් පහත ප්‍රකාශයෙන් මනාව සනාථ වේ. 


“එබැවින් දැනට කැරැල්ල ඉතාම උග්‍රව පවතින පළාත් වල අපේ හමුදාවේ බලය ප්‍රදර්ශනය කිරීමට මා සතු බලය ප්‍රමාණවත් නොවේ.....තවමත් කලබල රහිතව පවතින ප්‍රදේශයන්ට කැරලිකරුවන් කඩා පැනීම වැළැක්වීමට අප සතු හමුදා බලය කිසිසේත් නොසෑහේ. (උඩරට මහ කැරැල්ල-තෙන්නකෝන් විමලානන්ද ජී.155) 


රොබට් බ්‍රවුන්රිග් විසින් ඉල්ලා සිටී හයදහසකින් සමන්විත සේනාව නොයෙන්නට ඌව වෙල්ලස්ස විමුක්ති අරගලය ජයග්‍රාහීව අවසන් වන්නට ඉඩ තිබිණි. 


ඉංග්‍රීසීන් විසින් අපේක්ෂිත භට කණ්ඩායම් ලැබුණු පසුව ඌව වෙල්ලස්ස විමුක්ති අරගලය අධිරාජ්‍යවාදීන් විසින් ඉතා තිරස්චීන ලෙස මර්දනය කිරීමට කටයුතු කරන ලදී. ඔවුන් අවුරුදු 15ට වැඩි සියලු පිරිමින් මරා දැමීමට නියෝග නිකුත් කරන ලදී. ඉංග්‍රීසීන් විසින් ස්ත්‍රීන් දූෂණය කරන ලද අතර, කෙත්වතු, නිවාස ගිනි තබන ලදී. එසේම මහා වැව්, කුඩා වැව් සියල්ල කඩා බිදදමන ලදී. ගොවීන්ගේ කෘෂි ආර්ථිකයන්ට ඉමහත් දායකත්වයක් සැපයූ හරකුන් දහස් ගණනින් මරා දමන ලද අතර, ඔවුන්ගේ ප්‍රධාන ආහාරය බවට ද පත් කර ගන්නා ලදී. අවි ගත්තවුන් සියල්ල මරා දැමිය යුතු බවට වූ නියෝගය හේතුවෙන් කැති - උදලු අත දැරූවන් ද මරා දමන ලදී. 


එපමණක් නොව ඵල දැරූ ගස් සියල්ල කපා හෙළන ලද අතර , කුසගිනි නිවා ගැනීමට තිබූ සියලු මං අහුරන ලදී. මිනිසුන් මැරීමෙන් පමණක් මෙම අරගලය යටපත් කළ නොහැකි බව අවබෝධ කරගත් ඉංග්‍රීසීහු කෘෂි ආර්ථිකය යළි ගොඩනැගීමට නොහැකි ලෙස විනාශ කිරීම සඳහා ගම්පාලු ප්‍රතිපත්ති අනුගමනය කරන ලදී. 


මේ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ 1818 ඌව වෙල්ලස්ස විමුක්ති අරගලයේ දී ඌව වෙල්ලස්සට විශාල විනාශයක් සිදු වූ බවයි. මෙම අරගලයෙන් ඌවේ වීරෝද‌ාර වැසියන් විසිදහසකට අධික පිරිසක් මිය ගිය බව වාර්තා වේ. ඌව වෙල්ලස්ස විමුක්ති අරගලය සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ දායකත්වය ද සුළුපටු නොවේ. හාමාපොළ රංකිරි, කිවුලේගෙදර රංමැණිකා, මඩුගල්ලේ කුමාරිහාමි වැනි අභීත නායිකාවන් ද මෙම විමුක්ති අරගලයට සිය ලේ දහදිය මුසු කළ බව ඉතිහාසය සාක්ෂි දරයි. 


අප මව්බිමේ ස්වාධීනත්වය වෙනුවෙන් සිය ජීවිත, දේපළ පරිත්‍යාග කළ ඌවේ වෙල්ලස්සේ වීරෝද‌ාර විරුවන්ගේ උදාර පරිත්‍යාගයට වසර දෙසීයයක් ගෙවුණු පසුද ඌව වෙල්ලස්සට සාධාරණයක් ඉටුවීදැයි ගැටලුවකි. එබැවින් මීට වසර දෙසියයකට පෙර මුළු මහත් ජාතියත් රටත් බේරා ගැනීම සඳහා සිය ලේ , දහදිය අප මාතෘ භූමියට මුසු කළ විරුවන්ට සාධාරණය ඉටු කිරීම සඳහා 1818 ඌව වෙල්ලස්සට සිදු වූ විනාශය ගැඹුරින් විග්‍රහ කොට විධිමත් සැලසුම් සකස් කරමින් ඌව - වෙල්ලස්සේ ශ්‍රී විභූතිය යළි උදා කිරීම වගකිවයුත්තන්ට පැවරෙන පැහැර හැරිය නොහැකි කර්තව්‍යයකි. 


1818 නොවැම්බර් 26 දින යනු අපේ මාතෘ භූමිය ලෙයින් හා කඳුළින් තෙත් කළ අඳුරු දිනයකි. එදින මව් බිමේ නිදහස වෙනුවෙන් අදිරදවාදීන්ට එරෙහිව සටන් කළ මොණරවිල කැප්පෙටිපොළ හා මඩුගල්ලේ යන විරුවෝ බෝගම්බර පිටියේදී හිස ගසා මරා දමනු ලැබූහ. ඔවුන් රට ජාතිය වෙනුවෙන් කළ උදාරතර ජීවිත පරිත්‍යාගය කෘතවේදීව සැමරීම අපගේ අනුල්ලංඝනීය වගකීමකි. එම විරුවන් දෙදෙනා සමඟ අපේ රටේ නිදහස් - නිවහල් ස්වාධීන අයිතිය වෙනුවෙන් සිය දිවි පුද කළ ඌව වෙල්ලස්සේ සෙසු අභීත විරුවන්ද සැමරීම සඳහා ඌව පළාත් සභාව මගින් පවත්වනු ලබන විරු සැමරුම් උළෙල 2018 නොවැම්බර් 26 දින වැලිමඩ කැප්පෙටිපොළ මහා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වේ. 


අබේසිංහ හඳවලපිටිය, 
ලේකම්, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය 
ඌව පළාත් සභාව