දෙවැනි ලෝක මහා සංග්‍රාමයේ දී වැලිකතරේ වුවද වතුර නැතිව ධාවනය කරන්නට හර් හිට්ලර් නිර්මාණය කරවූ වොක්ස්


 

 

තමන්ගේ සිතේ කලක සිටම ඇතිවූ කිසියම් ආවේගශීලි බවත් නිසා ලෝකාධිපත්‍යය ලබනු පිණිස වූ හැඟීමකින් යුතුව ජර්මනිය පාලනය කළ හර් ඇඩොල්ප් හිට්ලර් තමන්ගේ සහායට ඉතාලියේ ආඥාදායකයා වූ සිංඤෝර් බබනිටෝ මුසෝලිනි ද එකතු කර ගෙන ගෙන ගිය දෙවැනි ලෝක මහා සංග්‍රාමයට විරුද්ධව මිත්‍ර පක්ෂයේ පෙරමුණ ගත්තේ එංගලන්තයේ සර් වින්ස්ටන් චර්චිල්ය.   


එසේවූ වියරු මානසිකත්වයකින් යුතුව හිට්ලර් කටයුතු කරන සමයේ දී ඔහුට වියළි වැලි කතරක වුවද වතුර නැතිව ධාවනය කරනු පිණිස නව මෝටර් රථයක් නිෂ්පාදනය කරවීමේ ආශාවක් ඇතිවිය. එවැන්නක් මෙතෙක් නිෂ්පාදනය කර නොමැති නිසා ඔහු කළේ එවැනි මෝටර් රථයක් සැලසුම් කරන්නැයි තම ප්‍රධාන මෝටර් රථ ඉංජිනේරුවරයාට අණ කිරීමය.   
මෙය එම ඉංජිනේරුවරයාට ද බරපතළ අභියෝගයක් වූයේ එවැන්නකට නිසි සැලසුමක් මෙතෙක් නොකෙරුණු හෙයිනි. එහෙයින් ඔහු එදා මහ රෑ වන තෙක් සිය නිවසේ කාර්යාල කාමරයේ ගත කළේ එවැනි රථයකට මූලික සැලසුම් සම්පාදනය කරන්නට වෙහෙස වෙමිනි.   


එවැනි සුවිශේෂ රථයක හැඩය ප්‍රධාන ලෙස සැලසුම් කළ යුතු වුවද ඔහු කඩදාසි කීපයක එවැනි සැලසුම් අඳින ලද නමුදු ඒ එකක්වත් නිසි ආකාරයට සිදු නොවීය. විදුලි බල්බය දල්වා ගෙන කවදාවත් නොමැති තරමේ මානසික පීඩනයකට පත්ව සිය සැමියා මෙසේවූ අවුලකට පටැලැවී සිටින බව දුටු එතුමාගේ බිරිඳ ද කිහිපවිටක්ම ඒ පිළිබඳව විමසුව නමුදු සැමියාගෙන් එයට නිසි පිළිතුරක් ලැබුණේ ද නැත.   


එහෙත් අන්තිමේ බැරිම තැන ඉංජිනේරුවරයා තමන්ගේ සිතට වද දුන් කාරණය හෙළි කරන්නට විය. 

 
ලොක්කා අද මට කිව්වා අමුතු ජාතියක මෝටර් රථයක් හදන්න නිර්මාණය කරන්න කියලා. වැලි කතරක වුණත් වතුර නැතිව දුවන්න පුළුවන් එකක් ලෙසට යනුවෙන් ඔහු බිරිඳට කියා සිටියේය.   


ඉතින් ඒකද ප්‍රශ්නය යි බිරිඳ විමසුවාය.   


ඔව්. ඒකම තමා ප්‍රශ්නය. වාතය කපා ගෙන වතුර නැතිව වේගවත්ව ඇන්ජිම සිසිල් වෙන විදියට දුවන්නට හදන මෙම මෝටර් රථයේ පෙනුමේ සැලසුමයි මට තවමත් හිතාගන්න බැරිවෙලා තියෙන්නේ යනුවෙන් ඉංජිනේරු සැමියා බිරිඳ හමුවේ ඇත්තටම කියා සිටියේ ඇය තුළ ද විමතියක් ඇති කරවමිනි.   


ආ. ඒකද ප්‍රශ්නේ. මම ඒ මෝටර් රථයට සුදුසු නියම සැලැස්ම ගැන අදහසක් දෙන්නම්. යැයි කී ඇය කාමරයේ දී සිය සැමියා ඉදිරියේ දේදුන්නබා සිටියාය. නැතහොත් නොපිටට සිට දෙඇස් දෙඅතට බරදී සිය කඳ බඩ උඩට සිටිනසේ දෙකකුලෙන් පිටි අතට හැරී සිටියාය. එය නිර්මාණශීලී ඉංජිනේරුවරයාට සිත තුළ අමුතුම සැලසුමක් ද ජනිත කරවීමේ දර්ශනයක් ද විය. ඔහු පුදුමයෙන් දෑස් දල්වා ගෙන බිරිඳගේ දේදුන්න බා සිටි විලාශය දෙස බලා සිටියේය.   


මෝටර් රථයේ පෙර ලයිට් දෙක ඉදිරිපසය වහලය බඩවතය. ඉදිරිපස රෝද දෙක අත්දෙක නිර්මාණය කෙරුණා මෙන් රථයේ ඇන්ජිම පසුපසට යෙදිය යුතු බව බිරිඳගේ එම රංගයෙන් ඔහුගේ සිතට මැනවින්ම හැඟී සිටියේය. බඩු සැට් එක රථයේ ඇන්ජිම එසේම රථය පිටුපසට යෙදිය යුතු බව සිතට ඔහුගේ අතින් එම මෝටර් රථයේ සැලැස්ම කඩදාසියක නිසි ලෙස ඇඳුණේ ඉන් අනතුරුවය.   


මෙතෙක් කල් කිසිදු මෝටර් රථයකට සැලසුම් නොවූ අයුරු වේගයකින් දිවෙන මෙම රථයේ ඇන්ජිම පසුපස යොදන බැවින් එය යන්න යන්නම උණුසුම් නොවී සිසිල් වන බව ද එම මෝටර් රථයේ ටයර් සතර ද අමුතුම ක්‍රමයකට පොළොව බදාගෙන යන ලෙස නිර්මාණය කිරීමෙන් එය කිසිදාක නොපෙරළෙන මෝටර් රථයක් ලෙස ද නිර්මාණය කිරීමට ඔහුට හැකිවිය.   


එසේ තම නව නිර්මාණය මෙසේ කඩදාසියක සටහන් කිරීමෙන් පසුව ඉංජිනේරුවරයා එහි අදහස ගන්නට තමන් ඉදිරියේ දේදුන්න බා සිටි තම ආදරණීය බිරිඳ බදා සිප වැළඳ ගත්තේ මහත්වූ සතුටින් යුතුවය.   


මෙම රථයට සර් ඇඩොල්ෆ් හිට්ලර් නායකයාණන් විසින් වොක්ස් වැගන් ජනතා රථය ලෙස හඳුන්වන ලද්දේය. වහා එය වැඩි වැඩියෙන් නිෂ්පාදනය ඇරඹිණ.   
මෙම ජනතාවගේ රථය වෝක්ස්වැගන් රථය හිට්ලර්ගේ යුද ප්‍රයෝජනයට මෙන්ම රටේ ජනතාවගේ කාර්යයට ද ඉතාමත් මහෝපකාරී විය. සතර දෙනෙකුට ගමන් කළ හැකි දොර දෙකේ වතුර අවශ්‍ය නැති ලෙඩ අඩු වාහනයක් වූ හෙයින්ම එය ජනතාවගේ රථයක්ම විය.   

 


සෝමසිරි කස්තුරිආරච්චි