දෙව්ලොව මහ දෙවියා දොරටුපාලයාගෙන් උගත් පාඩම


 

 

ග‍්‍රීක, රෝම, සුමේරියන්, භාරත වැනි අතීතයේ දියුණුවට පත්ව තිබූ ශිෂ්ටාචාර සතුව දේවලෝක තිබේ. මේ එක් එක් දේව ලෝකවල ප‍්‍රබල දෙව්වරුන් විසින් ලෝකය පාලනය කරනු ලබන බව විශ්වාස කෙරේ. එහෙත් මේ එක් එක් ශිෂ්ටාචාරවල සිටින දෙව්වරුන්ගේ නම් එකිනෙකට වෙනස්ය.   මේ පළවන්නේ භාරත දේව සභාවට අයත් දෙව්වරුන් පිළිබඳ කතා පෙළකි. තුල්සි පැළෑටියේ උපත ලෙස නම් කර ඇති අපූරු කතා පුවත අද ඇරඹේ.   

 

දිව්‍ය ලෝකයේ සිටින සියලු  දෙව්වරුන්ගේ රජු ඉන්ද්‍ර බව සැබෑය. එහෙත් පෘථිවිවාසී මිනිසුන්ගේ ගෞරවාදරයට හා පුද පූජාවනට ඉන්ද්‍ර කවද‌ාකවත් ලක්වූයේ නැත.   


බ‍්‍රහ්ම, විෂ්ණු සහ ශිව යන දෙව්වරුන්ට ලැබෙන ගෞරව බුහුමානය පුදුමාකාරය. පෘථිවි භූමිය පුරා ඔවුන් වෙනුවෙන් දේවාල ඉදිවී තිබෙන අතර, බැතිමත්තු පූජා වට්ටි දෝතින් රැගෙන ඒ දේවාලවල පුද පූජා පවත්වති.  
 
‘‘බ‍්‍රහ්මයි විෂ්ණුයි නම් තව කමක් නෑ’’   


ඉන්ද්‍ර තමන්ටම කියාගත්තේය. 


‘‘බ‍්‍රහ්ම කියන්නෙ ලෝකයේ මැවුම්කරු. ඒ නිසා බ‍්‍රහ්මට වැඳුම් පිදුම් කළාට කමක් නෑ. එතකොට විෂ්ණු කියන්නෙ මේ ලෝකය රැකබලා ගන්න කෙනා. ඒ නිසා විෂ්ණුට වැඳුම් පිදුම් කරලා පිහිටක් ඉල්ලන එකත් සාධාරණයි. ඒත් ශිව...... ශිව කියන්නෙ මේ ලෝකය විනාශ කරන කෙනා. බ‍්‍රහ්ම මවපු ලෝකෙ, විෂ්ණු ආරක්ෂා කරන ලෝකෙ, ශිව මොහොතකින් විනාශ කරල ද‌ානවා. ඒත් මිනිස්සු මේ ශිවටත් වන්දනාමාන කරනවා. ඒත් දෙව්ලොව අධිපති වෙන මට එක මිනිහෙකුගෙන්වත් කිසිම සැලකිල්ලක් නෑ. පුද පූජාවක් නෑ. පලතුරු වට්ටියක් නෑ’’   


ඉන්ද්‍ර නිතර නිතරම තමන්ටම කියා ගත්තේය.   


මේ තත්ත්වය ගැන ඉන්ද්‍ර කාලයක සිටම සිටි​ෙය් කනගාටුවෙනි.   


‘‘දවසක මම පෘථිවියට යනවා. ගිහිල්ල එහෙ මිනිස්සුන්ට කියනවා මමයි දෙව්ලොව අධිපති, ලෝකය විනාශ කරන ශිවට වැඩියෙන් මමයි උතුම්, මටයි පුද පූජා පවත්වන්න ඕනෑ කියලා.’’ ඉන්ද්‍ර සිතුවේය. එහෙත් ඔහු ගියේ පෘථිවි භූමියට නොවේ. වෛකුණ්ඪයටය.   


වෛකුණ්ඪය යනු ශිවගේ අසපුවයි.   


සිදුවන සියල්ල ගැන පෙර වැටහීමක් තිබෙන බැවින් ශිවගේ වෛකුණ්ඪයේ මුරකරුවන්ගේ දොරටුපාලයන් කවුරුවත් නොමැත. තම මැදුරට කවුරුන් හෝ එන්නට සිතුවා නම් ඒ සිතිවිල්ල පවා ශිවට දැනෙයි. ඉතින් ඉන්ද්‍රගේ ආඩම්බරය, කණස්සල්ල මෙන්ම කෝපයට පත්ව තමන් හමුවීමට එන හැටි පවා ශිවට මොනවට දැනිණි.   


‘මෙයාගෙ ආඩම්බරය දොරටුවෙදීම නැති කරල ද‌ාන්න ඕනෑ!’   


ශිව තමාටම කියාගනිමින්, දොරටුපාල වේෂයක් මවාගෙන වෛකුණ්ඪයේ දොර කඩට ගියේය.   


ඉන්ද්‍ර ආවේ කෝපයෙන් පුපුරමිනි. වෛකුණ්ඪයේ දොරකඩට පැමිණි ඔහු, දොරටුපාලයා දෙස ඍජු බැල්මක් හෙළුවේය.   


‘අහකට වෙයන් මං ආවෙ ශිව මුණගැහෙන්න. මට එයත් එක්ක බේරගන්න කරණාවක් තියෙනවා’   


ඉන්ද්‍ර, දොරටුපාලයාට කීවේය.   


එහෙත් දොරටුපාලයා, දොරටුවෙන් ඉවතට වූයේ නැත.   


‘මොකක්ද ශිව උතුමාණන් එක්ක ඔබට බේරගන්න තියෙන ගැටලුව’   


‘‘ඒක උඹට වැඩක් නෑ. ඒක මගෙයි ශිවගෙයි ප‍්‍රශ්නයක්’’   


‘‘ඒ වුණාට?’’   


දොරටුපාලයා පැවසුවේය.  


‘‘ඔබට ශිව උතුමාණන් සමඟ බේරාගන යුතු ගැටලුව මා දැනගත යුතුයි’’   


‘‘එහෙමද? එහෙමනම් දැනගනින් මම ඉන්ද්‍ර. ඉන්ද්‍ර කියන්නෙ දෙව්ලොව අධිපති. මට අවශ්‍ය මගේ බලය ශිවගේ බලයට වඩා වැඩි බව පෙන්වීමට’’   


දොරටුපාලයා බලා සිටියේය.   


‘එහෙමද?’’ 

 
‘‘ඔව්, එහෙම තමා’’   


‘‘එසේ නම් පළමුව ඔබ, ඔබේ බලය මට පෙන්විය යුතුයි’’   


දොරටුපාලයා පැවසුවේය.   


‘‘පළමුව ඔබ මා පරාජයට පත්කරන්න. මා එක්ක සටන් කරලා දිනුවොත් විතරයි ඔබට ශිව උතුමාණන් මුණගැහෙන්න හැකි වෙන්නෙ. පැරදුණොත් හමුවෙන්න බෑ’’   


දොරටුපාලයකු කියන කතා ගැන ඉන්ද්‍ර වඩාත් කෝපයට පත්විය. මොහොතක්වත් පමානොවී ඔහු දොරටුපාලයා හා සටනට පිවිසියේය. අත දිග හැර දොරටුපාලයාගේ කම්මුලට පහරක් ගසන්නට ඉන්ද්‍රට ඕනෑ විය. එහෙත් දොරටුපාලයා වහා මුහුණ ඉවතට ගත්තේය. දොරටුපාලයාගේ කම්මුල ඉලක්ක කරගත් අත ඉවතට ගියෙන් ඉන්ද්‍රගේ සමතුලිත බව බිඳිණි. 

 
දොරටුපාලයා වහාම ඉන්ද්‍රව ඉවතට තල්ලු කළේය. ඒ තල්ලුවේ වේගය කොයිතරම්ද යත්, ඉන්ද්‍ර විසිවී ගොස් වෛකුණ්ඪ මැදුරේ දොරකඩ අසල බිම ඇද වැටුණේය.   


ඉන්ද්‍රගේ කෝපය දෙගුණ තෙගුණ විය.   


‘‘මූ...... මේ දොරටුපාලයාට හොඳ පාඩමක් උගන්නන්න ඕනෑ. මූ දන්නෙ නෑ, මම දෙව්ලොව හැම දෙවියකුගෙම ලොක්කා බව’’   


ඉන්ද්‍ර කෝපයෙන් මුමුනමින් නැගිටින්නට උත්සාහ ගත්තේය. එහෙත් තම සිරුර අප‍්‍රාණිකව ඇති බවත් තම දෙපා හෝ අත් හෝ සවිමත් නැති බවත් ඉන්ද්‍රට දැනිණි.   


ඔහු මදක් හිස ඔසොවා දොරටුපාලයා දෙස බැලුවේය. ඔහු සමච්චල් සහගත සිනාවකින් යුතුව තමන් දෙස බලා ඉන්නා හැටි ඉන්ද්‍ර දුටුවේය.   


‘‘එකත් එකටම මේ ශිවමයි මෙයා මාව රවට්ටන්නෙ. මගෙ ආඩම්බරකම බිඳින්න දොරටුපාල වේෂයක් මවාගෙන’’   


ඉන්ද්‍රට සිතිණි.   


ඔහුට ශිවගෙන් සමාව ඉල්ලීමට අවශ්‍ය විය.   


ඉන්ද්‍රගේ සිතිවිලි වැටහුණෙන් ශිව, ඔහුට කිසියම් ශක්තියක් ලබා දුන්නේය. ඒ අනුව ඉන්ද්‍රට නැගිටින්නට ශක්තිය ලැබිණි. නැගිට දොරටුව වෙත ආ ඉන්ද්‍ර, දොරටුපාලයාට වැඳ වැටුණේය.   


‘ශිව උතුමාණෙනි, දොරටුපාල වෙස් ගෙන සිටි නිසා මට ඔබ හඳුනා ගැනීමට නොහැකි වුණා, මට සමාවෙන්න’’   


ඉන්ද්‍ර කීවේය.   


එහෙත් ශිව, තවමත් සිටියේ කෝපයෙන් දැවෙමිනි. ඔහු කෝපයට පත් වූ විට කිසිම අණක් ගුණක් ඇත්තෙකු නොවේ. ඔහු සතු තුන්වැනි ඇස විවර කර මහා ගින්නක් මවා ඕනෑම දෙයක් අළු දූලි කිරීමේ හැකියාවක් ශිවට තිබේ. ඇත්තටම ඔහු තරම් දුෂ්ටයකු දෙව්ලොව සිටියේ නැත.   


‘‘මට සමාවෙන්න’’   


ඉන්ද්‍ර යළිත් පැවසුවේය.   


මෙතෙක් වේලා ඉන්ද්‍ර දෙස කෝපයෙන් බලා සිටි දොරටුපාලයා තම දෙනත වසාගත්තේය. ඔහුගේ සිරුරෙන් යමක් පිටව යනු ඉන්ද්‍ර දුටුවේය. ඒ මොනවා දැයි බැලූ විට ඔහුට පෙනුණේ ගිනි පුළිඟුය. රතු පාට ගිනි පුළිගු කිහිපයක් ඉවතට විසිවුණු පසුව, දොරටුපාලයා අතුරුදන් වී ශිවගේ සැබෑ රූපය දැකගත හැකිවිය.   


ශිව යනු ප‍්‍රසන්න පෙනුමැති සුන්දර දෙවියෙකි. දැන් ඉන්ද්‍ර ඉදිරිපිට තිබෙන්නේ ඒ ප‍්‍රසන්න දෙව්රුවය.   


ඉන්ද්‍ර වහා ශිව අසල හිස පහත් කළේය.   


‘‘මට සමාවෙන්න. මම ඔබේ ශක්තිය ගැන සැක පහළ කළා...... නමුත් ඔබ මගේ ආඩම්බරය විනාශ කළා’’   


ඉන්ද්‍ර මිමිනුවේය.   


එවර ශිව ප‍්‍රසන්න ලෙස හිනැහුණේය.   


ඉන්ද්‍ර ඔබ මගේ කෝපය ඇවිලූවා. කෝප වූ විට සාමාන්‍යයෙන් මං කරන්නේ මගේ තෙවෙනි ඇස ඇර බැලීමයි. එසේ කළා නම් ඔබ මෙලහකටත් අළු ගොඩක් බවට පත්වෙලා’’   


ඉන්ද්‍ර බයෙන් ගැහෙන්නට පටන් ගත්තේය.   


සැබැවින්ම ඒ ඔහුට දැනුණේ මරණ බියයි. තම ආඩම්බරය ගැන හිතා ආ ගමනේ මෝඩකම ගැන ඉන්ද්‍රට පසුතැවිල්ලක් දැනිණි. තව පොඩ්ඩෙන් ඔහුට සිදුවන්නේ අළු ගොඩක් බවට පත්වීමටයි.   
ඉන්ද්‍රගේ ඉහින් කනින් ද‌ාඩිය වැගිරෙන්නට පටන්ගත්තේය.   


‘‘නමුත් ඔබ මා හඳුනාගත් විගස මගේ දෙපාමුල වැඳ වැටුණා. ඉතින් තවදුරටත් ඔබ කෙරෙහි මගේ කෝපය රඳවා ගැනීමට නොහැකි වුණා.’’   


ශිව කීවේය.   


ඉන්ද්‍ර සිනාවක් පෑවේය. ශිවගේ ඒ වදන් ඉන්ද්‍රට ගෙනාවේ සැනසිල්ලකි. දැන් ඉතින් ඔහුට අළු ගොඩක් වන්නට සිදුවන්නේ නැත.   


‘‘ඔබ දන්නවද? දැන් මගේ කෝපය තිබෙන්නේ සාගරයේ නිබඳ පෙරළෙන මහා රළ රැළි අතරේ’’   


ඉන්ද්‍ර ශිව දෙස බැලුවේ විශ්මයෙනි කෝපය රළ රැළි අතරේ දිය කරන ආකාරය ඔහුටද පුදුමය දැන වූ බැවිනි.   


එහෙත් සයුරු රළ අතර රැඳවූ ප‍්‍රබල කෝපයේ ප‍්‍රතිඵලය වූයේ හුරුබුහුටි දරුවකුගේ උපත සිදුවීමයි. මේ දරුවා රළ ගෙඩි සමඟ ඉහළ යමින්ද යළි පහළ යමින්ද සිටි අතර හැඬුම් හඬද පිටවිය.   


මේ හඬුම් බ‍්‍රහ්මට ඇසිණි. ලෝකයේ සියල්ල බිහිකරන්නේ බ‍්‍රහ්මය. දරුවාගේ හැඬුම් හඬ ඇසුනෙත් බ‍්‍රහ්ම වහා ඒ හඬ ඇසුණු තැන සොයා ගියේය. අන්තිමේදී සයුරු රළ අතර පාවෙන දරු පැටියා දුටුවේය. දරු සෙනෙහසින් උමතු වූ ඔහු මහා සයුරට පැන තම දෝත පා දරුවා වඩා ගත්තේය. ඒ වන විට තෙතබරිව සිටි පුංචි එකාව තම කරවටා වූ සලුවෙන් පිස දැමූ බ‍්‍රහ්ම, දරුවා දෝතින් ගෙන නළවන්නට පටන් ගත්තේය.   


දරුවා හැඬුම නතර කර යම්තමට සිනාසිණි. ඊළඟට තම සුරත දිගුකර බ‍්‍රහ්මගේ දිගු රැවුල අල්ලා ගත්තේය. ඊළඟට ඔහු කළේ දිගු රැවුලෙන් අල්ලා තදින් ඇදීමය.   


බ‍්‍රහ්මට රිදිණි. ඔහුගේ දැසින් කඳුළු පනින තරමටම ඒ රිදුම දැඩිවිය.   


‘‘උඹ නම් හරිම ශක්තිමත් දරුවෙක්. උඹව අරගත්තෙ වතුරෙන් නිසා මම උඹට ජලන්ධර කියලා නම තියනවා.’’   


බ‍්‍රහ්ම කීවේ දරුවා දෙස බලා සිනාසෙමිනි.   


දවස දවස ගෙවීයද්දී ජලන්ධර හොඳින් වැඩිණි. අතිශය කඩවසම් රුවක් සහිත මේ තරුණයා සතුව අපමණ ශක්තියක් විය. මේ තරම් ශක්තිමත් තරුණයකු දේව සභාවට ගතයුතු යැයි දෙව්වරු කල්පනා කළහ.   


මන්දයත් එය දිව්‍ය ලෝකයේ යහපැවැත්මට හේතුවන බැවිනි. යම් හෙයකින් නැවත වතාවක් සුර අසුර යුද්ධයක් හටගතහොත් තම ජයග‍්‍රහණය වෙනුවෙන් මෙබඳු අභීත, ශක්තිමත් තරුණයන් අවශ්‍ය නිසාය.   


එහෙත් ජලන්ධරගේ අදහස වූයේ වෙනකකි. ඒ වන විටත් ඔහුගේ හිත යොමුව තිබුණේ ව්රින්ද්‍ර නම් අසුර කුමරිය වෙතය. ඇගේ රුසිරි ජලන්ධරගේ හිත උමතු කර තිබිණි. වහා අසුර ලොවට ගිය ඔහු ව්රින්ද්‍රගේ පියා මුණ ගැසුණේය.   


තලානෙවි නම් වූ ඔහු රාවණගේ මාමා කෙනකු විය. තම අසුර පිරිස ගැන මහත් ආඩම්බරයකින් පසු වූ තලානෙවි. තමා හමුවට පැමිණි මේ කඩවසම් ඉලන්ද‌ාරියා දෙස ආශාවෙන් බැලුවේය.   
‘‘පියාණනි, ඔබේ දියණිය ව්රින්ද්‍ර කෙරෙහි සිතක් පහළව තිබෙනවා. මට ඇය සරණපාවා ගැනීමට අවශ්‍යයි.’’   


තලානෙවි, මේ ඉලන්දාරියා දෙස බැලුවේ ඇස් දෙක පුංචි කරගෙනය. එකපාරටම පැමිණ තම මංගල යෝජනාව ඉදිරිපත් කිරීමට තරම් ශක්තියක් මේ කොල්ලාට කොහෙන්දැයි තලානෙවි කල්පනා කළේය. අනතුරුව ඔහු කළේ තම දියණිය එතැනට කැඳවීමයි.   


ඒ වන විටත් දිය නා කෙස්කලඹ විහිදුවාගෙන සිටි ව්රින්ද්‍ර සුන්දර අසුර කුමාරියක ලෙස පෙනිණි. මුව පුරා සිනාසීගෙන පැමිණි ඇය, සිය පියාණන් අභියස එකත්පස් වූවාය.   


‘‘මේ තරුණයා හඳුනනවාද?’’

   
තලානෙවි ඍජු හඬින් ඇසුවේය.   


‘දැක පුරුදුයි. නමුත් මා කතාකර නැහැ’’   


‘‘එසේද’’   


තලානෙවි ඊළගට බැලුවේ ජලන්ධර දෙසය. ‘‘එය සත්‍යයක්ද?’’   


‘‘එහෙමයි. ඇය දුටු සැණින් මගේ හිත ඇය වෙත බැඳුණා. නමුත් කිසිවක් ඇය සමඟ කතා කළේ නෑ’’   


මොහොතක් කල්පනාවේ ගැලුණු තලානෙවි නැවත වතාවක් තම දියණිය දෙස බැලුවේය.   


‘‘මොහු ඔබ වෙත මංගල යෝජනාවක් ඉදිරිපත් කරනවා. මොහුගේ අත ගැනීමට ඔබ කැමැතිද?’’   


ජලන්ධර දෙස නෙතගින් බැලූ ව්රින්ද්‍ර අනතුරුව පියා දෙස බලා බිම බලාගත්තාය. සිය මහපටැගිල්ලෙන් බිම හාරමින් සිටි ඇය ඇඟිල්ලක් වූවට ගෙන නියපොත්තක්ද හැපුවාය.   


ඇගේ ඒ හැසිරීම කියන්නේ මංගල යෝජනාවට කැමැත්ත බව තලානෙවි වටහාගත්තේය.   


‘‘හොදයි නැවත මුණ ගැහෙන්න’’   


තලානෙවි කී විට ජලන්ධර නික්ම ගියේය.   


සිය නෙත ගැටුණු සුන්දර ව්රින්ද්‍රව ඒ මොහොතේ පටන් ජලන්ධරගේ හදවත කිති කැව්වාය. ඒ රූ සපුව ඔහු උමතු කරන තරම් විය. එබඳුම සුන්දර හැඟීමක් ව්රින්ද්‍රගේ හදවතේද උපණි......

ජලන්ධර ඒ තරම් කඩවසම් තරුණයකු වූයේ කෙසේදැයි ඇයට සිතාගත නොහැකි විය.   


‘‘ඒ වගේ කඩවසම් තරුණයෙක් මම කවද‌ාවත් අසුර ලෝකයේදී නම් දැක නෑ’’   


ව්රින්ද්‍ර තම මව සමඟ කීවාය.   


‘‘මම ඔහුට කැමති බව පියාණන්ට පවසන්න’’   


ජලන්ධර යළිත් පැමිණ දවසේ තලානෙවි මගුල තීන්දු කළේය.   


ඉන් මාස කිහිපයකට පසු ඔවුන්ගේ විවාහය සිදුකෙරිණි.   


‘‘ජලන්ධර දිව්‍ය ලෝකයට ගන්නට නොහැකි වීම බරපතළ පාඩුවක්.’’   


දේව සභාවේදී දෙව්වරුන්ගේ මාතෘකාව බවට පත්වූයේ එයයි.   


‘‘මා හිතන්නේ ව්රින්ද්‍ර තරම් ලස්සන මෙනෙවියක් දිව්‍ය ලෝකයේ නැහැ’’   


එවිට තවත් දෙවියෙක් පැවසුවේය.   


‘‘ඔහු අසුර ලෝකයට ගියේ ව්රින්ද්‍රගේ සුන්දර රූ සපුව කෙරෙහි බැඳුණු අාලයෙන්’‘   


‘‘නිවැරැදියි නොඑසේ නම් ඔහුට අසුර ලෝකයට යාමට වෙනත් හේතුවක් නැහැ’’   


ඒ වනවිටත් ජලන්ධර සහ ව්රින්ද්‍ර ප‍්‍රීතිමත් යුගදිවියක් ආරම්භ කර තිබිණි. ඇය බොහෝ නුවණැති කාන්තාවක් වූවාය. එසේම සිය දිවි දෙවෙනි කොට ඇය සිය සැමියාට ආදරය පුද කළාය.   
‘ජලන්ධර ඔබ ඇත්තටම අසුර ලෝකයට පැමිණියේ මා පතාගෙනද’’   


දිනෙක ව්රින්ද්‍ර විමසුවාය.   


‘සත්තකින්ම ඔබ දුටු පළමු මොහොතේදීම මගේ හිත ආදරයෙන් පිරී ගියා’’   


ජලන්ධර කීවේ සිය බිරිඳගේ තොපුලක් චුම්බනය කරමිනි.   

 

 

 

 

 

 


ලබන සතියේ
අසුර ලොව රජකමට ජලන්ධර පත්වෙයි'
ශාන්ත කුමාර විතාන