දෙවනපෑතිස් රජ සමය හා බැඳුණු කිරිදන


ගමේ නම හැදුණු හැටි

 

කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිරිදන ග්‍රාම සේවා වසමෙහි පිහිටි සෞභාග්‍යමත් මෙම සුන්දර ග්‍රාමයේ ඉතිහාසය අවුරුදු දෙදහස් පන්සියයක් තරම් ඈතට දිවයන්නකි.   


ශ්‍රී බු.ව. 236 දී පමණ (ක්‍රි.පූ. 280-250) රජ කළ දෙවනපෑතිස් රජ දවස සිදු වූ වැදගත් සිද්ධියක් මෙහි ඉතිහාසය සනිටුහන් කරනු ලබයි.   


එකල ඉන්දියාවේ සිට මෙහි පැමිණි බ්‍රාහ්මණ යුවළක් කෑගල්ල දිස්ත්‍රික්කයේ සුප්‍රසිද්ධ වට්ටාරම රජ මහා විහාරය අසල පදිංචිව සිටි වැසියෙකුගෙන් බිම්කඩක් ලබාගෙන සිය ජීවනෝපාය සඳහා විශාල බටු හේනක් වැවූහ. මේ අතර වනයෙහි විසූ (මොනර) සෙබඩක් බටු හේනෙහි හොඳින් වැඩී තිබූ බටු ගසක් යට කූඩුවක් සාදා එහි ප්‍රමාණයෙන් තරමක් විශාල බිත්තරයක් දැම්මාය. මෙය දුටු බ්‍රාහ්මණ මානවකයා සෙබඩ නොදක්නා පරිදි එය මනා සේ ආරක්ෂා කළේය. කල් යාමේදී මයුර බීජය මෝරා එතුළ යමක් දෘශ්‍යමාන වන්නට විය. මෙහි විශේෂයක් ඇති බැව් දැනගත් බමුණා සුදුසු කාලය අවබෝධ කොට මයුර බීජය රුවන් භාජනයක තබා සිය බිරිය ද කැටුව අනුරාධපුර රජ වාසලට ගොස් මෙය දැකුම් පඬුරක් වශයෙන් රජු හට පිළිගැන්වීය.   


එවකට රජ කළ දෙවනපෑතිස් රජ තෙමේ මේ අපූර්ව වූ මොනර බිජුවටය දැක ඉතා ප්‍රමෝදයට පත්ව සතුටින් පිළිගෙන පසෙක තබා නරඹන කල්හි මයුර බිජුව පුපුරා දෙව් දුවක් වැනි කුමාරිකාවක් ප්‍රවිෂ්ටව අඬමින් සිටියාය. මෙයින් රජතුමා මහත් වූ සොම්නසට පැමිණ කුමරියට කිරි මවක් සොයනුයේ මයුර බිජුවටය ගෙනා බමුණු දේවිය දරු ස්නේහයෙන් පිනා ගොස්, පයෝධර යුග්මයෙන් කිරි වෑස්සෙන්නට විය. මෙයින් රජු සතුටට පත්ව මේ නම් කිරි දෙනක​් යැයි පැවසීය.   


ඉන්පසු එබස ප්‍රධාන ව්‍යවහාරයට තබා බ්‍රාහ්මණ බිරින්දෑ කිරි මව් තනතුරට පත් කෙරිණ. මොනර බිත්තරය ගෙන ආ බමුණුතුමා හට තෑගි පිණිස ගම්වර දහ අටක් ප්‍රදානය කොට කිරිදෙන යසතිලක මයුර පක්ෂ වාසල හේරත් මුදලි යන ගරු නම් තබා වාසල මුදලි තනතුරු ද පැවරීය. පසුව මොහු ප්‍රසිද්ධ නායක සේනා සුන්දර යන නමින් ද පිදුම් ලැබීය.   
මයුර බීජයෙන් උපන් එම කුමරියට මයුරාවතී යැයි නම් තැබීය. දෙවන පෑතිස් රජාණන්ගේ දුහිතෘ තනතුර ලැබූ මෙම මයුරාවතී කුමරිය වැඩි විය පත් කල්හි ශ්‍රීමා බෝධිය මෙරටට වැඩම වූ අවස්ථාවෙහි පිරිවර වශයෙන් ආ කුමාරවරුන් අතරින් සූරිය ගෝත්‍ර කුමාරයා කැඳවා මයුරාවතී කුමරිය සරණපාවා දෙමින් කුරුණෑගල දඹදෙනි ප්‍රදේශයෙන් ප්‍රදේශයක් වෙන් කරවා එයට මයුරාවතී කෝරලය යැයි නම් තබා එය කුමරියට ද‌ායාද පිණිස දී කුමරු හට යුවරාජ පදවිය පිරිනැමීය.   


එම දෙපොළ සව්ළුව නමැති ග්‍රාමයෙහි බොහෝ කලක් වාසය කළෝය. එම රාජ වංශය සවුළු රාජ වංශය නමින් සම්මත විය. සව්ළු පරාක්‍රමබාහු සව්ළු විජයබාහු (5) මෙම පරපුරෙන් පැවත එන්නන් සේ සැලකේ. අවුරුදු 2500 පමණ පැරණි වූ මෙම මයුරාවතී කතාවෙහි යම් යම් අඩු පාඩු තිබෙන්නට අවකාශ ඇත. මෙහිදී විමසා බැලිය යුත්තේ මෙතරම් දීර්ඝ කාලයක් ගත වූ පුවතක සත්‍ය පහදා ගැනීමට තරම් නෂ්ටාවශේෂ වශයෙන් නාම මාත්‍රයන් මෙකල ද විද්‍යමාන වීමය.   


​ෙමානර බීජයකින් මිනිස් ස්ත්‍රියක් පහළ වීම අසත්‍ය ප්‍රලාපයකැයි කෙනෙකුට සිතිය හැක. එහෙත් අම්බපාලී ගණිකාව අඹ ගසකින් උපන් බවත් පත්මාවතී කුමරිය නෙළුම් මලකින් ඕපපාත වූ බවත් හෙණ කඳ බිසෝ බණ්ඩාර බෙලි ගෙඩියකින් උපන් බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ව ඇත. එබැවින් මොනර බීජයකින් කුමරියක් ඉපදීම ද පුදුමයක් නොවෙනු ඇත.   


මොනර බිත්තරය ලැබුණු බටු හේන කළ පෙදෙස බටුවත්ත නමින් අද ප්‍රකටව පවතී. මෙම ග්‍රාමය කෑගල්ල දිස්ත්‍රික්කයේ බෙලිගල් කෝරළයේ ගම් දොළහ පත්තුවේ පිහිටා තිබේ. එනම් සුප්‍රසිද්ධ වට්ටාරම රජ මහා විහාරය අසලය.   


උසින් වඩු සත් රියන් උස බටු වෘක්ෂයක් ඇති වූ හෙයින් එගම බටුවත්ත යයි නම් තබා ආදී වශයෙන් මේ ගැන අභයරාජ පරිවේණාධිපති වල්ගම්පායේ මාහිමි විසින් රචිත රාජරත්නාකරය නමැති ඉතිහාස ග්‍රන්ථයෙහි 48 පිටුවෙහ​ි සඳහන්ව ඇත.   


එක් සමයෙක්හි ගොඩගම නමැති ගමෙහි වැසි බ්‍රාහ්මණ මානවකයෙක් බටු ගසක් යට මහත් වූ මයුර බීජයක් තිබෙනු දැක එය ගෙන ගොස් අනුරාධපුර දෙවන පෑතිස් රජු වෙත දැකුම් පඬුරක් වශයෙන් ඔප්පු කර සිටියේය. එකල ඒ රාජොත්තමතෙම ආශ්චර්යමත් වූ මයුර බීජය දැක ප්‍රසන්න භාවයට පැමිණියේ බමුණු කුමාරයාට බොහෝ තෑගි බෝග දෙවා මයුර බීජය පිළිගෙන ඊට සුදුසු රැකවල් ලවා තැබුවේය.  


 මෙසේ කලක් යන අතර මොනර බිජුවටය පුපුරා එයින් ලක්ෂණ කුමරියක් උපන්නීය. ආදී වශයෙන් ඩී.සී. රණසිංහ මහතා විසින් රචිත පුරාවෘත නමැති පොතෙහි 10 පිටුවෙහි සඳහන්ව ඇත. මෙය ද පැරණි ලිපියක සාරාංශයකි. නමුත් මෙහි ගොඩගමට බ්‍රාහ්මණ මානවකයෙක් කොහි සිට ආවා දැයි සඳහන්ව නැත. ඒ කෙසේ වෙතත් මෙම සිද්ධිය සත්‍ය බැව් පිළිගැනීමට මෙම කරුණ ප්‍රමාණවත් වනු ඇත.   


“බටුවත්ත” ගමට යාබදව ඇති කිරිදන කන්ද පෙර කිරිදනට අයත්ව තිබූ ඉඩමකි. කලක් භූක්ති නොවිඳ මුඩු බිමක් බවට පත්වූ හෙයින් එය මුඩු බිම් පනත යටතේ රාජ සන්තක විය. එමෙන්ම රජයට පවරා ගත් අක්කර හැටක (60) පමණ ඉඩමක් කිරිදන ගමෙහි ද ඇත. එය “කිරිදන මූකලාන” නමින් රජයේ ලිපි ලේඛනවල සඳහන්ව ඇත. අද එය ජනාවාසයක් බවට පත්ව පවුල් 150 පමණ පදිංචිව සිටී.   


මයුර බීජය ලැබුණ බ්‍රාහ්මණ මානවකයාට හා කිරිදුන් බ්‍රාහ්මණ දේවියටත් තෑගි ලැබුණ ගම් 18 අතරින් ඔවුන් විසූ ග්‍රාමය කිරිදන නම් විය. අද දක්වාත් එගම නින්දගම් කොට ගත් වැදගත් පරම්පරාවක් පැවත එයි.   


මෙම මයුරාවතී කථාව 1936 ජුලි මස 12 දින “සිළුමිණ” පුවත්පතෙහි අතිරේකයෙහි ද පළ වී ඇත.   


තැපැල් කාර්යාල, පාසල්, පොලිසිය, ග්‍රාමීය රෝහල, ප්‍රාදේශීය සභාව ආදී සියලු පහසුකම් ආසන්නව තිබීම ගම් වැසියන්ගේ භාග්‍යයකි. සියලු දුසිරිතෙන් තොර එකම පවුලකට අයත් පවුල් 25ක් පමණ වෙසෙන මෙම ගම්මානය කාගේත් සිත් ගත් එකකි.   


ගම කෙළවරින් ගම රකින මුර දේවතාවෙකු ලෙසින් ගලා යන සුන්දර ගුරුගොඩ ඔය අවට කෙත් වතු සාරවත් කරමින් ගලා යන අයුරු මෙම කවි දෙකින් මනාව පිළිබිඹු වෙයි.   


සරතැස නිවන නිල් රුක් ​ෙගාමුවෙන් ගහන   
“දෝතුළු” කන්ද මුදුනේ සිට පැන නැගුණ   
කඳු හෙල් වැලිතලා ගල් අතරින් ගලන   
ඔබ නෙත ගැටුම මිස අන් සැපතක් කුමන  
සරුකොට දෙපස කෙත් වතු සැම එක සරියේ   
දිය රැළි තනා හඬ නගමින් සිලි සිලියේ   
දන මන පිනන දඟ නාඹර සුකො මළියේ   
ගලපන් ඔහේ මගෙ “ගුරුගොඩ” රාජිනියේ   

 


කලාභූෂණ ප්‍රතිභා ප්‍රණාම  
ටී.එස්. කිරිදන අටාල.