දෙදරු මවගේ ආමාශයේ කෘමිනාශක


මළ මිනිසුන් සමග නොමළ කතා -13  

 

 

ස්වර්ණා දෙදරු මවකි. එදා පාසල් දිනයක් වූ නිසා දරුවන් දෙදෙනාම නිවසේ සිටියේ නැත. ස්වර්ණාගේ කෑ ගැසිල්ල ඇසි අහල පහළ අය ඇගේ නිවසට පැමිණියේ කුමක් හෝ අනතුරක් සිදුව ඇතැයි සැකයෙනි. ස්වර්ණා කෑ ගසමින් සිටි අතර ඇගේ සැමියා වස කුප්පියක් ද අතේ තියාගෙන මෙයා වස බීලා යැයි පැවසුවේය. අනතුරුව අසල්වැසියන්ගේද උදව් ඇතිව ඇයව රෝහලට ගෙන යනු ලැබුවේ ද ඔහුමය. 


 දෙදෙනා අතර දිනපතා සිදුවන අඬ දබර නිසා සාමාන්‍ය කෑ ගැසීමක දී අසල්වැසියන් සොයා බලන්නේ නැත. එහෙත් එදා අසල්වැසියන් පැමිණියේ ඇයගේ මාරාන්තික හඬ නිසාමය. 


 රෝහල්ගත කර පැය දෙකක දී පමණ ස්වර්ණා මිය ගියාය. කෘමිනාශක පානය කිරීමෙන් ඇය මිය ගිය පුවත ගමට ගියේය. 


 වස පානය කර තිබුණද එය කෙසේ සිදුවිද? ඇය සිය දිවි නසාගත්තා ද? නැත්නම් වෙන කෙනෙක් වස පෙව්වාද? වස පානය කිරීමට පෙර සිදුවු වෙනත් මාරාන්තික ප්‍රහාරයක් වේද? නැත්නම් කෘමිනාශක ශරීර ගත වුවත් වෙනත් ප්‍රබල සාධකයක් නිසා මරණය සිදුවී ද? යනාදී කරුණු මරණකාරිය සම්බන්ධයෙන් පරීක්ෂා කළ යුතුවේ. ඒ අනාගතයේ ඇතිවිය හැකි ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා මෙන්ම මරණයට හේතුව නිශ්චිත කිරීමේ නිත්‍යානුකූල වගකීමක් අධිකරණ වෛද්‍යවරයා සතු වන බැවිනි. 
 වෛද්‍යවරයා පරීක්ෂණය ආරම්භ කරමින් සිරුර මතුපිටින් පරීක්ෂා කළේය. සිරුරේ තැනින් තැන තැලුම් තුවාල සීරිම් තුවාල දක්නට ලැබුණි. ඒවා අලුත් ඒවා නොවන බව තුවාල වියළෙමින් තිබු ආකාරය අනුව නිගමනය කළ හැකි විය. 


 මෙම යුවළ කාලයක් තිස්සේ අඩදබර වී ඇති බව එයින් තහවුරු විය. පසුව මුහුණ හා මුඛයෙන් පරීක්ෂණ ආරම්භ කළේය. මුහුණේ පිටතින් සැලකිය යුතු ගැටලුවක් දකින්නට ලැබුණේ නැත. අනතුරුව මුඛය විවර කර තොල් පරීක්ෂාවට ලක් කළේය. එහිදි තොල්වල ඇතුළු පැත්තේ තැලුම් තුවාල දක්නට ලැබිණ. මුහුණට පාරක් වැදුණහොත් තොල් දත්වලට තදවීමෙන් මෙලෙස තැළුම් තුවාල දැකිය හැකිය. සාමාන්‍යයෙන් මුහුණේ පිටත සම ඝනකම නිසා තැළුම් තුවාල මතුපිටින් දැකිය නොහැකිය. එහෙත් මුඛයේ ඇතුළත සම ඉතාමත් සිනිඳු නිසා එහි සුළු තැළීමක් පවා පෙන්නුම් කෙරේ. 


 ස්වර්ණාගේ යටිතොලේ පහළ, එය හනුවට (යටිතල්ලට) සවිවන ස්ථානයේ පවතින විශේෂ පටලය ඉරිගොස් ඇති අයුරු දැකිය හැකි විය. සාමානයෙන් එවැනි ඉරීමක් සිදුවන්නේ තොල්වලින් ඇද්ද විටකදීය. දිවේ ඉස්සරහ යටි පැත්තෙන් හනුවට සවිවන ස්ථානයේ පටලය ද ඉරිගොස් තිබිණ. 


 මුහුණේ සම ඉවත් කර පරීක්ෂා කිරීමේදී යටි හනුව දෙපැත්තේ තැළුම් තුවාල දැකිය හැකි විය. එවැනි තැළුම් තුවාල බොහෝ විට ඇතිවිය හැක්කේ කට මිරිකු විටකදීය. 
 ඉන්පසු ශරීරයේ අභ්‍යන්තර අවයව ද පරීක්ෂා කිරීම ඇරඹුවේය. එහිදී ආමාශයේ සුදුපාට කිරි වැනි ද්‍රව්‍යයක් දක්නට ලැබිණ. එයින් කෘමිනාශකවල ගන්ධයක් වහනය විය. පෙණහලු ඉදිමී තිබුණි. ආමාශගත ද්‍රව්‍ය හා ලේ පරීක්ෂාවට ලක් කර කෘමිනාශක ශරීර ගතවී ඇති බව තහවුරු කර ගත්තේය. 
 වස ශරිර ගත වූ විටකදී ඇතැම් විට ක්ෂණික මරණයක් සිදුවේ. ඒ රුධිරය හරහා ක්ෂණිකව මොළයට ගමන් කර මොළය අකර්මණ්‍ය කිරීම හේතුවෙනි. එහිදී අපස්මාර තත්ත්වයක් වස පානය කළ තැනැත්තාගෙන් දක්නට ලැබේ. එසේම කෘමිනාශක සෘජුවම හෘදය වස්තුවට ගමන් කර එහි ක්‍රියාකාරිත්වය එකවර නැවතීමෙන් ද ක්ෂණික මරණයක් හිමිවේ. 


 කෘමිනාශකවල රසායනික ද්‍රව්‍ය රුධිරය ඔස්සේ ශ්වසන නාළවලට ගමන් කිරීමෙන් එයට ප්‍රතිචාර ලෙස එම නාළවලින් ස්‍රාවයක් පිටවීම සිදුවේ. සෙම ලෙස අප හඳුන්වන්නේ මේ ස්‍රාවයය. ඒවා නාවලට පැමිණ ඉහළට ගමන් කිරීමෙන් ගිලි අමාශගත වීමට ද ඉඩ ඇත. එසේම වැඩිපුර නාළවලට ස්‍රාවය එකතුවීමෙන් ඒවා පෙණහලු කරා ඇද වැටිය හැකිය. මේවායේ පවතින බැක්ටීරියා පෙණහලු ආසාදනයට ලක්කර නිව්මෝනියාවට ගොදුරුව මරණය සිදුවේ. 


 හෘදය වස්තුව අකර්මණ්‍ය වූ විට පෙණහලුවලට වතුර එකතු වීම සාමාන්‍ය කාරණයකි. එසේ සිදුවන්නේ පෙණහලු කරා පැමිණ පිරිසිදු කරන ලද රුධිරය යළි හෘදය වස්තුව කරා ගමන් කිරීම ඇණ හිටීම නිසා රුධිරයේ පවතින ජලය පෙණහලුවල එකතුවීමෙනි. හෘදය වස්තුව කරා පැමිණෙන අපවිත්‍ර රුධිරය පෙණහලු කරා ගමන් කළ පසු එහිදී ඔක්සිජන් එකතුවී පවිත්‍රකරණයට ලක්ව නැවත හෘදය වස්තුව කරා ගමන් කරනු ලැබේ. එසේ පැමිණෙන රුධිරය මහා ධමනිය හා පුප්පුශීය ශිරා ඔස්සේ සිරුර පුරා ගමන් කර සියලු අවයව සක්‍රියව පවත්වාගෙන යනු ලැබේ. හෘදය වස්තුව අකර්මණ්‍ය වූ විට මෙම ක්‍රියාවලිය ඇන හිටි. පෙණහලුවල ජලය එකතු වන්නේ ඒ නිසාය. 
 කෘමිනාශක කෙළින්ම පෙණහලු කරා ගමන් කිරීමෙන් පෙණහලුවල පවතින ගර්ත බිත්තිවලට හානි කර ඒවා අකර්මණ්‍ය කරනු ලැබේ. එවිට පෙණහලුවල ක්‍රියාකාරීත්වය අඩපණ වේ. 


 ස්වර්ණාගේ මරණය සිදුව තිබුණේ කෘමිනාශක විසින් හෘදය අඩපණ කිරීමෙනි. ස්වර්ණාගේ කට මිරිකා තොල්වලින් ඇද බලහත්කාරයෙන් කට අරවා ඇති බව මරණ පරීක්ෂණයේ දී තහවුරු විය. 
 එසේම ස්වර්ණා මිය යාමට පෙර සිහිකල්පනාවෙන් යුතුව දුන් ප්‍රකාශයක් ද පොලිසිය සතුවිය. ඇය ප්‍රකාශ කර තිබුණේ සැමියා බලහත්කාරයෙන් වස පෙවූ බවය. මරණාසන්න මොහොතේ යම් කිසිවෙක් කරනු ලබන ප්‍රකාශය මරණාසන්න ප්‍රකාශය ලෙස හැඳින්වෙන අතර එය සත්‍යයක් ලෙස අධිකරණයේදී පිළිගනු ලැබේ. ස්වර්ණාගේ මරණාසන්න ප්‍රකාශයත්, ඇගේ අධිකරණ වෛද්‍ය වාර්තාවත් දෙක එකට සැසඳුණ බැවින් පොලිසිය ඇගේ සැමියා අත්අඩංගුවට ගනු ලැබුවේය. 


 ස්වර්ණා හා ඇගේ සැමියා අතර කලක පටන් ගැටුම්කාරි තත්ත්වයක් පැවත තිබේ. ස්වර්ණාගේ සැමියාට අනියම් සබඳතාවක් පැවතීම මෙම ගැටුමට මූලික වී තිබේ. හැමදාමත් සැමියාගෙන් එල්ලවන පහරදීම් ඉවසිය නොහැකි තැන ස්වර්ණා උපක්‍රමයක් තෝරා ගත්තාය. ඒ තමන් වහබොන බවට පවසා සැමියා බිය ගැන්වීමය. ඒ සඳහාම ඇය කඩයෙන් කෘමිනාශක බෝතලයක් ද ගෙනාවාය. අවස්ථා කීපයකදී මෙසේ වසබොන බවට කරන තර්ජනය හමුවේ සැමියා පසු බැස ගියේය. 


 සුපුරුදු පරිදි එදිනද සැමියා හා ස්වර්ණා අතර බහින්බස් වීම කෙළවර වූයේ ගුටිබැට හුවමාරුවකිනි. ලද අස්වැසිල්ලකින් පැන දිවූ ස්වර්ණා තමන් සඟවා තිබු තැනින් වස බෝතලය ගෙන තවත් පහර දුන්නොත් දිවි නසාගන්නා බවට තර්ජනය කළාය. මෙවර ස්වර්ණාගේ සැමියා පසුබැස්සේ නැත. ඔහු වහා පැන වස බෝතලය තමන් අතට ගත්තේය. 
 උඹට බොන්න නේද ඕනේ හා එහෙනම් බීපං. ආ බීපං. ස්වර්ණාට වස බීමට කිසිම වුවමනාවක් තිබුණේ නැත. ඒ නිසා ඇය සැමියාගෙන් ගැලවීමට උත්සාහ කළාය. එහෙත් ඇගේ යටි තොලෙන් ඇද ගත් සැමියා බලහත්කාරයෙන්ම බෝතලය ඇගේ කටේ ගැසුවේය. ඇයට වස පෙවුණි. බියපත් ස්වර්ණා තමන් බේරා ගන්නැයි මරහඬ තැළුවේ ඉන් පසුවය. අසල්වැසියන්ට ඇසුණේ ඇගේ ඒ මරළතෝනියය. 


 (මෙහි එන නම් ගම් මන:කල්පිත ඒවා බව කරුණාවෙන් සළකන්න.) 


හලාවත මහරෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රමේෂ් අලගියවන්න මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් ලිව්වේ 
මුදිතා දයානන්ද