දුම්වැටියෙන් අරඹූ ගමන නතරවුණේ මත්කුඩෙන්


මග වැරදුණු ජීවිතය යළි යහ මගට

 

තමන්ගේ මහන්සියෙන් උපයා ගන්නා ඩොලරය   
පවුම් පහකට වඩා වටිනා බව මගේ පුතුට උගන්වන්න,   
ජයග්‍රහණය විඳ දරා ගන්නටත් සන්සුන් ලෙස සිනාසෙන්නටත්,   
බොරු චණ්ඩිකමින් නිවටයකු නොවන්නටත් උගන්වන්න.   
සන්සුන් ලෙස සිනා සීමේ රහස උගන්වන්න.   
පාසලේ අසමත්වීම, වංචා කරනවාට වඩා ගෞරවනීය බව උගන්වන්න.   
සෑම දෙනාම තූර්යවාදක කණ්ඩායම් පසුපස දුවන විට එසේ නොවන්නට කියාදෙන්න.   
ඔහුගේ බුද්ධියත්, ශක්තියත් වැඩිම ලන්සුවකට විකුණන්නටත්,   
එහෙත් ඔහුගේ ආත්මයට, හදවතට මිල නියම නොකරන්නටත් ඔහුට උගන්වන්න.   
රංචු ගැසී කෝලාහල කරන්නන්ගේ හඬට සවන් නොදී නිවැරැදි දේ වෙනුවෙන් සටන් කරන්නටත් උගන්වන්න.   
ඔහුට මුදු ලෙස සලකන්න, එහෙත් ඔහු සුරතල් නොකරන්න. මන්ද වානේ පන්නරය ලබන්නේ ගිනියම් වූ විට බැවිනි.   

මේ ඇ​ෙමරිකානු ජනාධිපතිවරයකු වූ ඒබ්‍රහම් ලින්කන් තමන්ගේ පුතාට උගන්වන්න භාරදුන් ගුරුවරියට ලියූ ලිපියක කොටසකි. එහෙත් මා මෙය නැවත කියවා ගත්තේ වැලිකන්දේ සේනපුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී පුනරුත්ථාපනයට ලක්වූ රැඳවියකු වේදිකාව මත කළ කතාවකිනි. එය වෙනත් තැනකදී අසනවාට හෝ කියවා ගන්නවාට වඩා මට වඩාත් සංවේදීව දැනෙන්නට විය. ඒ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවෙක් වසරක පුනරුත්ථාපනයකට ලක්වීමෙන් අනතුරුව තමන්ගේ වෘත්තීය නිපුණතාව පිළිබඳ සහතිකය ලබාගනිමින් කළ කතාවක් වන බැවිනි. තමන් ගිය වැරැදි මග තේරුම් ගෙන සත්‍යය වටහාගෙන කළ කතාවක් වන බැවිනි. පුනරුත්ථාපන කාලය තුළ ඔහු කෙතරම් කියවීමට හුරු කළේ ද යන්න වටහා දෙන කතාවක් වන බැවිනි.   


 ඔහු වේදිකාවේ කළ කතාවත් ඔහුගේ මව අප සමඟ කළ කතාවත් දෙකම එකට ගෙන ඔබට ඉදිරිපත් කරන්නේ එයින් ඔහු මතට ඇබ්බැහිවීමට බලපෑ සත්‍ය කරුණු, වටපිටාව ගැන තේරුම් ගැනීමට හැකි වන නිසාය.   
 ඔහු නමිත් සිතුම් කවිරත්නය. රත්නපුරේ හැදුණු වැඩුණු සිතුම් මව, පියා හා වැඩිමහල් සහෝදරයා සමඟ කාගේත් ආදරය, විශ්වාසය දිනාගෙන හැදුණු වැඩුණු දරුවෙකි. සිතුම්ගේ මව රජයේ ආයතනයක ලිපිකාරිනියක වූ අතර පියා පෞද්ගලික ආයතනයක සේවය කළේය. උදේ පාන්දර ගෙදරින් පිටවන මව නැවත නිවෙසට පැමිණෙන්නේ රෑ බෝවන විටය. ඒ නිසා ඇයට දරුවන්ගේ කටයුතුවලට මැදිහත්වීමට කාලයක් තිබුණේ නැත. එහෙත් ඇය ඔවුන් ගැන වූ වගකීම අත්හැරියේ නැත. ඇය ඔවුන් ගැන කළ සොයාබැලීම ගැන දරුවන්ට, විශේෂයෙන් සිතුම්ට අවබෝධයක් තිබුණේ නැත. ඔහුට අවශ්‍ය වූයේ මවගේ ඇකයේ හුරතල් වීමටය. එහෙත් ඒ වෙනුවට පියා රැකියාවෙන් ඉවත්ව දරුවන් ගැන සොයා බැලීමට කාලය වෙන් කළේය.   


 මේ පවුලේ හතරදෙනා ගමන් බිමන් ගියේ එකටමය. ඔවුන් අතර ගැටුම් තිබුණේ නැත. පියා දරුවන් ගැන මහත් ආඩම්බරයෙන් පසු වූයේ ඔවුන් හොඳින් ඉගෙන ගත් බැවිනි. එහෙත් දෙමාපියන්ට නොදැනීම සිතුම් ජීවිත දුම්රිය වැරැදි පීල්ලකට හරවමින් සිටියේය. එයට ඔහුට සහාය වී තිබුණේ ඔහුගේම මාමාය. එහෙත් ඒ මාමා තමන් කළ වරද ගැන අදටත් නොදන්නවා විය හැකිය.   


 පියා ද රැකියාවට ගිය කාලයේ සිතුම් සහ අයියා දෙමාපියන් නිවෙසට එනතුරු කාලය ගත කළේ නැන්දාගේ හෝ ආච්චි අම්මාගේ ගෙදරය. ඒ නිසා ඔවුන් දෙදෙනා රාත්‍රියට රූපවාහිනිය නරඹන්නට නැන්දලාගේ ගෙදරට යාමට පුරුදු වී සිටියහ. ඒ එ්කාකාරී ජීවන රටාවෙන් මොහොතකට හෝ මිදෙන්නට විය හැකිය. එහෙත් ඒ ගමන සිතුම්ගේ ජීවිතයේ භයානක කඩඉමක් වනු ඇතැයි සිතුම් හෝ ඔහුගේ අයියා හෝ පවුලේ කිසිවකුත් එද‌ා නොසිතන්නට ඇත. සිතුම්ගේ මාමා අධික ලෙස දුම්පානයට ඇබ්බැහි වූවෙකි. රාත්‍රියේ රූපවාහිනිය නරඹන්නට යන සිතුම්, මාමා එකක් අවසන් වනවිට තව එකක් ලෙස දුම්වැටියක් දල්වා ගන්නා අයුරු බලා සිටියේය. සිතුම් අයියා මෙන් නොව, වටපිටාවට සංවේදීය. අලුත් දේවල් ගැන විමසිලිමත්ය. ඒ නිසා මාමා දුම්බීමෙන් ලබන්නේ කුමක්දැයි වටහා ගැනීමට ඔහුට අවශ්‍ය විය. මාමා ජනේලයෙන් විසිකරන දුම්වැටියේ ඉතිරි වූ කොට කෑල්ල ගෙන කටේ දමාගෙන උරන්නට හේ පුරුදු විය. එහි ඉදිරි පියවර වූයේ තමන් වැනිම වූ තවත් සඟයකු සමඟ පාසලේදී දුම්වැටියක් දෙකට බෙදාගෙන හොරෙන් උරන්නට පෙළඹීමය.   


 දුම්වැටියෙන් ආරම්භ කළ මතට යොමුවීමේ ඒ ගමන පාසලේ නවය වසරට දහය වසරට පමණ යන විට ගංජාවලට පරිවර්තනය විය. ඒ පාසලේ යාළුවකු මාර්ගයෙනි. සිතුම්ගේ මිතුරාගේ පියා ගංජා විකිණීමේ නිරත පුද්ගලයෙකි. එතැනින් ගංජාවලට පුරුදු වුණ සිතුම් උසස් පෙළ පංතිවලට යද්දී භාවිත කරන මත්ද්‍රව්‍යය ද ඉහළින්ම ගත්තේය. හේ මත්කුඩුවලට ඇබ්බැහි විය. ගෙදර පවුලේ අයට සිතුම් ගංජා භාවිත කරන බව දැනගන්නට නොහැකි වුවත් සවසට ගමේ පිට්ටනියේ සෙල්ලම් කළ ඔහුට වඩා ගොඩක් වැඩිමහල් තරුණයකුට ඒ ගැන ඉව වැටිණ. ඒ ඔස්සේ හඹා ගිය ඔහු සිතුම්ව හෙරොයින්වලට සම්බන්ධ කරගත්තේය. උසස් පෙළ විභාගයට පෙනී සිටියේ ද මත්ද්‍රව්‍ය භාවිතයට ගෙනය. මතට තිබූ ඇබ්බැහිය නිසා ඔහුට එක් විෂයකට පෙනී සිටීමට ද නොහැකි විය. ඒ එදින මත්ද්‍රව්‍ය භාවිත කිරීමට නොහැකි වීමෙන් ඇතිවූ ආතතිය නිසාය.   


 මේ වනවිට ද දෙමාපියන්ට ඔහුගේ ඇබ්බැහිය ගැන වැටහීමක් තිබුණේ නැත. මන්ද ඔහු සිටියේ මවගේ හා පියාගේත් අයියාගේත් ආදරය ලබමින් ඔවුන්ගේම තුරුල්ලේ වූ බැවිනි. මවගේ මිතුරු මිතුරියන් ද ඇයට අවවාද කරමින් ‘දරුවන් ඔය තරම් විශ්වාස කරගෙන ඔය තරම් තුරුල්ලේ තියාගෙන හදන්න එපා, එහෙම ළමයි ඔයාලගෙන් මිදුණ ගමන් වැරැදි පාරට යන්න තියෙන ඉඩ වැඩියි’ කියා කීව ද අම්මා ඒවා ගණන් නොගත්තේ ‘වෙන දරුවෝ එහෙම වුණාට අපේ මූණ ඉඹගෙන තුරුල්ලටම වෙලා ඉන්න ළමයි එහෙම කරන්නේ නෑ’ කියා ආඩම්බරයෙන් සිතමිනි.   


 උසස් පෙළ ලියන කාලයේදී පවා ඔහු නිදාගත්තේ අම්මාගෙත් තාත්තාගෙත් තුරුල්ලේ බව මව සිහිපත් කරන්නේ හැඬූ කඳුළෙනි. ඒ වනවිට සිතුම්ගේ අයියා ද සිවිල් ඉංජිනේරුවකු වශයෙන් රැකියාවට නිවෙසින් බැහැරව ගොසිනි. ඒ නිසා මල්ලීගේ හොර ඇල්ලීමට ඔහුට නොහැකි විය. සිතුම්ම පවසන පරිදි ඔහු මේවාට ඇබ්බැහි වූයේ අනෙක් කවුරුත් නොකරන දෙයක් තමන්ට කරන්න පුළුවන්, ඒක ලොකුකමක් සේ සිතූ නිසාය. උසස් පෙළ විභාගයට අවශ්‍ය පෞද්ගලික ටියුෂන් පංතිවලට සම්බන්ධ වූ සිතුම් ඒවා භාවිත කරමින් නිතරම විවිධ හේතු දක්වා වැඩිපුර මුදල් ඉල්ලා ගත්තේය. ඒ කුඩු මිලදී ගැනීම සඳහාය. අවසානයේ උසස් පෙළ විභාගයෙන් ද පසුව හොරය අල්ලා ගත්තේ අම්මාමය.   


 උසස් පෙළ විභාගයෙන් පසු සිතුම් හිටියේ ගෙදරය. ළමයි උසස් පෙළත් ලියා අවසන් කළ පසු තාත්තා නැවත රැකියාවකට ගියේය. ඒ නිසා මවත් පියාත් ගෙදරින් ගිය පසු නිවෙසේ සිටියේ සිතුම් පමණකි. අම්මා උදේට උයලා තියලා යන කෑමවලින් කොටසක් ඇය ආපසු ගෙදර එන විට ද ඉතිරිව තිබෙන්නේ තරමක් වැඩියෙන් උයා කියා යන බැවිනි. එහෙත් ක්‍රමයෙන් බත් මුට්ටියේ ඇටයක්වත් ඉතිරි නොවන ගාණට කෑම අවසන් කර තිබූ බැවින් අම්මා තවත් ටිකක් වැඩිපුර ඉව්වාය. ‘හැදෙන වයසේ දරුවෙක් නිසා දවාලට දෙතුන් පාරක් කනවා ඇති’ ඇය සිතුවේ එසේය. වැඩිපුර උයන කෑම ද ඇය ආපසු එනවිට සම්පූර්ණයෙන් ඉවර කර තිබුණි. මේ ආකාරයට ඇය ටිකින් ටික කෑම උයන ප්‍රමාණය වැඩි කළත් ඒ සියල්ල පුතා අවසන් කර තිබෙනවා පමණක් නොව වෑංජන ඇතිලිවලට බත් දමා පිසගෙන කෑ ඇඟිලි සලකුණු පවා ඒවායේ සටහන්ව තිබිණ. පුතා කෙසේවත් මේ ආකාරයට කෑම නොකන බව දැන සිටි අම්මා මේ ගැන හොරෙන් සොයන්නට පටන් ගත්තාය.   


 දිනක් අම්මා වැඩට යන්නට පිටත් වූවාය. එක බසයක නැග රැකියාවට යන්නට පිටත් වූ ඇය මගින් බැස පැය කීපයක් මග කාලය ගෙවා ආපසු හොර රහසේම ගෙදර ආවාය. ඒ එන විට නිවෙසේ දොර ජනෙල් සියල්ල වසා තිබිණ. එහෙත් නිවෙසට කන යොමා සිටි ඇයට පුතා ඇතුළේ සිටින බවත් නිවෙසේ තවත් කීපදෙනෙක් සිටින බවත් වටහා ගැනීම අපහසු නොවීය. ඇය දොරට ගසා කතා කළ ද පුතා දොර ඇරියේ නැත. දොර කඩනවා කියා කෑ ගැසූ විට පුතා දොර ඇරියත් ඒ වනවිට ඔහු සමඟ සිටි මිතුරෝ පිටුපස දොරෙන් පැන යමින් සිටියහ. එහෙත් ඒ අය කවුදැයි හඳුනාගන්නට මවට හැකි විය. නිවෙස තුළට ගිය ඇය දුටුවේ පුතාගේ කාමරය එකම දුමකින් වැසී ඇති බවය. කාරණාව තේරුම්ගත් ඇය පුතාගෙන් ඒ බව විමසා සිටියාය. පුතා සියල්ල මවට පැවැසුවාය. අම්මා, තාත්තා සහ අයියා ද සමඟ මේ ගැන කතා කර සිතුම්ව රජයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමු කළාය.   

 


 මාස හයක් එම මධ්‍යස්ථානයේ කාලය ගත කළ සිතුම් නැවත ගමට ආවේ එහිදී හමු වූ වැඩිහිටි රැඳවියන්ගෙන් නිවෙසට හොරා මේ හැම දෙයක්ම කරගන්නේ කෙසේ ද යන්න ගැන හොඳ පාඩම් ටිකක් ද ඉගෙන ගෙනය. ඒ නිසා නැවතත් තම දෙමාපියන් සහෝදරයන් රවටා මතට යොමු වෙන්නට සිතුම්ට හැකි විය. එවර අයියාට හොරය අසුවිය. ඔහු මල්ලීට පහර දුන්නේ කලිසමේ බඳ පටියෙනි. අන්තිමේදී අයියාගේ කකුල් දෙක අල්ලා වැඳ වැටී ආපහු මේ වැරැද්ද නොකරන බවට හේ පොරොන්දු විය. ඒ අනුව භික්ෂූන් වහන්සේ නමක විසින් පවත්වාගෙන යන පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට නැවතත් යොමු කෙරිණ. මාස හයක් එහි පුනරුත්ථාපනය වූ සිතුම්ව මතට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට හෝ මතට ඇබ්බැහි වීම වළක්වා ගැනීමට පවත්වනු ලබන වැඩසටහන්වල දේශන පැවැත්වීමට ද යොදාගනු ලැබිණ. මේවා දැක දෙමාපියෝ සතුටු වූහ.   


 එහෙත් අනෙක් අයට ගෙදර තිබුණ අවස්ථා කිසිවක් සිතුම්ට ලැබුණේ නැත. ඒ නිසා තරහෙන් සිටි ඔහු එතැනින් පලා ආවේය. ගමට පැමිණි ඔහු කලින්ටත් වඩා වැඩියෙන් කුඩු භාවිත කරන්නට විය. මේ වනවිට ඔහු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිය තරුණිය ද ඔහු හැර ගොසිනි. ඒ ගැන ඔහුගේ සිතේ දැඩි තරහවක් තිබුණත් වැඩි අවධානය යොමු වුණේ ගෙදරට හොරා, අම්මාගේ හිත ද නොරිද්දා මත්කුඩු භාවිත කරන ආකාරය ගැනය. දැන් ඔහුට මුදල් ලැබෙන්නේ ද නැත. ඒ නිසා අනෙක් අයට කුඩු බෙදාහැරීම කර ලැබෙන කොමිස් මුදලෙන් කුඩු භාවිත කරන්නට ඔහුට සිදුවිය. එහෙත් දැන් ඔහු ගැන සෙවිල්ලෙන් සිටින පවුලේ උදවියගෙන් වැඩි කාලයක් මේ රහස සඟවාගෙන සිටිනු නොහැකි විය.   


 මේ වනවිට සිතුම්ගේ අයියා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ගැන දැන සිටියේය. ඒ නිසා පොලිසියේ දන්නා හඳුනන අයකු මගින් මල්ලීව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පොලිස් නිලධාරියා මගින් අධිකරණයට යෝජනා කෙරිණ. එයට පවුලේ අයගේ ද එකඟතාව පළ කළ නිසා සිතුම්ට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මාස හයක් ද සේනපුර තෘතීයික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ මාස හයක් ද පුනරුත්ථාපනයට ලක්වීමට සිදුවිය. එහි යොමු කිරීම ගැන මාස කීපයක් ගතවන තුරු තරහෙන් සිටි සිතුම් පසුව මෙය තමන්ගේ හොඳට කළ දෙයක් බව වටහා ගත්තේය. ඒ මෙහිදී ලද උපදේශන සේවාවන්හිදී සිදුකෙරෙන වැඩමුළු හරහාය.   


 කන්දකාඩුවේ මාස හයක් ගත කළ ඔහු සේනපුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී විදුලි කාර්මික ශිල්පියකු ලෙස පුහුණුව ලැබුවේය. එහිදි NVQ 03 මට්ටමේ වෘත්තීය පුහුණු සහතිකයක් ලබාගැනීමට ඔහු සමත් විය. වසරක්ම කිසිම මත්ද්‍රව්‍යයකට යොමු නොවී මානසිකව දැඩි පුනරුත්ථාපනයකට ලක්වූ ඔහුට දැන් වෘත්තීය පුහුණුවක් ද ඇත. එය නිසි ලෙස භාවිතා කරන්නේ නම් ඔහුට පුනරුත්ථාපනයට ලක්විය හැකිය. එහෙත් එහිදී දෙමාපියන්ගේ දැඩි අවධානය මෙන්ම ගමේ අයගේ සහාය ද ඔහුට අවශ්‍යය. ඒ කුඩුකාරයා යනුවෙන් ඔහු තමන් විසින්ම බෙල්ලේ එල්ලාගෙන සිටි පුවරුව පුනරුත්ථාපනය වූ කුඩුකාරයා ලෙස වෙනස් කරනවා වෙනුවට සිතුම් පුතා, සිතුම් මල්ලී, සිතුම් අයියා ලෙස වෙනස් කරගැනීමටය.   


 ගමෙන් එල්ල වන චෝදනා ගැන අවලාද ගැන පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී හොඳින්ම දැනුවත් කර ඇති නිසා එයට මුහුණ දීමේ ශක්තියක් සිතුම්ට ද තිබිය යුතුය. එසේම පුනරුත්ථාපන පසුවිපරම් ඒකකයේ නිලධාරීනට ද විශාල වගකීමක් තිබේ. ඒ මෙලෙස පුනරුත්ථාපනයට ලක්වූවන් නැවත ඊට ඇබ්බැහි නොවන පරිදි ඔවුන්ට මගපෙන්වීමටය. එසේ නොවන්නට ඔහු වෙනුවෙන් රජය වසරක් තිස්සේ වැය කළ ලක්‍ෂ විස්සක පමණ මුදල නාස්තියක් පමණක් වනු ඇත. එසේම මේ පසුවිපරම් කාර්යාල සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නැත. තිබෙන ඒවාට ද ප්‍රමාණවත් සේවක පිරිසක් නැත. ඒ නිසා රැකියා නැතිව සිටින තරුණ තරුණියන් විශේෂයෙන්ම උපාධිධාරීන් වැන්නන්ගෙන් පිරිසක් බඳවාගෙන පුහුණු කර මේවාට යෙදවීමට බලධාරීන්ගේ අවධානය ද යොමු විය යුතුව ඇත. එයින් දැනට පුනරුත්ථාපනයට ලක්වූවන් සදාකාලිකවම මතෙන් නිදහස් කරගත හැකිවා සේම රැකියාවක් නැතිව රස්තියාදුවේ යෙදෙන තවත් තරුණයකුට රැකියාවක් ලබාදී ඔහු මතට ඇබ්බැහිවීමට තිබෙන අවස්ථාව අසුරා ගැනීමක් ද වනු ඇත.   

 

 


(මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න)   


සටහන හා ඡායාරූප
මුදිතා දයානන්ද