දුම්රිය පාරේ සිටි ළමයා ​ෙබිරාගන්න පැන්න ආයම්මා


අතීතයෙන් දවසක්

 

අවසරයක් නොමැතිව දුම්රිය මාර්ගය හරහා නැතහොත් අයෙක් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩමකට. දුම්රිය ස්ථානයකට හෝ වෙනත් දෙපළකට ඇතුළු වීම වරදකට වරදකරු වන්නේය. එයට දඬුවම් පැමිණවීමට 1902 අංක 09 දරණ ආඥා පනතේ 32 වන වගන්තිය මගින් ප්‍රතිපාදන සපයා ඇත. නීතිය නොදැනීම නිදහසට කරුණක් නොවේ. වරද මෙය ක්‍රියාත්මක කරන බලධාරින්ට ඇති උද‌ාසීනත්වයයි.  

දුම්රිය මාර්ගයේ ගමන් කිරීම වරදකි. දුම්රිය මාර්ගයේ ගමන් කළ හැක්කේ දුම්රියකට පමණි. එහෙත් අද ඇතැම් දෙනා ජංගම දුරකථන දෙකනේ රඳවාගෙන හෝ සෙල්ෆි ගැනීමට ගොස් දුම්රියේ හැපී මියයන බව පෙනේ.  


ලංකාව තුළ කුමන ආකාරයක කටයුත්තක් සඳහා දුම්රිය මාර්ගය මෙන්ම දුම්රිය මාර්ගයට අද‌ාළ වෙනත් දේපළ පාවිච්චි කිරීම ලංකාවේ ව්‍යවස්ථාපිත නීතිය මගින් දඬුවම් පැමිණ විය හැකි වරදක් බව පැහැදිලි කොට දක්වා ඇත. බ්‍රිතාන්‍ය රජය සමයේ දුම්රිය පාරේ ගිය ආයම්මා කෙනෙකුට අච්චු කෙරුණු අන්දම මෙසේය.  


මේ නඩුව ලැයිසිහාමි නමින් වූ ආයම්මාට විරුද්ධව පවරන ලද නඩුවක් විය. ලැයිසිහාමි දුම්රිය මාර්ගය පසක පිහිටි නිවෙසක බේබිලා බලාගන්නා ආයම්මා වූවාය. ඇය සවස් භාගයේ බේබිලා දෙදෙනා මුහුදු වෙරළට ගෙනයාම සිරිතක් කොට ගෙන තිබුණි. ඒ සඳහා ඔවුන්ට දුම්රිය මාර්ගය හරහා යාමට සිදුවේ.


අදාළ දිනයේ මුහුදු වෙරළට යාමට පිටත් වූ ඔවුහු පළමු ව ලොකු බේබිත් ඉන් පසුව කුඩා බේබිත් පසු පසින් ගමන් කොට දුම්රිය හරහා යාමට ගමන් කොට බේබිලා දෙදෙනා දුම්රිය මාර්ගය තුළට අවතීර්ණ වූහ. පසු පසින් ගමන් ගත් ලැයිසිහාමි ආයම්මා, දුම්රිය මාර්ගයට පිවිසෙමින් සිටියාය. බේබිලා දෙදෙනා දුම්රිය මාර්ගය හරහා යමින් සිටියදී ඔවුන් දෙදෙනා දෙසට දුම්රිය පැමි​ෙණමින් තිබුණි. ලොකු බේබි දුම්රිය මාර්ගයෙන් ඉවතට පැන්නේය. බේබි බියපත්ව දුම්රිය මාර්ගය තුළ සිටි ගත් විට දුම්රිය ඔහු ආසන්නයට පැමිණෙනවාත් සමග අවාසානයේ පැමිණි ආයම්මා කුඩා බේබි බේරාගැනීම පිණිස දුම්රිය මාර්ගයට පැන බේබි රැගෙන ඉවතට පැන්නාය. 


ආයම්මා වන ලැයිසිහාමිට විරුද්ධව කොළඹ පොලිස් උසාවියේ නඩුවක් පවරන ලදී. එය බලධාරයන්ගේ අවසරයක් නොමැතිව දුම්රිය මාර්ගයට අවතීර්ණ වීමේ චෝදනාව මතය. එකී චෝදනාව මත පොලිස් මහේස්ත්‍රාත් තුමා ඇය වරදකරු කොට ඇයට දඩ මුදලක් ගෙවීමට නියම කළේය. එයට විරුද්ධව ලැයිසිහාමි අභියාචනයක් ඉදිරිපත් කළාය. එය විභාග කළ ශ්‍රේෂියර් විනිසුරුතුමා අද‌ාළ නීතිය සහ සියලු කරුණු විග්‍රහ කරමින් අභියාචනා තීන්දුව මෙසේ ප්‍රකාශ කළෝය. මේ අභියාචනා පෙත්සම ශ්‍රේණියර් මහතා විභාග කිරීමට ආරම්භ කරමින් ආඥ‌ා පනතේ 32 වන වගන්තිය මෙසේ විග්‍රහ කොට දැක්වීය. එය මෙසේ විය.  


‘‘දුම්රිය මාර්ගයක් හරහා නැතහොත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් දුම්රිය ස්ථානයේ හෝ වෙනත් දේපළ වලට අවසරයක් නොමැතිව, බලහත්කාරයෙන් ඇතුළුවන අයෙක් වරදකට වරදකරු වන්නේය. එසේ වූ විට ඔහු රුපියල් විස්සකට වඩා වැඩි නොවන දඩයකට යටත් විය යුතුය. එසේම කෙනෙක් එවන් රේල් පාරක් හෝ ඉඩමක් හෝ දුම්රිය ස්ථානයකින් ඉවත් වන ලෙස නිලධාරියකු විසින් ඉල්ලා සිටින විට එසේ නොකරන්නේ නම් ඒ තැනැත්තා වරදකට වරදකරු වන්නේය. එසේ වූ විට ඔහු රුපියල් පනහකට නොවැඩි දඩයකට යටත් විය යුතුය.’’   


ඉහත කී වගන්තියේ විධි විධාන තවදුරටත් පැහැදිලි කරමින් ශ්‍රේෂියර් විනිශ්චයකාර තුමා ප්‍රකාශ කොට සිටියේ ඉහත කී දේපළ රාශියක් ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් බවත් ඒවා විවිධ අයගෙන් ආරක්‍ෂා කර ගැනීමට මෙවන් ප්‍රතිපාදන අවශ්‍ය බවය. බොහෝ දෙනා තමාට හෝ වෙනත් අයට කිසිඳු සැලකිල්ලක් නොදක්වා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දේපළ වලට බලහත්කාරයෙන් ඇතුළු වෙති. එසේ සිදු කොට දුම්රිය දෙපාර්තමේන්තු දේපළ වල ඔවුහු රැදී සිටිති. එ​ෙස්ම බොහෝ දෙනෙක් දුම්රිය මාර්ගය ස්වකීය මාර්ගය කරගනිමින් ඒවා බලහත්කාරයෙන් පාවිච්චි කරති. එසේම දුම්රිය මාර්ගය එසේ බලහත්කාරයෙන් පාවිච්චි කරමින් තමන්ට දුම්රියවලින් වන අවධානමද නොතකයි. එබැවින් මෙවන් නීතිවල පැවැත්මේ අවශ්‍යතාව බෙහෙවින් පෙන්නුම් කෙරෙන බව විනිසුරු තුමා අවධාරණය කළේය. ඔවුන්ට නීතියේ පැවැත්ම නොදැනීම කියා සිටිය නොහැකිය. නීතියට අනුකූල වීමේ අවශ්‍යතාවයද ප්‍රතික්‍ෂේප කළ නොහැකිය. එබැවින් මේ අයුරින් නීතිගත කොට තිබීම වඩාත් අවශ්‍ය බව විනිසුරුතුමා තවදුරටත් පැහැදිලි කළේය.  


ලංකාවේ තිබෙන සියලු දුම්රිය මාර්ග ලංකා රජයට අයත් වේ. ඒවා විවිධ අය විසින් බලහත්කාරයෙන් පාවිච්චි කරනු ලැබීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී දඬුවම් ලැබිය යුතු වරදක් විය යුතුය. දුම්රිය මාර්ගයේ විවිධ අය විවිධ අයුරින් පාවිච්චි කිරීම දැනට බොහෝ සෙයින් දැක ගැනීමට හැකිබවත් දුම්රිය සේවයට අයත් දේපළක් නිසි බලධරයන් ගේ අවසරය නොමැතිව කෙනෙකු විසින් පාවිච්චි කරනු ලැබීම දඬුවම්. විඳිය යුතු වරදක් බවත් එවන් නීතියක් බලපවත්වමින් තිබෙන බව සියලු දෙනා දැනගත යුතු බවත් විනිසුරු තුමා තවදුරටත් අවධාරණය කළේය.  


මේ නඩුවේ කරුණු විග්‍රහ කිරීම විනිශ්චයකාර තුමා මීළඟට ආරම්භ කළේය. මේ සිද්ධියට අදාළ දුම්රිය ධාවනය කරන ලද්දේ ජී.එස්. බෙවන් නමින් වූ රියදුරා විසිනි. ඔහු සාක්‍ෂි දෙමින් මේසේ පවසා ඇත. මරද‌ානේ සිට ගල්කිස්ස දක්වා ධාවනය කෙරෙන දුම්රිය මම සවස 5.20ට පමණ ධාවනය ආරම්භ කළෙමි. වැල්ලවත්ත පාලම දෙසට මම ක්‍රමයෙන් ළඟා වෙනවාත් සමඟ මම රේල් පාරේ ළමයින් දෙදෙනෙක් ඉන්නවා දුටුවෙමි. ඔවුන් කුඩා ළමයින් බව මම දුටුවෙමි. මම දුම්රියේ සීනුව නාද කළෙමි. මට පෙනී ගිය අයුරු එක් ළමයෙකුට එය ඇසී ඔහු අනික් ළමයා රේල් පාර මැද සිටියදී දුම්රිය මාර්ගයෙන් ඉවතට පැන දිවුවේය. රේල් පාර මැද නැවතුණු ළමයා කුමක් කරන්නේද යන්න තීන්දු කරගන කරගත නොහැකි බව පෙන්වමින් සිටියා සේ මට දැනුණි. මම නැවතද විසිල් පාරක් ගැසුවෙමි. ඉන්ද පලක් නොවූ හෙයින් මම වාෂ්ප ටැංකිය වසා තිරිංග ක්‍රමයෙන් හිමිහිට තද කළෙමි. මේ අවස්ථාවේදී විත්තිකාර අභියාචන වම් පැත්තෙන් රේල් පාරට ප්‍රවිශ්ට වී ළමයාද රැගෙන ඉවතට යනු මම දුටුවෙමි’’ මේ අනුව බෙවන් මහතා වහා ක්‍රියා කිරීම නොවන්නට දරුණු මරණීය අනතුරක් සිදුවීමට ඉඩ තිබූ බව ශ්‍රේෂියර් මහතා පැවසීය. මේ කාන්තාවගේ ක්‍රියාද‌ාමය ඉතා උද‌ාර බව ශ්‍රේෂියර් තුමා පැවසීය. 


ඇය තමා වෙත ගමන් කරන දුම්රිය දැක දැකත් එසේ සමහර විට තමාට මරණීය අනතුරක් සිදුවිය හැකි බව දැන දැනත් වහා දුම්රිය මාර්ගය මැදට පැන කිසිවක් කරකියා ගත නොහැකි දරුවා උසුලා දුම්රිය මාර්ගයෙන් ඉවත ගෙන යාම ඉතා ශ්‍රේෂ්ඨ නිර්භීත ක්‍රියාවක් බව අගය කළේය. එහෙත් එසේ කිරීමේදී ලැයිසිහාමි ආයම්මා රටේ වලංගුව පවත්නා නීතිය එනම් දුම්රිය මාර්ගය පාවිච්චි කිරීම උල්ලංඝනය කොට ඇති බව උච්චාරණය කළේය. එබැවින් රටේ නීතිය ඇය විසින් උල්ලංඝනය කොට ඇති බැවින් ඇය දඬුවම විඳිය යුතු බව අවධාරණය කළේය. කොළඹ පොලිස් මහේස්ත්‍රාත් තුමා ඇයට කරන ලද වරදට දඩමුදලක් ගෙවීමට නියෝග කොට තිබුණි. එහෙත් ඇය විසින් කරන ලද උදාර නිර්භීත ක්‍රියා සැලකිල්ලට ගෙන පනවා ඇති දඩ මුදල වෙනුවට නාමික දඩ මුදලක් වශයෙන් සතයක් පමණක් ගෙවීමට නියම කළේය.  

 

 

 

 

 

 

 


අධිනීතිඥ
විමලසේන ගන්ගේ