දුම්රිය පාරේ මළ සිරුර මිනී මැරුමක්ද?


මළවුන්ගේ සාක්ෂිමළවුන්ගේ සාක්ෂි

 

එක් දහස් නවසිය අනූ ගණන්වල සිදු වූ එක් ඛේදනීය පුවතකි. ස්ථානය ගණේමුල්ල, රාගම දුම්රිය මාර්ගයයි. ඒ හිමිදිරි උදෑසනයි. මගීන් හට දර්ශනය වූයේ දුම්රිය පාරේ හිස කඳින් වෙන් වූ පිරිමි මෘත ශරීරයකි. වහා ඒ පිළිබඳව අසල වූ දුම්රිය ස්ථානයට දන්වන ලදුව පොලිසියට දැනුම් දී මොහොතින් පොලිසිය එම ස්ථානයට පැමිණියේය.   


හදිසි මරණ පරීක්ෂාවෙන් පසු සිරුර රාගම රෝහලේ මෘත ශරීරාගාරයට භාර දෙනු ලැබිණි. මේ වන විටත් මියගිය අය හඳුනාගෙන නොතිබිණි. 
ඔහු වයස 35 ක 40 ක පමණ හැඩි දැඩි තරුණයෙකු බව පෙනී ගියේය. ටී ෂර්ට් එකකින් සහ කොට කලිසමකින් සැරසී සිටියේය. 


සිරුරේ සමහර තැන්වල කළු පැල්ලම් තිබුණ අතර කකුලේ කුඩා තුවාල දක්නට ලැබුණි. ටී ෂර්ටය රතු රුධිරයෙන් තෙත් වී තිබුණි. එදින දහවල වන විට පොලිසියට තවත් ආරංචියක් ලැබුණේය. ඒ සිරුර සොයා ගත් ස්ථානය ආසන්නයේ ත්‍රීරෝද රියක් නවතා ඇති බවය. එහි අයිතිකරුවෙකු නොමැති බවත් උදේ සිටම එකම ස්ථානයක නවතා ඇති බවත් දන්වා තිබිණි. ඒ අනුව පොලිසිය ඒ පිළිබඳව ද පරීක්ෂණ ඇරඹුවේය. අයිතිකරුවෙකු නොසිටි බැවින් එය පොලිස් භාරයට ගැනිණි. 


දිනක් ගත විය. පොලිසියට අතුරුදන් වූවෙකු පිළිබඳ පැමිණිල්ලක් ලැබුණේය. ඒ අනුව මියගිය තැනැත්තා හතළිස් හැවිරිදි ත්‍රීවීල් රියැදුරෙකු විය. 


පෙරදා නිවසින් පිට වුවද රාත්‍රියේ නිවසට නොපැමිණි බව පැමිණිල්ලේ සටහන් විය. එසේම දුරකථනයට කතා කළ ද ඉන් ප්‍රතිචාරයක් නොමැති බව පැවසිණ. 
අනතුරුව පොලිසිය පැමිණිලිරුවන්ට රාගම රෝහලට පැමිණෙන ලෙස දැන්නුවේය. එහෙත් කිසිදු තොරතුරක් දැන ගත නොහැකි විය. ඔවුහු යළිත් පොලිස් ස්ථානයට පැමිණියහ. 
ඉන් පසු පොලිසිය විසින් ඔවුන් මෘත ශරීරාගාරයට කැඳවාගෙන ගිය අතර මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය හඳුනා ගැනීමට යොමු කරන ලදි. පැමිණි අය මෘත ශරීරය හඳුනා ගත්හ. 


ඉන් පසු මෙය සිය දිවි හානි කර ගැනීමක්ද? ඊට හේතු මොනවාද? යන්න දැන ගැනීමට පොලිසියට අවශ්‍ය විය. ඒ අනුව මියගිය පුද්ගලයාට කුමන හෝ ප්‍රශ්න තිබුණා දැයි විමසන ලදි. 


ඒ මොහොතේ කිසිඳු තොරතුරක් අනාවරණය කර ගත නොහැකි වූ අතර පසු විපරමේදී මෙවන් වූ කරුණු තහවුරු විය. 


මියගිය පුද්ගලයා එක් දරු පියෙකි. ඔහු නිතරම බිරිඳත් සමග රණ්ඩු සරුවල් කර ගත්තේය. ඒ ඔහුට වෙනත් කාන්තාවක් සමග අයථා සබඳතාවක් ඇතැයි යන සැකය මතය. ඒ පිළිබඳව පොලිසිය තොරතුරු ගවේෂණය කළ අතර එහිදී අදාළ කාන්තාවගේ පවුලේ ද මේ ආකාරයටම සැමියා හා බිරිඳ අතර ගැටුම් ඇති වෙන බවත් ඇතැම් අවස්ථාවල නීත්‍යනුකූල සැමියා හා අනියම් සැමියා ගැටෙන බවත් හෙළි කර ගත්තේය. 


මේ තොරතුරු අනුව පශ්චාත් මරණ පරීක්ෂණයට කටයුතු යෙදුණු අතර එය භාර වූයේ එවකට විශේෂඥ අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාටය. 
මේ ඔහු අධිකරණ වෛද්‍ය විද්‍යාවෙන් තහවුරු කර ගත් කරුණුය. 


‘‘මම මෘත ශරීරය පරීක්ෂා කළා. හිස කඳින් වෙන්ව තිබුණත් ගොඩක් ලේ ගලපු බවක් දක්නට ලැබුණේ නෑ. ඉන් අපට පෙනී ගියා. හිස කඳින් වෙන් වන අවස්ථාව වෙන කොට ඔහුගේ ලේ ගැලීමේ ප්‍රවණතාව උෟණ වී පැවති බව. එම ස්ථානය පරීක්ෂා කිරීමේදීත් එහි අධික රුධිර වහනයක් සිදු වී නොමැති බව දක්නට ලැබුණා. අපි කකුල් පරීක්ෂා කළා. එහිදී කුඩා තුවාල දක්නට ලැබුණා. ඒවා පහර දීමකින් වූ තුවාල ලෙසයි අපි හඳුනා ගත්තේ. මොකද කෝච්චි පාරක දී සිදු වන තුවාල මීට වඩා වෙනස් නිසා. අපි පරීක්ෂණ දිගමට කළා. ඔහුගේ ඇඳුම් ගලවා සිරුර පරීක්ෂා කළා. එහිදී පපු ප්‍රදේශයේ කැපුම් තුවාල 2 ක් තිබෙනු දක්නට ලැබුණා. ඉස්සරහින් එකයි පිටි පස්සෙන් එකයි තිබුණේ. අපි කඳ ප්‍රදේශයත් පරීක්ෂා කළා. අපට පෙනී ගියා ඇනුම් තුවාල දෙකක් ඇති බව තවදුරටත් පරීක්ෂා කිරීමේදී පපු ප්‍රදේශයේ ඉස්සරහ තිබුණ තුවාලය හෘදය වස්තුව පසාරු කරගෙන ගිහින් තිබුණා. ඉන් උරයට ගොඩක් ලේ වහනය වී තිබුණා. 


එම රුධිරය පපු කුහරය ඇතුළේ තිබුණා. පිටිපස්සේ තුවාලය පෙණහලු පසා කරගෙන ගිහින් තිබුණා. එයිනුත් යම් ලේ ප්‍රමාණයක් සිරුර අභ්‍යන්තරයට ගලා ගිහින් තිබුණා. මේ එකතු වුණු ලේ ප්‍රමාණය පුද්ගලෙයකුට මරණය ඇති කළ හැකි ප්‍රමාණයක්. මෙය අභ්‍යන්තර ලේ ගැලීමක්. 


ඊට පස්සේ අපි මෘත ශරීරය තිබුණ ස්ථානය පරීක්ෂා කළා. ඒ අසල කිසිවක් තිබුණේ නෑ. අඩුම තරමේ සෙරෙප්පු දෙකවත් තිබුණේ නෑ. සාමාන්‍යයෙන් සෙරෙප්පු නැතිව රේල් පාරේ ඇවිද යන විට කකුල්වල කළු පාට ගෑවෙනවා. ඒත් මේ පුද්ගලයාගේ යටි පතුල් අපවිත්‍ර වෙලා තිබුණේ නෑ. 


​පොලිසියට පසුව මොහු පැලඳගෙන සිටි සෙරෙප්පු දෙක ත්‍රීවීල් එකට ආසන්න තැනක තිබී හමුවුණා. අපි මත් පැන් බීලා තිබෙනවාද බලන්න රුධිර පරීක්ෂා කළා. 
එහි මිලිග්‍රෑම් 180 ක් 200 ක පමණ මත්පැන් අන්තර්ගත වෙලා තිබුණා. ඒ වගේම ඔහුගේ ආහාර ජීර්ණය වී ඇති ආකාරය අනුව අපට අවශ්‍ය වැදගත් කාල වේලාවන් අපි සොයා ගත්තා. 


අපි අපේ පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් කළා. අවසන් නිගමනය ලෙස දැක්වූයේ මෙය දුම්රියට පැන සිය දිවි හානි කර ගැනීමක් නොවෙයි. ඊට පෙර සිදු වූ කැපුම් තුවාලවලින් සිරුර අභ්‍යන්තරයට ලේ ගැලීම නිසා සිදු වූ මරණයක් බවයි. 


මරණයට පෙර හිස කඳින් වෙන් වී මරණය සිදු වූවා කියා තහවුරු කිරීමට අපට සාක්ෂි නෑ කියලා අපි පෙන්වා දුන්නා. 


අපි අනුමාන කළා පපුවට සිදු කළ ඇනුම් තුවාල නිසා අදාළ පුද්ගලයා මිය ගිය බවත්, ඉන් පසු යමෙකු එම මෘත ශරීරය රේල් පාරේ ගෙනැල්ලා තබන්නට ඇති බවත් ඒ සඳහා අවශ්‍ය සාක්ෂි අපිට ලැබුණා. 


ඒ වගේම කෝච්චියකුත් පාරේ මිනිසෙක් වැටී සිටි බවක් වාර්තා කර තිබුණේ නෑ. ඒ අනුව මම රස පරීක්ෂකට ත්‍රීරෝද රථය යොමු කළා. 


මොකද එක තැනක ඩ්‍රයිවර් සීට් එකේ වියැළුණු ලේ සලකුණු හා සමාන පැල්ලම් වගයක් තිබුණා. රස පරීක්ෂණ වාර්තාවෙන් ඔප්පු වුණා ඒ පැල්ලම් ලේ පැල්ලම් බවත් ඒවා මිය ගිය පුද්ගලයාගේ රුධිරය හා ගැළපෙන බවත්. ඉන් අපට පැහැදිලි වුණා මේ පුද්ගලයා ත්‍රීවීල් එක තුළ සිටියදී ලේ ගැලීමේ තුවාලයක් සිදු වී තිබෙන බව. ඒ වගේම පපුවේ තිබුණු ඇනුම් තුවාල දෙක නිරීක්ෂණය කරපුවාම අපි අවබෝධ කර ගත්තා සීට් එකේ ලේ ගෑවිලා තියෙන්නේ මේ පුද්ගලයා වාඩි වුණාම පපුව එන මට්ටමෙන් කියලා. 


​මේ තුවාලවලින් පිටට සුළු වශයෙනුයි ලේ වහනය වෙලා තිබුණේ. ගොඩක් ලේ වහනය වෙලා තිබුණේ ශරීරය අභ්‍යන්තරයට. 


​මේ පිළිබඳ පොලිසිය වැඩිදුර පරීක්ෂා කළා. එහිදී සම්බන්ධයක් පැවතුණා කියන කාන්තාවගේ සැමියාගෙන් ප්‍රකාශ ලබා ගත්තා. ඔවුන්ගේ ගේ අවට පරීක්ෂා කළා. වීසි කළ පිහියක් සොයා ගත හැකි වුණා. ඒ පිහියේ ආකාරයයි තුවාලවල කැපුම් ලක්ෂණයි අනුව එය අදාළ පිහියෙන් කරන්නට ඇති බව අනුමාන කළා. එයත් රස පරීක්ෂකට යොමු කළා. 
එහිදීත් මැරුණු පුද්ගලයාගේ ලේ පැල්ලම්වලට ගැළපෙන ලේ සලකුණු ඇති බව ඔප්පු වුණා. ඉන් මෙය මිනී මැරුමක් බව හොඳින් තහවුරු වුණා. 


වැඩිදුර පරීක්ෂණවලදී අදාළ කාන්තාව පාපෝච්චාරණයක් කළා. එහිදී මියගිය පුද්ගලයා සහ අදාළ ගෑනු කෙනා නිවසේ එකට සිටිනා අවස්ථාවක ගෑනු කෙනාගේ ස්වාමි පුරුෂයා පැමිණි බවත් එහිදී අනියම් සැමියා පැන ගිය බවත් සිය ස්වාමි පුරුෂයා අනියම් සැමියා මරණ බවට තර්ජනය කළ බවත් දැන ගත හැකි වුණා. ඔහු පිහියකුත් රැගෙන නිවසින් පිට වු බව ද පැවසුණා. තවත් පරීක්ෂා කරද්දී මරණය සිදු කළා යැයි සැක කරන සැකකරුගේ ටී ෂර්ට් එකක් ද සොයා ගත හැකි වුණා. එහිදී පැල්ලම් වගයක් තිබුණා. එයත් රස පරීක්ෂකට යොමු කළා. ඉන් එහි තිබෙන්නේ ලේ පැල්ලම් බවත් එය මරණකරුගේ ලේ පැල්ලම්වලට සමාන බවත් දැක ගත හැකි වුණා. 


අවසානයේ දී මෙය මිනී මැරුමක් බව තහවුරු වුණා. ස්වාමිපුරුෂයා මෙන්ම භාර්යාවත් සැකකරුවන් වුණා. මහාධිකරණයෙන් ඔවුන් වරදකරුවන් වුණා. 


චූදිතයාට වසර 20 ක සිර දඬුවමක් ලැබුණා. මෙහි අවසානයේ සිදු වුණේ කුඩා දරුවාට අම්මාත් තාත්තාත් අහිමි වීම. දරුවාගේ භාරකාරත්වය මිත්තණියට භාර කළා.’’

සමරසේකර මහතා කියයි. 


සියල්ල සිදු වී අවසන්ය. ඔබ සිතිය යුත්තේ මවකු, පියෙකු දරුවෙකු ඇතුළත් ලස්සන පවුලක් අකාලයේ විනාශ වූයේ මක් නිසාද කියාය. දරු සෙනෙහස පසෙකලා හැඟීම් පසු පස හඹා ගිය ඔවුහු අවසානයේ නීතියට අපරාධකවෝ වූහ. එසේම එහි දඬුවම සිය සුජාත දරුවාට විඳීමට ඔව්හු උරුම කර දුන්හ. 


හැඟීම්වලින් නොව බුද්ධියෙන් තීරණ ගෙන කටයුතු කිරීම ඔබට භාරය. 


මන්දයත් වරදකරුවන්ට කිසිදා නීතියෙන් ගැලවිය නොහැකි නිසාය. ඔබේ දරුවන්ට ගෞරවයත් අවමානයත් උදා කර දෙන්නේ ඔබමය. 

 

 


සටහන කුමාරි හේරත්