දුම්රිය පාරේ දුවන රෝද හතරේ පෙට්ටි


 

ඩක්කු කියන්නේ දුම්රිය මාර්ගයේ ධාවනය කිරීමට හැකි ආකාරයට නිර්මාණය කරලා තියෙන දුම්රිය ප්‍රවාහන මාධ්‍යයක්. ඩක්කුව දුම්රිය මාර්ගයේ ස්ථීර වැඩ පරීක්ෂක මහතා සහ දුම්රිය මාර්ගයේ නඩත්තු අංශවල පරීක්ෂක මහතුන්ගේ දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහාත් නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීමටත් නඩත්තු කටයුතු සිදු කරන සේවක මහතුන් ප්‍රවාහනය කිරීමටත් භාවිතයට ගන්නවා. ශ්‍රී ලංකාව තුළ ඩක්කු වර්ග කිහිපයක්ම භාවිතයට ගන්නවා.   


උඩරට දුම්රිය මාර්ගයේ භාවිතයට ගන්නා ඩක්කු ඉතාම සරල ප්‍රවාහන මාධ්‍යයක් කියලා හඳුන්වන්න පුළුවන්. වාත්තු යකඩවලින් නිර්මාණය කරලා තියෙන රෝද හතරක්, තිරිංග පද්ධතියක් සහිත ලී වලින් සාදන ලද තට්ටුවකින් ඩක්කුව සමන්විත වෙනවා. ඩක්කු ට්‍රොලිමන් එහෙමත් නැත්නම් ඩක්කුකරු වශයෙන් හඳුන්වන දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක මහතුන් දෙදෙනකු හෝ හතරදෙනකු තල්ලු කිරීමෙන් දුම්රිය මාර්ගයේ ගමන් කරවිය හැකි බලය ලබා දෙනවා. දුම්රිය මාර්ගයට ඩක්කු උස්සලා තියන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඩක්කු ගාල් කරන ස්ථානයේ ඉඳලා නියමිත මාර්ගයට තල්ලු කරගෙන එන්නත් පුළුවන්.   


ඩක්කුවක් දුම්රිය මාර්ගයක ගමන් කරන විට බොහෝ විට ඩක්කුකරුවන් සමග දුම්රිය සේවකයන් හතර දෙනෙකු අනිවාර්යයෙන් එහි ගමන් කරනවා. බොහෝ විට ඩක්කුවක් දුම්රිය මාර්ගයේ ගමන් කිරීමේ දී එහි ස්ථිර වැඩ පරීක්ෂක මහතෙකු ගමන් කිරීම අනිවාර්යයි.   


ඩක්කුව පල්ලම් සහිත දුම්රිය මාර්ගයක දී ගුරුත්වය නිසා එය ගමන් කරන අතර, තැනිතලා දුම්රිය මාර්ගයක දී එය ඩක්කුකරුවන් විසින් තල්ලු කරන්න ඕනැ. කඳු සහිත දුම්රිය මාර්ගයක ඩක්කුව ගමන් කරවීම අපහසු වන බැවින් එවැනි අවස්ථාවල දී ඩක්කුව ලණුවක ආධාරයෙන් දුම්රියේ පිටුපස පෙට්ටියට ගැට ගසා බැඳ, දුම්රිය විසින් ඇදගෙන යනු ලබනවා.   


ඩක්කුවක තිරිංග දෙකක් තියෙනවා. එම තිරිංග දෙක ලීවරයක් මගින් සම්බන්ධ කරලා තියෙන්නේ. ලීවරයට උස් අතට හෝ පහළ අතට කැරකැවීම මගින් තිරිංග පද්ධතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඩක්කු තිරිංගයක් විශාල ලී කොටයක් මගින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එය යකඩ තහඩුවක් මගින් තිරිංග පද්ධතියට සම්බන්ධ කරලා තියෙනවා. ඒ වාගේම ස්ථිර වැඩ පරීක්ෂක මහතා වැනි දුම්රිය නිලධාරින් ගමන් කරන විට, ඩක්කුවට අව්වැසි ආවරණයක් සවි කරගන්න පුළුවන්. එය වහලයක්, හිඳ ගැනීමට ආසනයක්ද සහිත ආවරණයක්. එහි පාද තබා ගැනීමට වෙනමම තට්ටුවක් ද තියෙනවා.   


ඩක්කුවක ආයුධ පෙට්ටියක් තියෙනවා. එහි රතු කොඩියක්, කොළ කොඩියක් දුම්රිය වෙඩි, දං වැල්, විශාල ප්‍රමාණයේ කඹයක් ද තියෙනවා.   


විවිධ වර්ගයේ දුම්රිය මාර්ගයේ ඩක්කු විශේෂ ලෝකයේ සංවර්ධිත රටවල භාවිත කළත්, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල තවමත් බ්‍රිතාන්‍යයන් භාවිත කළ ඩක්කු වර්ග ප්‍රයෝජනයට ගන්නවා. 

 
තැනිතලා ප්‍රදේශවල භාවිතයට ගන්නා ඩක්කු උඩරට දුම්රිය මාර්ගයේ භාවිතයට ගන්නා ඩක්කුවලට වඩා තරමක් වෙනස් වන්නේ, උඩරට දුම්රිය මාර්ගයේ භාවිත වන ඩක්කු ගුරුත්ව උපයෝගී කර ගෙන පහළට ගමන් කිරීමයි. තැනිතලා ප්‍රදේශවල දුම්රිය මාර්ගයේ ඒ කියන්නේ, මුහුදු බඩ දුම්රිය මාර්ගයේ එහෙමත් නැත්නම්, අනුරාධපුර, පොළොන්නරුව වැනි දුම්රිය මාර්ගවල භාවිතයට ගන්නා ඩක්කු, ගුරුත්වය උපයෝගි කරගෙන ධාවනය කළ නොහැක. ඒ නිසා ඩක්කුවේ නිර්මාණය කරලා තියෙන විශේෂ ලීවරයක් එහි රෝදවලට සම්බන්ධ කරලා තියෙනවා. එම ලීවරය දෙදෙනෙකු විසින් උස් පහත් කිරීම තුළින් ඩක්කුව දුම්රිය මාර්ගයක ධාවනය කරවන්න පුළුවන්.   
ඩක්කුවක් දුම්රිය මාර්ගයක ගමන් කිරීමෙන් පසු එහි ගමන් කරන දුම්රිය සේවක මහතුන් දුම්රිය මාර්ගයේ යම් නඩත්තු කටයුත්තක් සිදු කරන අවස්ථාවක දුම්රිය මාර්ගයේ ගමන් කරන දුම්රිය සඳහා එම ඩක්කුව දුම්රිය මාර්ගයේ නවතා තිබිම නිසා දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය සඳහා බාධාවක් වන නිසා ඩක්කුව සේවක මහතුන්ගේ උපකාරයෙන් දුම්රිය මාර්ගයෙන් උස්සලා ඉවතට ගන්නවා.   


ඩක්කුවක් දුම්රිය මාර්ගයේ සිදුවන දුම්රිය ධාවන කටයුතු සඳහා බාධාවක් නොවන පරිදි දුම්රිය මාර්ගයේ ධාවනය විය යුතුයි. ඒ සඳහා ද දුම්රිය මාර්ගයේ දුම්රිය සංඥ‌ා සහ ටැබ්ලට් ආදිය රැගෙන යා යුතුයි. එහෙත් මා දන්නා පරිදි ඩක්කු සඳහා ටැබ්ලට් සංඥ ක්‍රියාත්මක නොකරන නමුත් ඒ සඳහා වෙනත් විශේෂිත සංඥ‌ා ක්‍රමයන් ඩක්කුවක් ගමන් කරන දුම්රිය ස්ථාන දෙකක් අතර භාවිතයට ගන්නවා. 

 

 

 

 


ඉන්දක කරුණාදාස