දුම්රිය පාර ගලවා ඉවත් කරයි


පුංචි කෝච්චිය නුවර එළියට ගිය පාර දිගේ (4) 

ඇස්වලදම් වංගුව (අන්තර්ජාලයෙනි)

අතීතයේ නුවරඑළිය දුම්රිය ස්ථාන ගොඩනැගිල්ල

ටී ෆැක්ටරි හෝටලයේ ඇති එකම දුම්රිය මැදිරිය
 

 

පසුගිය සති තුන පුරාවට ලංකාවේ උසින්ම පිහිටි පටු දුම්රිය මග (Narrow Guage Railway line) පිළිබඳ ඉතිහාසයේ පටන් වර්තමාන නටබුන්වල තත්ත්වය දක්වා අප ඔබ වෙත ගෙන ආවේ සමස්ත මග පුරාවට යමින් හැකි උපරිමයෙන් එහි උරුමය සොයා ගනිමිනි. අඩි දෙකහමාරේ කෝච්චි පෙට්ටි එක පෙළට අමුණා දුම් දමමින් දරුණු කඳු තැන්නවල් සහ වංගු ආශ්‍රිතව දුෂ්කර ගමනක යෙදෙමින් ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථානය වෙත ළඟාවෙමින් රාගල දක්වා ගමන් ගත් ආකාරය සැකෙවින් අප මෙම ලිපි පෙළ මගින් ඔබ වෙත ගෙන ආවෙමු.   


එම ලිපි පෙළේ අවසානය සනිටුහන් කරමින් මෙම ලිපියෙන් අප උත්සාහ කළේ හරියටම වසර 65කට පමණ පෙර තම ගමන නිම කළ උඩුපුස්සැල්ලාව පටු දුම්රිය මග (UPR) හා සබැඳි ජීවත අත්දැකීම් සහිත වැඩිහිටියන් සොයා ඒ පිළිබඳව සටහන් කිරීමටය. එසේ නම් දළ වශයෙන් වර්තමානයේ එම වැඩිහිටියකු ජීවත්ව සිටී නම් ඔවුන්ගේ වයස අවුරුදු 80ක් තරම් විය යුතු විය. බොහෝ උත්සාහයන් මැද බොහෝ ග්‍රාම නිලධාරීන් හරහා විස්තර සොයා ගත්තද අවාසනාවකට මෙන් පටු දුම්රියේ ගමන් ගත් එම අත්දැකීම් ඇත්තෙකු සොයා ගැනීමට අපට නොහැකි විය. මන්ද එවැනි අත්දැකීම් ඇත්තන් දෙදෙනකු පවා මීට වසර කිහිපයකට පෙර මෙලොවින් සමුගෙන තිබූ බැවිනි.   
නමුත් වර්ෂ 1942 දී රාගල සිට නුවරඑළිය කොටස වසා දැමුවද වර්ෂ 1948 නානුඔය සිට නුවරඑළිය දක්වා කොටස ද වසා දමා හරියටම මීට වසර 60කට පෙර ලංකාවේ උසින්ම පිහිටි සුන්දරතම දුම්රිය මර්ගය සදහටම වසා දැමුවත් එම දුම්රිය ස්ථාන පමණක් ක්‍රියාකාරී සේවයේ තැබීමට රජය කටයුතු කරයි. දුම්රිය පීලි ඇතුළු සියලු දේ ගලවා සම්පූර්ණයෙන්ම දුම්රිය මාර්ගය ඉවත් කර දැමුවද 1948 සිට තවත් වසර 25ක් පමණ යන තෙක් එම දුම්රිය ස්ථානවල දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ සේවකයින් සේව​ෙය් යොදවනු ලැබීය.   


මෙහි ප්‍රධානතම කාර්යය වූයේ වෙනත් දුම්රිය ස්ථානවලින් පැමිණෙන භාණ්ඩ භාර ගැනීම සහ භාණ්ඩ යැවීමයි. නමුත් මෙම කටයුතු සිදු කළේ නානු ඔය සිට ලොරි රථ මගිනි. මෙම කාලය තුළ සේවය කරමින් වර්ෂ 1970 පමණ කාලයේ රාගල දුම්රිය ස්ථානයේ සේවය කළ අවසන් දුම්රිය ස්ථානාධිපතිතුමා වන එච්.ඒ. ප්‍රනාන්දු මහතා අපට සොයාගැනීමට හැකි වූයේ නානුඔය දුම්රිය නිලධාරියෙකු මාර්ගයෙනි.   


ප්‍රනාන්දු මහතාගේ වයසට වඩා මෙම දුම්රිය මග වසා දැමූ කාලය වැඩි බැවින් ඔහු සතුව දුම්රිය මාර්ගය ආශ්‍රිත කිසිදු අත්දැකීමක් නොතිබුණි. ප්‍රනාන්දු මහතා පවසන පරිදි ඔහු දුම්රිය ස්ථානාධිපති ලෙස රාගල දුම්රිය ස්ථානයේ කටයුතු කළද 1970 පමණ කාලයේ හුදෙක් නාමමාත්‍රිකව ක්‍රියා කරන ලද දුම්රිය නොමැති දුම්රිය ස්ථානවල සේවය කිරීමට සෙසු ස්ථානාධිපතිවරුන් හා සේවකයන් වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. එබැවින් ලොරි හරහා භාණ්ඩ ප්‍රවාහනය සිදු කළ ඉතිරිව තිබූ එම දුම්රිය ස්ථානවල රාජකාරි කටයුතු එම කාලයේ නවතා දැමීමට තීරණය කරන ලදී.   

 

 


ඉන්පසු එම ඉතිරි වූ දුම්රිය ස්ථාන සියල්ල රජය විසින් පුද්ගලික අංශ වෙත පවරන ලදී. එසේ පැවරීමේදී දුම්රිය ස්ථාන, දුම්රිය නිල නිවාස යන සියල්ලම පැවරූ නමුත් මීට වසර කිහිපයක් වන තුරු එක් ස්ථානාධිපතිවරයකු එම නිල නිවාසයේ ජීවත්ව සිටි බවට අපට දැනගැනීමට ලැබුණි.   


කෙසේ හෝ පටු දුම්රිය මාර්ගයේ සියලුම උපාංග ඉවත් කර දුම්රිය ස්ථාන හා නිල නිවාස පුද්ගලික අංශයට පවරා දුම්රිය ඉතිහාසයෙන් UPR දුම්රිය මග සදහටම වසා දමන ලදී. නානුඔය සිට රාගල තෙක් අප ගිය ගමනේදී පසුගිය ලිපි ත්‍රිත්වය මගින් අපි ඔබ වෙත එම දුම්රිය ස්ථානවලට අත්ව තිබෙන වර්තමාන ඉරණම පිළිබඳ සැකෙවින් ගෙන ආවෙමු. නුවරඑළිය දුම්රිය ස්ථානය නුවරඑළිය ලංගම ඩිපෝවටත්, කඳපොළ දුම්රිය ස්ථානය හා නිල නිවාස කස්තුරි ප්‍රවාහන සේවයටත්, බෲක් සයිඩ් දුම්රිය ස්ථානය ජයලත් රටබීම පාලමත් රාගල දුම්රිය ස්ථානය වර්තමානයේ වෙළෙඳසල් පේළියකටත් අත්ව තිබෙයි. මේ ආකාරයෙන් සියලුම ගොඩනැගිලි අද වන විට පුද්ගලික අංශ වෙත පවරා ඇති හෙයින් දුම්රිය මගේ ඉතිරිව ඇති එකම බිංගෙයත් අයත්ව තිබුණේ පුද්ගලික නිවසකටය. තවද පොදුවේ ගත් කළ තවමත් කිසිවකුටත් අයිතිව නොමැත්තේ නුවරඑළිය තුරඟපිටිය අසල පාලම සහ ගල් පාලම අසල පාලම පමණි.   


මන්ද ප්‍රථම ලිපියේ පැවසූ පරිදි නානුඔය දුම්රිය ස්ථානයේ ආපනශාලාව ඉදිරිපිට තිබූ UPR මං සලකුණ දුම්රිය බලධාරීන් විසින් කොන්ක්‍රීට් ලෑලි දමා වසා ඇති අතර, රාගල කඳපොළ වර්තමාන ප්‍රධාන මාර්ගයට සමානාන්තරව අතීතයේ තිබූ දුම්රිය මගේ ඉතිරිව තිබූ එකම දුම්රිය පීලි කොටසත් මාර්ගයට කාපට් ඇතිරීමේදී වසා දමා තිබුණි. තවද නානුඔය පොලිසියට යන මාර්ගය අසල පිහිටි UPR වංශකතාවේ ප්‍රධාන සලකුණ වන නාමපුවරුවත් කැලෑවැදී සංරක්‍ෂණයකින් තොරව තිබෙන අතර, කැලේගාලේ පිහිටි එකම බිංගෙයත් නිවැසියන් කුණු දමන ස්ථානයක් බවට පත්කර ගෙන පවතියි.   


උරුමයක අරුමය සොයා ගිය අප දුටුවේ එවැනි අන්දමට ඉතිරිව තිබෙන අවසන් නටබුන් කිහිපයක් සඳහටම වැළලී යන ආකාරයයි. තවදුරටත් මෙම නටබුන් සොයා යන ගමනේදී රාගල පිහිටි වෙළෙඳසල් පොළක තිබූ දුම්රිය පීල්ලක් අප සොයා ගන්නේ මීට පෙර එය ඡායාරූපයකට ගත් පුද්ගලයකු මාර්ගයෙනි. තවද මෙම මාර්ගය භාවිත වූ දුම්රිය මැදිරියක් අදටත් සුරක්‍ෂිතව තිබෙන ස්ථානයක් ගැන අප දැනගත් බවත් එහි ජීවත් වුණ වසර සියයකට ආසන්න උරුමයේ ඉතිරිය නැරඹීමටයි.   


කඳපොළ ආශ්‍රිතව තිබෙන හෙරිටන්ස් ආයතනයට අයත් Tea Factory කියන හෝටලයේ එම දුම්රිය මැදිරිය තිබෙන අතර එය අද වන විට හෝටලයට පැමිණෙන අමුත්තන් හට ආහාර ලබා ගැනීමට හැකි ස්ථානයක් ලෙස ක්‍රියාත්මක වේ. එම දුම්රිය මැදිරිය ක්‍රමවත්ව ඇති අතර එය හෝටලය අසල වෙනමම ස්ථානයක හොඳින් නඩත්තු කරමින් පවතියි. එහි ඇතුළු වූ පසු අප දුටුවේ කිහිප දෙනෙකුට ආහාරපාන ලබාගත හැකි ලෙස සකස් කරන ලද TCK 6685 දරන දුම්රිය මැදිරි කොටසයි.   


තවද නටබුන් සොයා යන මෙම ගමනේදී කොළඹ පිහිටි දුම්රිය කෞතුකාගාරයේ තිබෙන UPR මාර්ගයේ භාවිත කරන ලද පොල්තෙල් ප්‍රවාහන මැදිරියක් දැක ගැනීමට හැකි වුණි. එය කෞතුකාගාරයේ පිටුපස රඳවා තිබුණ ද මා යන විට අලුත්වැඩියා කටයුතු කරන හෙයින් කෞතුකාගාරයේ සුන්බුන් අතර තිබෙන එම පොල්තෙල් ප්‍රවාහන ටැංකිය ඡායාරූප ගත කළේ කෞතුකාගාර පාලිකාවගේ අවසරය මධ්‍යයේය. එම ටැංකිය ඉදිරිපිට කුඩා කොළයක මෙය උඩුපුස්සැල්ලාව මාර්ගයේ භාවිත කරන ලද පොල්තෙල් ප්‍රවාහන ටැංකියක් ලෙස සඳහන් කොට තිබුණි.   


මැදිරිය හොඳ තත්ත්වයේ තිබුණ ද එයද තරමක් විනාශ වී තිබුණි. දුම්රිය කෞතුකාගාරය සතුව උඩුපුස්සැල්ලාව දුම්රිය මග පිළිබඳව කිසිදු විස්තරයක් නොතිබුණු බැවින් තවදුරටත් දුම්රිය දෙපාර්තමේන්තුව හරහා මෙම මගේ විස්තර සොයා ගැනීමේ අදහස අත්හැර දමන ලදී.   


කෙසේ නමුත් අතීතයේ දුම්රිය මග සහ දුම්රියේ ගමන පිළිබඳ සජීවී අත්දැකීම තිබූ අප්පු සිං​ෙඤා් මහතා විසින් ඔවුනට කියා තිබූ පටු දුම්රියේ ගමන පිළිබඳව රස කතා සහ අත්දැකීම් සොයා ගැනීමට හැකි වුණි. තවද එම කතාවලට සමගාමී අත්දැකීම් මා අන්තර්ජාලය හරහා සොයාගන්නේ ඉන්දියාවේ කඳුකර ප්‍රදේශවල පිහිටි පටු දුම්රිය මාර්ග මගිනි.   
ඊට හොඳම නිදසුනක් ලෙස එම වසර කිහිපයකට පෙර තිරගත වූ හින්දි සිනමා පටයක් වන බෆ්රි (Bafri) හි මුල් කොටස් මතකයට නැගුණි. දුම්කැරලි දමාගෙන හෙමිහිට දුවන පුංචි කෝච්චියට වඩා වේගයෙන් පාපැදිකරුවන් මාර්ගයේ ගමන් කරන ආකාරයයි.   


“පුංචි කෝච්චිය තිබ්බ කාලේ යන්තං මට වයස අවුරුදු දොළහක් විතර ඇති. අපි ඉස්සර කඳපොළ පැත්තෙන් එන කෝච්චිය රාගල යන හැටි වගේම රාගල ඉඳන් ආයේ කඳපොළ යනවා බලන්න හරි ආසයි. මාත් ඕකේ කිහිප වතාවක්ම ගියා. මේක දුම් කන කෝච්චියක්. හරිම පුංචි කෝච්චියක් හින්ද‌ා මිනිස්සු හිටියේ බොහොම ප්‍රමාණයට. අපේ තාත්තා කියන විදිහට ඕක පටන් ගත්ත මුල්ම කාලේ මිනිස්සු වැඩිය යන්න හදලා නෑ. ගොඩක් අය බය වෙලා අර කැලේගාල පැත්තේ දුර්ග නගින කොට. මේ කෝච්චිය ගියේ හරියට ඉබ්බෙක් වගේ ​​බොහොම හෙමින්. වංගු වැඩීයි, නැග්ම වැඩියි හින්ද‌ා කෝච්චියට හයියෙන් යන්න බෑ.   


සමහර වේලාවට කඳපොළ-රාගල අතර පාපැදිය යනවා කෝච්චියට වඩා ඉක්මනට පාරේ. අනික මට හොඳට මතකයි ඉස්සර රාගල ඉඳලා කඳපොළ එන හරිය ලොකු නැග්මක් තිබ්බේ. සමහර දවස්වල කෝච්චිය අදින් නැතුව නැවතුණා. කන්දේ නැග්ම වැඩි නිසාම කෝච්චිය අදින්න හදන කොට ඇංජිම උඩ ගහනවා. රේල්පීලිවලට වැලිගහලා වගේ තමයි කෝච්චිය හිමිට උඩට නැග්ගේ.   


රාගල ඉඳලා යන්න ලේසිම වුණ කෝච්චිය. ඒත් නුවරඑළියේ වුණු අනතුරින් පස්සේ රජය ව​ෙග්ම මිනිස්සුත් ටිකත් බය වුණා. මොකද ඒවගේ අනතුරු වැඩිය අපට තිබුණෙ නැති නිසා. පස්සේ ලොරි බඩකෑලි ආපු හින්ද‌ා තේ ගෙනියන්න ලොරිය ඉක්මනට යන හින්දම කෝච්චියේ තේ ගෙන යන එකත් අඩු වුණා. පස්සේ මම කොල්ලා කාලේ එතකොට ඔය පාර වහලා දැම්මා. රේල් පීලි ටැංකි කණු ඔක්කොම ගලවාගෙන ගියා. හැත්තෑ ගණන් වෙනකන්ම ස්ටේෂන් ටික නම් තිබුණා නිකං නමට වගේ. පස්සේ එවත් රජයෙන් අයින් කරලා දැම්මා” අප්පු සිං​ෙඤා සීයාගේ සුන්දර මතකය එලෙසින් දිගහැරුණේ යම් දුක්බර මුහුණක් සමගිනි.   

 

නුවරඑළිය නගරය මැදින් ගිය පුංචි කෝච්චිය

ප්‍රධාන මාර්ගයට සමීපව තිබූ දුම්රිය මාර්ගය

රාගල පැරණි දුම්රිය ස්ථානය

 


පුංචි කෝච්චිය එවකට තිබූ තාක්‍ෂණය හා සීමිත පහසුකම් මැද නිමවුණේ පරිගණකගත ලෝකය එළි දකින්නටත් කලිනි. ලක්‍ෂ 16ක් පමණ වැය කර වර්ෂ 1900 දී ඉදිකිරීම් ආරම්භ කර 1903 දෙසැම්බර් 14 වන විට නානුඔය සිට නුවරඑළිය දක්වා ඉදි කරන ලද පටු දුම්රිය මාර්ගය පසුව රාගල දක්වා අවසන් වූයේ වර්ෂ 1904 දී වසර 4ක පමණ කාලයක් තුළ වර්තමානයේ පවතින අධිතාක්‍ෂණික දැනුම හා ශ්‍රමය නොමැතිව මිනිස් ශ්‍රමය මත පදනම් කර ගෙන සැතපුම් 19ක් පමණ දිගට මෙම දුම්රිය මග නිර්මාණය වීම සැබැවින්ම පුදුමයකි.   


මන්ද නුවරඑළිය හා රාගල අතරත් නානුඔය සිට නුවරඑළිය අතරත් අැති නැග්ම සහ කඳුකර භූමි ලක්‍ෂණ මැනවින් අධ්‍යයනය කර එය ඉදි වූ හෙයිනි. ප්‍රධාන දුම්රිය ස්ථාන 5ක් සහ අතරමැදි දුම්රිය නැවතුම් පොළවල් 5ක්ද සමගින් හැඩ ගැසුණු උඩුපුස්සැල්ලාව පටු දුම්රිය මග අද වන තුරුත් දුම්රිය ඉතිහාසයේ දක්නට ලැබෙන සුවිශේෂීම නිර්මාණය බව නොඅනුමානය. ලංකාවේ උසින්ම පිහිටි එනම් අඩි 6316ක් උසින් පිහිටි කඳපොළ දුම්රිය ස්ථානය පිහිටි එම මාර්ගය කඩුගන්නාවටත් වඩා දුෂ්කර වූ දුර්ගවලින් සමන්විත වූවකි. ලංකාවේ අනෙකුත් සම්මත දුම්රිය නැග්මයන්ට වඩා තියුණු වූ අඩි 24ට එක් අඩියක් ලෙස ඉහළට එසවුණු දුම්රිය මාර්ගයේ පුංචි පෙට්ටි 12ක් පමණ ගැට ගසා ගෙන එවකට යන ලදී. මෙතරම් දුෂ්කරතා බාධක මැද සාර්ථකව ඉදි වුණු මගේ දුම්රියේ නැග ගමන් කිරීම කොතරම් සුන්දර වී දැයි සිතා ගත නොහැකි තරම්ය. මන්ද එය ලංකාවේ උසින්ම තනන ලද දුම්රිය මඟ වූ හෙයිනි.   


වර්ෂ 2018ක් වන වර්තාමනයට පවා තවමත් අභියෝගයක් වන උඩුපුස්සැල්ලාව මාර්ගය මෙලෙසින්ම පුංචි කෝච්චියක් ලෙස පටු දුම්රිය මඟක නැවත කළඑළි බැසීමට ඇත්නම් එය ලංකාවේ සංචාරක ආකර්ෂණය දිනන කදිම ඉසව්වක් වනු නොඅනුමානයි. නමුත් ප්‍රායෝගික ගැටලු සහ දේශපාලන කඹ ඇඳිලිවලට යටවෙමින් දූෂිතව මෙය ඉදි වනු හැකි වුවහොත් එය කෙතරම් අභාග්‍යයක් වනු දැයි සිතේ. මන්ද සිය වසකට පෙර මිනිස් ශ්‍රමයෙන් නිම වූ මෙය හැකියාව ඇතොත් වසරකින් නිම කිරීමට වර්තමානයේ පුළුවන. මීට වසර කිහිපයකට පෙර විටින් විට උඩුපුස්සැල්ලාව දුම්රිය මඟට පණ දීමට කොතෙකුත් කතිකා හා යෝජනා පැමිණිය ද ඒ සියල්ල යට ගැසුණි. කෙසේ හෝ නැවත මෙම සුන්දර ඉසව්ව හා සුන්දර ගමන අපට දැක ගැනීමට විඳ ගැනීමට නොහැකි වන බව නම් විශ්වාසයි. 


නමුත් නුවරඑළිය නගර සභාව හෝ දුම්රිය දෙපාර්තමේන්තුව මගින් කටයුතු කරමින් හැකි නම් උඩුපුස්සැල්ලාව මාර්ගයේ දැනට ඉතිරිව ඇති නටබුන් ආරක්ෂා කර ගැනීමට යම් වැඩපිළිවෙළක් සැකසුවහොත් ඵලද‌ායි වනු නොඅනුමානයි. දැනට ඉතිරිව ඇති චලනය කළ හැකි නටබුන් එකතු කර පුංචි කෝච්චියේ කෞතුකාගාරයක් නුවරඑළියේ ඉදිකිරීමට හැකි නම් මෙම අතීත උරුමයේ අරුමය හෙට දවස වියැකී නොයනු ඇත. ඊට ගල්පාලම සෙනඟපිටිය අසල ඇති පාලමේ නැවත දුම්රිය පීලි සවි කර සියවසකට පර තිබූ අත්දැකීම දැක ගැනීමට හැකි නම් එහි පොල්තෙල් ප්‍රවාහන ටැංකිය රඳවා පුංචි කෝච්චියේ අරුමය පෙන්වීමට හැකි නම් අගනා ක්‍රියාවක් බව පුංචි කෝච්චිය ගිය පාරට ලෝබ වන රසිකයන්ගේ පැතුමයි. නුවරඑළියට පුංචි කෝච්චිය ගිය ලිපි පෙළේ 4 වන ලිපිය වූ මෙමගින් එම සුන්දර ඉතිහාසයේ කතිකාව නිමා වුවද ඒ හා සමානව අපට අහිමි වූ යටියන්තොට සහ ඕපනායක පටු දුම්රිය මග ගැන නුදුරේදීම ඔබ හා හමුවෙමු.   

 

 


සංචාරක සටහන හා ඡායාරූප   
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු