දුම්රිය දෙකක් එකම මාර්ගයේ යවන සංඥා ක්‍රමය


 

තනි දුම්රිය මාර්ගයක දුම්රිය දෙකක් එකිනෙක ගැටෙන්නේ නැතිව ගමන් කිරීමට උපකාර වන සංඥ‌ා ක්‍රමය තමයි ටයර්ස් විද්‍යුත් දුම්රිය ටැබ්ලට් සංඥ‌ා ක්‍රමය. ඒ වාගේම ටයර්ස් ටැබ්ලට් සංඥ‌ා ක්‍රමය දුම්රිය ස්ථාන දෙකක් අතර දුම්රිය මාර්ගයේ ගමන් කිරීමට ලබා දෙන අවසරය කියලා ඉතා සරලව හඳුන්වා දෙන්න පුළුවන්.   


ලෝකයේ ප්‍රථමවරට වාෂ්ප බලැති දුම්රිය සොයා ගැනීමෙන් පසු ලෝකය පුරාවටම ඉතාමත් වේගයෙන් දුම්රිය මාර්ග පද්ධතිය සහ දුම්රිය ප්‍රවාහන සේවාව ව්‍යාප්ත වන්නට වුණා. ඒ වුණාට දුම්රිය ඉතිහාසයේ මුල් වකවානුවේදී දුම්රිය සංඥ‌ා ක්‍රමයක් තිබිලා නෑ. 1874 සැප්තැම්බර් 10 දින එංගලන්තයේ ට්‍රොපේ දුම්රිය මාර්ගයේ සිදුවූ දුම්රිය අනතුරක් නිසා දුම්රියේ ගමන් ගත් මගීන් 21 දෙනෙක් මියගොස් විශාල දේපොළ හානියක් සිදු වුණා. ඒ අවස්ථාවේදී බ්‍රිතාන්‍ය දුම්රිය බලධාරීන් තීරණය කරා නිවැරදි දුම්රිය සංඥ‌ා ක්‍රමයක් භාවිතයට ගත යුතු බව. එම අවශ්‍යතාව මත එංගලන්තයේ එඩ්වඩ් ටයරිස් නම් ඉංජිනේරුවා විසින් ටයර්ස් ටැබ්ලට් උපකරණය නිර්මාණය කර, ටයර්ස් ටැබ්ලට් සංඥ‌ා ක්‍රමය ආරම්භ කරා.   


ඉන් පසු ලෝකයේ බොහෝ රටවල ටයර්ස් ටැබ්ලට් සංඥ‌ා ක්‍රමය ව්‍යාප්ත වුණා. අද වනවිට ලෝකයේ තියෙන ප්‍රසිද්ධම දුම්රිය සංඥ‌ා ක්‍රමයක්. ඒ වාගේම සමහර රටවල දැන් මෙම ටයර්ස් ටැබ්ලට් සංඥ‌ා ක්‍රමය භාවිත කරන්නේ නෑ. ඒ වුණාට ශ්‍රී ලංකාවේ තවම මෙම සංඥ ක්‍රමය භාවිතයට ගන්නවා.   


ටයර්ස් විද්‍යුත් ටැබ්ලට් සංඥ‌ා උපකරණ නිපදවන්නේ එංගලන්තයේ ටයර්ස් සහ සමාගම විසිනි. ඔවුන් විවිධ වර්ගයේ ටයර්ස් ටැබ්ලට් සංඥ‌ා උපකරණ නිපදවලා තිබුණත් නො. 07 කියන ටයර්ස් විද්‍යුත් ටැබ්ලට් සංඥ‌ා උපකරණය තමයි ඉමහත් ප්‍රසිද්ධියට පත් වුණේ.   


දුම්රියක එහෙමත් නැත්නම් කෝච්චියක යන අපි දුම්රිය සංඥ‌ා ක්‍රම ගැන දැනුම්වත් වෙලා ඉන්න එක ඉතාමත් වැදගත් යැයි මම විශ්වාස කරනවා. අපි උදාහරණයක් ගමු. නානුඔය ඉඳලා අඹේවෙලට එනකම් තියෙන්නේ තනි දුම්රිය මාර්ගයක්. මේ දුම්රිය මාර්ගයේ තමයි, නානුඔය ඉඳලා අඹේවෙලටත්, අඹේවෙල ඉඳලා නානුඔයටත් කෝච්චි ගමන් කරන්නේ. ඔන්න දැන් නානුඔය ඉඳලා අඹේවෙල දිහාවට දුම්රියක් එනවා. ඒ සමගම අඹේවෙලින් දුම්රියක් නානුඔය දිහාවට එනවා. දුම්රිය දෙකම එන්නේ මුහුණට මුහුණ. එහෙම වුණොත් කොතනදී හරි කෝච්චි දෙකම එකිනෙකට ගැටිලා ජීවිත සහ දේපොළ හානියක් සිදුවෙන්න පුළුවන්. ඒක වළක්වා ගන්න තමයි මේ ටයර්ස් දුම්රිය ටැබ්ලට් සංඥ‌ා ක්‍රමය භාවිතයට ගන්නේ. 

 
ටයර්ස් දුම්රිය ටැබ්ලට් සංඥ‌ා පද්ධතිය දුම්රිය ස්ථානයක තියෙන වැදගත්ම උපකරණයක්. මෙම උපකරණය පෙට්ටියක් වැනි උපකරණයක්. මෙහි සීනුවක්, ස්විචයක්, සීනුව සඳහා ස්විචයක්, ටෙලිපෝනයක්, ටැබ්ලට් දැමීමට සිදුරක්, ටැබ්ලට් ලබා ගැනීමට සිදුරක් තියෙනවා. ඒවාගේම Line Close, Train Approaching, Train On Line යන සංඥ‌ා වැකි එහි තියෙනවා. ඒ වාගේම විද්‍යුතය මැනීමට ගැනෙන ගැල්වනෝමීටර්යක් මෙම උපකරණයට සම්බන්ධ කරලා තියෙනවා. දුම්රිය ස්ථාන දෙකක් සම්බන්ධ කිරීමට ටයර්ස් උපකරණ දෙකක් අවශ්‍යයි. ඒවාගේම දුම්රිය ස්ථාන දෙක අතර රැහැන් මගින් උපකරණ දෙක පරිපථයකට සම්බන්ධ කරලයි තියෙන්නේ.   


ඔන්න දැන් බදුල්ල දිහාවෙන් අඹේවෙලට ආපු කෝච්චිය යන්න ඕනි නානුඔයට. අඹේවෙල දුම්රිය ස්ථානයේ ඉන්න අය දන්නේ නෑ දුම්රිය මාර්ගයේ නානුඔය ඉඳන් අඹේවෙලට දුම්රියක් එනවාද? නැද්ද? කියලා. ඒ හින්දා දැන් නානුඔයට දුම්රිය යවන්න අඹේවෙල දුම්රිය ස්ථානය, නානුඔය දුම්රිය ස්ථානයෙන් අවසර ගන්න ඕනි.   


එහෙම නැත්නම් දුම්රිය මාර්ගයේ වෙනත් ධාවන කටයුත්තක් නානුඔය දෙසින් අඹේවෙල දෙසට නොමැති බව සහතික වශයෙන් දැනගන්න ඕනි. ඒ අවසර ගැනීම තමයි ටැබ්ලට් හරහා සිදු කරන්නේ. මේ සඳහා ටැබ්ලට් උපකරණයේ තියෙන සීනුවෙන් තමයි ඒ ඒ දුම්රිය ස්ථාන දෙක අතර සංඥ‌ා යවන්නේ. ඒ වාගේම ටයර්ස් සංඥ‌ා පද්ධතියට සම්බන්ධ දුම්රිය ස්ථාන දෙකෙහි ඇති ටයර්ස් සංඥ‌ා උපකරණ දෙක කේබල් මාර්ගයෙන් එකිනෙකට සම්බන්ධ කරලයි තියෙන්නේ.   


එක් අන්තයක ඇති දුම්රිය ස්ථානයෙන් අනෙක් අන්තයට දුම්රියක් යැවීමට උදාහරණයක් ලෙස නානුඔය සිට අඹේවෙලට දුම්රියක් යැවීමට, දුම්රිය ස්ථාන දෙකේම තියෙන ටයර්ස් සංඥ උපකරණ දෙකම Line Closed අවස්ථාවේ තියෙන්න ඕනෑ. ඊට පස්සේ නානුඔයෙන් අඹේවෙලට සීනුවෙන් සංඥවක් යවනවා. මාර්ගය පැහැදිලි නම් අඹේවෙලින් නැවත සීනු සංඥාවක් නානුඔයට ලබාදෙනවා. ඉන් අනතුරුව ටයර්ස් ටැබ්ලට් උපකරණයේ ස්විචය ඔබාගෙන ඉන්නවා. ඒ සමඟම අඹේවෙල දුම්රිය ස්ථානයේ ඇති ටයර්ස් ටැබ්ලට් උපකරණයේ ස්විචය ඔබාගෙන යට ඇති ටැබ්ලට් ලබාගන්නා තැටිය බාගයට අදිනවා. එවිට ටයර්ස් ටැබ්ලට් යන්ත්‍රයේ ලෙසට Train Approaching සංඥවක් වැටෙනවා. ඒ සමඟම අඹේවෙලින් නැවත සීනු සංඥ‌ාවක් නානුඔයට යවනවා. ඒ සමඟම නානුඔය දුම්රිය ස්ථානයේ ඇති ටයර්ස් ටැබ්ලට් උපකරණයේ ස්විචය ඔබාගෙනම ටැබ්ලට් ලබාගන්නා තැටිය අදිනවා. එවිට එහි ලෙසට එහි Train On Line සංඥාවක් වැටෙනවා. ඊට පසු ටැබ්ලටයක් ලබාගන්න පුළුවන්. එම ටැබ්ලටය ටැබ්ලට් බහාලනයට දමා දුම්රිය රියැදුරාට ලබාදෙනවා. ඒ අවසරයෙන් දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේ ඉඳන් අඹේවෙලට යන්න පුළුවන්.   


ටයර්ස් ටැබ්ලට් උපකරණයෙන් ලබාගන්නා ටැබ්ලට් වෘත්තාකාර හැඩයක් ගන්නවා. එය ලෝහ වර්ගයකින් නිර්මාණය කරලයි තියෙන්නේ. එහි මතුපිට ටැබ්ලට් භාවිත කරන දුම්රිය ස්ථාන දෙකෙහි සංකේත නාම සඳහන් කරලයි තියෙන්නේ. ඒ වාගේම ටැබ්ලට් අංකනය කරලයි තියෙන්නේ. මෙම ටැබ්ලට් එකක් නෙත් ටැබ්ලට් උපකරණය වැරදිලා හෝ ද‌ාන්න බැරි අයුරින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ.   


ටැබ්ලට් යන්ත්‍රයෙන් ටැබ්ලටයක් ලබා ගත් පසු ඒ පිළිබඳව සටහනක් එම ටැබ්ලට් යන්ත්‍රයට හිමි සටහන් පොතේ සටහන් කර තැබීම අත්‍යාවශ්‍යම කරුණක්. ටැබ්ලට් යන්ත්‍රයේ තවත් එක් සුවිශේෂි ලක්ෂණයක් වන්නේ ටැබ්ලට් උපකරණය හා සම්බන්ධිත අනෙක් දුම්රිය ස්ථානයේ ඇති ටැබ්ලට් යන්ත්‍රයෙන් හෝ ටැබ්ලටයක් එළියට ගත් විට, එම ටැබ්ලට් උපකරණයෙන් හෝ අනෙක් සම්බන්ධිත දුම්රිය ස්ථානයේ ඇති ටැබ්ලට් උපකරණයට ටැබ්ලටය දමන තෙක් කිසිම විටක ටැබ්ලටයක් පිටතට ලබා ගත නොහැකි වීම. එමගින් එම දුම්රිය මාර්ගයේ එනම් එම ටැබ්ලට් උපකරණ සම්බන්ධිත දුම්රිය ස්ථාන දෙක අතර දුම්රියක් ගමන් කිරීමට අවසර නොලැබීම එමගින් සිදුවේ.   

 

 

 

 

 

 


ඉන්දක කරුණාදාස