දියවැල් අතරේ ජීවිතය


‘සමුදුරු සුවිසැරිය’ 
ඩේවිඩ් ඇටන්බරෝගේ ‘බ්ලූ ප්ලැනට්’ ඇසුරිණි

නිල් පැහැයෙන් දිදුළන විවෘත සාගරය සැමවිටම නිසල නැත. දැඩි ලෙස හිරු රැස් පතිත වෙද්දී, මතුපිට ජලය උණුසුම් වී, වාෂ්ප වෙයි. ජල වාෂ්ප ඉහළට යද්දී ඝනීභවනය වී, වලාකුළු සෑදෙන්නේ යෝධ කුලුනු ආකාරයටය. වැහි වලා බිහිසුණු සුළි කුණාටු නිර්මාණය කරයි. විවෘත සාගරයේ සැතපුම් දහස් ගණනක් පුරා එම කුණාටු පැතිරෙයි.  මීටර් 30 කට වඩා උස බිහිසුණු රළ සාගරය කළඹයි. මෙවැනි බිහිසුණු සුළි කුණාටුවලට හසුවන ඇතැම් නැව්, කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකර අතුරුදන් වෙයි. සෑම වසරකම, භාණ්ඩ ප්‍රවාහන නැව්, කර්නේටර් පෙට්ටි මිලියන 130 ක් සාගර හරහා ප්‍රවාහනය කරයි. ප්‍රචණ්ඩ වැහි කුණාටු හේතුවෙන් සාමාන්‍යයෙන් දිනකට කන්ටේනර් පෙට්ටි තුනක් හෝ හතරක් මුහුදට වැටේ. 1992 වසරේදී, පොඩ්ඩන්ගේ සෙල්ලම් බඩු තොගයක් පුරවාගත් කන්ටේනර් පෙට්ටියක් මේ අයුරින් මුහුදට වැටුණි.

එම සෙල්ලම් බඩු අතරේ නාද්දී සෙල්ලම් කරන්න ගන්නා කුඩා ප්ලාස්ටික් තාරාවන් 7,000 ක් විය.  ප්ලාස්ටික් තාරාවන් මුහුදේ පාවීමට පටන් ගත්තේය. ප්ලාස්ටික් තාරාවන් ඔවුන්ගේ ගමන ආරම්භ කළේ ඇලෙස්කාවේ සිට සැතපුම් 1,000 ගණනක් දුරිනි. තාරවන් කිහිප දෙනකු පැසිෆික් සාගරය හරහා ඕස්ටේ්‍රලියාවට ළඟා විය. සාගර දියවැල් ඉතිරි තාරාවන්ගෙන් කිහිප දෙනකු උතුරට රැගෙන ගියේය. ඒවා අවසානයේදී රුසියාවේත් ඇලෙස්කාවේත් වෙරළ අවට දකින්න ලැබිණි. තවත් තාරාවන් කිහිප දෙනකු ආක්ටික් කලාපයටත් පා වී ගොස් තිබුණි. එක තාරාවකු අවුරුදු 15 ක් තිස්සේ සාගර තුනක් හරහා දීර්ඝ ගමනක යෙදෙමින්,  ස්කොට්ලන්තයේ බටහිර වෙරළ තීරයට ගොඩ ගැසුවේය. ප්ලාස්ටික් තාරාවන් මෙසේ ලොව නන්දෙසට විසිරී පැතිරී ගියේ, ජාලයක් ලෙස පැතිර පවතින සාගර දියවැල් නිසාය. මේ දියවැල් එක පද්ධතියක් ලෙස ක්‍රියා කරයි. දියවැල් පද්ධතිය හරහා සියලු සාගර එකිනෙක සමඟ සම්බන්ධ වෙයි. 

 

 

 

නිල් මෝරා


විවෘත සාගරයේ ජීවත් වන ජීවීන්ගෙන් බොහොමයක්, ආහාර සොයා යෑමට දියවැල් උපායෝගී කර ගනී. බ්ලූ ෂාක් හෙවත් නිල් මෝරා ද එවැනි ජීවින්ගෙන් කෙනෙකි. සෑම වසරකම මේ මෝරා, දියවැල් උපකාරී කර ගනිමින්, පියාපත් වැනි වරල් භාවිතයට ගනිමින්, සැතපුම් 5,000 කට වැඩි දුරක් පිහිනයි. මෝරාට මාස දෙකකින් ආහාරයක් ලැබී නැත. සැතපුම් ගණනාවක් ඈතින් ඇති, දියවැල් හරහා තල්මසකුගේ මේද තෙල්වල සුවඳ මෝරාට දැනෙන්න ගනී. මෝරා ඒ වෙත ඇදෙයි. මේද තෙල් සුවඳ දැන් වැඩි වැඩියෙන් මෝරාට දැනෙන්න ගනී. නැවක ගැටීමෙන් මියගිය යෝධ තල්මසකුගේ සිරුරක් ඈතින් දිස්වෙයි. බඩගිනි මෝරාට මෙය රජ බොජුනකි. එහෙත් නිල් මෝරා කල්පනාකාරී විය යුතුය. කොතරම් කුසගින්නේ පසුවුණත්, මෝරා මළකුණ වෙත කිට්ටු වෙන්නේ නැත. තමන්ට වඩා බලසම්පන්න තවත් දඩයක්කාරයන් සිටිනවා විය හැකි බව මෝරාට ඉවෙන් මෙන් දැනෙයි. එය නිවැරදිය.  ධවල මෝරකු එතැනට පැමිණ සිටී. සාගරයේ බිහුසුණු මෙන් ප්‍රචණ්ඩකාරී දඩයක්කාරයා  ලෙස සැළකෙන්නේ ග්‍රේට් වයිට් හෙවත් යෝධ ධවල මෝරුන්ය. ධවල මෝරා සිංහයකු නම්, නිල් මෝරා කුඩා බළලකු වැනිය. ධවල මෝරා නිල් මෝරාට වඩා දස ගුණයකින් බරින් වැඩිය. තල්මසාගේ මළ සිරුර ධවල මෝරා අත්පත් කරගෙන සිටී. කාටවත් ඊට කිට්ටු වන්න ඌ ඉඩ දෙන්නේ නැත. ධවල මෝරා, උගේ තියුණු දත් විලිස්සා ගත් යෝධ මුඛයෙන් මස් කුට්ටි කඩා ගිල දැමීමට පටන් ගනී. තල්මසාගේ තෙල්මන්ද ආහාරයට ගැනීමට ධවල මෝරුන් ප්‍රිය කරයි. එය ධවල මෝරුන්ගේ ප්‍රධාන ආහාරයකි. ධවල මෝරා කුස පුරවාගෙන එතැනින් ඉවත් වනතුරු නිල් මෝරා පමණක් නොව දැන් එතැනට පැමිණ සිටින සෙසු මෝරු ද බලා සිටිති. ධවල මෝරා නික්ම ගිය පසු, තල්මස් මළකුණ දැන් අයිති ඔවුන්ටය. මියගිය තල්මසුන්ගේ සිරුරුවලින් වෑස්සෙන මේද තෙල් තට්ටුවල ඉව දැනෙද්දී, වැඩි වැඩියෙන් තවත් නිල් මෝරුන් එතැනට පැමිණෙන්න ගනී. පැය කිහිපයක් යද්දී තල්මස් මළ සිරුරේ ඉතිරි වන දෙයක් නැත. මොරුන් විසින් තල්මස් සිරුරේ සියලු තෙල් තට්ටු ආහාරයට ගැනීමෙන් පසු ඉතිරි වන කොටස් මුහුදු පතුළට ගිලී යන්නේ තෙල් තට්ටු නොමැති නිසා තව දුරටත් ඊට පාවීමට හැකියාවක් නැති නිසාය. කුස පිරෙන්න ආහාරයක් ගත් නිල් මෝරාට දැන් තවත් මාස දෙකක් හෝ තුනක් ආහාර නොමැතිව සිටිය හැකිය.

 

 

 

විස ලොඬියෝ


විවෘත සාගරයේ ජීවත් වන ජීවීන්ගෙන් අඩක්, ජීවත් වන්නේ දියවැල් උපයෝගී කර ගනිමිනි. සියලුම සාගරවලට පොදු ජෙලිෆිෂ් (සිංහල බසින් ලොඬියන්) ද දියවැල් අතරේ ජීවත් වෙති. විස අඬුවල දැවටෙන ඕනෑම දෙයක් ජෙලිෆිෂ්ගේ ආහාරය වෙයි. ඇතැම් ජෙලිෆිෂ් සතුන් විෂ්කම්භයෙන් මීටර් දෙකක් පමණ විශාලව වැඩෙයි. වාසනාව පෑදුණොත්, උන්ට ප්ලවාංග පිරි සාගරවලට පිවිසෙන්න අවස්ථාව ලැබෙයි. එවැනි අවස්ථාවලදී බොහොම පහසුවෙන් ක්ෂුද්‍රජීවීන් වන ප්ලවාංග ආහාරයට ගැනීම කළ හැකිවෙයි. ප්ලවාංගවලින් සාගර කලාප පිරී ඇත්නම්, එම සාගර කලාප ජෙලිෆිෂ්ගෙන් ද පිරෙයි. විවිධාකාරයේ, විවිධ හැඩයන්ගෙන් යුත් විවිධ වර්ගවල ජෙලිෆිෂ් දස දහස් ගණනින් එක්රොක් වෙයි. ජෙලිෆිෂ් යනු මිහිතලයේ බහුලව දැකිය හැකි බොහොම සරල ජීව විශේෂයකි. කෙසේ නමුත් සරල නොවන සංකීර්ණ ජෙපිෆිෂ් වර්ගයක් ද සිටී. මේ ජීවියා සංකීර්ණ මෙන්ම, කපටි නපුරෙකි. මේ ජෙලිෆිෂ් හැඳින්වෙන්නේ ‘පෘතුගීස් මෑන් ඕ වෝර්’ (පෘතුගීසී යුද නැව) නමිනි. ඊට හේතුව, මේ සත්වයාගේ පෙනුමය. මේ ජෙලිෆිෂ් මුහුද මතුපිටට පැමිණ පාවෙද්දී, වායුවලින් පුම්බාගත් පිත්තාශය වතුරට ඉහළින් දිස්වෙයි. ඒ, රුවල් නැවක රුවලක් ලෙසිනි. මේ සත්වයා දකිද්දී අතීතයේ පෘතුගීසීන් ආක්‍රමණය සඳහා පැමිණි බිහිසුණු යුද නැව් සිහි ගැන්වෙයි. පුම්බාගත් පිත්තාශය සැබැවින්ම රුවලක් මෙන් භාවිත කරමින්, අවශ්‍ය තැනට ‘පෘතුගීස් මෑන් ඕ වෝර්’ පාවී යයි. පහළින් මීටර් 30 ක් පමණ දිගින් වැඩි අඬු පහළින් දකින්න ලැබේ. සෑම අඬුවකම උග්‍ර විස පිරුණු සෛල දහස් ගණනකි. මේ එක විස අඬුවක් ස්පර්ශ වුවහොත්, මාළුන් පමණක් නොව, ඇතැම් අවස්ථාවලදී මිනිසුන් පවා මරණයට පත්වුණු බව වාර්තා වී තිබේ. මේ උග්‍ර විස අඬු අතරේ ගැවසෙන මාළුවකු ද සිටී. මේ මාළුවා ‘පෘතුගීස් මෑන් ඕ වෝර්’ ජෙලිෆිෂ්ගේ උග්‍ර විසට ඔරොත්තු දෙයි. එසේ වුවත්, අඬුවල ස්පර්ශ නොවීමට මාළුවා වගබලා ගනී. මාළුවා හැඳින්වෙන්නේ ‘පෘතුගීස් මෑන් ඕ වෝර්’ මාළුවා කියාය. මාළුවා ‘පෘතුගීස් මෑන් ඕ වෝර්’ ජෙලිෆිෂ්ගේ අඬුවල දැවටෙන සතුන්ගේ කොටස් ආහාරයට ගනිමින් ජීවත් වෙයි. මේ මාළුවාට ඇති වාසනාව අනෙක් මාළුන්ට නැත. උන් ‘පෘතුගීස් මෑන් ඕ වෝර්’ ජෙලිෆිෂ්ගේ අඬුවල පැටළෙයි. බිලී කොකුවකට පැටළුණු මාළුවකු ඉහළට ගන්නවා සේ, අඬු හකුළා ගනිමින්, ජෙලිෆිෂ් මාළුවා උගේ සිය සිරුර වෙත ඇද ගැනීම සිදු කරයි. විස සිරුරට කා වැදීමෙන් මාළුවා සිටින්නේ අප්‍රාණිකවය. ඌ ජෙලිෆිෂ්ගේ ගොදුර බවට පත් වෙද්දී, ඌට සිහිය තිබේ. එහෙත්, කිසිවක් කර කියා ගත නොහැකි වෙයි. අඬුවලින් මාළුවා වෙලා ගැනෙන්නේ කරමල් අතරින් එම අඬු සිරුරට තුළට ඇතුළු කරමිණි. ප්‍රබල රසායන දියරයක් මාළුවාගේ සිරුරට විදීම ජෙලිෆිස් විසින් සිදු කරනු ලබයි. මාළුවා ජීර්ණය කිරීම එලෙස ඇරැඹෙයි. ජෙලිෆිෂ් මාළුවා ආහාරයට ගන්නේ උගේ සිරුරේ ඇතුළත දිය කරමිනි. අවසානයේදී ඉතිරි වන්නේ මාළුවාගේ පිට සැකිල්ල පමණි. මේ අයුරින් ‘පෘතුගීස් මෑන් ඕ වෝර්’ ජෙලි ෆිෂ් දිනකට කුඩා මසුන් සියයකට වැඩි ප්‍රමාණයක් ගොදුරු කර ගනී.

 

 

 

මිණිමුතු මෝරා


විවෘත සාගරය බොහෝ විට භූ ලක්ෂණවලින් තොරය. දසත දකින්න ලැබෙන්නේ නිල් පැහැයෙන් දිදුළන මහා සාගරය පමණි. ගොඩබිමෙන් බාධාවක් නැතිව සුළං සාගරය පුරා හමයි. අපට නොපෙනෙන අයුරින් මුහුදු පතුළේ කඳු වැටි, අගාධ, යමහල් විවරවලින් පිරී පවතී. දියවැල් හරහා පැමිණෙන හුදෙකලා මිණිමුතු මෝරකු විශේෂ ගමනක් යමින් සිටී. මේ දැවැන්තයා ගැබ්බර ගැහැනු සතෙකි. පෙනුම ප්‍රමාණයෙන් කුඩා අහස් යානයක් තරම්ය. ටොන් 20 කට වැඩිය බරින් යුක්තය. අනෙක් මෝරුන් මෙන්ම මිණිමුතු මෝරා ද බිත්තර දැමීමක් කරන්නේ නැත. කෙළින්ම පැටවුන් පිට කරයි. මේ මිණිමුතු මෝරාගේ පිරුණු කුසේ සිටින පැටවුන් ගණන 300 කට ආසන්නය. සාගරයේ වෙසෙන දැවැන්තයා මෙන්ම, ලොව ලොකුම සත්වයා ද වන්නේ නිල් තල්මසාය. තල්මසා ක්ෂීරපායී සත්වයෙකි. ලොව ලොකුම මාළුවා ලෙස සැළකෙන්නේ මෙම මිණිමුතු මෝරා හෙවත් තල්මස් මෝරාය. විවෘත සාගරයේ වෙසෙන දැවැන්තයා වුවත්, මිණිමුතු මෝරුන් පැටවුන් බිහි කිරීම සිදු කරන්නේ කොතැනදැයි යන්න සාගර ජීවීන්ට අබිරහසක් වී තිබුණි. එම අබිරහස විසඳීමට බී.බී.සී. බ්ලූ ප්ලැනට් කණ්ඩායම සමත් විය. වසරේ ඒක් කාලයකට පමණක් මිණිමුතු මෝරුන් පමණක් නොව, වෙනත් මෝරුන් විශේෂ සාගරයේ සුවිශේෂී තැනකට එක්රොක් වෙයි. ඒ, පරිණාමවාදයේ පියා චාල්ස් ඩාවින්, අපට පරිණාමය ගැන කියා දුන් ගලෙපගොස් දූපත් අතර ඇති එක් දූපතක් අසලටය. මේ කුඩා දූපත නම් කර ඇත්තේ ඩාවින් දූපත යන නමිනි. ඩාවින් දූපත අවට සාගරය ඉතා ගැඹුරුය. දියවැල් සමඟ මෝරුන් පමණක් නොව සෙසු මත්ස්‍ය විශේෂ ද දහස් ගණනින් මෙහි පැමිණ සිටී. ඩාවින් දූපත අවට මුහුද ජීවයෙන් ගහණ කලාපයකි. ගැබ්බර මිණිමුතු මෝරා ද එහි පැමිණ සිටී. එපමණක් නොව, දහස් ගණනින් උදළු මෝරු (හැමර්හෙඞ් ෂාක්) ද එතැන සිටිති. මොවුන්ගෙන් හැමෝම පාහේ ගැහැනු සතුන්ය. ඔවුන් ද මෙහි පැමිණ සිටින්නේ පැටවුන් බිහි කිරීමටය. මිණිමුතු මෝරාට, උදළු මෝරුන් සහ අනෙක් මෝරුන්ගෙන් සුවිශේෂී පිළිගැනීමක් හිමිවෙයි. මෝරුන් එකා දෙන්නා බැගින් පැමිණ මිණිමුතු මෝරාගේ සවිමත් ඝන සිරුරේ ඇතිල්ලීගෙන පිහිනා යයි. සිරුරට හාදු දෙයි. සමහරවිට උන් එහෙම කරන්නේ, උන්ගේ සිරුරුවල සිටින පරපෝෂිත ජීවීන් ගසා ඉවත් කිරීමට විය හැකිය. අලුත උපදින පැටවුන්ට මෙහි සිටින සෙසු මෝරුන් තර්ජනයක් විය හැකි බව මිණිමුතු මෝරා දනී. ඇය සෙසු මෝරුන්ගෙන් මිදී ගැඹුරු මූදු පතුළට සෙමින් සෙමින් ඇදෙයි. මීටර් 600 ක් පමණ පහළට යයි. ඇය පැටවුන් බිහි කරන්නේ ගැඹුරු මූදු පතුළේය. මූදු පතුළ පැටවුන්ට ආරක්ෂාව ලැබෙයි. ආහාර ද ඇති තරම්ය. පැටවුන් යළි විවෘත සාගරයට පැමිණෙන්නේ තවත් හොඳින් වැඩුණු පසුවය.

 

 

 

ප්ලාස්ටික් තර්ජන


පරක් තෙරක් නොපෙනන නිල්වන් විවෘත සාගරයේ දිවි රැක ගනිමින් ජීවත් වීම, සාගර ජීවීන්ට සැමවිටම අභියෝගයකි. කෙසේ නමුත් අද වනවිට ඔවුන්ට එම අභියෝගවලට අමතරව නව තර්ජනයකට මුහුණ දීමට ද සිදුවී ඇත. මීට අවුරුදු සියයකට පමණ පෙර, මිනිසා හරි අපූරු අමුද්‍රව්‍යයක් සොයා ගත්තේය. කැමැති ඕනෑම හැඩයක් ගැන්විය හැකි. එය ඕනෑම දෙයකට ඔරොත්තු දෙයි. පහුවෙන් දිරාපත් වන්නේ නැත. විනාශ වන්නේ නැත. සාගරයේ පදිංචිකරුවන්ට ද තර්ජනයක් වී ඇත්තේ එයයි. එය ප්ලාස්ටික්ය. සෑම වසරකම මිනිසා මිලියන අටකට ආසන්න ප්ලාස්ටික් තොගයක් සාගරයට බැහැර කරයි. දියවැල් හරහා සාගරයට එක්වන ප්ලාස්ටික් බෑග්, කෝප්ප, බෝතල් ආදිය සාගර ජීවීන්ට මර උගුල් බවට පත් වෙයි. කෙටි වරල් සහිත ‘පයිලට් වේල්’ තල්මසුන් පුංචි පවුලකි. සිංහලෙන් මොවුන් හැඳින්වෙන්නේ නියමු තල්මසුන් යනුවෙනි. බොහොම සමීපව, එක පවුලක් ලෙස සමඟියෙන්, ලෙන්ගතුව ජීවත් වන සාගර ජීවයකු ලෙස ක්ෂීරපායී නියමු තල්මසුන් හැඳුන්වා දිය හැකිය. අනෙක් සාගර කලාපවල මෙන්, යුරෝපයට ඔබ්බෙන් අත්ලාන්තික් සාගරයේ ද ඔවුන්ට සාගරයේ ජීවත්වීමට සිදුවී ඇත්තේ විස ප්ලාස්ටික් සමඟය. නියමු තල්මස් අම්මා අලුත උපන් පැටවකු මුඛයෙන් දැඩැගෙන සිටී. පැටවා මියගොසිනි. මළ පැටවාගෙන් වෙන්වීම තල්මස් අම්මා ප්‍රතික්ෂේප කරයි. අම්මා පැටවා අතහරින්නේ නැත. දින ගණනාවක් තිස්සේ මළ පැටවා ඇය රැගෙන යමින් සිටී. නියමු තල්මසුන් ද අයත් වන්නේ සාගරයේ වෙසෙන, මෝරුන් හා සමාන ප්‍රමුඛ පෙළේ දඩයක්කාරයන් ලෙසිනි. ප්ලාස්ටික් පමණක් නොව, කර්මාන්තශාලාවලින් සාගරයට මුසු කෙරෙන රසායනික විස ද්‍රව්‍ය සාගර ජීවීන්ගේ සිරුරු පුරා විසිරී පැතිරී ගොස් අවසන්ය. පැටවා මිය යන්න ඇත්තේ අම්මාගේ කිරි ඌට විස වුණු නිසා විය හැකිය. නියමු තල්මසුන්ගේ මොළය ප්‍රමාණයෙන් විශාලය. එහෙයින්, ඔවුන්ට දුක සතුට යාදී හැඟීම් හොඳින් දැනෙයි. මේ නියමු තල්මසුන් රංචුවේ සෙසු පිරිමි සතුන්ගේ හැසිරීම දෙස බලද්දී එක් දෙයක් පැහැදිලිය. උන් හැමෝම සිටින්නේ දුකෙනි. පැටවාගේ මරණය මුළු තල්මසුන් පවුලටම කම්පනයක් වී ඇත. ප්ලාස්ටික් සහ කර්මාන්තශාලාවලින් මුදා හැරෙන රසායනික ද්‍රව්‍ය සාගරයට එක්කිරීම නතර නොකළොත්, සාගර දූෂණය අවම නොකළොත්, තව සියවසක් ගත වෙද්දී, සාගර ජීවීන්ගේ අභාවය අපේ ඇස්පනාපිටම සිදුවනු ඇත.

 

 

 

 


 
ලුසිත ජයමාන්න
​ෙඩ්විඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන
බී.බී.සී. බ්ලූ ප්ලැනට් 2 ඇසුරිණි.