දිය බිඳුවක් නිසා උපත ලද දඹුල්ල


ගමක නම හැදුණු හැටි   

 

ඡායාරූප අන්තර්ජාලයෙනි

 

 

මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල මැතිවරණ කොට්ඨාසයෙහි වගපනහ පල්ලේසිය පත්තුකෝරලේ දඹුල්ල පිහිටා ඇත. දඹුල්ල අතිශය ප්‍රසිද්ධ වී ඇත්තේ දඹුලු රජමහා විහාරය නිසාය. 

 
එය දේශීය විදේශීය සංචාරකයන්ගේ අපරිමිත ශ්‍රද්ධාවට හා මවිතයට තුඩුදුන් ලෝක ප්‍රසිද්ධ විහාරස්ථානයක් නිසා ප්‍රසිද්ධියට පත් පුරවරයකි. අක්කර දහසක් පමණ සිත්ගන්නා සුළු පරිසරයක අඩි 600 ක් පමණ උස්වූ දැවැන්ත කළුගල් පර්වතයක වූ ස්වභාවික ලෙනක පිහිටා ඇති ප්‍රතිමා ගෘහය ඓතිහාසික පුරා විද්‍යාත්මක හා සෞන්දර්යාත්මක යන අංශ තුනෙන්ම ඉතා වැදගත් සිද්ධස්ථානයකි.   


මහාචාර්ය සෙනරත්, පරණවිතාන මහතා, දඹුල්ල විශ්ව ගිරි ලෙස අතීතයේ හඳුන්වා ඇති බවත් විශ්වගිරි පසුව යමකොළ වී එය පසුව දඹුල්ල වූයේ ජබකොළ ජබෝල, දඹුල්ල යන ආකාරයට බව පවසයි.   


මැද උයන්ගොඩ විමලකිත්ති හිමි දඹතල (දඹගස් බහුල උත්තල භූමිය) දඹුල දඹුල්ල වශයෙන් සැදුණැයි පවසති.   
වංස කතාවල එන චාත පබ්බත විග්‍රහ කරන මහාචාර්ය පරණවිතාන එය දඹුල්ල යයි සඳහන් කරයි. ඒ සඳහා ආධාරවන සෙල්ලිපි පාඨයන් ද තමාට හමු වූ බව හෙතෙම පවසයි. එහි චතවනවෙත යැයි සඳහන්වේ. තවද ගමණි තිස නම් කෙනෙකු දඹුල්ල විහාරය පිදූ බව එහි ලෙනක ඇතැයි දක්වන පරණවිතාන ඒ ගමණිතිස සද්ධාතිස්ස රජු බව දක්වයි. ඒ අනුව චාත පබ්බත දඹුල්ල බව පරණවිතාන මහතාගේ අදහසයි.   


සීගිරියේ බෞද්ධ උරුමය රාජකීය පණ්ඩිත පූජ්‍ය දියකඩවේ සෝමා නන්ද හිමි   


දඹුලු විහාරය වර්තමානයේ වුව ප්‍රසිද්ධ වීමට එක හේතුවක් නම් විවිධ යුගවලට අයත් බුද්ධ ප්‍රතිමා හා චිත්‍ර විශාල ප්‍රමාණයකින් සමන්විත කලා නිකේතනයක් හා අද්විතීය පූජ්‍ය ස්ථානයක් වීමය. අනෙක් හේතුව නම් මෙහි ඇති විහාර මන්දිරයි. විහාර මන්දිර පහක් ඇත. ඒවා නම් දෙව්රජ විහාරය. මහරජ විහාරය, මහ අලුත් විහාරය, පශ්චිම විහාරය සහ දෙවන අලුත් විහාරයයි. මෙහි මුල් විහාර දෙක විශ්චිව විහාරය වළගම්බා මහරජතුමා විසින් කරවූ බවද මහ අලුත් විහාරය කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් කරවූ බවද දෙවන අලුත් විහාරය 18 වන සියවසේදී පමණ දුල්ලෑවේ අදිකාරම් නම්වූ ප්‍රභූවරයකු විසින් කරවූ බවද කියනු ලැබේ. එම නිසා මේ විහාර කර්මාන්තය එකම කාල සීමාවකට අයත් නොවන්නකි.   

 

ඡායාරූප අන්තර්ජාලයෙනි

 


මෙම විහාර මන්දිර පහෙන් මහරජ විහාරය නම් වූ විශාලම විහාර මන්දිරයේ දකුණු කෙළවරේ ගල් පැල්මකින් නිතර දිය බිදුවක් රූරා වැටෙයි. මෙය කවර වකවානුවක සිට සිදුවන්නේ දැයි කීමට සාධක නැත. මෙය දිය බිඳුවෙන් කටාරමකට එකතු වන ජලය ප්‍රයෝජනයට ගැනෙන්නේ පූජා කටයුතුවලට පමණි. තද නියං කාලයේදී පවා දිය බිඳුව රූරා වැටීම සිදුවේ. දඹුලු ලෙන දඹුලු විහාරය යන නම දීමට මේ දිය බිඳුව හේතුවක් වී ඇත.   


දඹ යන සිංහල වචනයෙන් දඹගස් නැමැති ගස් විශේෂය මෙන්ම විශාල පර්වත ද හැඳින්වූ බව පෙනේ. (මහගිරි දඹ, දඹදෙනිය) ශ්‍රීපාද ස්ථානය නගින්නකූට හමුවන මහගිරිදඹ විශාල පර්වත ප්‍රදේශයයි. ගිරියන වචනය එලෙසම තිබියදී දඹ යන වචනය ව්‍යවහාර කිරීම වාග් විද්‍යානුකූලය.   


උල් යන්නේ උල මෙන්ම ජලය ද ගම්‍ය වේ. උරල, උල්පත සඳහා භාවිත කළ පැරණි සිංහල වචනයකි. සිදත් සඟරාව ඒ බව පෙන්වා දෙයි. මේ අනුව දඹයෙන් වෑහෙන උරල (පර්වතයෙන් වෑහෙන උල්පත) නිසා මෙම විහාරස්ථානය දඹ උරල ලෙන හෝ විහාරය වී පසුව ව්‍යවහාරයේ දී දම්බ උල් දඹුල දඹුල්ල වශයෙන් ව්‍යවහාරයට පත්වූ බව පිළිගත හැකිය. මේ අනුව මෙම විහාරස්ථානයට ව්‍යවහාර වන වර්තමාන නව වන දඹුල්ල ප්‍රසිද්ධ දිය බිඳුව නිසා ඇති වූවකි.   


අද වන විට දඹුල්ල ජනාකීර්ණ නගරයකි. නොනිදන නගරය නමින් විරුධාවලිය ලද දඹුල්ල අාර්ථික මධ්‍යස්ථානය හේතුවෙන් වාණිජ නගරයක් බවට පත්ව ඇත.

 

   
ඩබ්.එම්. විජේරත්න   
මප/මා/ග සිල්වත්ගල මහා විද්‍යාලයේ   
හිටපු විදුහල්පති   
දඹවට වන අංක 01 ගලේවෙල