දිගම්පැලැස්සේ හේනක විජේවීර අත්තමට වැඩ කරයි


විජේවීර සැඟවී සිටි හම්​ෙබගමුවේ හේන සොයා ගිය ගමන-2

හම්බෙගමුව රෝහලේ සුද්දාගේ කාලයේ හැදූ බෙහෙත් ශාලාව  

හේනක්

දිය පිරුණු පොකුණක්  

 

 

“ඔක්තෝබර් වැස්සත් එක්ක හේන්වල ඇට හිටුවීම පටන් ගන්නවා. බිම කෙටීමක් වගේ දේවල් කෙරෙන්නේ නෑ. ඇට හිටවන්න වළවල් කපනවා හැරෙන්න ගෙවත්තක්, කුඹුරක් කරනකොට වගේ බිම් සැකසීමක් කරන්නේ නෑ. අනික තමයි ඇට හිටුවන්න වගේ දේවල් පටන් ගත්තාම අනුන් ගැන හොයා බැලිල්ලක් නෑ. උදේ පාන්දරම ඉර අව්ව වැටෙන කොටම වැඩ පටන් ගන්නවා. දවල් වෙනකොට අව්ව තදනම් ටික වෙලාවක් පැලට වෙලා ඉඳලා ආයෙ වැඩ පටන් ගන්නවා. ඒ හැරෙන්න මේ හේනේ වැඩකරන මිනිහා කවුද? එයාගේ පැටිකිරිය මොනවද කියලා හොයන්න වෙලාවල් නෑ. අනික උවමනාවෙන් එහෙම හොයන්නෙත් නෑ.”   


හම්බෙගමුවේ “පාල” මේ විස්තර කළේ හම්බෙගමුව මහ කැලේ හේන්වල ඇට සිටුවන කාලේ ඇති තත්ත්වයයි. අපි ඔහුට ‘පාල’ යැයි කිව්වද එය අන්වර්ථ නමකි. සැබෑ නම හෙළිකරනවාට ඔහු දැඩි සේ අකමැතිය.   
“මම මේ හේන්වල වැඩ කරනකොට ඒ කාලේ ජේවීපී එකට සම්බන්ධ වුණා. හැබැයි මම හීනෙකින්වත් හිතුවෙ නෑනේ මාත් එක්ක හේන් වැඩ කළ අය අතර පක්‍ෂයේ නායක රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක වගේ සහෝදරවරු හිටියා කියලා. එහෙම හිතුණේ නැත්තේ ඒ අයත් හේන් වැඩ කරන කොට අපිත් එක්ක හරි හරියට වැඩ කළා. විජේවීර සහෝදරයා මැරිලාත් ගොඩ කාලෙකට පස්සේ තමයි දන්නේ එයා අපේ හේන් යායේ හිටියා කියලා.” පාල රහසිගත දේශපාලන ජීවිතයක් ගත කළ රෝහණ විජේවීර ගැන සිය අත්දැකීම් හෙළි කළේය.   


පාල ජවිපේ ක්‍රියාකාරිකයෙකු ​වෙන්නේ 83 ජාතිවාදී කෝලාහලවලින් පසු ජවිපේ තහනමත් සමඟය. අද වනවිට ඔහු හැට පස් වැනි වියේ පසුවෙයි. ‘පාලගේ’ පරම්පරාවම යූඇන්පී කාරයෝය. නමුත් 83 කළු ජූලියෙන් පසු ‘පාලගේ’ පවුලේ අය නිහඬ දේශපාලනයකට යොමුවිය.   


“කළු ජූලිය ගැන අපිට තොරතුරු ලැබුණේ අඩුවෙන්. කොහොම නමුත් ආමි එකට කොටි ගහපු එක ගැන අපි දැනගත්තා. කොටින්ට විරෝධයක් අපේ පැත්තෙන් ආවා. එතකොට ජේවීපී එකයි, කොමියුනිස්ට් එකයි වාසු මහත්තයාගේ පාටි එකයි තහනම් කරලා තිබුණේ. අපි හේන්වල වැඩඉවර කරලා ගෙවල්වලට යන්නේ දවස් තුන හතරකට පස්සේ. ඒ ගියාම බීඩියක් සිගරට් එකක් බොන්න කඩමණ්ඩියට යෑම අනිවාර්යයි. අද වගේ කඩ ගොඩාක් තිබුණේ නෑ. තේ කඩ දෙක තුනක් තිබුණා. හැම කඩේකම දාම් ලෑල්ලක් වැරදුණේ නෑ.” පාල අතීත වටපිටාව විස්තර කරයි.   


“රෝහණ විජේවීර ඇතුළු ජවිපේ නායකයන් ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ලේ පිඹුරුපත් සකසන්න මේ හම්බෙගමුව මහ කැලේට යනවා එනවා කියලා මම කවදාවත් හිතුවේ නෑ. ගුණවික්‍රමරත්න අයියා සමහර වෙලාවට මට කියනවා ‘පාල මල්ලී අහවලාගේ හේනේ වැඩට එකෙක් ආවා. උඹ හේන්ට යනකොට ඌවත් එක්ක පලයං’ කියලා. මමත් එක්ක යනවා. ඒ එන එකාත් හේන් කොටලා හොඳට හුරු එකෙක් විදියට තමයි පේන්නේ. අපි ඉතිං වැඩි කතාවක් නෑ. යන්න ඕනෑ හේන තියන ඉසව්ව පෙන්නලා අපි අපේ හේනට යනවා. හේන්කාරයෙක් හේනට යනකොට අඩුම කුඩුම ටික ගෙනියන විදියටම තමයි මේ ජේවීපී නායකයෝ ආවේ ගියේ. ඒ හින්දා අපිට ඒ අයව කවදාවත් අඳුනාගන්න බැරි වුණා.” පාල කියයි.   


හම්බෙගමුවේ සිට දිගම්පැලැස්සත් පහුකර උඩවලව වනෝද්‍යානයේ මායිමේ වළව ගඟට සමීපවන්නට ජනතා විමුක්ති පෙරමුණේ රහසිගත කඳවුරක් පිළිබඳව ‘පාල’ කියයි. එහෙත් එය ජනතා විමුක්ති පෙරමුණේ කඳවුරක් බව දන්නේ විජේවීරගේ මරණින් පසුවය. එක ගහකින් නැග, ගස් දෙකක් අතරට ලී දමා, ඒදඬු මෙන් සකසා, ගස් දෙකතුනක් එම ඒදඬු ඔස්සේ තරණය කළ පසු ඉහළින් ඇති අට්ටාලයක ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළ බව ‘පාල’ කියයි.   


“ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ වෙලාවේ පළාතකින් පළාතකට යන්න සල්ලි ගෙවන්න වෙනවා. අපේ පළාතේ නිෂ්පාදන පිට පළාත්වලට විකුණන්න හම්බවෙන්නේ නෑ. පිට පළාත්වලින් අපේ පළාතට යම් දෙයක් ගෙනාවොත් බදු ගහනවා. ඌවේ ඉන්න අපි පළාත් කිහිපයක් පසුකරලා ගමනක් ගියොත් පහුකරන හැම පළාතකින්ම පළාත් මායිමේදී මුදල් ගෙවන්න වෙනවා. අපේ ළමයින්ට පිට පළාතක ලොකු ඉස්කෝලවලට යන්න හම්බ වෙන්නේ නෑ. අපිට සුද්දා හදපු හම්බෙගමුව ඩිස්පැන්සරියම තමයි ඉස්සරහටත්” වගේ කතා හම්බෙගමුවේ වැසියන් තුළත් ප්‍රචාරය වෙන්න පටන් ගත්තා.   


ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ නායකත්වය අගේ කරපු යූඇන්පී කාරයෝ මේ කියමන්වලට විරුද්ධ වුණා. ප්‍රේමදාස මහත්තයත් ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධයි කියන කතාත් පැතුරුණා. ඒ එක්කම ජේවීපී එක ගිවිසුමට පක්‍ෂ අයට එරෙහිව ලොකු විරෝධතාවක් එක්ක භීෂණයත් පැතිර ගියා. අපේ පවුලේ ලොකු අයියා තද යූඇන්පීකාරයා. මැරුවත් කොළ පාට කියන ස්ථාවරයේ හිටියේ. ජේවීපී එකෙන් මිනිහා මරන්න හෙව්වා. අපේ පවුලේ අයට මේ බලපෑම හින්දා මම ජේවීපී වුණා. හැබැයි මම දැනගෙන හිටියේ නෑ ඒ වෙනකොටත් මේ ජේවීපී නායකයන් හම්බෙගමුව මහ කැලේ කඳවුරු බැඳලා කියලා.” පාල අතීතය සිහිපත් කළේ ය.   


හම්බෙගමුවේ කඳවුරු බැඳගත් ජවිපේ නායකයන් සිටි හේන් සොයා ගිය ගමනේ දී හමුවූ ජවි​ෙප ක්‍රියාකාරීන් බොහෝ දෙනෙක් අාණ්ඩුවේ හමුදාවන්ට කොටු වී පුනරුත්ථාපන කඳවුරුවල දිවි ගෙවා නිදහස්ව පැමිණ වෙනස් ජීවිත ඇරඹූ අය වෙති. නමුත් හිතින් යටපත් කළ නොහැකි ඒ අතීතයේ අත්දැකීම් පෙළගස්වන්නට ඔවුන්ට උවමනාය. නමුත් එළිපිට එය කළ නොහැකි නිසා අන්වර්ථ නාමයන්ගෙන් තමන් හඳුන්වා දෙන්නැයි ඉල්ලා සිටියහ.   


මේ කියන වකවානුවේ රෝහණ විජේවීර පමණක් නොව ආනන්ද නෙත්තිකුමාර, ඊෂ්වරගේ ආරියසේන, සේපාල ලියනගේ, උපතිස්ස ගමනායක, පියසේන රාමනායක, ධනපාල නොහොත් මුවා ආදී ජවි​ෙප මුල්පෙළේ නායකයින් රහසිගත ජීවිත ගෙවා ඇත්තේ දිගම්පැලැස්ස, රතඹලාගම ආදී වූ හම්බෙගමුවට ආසන්න ප්‍රදේශවලය.   


ඒ අය එසේ රහසිගත ජීවිත ගෙවමින් ප්‍රධාන තීන්දු ගනිද්දී ග්‍රාමීයව ජවි​ෙප සාමාජිකයන් බඳවාගැනීම සහ ඔවුන් පුහුණු කිරීමේ කටයුතු ද හම්බෙගමුව ආශ්‍රිතව සිදුවිය. එවැනි පුහුණු කඳවුරු කිහිපයක් අලුත්වැව සහ බලහරුව ප්‍රදේශයේ තිබූ බවට විශ්වාසයක් පවතී.   


ඊට අමතරව පන්ති පහ පැවැත්වීම ද සිදු කෙරී ඇත්තේ මේ මහ කැලේ තැනකය. ආණ්ඩුවේ ආරක්‍ෂක අංශවල අවධානයෙන් ඈත්වී සංවිධනගත වීමට එකල වඩාත්ම සුදුසු ප්‍රදේශයක් බවට හම්බෙගමුව අවට මහ කැලෑව පත්ව තිබුණි. 

 
‘දවසක් හේනේ මම වැඩ. එහා කෑල්ලේ සරම ටිකක් කොටට ඇඳලා අත්දිගට කමිසය ඇඳගෙන ඔළුවට පරණ සරමක් හරි මොනවාහරි රෙදි කෑල්ලක් දාගෙන ඊට උඩින් තොප්පිය දාගෙන මූණ විතරක් පොඩ්ඩක් පේන කෙනෙක් වැඩ කළා. මමත් හිටියේ ඒ විදියට. මොකද අව්ව තද නිසා. ඒ මනුස්සයා සැකයක් නොහිතන විදියට කව්පි හරි බඩඉරිඟු හරි ඉන්දෙව්වා. ඒ විජේවීර සහෝදරයා කියලා දන්නේ එයා මළාට පස්සෙනේ.” මීට පෙර හමුවූ “දාස” විජේවීර ගැන මතකය සිහිපත් කළේ ය.   


“දාස” කියන පරිදි ඔහු විජේවීර වැඩකළ හේනේ අත්තමට වැඩකර ඇත. විජේවීර ද එසේ අත්තමට හේන් වැඩකර ඇත. අද මෙන් කුලියට හේන් කෙටීමක් ඒ කාලයේ නොතිබුණි. අත්තම් ක්‍රමය යනු එකිනෙකා උදව්වෙමින් වැඩ කිරීමයි.   


‘මේ කාලේ වෙනකොට මම ජේවීපී එකේ පන්තිවලට යන වකවානුව. පළමු වෙනි පන්තියේදී සාකච්ඡා කළේ ආර්ථික අර්බුදය ගැන. මේ පන්තියට හයදෙනෙක් හිටියා. තණමල්විල කොට්ඨාසය භාරව සිටිය තෙලුල්ලේ දිසා සහෝදරයා තමයි ඒක කළේ. නමුත් ජාතික ගැටලුව, වමේ පක්‍ෂ පාවාදීම, සමාජවාදයට මඟ, පක්‍ෂ ඉතිහාසය වැනි අනික් කරුණු අපට පැහැදිලි කළේ කවුද කියන්න දන්නේ නෑ. මොකද ඒ වෙනකොට ජේවීපී මර්දනය තදින්ම ව්‍යාප්තව තිබුණ කාලේ.” දාස පැහැදිලි කළේය.   


‘ඇත්තටම මට වෙලාවකට සැකයක් හිතුනා මා එක්ක මේ වැඩ කරන්නේ ආණ්ඩුවේ ඔත්තුකාරයෙක් ද කියලා. ඇයි මම ජේවීපී එකේ පන්ති පහ කරලා ඉන්න කෙනානේ. මට ඊළඟට නේවාසික දේශපාලන කඳවුරකට යන්න නියමිතව තිබුණේ. ඒ හින්දා වෙස් වළාගෙන ඉන්නේ ඔත්තුකාරයෙක් කියලා මට හිතුන වාර අනන්තයි. බොහොම අවධානයෙන් සහ කට පරිස්සමින් තමයි පිටස්තර කෙනෙක් එක්ක කතා කළේ. මාත් එක්ක අත්තමට වැඩ කරන මනුස්සා මම හදාරන පක්‍ෂයේ නායකයා කියලා කවරදාකවත් හිතුණේ නෑ’ දාස පැහැදිලි කළේය.   


දාස ජේවීපීයට බැදී ඇත්තේ “කොකු ගැහිල්ලක” ඵලයක් හැටියටය. දාසගේ වැඩිමහල් සහෝදරයා හිරේ සිට නිදහස්ව පැමිණි පසු ජවිපෙට සම්බන්ධ වී ඇත. එහෙත් ජවිපෙට සම්බන්ධ ​ෙවන්නැයි කිසිම විටක ඔහු දාසට කියා නැත. අයියාගේ යාළුවෙක් පෝස්ටර් ඇලවීම් ආදියට දාස පොළඹවාගෙන පසුව ජවිපෙට එකතු කරගෙන තිබේ. දාස කියන්නේ මේ ක්‍රමයට ඇතුළේ කියන්නේ “කොකු ගහනවා” කියාය.   


“කොකු ගැහිල්ල” යටතේ ජවිපෙට එකතුවුණ දාස පන්ති පහට ද එක් වූ පසු ඔහු ගැන ජවිපේ ක්‍රියාකාරීත්වය ඇස ගසාගෙන සිට ඇති බව ඔහු කියයි. ඒ අනුව ඔහු බලහරුවේ අබකොළආරේ පැවති කඳවුරකට රැගෙන යනු ලබයි. ගමන රාත්‍රියේය. පැය කිහිපයක් තිස්සේ හත් අට දෙනෙක් මේ ගමනට එක්ව සිටියහ. දැඩි අඳුර නිසා එකිනෙකා අඳුනන්නේ නැත. වැඩි කතාබහත් නැත. පාරවල් කිහිපයකින් එගොඩ වී පැය ගණනාවකට පසු ඉටිරෙදිවලින් වටකළ රහසිගත කඳවුරකට පැමිණියේ ය. ඒ ​ෙවනවිට සහෝදරියෝ කිහිප දෙනෙක් ද එහි වූහ. උදේ පහට අවදි වී යන්තම් මුහුණ තෙමාගෙන රාත්‍රී දහය වෙනතෙක් දැනුම්වත්වීමේ පන්තිය. පන්තියේ දේශකයා කවුදැයි නොදනී. කිසිවෙකුත් නමින් හඳුන්වන්නේ නැත.   


පැය ගණනක් තිස්සේ රාත්‍රියේ ආරවල් කිහිපයකින් එගොඩ වෙමින් තමන් පැමිණියත් ගමන ඇරඹූ තැන සිට කඳවුරට ඇත්තේ කිලෝමීටර් දෙකක් බව ‘දාස’ දැනගෙන තිබුණේ ඊට බොහෝ කාලයකට පසුවය.   


“මේ කඳවුරු ජීවිතේ දී වතුර සීමා කළා. වැසිකිළි ගියාම හෝදන්නේ නෑ. නෑවේ අන්තිම දවසේ. දේශනවලට වාඩි වුණාට පස්සේ එක එක දේශකයෝ එනවා. ඒ අය කවුද කියලා කියන්න දන්නේ නෑ. දේශනවලින් පස්සේ ඉන්න අයත් එක්ක කුටු කුටු ගාන්න බෑ. කාත් එක්කවත් ළෙන්ගතුකම් නෑ. මට දැන් හිතෙනවා මම වැඩකරපු හේනේ හිටිය ලොකු සහෝදරවරු වරින්වර මේ කඳවුරට ඇවිත් දේශන දෙන්න ඇති කියලා. දවස් හතක් මේ කඳවුරේ මම හිටියා.” දාස පැහැදිලි කළේ ය.   


“අට වැනි දවසේ මම හේනට ගියේ ටිකක් කුතුහලයෙන්. මෙච්චර දවස් කොහේ ගියාද කියලා ඇහුවොත් කියන්න දෙයක් එපායැ. මං හිතාගෙන හිටියේ ලෙඩ වෙලා හම්බෙගමුවෙ ඉස්පිරිතාලෙන් බෙහෙත් ගත්තා කියලා කියන්න. ඒ වුණාට ඇත්තටම හේන්කාරයෙක් ලෙඩ වෙනවා අඩුයි. හේනේ අය මං ගැන සැක හිතාවි ද කියලා මට ලොකු බයකුත් තිබුණා.” දාස කියන හැටියට එය ඔහු විසින් ඇතිකරගත් අනියත බියක් පමණක් විය.   
රෝහණ විජේවීර ඇතුළු මේ ජවි​ෙප නායකයන්ට දාස දින කිහිපයක් නොපැමිණීම ගැන විමසන්නට උවමනාවක් නොවීය. ඒ නිසා දාස ද සැහැල්ලුවෙන් යළි හේනේ වැඩට දහවල් කාලයේ එක්වෙයි.   


දාස කියන ආකාරයට රෝහණ විජේවීර ජීවත්ව ඇත්තේ දිගම්පැලැස්සේ හේනේ ඇත්දෙමට ගහක් අසල තැනූ වාඩියකය. ඒ වාඩියට කිහිප දෙනෙක් හේන්වල වැඩ අවසන්වීමෙන් පසු එකතු වෙයි. පිටස්තරයන්ගෙන් ඒ පැලට යනවානම් යන්නේ ගුණවික්‍රමරත්න පමණක් බව දාසගේ විශ්වාසයයි. ගුණවික්‍රමරත්න ගමේ කෙනෙක් නිසා ඔහු ජේවීපී සාමාජිකයකු බව දාස දනී. ගුණවික්‍රමරත්න වෙනත් නමකින් හැඳින් වූ බව දාසගේ මතකයයි. සමහරවිට එය “අබේරත්න” විය හැකි යැයි දාස අනුමාන කරයි. දැන් ගුණවික්‍රමරත්න ජීවතුන් අතර නැත.   


ගුණවික්‍රමරත්න විවේක ලත් හැම වෙලාවකදීම කාලය ගතකරන්නේ හම්බෙගමුව කඩමණ්ඩියේය. කඩමණ්ඩියට අමුත්තෙක් ආවොත් ඔහු දනී. කඩමංඩියට එන අය රටේතොටේ කතාවෙන දේවල් ගුණවික්‍රමරත්න හොඳින් දනී. ඒ නිසා නිවැරදි තොරතුරු දැනගැනීමට ගුණවික්‍රමරත්න සුදුස්සෙක් විය. නාඳුනන පුද්ගලයෙක් දෙන්නෙක් ගමට ආවොත් ගුණවික්‍රමරත්න ඒ බව හොඳින් දනී. ජවිපෙ නායකයින් හේන්වලට යන්න එන්නේ නම් ඒ බව කලින්ම ගුණවික්‍රමරත්නට දන්වයි. නමුත් ඒ එන්නේ ජවිපේ ඉහළ කෙනෙක් බව ගුණවික්‍රමරත්නවත් නොදනී. හේන්වල වැඩට එන්නෙකු මිස ජවිපෙ ප්‍රබලයෙක් බව කිසිවිටක ගුණවික්‍රමරත්නටවත් දැනගැනීමට නොලැබෙයි. ඒ නිසා මේ අනන්‍යතාව රැකීම නිසා ජවිපේ දෙවන සන්නද්ධ අරගල සමයේ හමුබෙගමුවේ ගතකළ කැලෑ ජීවිත නිසා ආරක්‍ෂක අංශවලට ඔවුන් හසු නොවිණ.   


“දවසක් මට පක්‍ෂයේ නියෝගයක් ලැබුණා, බුත්තලට යන්න. එතකොට තත්ත්වය ටිකක් දරුණු අතට හැරිලා තිබුණේ. කැලෑ පාරකින් මම ගියේ. අලි ඉන්න මහකැලේ. අද නම් පුදුම හිතෙනවා. පයින්ම බුත්තලට ගියානේ. කැලේදී පාර පෙන්නන්න කෙනෙක් ඉන්නවා. එයා කවුද කියලා දන්නේ නෑ. කිහිප දෙනෙක් ඉන්න කොට හරි කෙනා හඳුනාගන්න ක්‍රමයක් තියනවා. ඒ ක්‍රමයට තමයි අපි එයාව හඳුනාගන්නේ. නැත්තම් අපි අල්ලන්න ආණ්ඩුවේ ඔත්තුකාරයොත් එනවා. ඒ ගමන ගිහිං මට ලැබුණ නියෝගය ක්‍රියාත්මක කරලා ආපහු ආවේ දවස් පහ හයකට පස්සේ.” දාස ක්‍රියාත්මක කළ වැඩය නොකීව ද සිද්ධිය කීවේ ය. 

 
දවසක් ගුණවික්‍රමරත්න මහත්තයා කිව්ව කෙනෙක් එක්කං මමත් දිගන්පැලැස්සේ හේන්වලට යනවා. මාත් එක්ක ගිය කෙනා රටේ වෙන දේවල් කතාකර කර ගියේ. මිනිහා වෙනත් අය වගේ නෙවෙයි. ටිකක් විස්තර කතා කරනවා. මිනිහාගේ කරේ රෙදිවලින් ඔතපු මොනවදෝ තිබුණා.   


යනගමන් මිනිසා මෙහෙ තියන හරක් පට්ටි ගැනත් ඇහුවා. ලුණුගම්වෙහෙර මදුරු ගම්බාරෙගෙ හරක් පට්ටිය ගැන ඇහුවා. එහෙම කෙනෙක් මම අහලා තිබුණා. එයා දැකලා තියනවාද කියලත් ඇහුවා. “උඩුරැවුල කරකවලා ඉන්න මිනිහා හොඳට ඇඟපත තියන බවත් තැපැල් නයින්ටියක නිතර යන එන බවත්” කිව්වා.   


එයා කතාකර කර යන ගමන් මගෙන් හේන් ගැන විස්තර අහද්දී මට ලොකු සැකයක් ඇතිවුණා. මට හිතුණ මෙයා ඔත්තුකාරයෙක් කියලා. ඊට පස්සේ මම කළේ වෙන පාරක ගිහිං මිනිහට වෙන හේන් ඉසව්වක් පෙන්නන එක. ඒ පෙන්නලා මම ආයේ හේනට ගියේ නෑ ආපහු ආවා. එදා රෑ ආමි එකෙන් ඇවිල්ලා තිබුණා කියලා පස්සේ ආරංචි වුණා.” දාස කීවේය.   


නමුත් දාස පවසන පරිදි ඔහු සැක සිතුණු ආගන්තුකයා යන්නට ඕනෑ කරන ඉසව්වට එක්ක නොගියේ ඒවායේ ජවිපේ නායකයන් සැඟව සිටින බව දැනගෙන නොව තමන් ජවිපෙ ක්‍රියාකාරිකයෙක් නිසා තමන් යනඑන හේන දැන ගනීවිය යන බියෙනි.   


මේ අතර හම්බෙගමුවේ ද ජවි​ෙප ක්‍රියාකාරීන් එකට එක්ව දැනුවත් කිරීමේ පන්ති හෝ කඳවුරුවලට සම්බන්ධ නොකිරීමට ජවි​ෙප කොට්ඨාස සහ දිස්ත්‍රික් නායකයන් පියවර ගත්හ. ඒ ආරක්‍ෂක හේතූන් මතය.   

 


ඉතිරිය ලබන සතියේ   

(ගමනායකට ගැමියෙකුගෙන් කනේ පාරක්....) 

අජිත්ලාල් ශාන්ත උදය සහ හම්බෙගමුව - මහින්ද අබේරත්න