දෑහිතකාමීන් බිහිකළ බළපිටියේ තොරතුරු වැරදියි


ප්‍රතිචාර

 

 

2017/12/24 දින ඉරිද‌ා ලංකාදීප පුවත්පතෙහි මහින්ද ආරියවංශ මහතා විසින් ලියන ලද දෑහිතකාමීන් බිහිකළ බලපිටිය නම් ලිපියෙහි වූ සාවද්‍ය කරුණු නිවැරදි කරනු පිණිස මෙය ලියා එවමි.  


බලපිටිය ප්‍රදේශය ගැන ලියන ලේඛකයන් මෙම ප්‍රදේශය හා සම්බන්ධ ඉතිහාසගත කරුණු බොහෝ අවස්ථාවන්හිදී වෙනස් කරමින් ලියනු දැකිය හැකිය. එසේ කරනුයේ තම පුද්ගලික අභිමතාර්ථයන් උදෙසා බව එම ලිපි විචාරාත්මකව කියැවීමෙන් හා නිවැරදි ඉතිහාසගත කරුණු සොයා බැලීමෙන් වැටහේ.  


මෙම ප්‍රදේශයට සම්බන්ධ ඉතිහාස කරුණු වෙනස් කරමින් වෙනස් මතයක් ප්‍රචලිත කිරීම, සමාජගත කිරීම ඔවුන්ගේ අරමුණයි. අවශ්‍යතාවයි. තම ප්‍රදේශය, මුතුන්මිත්තන් ගැන ආඩම්බරවීමට කෙනකුට ඇති අයිතිය අවිවාද‌ාත්මක වන නමුත් පෞද්ගලික අරමුණු උදෙසා ඉතිහාසය වෙනස් කිරීමට, විකෘති කිරීමට කිසිවකුටත් අයිතියක් නොමැති බවත් තහවුරුවී ඇති ඉතිහාස කරුණු නිසි පර්යේෂණ, මූලාශ දැක්වීම ආදියෙන් තොරව වෙනස් කිරීම නොකළ යුතු බවත් ප්‍රකාශ කරනු කැමැත්තෙමි.  


එම ලිපියේ වාලුකා තීර්ථයේ දෙතිස්ඵල බෝධීන් වහන්සේ නමක් රෝපණය කළ බවට සඳහන් මුත් එවැන්නක් ඉතිහාසයේ සඳහන්ව නැත. ඒ අනුව දේවානම්පියතිස්ස රජ සමයේදී මෙම ප්‍රදේශය බෞද්ධ ජනපදයක් වූ බවට හෝ ඉසුරුමුණි නම් බමුණා සමඟ පැමිණි ජනතාව පදිංචි වූ බවට හෝ පිළිගත නොහැකි කරුණකි. මන්ද ඒ පිළිබඳ කිසිදු ඓතිහාසික සාක්ෂියක් මෙහි නොමැති බැවිනි. පෙර වැලිතොට නමින් හැඳින්වූ මෙම බලපිටිය ප්‍රදේශය සිංහල රජ දවස සුවිශේෂී ප්‍රදේශයක් ද නොවීය. එයට පළමු ඓතිහාසික සම්බන්ධය ඇතිවෙන්නේ දඹදෙණි යුගයේ දීය. සොළී ආක්‍රමනිකයෙකුවූ කාලිංග මාඝ පරදවා රට එක්සේසත් කළ 2 වැනි පරාක්‍රමබාහු රජතුමා විසින් දිවයිනේ දකුණු ප්‍රදේශය පාලනය පිණිස එතුමාගේ අගමැතිවරයා වූ ප්‍රතිරාජදේව ඇමතිතුමන් එවන ලදී. ඊට හේතු වූයේ පැරදුණු කාලිංග මාඝට උදව් පිණිස කේරළයේ සිට පැමිණ දකුණු මුහුදු තීරයට ගොඩබට දෙමළ හමුද‌ාවක් පරාජය කිරීම සඳහා සේනා මෙහෙයවීමේ අවශ්‍යතාවයයි.  
ඉහත දැක්වූ අයුරින් ඉතිහාසය වෙනස් කිරීමේ උත්සාහයේ එක් අවස්ථාවක් ප්‍රතිරාජදේව ඇමතිතුමාගේ නාමය සම්බන්ධයෙනි. පෙර සිටම කරන ලද වෙනස් කිරීම හේතුවෙන් ප්‍රතිරාජදේව ඇමතිතුමාගේ නම මෙම ප්‍රදේශයේ භාවිතාවන්නේ දේවපතිරාජ ඇමතිවරයා ලෙසය. නමුත් එතුමා ගැන සඳහන් පූජාවලියේ එතුමාගේ නාමය දැක්වෙන්නේ දුනුකේවතුවංශයේ උපන් ප්‍රතිරාජදේව ඇමතිවරයා ලෙසය. (පූජාවලිය 7 පිටුව) රත්නපුර පලාබද්දල එතුමාගේ නමින් ඇති පිරිවෙනෙහි නමද ප්‍රතිරාජදේව පිරිවෙන මිස දේවපතිරාජ පිරිවෙන නොවේ. එතුමා සේනා සංවිධානය කළ පෙදෙස බලපිටිය වූ බව නිවැරදිය. එම යුද්ධයට දඹදෙණියේ සිට රැගෙන ආ භට පිරිසේ ස්වදේශික භටයන්ට අමතරව අගම්පඩි සේනාවන්ගේ භටයන්ද විය. එම අගම්පඩි සේනාවන්ගෙන් කොටසක් කොස්ගොඩ පරතෙරකයේ නතර කළ බව ඉතිහාසයේ දැක්වේ (පූජාවලිය). මෙම අගම්පඩි හමුද‌ාවන් අංගම්පොඩිවරුන් ලෙස අර්ථ දක්වමින් ඉතිහාසය විකෘති කිරීමේ උත්සාහයක් වර්තමානයේ දක්නට ලැබේ. (කිසිදු ඉතිහාස මූලාශ්‍රයක මෙවැන්නක් සඳහන් නොවේ.) මීට ප්‍රථම ලංකාදීපයේ පළවූ රාවණ රජු යළි නැගිටියි ලිපි ලියූ ලේඛකයා මෙම උත්සාහය තවදුරටත් දිගුකරමින් ඔවුන් රාවණ රජතුමාගේ කාලයටම සම්බන්ධ කිරීමට උත්සාහ දරන ලදී. මේවා පුද්ගලික අරමුණු උදෙසා කරනු ලබන ඉතිහාස විකෘතීන්ය. සත්‍ය වන්නේ අගම්පඩි හා වේලක්කාර හමුදා යනු සිංහල රජවරුන්ට සේවය කළ ඉන්දියාවෙන් පැමිණි දෙමළ කුලී හේවා කණ්ඩායම් බවය.  


පොලොන්නරු යුගයේදී විජයබාහු රජතුමාට ඔටුණු පළදවන්නට පැමිණි බ්‍රාහ්මණයන් වැඩි පිරිසක් බලපිටියේ පදිංචි වූ බව එම ලිපියේ දක්වා තිබේ. මෙම කරුණ ද ඉතිහාසය විකෘති කිරීමකි. පොලොන්නරු යුගය වන විට මෙම ප්‍රදේශ නොදියුණු ප්‍රදේශ බව එම යුගයට අද‌ාළ කිසිදු ඓතිහාසික සාක්ෂියක් මෙහි දක්නට නොලැබීමෙන්ම පැහැදිළි වේ. තවද වසර 44ක සොලී පාලනය බිඳහෙලූ විජයබා රජතුමා තමන්ට ඔටුණු පළඳවන්නට ඉන්දියාවෙන් බ්‍රාහ්මණයන් ගෙන්වූ බවට ඉතිහාසයේ සඳහන්ව නැත. එතුමා උපදෙස් ගත්තේ භික්ෂූන් වහන්සේලාගෙනි.  


මෙම ඉතිහාසය විකෘති කිරීම මේ හා සමාන වෙනත් සිද්ධියක් යටපත් කරමින් සාවද්‍ය මතයක් ප්‍රචාරය කිරීම සඳහා දරන උත්සාහයකි. දඹදෙණි යුගයේ රජකළ 2 වැනි පරාක්‍රමබාහු රජතුමාගේ අභාවයෙන් පසු ටික කලක් රාජ්‍ය විචාලේ එතුමාගේ මුස්ලිම් බිසවකගේ පුත්‍රයෙකු වූ වත්හිමි විජයබා කුමරුන් විසිනි. මෙම කුමරා රජු ලෙස අභිෂේක කිරීමට භික්ෂූන්වහන්සේලා විරුද්ධ වීම නිසා එතුමාගේ අමාත්‍ය මණ්ඩලයේ සිටි මුස්ලිම් ඇමතිවරයකු විසින් බේරුවල මුස්ලිම්වරුන්ගේ උපකාරයෙන් දකුණු ඉන්දියාවේ සාලිග්‍රාමයෙන් පූජකවරු 7 දෙනකු ගෙන්වන ලදී. (විජයබා සහ බ්‍රාහ්මණ සම්බන්ධය එයයි) බේරුවලට ගොඩබට මොවුන් වත්හිමි විජයබා කුමරුන්ගේ අභිෂේකයට සහභාගි වනු පිණිස කුරුණෑගල දක්වා රැගෙන ගිය මුත් කුමන්ත්‍රණයක් හේතුවෙන් කුමරු ඇතුගලෙන් පහළට පෙරළීමෙන් මරණයට පත්විය. අභිෂේකයට පැමිණි පූජකවරු රාජ්‍ය අනුග්‍රහය අහිමිව ඒ වන විට ලංකාවේ පදිංචිව සිටි ඉන්දියානු මූලයන්ගෙන් පැවත එන ජන කොටස් හා එකතු විය. දශක කීපයක සිට මෙම කරුණු වසන් කිරීමේ උත්සාහයක් පවතී.


නමුත් මේ සියලු කරුණු වංශ කොඩියක පැහැදිළිව දක්වා තිබේ. බලපිටිය ප්‍රදේශයට සම්බන්ධ හිටපු ජනපති ප්‍රේමද‌ාස මැතිතුමා බේරුවල වරාය ආසන්නයේ ඉදිකළ උද‌ාගමක් වත්හිමිරාජපුර ලෙස නම් කළේ මෙම ඓතිහාසික කරුණ සමරනු සඳහා විය යුතුය.  


ඉතිහාසය තුළ වැලිතොට ප්‍රදේශයේ විවිධ ජනකොටස් පදිංචිව සිටි අතර ඔවුන් ස්වදේශිකයන් මෙන්ම විදේශීය මූලයන් සහිත ජනකොටස් ද වූහ. ප්‍රදේශයේ පාලනය තිබුණේ කෝට්ටේ රාජධානිය යටතේය. යුරෝපීය ආක්‍රමණ මෙහි සමාජයීය හා දේශපාලන පරිසරය උඩුයටිකුරු කළ අතර විදේශීය මූලයන් සහිත ජන කොටස් සිංහල රජුට විරුද්ධව කැරළි ගසා පරංගීන් හා එකතු වී පරංගීන්ගෙන් මෙන්ම ලන්දේසීන්ගෙන් ද තාන්න මාන්න නම් ගම් වරප්‍රසාද ලබාගත් බව ඉතිහාසයේ දැක්වේ. ඒ සඳහා ඔවුන් තමන්ගේ ආගමද වෙනස් කළහ. (එපමණක් නොව ඔවුන් පරංගීන්ගේ ලස්කිරිඤ්ඤ හමුදාව ලෙස උඩරට ආක්‍රමණයට පවා ගියේය.)  


ලැබූ වරප්‍රසාද හේතුවෙන් මෙම ජනකොටස් සාමාජයීය වශයෙන් ඉහළ ගිය අතර එසේ එකතු නොවූ ස්වදේශීය ජන කොටස් පරිහානියට පත්විය. ලැබුණු බලය මතින් ස්වදේශික ජන කොටස් යටපත් කරගෙන ඔවුන් පළවා හරින ලදී.  


එම ජනකොටස්වලට ඉහළ යාමට උපකාරවනුවස් ප්‍රධාන ආද‌ායම වූ මහබද්දේ හෙවත් කුරුඳුබද්දේ රාජකාරිද තනතුරුද පරංගීන් විසින් ඔවුන්ටම පවරා දෙන ලදී. මෙම අලුත් සමාජ පැලැන්තියක ආරම්භයද විය.  


ඉතිහාසය පෙළ ගැසුනේ එලෙසිනි. වර්තමානයේ යටපත් කිරීමට වෙර දරනුයේ එම ඉතිහාසයයි.  

 

 

 

 

 

 


ටී. එච්. ආනන්ද ගුණවර්ධන