දෑවැද්දට ලැබුණු අක්කර හතළිහ පූජාකර පන්සලක් හැදූ ජේ.ආර්.


මැති ඇමැති පා ගැටුණු බ්ම් පෙත්

මානෙල්වත්ත විහාර භූමියේ දර්ශනයක්.  

 

 

 

ජේ.ආර්. ජයවර්ධන මහතා එළීනා ජයවර්ධන මෙනෙවිය සමඟ විවාහපත් වන විට ඇයට අයත් වතු ගණනාවක් ඔහුට දෑවැද්ද ලෙසින් ලැබිණි. ඉන් එකක් වූයේ කැලණිය - බොල්ලෑගල මානෙල්වත්තයි. අක්කර 39ක් හා රූඩ් එකයි පර්චස් හයක් විශාලැති. මෙම ඉඩම ජේ.ආර්.ට වඩා වටිනා එකක් වූයේ කැලණිය සංවිධායකවරයා ලෙස ඔහු කටයුතු කරන කාලයේදීය. එහෙත් ජේ.ආර්. කිසිදු ආකාරයකින් මානෙල් වත්ත තමාගේ දේශපාලන වැඩකට යොදා නොගත්තේය. 

 
ජේ.ආර්. නිතර සිතුවේ කැලණි පුදබිමට ආසන්නව පිහිටි මෙම මනරම් භූමිය බෞද්ධාගම වෙනුවෙන් පිරිනැමිය යුතු බවය.   


එළීනා ජයවර්ධන මහත්මියගේ මාපියන් ඒ වන විට මියගොස් සිටි අතර එම මව්පියන්ටද පින් පතා එළීනා ජයවර්ධන මහත්මියගේ නමින් තිබූ මෙම ඉඩම  සඟසතුකොට පූජා කිරීමට ජේ.ආර්. සිතා ගත්තේය.  
නමුත් ජේ.ආර්.ට අවශ්‍යව තිබුණේ හුදෙක් මෙම ඉඩම බුදුසසුනට පූජා කිරීමට පමණක්ම නොවේ. මෙම ස්ථානය ථෙරවාදී බුදුදහම ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කරන දේශ දේශාන්තර භික්‍ෂූන්ට අධ්‍යාපනය ලැබීමට මෙන්ම ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරක මධ්‍යස්ථානයක් විය යුතුය යන්නයි. ජේ.ආර්.ගේ මෙම බෞද්ධ දැක්ම සහිතව ලියැවුණු මානෙල්වත්ත සඟසතු කර පූජා කරන ලද ‘‘මානෙල්වත්ත විහාර සන්නසේ’’ මෙසේ සඳහන්ය.  
‘‘ශ්‍රී ඝන සුගත තථාගත සම්බුදුරජාණන් වහන්සේටත් නව ලෝකෝන්තර ශ්‍රී සද්ධර්මයට හා සූපටිපන්නාදී ගුණ ගුණාංග සංගත ආෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයටත්, පුණ්‍යානි පූර්වකව පන්දහසක් අවුරුදු පවත්නා සම්බුද්ධ ශාසන​යාගේ චිරස්ථිතිය ප්‍රාර්ථනා කොට හුදු ශ්‍රද්ධාභක්තියෙන් යෙදී දසපාරමී ධර්මයන් අතුරෙන් දානපාරමිතා ද පරිපූර්ණාත්මකව ශ්‍රී ලංකාද්වීපයේ බස්නාහිර පළාතේ සල්පිටි කෝරළයේ කොළඹ දිස්ත්‍රික්කයට අයත්, කඩවත් සතර තුළ කොළඹ නගරයේ ග්‍රෙගරි පාරේ පදිංචිව සිටි කීර්තිශේෂ භාවෝපගත ගිල්බට් ලැනාර්ඩ් රූපසිංහ මැතිතුමාගේ භාර්යාව වූ නැන්සි මාග්‍රට් රූපසිංහ ළමාතැනී මෙහි පහත උපලේඛනයෙහි විස්තර කරන ඉඩම එහි ගහකොළ, පළතුරු ආදී සියල්ල සඟසතු කොට පුදන කැමැත්තෙන් විසූ බැවින් ඒ උදාරතර දානමය පුන්‍යකර්මය එතුමියගේ අභිලාෂය වූ පරිදි ඉටු කරන අදහසින් එකී ළමාතැනීගේ දියණියක වන කොළඹ වෝඩ් පෙදෙසෙහි පදිංචි එළීනා බණ්ඩාර ජයවර්ධන, බෑනණුවන් වන ජූනියස් රිචඩ් ජයවර්ධන හා මුනුපුරු රවීන්ද්‍ර විමල් ජයවර්ධන යන අප විසින් මීට මැදහත් වූ සියලු දෙනාට ස්වර්ග මෝක්ෂ සම්පත්ති ප්‍රතිලාභය පිණිස දෙනු ලබන පූජා පත්‍රයේ වගහැටි නම්;...’’  


මෙහි පහත දක්වන උපලේඛනයෙහි සඳහන් ඉඩම ඊට අයත් ගහකොළ පළතුරු හා ගොඩනැගිලිද සහිතව (මීට පසු ‘‘එකී ඉඩම’’ යනුවෙන් හඳුන්වන) ඉහත කී එළීනා බණ්ඩාර ජයවර්ධන, ජූනියස් රිචඩ් ජයවර්ධන හා රවීන්ද්‍ර විමල් ජයවර්ධන යන අපට නිසි පරිදි අයිතිව හිමි අත්පත්ව නිරවුල්ව භුක්ති විඳගෙන එන බැවින්ද, තවද උතුරු, දකුණු, නැගෙනහිර, බටහිර යන සිව්දිග ඇතුළු සෑම දෙසින්ම ආගත, අනාගත මහා සංඝයා වහන්සේට එකී එළීනා බණ්ඩාර, ජූනියස් රිචඩ් ජයවර්ධන හා රවින්ද්‍ර විමල් ජයවර්ධන යන අප එකී ඉඩම පහත සඳහන් පරමාධ්‍යාංශයන් එනම්,  


(අ) සියලුම නිකායික භික්‍ෂූන් වහන්සේට බුද්ධ ධර්මය හැදෑරීමට හා ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදීමට පහසුකම් සැළසෙන සේ ද‌ාගැබ්, මහබෝ, පිළිම යන ත්‍රිවිධ චෛත්‍ය​ෙයන් සමන්විත විහාරාරාමයක්, පිරිවෙනක් හා පුස්තකාලයක් ගොඩනැගීමටත්,   


(ආ) ශ්‍යාමෝපාලීවංශික මහා නිකායේ උභය විහාරික මහානායක මාහිමිවරුන්ටත්, වෙනත් නායක නාහිමිවරුන්ටත්, පසුව එකී මහානායක ධුරවලට පත්වන මහා නායක හිමිවරුන්ට කොළඹ දිස්ත්‍රික්කයේ ආවාස පහසු සැපයීමටත්,   


සෑම වර්ෂයකම දුරුතු මස පොහෝ දවසක දළදා මුළුතැන් මංගල්‍යයක් පවත්වා සංඝික දානයක් පිරිනමා පැන් වක් කිරීමෙන් ජනිත පුණ්‍ය සම්භාරය, මේ භූමිය පූජා කිරීමට කැමැත්තෙන් විසූ ඉහත කී නැන්සි මාග්‍රට් රූපසිංහ ළමාතැනීටත්, මේ භුමිය පූජා කළ ළමා තැනීගේ දියණියන් වන ඉහත කී එළීනා බණ්ඩාර ජයවර්ධන, බෑණනුවන් වන ජූනියස් රිචඩ් ජයවර්ධන, මුණුබුරු රවීන්ද්‍ර විමල් ජයවර්ධන යන අයටත් අනුමෝදන් කිරීම යන මේවා මුදුන්පත් කරනු කැමති බැවින්ද සියලු දෙනාම මෙයින් දැනගත යුතුයි.’’  


‘‘ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2505 වැන්නේ දුරුතු පුරපසළොස්වක පෝ දිනද, ක්‍රිස්තු වර්ෂ ප්‍රමාණයෙන් 1962 ජනවාරි 20 දින ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ මල්වතු - අස්ගිරි උභය පාර්ශවයේ මහානායක වහන්සේලාත්, තවත් බොහෝ ගෘහස්ථ ප්‍රවෘජිකයනුත් ඉදිරියේ උතුරු, දකුණු, නැගෙනහිර, බස්නාහිර යන සිවිදිශාව ඇතුළු සෑම දෙසින්ම සමස්ත ලෝකවාසී ආගත, අනාගත මහා නියමයන්ට යටත්ව මෙකී ඉඩම බුදුපාමොක් සඝසතුකොට මහනුවර මල්වතු මහා විහාරයට පුදනු ලැබේ.’’ යනුවෙන් එම සන්නසෙහි සඳහන්ය.  


මෙම ඉඩමේ භාරකරු ලෙස මහාභාරකරු ලෙස විය යුතු බවත්, ඉඩමේ භාරකාරත්වය සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ දැනට සිටින මහානායක ස්වාමින්ද්‍රයන්වහන්සේ හා ඒ පදවියට උන්වහන්සේගෙන් පසුව පත්වන්නෝ හෝ පත් කරන නියෝජිතයෝද විහාරාධිපති වන ගෞරවාර්හ අසරණ සරණ සරණංකර විපස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා එම පදවියට උන්වහන්සේගෙන් පසුව පත්වන්නෝද, දළදා මාලිගාවේ දියවඩන නිලමේ සහ එම පදවියට එතුමාගෙන් පසුව පත්වන්නෝද, නම් කර තිබේ.  

 


විහාරාධිපති ධුරයට පත්වන්නෝ ලෙස පළමුව මහනුවර මල්වතු මහා විහාරයේ සියම් මහා නිකාය පිහිටුවා වදාළ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවෙන් පැවැත එන ගෞරවාර්හ වැලිවිට අසරණ සරණ සරණංකර විපස්සි නායක ස්වාමීන් වහන්සේය. දෙවනුව එකී ගෞරවාර්හ වැලිවිට සරණංකර විපස්සි ස්වාමීන් වහන්සේ විසින් නොතාරිස් කෙනෙකු සහතික කළ ලියවිල්ලකින් එකී වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේගේද ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට අයත් හැටියට පත්කරන ලද භික්‍ෂූන් වහන්සේ නමකි.  


යම් හෙයකින් මෙබඳු නාමයෝජනා කිරීමක් යථාකාලයේදී කළ නොහැකි වූ විට හෝ එකී ගෞරවාර්හ වැලිවිට සරණංකර විපස්සි ස්වාමින් වහන්සේ යථාකාලයේදී එබඳු පත් කිරීමක් නොකොට කථාශේෂ භාවෝපගතවූ විට එවකට සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මල්වතු නාහිමියන් වහන්සේ නොතාරිස් කෙනෙකු සහතික කළ ලියවිල්ලකින් වැලිවිට සරණංකර සංඝරාජ මා හිමියන් වහන්සේගේද ගෞරවාර්හ වැලිවිට විපස්සි ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවට අයත් හැටියට පත් කරන භික්‍ෂූන් වහන්සේ නමකි.   


යම් හෙයකින්, එකී වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේගේද ගෞරවාර්හ වැලිවිට විපස්සි ස්වාමින් වහන්සේගේද ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාව අභාවයට ගොස් තිබුණොත් ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ මහා නායක මාහිමියන් වහන්සේ ප්‍රමුඛ මල්වතු පාර්ශවයේ කාරක මහා සංඝ සභාවට සුදුසුයැයි පත්කරන ශිෂ්‍යකාමී ධර්මධර භික්‍ෂූන් වහන්සේ නමකට විහාරාධිපති තනතුර අයත් විය යුතු බවද ‘‘මානලේ වත්ත සන්නසේ’’ වැඩිදුරටත් සඳහන්ය.  


එසේම මෙම භූමියෙන් ලබන ආදායම්, වියදම් කරනු ලබන්නේ සියලුම නිකායික බුද්ධ ධර්මය හැදෑරීමට හා ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදීමට පහසුකම් සැළසෙන සේ දාගැබ්, මහ බෝපිළිම යන ත්‍රිවිධ චෛත්‍යයන්ගෙන් සමන්විත විහාරාමයක්, පිරිවෙනක්, පුස්තකාලයක් ගොඩනැගීමට, මහා නායක ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය ආවාස පහසු සැපයීම, හා භූමිය පරිත්‍යාග කළ සැමට පින්පත් පතා පින්දහම් කිරීමට පමණක් බවද එම සන්නසෙහි සඳහන්ය.  


මෙම ඉඩම විකිණීම, බදුදීම, උකසට තැබීම, ඇප තැබීම් සඳහා නොතැබීම නොකළ යුතු වන අතර, යම් හෙයකින් රජයට පවරා ගැනීමක් කළහොත් ඉන් ලැබෙන වන්දි මුදලක් වේ නම් ඉහත සඳහන් කළ අරමුණු වෙනුවෙන් පමණක් එම මුදල් වැය කළ යුතුව ඇති බවටද එහි සඳහන් වේ.  


1963දී එවකට අටමස්ථානාධිපති හම්මිල්ලවැවේ රතනපාල හිමියන් විසින් උඳුපියළි කොළ සතරක් වන් කුඩා බෝ අංකූර දෙකක් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා හා එළීනා ජයවර්ධන මහත්මිය අතට දෙනලදී. පසුව එම බෝපැළය අසරණ සරණ සරණංකර වැලිවිට විපස්සි හිමියන් හා එවකට මානෙල්වත්ත විහාරාධිපති කණ්ඩක්කුලමේ ධම්මකිර්ති ස්වාමින් වහන්සේ විසින් කුඩා රිය පෙර හැරකින් කැලණිය රජමහා විහාරාස්ථානයට වැඩම කරවන ලදී.  


පසුදින අලි ඇතුන් සහිත අලංකාර පෙරහරකින් මානෙල්වතු විහාරස්ථානය දක්වා බෝධින් වහන්සේ වැඩම කරවා එළීනා බණ්ඩාර ජයවර්ධන මහත්මියගේ අතින් රෝපණය කරන ලදී. බෝ අංකූර දෙකේ ආරක්‍ෂාවට වැටක් ඉදිකළ අතර පසුව එක් බෝපැළයක් අතුරුදන්ව තිබිණි. ඉතිරි බෝපැළය සුරක්‍ෂිතව වැඩිණි.  


බෝධිප්‍රාකාරයේ වැඩ 1979 වසරේදී සිදුවිය. ඒ සඳහා සංස්කෘතික අමාත්‍යාංශයෙන්ද රුපියල් විසිපන්දහසක (25,000) ආධාර මුදලක් ලැබිණි. එම ප්‍රාකාරය 1980 ජනවාරි 20 දින ජේ.ආර්. හා එළීනා යුවල විසින් විවෘත කරන ලදී. එදින ප්‍රථම මල්පහන් පූජාව පවත්වන ලද්දේ එවකට අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතා සහ එම ආර්යාව විසිනි. තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ඩී.බී. විජේතුංග මහතාගේ ආරාධනාවෙන් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විදුලි ආලෝකය විවෘත කරන ලදී. 

 
මානෙල් වතු විහාරස්ථානයේ විහාර මන්දිරයක් ඉදිකිරීම සංස්කෘතික ත්‍රිකෝණ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය රෝලන්ඩ් සිල්වා මහතාගේ උපදෙස් පරිදි පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ගාමිණී විජේසූරිය මහතාගේ ගෘහ නිර්මාණ ශිල්පී ක්‍රියාදාමයක් අනුව මුල්ගල් තැබීම 1984.09.18 දින සිදු කරන ලදී.  


දින හතක් ඇතුළත කේ.ඒ. කුමාරපේළි හා කටුගම්පල යන අයගේ මූලිකත්වයෙන් යුත් උපාසක උපාසිකාවන්ගේත් වැලිවිට ශ්‍රී විපස්සි දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී. 

 
විහාර මන්දිරයේ ප්‍රථම පස්පිඩැල්ල කපන ලද්දේ කණ්ඩක්කුලමේ ධම්මකිත්ති හිමියන් විසිනි. 1988 ජනවාරි 20 දිනට මානෙල්වතු විහාරස්ථානයට වසර 26ක් සම්පූර්ණ වීම නිමිතිකරගෙන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී සංඝයා 26 නමකට 26 වර්ගයක පූජා භාණ්ඩ පිරිනැමීමේ පිංකමක්ද සිදු කරන ලදී.

  
මානෙල්වත්ත විහාරස්ථාන භූමියේ වර්තමානය වන විට ඉදිකර ඇති ජාත්‍යන්තර භික්‍ෂු අධ්‍යාපන ආයතනය තුළ මේ වන විට සිංගප්පූරුව, චීනය, තායිවානය, තායිලන්තය, බුරුමය, කාම්බෝජය වැනි රටවල සංඝයා වහන්සේලා වැඩසිට ධර්ම ප්‍රචාරක වැඩකටයුතු සිදු කරති. මේ වන විට සංඝයා වහන්සේලා හයසියයක් පමණ වැඩ සිටින අතර මෙරට භික්‍ෂුණීන් වහන්සේලා සිය ගණනකට වාසය කළ හැකි නේවාසිකාගාරයක්, අධ්‍යාපනය සඳහා අවශ්‍ය පුස්තකාල පහසුකම්, පන්තිකාමර පහසුකම් හා ප්‍රවීන ආචාර්ය මණ්ඩලයකින් සමන්විතය.  


මෙම ජාත්‍යන්තර භික්‍ෂූ මධ්‍යස්ථානය හා මානෙල්වත්ත විහාරයේ වත්මන් භාරකරු වන්නේ තායිවානයේ ප්‍රධාන සංඝනායක බෝදාගම චන්දිම හිමියන්ය. මේ වන විට චන්දිම හිමියෝ ජේ.ආර්. ජයවර්ධන මහතා අපේක්‍ෂා කළ තත්ත්වයටත් වඩා උසස් තැනකට මෙම මධ්‍යස්ථානය රැගෙන ඇති බව එහි ගිය අපට පැහැදිලි වෙයි. දැනට මෙම භූමිය තුළ ඉදිකර ඇති ගොඩනැගිලි ප්‍රමාණය බොහෝය. වර්තමානය වන විටත් මෙම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන භූමිය මත බෞද්ධාගමේ ප්‍රගමනයක්, භික්‍ෂූ පරපුරේ අභිවෘද්ධිය සඳහාත් ඉදිරියට රැගෙන යාමට චන්දිම හිමිපාණන් මහත් වෙහෙසක් ගෙන ක්‍රියා කරනු දක්නට ලැබෙයි.  


මානෙල්වත්ත විහාරය ආසන්නයේම වෙසෙන සමරජීව නිවුන්හැල්ල (82) මහතා මානෙල්වත්ත විහාරය පිළිබඳව මතකය අවදිකළේ මෙසේය.  


‘‘ජේ.ආර්. ඉස්සර මානෙල්වත්තට එනවා. එයාගේ බිරිඳත් එක්ක. ජේ.ආර්.ම වාහනය එළවාගෙන එන්නේ. ඇවිත් වත්තපුරා ඇවිදිනවා. ඇවිදලා මහන්සි වුණාට පසුව ඉඩම තුළ තිබෙන වැව අද්දර තිබූ බංකුවක ඉඳගෙන මහන්සි අරිනවා. ජේ.ආර්. කැලණිය සංවිධායක වෙලා ඉන්නකොටත් මේ ඉඩම තිබුණා. කැලණියට තියෙන්නේ කිලෝමීටර් තුනක් විතර. එ්ත් කවදාවත් ජේ.ආර්. තමන්ගේ කටවුට් එකක්වත් මෙතන ගැහුවේ නෑ. ඒකයි පුදුමේ.  


අහලපහළ අයට මානෙල්වත්තට ඇතුළුවන්න එපා කියලා තදට නීතිරීති දැම්මේ නෑ. ඒත් ආරක්‍ෂක වැටක් එහි තිබුණා. ඒ වුණත් සමහර අය වත්තට ගිහින් පොල් අතු, දර, පොල්ගෙඩි අහුලා ගන්නවා. ඒත් ජේ.ආර්. ඒවාට බාධා කළේ නැහැ’’ යනුවෙන්ද සමරජීව මහතා කීය.  

 

මානෙල්වත්ත සසුනට පූජා කිරීම සඳහා ජේ.ආර්. සන්නස රැගෙන පෙරහරින් එන අයුරු.  

 

බෝධිරෝපණයට සුබමොහොත එනතුරු ජේ.ආර්. යුවල රැඳී සිටින අයුරු.  

 

එළිනා ජයවර්ධන බෝධිය රෝපණය කරමින්.  

 

 

 

 


ලබන සතියේ   


කැලණි විහාර භූමියේදී ජේ.ආර්. මිහිදන් වූ හැටි. 
දොම්පේ අජිත් මදුරප්පෙරුම