දැනගෙන යමු සිරිපාදේ


 

 

  • සමන් දෙව් රජු සමනොළට වැඩමවන සේ බුදුරාජණන් වහන්සේට ආරාධනා කිරීම  
  • දෙව් බඹුන්ගේ පුද සත්කාර විඳිමින් අහසින් සමනොළට වැඩම වීම  
  • සමනොළ මුදුනේ ශ්‍රී පාද ලාංඡනය පිහිටු වීම   

 

බුදුරජාණන් වහන්සේගේ තුන් වැනි ලංකා ගමනේ දී එනම්, බුද්ධත්වයෙන් 8 වැනි වර්ෂයේ දී වෙසක් පුන් පොහොය දිනෙක, ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනල ගිරි පර්වතයට වැඩම කොට එහි ඉන්ද්‍ර නීල මාණික්‍යයක් මත මුනි සිරිපා සලකුණ පිහිට වූ සේක.   


බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමඟින් ශ්‍රී පාදස්ථානයට වැඩම කොට, වම් සිරිපා සටහන තැබීමෙන් පසු දිවාගුහාවේ සමවත් සුවයෙන් වැඩසිටි සේක. (බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පිරිසිදු වූ ස්ථාන 16 හෙවත් සොළොස්මස්ථාන අතරින් 4 වැනි සහ 5 වැනි ස්ථානය)  
දිවාගුහාව හෙවත් භගවා ලෙන පිහිටා ඇත්තේ ශ්‍රීපාද මළුවේ සිට හරියටම අඩි 300ක් පහළිනි. හැටන් පාරේ ‘‘දන්සැල’’ ඉදිරිපස භගවා ලෙන පිහිටා ඇත. ‘‘භගවා’’ කියන්නේ බුදුරජාණන් වහන්සේටය. භගවා ලෙනෙහි නිශ්ශංකමල්ල රජතුමන්ගේ බිතු සිතුවමක් සහ ශිලා ලිපි දෙකක් දැකගත හැකිය.  
ශ්‍රී පාදස්ථානය මළු තුනකින් සමන්විත වන අතර, ඉහළම උඩ මළුවේ පිහිටි ශ්‍රීපාද ලාංඡනයේ දිග අඩි 5 අඟල් 5ක් ද, පළල අඩි 2 අඟල් 7ක් ද වේ.   
ශ්‍රී පාද ලාංඡනය ස්වස්තිකය, පුන්කලස, ඡත්‍රය, සේසත, ශංඛය, චාමරය ඇතුළු මංගල ලක්‍ෂණ (මඟුල් ලකුණු) 108කින් සමන්විතය. බුදුරජාණන් වහන්සේ​ගේ සිරිපතුල් දෙකෙහිම මඟුල් ලකුණු 216කි. 

 
ශ්‍රී පාද දෙවැනි මළුවේ පිහිටි සමන් දේවාලයේ තැන්පත් කර ඇත්තේ සුදු හඳුන් දැවමුවා සමන් දේව ප්‍රතිමාවකි. පූජාවලියේ සහ චූලවංශයේ සඳහන් පරිදි මෙම සුමන සමන් දේව ප්‍රතිමාව පූජාකර ඇත්තේ දඹදෙනි රාජධානි සමයේ රජ කළ දෙවැනි පරාක්‍රමබාහු රජතුමන්ගේ (1236-1270) ප්‍රධාන ඇමැති තනතුර හෙබවූ දේවප්‍රතිරාජ ඇමැති විසිනි. අඩි එකහමාරක් පමණ උස මෙම ප්‍රතිමාව දැනට ලංකාවේ ඇති පැරැණිම දේව ප්‍රතිමාව ලෙස සැලකේ.   
ශ්‍රී පාද පද්මයට පූජා කිරීමට හොඳම මල් වර්ගය පුවක් මල්ය. සමන් දෙවියන්ට පූජා කිරීමට සුදුසුම මල් වර්ගය සුදු නෙළුම් මල්ය.   
ශ්‍රී පාද පද්මය දෝවනය කිරීම සඳහා අවශ්‍ය පැන් රැගෙන එනු ලබන්නේ ‘‘භගවා ලෙන’’ (දිවාගුහාව) අසල ඇති පොකුණෙනි. ශ්‍රී පාද පද්මය දෝවනය කරනු ලබන පැන් හඳුන්වන්නේ ‘‘අමා පැන්’’ ලෙසිනි. මෙම පැන් විවිධ රෝගාබාධ සඳහා දිවඔසුවක් ලෙස බැතිමත්හු විශ්වාස කරති.   
ශ්‍රී පාද මළුවේ දිනපතාම බුද්ධ පූජාව පැවැත්වේ. ‘‘ඉර සේවය’’ අවසාන වෙනවාත් සමඟ උදෑසන බුද්ධ පූජාවත්, පෙ.ව. 11.00ට දහවල් බුද්ධ පූජාවත්, සවස ගිලන්පස පූජාවත් දිනපතා පැවැත්වේ. බදාදා සහ සෙනසුරාදා කෙම්මුර දිනවල දී සිරිපතුල දෝවනය කිරීම සිදුවේ. ඒ සඳහා සඳුන්, කහ, දෙහි, පොල් කිරි ආදිය පැන් සමඟ මිශ්‍ර කිරීමෙන් සාදාගන්නා ‘‘සඳුන් කිරි පැන්’’ නමැති විශේෂ නානු මිශ්‍රණයකින් පද්මය දෝවනය කිරීම සිදුකරනු ලබයි. බදාදා සහ සෙනසුරාදා කෙම්මුර දිනවල දී පමණක් සිදුකරන මෙම චාරිත්‍රය දැකබලා ගැනීමට වන්දනාකරුවන්ට අවස්ථාව ලැබෙන්නේ නැත.   


ශ්‍රී පාදස්ථානයට අධිගෘහිත වූ ශ්‍රී සුමන සමන් දෙව්රජාණෝ බුදුන් වහන්සේගෙන් දහම් අසා සෝවාන් ඵලයට පත්විය. එබැවින් ශ්‍රී ලාංකේය ප්‍රථම මාර්ගඵලලාභියා ද, ප්‍රථම බෞද්ධ ශ්‍රාවකයා ද, ප්‍රථම බෞද්ධ උපාසකයා ද වන්නේ සුමන සමන් දෙවියන්ය. නාග ගෝත්‍රික දෙවියකු වන සුමන සමන් දෙවියන්ගේ බැල්ම හා ආකර්ෂණය බලපැවැත්වෙන්නේ දිවා රෑ දෙකෙහිම 1.00 සිට 1.24 දක්වා කාලයයි.   
රාජාවලිය ග්‍රන්ථයේ සඳහන් වෙන පරිදි සිරිපා මළුවේ මුලින්ම ඡත්‍රයක් සහිත මණ්ඩපයක් සාදා ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන් විසිනි. සිරිපා මළුවේ සමන් දේවාලයක් ඉදිකරවා ඇත්තේ දෙවැනි පරාක්‍රමබාහු රජතුමන් විසිනි.   


මහානාම භික්‍ෂුන් වහන්සේ විසින් 5 වැනි සියවසේ දී සම්පාදිත යැයි සැලකෙන මහාවංශයේ සඳහන්වෙන පරිදි කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු, පළමුවැනි විජයබාහු රජු, පළමුවැනි පරාක්‍රමබාහු රජු, වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු, බුවනෙකබාහු රජු, පළමු විමලධර්මසූරිය රජු වැනි රජවරු ශ්‍රී පාදය වැඳ පුදාගෙන ඇත.   
ලෝකයේ ආගමික ශාස්තෘවරුන් සම්බන්ධ ආගමික සිද්ධස්ථාන අතරින් මුහුදු මට්ටමින් ඉහළින්ම පිහිටා ඇති සිද්ධස්ථානය වශයෙන් සැලකෙන්නේ ශ්‍රී පාදස්ථානයයි. මුහුදු මට්ටමේ සිට උස අඩි 7,360ක් හෙවත් මීටර් 2,243ක් ඉහළින් පිහිටා ඇත.   
ලෝකයේ දීර්ඝතම වන්දනා සමය සේ සැලකෙන්නේ ශ්‍රී පාද වන්දනා වාරයයි. දෙසැම්බර් (උඳුවප්) පොහොයෙන් ඇරැඹෙන සිරිපා වන්දනා සමය මැයි (වෙසක්) පොහොය දක්වා දිවා රෑ දෙකෙහිම නොකඩවා එක දිගට මාස 5ක් පැවැත්වේ.   


ශ්‍රී පාදස්ථානය වැඳ පුදා ගැනීමට ප්‍රධාන පාරවල් 3කි. හැටන් පාර, රත්නපුර පාර (රජ මාවත) සහ කුරුවිට පාර එම ප්‍රධාන පාරවල් 3යි. හැටන් පාර නල්ලතන්නියෙන් ඇරැඹෙන අතර, මළුව දක්වා දුර කි.මී. 4යි මීටර් 900කි. රත්නපුර පාර පළාබද්දල, සිරිපාගමින් ඇරැඹෙන අතර, දුර කි.මී. 8යි මීටර් 500කි. කුරුවිට පාර එරත්නෙන් ඇරැඹෙන අතර දුර කි.මී. 12ක් පමණ වේ.   
හැටන් පාර, නල්ලතන්නියේ සිට සිරිපා මළුව දක්වා පඩි 13,944කි. රත්නපුර පාර සහ කුරුවිට පාර වැටී ඇත්තේ ශ්‍රී පාද රක්‍ෂිතය මැදිනි. ශ්‍රී පාද වන රක්‍ෂිතය අක්කර 56,000කි. වර්ග සැතපුම්වලින් ගතහොත් 8,641කි. හෙක්ටයාර්වලින් 22,379කි. ශ්‍රීපාද රක්‍ෂිතය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද්දේ 1940 ඔක්තෝබර් 25 වැනිදාය.   
ශ්‍රී ලංකාවේ ප්‍රධානම ගංගාවන් වන මහවැලි, කැලණි, වලවේ, කළු යන ගංගා හතර ආරම්භ වෙන්නේ සමනල අඩවියෙනි. ශ්‍රී පාදස්ථානය සිව් කොණේ ඇති සමන් දේවාල 4 පිහිටා ඇත්තේ ද මෙම ගංගා හතර ආශ්‍රිතවය. මහියංගන සමන් දේවාලය මහවැලි ගඟ අසලත්, දැරණියගල සමන් දේවාලය කැලණි ගඟ අසලත්, බොල්තුඹේ සමන් දේවාලය වලවේ ගඟ අසලත්, රත්නපුර මහ සමන් දේවාලය කළු ගඟ අසලත් පිහිටා ඇත. තව ද මෙම දේවාල 4 පිහිටා ඇත්තේ මළුවේ සිට උතුරු, දකුණු, නැගෙනහිර, බස්නාහිර දිශානුගතවය. බටහිරින් රත්නපුර මහා සමන් දේවාලය ද, නැගෙනහිරින් මහියංගන සමන් දේවාලය ද, දකුණෙන් බළංගොඩ, බොල්තුඹේ සමන් දේවාලය ද, උතුරින් දැරණියගල සමන් දේවාලය ද පිහිටා තිබීම විශේෂත්වයකි.

   
ශ්‍රී පාදස්ථානය අයත්වන්නේ සබරගමුව පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, කුරුවිට කෝරලයේ උතුරු උඩපත්තුවටය.   


ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා සමන් දෙවියන්ට කළ භාරයකට අනුව ශ්‍රී පාදස්ථානයට විදුලි බලය ලැබුණේ 1950 මාර්තු මස 04 වැනි මැදින් පුරපසළොස්වක පොහොය දිනදීය.   
සමන් සුරිඳුන්ට භාරවී, තෙරුවන් ගුණ වර්ණනා කෙරෙන ‘‘තුන් සරණය’’ කවි 130කින් සමන්විත වන්දනා කවි පොතකි. මහනුවර අවධියේ දෙවැනි රාජසිංහ රජ සමයේ (ක්‍රි.ව. 1634-1684) රචිත මෙම කවි පන්තියේ කතුවරයාගේ නම ප්‍රසිද්ධ කර නැති අතර තාඹුගල ගමේ උපන් අයෙකි. ‘හිමගත වර්ණනාව’ කවි 117කින් සමන්විතය. ‘සමනල හෑල්ල’ කවි 183කි.   
සමනල කඳු ශිඛරය ලෝකයේ විශාලම ස්වාභාවික පිරමීඩයයි. මේ වටා ඇති පරිවාර කඳු ලෙස බෑන සමනොළ, ධර්මරාජගල, කුණුදිය පර්වතය, ගවරවිල, ලිහිණිහෙළ, ඉඳිකටුපාන කඳු පිහිටා ඇත.   


​ගෙත්තම්පාණේදී කෝඩුකාරයා නූල් ගෙත්තම් කිරීම, ඉහළට නඟින්නන්ට සහ පහළට බසින්නන්ට ආශිර්වාද කිරීම, නඩේ ගුරා සහ සෙසු බැතිමතුන් තුන්සරණය, හිමගත වර්ණනාව වැනි බුදුගුණ කවි හඬ නඟා කීම, ඉර සේවය නැරැඹීම, තමන් වැඳපුදා ගැනීමට ගිය වාර ගණන අනුව ඝණ්ඨාරය නාද කිරීම වැනි චාරිත්‍ර දැකිය හැක්කේ ශ්‍රී පාද වන්දනාවේදී පමණි.  


ශ්‍රී පාදස්ථානය වැඳීම  


කල්‍යාණතෝ ගගනතෝ මුනියත්ථ ගන්ත්වා  
දස්සේසි චක්කවර ලක්ඛණ පාදලංඡං  
ලංකා මහීවර වධු මකුටෝපමාණං   
වන්දාමහං සුමන කූට සිලුච්චයං තං  
ශ්‍රී සුමන සමන් දෙවියන් වැඳීම  
ශ්‍රී මුනින්ද්‍ර පාද පද්ම සංරක්‍ෂණ ධාරං  
ශ්‍රී සමන්ත කූටවාස ශාසනෝපකාරං  
ශ්‍රී සමන්ත දේවරාජ ස්වර්ණවාස හස්තං  
ශ්‍රී විරාජමාන පුෂ්පආසන ප්‍රවිෂ්ටං  
ශ්‍රී සුමන සමන් දේව ශාන්තිය  
ගන්ධ පුෂ්ප ඵුල්ලිතං විශාල ශාල මල්ලිකා  
චම්පකා අශෝක නාග පූග වෘක්ෂ රඤ්ජිතා  
නීල පීත ශ්වේත වර්ණ පක්ෂි රාශි සංගතා  
ශ්‍රී සමන්ත කූඨවාස දේව ද‌ානතේ සුඛං  
ශීත ලාම්බු පූර්ණකං තඩාග නික්ධරඃ  
වාත මේඝ ධරණිපාත රම්‍ය භූමි වාලුකා  
ශ්‍රී සමන්ත කූට සෞම්‍ය නිත්‍ය වාස සම්භවං  
ශ්‍රී සමන්ත දේවරාජ සෞඛ්‍ය ද‌ානතේ සුඛං  
ශ්‍රී සමන්ත භද්‍ර ලෝක නාථ පාද ලාඤ්ඡනං  
සුප්‍ර තිෂ්ඨිතාරධීක පුණ්‍ය ශුද්ධ චින්තනඃ  
ශ්‍රෝත පත්ති මාර්ග ප්‍රාප්ත බුද්ධ රාජ වන්දනං  
ශාන්ති දාන කෘතවතේ සමන්ත දේව රාජනං  
දක්ෂ පක්ෂ යක්ෂ රාක්ෂ දර්පණෂ්ට නිර්භයං  
රාග ද්වේශ මෝහ නාස නත්ථි සුමන දේවතා  
තීක්ෂණස්‍ය ප්‍රඥ‌ා සාග රස්‍ය වීර කායිකං  
කාය මාන සඤ්ඤ රෝග පීඩ භෂ්මතා චිරඃ  
ලෝක නාථ සාසනාය සුප්‍රතිෂ්ඨිතං ගතං  
ලංක දේශ ක්ෂීර පල්ලවේන බුද්ධ පූජනං   
ශ්‍රී ඝනාය භක්ති ප්‍රේම ප්‍රාප්ත ද්ව්‍ය රාජනං  
ශාන්ති සෞඛ්‍ය රක්ෂිතුං ප්‍රධාන නීති ආතුරං  
බුද්ධ ධර්ම සංඝ රත්න පූජනාය කර්මනා  
චිත්ත ප්‍රීති සාගරස්‍ය ප්‍රාප්ත සුමන දේවතා  
ලංකාදීප පූර්ව දේශ රක්ෂිතාය නිර්මලං   
පාද පද්ම ශ්‍රී නමස්තු ශ්‍රී සමන්ත දේවතා 

 


නිශාන්ත ගුණසේකර