ද්‍ැරියගේ කාමරයට රිංගූ කාලි අවතාරය


භූත බලවේගවලින් සිදුවන අරුම පුදුම, ත්‍රාසජනක, අද්භූත සිද්ධි මාලාවන් කොතෙකුත් අපට අසන්නට ලැබෙනවා. ගල් ගැසීම්, ආහාර පානවලට වැලි දැමීම, අසාමාන්‍ය ශබ්ද ඇති කිරීම, නිවෙස්වල ගිනි තැබීම්, බඩු මුට්ටු විසිකිරීම වැනි නොයෙකුත් අද්භූත ක්‍රියාවලීන් භූත බලවේග විසින් සිදුකරන බැව් නිරන්තරයෙන්ම නොයෙක් ගම් ප්‍රදේශවලින් අසන්නට ලැබෙනවා. මේ ද කතරගම දී සිදුවූ සත්‍ය සිදුවීමකි.   

සඳ ඇති මේ රැයේ කළුවර තැනින් තැන ගස් වැල් අතු ඉති අතර සැඟව බියපත්ව බලා සිටී. රියන් හත අටක් දිගින් යුත් දිලිසෙන වස්ත්‍රයකින් ගැවසී ගත් මේ ගිනි කාලි යක්ෂණිය ඈත කඳුයාය සිසාරා ඇති මහ වනාන්තරයේ සිට ගමට එන්නට වූවාය.   


හිස මත වට්ටියක් මෙන් තබාගෙන එන ගිනි කබලකි. ඉන් ගිනි දැල් අහසට විසිරේ. ඒ මේ අත පාවෙන ගමනින් පා තබන මේ ගිනි කාලි යක්ෂණිය සතුවූයේ බියකරු පෙනුමකි. ගෙල සිට ඇඳි සුදුම සුදු පාටට දිලිහෙන සේලය කරපින්නාගෙන එන තවත් යක්ෂ දියණියෝ මහ කාලි මෙන් හැඩි දැඩි නොවුණත් සත්තකින්ම බියකරුය. මේ බියකරු වූ යක්ෂ කාලි දියණියෝ සුදු සේලය අල්ලාගෙන එන දසුන සුන්දර වුව ද බියකරුය.   
අඩි කිහිපයක් දිගු වූ දිව අග කෙළවරින් දෙකට බෙදී ඒ මේ අත සෙලවේ. මේ යක්ෂ ගිනි කාලිගේ උදරය පිටතට නෙරා කළගෙඩියක් වැනිය. යකින්නගේ පස්ස කූඹියකුගේ පිටුපස ස්වරූපයක් ගනී. ආරම්භයේ මහත්ව අවසානයේ දී කුඩාවට වැඩී ඇත. පස්ස පැත්තේ වැඩී ඇති කෙටි වලිගය අශ්වයකුගේ හැඩයට සමානය.   


මෙසේ ගමන් කරන මේ යක්ෂ භූත ගිනි කාලි යක්ෂණිය මේ හිරිමල් වියේ පසු වූ සිතාරා දියණිය සොයා ආවාය. ඇයට බැල්ම හෙළුෑ යක්ෂණිය හා යක්ෂ දියණියෝ සන්සුන් ගමනින් සිතාරාගේ නිදි යහනට ළං වූයේ මිනිස් ලේ සුවඳින් සුවඳවත් වූ කිළි සහිත පරිසරයක් ඇති නිදන කාමරයටයි.   


ඉන් පසු සිදුවන්නේ කුමක් ද? කිසිවකු දැන සිටියේ නැත.


මේ ඒ රසමුසු වූ බියකරු කතාන්දරයයි.

   
කතරගම දේවාලය අසල එක්තරා නිවසක ජීවත් වූ සිරිනේලිස්ට සිටියේ දියණිවරුන් දෙදෙනෙකි. බිරිඳ දැනට මාස කීපයකට පෙර මියගිය අතර, වැඩිමහල් දියණිය කුමුදුමාලාට අවුරුදු දහඅටක් හා බාල දියණිය සිතාරාට අවුරුදු පහළොවක් වූවාය. සිරිනේලිස් එදිනෙදා කුලී රැකියාවක් කර හරිහම්බ කරන දෙයින් ඔවුන් කුස පුරවා ගත් අතර, මවගේ මියයාමත් සමඟ සිතාරාගේ පාසල් ගමන ද නැවතුනි. කුමුදුමාලා ද මවගේ මරණින් පසු හුදකලා වූ අතර, ඇය සිටියේ ද කිසිවකුටවත් කියා ගැනීමට බැරි තරම් දුකකිනි.   


සිරිනේලිස්ට තම දියණියන් ගැන බැලීමට වේලාවක් නොලැබුණේය. උදයේම කුලී රක්‍ෂාවට යන සිරිනේලිස් රෑ බෝ වී නිවසට පැමිණෙන්නේ ද දියණිය උයා ඇති යමකින් කුස පුරවා නින්දට යෑමට බලාගෙනය. කුමුදුමාලා තම නැගණිය සමඟ හෝ කිසිවක් කතා නොකර ගෙදර වැඩක් කරගෙන සිටි අතර, තම නැගණිය මවගේ වියෝවත් සමඟ තමා මෙන්ම මානසික පීඩනයකට ලක්ව ඇති බව දැන සිටියත් ඇයට තම නැගණිය අස්වැසීමට හැකියාවක් තිබුණේ නැත.   


තම මවගේ මරණයෙන් පසු හරිහැටි ආදරයක් සෙනෙහසක් නොලැබූ සිතාරා නිරන්තරයෙන් සිටියේ තනිවීය. අක්කාගෙන් ද හරිහැටි ආදරයක් සෙනෙහසක් සිතාරාට නොලැබුණි. සිතාරා පුංචි කාලයේදී පටන් තම මවගේ ආදරය සෙනෙහස උපරිමයෙන් විඳි දැරියකි.   


තම මවගේ මියයාමත් සමඟ ඇය තනි වූවා සේ හැඟුණි. පාසල් කටයුතු ද අත්හල සිතාරා වැඩිපුරම ගැවසුණේ මිදුලේය. මිදුලේ එහාට මෙහාට අත්දෙක පද්දවමින් ඇවිදිමින් ගේ වටේ කැරකෙමින් සිටින ඇය බොහෝ වේලාවට නිවසේ අවට දැකගැනීමට නොලැබුණ නිසා සමහර වේලාවට කුමුදුමාලා තම නැගණියට කතා කරන්නේ මහා හයියෙන් ශබ්ද නඟාය. කොහේ හෝ සිට පැමිණෙන තම නැගණිය කිසිවකුත් නොපවසාම නිවස තුළට යන්නේ තමන් කතා කළ බවවත් නොඇසුණ ගාණටය.   


“නංගිට මොනවා වෙලා ද මන්දා” කුමුදුමාලාට එසේ සිතුණ ද සිතාරාගේ හැසිරීමේ යම් වෙනසක් පෙනුණ ද කුමුදුමාලා එය එතරම්ම ගණනකට නොගත්තාය.   


මෙසේ දෙමසක් ඉක්ම වනවිට සිරිනේලිස්ගේ නිවසේත් අවට නිවෙස් කීපයකත් අමුතු අමුතු සිදුවීම් සිදුවන්නට පටන් ගත්තේය. නොයෙකුත් අද්භූත දෑ සිදුවෙමින් තිබුණි.   


අහල පහල නිවෙස්වල මෙන් සිරිනේලිස්ගේ නිවසේ මහලොකුවට බඩු බාහිරාදිය තිබුණේ නැත. එක් නිවෙසක රෙදිපිළි ගිනි ගැනීම් සිදු වනවිට තවත් නිවසකට ගල් වදියි. තවත් නිවසක වහලවල් ගිනි ගනී. තවත් නිවසක පුටු ආදී දේ ගිනි ගනී. බඩු මුට්ටු එහා මෙහා වෙයි. සිරිනේලිස්ගේ නිවසට ද යම් දිනවල ගල් වදියි. කුමුදුමාලාගේ ඇඳුමක් දෙකක් ගිනිගත්තත් සිතාරාගේ ඇඳුම් පැලඳුම් ගිනි ගත්තේ නැත. අනෙක් නිවාසවලට සිදුවන තරම් ගිනි ගැනීම් සිදුවූයේ නැත.   


මේ සෑම අද්භූත සිද්ධියක් සිදුවන හැම අවස්ථාවකම සිතාරාගේ ද අමුතු හැසිරීම් රටාවක් දක්නට ලැබුණි. ඔළුව කරකවමින් අසිහියෙන් මෙන් ඇය යම් යම් දේ පවසයි. නමුත් එය එතරම්ම ලොකුවට කිසිවකුත් සිතුවේ නැත.   
මාස හතරකුත් ගතවී ද මෙම අද්භූත ක්‍රියා අඩු වන පාටක් නම් නැත. දිගින් දිගටම සිදුවන මෙම අද්භූත ක්‍රියා නිසා සිරිනේලිස්ගේ අසල්වාසීන් සිටියේ භීතියෙනි. දෛනික කාර්යයන් ද අතපසු කරගෙන හරිහැටි නින්දක් නොලබා මොවුහු ජීවත් වූහ. රාත්‍රී කාලයේ සියලුදෙනාම සිටියේ භීතියෙනි. කොයි වෙලේ ගේ ගිනි ගනියි ද යන සැකෙන් පසුවූහ. මේ අතර, රෑ බෝ වී නිවසට පැමිණෙන සිරිනේලිස්ට මේ කිසි දෙයක වගක් නැත. මහන්සි වී පැමිණෙන ඔහු තිබෙන දෙයක් කා නින්දට යන්නේ පසුදා උදේම අවදි වී කීයක් හෝ සොයාගැනීමේ අදිටනිනි.   


“තාත්තේ නංගිගේ හැසිරීමත් අමුතුයි. ඒ මදිවට අහල පහල ගෙවල්වල එක එක දේ ගිනි ගන්නවා. මේ ගෙවල්වලට භූත බලපෑමක් වෙලා තියෙනවා කියලයි හිතන්නේ හැමෝම. මමයි නංගියි විතරයි ගෙදර තනියම ඉන්නේ. අපේ ගෙදරටත් ගල් වැදුණා. මගේ ඇඳුම් දවසක් දෙකක් ගිනි අරගෙන තිබුණා මං පොළට ගිහින් එද්දි. ඒ නිසා තාත්තා වේලාසන ගෙදර එන්න” කුමුදුමාලා පියාට කියා සිටියාය.


 “හරි හරි මං වේලාසන එන්න බලන්නම්. පොඩි එකීව එළියට පහළියට යවන්න එපා” සිරිනේලිස් තම වැඩිමල් දියණියට පැවැසුවේය.   


එන්න එන්නම වැඩි වන අද්භූත සිදුවීම් නිසා කිසිවකුටත් කුමක් කරම්දෝයි සිතා ගැනීමටවත් නොහැකිව පසු වූ අතර, මෙය ආරංචි වූ ගමේ වැඩිහිටියෝ කිහිපදෙනෙක් කෙසේ හෝ මෙම නිවෙස්වලට පමණක් සිදුවන මෙම අද්භූත සිදුවීම්වලට පිළියමක් යෙදීමට සිතූහ. මෙයට පිළියම දේවාල වෙත යාම නොවන බව සිතූ මොවුන් මෙම නිවැසියන්ට සිදුවන අද්භූත සිදුවීම්වල සත්‍ය අසත්‍යතාව සොයා බැලීම සඳහා මෙය ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත යොමු කෙරිණි.   


වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා ඒ මොහොතේම මේ පිළිබඳව සත්‍ය අසත්‍යතාව සොයා බැලීම සඳහා තම පරීක්‍ෂණ කණ්ඩායම ද සමඟ කතරගමට පැමිණියේය.   


වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා හා පරීක්‍ෂණ කණ්ඩායම පැමිණෙන විටත් මෙම නිවාසවල නොයෙක් ස්ථානයන් හි ගිනිගත් ඇඳුම් පැලඳුම්, ප්ලාස්ටික් පුටු, පොල් අතු ආදී නොයෙකුත් දෑ දක්නට ලැබුණි. මේවා කවුරුන් විසින් කරන්නේ ද යන්න සියල්ලන්ටම ගැටලුවකි. වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා විසින් මෙම නිවෙස් හිමියන්ගෙන් සියලු විස්තර අසා දැනගත් අතර, මෙය කෙසේ සිදුවන්නේ ද යන්න නොදන්නා බවත් ක්‍ෂණිකව සිදුවන බවත් ඔවුහු ප්‍රකාශ කළහ. ඒ මොහොතේ ද කොහේ හෝ සිට ගලක් දෙකක් මෙම නිවාස වෙතට ආයේය. නමුත් කොහේ සිට ද මෙම ගල් වැදුණේ කවුරුන් ද කළේ? යන්න බලා සිටි හැමෝටම ප්‍රහේලිකාවක් විය.   
මෙම ගිනිගැනීම් හා අද්භූත ක්‍රියා සිදුවන හැම මොහොතකම සිරිනේලිස්ගේ බාල දියණිය සිතාරාට ආරූඪයක් ඇති වී ඇය භූතාවේෂයකින් කතා කළ බවත් “අන්න ගිනි කාලි ගිනි තිබ්බා” “කඩවර ගිනි තිබ්බා” යනුවෙන් පවසන බවත් අසල්වැසි නිවැසියෝ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතාට පවසා සිටියහ. සිරිනේලිස්ගේ බිරිඳ මියගොස් මාසයක් දෙකක් පමණ වනවිට මෙම සිදුවීම් සිදුවීමට පටන් ගත් බව ද තවදුරටත් මෙම අද්භූත සිද්ධීන්වලට ලක් වූ නිවෙස් හිමියෝ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතාට පවසා සිටියහ. වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා හා වෛද්‍ය කණ්ඩායම ගිනිගත් සියලු දේ පරීක්‍ෂා කළහ. ගිනිගත් සියලු දේ අතර වූයේ ඉක්මනින් ගිනි ගන්නා දේය. නිකරුණේ ගිනිගත් දේවල් නොවීය. ප්ලාස්ටික් පුටු ද ගිනි ගෙන ඇත්තේ එහි වූ රෙදි කෑලි නිසාය. ගිනි ගැනීම් ඇතිවූයේ කෙසේ ද යන්න කවුරුත් නොදනී. බඩු මුට්ටු පෙරළීම හා එහා මෙහා යෑම සිදුවන අවස්ථාවන්හීදී ඒ කවුරුන් හෝ දැක නොමැත. දැක ඇත්තේ බඩු මුට්ටු එහා මෙහා වී තිබීම පමණකි. මේවා මෙසේ සිදුවීත් සිරිනේලිස්ගේ බාල දියණිය සිතාරාගේ පමණක් ඇඳුම් පැලඳුම් කිසිවක් හසුවී නොතිබිණි. මෙම අසාමාන්‍ය ක්‍රියා සිදුවන සෑම අවස්ථාවකම ඇයට භූතාවේෂයක් ආරූඪ වන බවත්, මේවා කරන්නේ කාලි හෝ කඩවර බවත් ඇය පවසන්නීය.   


මේ සියලු සිදුවීම් සැලකිල්ලට ගත් වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා මුලින්ම සිතාරාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළේය.   


වෛද්‍යතුමා : මේ සිදුවීම් වෙන්න පටන් අරගෙන දැන් කොච්චර කලක් ද?   
සිතාරා : මාස තුන හතරක්.
වෛද්‍යතුමා : කොහොම ද ඔබ මේ ගැන දැනගත්තේ?   
සිතාරා : මට පේනවා. මට දැනෙනවා.   
වෛද්‍යතුමා : මොනව ද ඔබට දැනෙන්නේ? මොනව ද පේන්නේ?   
සිතාරා : ගිනි කඩවරයි ගිනි කාලියි මේවා කරන්නේ.   
වෛද්‍යතුමා : මුලින්ම මොනව ද වුණේ?   
සිතාරා : ගල් ගසන එක.   
වෛද්‍යතුමා : ගෙවල් කීයකට ගල් ගැසුව ද?   
සිතාරා : ගෙවල් කීපයකටම.   
වෛද්‍යතුමා : ඔබ දැක්ක ද ගල් ගසනවා?   
සිතාරා : මට පේනවා. ඒ වෙලාවට මගේ ඇඟ පණ නැති වෙනවා. සිහිය නැති වෙනවා වගේ දැනෙනවා.   
වෛද්‍යතුමා : බඩු මුට්ටු එහා මෙහා වුණේ කොයි කාලෙ ද?   
සිතාරා : මේ දේවල් වුණ කාලෙමයි.   
වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතාට ඇය දුන් පිළිතුරු එසේ විය. ඊට පසු ඇයව මනෝ විශ්ලේෂණයකට භාජනය කරන ලදී. ඉන්පසු ඇය පවසා සිටි දෑ මෙසේය.   
වෛද්‍යතුමා : ඔබ නේද ගෙවල්වල බඩුමුට්ටුවලට, වහලවල්වලට ගිනි තිබ්බේ. ඔබට යම් කෙනෙක් කීවා නේද ගිනි තියන්න කියලා. කවුද කීවේ ඔබට මේවා කරන්න කියලා?   
සිතාරා : ඔව්. මමයි කළේ. ඒත් මම දන්නේ නෑ කවුද කීවේ කියලා.   
වෛද්‍යතුමා : ඔබමයි කරන්නේ කියා ඔබ දන්නවා ද?   
සිතාරා : මම දන්නෙ නැතිව වගේ ඉබේම කෙරෙනවා.   
වෛද්‍යතුමා : ඔබ ගිනි තියන්න භාවිත කළේ මොනව ද?   
සිතාරා : ගිනි පෙට්ටිවලින් කළේ.   
වෛද්‍යතුමා : ඔබ තවම කීවේ නැහැ කවුද ඔබට මේවා කරන්න කීවෙ කියලා?   
සිතාරා : මම දන්නේ නෑ. මට ඇහෙනවා විතරයි ගිනි තියන්න කියලා කියනවා.   
වෛද්‍යතුමා : ගෙවල්වල වහලවල් ගිනි තිබ්බේ කොහොම ද?   
සිතාරා : මම උඩකට නැගලා මගේ අතේ උස ප්‍රමාණෙට ගිනි තිබ්බා.   
වෛද්‍යතුමා : එතකොට ගල් ගැහුවේ කොහොම ද?   
සිතාරා : හොරෙන් කළේ. කවුරුත් දැක්කේ නැහැ.   
වෛද්‍යතුමා : ඒ කියන්නේ ගල් ගැහුවෙත් ඔබමයි. ගිනි තිබ්බෙත් ඔබයි?   
සිතාරා : ඔව් මමයි කළේ. මට ඒක කරන්න කියනකොට මම කරනවා.   
වෛද්‍යතුමා : ගල් ගැහුවේ කොහේ ඉඳල ද?   


සිතාරා : මිදුලෙයි පාරෙයි ඉඳලා. කාටවත් නොපෙනී හොරෙන් කළේ.   


මේ සියලු විස්තර මනෝ විශ්ලේෂණයෙන් වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා ඇයගෙන් දැනගත්තේය. මෙය සියලු දෙනාටම පුදුම සිතෙන දෙයක් විය. මෙය සිදුකර ඇත්තේ කිසිදු භූතයෙක් හෝ යකෙක් නොවන බවට සියලු දෙනාට පසක් විය. සියලු සිදුවීම් කර ඇත්තේ වයස අවුරුදු පහළොවක් වන සිතාරාය. අහල පහල නිවෙස්වලට හා ඇගේ නිවසටම ගල් ගසා ඇත්තේ ද ගිනි තබා ඇත්තේ ද ඇය විසිනි.   


සිතාරාගෙන් ලබාගත් තොරතුරු අනුව ඇයට මානසික විකෘතිතාවක් ඇති බව වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා පවසා සිටියේය. ඇය තුළ හීනමාන ලක්‍ෂණ හටගෙන ඇති අතර, අන් අය මොවුන් කොන්කරන බවක් ඇය සිත තුළ තැන්පත් වී තිබී ඇත.   


මෙහිදී වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතාගේ අදහස වූයේ දරුවනට අසාමාන්‍ය ආදරය, කරුණාව දැක්වීම නිරතුරුවම කළ යුතු බවය.   

 


(මෙහිදී රෝගීන්ගේ පුද්ගලිකත්වය ආරක්‍ෂා කිරීම උදෙසා නම් ගම් පමණක් වෙනස් කර ඇත. සියලු වාර්තා පරීක්‍ෂණ සංගමය සතුව ඇති අතර, සත්‍ය සිදුවීමකි.)   

 

 

 


සටහන හා ඡායාරූප 
හබරාදුව ‍නිමල් අල්ගෙවත්ත