දළද‌ා හාමුදුරැවන්ගෙන් ප්‍රාතිහාර්යයක්


 

දඹදෙණි රාජධානිය ෙසායා ගිය ගමනක් - 2

 

බිල්ලසේල හෙවත් බෙලිගල පර්වතය මනරම් වටපිටාවක පිහිටා තිබේ. කිලෝ මීටර් හතරක පමණ වටප්‍රමාණයකින් ගල් පව්වේ පාමුල සිට ඉහළ බැලූවිට මුදුනට අඩි දහසක පමණ දුරක් නැගිය යුතු බව පෙනෙයි.  


හාත්පස තවත් කඳුශිඛර රාශියකි. මේ කඳු සහිත භූමි භාගයෙහි තිබෙන ආරක්ෂාව ගැන විජයබාහු රජ මොනවට දනියි.  


තම උපදෙස් පරිදි අැමැතිවරු විසින් මෙහි ඉදිකරවනු ලබන දළද‌ා මන්දිරය පිළිබඳව රජු නිතරම සොයා බැලුවේය.  


“ඇමැති, දළද‌ා මන්දිරය ඉදිකිරීමට තෝරාගත්තේ කඳු ශිඛරයේ කුමන කොටස ද?”  


රජු, රාජ සභාවේදී විමසුවේය.  


“දේවයන් වහන්ස, වඩාත් ආරක්ෂාකාරී වන්නේ ගල් අගලෙන් එතෙර වූ පසු තිබෙන කොටසයි.”  


ඇමැති කීවේය.  


“ඔබ නිවැරැදියි. නමුත් ඒ ගල් අගල හරහා පාලමක් ඉදිකරවිය යුතු වේවි.”  


“එසේය දේවයන් වහන්ස. ඒ සඳහා අලංකාර පාලමක්  දැවයෙන් නිම කිරීමටයි අදහස් කළේ.”  


“සුදුස්සක් කරන්න.”  


රජතුමා ඇමැතිට අවසර දුන්නේය.  


බිල්ලසේල පර්වත මුදුනෙහි තිබෙන ගල් අගල ස්වභාවික එකකි. එය අඩි දහයක පමණ පළලින් ද අඩි විස්සක තරම් ගැඹුරින් ද යුක්තය.   


පර්වත මස්තකය අක්කර අටක පමණ තැනිතලාවකි. එබැවින් දළද‌ා මැඳුරකට පමණක් නොව දළද‌ා වතාවත් ඉටුකරනු පිණිස පන්සලක් ඉදිකරන්නවත් ප්‍රමාණවත්ය. දළද‌ා මැඳුර සංඝාවාසය හැරුණුවිට නාන පොකුණු මෙන්ම ද‌ානශාලා ආදිය ද ආරක්‍ෂකයන් සඳහා මුරගෙවල් ආදිය ද මේ පව්ව මත ඉදිකළ යුතුය.  


පර්වත මස්තකයෙහි ලී කණු සිටුවීම සඳහා වළවල් කැණීම ඒ වනවිටත් අවසන්ව තිබිණි. ඉතිරිව තිබුණේ තුන් මහල් ප්‍රාසාදය ඉදිකිරීමේ අවශේෂ කටයුතු පමණි. ඒ සඳහා අවශ්‍ය ගඩොල්, දැව ආදිය ඕනෑ තරම් මේ පර්වතය අවට තිබිණි.  


නොතෙමී පවතින්නේ නම් සියවසකටත් වඩා වැඩිකාලයක් සුරැකී පවතින්නට මේ දැව කඳන්වලට ශක්තිය තිබේ. කොස්, බුරුත, නැදුන් වැනි දේශීය ශාකවලින් අවශ්‍ය දැව කණු ද පරාල සහ ලෑලි ද සපයා ගැනිණි.  


කණුවලින් සැදුම්ලත් ප්‍රාසාද සැකිල්ල ගඩොල් බිත්තිවලින් ආවරණය කෙරිණි.  


වහලය අලංකාර උළුවලින් සෙවිලි කරන ලද්දේය. තෙමහල් ප්‍රාසාදයක් බැවින් මෙහි උස අඩි හතලිහකට ආසන්නය. එහෙත් දුර සිට බලන ඔත්තු කරුවකුට නම් මේ අනගි ප්‍රාසාදයක් බව දක්නට හැකි නොවේ. පර්වතය අවට වූ විසල් වනස්පතීන් විසින් මේ මනරම් මන්දිරය අවට ලෝකයෙන් සඟවා ගනු ලැබූ බැවිනි.  


දළද‌ා මැඳුර තනා නිම කිරීමෙන් අනතුරුව ඊට ආසන්නයෙන් සංඝාවාසයක් ද ඉදිකෙරුණි. එම සංඝාවාසය වාචිස්සර නාහිමියන්ටම බාරකෙරුණේ උන්වහන්සේ දළද‌ා හාමුදුරුවන් බාරව අවශ්‍ය වතාවත් පුද පූජා මොනවට කරගෙන ආ බැවිණි.  


පර්වත පාමුල සිට පර්වත මස්තකය දක්වා පඩිපෙළක් කනිණු ලැබිණි. ඒ දළද‌ා වහන්සේ වැඳ නමස්කාර කරගැනීමට පැමිණෙන රජ ඇතුළු රාජකීයන්ටත්, අත්‍යාවශ්‍ය බැතිමතුන්ටත් පර්වත මස්තකයට පහසුවෙන් පිවිසෙනු පිණිසය.

 
අතරමග මුරකුටියක් ද නිර්මාණය කෙරිණි. පර්වත මුදුනට පිවිසෙන සියල්ලන් මේ මුරකුටියේදී මොනවට පරීක්ෂා කෙරුණි. කිසිවකුටත් ආයුධ අතැතිව, හිස් වැසුම් හෝ පාවහන් සහිතව මින් ඔබ්බට යන්නට වරම් නොවිණි. රැගෙන යා හැක්කේ මල් පහන් සුවඳ දුම් පමණකි.  


“තෙරුන්වහන්ස, දළද‌ා මන්දිරය සහ සංඝාවාසයේ ඉදිකිරීම් සියල්ලම අවසන්.”  


රජතුමා වාචිස්සර තෙරුන්ගේ දෙපා නැමද පැවැසුවේය.  


“මා හිතන්නේ දැන් දළද‌ා වහන්සේ බිල්ලසේල පර්වතය කරා වැඩමවීමට සුදුසු කාලය එළඹ ඇති බවයි.”  


“එහෙමයි රජතුමනි. දළද‌ා වහන්සේ දඹදෙණියට වැඩම කළ යුත්තේ මනරම් පෙරහරකින්. ඒ සඳහා කටයුතු සූද‌ානම් කරන්න.”  
“එහෙමයි තෙරුන්වහන්ස. මේ දළද‌ා මැඳුර ඉදිකිරීමේ කටයුතු බාරව සිටි අැමැතිටම එම කටයුත්තත් පවරන්නම්.”


“රජතුමනි, එසේ නම් එළඹෙන පසළොස්වක පෝද‌ා අපි දළද‌ා වහන්සේ දඹදෙණියට වැඩම කරවමු. ඊට දෙදිනකට කලින් ඔබ තුමා ප්‍රමුඛ රාජකීය පිරිවර කොත්මලා රටට සැපත්වීම මැනවි.”  


“කොත්මලා රටේ කුමන ප්‍රදේශයකට ද තෙරුණුවනි?”


රජතුමනි, මා පිටත් වන්නේත් ඔබතුමා සමඟමයි. එම නිසා මඟ වැරදීමක් සිදුවන්නේ නෑ.”  


වාචිස්සර තෙරුණ් තවදුරටත් දළද‌ා වහන්සේ සහ පාත්‍රා ධාතුන් වහන්සේ සඟවා තිබෙන තැන රහසක් සේ රැකගත්හ.  


නිසි දවස එළැඹිණි. රජු, අග බිසව, ඇමැතිවරු, යුවරජ ප්‍රමුඛ රාජකීය පිරිස, වාචිස්සර තෙරුණ් පෙරටුකරගෙන කොත්මලා රටට ගමන් කරන්නට වූහ.  


රජ පිරිවර පළමු රාත්‍රිය නතරවූයේ දිඹුලකන්දේය. රජතුමා අගබිසව යුවරජ මෙන්ම ඇමැතිවරු ද වාචිස්සර නාහිමියෝ ප්‍රමුඛ භික්ෂූහු ද ගමන් කළෝ ගමන් මාළිගවලය. එහෙත් කඳු ශිඛර බෑවුම් සහිත දුර්ග ඔස්සේ යන මේ ගමන වෙහෙසකරය. එනිසාම දිඹුලකන්දේ ගතකළ පළමු රාත්‍රියේ මහළු රජු මෙන්ම වාචිස්සර තෙරුණ් ද සිටියේ හොඳටම විඩාපත්වය.   


තෙරුණ් වහන්සේට පැන් පහසුව ලබා දී ගිලන් පස පිළිගැන්වීමෙන් අනතුරුව, රජතුමා උන්වහන්සේ වෙත ගියේය.  


“තෙරුණ් වහන්ස, ඔබ වහන්සේට වෙහෙස ද?”  


වාචිස්සර තෙරහු සිනා නැගූහ.   


“දැන් මා වියපත් නිසා වෙහෙසයි. නමුත් රජතුමා ඒ වෙහෙසට වඩා මට දැනෙන සතුට ඉමහත්. වසර විසිපහකට පෙර භූමිගත කරන ලද දළද‌ා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ යළිත් ගොඩට වැඩමවා ඊට පුද සත්කාර කරන්නට ලැබීම මට නිරාමිස සුවයක්.”
“තෙරුන් වහන්ස, මට යමක් විමසන්නට අවසර ද?”  


“විමසන්න රජතුමනි.”   


“ඔබ වහන්සේ මේ ධාතූන් භූමිගත කළ ස්ථානය ඔබට සොයාගත හැකි වේද?”

 
“එහෙමයි රජතුමනි. ඔබ තුමා ඒ ගැන බිය විය යුතු නැහැ.”  


“නමුත් මා නම් සිටින්නේ බියෙන්. මේ වනවිට ඒ ධාතූන් වහන්සේලා භූමිගත කළ තැන වනය වැවී තිබෙන්නටත් පුළුවන්.”  


වාචිස්සර තෙරණුවෝ එවරත් සිනා නැගූහ.   


“රජතුමනි, මට සැතපෙන්නට අවසර දෙන්න.”  


ඒ රාත්‍රිය සීතල එකක් විය. කඳු මුදුනක් බැවින් අවට තිබුණේ ද තද සුළංය.  


රාජකීය පිරිස කොත්මලයට ළඟාවූයේ තවත් දෙදවසකට පසුවය. ගිරිදුර්ග වනදුර්ග මැදින් ගිය ගමන කෙළවර වූයේ එක්තරා කඳුමුදුනකිනි.  


“ගමන් මාළිගා බිම තබන්න. මේ අපේ ගමනාන්තයයි.”  


තෙරණුවෝ කීහ.  


රජතුමා වහා පැමිණ තෙරණුවන්ගේ දෙපාමුල දණ ගැසූහ.  


“අවසර තෙරුණ් වහන්ස, මේ අපේ ගමනාන්තය ද?”  


“එහෙමයි රජතුමනි, පාත්‍රා ධාතුව සහ දළද‌ා වහන්සේ භූමිගත කළ ස්ථානය මෙතැනයි.”   


රජතුමා නිහඬව වාචිස්සර තෙරුණ් දෙස බලාසිටියේය.  


වසර විසි එකකට පෙර රහසේ පැමිණ ධාතූන් වහන්සේලා භූමිගත කළ ස්ථා නය කෙසේ නම් සොයාගන්නදැයි රජු කල්පනා කළේය.  


අගබිසව යුවරජු මෙන්ම ඇමැතිවරු ද සිටියේ වික්ෂිප්තවය.  


වාචිස්සර තෙරුණ්වහන්සේ දෑත එක්කර බුදුන් වන්දනා කළහ. ඉනික්බිති එරමිනිය ගොතා දෑස පියාගත්හ. මිනිත්තු කිහිපයක් සත්‍ය ක්‍රියා කළ උන්වහන්සේ දෑස ඇර නැගී සිටියහ. පියවර කිහිපයක් ඉදිරියට ගමන්කර විශාල සපුගසක් අබියස නතර වූහ.  


 “මෙතන හාරන්න.” 


තෙරණුවෝ පැවැසූහ.  


රාජ පුරුෂයකු එහි ළඟා වූයේ ගල් ඉන්නක් ද රැගෙනය.  


“මෙතන දණගසා පළමුව පොළවට වඳින්න.”


තෙරණුවෝ අණ කළහ. තෙරණුවන්ගේ අණ පරිදි පොළවට වන්දනා කළ ඔහු යළිත් ගල් ඉන්න අතට ගත්තේය.  


“ඔතන හෑරිය යුත්තේ ඔබේ අතින්.”  


රාජ පුරුෂයා මිනිත්තු ගණනාවක් තිස්සේ පරිස්සමට පොළව හාරන්නට විය.  


අවසානයේ විශාල මැටි බඳුනක ඉහළ කොටස මතුවිය.  


තෙරණුවෝ සතුටු සිනා නැගූහ.  


“දැන් ඉතාම ප්‍රවේසමෙන් ඔය මැටි බඳුන ඉවතට ගන්න.”  


ඒ සඳහා තවත් හෝරාවක් පමණ පොළොව කනින්නට සිදුවිය.  


අවසානයේ මතුකරගත් මැටි බඳුන අභියස දණ ගැසූ තෙරණුවෝ ඊට වන්දනාමාන කළහ. රජතුමා, යුවරජ, අගබිසව, මෙන්ම අැමැතිවරු ද මේ මැටි බඳුනට වන්දනා කළෝය.  


“රජතුමනි, ඔබේ සුරතින් මේ මැටි බඳුන විවෘත කරන්න.”  


තෙරණුවෝ කීහ.  


රජු මහත් ශ්‍රද්ධාවෙන් යුක්තව විසල් මැටි බඳුනේ පියන විවෘත කළේය.  


ඒ තුළ ඊට වඩා ප්‍රමාණයෙන් කුඩා තවත් බඳුනකි. එය කිසියම් ලෝහයකින් තනා නිමකළ එකකි. එම බඳුන ඉවතට ගෙන විවර කළ විට තවත් බඳුනක් හමුවිය. එය රන්වන් කරඬුවකි.   


“රජතුමනි, ධාතූන් වහන්සේලා වැඩ සිටින්නේ ඔය කරඬුව තුළය.”  


තෙරණුවෝ මේ කරඬුව දෝතට ගත්හ.  


“රජතුමනි, මා දන්නවා ඔබ තුමාගේ සිතෙහි සැකයක් පවතින බව මේ සැබෑම දළද‌ා හාමුදුරුවන් ද කියා.”  


තෙරණුවෝ රජු දෙස බලා විමසූහ. රජුත් කිසිත් නොකීවේය.  


“ඔබ තුමාගේ හිත පවතින සැකය තව මොහොතකින් ඉවත් වේවි.”   


තෙරණුවෝ දෑස පියාගෙන මොහොතක් සත්‍යක්‍රියා කළහ.

 
කරඬුවේ සිට රශ්මි කදම්භයක් අහසට විහිදිණි. එය සපු ගසේ මුදුන දක්වා විහිදී අනතුරුව අවකාශයේ බුදු රුවක් නිර්මාණය විය.

තෙරණුවෝ සේම රජු ද රාජකීය පිරිවර ද දෝත් එක්කර සාදුකාර දුන්හ.

 
රජුට මෙය විමතියකි. තවදුරටත් සැක කරන්නට කිසිත් නැත. මේ ප්‍රාතිහාර්යය පාන්නේ දළද‌ා හාමුදුරුවෝය.  


“රජතුමනි, ගෙනා මල්වලින් මේ සපුගහ පාමුල සෑයක් හදන්න.”   


තෙරණුවෝ අණ කළහ.  


රාජකීය පිරිවර එක්ව මල්සෑයක් සාද‌ා දළද‌ා හාමුදුරුවන්ට වන්දනා මාන කළහ.  


සාදු නාදය කොත්මලේ කඳු යාය පුරා දෝංකාර දුන්නේය.  


ඉනික්බිති ආරම්භ වූ​ෙය් දළද‌ා හාමුදුරුවන් සහ පාත්‍රා ධාතූන් වහන්සේ බිල්ලසේල හෙවත් බෙලිගල පර්වත මස්තකයේ පිහිටි දළද‌ා මැඳුරට වැඩම කරවන පෙරහරය. සාදු නාදයෙන් රැව් පිළිරැව් දෙමින් පිටත් වූ මේ පෙරහරට රටවැසි බෞද්ධ​ෙයා් මල්වැසි වස්සවන්නට පටන්ගත්හ.  


අතීත රජදරුවන් විසින් ගව්වෙන් ගව්ව තනවන ලද විහාරාරාමවල දළද‌ා වහන්සේ පුදන්නට පිංකම් සංවිධානය කර තිබිණි. මේ පිංකම්වල අපූරුව දැක බලාගන්නට රොක්ව සිටි බැතිමතුන් පළමු වතාවට දළද‌ා හාමුදුරුවෝ ද පාත්‍රා ධාතූන් වහන්සේ ද දැක බලාගෙන වැඳ පුද‌ාගෙන සාදුකාර දුන්හ.  


නියම්ගම් දොරින් ආරම්භ වී පුරා සතියක් පමණ තිස්සේ ගමන් කළ දළද‌ා පෙරහර බිල්ලසේල පර්වතය මත පිහිටි දළද‌‌ා මැඳුර වෙත වැඩම කෙරුණේ උත්සවශ්‍රීයෙනි. පුරා සතියක් තිස්සේ මහා පිංකම් පවත්වන්නට රාජකීය නියෝගයක් පැනවී තිබිණි.  


මෙතැන් පටන් දළද‌ා හාමුදුරුවන්ට බුදු හාමුදුරුවන්ට මෙන් උවටැන් කළ යුතු බවට ද රජු නියෝග ක​ළේය.  


ඒ අනුව උදය දහවල සහ සන්ධ්‍යාව යන තුන් කල්හිම දළද‌ා පූජාවක් පැවැත්විය යුතු විය. ඒ සඳහා අවශ්‍ය සියලු විය හියදම් රාජකීය භාණ්ඩාගාරයෙන් මුද‌ාහැරිණි.  


පුරා සතියක් තිස්සේ පැවැත්වූ පිංකම් අවසන රැස්ව සිටි රටවැසියන් අමතා විජයබාහු රජු මෙසේ පවසා සිටියේය.  


“මාඝ නැමති කුරිරු ආක්‍රමණිකයාගෙන් පොළොන්නරු රජධානිය බේරාගැනීමේ සටන මා ආරම්භ කරනවා. ඒ සඳහා මේ උතුම් දළද‌ා හාමුදුරුවන්ගේ ආශිර්වාදය අපට හිමිවෙනු ඇති. රට වැසියනි, මාගේ සේනා සමඟ සම්බන්ධ වන්නැයි මා ඔබෙන් ඉල්ලා සිටිනවා.”  


ලබන සතියට...  

ශාන්ත කුමාර විතාන
ඡායාරෑප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය